Katha Ahura

කුළී නිවස | පස්වන කොටස | හොල්මන් කතා | කතා අහුර

3.4/5 - (44 votes)

“මේ මොකෝ අද වේලාසනින් ?”මම පුදුමයෙන් ඇහුවා .

“අක්කේ තරහ වෙන්න එපා . අපි මෙහෙන් යන්න තීරණය කළා.. නුස්‍රා ගිහිං බෑග් ලෑස්ති කරගන්න ” ගයාන් මල්ලී කිව්වම නුස්‍රා නංගී බිම බලාගෙනම කාමරේ ඇතුළට ගියා .

“හදිසියේම කොහෙද යන්නේ මල්ලී ? ඔයාලට නතර වෙන්න තැනක් ලැබුණද?” කියලා මං ඇහුවේ එයාලට යන්න එපා කියලා මට කියන්න අයිතියක් නැති නිසා . මොකද එයාලගෙ තත්ත්වෙ මං හොදට තේරුම් අරං හිටියේ . නුස්‍රා නංගිගේ ආරක්ෂාව තිබුණේ ගයාන් මල්ලී අතේ. ඒ වගේම හොල්මන් ගෙයක ඉන්න කැමති කවුද .

“ඉන්න තැනක් නම් නෑ අක්කේ . අපි කොළඹ යනවා. මොකක් හරි කරලා ජීවත් වෙනවා . මෙහෙ ඉන්න බයයි අක්කේ . ඔයාලත් මෙහෙ ඉන්න එපා. වෙන ගෙදරකට අද හෙටම යන්න” ගයාන් මල්ලී කිව්වේ මගේ මූණ දිහා බලාගෙන .

“මටත් ගෑණු දරුවෝ තුන් දෙනෙක් තියාගෙන මෙහෙ ඉන්න බයයි මල්ලී . ඒත් මාස හයකට ඇඩ්වාන්ස් දීලා ආව නිසා අලුත් තැනකට යන්න සල්ලි මා ළඟ නෑ. එකපාරටම තැනක් හොයාගන්න අමාරුයි ” මම කිව්වේ ලොකු හුස්මක් පහළට දාන ගමන්.

“අක්කා අපට ලොකු උදව්වක් කරේ.. අපි ළඟ සල්ලි තිබුණා නම් අපි දෙනවා. ඒත් නෑනෙ . ” කියලා ගයාන් මල්ලී කියනකොට නුස්‍රා නංගී බෑග් තුනක් අරං එළියට ආවා.

“අනේ සොරි අක්කී . අපි ඔයාල දාලා යනවට. දුවලා එක්ක මෙහෙ ඉන්න එපා. ඔයාලත් යන්න ” නුස්‍රා නංගී ඉකිබිදිමින් කිව්වා .

“හ්ම්.. මං මොකක් හරි කරන්නම්. දෙන්නම එහෙනම් පරිස්සමෙන් ” එහෙම කිව්ව මං ඒ දෙන්නා යන දිහා බලාගෙන කල්පනා කළේ “දැන් මොකද මං කරන්නේ “කියලා . ගයාන් මල්ලී ඉද්දී පොඩි හරි සැනසීමක් තිබුණ . එක පිරිමියෙක් හරි ගෙදර හිටියා හදිස්සියක් වුනොත්. ඒත් දැන් එහෙම නෑ.. නෑ නෑ… එක අතකට එයාලා මෙහෙන් ගිය එක හොදයි. හදිසියේ හරි එයාලගෙ ජීවිතවලට මොකක් හරි වුණා නම් මං වගකියන්න එපැයි” කියලා මට හිතුණා.

පුටුවකට වෙලා කල්පනා කර කර ඉද්දී දන්නෙම නැතුව මට නින්ද ගිහිං ඇහැරුණේ දුවලා තුන්දෙනා ඇවිත් කතා කරනකොට. කෑම එහෙම කාලා, නාලා හවස පිරිත් එහෙම දැම්මට පස්සේ මං දරුවන්ට කිව්වා ගයාන් මල්ලියි නුස්‍රා නංගියි ගියා කියලා .

” අනේ ඇයි අම්මේ නුස්‍රා ඇන්ටි අපට කියන්නෙත් නැතුව ගියේ ” කියලා චූටි දූ ඇහුවා .

“නුස්‍රා ඇන්ටිගේ අම්මා අසනීප වෙලා කියලා ආරංචි වෙලා එයාලා හදිසියේම ගියා . එයාලා එහෙම නතර වෙනවා කිව්වා . ඒකයි පුතේ ” මං චූටි දූගේ ඔලුව අතගාන ගමන් කිව්වා .

