Katha Ahura

කන්‍යාරාමය| 03 කොටස | හොල්මන් කතා |

5/5 - (1 vote)

කන්‍යාරාමය…..

තෙවැනි දිගහැරුම…..

අනුරාධා….

සිහිසුන්ව සිටි ඇය පියවි සිහි ලැබුවේ කවුරුන් හෝ මුහුණට ඉසිනු ලැබූ වතුර නිසාය. අනුරාධාගේ හිස කකියන්නට වූ බැවින් ඇය දෝතින්ම හිස බදාගත්තේය. මුලුතැන්ගෙය සිසාරා බැල්මක් හෙලූ ඇයට දක්නට ලැබුණේ විදුලි බුබුල තවමත් දැල්වෙන අයුරුය. කන්‍යාසොහොයුරියන් සියලු දෙනා ඇය වටා සිටි අතර ඇය අපහසුවෙන් නැගී සිටියේ ශරීරයේ සම්පුර්ණ ශක්තිය යොදමින්ය. සිරුරට මහත් අපහසුවක් දැනුනත් ඇයට වැඩ කිරිමට සිදුව ඇත. උදෑසන ආහාර සූදානම් නොමැති බැවින් කන්‍යාසොහොයුරියන් සියල්ලෝ අනුරාධා හට දෙස් දෙවොල් තබමින් පාසලට ගිය අතර ලොකු සිස්ටර් සමග අනුරාධා තනිවිය. එය ඊටත් වඩා විශාල පීඩනයක් වූයේ ලොකු සිස්ටර්ගේ නපුරුකම නිසාය. දහවල් කාලයේදීද පාලු මූසල බවක් ඉසිලූ කන්‍යාරාමය තුළ සිතට නුහුරු ගුප්ත බවක් ඇයට තදින්ම දැනුනි…….

කන්‍යාසොහොයුරියන් හට වෙන වෙනම වෙන් කරන ලද වැසිකිළි පහක් තිබූ අතර ඒවා පිරිසිදු කිරීම මීළඟට ඇයගේ කාර්යය විය. වැසිකිළි හතරක් පිරිසිදු කල පසු ඇය අසලට පැමිණි ලොකු සිස්ටර් අනුරාධාට පැවසුවේ කෙලවරේ ඇති වැසිකිළිය (එනම් පස්වෙනි වැසිකිළිය) පාවිච්චි නොකරන බවත් එම නිසා එය පිරිසිදු කිරිමට අවශ්‍ය නොමැති බවත්ය. එහෙත් සිස්ටර් පිටව ගිය පසු අනුරාධාගේ සිතෙහි ගැටලු රාශියක් මතුවන්නට වූයේ ඇය පැමිණි තැන සිට සිදුවූ දේවල් සහ සිදුවෙමින් පවතින දේවල් අතර යම්කිසි රහසක් ඇති බව ඇයගේ යටිසිත ඇයට මුමුණා කියද්දීය.කෙසේ වූවත් සෙමින් වටපිට බැලූ ඈ සිස්ටර් නොපෙනෙන්නට සිටි නිසා කෙලවරේ තිබූ වැසිකිළියේ දොර කෙතරම් විවුර්ත කරන්නට උත්සාහ කළද එම සියලු උත්සාහයන් ව්‍යර්ථ වූයේ දොරෙහි අගුල එතරම්ම මල බැඳි තදවී තිබූ නිසාය. අසල තිබූ කැඩුණු පුංචි ප්ලාස්ටික් බංකුවක් සොයාගත් ඇය එයට නැග වැසිකිළිය තුළ ඇයට පෙනෙන තරමට ඇගිලිතුඩු වලින් ඉස්සී බලන්නට වූ අතර ඇයට එය ඇතුළත පැහැදිලිව නොපෙනුණත් එතුළ හරහට දමා තිබූ යකඩ බාර් එකක් මත දිරාපත්ව ගිය කඹයක කොටසක් අදුරේ වුවද දැකගත හැකිවිය.

