Katha Ahura

කලු නත්තල | කෙටි කතා

කතාව කොහොමද?

  #කළු_නත්තල
වියරු අදහස් ගැලපීම – අනූ ගජනායක
=======================================

” පුළුන් වගේ සුදු රැව්ල දිගයි…….ලස්සන මුහුණ හැඩයි කදිමයි…රබන් ගසයි ගෙජ්ජිද සොලවයි…!! මේ එන්නේ නත්තල් සීයයි….මේ එන්නේ නත්තල් සීයයි…!! ”
යාබද නිවසේ ජීවත් වූ කුඩා පිරිමි දරුවා ; ජේම්ස් ගී ගයමින් හිම වලින් බලකොටුවක් ගොඩනගමින් සිටියේය.
නත්තල් සීයාගේ සැබෑ කතාන්දරය ඔහුට ඉගැන්විය යුතු බව මම කල්පනා කලෙමි.ඔහු කියනා පරිදි නත්තල් සීයා රබන් ගසමින් පැමිණ ඇඳ අසල තෑගි තබා යන්නේ නැත.මම ඔහු දෙස උපහාසයෙන් බලා සිටියේ කුඩා කාලයේවත් ඒ ගැන මා විශ්වාස නොකල බැවිනි. මට නත්තල් තෑගි දුන්නේ මගේ ආදරණීය තාත්තා පමණි.

” ඔයාට සුබ සැන්දෑවක් වේවා…!! අපූරු කාලගුණයක් නේද ?! ” එතැනට පැමිණි ජේම්ස්ගේ මව ඔහුව ඔසවා ගනිමින් මට සුබ පැතුවාය. මම ඇයට හුදු සිනාවක් පෑවෙමි.

” දැන් නිදා ගන්න වෙලාව හරි ජේම්ස්….ඔයා ඇහැරිලා බව දැනගත්තොත් නත්තල් සීයා එන එකක් නැහැ…!!”
ඇය දරුවා රැගෙන ගෙතුලට ගියේ මේ පරිසරයේ මා තනිකරවමිනි.

      මින් පෙර මෙතරම් අපූරු කාලගුණයක් සහිත නත්තලක් උදා නොවූ බව මගේ මවත් නිරන්තරයෙන්ම පවසමින් සිටියාය.
එහෙත් මට එම කියමනේ මෙන් කාලගුණයේ අපූර්වත්වයක් පෙනුනේ නැත. මන්ද යත් තෙත් සහිත ශීතල කාළගුණයකට මම කිසිසේත්ම මනාප නොවූ බැවිනි.
සුපුරුදු පරිදි ඇද හැලෙන හිම විවිධාකාරයෙන් පොළව මතත් ,නග්න ගස් වල අතු මතත්,වහලවල් වල පියැසි මතත්,මෝටර් රථ මතත් තවත් රැඳිය හැකි සෑම තැනකමත් වැතිර සිටියේය. නමුත් වරින් වර හිම වළාකුළු අතරින් එබී බලන සූර්‍යයාගේ රශ්මිය උසුලා ගැනීමට නොහැකි වූ හිම කරදරකාරී චර චර හඬක් සමග දියවී ගියේය.

මට මේ නත්තලේ ප්‍රීතියක් තිබුනේ නැත.

හිරිකිත සහ ඇලෙනසුළු මෙම ධවලමය පරිසරයකට පැමිණීමට පෙර මා ජීවත් වූවේ පයින් දැව වල සුවඳින් පිරුණ සුළඟ හමන , කොළ පැහැති වනාන්තර තිබුන උණුසුම් ගම්මානයකය. එහි නත්තල නම් ඉතාම ප්‍රීතිමත් සහ අර්ථවත් විය.
වසර පහලවක් තිස්සේ තනිවම මා රැකබලාගත් ආදරණීය පියාගේ හදිසි වියෝව නිසා මට මා දමා වෙනතක ගිය අම්මාව සොයා පැමිණෙන්නට සිදු වීම දෛවයේ සරදමක් විය. කම්හල්කරුවෙකු වූ මගේ පියාගේ හිස මතට බරැති යකඩ ගුලියක් පතිත වීම අතිශය අවාසනාවන්ත ලෙස මගේ ජීවිතය වෙනස් කලේය. වසරකට ආසන්න කාලයක් මෙහි ජීවත් වූ මා මේ හිම සහිත කාලගුණයක ගෙවන පළමු නත්තලයි.

” රේචල්….ඔය සීතලේ ඉඳගෙන ඉන්නෙ නැතුව එන්න… අද සරු කෑම මේසයක් තියනවා…ඔයා දන්නවනෙ…”
අම්මාගේ හඬ කාරුණික වූ අතර ඇය නිසි වචන භාවිතයෙන් තොරවම සමාව අයදින්නට උත්සාහ කරන ආකාරයක් ඇගේ ස්වරයේ විය.ඇගෙන් මට බොහෝ ආදර සැලකුම් ලැබුනි. එහෙත් මා ඇයට ආදරය කරනවාද ,නැතිනම් වෛර කරනවාද යන්න මට පැහැදිලි කිරීමට හැකි වූවේ නැත.මම ඈ පිළිබඳව යම් උදාසීනත්වයකින් සිටියා පමණකි. මට අම්මා යන චරිතය ඇවැසි වූවේ නැතුවාක් මෙනි.  මගෙන් ප්‍රතිචාරයක් නොලද නිසා ඇය ආපසු නිවස තුලට ගමන් කලාය.

හදිසියේම මගේ අවධානය යොමු වූවේ කොහෙන්දෝ ඇසෙන ගෙජ්ජි සෙලවෙන හඬකටය. එහෙත් එය ක්ෂණයෙන් ඇසී ක්ෂණයෙන් නෑසී ගියේය.
හදිසියේම ඇතිවූ  ශීතල නිසා මම ගැහෙන්නට වූවෙමි. ගෙවත්තේ සකසා තිබූ හිම මිනිසා මත අලුත් හිම ගොඩගැසී තිබූ අතර හදිසියේම මා තිගස්සවමින් හිම පිළිමය බිමට කඩා වැටුනි.

