Katha Ahura

කන්‍යාරාමය| 04 කොටස | හොල්මන් කතා |

5/5 - (1 vote)

කන්‍යාරාමය…..

සිව්වැනි දිගහැරුම…..

මේක කොහොමද මෙතෙන්ට ගියේ?????

ඇයට එය සිතන්නටවත් කාලයක් නොවීය. බිත්ති ඔරලෝසුව මත රැදී තිබූ ජපමාලය බිමට වැටුණි. ඈ එය අතට ගන්නවාත් සමගම කාමරයේ විදුලි බුබුල දැල්වූයේ ලොකු සිස්ටර්ය. ඇය දුටු ලොකු සිස්ටර්ගේද ඇස් උඩ ගියේ කෝපයෙන්ය..

මොකද තමුන් මේ පාන්දර ඔතෙන්ට වෙලා කරන්නෙ??

නෑ සිස්ටර් මේ මගෙ කොන්තෙ(ජපමාලය)

ඇයි කොන්තෙට මොනවා වෙලාද?

නෑ මේ මෙතන තිබ්බෙ…..

ඇයි කොන්තෙ දැන් ඇවිදින්නත් පටන් අරන්ද????

අදවත් ගිහින් උයනවා. අනිත් සිස්ටර්ලාට අදවත් ඉස්කෝලෙට කෑම ටික අරන් යන්න….

අනුරාධා භය බිරන්ත වී හිස සැලුවාය….

යතුරු රැගත් ඇය පිටත විදුලි බුබුල දල්වා කොරිඩෝරය දිගේ මුලුතැන්ගෙය දෙසට සෙමෙන් ඇවිද ආවේ සිදුවූ දෙය නැවත සිහිපත් කරමින්ය. දුටු සිහිනයෙන් ඇය තවමත් තැති ගෙන සිටියාය. අවට පරිසරයේද අද ඇයට වෙනදාට වඩා අමුත්තක් දැනුනු බැවින් ඇය ඉක්මන් අඩි තබා මුලුතැන්ගෙට ගොස් විදුලි බුබුල දල්වා දොර වසා දැමුවාය. පෙරදා රැයේ පෙගෙන්නට දමා තිබූ මුංඇට භාජනය රැගෙන එය සෝදා පිරිසිදු කර නැවත ගල් මේසය මත තැබුවාය. මහා හඩක් නගමින් මුංඇට භාජනය බිදී ගියේ මුංඇට දසත විසුරුවමින්ය. අනුරාධාට හැඩුම් ආවේ බියද කෝපයද සමගය. ඇය ජපමාලය ගෙන ශබ්ද නගා උච්චාරණය කරමින් වැඩ කරන්නට වූයේ සිතට දිරි ගනිමින්ය. ප්‍රථම වතාවට මුලුතැන්ගෙයි ශීතකරණය විවුර්ත කළ අනුරාධා දුටුවේ එය ආහාර වර්ග වලින් පිරී ඉතිරී ඇති ආකාරයයි. පිටත ලෝකයට පෙනෙන්නට දුක්බරිත ජීවිත ගතකරන ලෙස පෙන්වන මොවුන් ඇතුලාන්තයෙන් සැබවින්ම සුඛෝපභෝගී දිවියක් ගත කරයි. සිතද කලකිරී තම ආගම ගැනද තිබූ විශ්වාසය හීන වී ගිය ඇය ජපමාලය ඉවතට දමා “ඕන මගුලක් වෙච්චදෙන්” යැයි තමන්ටම කියාගමින් වැඩ කරන්නට වූවාය. එහෙත් ඉන්පසු ඊට වඩා යමක් සිදුනොවීය.