ළමයි තුන් දෙනාම බුදුන් වදින්න පටන් ගද්දි මම කුස්සියට ගියේ අනලා තිබ්බ පිටි ටිකෙන් රොටී හදන්න කියලා.. රොටී වඩලා කබලට දාලා තවත් රොටියක් හදනකොටම ජැනේලයට කවුරු හරි ගහනවා වගෙ ශබ්දයක් ඇහුණා .

දරුවෝ ගාථා කියන සද්දේ ටිකක් වැඩි කළේ බය වෙලාද කොහෙද . ආයෙත් එක දිගටම ජනේලයට තට්ටු කරන හඩ ඇහෙන්න පටන් ගත්තා . සාලාවේ ජනෙල් වීදුරු කැඩෙයි කියලා හිතාගෙන මම සාලෙට දිව්වේ “කවුද ඔය සද්ද කරන්නේ” කියන ගමන්..

එන්න එන්නම සද්දේ වැඩි වුණා . දරුවෝ තුන්දෙනා බය වෙලා කියලා එයාලගේ මූණුවලින් පෙනුණා. ඒත් බුදුන් වදින එක එයාලා නතර කළේ නෑ.. මම එයාලා ළගටම වෙලා හිටියා . බුදුන් වදින තැන තියෙන ජනේලය කඩන්න කවුරු හරි උත්සාහ කරන බව පෙනුණා .

එක පාරම ගෙදර ලයිට් බල්බ් නිවිලා පත්තුවෙලා චිරි චිරි කියල සද්දයක් එක්කම ලයිට් ගියා .

“අම්මී මට බයයි ” චූටි දුව කෑ ගැහුවා .

මම කලුවරේම අතපතගාලා අමාරුවෙන් ටෝච් එක හොයාගෙන දරුවන් ළගට ගියා . ලොකු එක්ක දෙවෙනි බුදුන් වැන්දත් චූටි බයට වෙව්ලනවා.. මං එයාව තුරුළු කරගද්දිම ලයිට් ආවා.. ඒ වගේම ටිකෙන් ටික ජනේලයට ගහන සද්දේ අඩු වෙලා ගියා..

“අනේ කවුද අම්මේ ඒ?” දෙවෙනි ඇහුවේ බුදුන් වැදලා ඉවර වෙලා .

“අනේ මන්දා දුව ” කියල මං කියද්දි කුස්සියේ ලිප් කවුලුවෙන් වැලි කැට ගොඩක් වැටෙන සද්දයක් ඇහුණා .

“අද නම් කන්න වෙන එකක් නෑ.. කවුද කෑම වලට වැලි හලන්නේ” කියාගෙනම මම කුස්සියට දිව්වා..

දිගින් දිගටම වැලි කැට වැටෙන සද්දේ ඇහුණට කිසිම වැලි කැටයක් පේන්න නෑ..

එකපාරටම ආයෙත් ලයිට් ගියා.. කුස්සියට ලිපේ එළිය තිබුණ . මං ටෝච් එකත් සාලේ දාලා ආවේ . චූටි එක්ක ලොකු කුස්සියේ හිටියට දෙවෙනි පේන්න නෑ..

“ලොකූ කෝ ලොකු නංගී ?” මම ඇහුවේ ලොකු දුවගෙන්.

“නංගි පාඩම් කරන්න කාමරේට ගියා අම්මේ ” කියලා ලොකු දුව කියද්දි මට බය හිතුනා. මොකද ලයිට් ගියාම වෙනදා කෑ ගහලා “අම්මේ එළියක් ගේන්නකෝ ” කියන ළමයා අද සද්ද නැත්තේ කියලා හිතලා මම ටෝච් එක හොයන්න සාලෙට ගියා…

“අ—ම්—මා….” දෙවෙනි කෑ ගහපු විදියට මාත් බය වුණා .
දෙවෙනි කෑ ගහන සද්දේ ඇහුණේ කවුරු හරි ආවොත් දෙන්න කියලා හදලා තිබුණ කාමරෙන් . මම චූටියි, ලොකුයි එක්ක ඒ කාමරේට දිව්වේ ටෝච් එකත් අරගෙන .

“දෙවෙනි ඔයා කොහෙද ?” කියලා මං ඇහුවත් කිසිම සද්දයක් ඇහුණේ නෑ..