” අලුත් හිම වල බරට නිසා වෙන්න ඇති….!! ” උන් තැනින් නැගිට ඒ අසලට ගොස් හිමගොඩැල්ලට පයින් ගසමින් මම සිතුවෙමි.
අන්ධකාරය හතර අතින් ගලා විත් පරිසරය වෙලා ගනිද්දී මා දුටුවේ නිවසට ඉදිරිපිට මාර්ගයේ වූ ෆර් ගසකට මුවා වෙන්නට උත්සාහ කරන අඳුරු රුවකි. හදිසියේම නිවස සරසා තිබූ විසිතුරු විදුලි බුබුළු වැල් දැල්වෙන්නට වූ නිසා මට එම ආගන්තුගයාගේ අඳුරු රුව පැහැදිලි විය.

ඒ අඩි හයක් පමණ උස,එයටම ගැලපෙන තරම් මහත පිරිමියෙක් විය.විශාල ශීතකබායක් පැළඳ සිටි නිසා ඈතට ඔහුව දිස් වූවේ ගල් පර්වතයක් මෙනි. ඔහු මා දෙස එක එල්ලයේම බලා සිටි අතර මගේ සිතට සිහින් භීතියක් කාන්දු විය. මම හනි හනික නිවස තුලට ඇවිද යන්නට උත්සාහ කලෙමි. එක්වරම මගේ දකුණු පයේ යමක් පැටළුන අතර දරුණු ලෙස බිම ඇද වැටුනේ නළල බිම තිබූ ගලක හැපෙද්දීය.

” ආහ්………!! ”
ඇස් නිලංකාර වීගෙන යද්දී මට ඉබේටම කෑ ගැසුන අතර ලේ බිඳු කිහිපයක් හිම මතට වැටුනි.
බර අඩි නිසා හිම පොඩි වන හඬක් මා අසලින් ඇසුන අතර කිසිවෙකු මගේ උරහිස් වලින් අල්ලා ගත්තේය.

” ඒයි කෙල්ලේ……තමුසෙ හොඳින්ද ?! ” ඒ ගොරෝසු හඬ ඩැරන් ගේ විය.

” දෙවියනේ මේ මොකද උනේ ?! ” මා අසලට දිව ආ අම්මා කෑ ගසන්නට වූවාය.

” මම හොඳින්…මම හොඳින්…!” නැගීසිටින්නට උත්සාහ කරමින් මම පැවසුවෙමි. මගේ පය පැටලී තිබුනේ හිම මිනිසාගේ කම්බි සැකිල්ලේ කොටසකටය.

“බයවෙන්න එපා රෙබෙකා,ඒක සීරීමක් විතරයි…! ” ඩැරන් පැවසුවේ මගේ තුවාලය පරික්ෂා කරමිනි. ඔහුගේ බුල්ටෙරියර් බල්ලෙකුගේ වැනි මුහුණේ තිබුනේ කරදරකාරී බැල්මකි. “…ප්ලාස්ටර් එකක් දාමු !! ”

” දෙවියන්ගෙ නාමෙට දැන්වත් ඇතුලට යමු !! මම කිව්වා ඔය ළමයට ඇතුලට එන්න කියල ! ” අම්මා කියවන්නට වූ අතර මම නිවස දෙසට ඇවිද යන්නට වූවෙමි.
කුමක් හෝ බරැති පෙට්ටියක් අතට ගත් ඩැරන් සහ අම්මා කතාබහ කරමින් මා පසුපසින් ඇවිද ආහ.
දොර පඩිය මත සිටගත් මම යළිත් මාර්ගය දෙස බැලූ අතර තවමත් ඒ අද්භූත රුව එතැනින් අතුරුදන් වී තිබුනි.

ඩැරන් අම්මාගේ පෙම්වතාය. ඔහු මට එතරම් මනාපයක් දැක්වූවේ නැත.මම අම්මාගේ නිවසේ ජීවත් වීම ගැනත්,මා නිසා ඔවුන්ගේ විවාහය ප්‍රමාද වූ බවත් පවසමින් මැසිවිලි නැගුවේය. අප දෙදෙනාගේ සම්බන්ධය එතරම් යහපත් තැනක තිබුනේ නැත.අම්මා නිතරම එය යථා තත්වයට පත් කිරීමට උත්සාහ කලත් ඒවා අසාර්ථක ව්‍යායාමයන් විය.

නිවස තුලට පැමිණි පසු  ඩැරන්ගේ විශාල හිම කබායේ වූ ෆර් අතු කැබලි සහ බුමුතුරුණ මතට හැලුන සපත්තුවේ ඇලී තිබූ හිම ගොඩටත් මගේ අවධානය යොමු විය. මම ඔහු දෙස සැක සහිතව බැල්මක් හෙලුවේ ෆර් ගස පසුපස රැඳී සිටියේ ඩැරන්දැයි සිතමිනි. අම්මා මගේ තුවාලයට බෙහෙත් දමද්දී ඩැරන් මා දෙස අප්‍රසන්න ලෙස බලා සිටියේය.

” මම රේචල්ට තෑග්ගක් ගෙනාවා….! ” ඔහු අකාරුණික ලෙස මා වෙත වීසි කලේය. එය රළුව එතූ එබෙනසුළු කුඩා පාර්සලයක් විය.

” ඔහ්…ඩැරන් ඔයා හරිම කරුණාවන්තයි…!! එයාට ස්තූති කරන්නෙ නැද්ද රේචල්….! ”
අම්මා ඕනෑවටත් වඩා ඩැරන්ව අගය කලාය.

” ස්තූතියි !! ” මමත් ඕනෑවට එපාවට මෙන් ඔහුට ස්‍තූති කලේ අකාරුණික ලෙසිනි.

