Katha Ahura

කුළී නිවස | හත්වන (අවසාන) කොටස | හොල්මන් කතා | කතා අහුර

4.4/5 - (38 votes)

මං කෑගහන්න හැදුවට කෑ ගහන්න තියා කට හොල්ලගන්නවත් බැරි වුණා . දගලන්න හැදුවට අත පය හොල්ලගන්නවත් බැරිවුණා . කරන්න පුලුවන් වුණ එකම දේ හිතන එක විතරයි කියලා මට තේරුණා .

” අනේ මට මොකක් වුණත් කමක් නෑ. මගේ දරුවන්ට කරදරයක් නම් වෙන්න එපා” කියලා මම හිතුවෙ මගේ ඔලුවට උඩින් පේන්න තිබුණ බුදු කුටිය දිහා බලන ගමන් .

සෑහෙන වෙලාවකට පස්සේ මට බෙල්ලට තද වෙලා තිබුණ ගතිය නැති වෙනවා වගේ දැනුණා.. ඒත් එක්කම ටික ටික අත් කකුල් හොල්ලන්න පුලුවන් වුණා . මං හෙමීට ” ආ… නෑ..” කියලා බැලුවේ මට කතා කරන්න පුලුවන්ද කියලා . කටහඬ ආයෙත් ලැබිලා නිසා මට පොඩි සතුටක් දැනුණා .

ආයෙමත් බයෙන් ඔලුව උස්සලා බැලුවත් ඒ ගෑණු කෙනා පේන්න හිටියේ නෑ. ඒ වෙනකොට වෙලාව 5.00යි. ඉර එළියත් ටිකක් වැටිලා තිබුණ .

උදේ නැගිටලා මං වෙනදා වගේම වැඩ කරා. සෙනසුරාදා දවසක් නිසා දුවලා තුන් දෙනාම ගෙදර හිටියා . රෑ වුණ කිසිම දෙයක් මං එයාලට කිව්වේ නැත්තේ බයවෙයි කියලා .

හවස තුනට විතර චූටි දුවගෙන ගේ ඇතුළට ආවේ “අම්මේ… ලොකු අයියයි චූටි අයියයි එනවා” කියාගෙන .

“පුංචි අම්මේ ” කියාගෙන ගෙට ගොඩ වුණේ මහත්තයාගේ අයියගේ පුතාලා දෙන්නා .

” ආ.. එන්න පුතේ ඇතුළට . කොහොමද ගේ හොයාගත්තේ?” මම ඇහුවා .

ටවුන් එකේ වැඩකට ආව ගමන් මෙහෙ ඉන්න බව කඩේකින් දැනගන්න ලැබිලා ආව බව එයාලා කිව්වා .

තේ එකක් එහෙම බීලා කතා කර කර ඉද්දී ,

“පුංචි අම්මේ බෙල්ලට මොකද වෙලා තියෙන්නේ ” කියලා චූටි පුතා ඇහුවා .

“පුංචි අම්මට සනීප නැද්ද ? බෙල්ල නිල් වෙලා . ඇස් දෙකත් අමුතුයිනේ” කියලා ලොකු පුතත් කිව්ව නිසා මං කණ්ණාඩිය ළගට ගිහිං බෙල්ල බැලුවමයි දැක්කේ නිල් වෙලා ඉදිමිලා තියෙන බෙල්ලේ ඇගිලි පාරවල් ලකුණු වෙලා තියෙන බව .

ඒ නිසාම මං එයාලට වුණ දේවල් කිව්වා .

“අම්මෝ පුංචි අම්මේ , මෙච්චර දෙයක් වෙලත් මෙහෙ තව ඉන්නද කල්පනාව . තනියම නම් ඉන්න ලෑස්ති වෙන්න එපා. අත්තා එක්කගන්න.” කියලා කිව්වා .

අත්තා කිව්වේ මගේ අප්පච්චිට. පුතාලා දෙන්නා යන්න ගියේ තනියම ඉන්න එපා කියලා කීපසැරයක්ම කියලා. ඒ වගේම අප්පච්චිට එන්න කියලා පණිවිඩය කියාගෙනම යන්නම් කියලා .මං කිව්ව දේවල් දුවලා තුන්දෙනාම අහගෙන ඉදලා.

“අනේ මෙච්චර දෙයක් වෙලත් අම්මා ඇයි අපට කිව්වේ නැත්තේ ?” කියලා තුන් දෙනාම අහන්න පටන් ගත්තා.. හවස 5.00 වෙද්දී හොදටම වහින්න පටන් ගත්තා .