කෑම මේසයට වාඩි වන්නට අනුරාධාට අවසර නොවූ බැවින් කෙතරම් කුසගිනි වුවද ඇයට එය ඉවසා සිටින්නට වූයේ කන්‍යාසොහොයුරියන් ආහාර රැගෙන අවසන් වනතුරුය. බත් මුට්ටියේ බත් අඩි අල්ලා ඇත්නම් එයට වතුර දමා වතුර පෙරා හැර ඇයට ඒවා ආහාරයට ගන්නට සහ පුස් කෑ පාන්ද කන්නට සිදුවිය. සැබවින්ම ඇය කදුලු සමග බත් කෑවාය. ඉන්පසු ඇයට පැවරුණේ පාසල් භූමියේ සහ කන්‍යාරාමය පිටුපස වත්තේ දර එකතු කිරීමය. පැය ගණනක් වත්ත පිටුපස දර එකතු කල ඇය සමග තවත් කෙල්ලක් එක් වී දර එකතු කරන්නට වූ අතර ඔවුන් දෙදෙනා අතර කිසිදු කතාවක් සිදුනොවූයේ එකිනෙකා හා කතා කිරිමට ඔවුන්ට තහනම් වූ නිසාය.

එහෙනම් මම යනවා….. ඔයාට දර ඇති නේද???

අනුරාධා හිස ඔසවා බැලීය ඇය සිනාසෙමින් අනුරාධා දෙස බලාහිදී…

වටපිට බැලූ අනුරාධා හිස සැලුවේ ලොකු සිස්ටර් දකී යන බියෙන්ය….

ඔයා මෙහෙ ඉන්න කැමතිද??? ඇගෙන් තවත් පැනයකි….

අනුරාධා මෙවර ඇයට පිළිතුරු දුන්නේ “නෑ”යනුවෙනි…

“මමත් මෙහෙ හිටියෙ කැමැත්තෙන් නෙවෙයි”

හිටියෙ කිවුවෙ???

“ඉතින් මම දැන් මෙහෙ නෑනෙ”

ඇයි දැන් ඔයා ඉන්නෙ වෙන කොහෙහරිද???? අනුරාධා ඇගෙන් ඇසුවාය….

ඇය තාප්පය දෙසට ඇගිල්ල දිගු කරමින්… “අපි ඉන්නෙ අරක උඩ කීවාය”

අනුරාධා හැරී එදෙස බැලුවාය…..

කෝක උඩද?????

අනුරාධා නැවත හැරී ඇගෙන් ඇසුවේ එහි පෙනෙන්නට තිබුණේ ඝන කැලෑව පමණක් වූ නිසාය….

නමුත් ඇය එහි නොවීය….

අනුරාධා මුලුතැන්ගෙය වෙත කෙසේ ආවාදැයි ඇයවත් නොදනී….

කවුද ඇය????? කොහෙද ගියේ?????

ඇය වතුර බීගන බීගන ගියේ තිබහට වඩා බියටය…

අනුරාධා චිත්‍ර කලාවට බෙහෙවින් ආශා කළ අතර සවස් කාලයෙහි මද විවේකයක් ලද හෙයින් ඇය චිත්‍ර පොත හා පැන්සල රැගෙන ලොකු සිස්ටර්ගේ කාමරයට යාබද පොත් මේසය අසලින් හිදගත්තේ කෙතරම් නපුරු වූවද මේ අවස්ථාවේ ඇය හෝ එහි සිටින බැවිනි.එය අනුරාධාගේ සිතට මහත් අස්වැසිල්ලක් විය. ඇය මනමාලියකගෙ රුවක් සිතුවම් කරන්නට වූ අතර මද වේලාවකින් පැන්සල ඇගේ පාලනයකින් තොර වූවා මෙන් එහි ඇය සිතුවම් කර තිබුණේ ඇය දුටු සිහිනයයි… මොනවද මේ සිද්ධ වෙන්නෙ???? මේ හීනය?? අර වත්ත පහලට ආව ගෑනු ළමයා?? ඒ කවුද? අනික කොමඩ් එකක් උඩ ඉදගෙන කොහොමද බෙල්ලෙ වැල දාගත්තම මැරෙන්නෙ???? ඇයි ඒක පාවිච්චි නොකරන්නේ???? අනුරාධාගේ සිත ඇගෙන්ම ප්‍රශ්න කරන්නට විය…..

එහෙමත් නැත්තන් එයාව කවුරුහරි මරලද?????

“ඔව් ඔයා හිතුවා හරි” පිටුපස හැරී බැලූ ඇයට හීන් දාඩිය දැම්මාය…..

පස්වෙනි කොටසින් මුණගැහෙමු……..

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.