කෙසේ වුවත් නිවස තුල උණුසුම් පරිසරයක් විය. මා විසින් හැඩකල නත්තල් ගස විදුලි එළියෙන් දිලෙමින් තිබූ අතර ඒ අසලම බිම අම්මා විසින් තෑගි පෙට්ටි කිහිපයක් තබා තිබුනි. පට පට හඬ නංවමින් ගිණිඋඳුන දැල්වුන අතර ඒ අසලම රතු පැහැති විශාල මේස් කිහිපයක් එල්ලා තිබුනි. ඒ සම්ප්‍රදාය රැකීමට මිසක් නත්තල් සීයා පැමිණ ඒවාට තෑගි දමා යන කතාව අවුරුදු දා හතක් වූ මා තව දුරටත් විශ්වාස නොකල බැවිනි.
අම්මා සරු ලෙස හැඳින් වූ කෑම මේසය මත වූ විශේශ දෑ වූවේ රෝස්ට් කල කළුකුමෙක්,ඉතිරි වූ නත්තල් කේක් ගෙඩියක් ,අර්තාපල් පැස්තෑල සහ සැර අඩු බාල වයින් බෝතලයකි. 

මම කිසියම් අද්භූත ගුප්ත හැඟීමකින් පෙලෙමින් සිටි අතර කෑම ගනිද්දී අතේ වූ හැන්ද වෙව්ලීමකින් තොරව අල්ලා ගැනීමට වෙහෙසක් දරන්නට සිදු විය .මම විටින් විට ජනේලය තුලින් පෙනෙන එළිමහන දෙස බලා සිටියේ යමක් බලාපොරොත්තුවෙනි. ඩැරන් මා පිළිබඳව කතා කිරීමට ඇවැසි බව පැවසූ අතර ඒ සුපුරුදු අඳෝනාවම බව වටහාගත් මම ඒ ගැන උනන්දු නොවූවෙමි.
කිසියම් හෝ හේතුවක් නිසා මම මේ නිවසින් පිටව යාම ඔහුගේ එකම බලාපොරොත්තුව විය.

ඔහුට සවන් දෙමින් සිටියදී මට යළිත් ගෙජ්ජි සෙලවෙන සියුම් හඬ ඇසුනේ මගේ දෙසවන් කොණක ඒ හඬ සැඟවී ඇත්තාක් මෙනි. මම එයට අවධානය යොමු කරමින් ජනේලය දෙස බැලුවෙමි.

හදිසි ගැස්මකින් මා පීඩාවට පත් වූ අතර ජනේලය අසල සිටගෙන සිටි කිසිවෙකු ඉන් මෑත් වූවේය.

” ජනේලෙ ළඟ කවුද ඉන්නවා……!! ” මම කෑ ගැසුවේ කෑම මේසයෙන් නැගිට දොර වෙතට දිව යමිනි.
” ඉක්මන් කරන්න අම්මේ…..කවුද හැංගිලා ඉන්නවා….!! ”  ඒ ෆර් ගස් අසල සිටි ආගන්තුගයා විය යුතු බවට මම සැක කලෙමි.

කලබල වූ අම්මා දොර විවර කර විදුලි බුබුලක් දැල් වූවත් එතැන කිසිවෙකු සිටියේ නැත. මම ජනේලය අසලට ගොස් එතැන නිරික්ෂණය කලත් සපත්තු වලින් හැලුන හිම කුඩු ස්වල්පයක්වත් එතැන තිබුනේ නැත. එළිමහනේ වූවේ දරුණු ශීතලක් වූ අතර හිම වැටෙන්නට පටන්ගෙන තිබුනි.

” ඩැරන් ඉක්මනට එන්නකෝ…..!! මට බයයි….!! ”  අම්මා කෑ ගසද්දී ඩැරන් පිටතට පැමිණියේ කෝපයෙන් බැණ වදිමිනි.

“…මේ කෙල්ලට මගේ කතාව අහගෙන ඉන්න බැරි නිසා තමයි බොරුවක් ගොතලා එළියට දුවගෙන ආවෙ !! ” ඔහු චෝදනා කලේය.

” ඒත් මෙතන කවුද කෙනෙක් හිටියා…මම ඇස් දෙකටම දැක්කා…..! ” මම පැවසුවේ මිදුලට බසිමිනි.

” කෝ අඩිපාරක්වත් නෑනෙ……උඩින් පාත් උන මිනිහෙක්ද මෙතන හිටියෙ !! ” ඩැරන් කඩා පැන්නේය.

” අද හවසත් කවුද අතන ෆර් ගස් වැටියෙ හැංගිලා හිටියා……!! ”

“ඔහ්…….ඔහේ කියන බොරු….ඔයාට පේනවද රෙබෙකා මේ කෙල්ල කොයිතරම් නරකද කියලා?! ”

” කවුද දන්නෙ ඩැරන්….මෙතන එහෙම කෙනෙක් හිටියද දන්නෙ නෑනෙ….!! ” අම්මා මා ගලවාගැනීමට වෑයම් කලාය.

” …හරි ඒ කතාව නවත්තලා දැන් ඇතුලට යමු !! ”

” බොරු කියනවට හොද දඬුවමක් දෙන්න ඕන…..තමුන් කැමතිද ඈත ටවුමක වැඩට යන්න ?! ” ඩැරන් ඇසුවේ මට තර්ජනය කරමිනි.
“…තමුන්ගෙ මහලොකු තාත්තා උගන්වලා ගියේ බොරු කියන්න විතරද ?! ”

” මේ අහනව ඩැරන්….එතන කවුද හිටගෙන හිටියා….මහත මනුස්සයෙක්….මම ඇත්ත කියන්නෙ…..!! ” මා මුරණ්ඩු ලෙස කෑ ගසද්දී ඩැරන් මට පහර දීමට සූදානමින් ඉදිරියට පැන්නේය. එහෙත් අම්මා ඩැරන්ව අල්ලාගත්තාය.

” ඕක නවත්තගන්න…..!! රේචල්, උඩට ගිහින් නිදා ගන්න…!! ”

ඩැරන් මා දෙසට හෙලාගෙන සිටියේ දවා හළු කරන ආකාරයේ බැල්මකි.