අනුරාධා……

ඇගේ නම ඇයට පිටුපසින් සිටි අයෙක් ඉතා උස් හඩින් කියද්දී ඇය තිගැස්සී පිටුපස බැලුවත් එහි කිසිවෙකු නොවීය. ඇය බංකුව ඉවතට විසි කර දමා හැකි වෙර යොදා මුලුතැන්ගෙය වෙත දිවගියේ නොසන්සුන් සිතෙනි. සවස දිව්‍ය පූජාවට සහභාගි වූ අනුරාධා කන්‍යාසොහොයුරියන් සමග කන්‍යාරාමයට පැමිණෙන අතරතුර පය ලිස්සා බිම වැටුනේ පාසල් වත්තේ ඔන්චිල්ලාව අසලය. එයින් ඇගේ කකුල පෙරලුනු අතර සියල්ලෝ ඇයට බැන වදිමින් ඇය වත්තන් කර කාමරයට ගෙන ගියත් අනුරාධා බියට පත්වූයේ ඇගේ සුදුපැහැ වේලයේ කොනක ලේ පැල්ලමක් දක්නට ලැබුණු බැවිනි. වැටුනද කකුල පෙරලීම හැර ඇයට කිසිදු තුවාලයක් සිදුනොවිණි ඇයට මෙය මහත් ප්‍රෙහෙලිකාවක් වූ අතර ඇය පඹගාලක දිනෙන් දින පැටලෙමින් සිටින බව පමණක් ඇයට වැටහිණ….

රාත්‍රි ආහාරය ගත්පසු නිදාගැනීමට ඇදට ආවත් පෙරදා මෙන්ම පාන්දර 1:00 වනතුරුත් ඇය නිදිවර්ජිතව සිදුවන දේ කල්පනා කරන්නට විය. කොට්ටය මුහුණට තද කරගත් ඇය විටෙක හඩා වැටෙන්නට වූයේ ඇගේ අවාසනාවන්ත ජීවිතය ගැන සිතමිනි. හඩමින් සිටි ඇයට නින්ද ගිය අතර ඇය සිහිනයක් දකින්නට විය. පස්වෙනි වැසිකිළිය දෙසට ඇවිද යන තරුණියක් එහි දොර හැර එතුලට ගොස් එහි තිබූ කොමඩ් එක මත හිදගත් අතර කඹයක් ගෙන යකඩ බාර් එකේ ගැට ගසා එය බෙල්ල වටේ ඔතාගත් ඇය වේගයෙන් බිත්තියට ඔලුව ගසමින් වියරු ලෙස හඩන්නට සහ සිනාසෙන්නට විය. අනුරාධාගේ තොලකට වියලී සිරුර දහඩියෙන් තෙත් වෙද්දී ඇය ඉද්ද ගැසුවාක් මෙන් නැගිට්ටේ සිදුවූයේ කුමක්ද යැයි සිතාගැනීමට නොහැකිවය. ඇය පිස්සුවෙන් මෙන් කලුවරේ අතපත ගාමින් ජපමාලය සොයන්නට විය. කෙතරම් සෙවූවද ජපමාලය ඇද මත නොවීය. ජපමාලය කලුවරට දිලිසෙන බැවින් එය කලුවරේ සොයා ගැනීම අපහසු නැත. ඇය කලුවරේම දනගසා ඇද යටද බැලීය නමුත් ජපමාලය නැත. ඇයගේ මුලු සිරුරම ගැහෙන්නට විය. බිත්ති ඔරලෝසුවේ තත්පර කටු ශබ්දය ඉතා වේගයෙන් ඇහෙන්නට වූයෙන් ඇය එදෙස බැලීය…

දෙවියනේ…….

හතරවෙනි කොටසින් මුණගැහෙමු…..

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.