එතකොටම ලයිට් ආවා නිසා කාමරේට එළිය වැටුණා . දෙවෙනි දොර මුල්ලට වෙලා ඉදගෙන හිටියේ ඒ ගෙදර තිබුණ පරණ මහන මැෂින් එක දිහා බලාගෙන . එයාගේ මූණ දැක්ක අනෙක් දුවලා දෙන්නත් හොදටම බය වුණේ ඒ තරම්ම ඒ මූණ සුදුමැලි වෙලා තිබුණ නිසා..

“අනේ දෙවෙනි . ඇයි පුතේ මේ?” මම ඇහුවේ දෙවෙනි නැගිට්ටවන ගමන්.

“කතා කරන්නකෝ පුතේ.. මොකද වුණේ ?” මම දෙවෙනි හොල්ලන ගමන් ඇහුවේ එයා කතා නොකර ඉන්න එකට බය වෙලා.

“අනේ අම්මේ .. මම පාඩම් කරන්න කාමරේට යන්න හදනකොටම දැක්කා මේ කාමරේ කවුද ඉන්නවා වගේ.. මම හිතුවෙ අක්කී හරි නංගී හරි මාව බය කරන්න හදනවා කියලා . ඒ නිසා මම බලන්න ගියා.. ඒත් අක්කිවත්, නංගිවත් හිටියේ නෑ.. මං ආයෙම එළියට එන්න හදනකොටම මට මැෂින් එක ලගින් සද්දයක් ඇහුණා .. ඒ මොකක්ද කියලා බලනකොට මැෂින් එක ඇතුළෙන් අතක් ඇවිත් මට අතින් එන්න එන්න කියල කතා කරා.. මට බය හිතුන අම්මේ ..” කියලා කිව්වා .

“මැෂින් එක යටින් අතක් එන්නේ කොහොමද ?” ලොකු දුව පුදුමයෙන් වගේ ඇහුවා .

“මං බොරු නෙවෙයි කියන්නේ .. ඇත්තමයි අම්මේ .. අතක් තිබුණ . එකපාරටම ලයිට් යනකොට ඒක නැති වෙන්න ඇති ” කියලා දෙවෙනි ආයෙත් අඩන්න පටන් ගත්තා .

“හ්ම්.. හ්ම්ම් .. කෝ කෝ… දැන් අඩන්න එපා.. හොද දුවනෙ” කියලා මං දෙවෙනි මට තුරුළු කරගත්තා..

“අඩන්න එපා අක්කී ” කියලා චූටි දූත් දෙවෙනි බදාගත්තා..

“ලොකූ ඔයා බය වෙන්න එපා. මීට පස්සේ අපි තුන්දෙනාම එකට ඉමුකෝ.. එතකොට කවුරුත් බය වෙන එකක් නෑ” කියලා ලොකු දූත් දෙවෙනි බදාගත්තා .

මොනවා නැතත් මගේ දරුවෝ තුන්දෙනා එකමුතුව ඉන්න එක ගැන මට ලොකු සැනසීමක් තිබුණ .

“හරි.. අපි දැන් කාලා නිදාගමුකෝ” කියලා මම තුන්දෙනා එක්කම කුස්සියට ගිහිං කෑම කෑවා.

“අම්මී අපේ ටීචර් කිව්වා අද ටී.වී. එකේ රෑ නවයට දැනුම මිනුම කියලා වැඩසටහනක් යනවා කියලා . ඒක බලලා එන්න කිව්වා . හෙට ඒකෙන් ප්‍රශ්න අහනවා කිව්වා ” කියල දෙවෙනි කිව්වා .

ඒ වෙනකොට වෙලාව 8.45යි..

“හරි එහෙනම් අපි හැමෝම ඒක බලමුකෝ ” කියලා මම ගිහිං ටී.වී එක දැම්මා . ලොකු දුව පොත් ටිකක් අරං ඇවිත් සාලාවේ අපි ළගින් වාඩිවෙලා පාඩම් කරන්න පටන් ගත්තා..

“අම්මී මම නම් හෝම් වර්කස් ඔක්කොම කළා. ඒ නිසා මං අම්මිගේ ඔඩොක්කුවේ නිදාගන්නද? ” කියලා චූටි මගෙන් ඇහුවා .