කාමරයට ගිය මම හඬ නැගෙන සේ දොර වසා ගතිමි. මගේ කබාය තුල වූ ඩැරන්ගේ තෑගි පාර්සලය අතට ගත් මම කෝපයෙන් එය පොළවේ ගැසුවෙමි. දැවටුම ඉරී ඒ තුල වූ පරණ මේස් යුවල බිමට වීසි විය.

” ඇඳපු මේස් ජෝඩුවක් !! ” නත්තලට කෙනෙක්ට හිමිවිය ‍හැකි ජරාම ත්‍යාගය පැරණි මේස් යුවළක් විය. එයින් පෙනෙන්නේ ත්‍යාගය ලබා දෙන්නාගේ සිතේ පවතින පිළිකුළයි.
ඇඳට වැටුන මම හඬන්නට වූවෙමි.

පහතමාලයේ අම්මා සහ ඩැරන් බහින්බස් වන හඬ ඇසුන අතර එයට හේතුව නිසැකවම මා විය යුතුයි. හදිසියේම මට ඇසුනේ ඩැරන් අම්මාට පහර දෙන හඬයි !! කෝපයට පත් වූ මම ඇඳේ කෙළින් වී හිඳ ගතිමි.
එහෙත් පහතමලයට හොස් රණ්ඩුවට මැදිහත්වීමට හෝ ඩැරන්ගෙන් අම්මා ගලවාගැනීමට මට හැකියාවක් හෝ ධෛර්‍යයක් නොවීය.ඇතැම් විට එසේ වුවහොත් අම්මාට ඇතිවන වේදනාවන් දෙගුණ තෙගුණ වනු ඇත.

” හැමදාම අම්මා ගුටිකන හැටි මම අහගෙන ඉන්නවා…. මේකනම් නපුරු හීනයක් !! තාත්තා කොයිතරම් හොඳද ?! අම්මා මොකටද එයාගෙන් වෙන් උනේ ?! ”

ඩැරන් කුමන පාපයකට මගේ මවට හමුවූවාදැයි මම කල්පනා කලෙමි. ඔහු අම්මාත්,මාත් අතරට නොපැමිණියා නම් ඇතැම් විට අප දෙදෙනා මීට වඩා සමීපව ජීවත් වනු ඇත. ඩැරන් මට වෛර කලේය. මමත් ඔහුට වෛර කලෙමි.

මද වේලාවකින් පහත මාලය නිහඬ වූ අතර අම්මාගේ ඉකිබිඳුම පමණක් මට ඇසුනි. ඇඳෙන් වැතිරගත් මම මන්දාලෝකයෙන් පෙනෙන දොර දෙස බලා සිටියේ කිසිවෙකු බලාපොරොත්තුවෙනි.

මට පමණක් දෘෂ්‍යමාන වන අඳුරු අමුත්තා ඒ තුලින් මතුවනු ඇතැයි මම සිතුවෙමි.

#කළු_නත්තල – අවසන් කොටස (2)
1 කොටසට?
https://m.facebook.com/groups/349001202263956?view=permalink&id=755022624995143

====
කාලය මදින් මද ගෙවී යන්නට වූ අතර මම නින්දත් නොනින්දත් අතර දෝලනය වෙමින් සිටියෙමි.
” ඒක කරන්න බෑ……පලයන් යන්න මගේ දෑහට නොපෙනී…..!! ” හදිසියේම අම්මා හැඬුම් අතරින් කෑ ගැසූයෙන් මම තිගැස්සී දෙනෙත් හැරියෙමි.
ඊළඟ මොහොතේ වේගයෙන් දොර වැසෙන හඬ ඇසුනි. ඩැරන් මහ රෑම නිවසෙන් පිටවන්නට ඇතුවා නිසැකය.

නින්දක් මගේ අසලකවත් නොවීය. පා අද්දමින් මගේ කාමරය අසලට පැමිණි අම්මා දොරට තට්ටු කලාය.

” රේචල් ඔයා නිදිද ?! ”

” ඇතුලට එන්න අම්මේ !! ” මම පැවසුවේ සිහින් හඬිනි. ඇය ඇතුලට පැමිණියේ විදුලි බුබුල දල්වමිනි. ඇගේ මුහුණ ඉදමී තිබූ අතර ඇස ළඟ දම්පැහැ වී තිබුනි.

” ඔයාට දැන්වත් තේරෙනවද ඩැරන් ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා ?! ” මම ඇසුවේ ඇඳෙන් හිඳ ගනිමිනි. “…එයා ඔයාව විනාස කරනවා !! ”

” ශ්ශ්…….!! ” අම්මා අතින් මගේ මුව වැසුවාය.

” කෑ ගහන්න එපා රේචල් , ඔයා දැන්ම.මෙහෙන් යන්න ඕන !! ” ඇගේ හඬ වෙව්ලන සුළුය.

” මේ රෑම ?! අනික මම කොහේ කියල යන්නද ?! ”
වික්ෂිප්ත වෙමින් මම විමසුවෙමි.

” ඔයා කොහේ හරි යන්න ඕනෙ ?! ”

මගේ මව උමතු වී ඇති බව මට මොහොතකට සිතුනි.මම අම්මාගේ උරහිස් වලින් අල්ලා ගතිමි.
” එහෙනම් ඔයත් එන්න…..අපි දෙන්නම පැනල යමු….!! මම දන්නව ඩැරන් කරන්න යන දේ…! එයා හදන්නෙ ඔයාව බය කරලා ඔයාගෙ සල්ලි ගන්න ?! එහෙම නේද ?! ”

එහෙත් අම්මා හිස සොලවමින් නැගී සිටියාය.
” ඔයා හෙට මෙහෙන් යනවා….ඔව්…ලෑස්ති වෙලා ඉන්න ඒ නිසා…! ” අම්මා විනිසුරුවරයෙකුගේ ස්වරයෙන් පැවසූවාය.

” අම්මා……!! ” මම හැඬුම්බර ලෙස පැවසුවේ කිසිඳු අදහසක් නොමැතිවය.ඇගේ ඉරියව් භීතියෙන් පිරී තිබුනි.
” ඔයාලා මොනවද මගෙන් හංගන්නෙ ?! ”

“මොකුත් නෑ…..! ”
හදිසියේම ඇය ඉතා ප්‍රීතියෙන් කතා කලාය.

” මම හිතන්නෙ අද ඒ තරම් අවාසනාවන්ත දවසක් නොවේවි….! ඔයා දන්නවනෙ…අද නත්තල් සීයා එනවා…..මතකද රේචල් අර පරණ සිංදුවේ තේරුම….?! ”

” මට කිසිම දෙයක් මතක නෑ…..අනික මම නත්තල් සීයා තෑගි තියන කතාව කවදාවත් විශ්වාස කලෙත් නෑ….! ඩැරන් ගැන නෙමෙයිද අපි දැන් කතා කරන්න ඕන ?! ”
මම උස් හඬින් අම්මාට බාධා කලෙමි.
“…මේක පටලැවිල්ලක් නෙමෙයිද ?! ”

” ආ….මෙන්න ගන්න මගේ තෑග්ග…! ” අම්මා මගේ ඇඳ මතට විසි කලේ කුඩා හතරැස් පෙට්ටියකි. එය ඇඳ ඇතිරිලි තුල ඇසිල්ලකින් සැඟව ගියේය.

” මොනවද ඔයා කරන්නෙ ?! යකෙක් වැහිලද ?! ” මම කෑ ගැසුවේ මේ විකාර දරාගැනීමට නොහැකි විටය.

” නිදාගන්න පැටියෝ….ඔයා ඇහැරිලා කියල දැනගත්තොත් නත්තල් සීයා එන්නෙ නැති වෙයි…!! ”

” ඔයාට පිස්සු !! ”
අම්මා කාමරයෙන් පිටව යද්දී මම කෑ ගැසුවෙමි.
” මම කොහෙවත් යන්නෙ නෑ…..ඇහුනද ?! මම කොහෙවත් යන්නෙ නෑ !! ”

එහෙත් හදිසියේම මම මුව වසා ගත්තේ ගෙජ්ජි සෙලවෙන හඬ ඇසීමෙනි.
– රබන් ගසයි ගෙජ්ජිද සොලවයි…. – ඉබේටම මම මුමුණන්නට වූවෙමි.

කාමරයේ දොර මදක් විවරව තිබූ අතර කොරිඩෝව ආලෝකයෙන් පිරී තිබුනි. මට දොරට පිටුපා සිටින අම්මාව පැහැදිලිවම දිස් විය.

හදිසියේම ගෙජ්ජි හඬ පරදා අම්මා මහ හඬින් සිනා සෙන්නට වූවේ මා තිගස්සවමිනි. ඇය මගේ දර්ශන පතයෙන් ඉවත්ව ගිය අතර මොහොතකට නිහඬතාවයක් පැතිර ගියත්,ඊළඟ මිනිත්තුවේ මට ඇසුනේ කිසියම් බරැති දෙයක් ලීප් පඩිපෙල පහලට පෙරළී යන ආකාරයයි.

ගල් ගැසුනාක් මෙන් මම සවන් දීගෙන සිටියෙමි. කිසිඳු හැලහොල්මනක් නොමැත. මම ඇඳෙන් බැස වේගයෙන් කොරිඩෝවට දිව ගියේ ඒ ගැන විමසා බැලීමටය.
පඩිපෙල මුදුන් පඩියේ ලේ තැවරී තිබුන අතර පහල බලද්දී මට කෑ ගැසුනි.
” අම්මේ…….!! ”
ඇය පඩිපෙල පාමුල උඩුබැලි අතට වැතිර සිටියාය. දෙනෙත් විශ්මයෙන් විසල්ව දිදුලමින් තිබූ අතර හිස යටින් ලේ ගංගාවක් ගලා එමින් තිනුනි. මදක්වත් නොසෙල්වුන ඇය මියගොස් සිටින බව පැහැදිලි කිරීමට මට අමුතු සාක්ෂි ඇවැසි නොවීය.

මගේ අම්මාත් මිය ගොස් ය. මගේ අම්මා මිය ගොස් මගේ ඇස් මානයේ වැතිර සිටී !!

අම්මා !! මගේ දෙනෙත් වල පිරුණ කඳුළු කම්මුල් තෙමාගෙන පහලට ගලා ගියේය.

” ක්ලැන්ග් ක්ලැන්ග්….ටිලිං ටිලිං……හොහ්…හොහ්……හෝ…….!! ”

මගේ පසුපසින් මහත මිනිසෙක් සිටගෙන සිටින ආකාරය මට දැනේ.

” හොහ්….හොහ්…හෝ….!! ” ඔහු මගේ දෙසවන් අසලට පැමිණ කෙඳිරිවේය.

මම හෙමින් හිස හැරවූවෙමි.

ෆර් අතු තැවරුන රතු කබාය ඇඳගත් , සුදු රැවුලක් ඇති ඔහු මා අසල විය.

“ස්….සැන්….ටා…..!! ” මම කෙඳිරුවේ සියොලඟම භීතියෙන් සලිත වෙද්දීය. ගී වල කියවෙන පරිදි ඔහු හැඩ නැත. කරුණාවන්ත පෙනුමක් නැත.
ඔහුගේ මුහුණ…….දෙනෙත්….විවර වූ මුග්‍ර මුව….
” ම්….මට…..! ”

“හරිම නරකයි…..නරක ළමයිට මම තෑගි දෙන්නෙ නෑ……!! ” ඔහුගේ කර මත වූ ලේ බේරෙන තෑගි මල්ලෙන් මට තෑගි ඇවැසි වූවේ නැත.
ඔහු පියවරක් ඉදිරියට එද්දී මම පියවරක් පසුපසට තැබුවෙමි.
ඇසිල්ලකින් මා ද පඩිපෙල පහලට ඇද වැටෙන්නට විය.!!