“හා එන්නකෝ “කියලා සෝපා එකේ වාඩිවෙලා මම චූටි ළග තියාගෙන එයාගේ ඔලුව අතගෑවා . දෙවෙනි මං ළගම වාඩිවෙලා වැඩසටහන බැලුවා. හරියටම පැයකින් වැඩසටහන ඉවර වුණා . දෙවෙනි හොදටම නිදිමතේ හිටියේ . චූටිට නම් හොදටම නින්ද ගිහිං තිබුණ . ලොකූ දුව තාමත් පාඩම් කරන ගමන් හිටියේ .

“ලොකූ.. එන්න කාමරේ පාඩම් කරන්න ” කියලා මම චූටි උස්සගෙන ගිහිං ඇදෙන් තිබ්බා. දෙවෙනි නිදාගත්ත නිසා මම ඒ දෙන්නට මැදින් නිදාගෙන දෙන්නගෙම ඔලුව අතගෑවා..

“ලොකූ… මොනවා හරි ඕනි නම් මට නින්ද ගිහිං හිටියට කමක් නෑ. කතා කරන්න ඕන හොදද” කියලා මම ලොකූට කියලා කල්පනා කර කර ඉද්දී මට නින්ද ගියා.

ඒ වෙනකොටත් රේඩියෝ එකේ පිරිත් දාලා තිබුණේ . එක පාරම මට ඇහැරුණේ “ජර… ජර…සෝ…..සෝ….” කියලා ශබ්දයක් ඇහුණ නිසා..

මම නැගිටලා බලනකොට ලොකු දුව පාඩම් කරනවා . ඒ සද්දේ ඇහුණේ රේඩියෝ එකෙන් . පිරිත් ඇහෙන්නේ නැතිව “සෝ… සෝ..” කියලා සද්දයක් ඇහෙනවා . මම ඇදෙන් නැගිට්ටේ රේඩියෝ එක හදලා එන්නම් කියලා .

මං නැගිටින සද්දේ ඇහිලා ලොකු කිව්වේ ” රේඩියෝ එක ඕෆ් කරල දාන්න වෙයි අම්මේ . මම දැන් ඕක දෙපාරක් හදලා ආවේ . ටික වේලාවකින් ආයෙත් ඔහොම වෙනවා ” කියලා .

මමත් ගිහිං රේඩියෝ එක හදලා ආවත් විනාඩි පහක්වත් තිබුණේ නෑ.. ඒකේ සෝ සද්දේ එකපාරටම වැඩි වෙන්න ගත්ත. ඒ නිසාම මං රේඩියෝ එක ඕෆ් කරලා කාමරේට ආවා විතරයි ඔරලෝසු කට්ට වේගෙන් කැරකෙන්න පටන් ගත්තා..

ලොකු මගේ මූණ දිහා බැලුවේ මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරිව. ඒත් එක්කම කුස්සියේ දොරේ ලොක් එක ඇරෙන සද්දේ ඇහුණා . ඒ වගේම පිගන් රාක්කයේ පිගන් කෝප්ප එකට එක හයියෙන් වැදෙන සද්දේ ඇහෙන්න පටන් ගත්තා .. එකදිගට විනාඩි පහක් විතරම පිගන් කෝප්ප සද්ද ඇහෙන්න පටන් ගත්තා .

“අද නම් පිගන් කෝප්ප කුඩුවෙලා ඇති” කියලා මම හෙමීට කිව්වේ බය වෙලා හිටිය ලොකු දුව ඇවිත් මගේ අතින් අල්ලගන්නකොට..

ඒ සද්දෙට නිදාගෙන හිටිය දුවලා දෙන්නත් ඇහැරුණා .

“ඇයි අම්මේ .. මොකක්ද ඒ සද්දේ ..” නිදිමතේ ඇස් පොඩි කරන ගමන් දෙවෙනි ඇහුවා .

“ස්…” කියලා මම ඇගිල්ල කටට තියලා සද්ද කරන්න එපා කියලා දුවලට කියලා කාමරේ ලයිට් එක ඕෆ් කරලා නයිට් බල්බ් එක දැම්මා . ලොකු එක්ක ඇවිත් ඇදට නගිද්දිම ඇහුණේ කුස්සියේ ඉදන් සාලේ පැත්තට කවුරු හරි ඇවිදින සද්දේ .

“කවුද අම්මේ ඒ?” චූටි දූ රහසිං මගෙන් ඇහුවා .

“අම්මේ ඒ පාර නුස්‍රා ඇන්ටිලා හිටිය කාමරේ ඇවිදින සද්දේ ඇහෙනවා ” ලොකු දුව කිව්වේ මගේ අත අල්ලගන්න ගමන්..

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.