” අම්මාහ්හ්හ්හ්……….!! ” මම යටිගිරියෙන් කෑ ගසමින් දෙනෙත් විවර කලෙමි.

සියොළඟම දහදියෙන් පෙඟී වෙව්ලමින් තිබූ අතර ඇඳෙන් බිම ඇද වැටුන නිසාදෝ මගේ කොන්ද සහ අතපය තදින් රිදුම් දුන්නේය.

” රේචල්…..ඔයා හොඳින්ද ?! ” අම්මා කාමරයට කඩා වැදුනේ සියල්ල සිහිනයක් බව මට පසක් කරමිනි.

” ඔව් අම්මා….ඒත් මම හීනෙන් බය උනා…!!”
අම්මා මට නැගී සිටින්නට උපකාර කලාය.ඇගේ මුහුණ පහර කෑම නිසා ඉදමී තිබෙන ආකාරය මට පෙනුනි.

” ඩැරන් කොහෙද ?! එයා එළියට ගියාද ?! ” මට ඇවැසි වූවේ තවත් සිහිනය තහවුරු කරගැනීමටය.

” එයා ගෙදරින් ගියා රේචල්…. හෙට ඔයා මෙහෙන් යන්න ඕන…!! ”
මම විශ්මයෙන් ඈ දෙස බලා සිටියා මිස වදනක්වත් නොපැවසූවෙමි.

” …දැන් නිදා ගන්න…! ඔයා නිදි කියලා දැනගත්තොත් නත්තල් සීයා ඒවි….! ”

” මොකක් ?! ”

අම්මා දොර නොවසාම පිටව ගියාය.
එකාරම කොරිඩෝරයේ විදුලි බුබුළු නිවී ගියේය.

“දඩස්…” හඬින් යළිත් යමක් පෙරළී ගියේය. මම ආපසු එදෙසට දිව ගියෙමි. එය සිහිනයක් නොවේ !

මගේ ම බිම වැතිරගත්වනම මිය ගොස් සිටියාය. ඇගේ හැලහොල්මනක් නොවීය. හදිසියේම කිසිවෙකු ඇගේ දෙපයින් අල්ලා ඇදගෙන යන්න්ට වූ අතර ලේ පහර බිම දිගේ ඇදී ගියේය. අසල වූ මල් පෝච්චිය අතට ගත් මම බියෙන් ගැහෙමින් පහත මාලයට දිව ගියෙමි. අම්මාගේ හිසෙන් ගලා ආ ලේ දහර ඔස්සේ මම ඇවිද ගියෙමි.
අඳුරෙන් පිරුන ගබඩා කාමරයට ඇදගත් ඇගේ සිරුර අතුරු දන් විය. ඉදිරියට පිනූ මම සැනින් ගබඩාවේ දොර වසා දැමුවේ කම්පනයෙන් කෑ ගසමිනි.

යක්ෂ සැන්ටා දැන් ඒ තුල සිර වී ඇත !!

එක්වරම මුළුතැන්ගෙයි දොර විවර වූ අතර ඒ තුලින් ඇතුලට පැමිණෙන අඩි හඬක් ඇසුනි.

” ඩැරන්……ඩැරන්….!! ” මම කෑ ගසමින් එදෙසට දිව ගියේ ඔහුගෙන් උදව්වක් බලාපොරොත්තුවෙනි.
ඔහු හිමෙන් වැසී සිටි අතර මුහුණ දම්පැහැ ගෙන තිබුනි.
” ඩැරන් කරුණාකරලා උදව් වෙන්න….රාක්ෂයෙක් ඇවිත් අම්මව මැරුවා !! ”

” බොරු කියන්න එපා රේචල්……!! මමනෙ මේකෙ ඉන්න එකම රාක්ෂයා…”

” නෑ නෑ ඩැරන්…..මාව විශ්වාස කරන්න….මම ඌව ගබඩා කාමරේ හිර කලා….!! ”
මම කෑ ගැසුවේ ඩැරන්ගේ කබායෙන් අදිමිනි. ඔහු වෙර යොදා මා තල්ලුකල අතර විසි වූ මම මේසයක හැපී බිම ඇද වැටුනෙමි.

” ගිහින් එන්න කියපන් උබේ අම්මට ?! ” ඔහු මගේ හිසකෙස් වලින් අල්ලා සෙලවූවේය. මා ගැලවිය යුත්තේ එක්වරක් දුටු අමනුශ්‍යයාගෙන්ද නැතිනම් ඩැරන්ගෙන්දැයි මට සිතාගැනීමට නොහැකි විය.

” එයා ගබඩා කාමරේ…….අර…!! ”
මා අතහැර දැමූ ඩැරන් ඒ දෙසට ගමන් කලේය. ඔහු ගබඩාවේ දොර විවර කරද්දී මම භීතියෙන් පසුපසට වූවෙමි. ඔහු කාමරයේ විදුලි පහන දැල් වුවේය.

” කෝ…….මොකෙක්වත් නෑනෙ ?! ”
හාත්පසම ඇවිද විපරම් කරමින් ඩැරන් කෑ ගසද්දී මම ඔහුට පිටුපසින් සිට ඒ දෙස බලා සිටියෙමි. මගේ පයට තෙතැති යමක් පෑගුන අතර ඒ ලේ පහරක් බව දුටු මම එතැනින් ඉවතට පැන්නෙමි.
කබඩයක් ‍යටින් ගලා ආ ලේ විලක් මෙන් මගේ අඩි සටහනට එකතු විය.

” දෙවියනේ මේ මොකක්ද වෙන්නෙ ?! ”

” රේචල්…….මෙහෙ වරෙන්….මම අද උබට හොද පාඩමක් උගන්වනවා…!! ”
ඩැරන්ගේ හඬ ඇසෙද්දී ගබඩාවෙන් පිටතට දිවගිය මම වේගයෙන් පඩිපෙල නගින්නට වූවෙමි.

” මොන මගුලෙක්ද මේ ?! ” ඩැරන් මහ හඬින් කෑ ගසන හඬ ඇසෙද්දී මම මගේ කාමරයට ඇතුලු වී දොර වසා ගැනීමට උත්සාහ කලෙමි.

” හොහ්….හොහ්…..හෝ…….!! ” ගෙරවිලි සහිත සිනහව යළිත් පහත මාලයෙන් ඇසෙද්දී මම මගේ ඇඳුම් පිරවූ කබඩයට වැදී දොර වසා ගතිමි. එහි වූ ලී පතුරු තුලින් මම පිටත බලා සිටියෙමි.

එක්වරම අකුණක් කෙටුවාක් මෙන් ආලෝකයක් දැල්වී නිවී ගියේ මගේ දොර අසල සිටගෙන සිටින යෝධ රුව පැහැදිලි කරවමිනි. භීතිය සමග මට ක්ලාන්ත ගතියක් දැනෙන්නට විය. මේ මළ යක්ෂයා ඩැරන්වත් මරා දැමුවාද ?! නැතිනම් මම තවමත් සිහිනයක් දකිනවා ද ?!

නත්තල් සීයා මෙන් සැරසුන අමනුෂ්‍යයා ඉව කරන්නාක් මෙන් හුස්ම ඉහලට අදිමින් මා සොයන්නට වූවේය. ඔහු පා අද්ද්මින් ඒ මේ අත ඇවිදිනවිට කරේ වූ තෑගි මල්ලෙන් වැගිරෙන ලේ ඔහුගේ ගමන් මග පාට කරන්නට විය. මල්ලෙන් පිටතට පැන තිබුනේ කුඩා දරුවෙකුගේ හිසකි. ඒ අසල්වැසි නිවසේ කුඩා ජේම්ස් බව දුටු මගේ හිස බමන්නට විය. අම්මාගේ සහ ඩැරන්ගේ සිරුරුත් ඔහුගේ බෑගයේද ?!

” හොහ් හොහ් හෝ……..
ක්ලැන්ග් ක්ලැන්ග්…….ක්ලැන්ග්…..!! ”

මම හැකිතරම් හුස්ම නොගෙන මුව අතින් වසාගෙන කබඩයේ මුල්ලටම වී සැඟවෙන්නට උත්සාහ කලෙමි.

” නරක කෙල්ල…..තෑගි එපාද ?! ” ඔහු ගිගිරුවේය.
එක්වරම සැන්ටා කබඩය තුලට එබී බැලුවේ මා මරණාසන්න තත්වයට පත් කරවමිනි.

ඔහුගේ දෑත් වළසෙකුගේ මෙන් දරුණු නියවලින් යුතු විය. ඒවායින් අල්ලා ලී පතුරු ගලවන්නට උත්සාහ කලේය.

” ඒයි රේචල් !! ” මගේ නම කියමින් කෑ ගසමින් කාමරයට කඩා පැන්නේ ඩැරන් ය. රාක්ෂ සැන්ටා එසැනින් අතුරුදන් වූවේය. ඩැරන් සිටින්නේ අධික කෝපයකින් බව වටහාගැනීමට සාක්ෂි ඇවැසි වූවේ නැත.

ඔහුගේ අතේ වූයේ පිස්තෝලයකි. එහි ආරක්ෂිත අගුල පන්නන හඬ මගේ දෙසවන් හිරිවැට්ටුවේය.

” මැරිල පලයන් කපටි කෙල්ල….උබයි,උබේ අම්මයි දෙන්නම එකයි….මාව රැවැට්ටුවා…එකෙක්වත් ඇත්ත කිව්වෙ නෑ….!! ”
යටිගිරියෙන් කෑ ගැසූ ඩැරන් මගේ ඇඳට එක දිගට වෙඩි තබන්නට වූවේය.
මෙට්ටය පුපුරා ගොස් ඒ තුල වූ පුළුන් සහ පිහාටු සීසීකඩ විසිරී ගියේය.

ඊළඟ මොහොතේ මා දුටුවේ ඩැරන් පසුපස සිටගෙන සිටින රාක්ෂ සැන්ටාය.ඔහුගේ සුරතේ බරැති යගදාවක් වැනි යමක් වූ අතර අමනුෂ්‍යයා මහ හඬින් සිනා සෙන්නට වූවේය.

තමා අසල සිටගෙන සිටින ඒ බිහිසුණු සත්වයා දුටු ඩැරන් යටිගිරියෙන් හඬ තලමින් වෙඩි තැබූ අතර යගදාවෙන් එල්ල වූ පහර නිසා ඔහුගේ හිස පොඩිපට්ටම් වී ගියේය.
මගේ දෙනෙත් කඳුලු පටලයකින් වැසී ගියේ ඊළඟට ඒ ඉරණම විසඳෙන්නේ මගේ හිස මතින් වූ බැවිනි.

මම දෙනෙත් පියාගෙන දෙවියන්ට යාඥා කරන්නට වූවෙමි. මගේ ගෙලේ රළු යමක් ස්පර්ෂ වෙමින් තිබූ අතර මම ඊට අවධානය යොමු නොකෙලෙමි.
මේ ආකාරයෙන් සැඟවී සිය වතාවක් මිය යනවාට වඩා එක වතාවෙන් යගදා පහරක් කෑම සුවදායීය. ඇතැම් විට මට පලා යාමටත් මගක් එළිවිය හැක.

මම කබඩයේ දොර හැරගෙන පිටතට පනිද්දී කබඩය තුලින් මතු වූවේ සැන්ටාගේ සිනහවයි. ඔහුගේ රාක්ෂ දෑත් මගේ උරහිසෙන් අල්ලාගෙන යළිත් කබඩය තුලට ඇද්දේය. මම කෑ ගසමින් දොර වෙත දිව යාමට උත්සාහ කලෙමි.

එහෙත් සැන්ටා මගේ ගෙලෙන් අල්ලා ගෙන ඔහුගේ අප්‍රසන්න මුහුණ තෙක් ඔසවා ගත්තේය.

“ආආආඅග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්……..හෝහ්…හෝහ්…හෝ…….! ”

විවර වූ මුඛයෙන් හමා ආවේ කුණු වූ මස් වල සුවඳයි.

මගේ හුස්ම හිර වෙද්දී අමනුෂ්‍යයා මා ඇඳෙහි හැපෙන සේ විසි කර දැමුවේය. ඔහුගේ එක් අතක යගදාව තිබූ අතර මම කෑ ගසමින් එය වළක්වා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුනෙමි.

” මාව බේරගන්න……..කවුරුත් නැද්දෝ…..?!

දෙවියන්වහන්ස ! …..මම ඔබවහන්සේ කෙරෙහි බැතිමත්…., ”

යළිත් වරක් මගේ ගෙල සිර වූ අතර රාක්ෂ සැන්ටාගේ මුවෙන් වැගිරෙන කුණු කෙළ මගේ මුහුණ මතට වැටුනි. බරැති යගදාව මගේ හිස අසලට පතිත වෙද්දී මට එක් දෙයක් පැහැදිලි විය.

එනම් මගේ පියාවත් මරා දමන්නට ඇත්තේ මේ යකඩ ගුලියම බවයි…!!
එසේනම් මෙය අහම්බයක් නොවේ……

මම ජීවිතය පතා දැඟලුවෙමි. මගේ අතට ඇඳ මත වූ පෙට්ටියක් හසු වූ අතර එහි වූ යමක් මගේ අතේ පැටළුනි.

තව ජීවත් වීමට ඇත්තේ මොහොතකි.වෙර යොදා අතේ තිබූ කුඩා ලෝහයෙන් අමනුෂ්‍යයා ගේ ඇසක් සිදුරු කර දැමුවෙමි.

ක්ෂණයෙන් රන්වන් පැහැයකින් මගේ කාමරය ආලෝකමත් වූ අතර එය නැගෙමින් තිබුනේ සැන්ටාගේ කුණුවන ඇසකිනි. ඔහු මරහඬ නගමින් පොළව මතට ඇද වැටුනේ භූමිකම්පාවක් වැනි සෙලවීමක් ඇති කරවමිනි.

මම නිදහස් වූවෙමි.
මගේ අතේ පැටළී තිබුනේ අලංකාර වෙනිසියුලානු කුරුසියක් සහිත රන් මාලයකි. ආලෝකය විහිදෙන්නේ එයිනි. ඒ මගේ අම්මා මට අවසන් වරට ලබා දුන් නත්තල් ත්‍යාගය විය.

තවමත් මා අවධානමෙන් මිඳී නොමැත. වේදනාවෙන් ඇඹරෙමින් අමනුෂ්‍යයා කෑ ගසමින් මා මරා දැමීමට නැගී සිටීමට උත්සාහ කරමින් සිටී….කුරුසිය බාහා තිබූ ලී පෙට්ටියත්, ඒ ආඅලම බිම වැටී තිබූ ඩැරන්ගේ පිස්තෝලයත් අතට ගත් මම වේගයෙන් කාමරයෙන් පිටතට දිව ගියෙමි.

පසුපස දොරෙන් පිටතට පැනගත් මම හිමේ එරෙමින් ඉදිරියට දිව ගියේ කුරුසිය ගෙලේ පැළඳ ගනිමිනි. පරිසරය සසල වන ලෙස හඬ නැගූ රාක්ෂ සැන්ටා මා අල්ලා ගැනීමට පිමි පනිමින් දිව ආවේය.

හිම පතනය දරුණු විය. මට ආවරණයක් නොවීය. එහෙත් කිසිවක් නොදැන මිය යාමටද සිත් නොදේ. ඇද වැටී ගිමන් හැරීමට සිතුනත් මා කෙසේ හෝ පලා යා යුතුය. කොහේ දිව යා යුතුද කොතරම් දුරක් දිව යා යුතුදැයි මා නොදැන සිටියත් මම නොනැවතුනෙමි.
ගෙජ්ජි සෙලවෙන හඬ මට ලං ලංව ඇසෙද්දී අසාමාන්‍ය ශක්තියක් ලද්දාක් මෙන් මම වේගවත් වුනෙමි.
කෙසේ හෝ මා සත්‍ය සොයාගත යුතුය.
මේ ඛේදනීය ඉරණම ගැනත්,ශාපලත් අමනුශ්‍යයා ගැනත් සොයාගත යුතුය. ඇතැම් විට එය වෙනම කතාන්දරයක් වනු ඇත.

#නිමි.

===============
ප.ලි
කාලෙකට පස්සෙ තමා ලිව්වෙ..

මේ කතාවෙ සමහර තැන් Santa කියලා ෆිල්ම් එකකින් අරගෙන ගොඩක් වෙනස් කරලා ලිව්වෙ…. black christmas කියන්නෙත් දාම ඝාතකයෙක් ගැන තියන ෆිල්ම් සෙට් එකක්.හොයාගෙන බලන්න ඈ… එතකොට මේ evil santa කියන්නෙ කොමික්ස් වල ඉන්න සුපිරි මියුටන් කෙනෙක්.

. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදිහට පහලින් කොටාගෙනම යන්න…
ඉක්මනට එන්නම් කොටස් කතාවක් අරන්…
බුදුසරණයි ! ජේසු පිහිටයි !
ආදරෙයි….
වියරු අදහස් ගැලපූ මම #අනුවා✒️

5 thoughts on “කලු නත්තල | කෙටි කතා”

  1. මාධවී ජයසිංහ

    සුභ පැතුම් අනුවා.. සුභ නව වසරක් වේවා.. සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න.. ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

    1
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමොටම කතාව නම් ගොඩක් ලස්සනයි ත්ව කොටස් ගොඩක් තියන දිග …………….කතාවක් අරන් එන්න හාද
    ජේසු පිහිටයි

    1. කියන්න අමතක උනා මොනා නැතත් කතාව ගොඩක් දිගට දාලා ඒක නම් මරු

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.