“අනේ අම්මේ මට නම් අද රෑ මෙහෙ ඉන්න බෑ” කියලා චූටි අඩන්න පටන් ගත්තා .

“ඔව් ඔව් අම්මේ අපටත් බෑ” දෙවෙනි එක්ක ලොකුත් කිව්වා .

“පොඩ්ඩක් බලමුකෝ අපි ලොකු අත්තා එයිද කියලා ” එහෙම කිව්ව මං මග බලාගෙන හිටියේ අප්පච්චි එයි කියන බලාපොරොත්තුවෙන් . ඒත් හවස හය වෙනකොටත් අප්පච්චි ආවේ නෑ.

” අනේ අම්මේ හොදටම කලුවරයි.. ලොකු අත්තට එන්න බස් නැතුව් ඇති. වැස්සත් ඉවර නෑ. අද රෑ නම් තනියම ඉන්න බෑ” කියලා තුන්දෙනාම කියන්න පටන් ගත්තා .

මොකද කරන්නේ කියලා මටත් හිතාගන්න බැරුව ඉද්දී ලොකු මට “අම්මේ” කියලා කතා කලා.
“අම්මේ අපි චන්ද්‍රා අත්තම්මලාගේ ගෙදර යමු” ලොකු දුව යෝජනා කලා.

මට ඒක අමතක වෙලා තිබුණේ . චන්ද්‍රා අත්තම්මා කියන්නේ මගේ අම්මගේ මල්ලී බැදලා ඉන්න කෙනාට. නැන්දම්මා ගෙදර ඉන්නේ තනියෙන් . මාමා ජේ.වී.පී. කලබල කාලේ නැති වුණා . නැන්දම්මාට දරුවෝ හිටියේ නෑ. ඒ වගේම එයා රිටයර් වෙලා හිටිය නිසා ටවුන් එකට කිට්ටුව තිබුණ ගෙදර තනියම තමා හිටියේ .

“අනේ අම්මේ අපිට මෙහෙ ඉන්න බයයි . අපි යමුකෝ” කියලා දෙවෙනි එක්ක චූටිත් කිව්වා .

මට දරුවෝ ගැන දුකක් වගේම බයක් දැනුණ නිසා එහේ යමු කියලා තීරණය කළා.

“හරි පුතේ එහෙනම් හෙට දහම් පාසල් යන්න ඕන ඇදුම් , පොත් , ඔයාලගේ බ්‍රෂ් එහෙම ඔක්කොම ගන්න ”

එහෙම කියලා අත්‍යවශ්‍යයම බඩු ටික බෑග් කිහිපයකට දාගත්තේ යන්න කියලා හිතාගෙන . එතකොට අකුණු ගහ ගහ ලොකු වැස්සක් පටන් ගත්තා. අපි 6.30 වෙද්දී එළියට බැස්සේ චන්ද්‍රා නැන්දම්මලාගේ ගෙදර යන්න කියලා .

පොඩි පැල්පත ළගින් යද්දී අංකල් දොර ඇරලා වැස්ස දිහා බලාගෙන ඉන්නවා මං දැක්කා . මට හිනා වුනා දැක්කම මට ඒ ගැන පුදුම හිතුනෙ එදා අකමැත්තෙන් කතා කරපු නිසා. මාත් හිනාවෙල වැස්සෙම දරුවෝ එක්ක පයින්ම නැන්දම්මලාගේ ගෙදර ගියා .

නැන්දම්මා අපිව පිළිගත්තේ ආදරෙන්. වැස්සෙම ඇවිත් සීතල ඇතිනෙ කියලා අපට කෝපි හදලා දුන්නා. ඒක බොන ගමන් මං වෙච්ච සිද්ධිය නැන්දම්මාට කිව්වා . ඒක අහගෙන හිටිය නැන්දම්මා

“අනේ ලොකු දුව ආව එක හොදයි .. උදේම එන්න තිබුණ ඒ ගෙදර ඉන්නේ නැතුව . කාටද කියන්නේ මොකුත් කරදරයක් එහෙම වුණා නම්. පරක්කු වෙලා හරි ආව එක හොදයි ” කියලා කිව්වා .

එදා දරුවෝ වගේම මමත් සැනසීමෙන් නිදාගත්තා . හොද වෙලාවට මෙහෙට ආවේ කියලා මට හිතුනෙ ඒ නිසා .

පහුවදා උදේ දරුවෝ දහම් පාසල් ගියාට පස්සේ නැන්දම්මා මට කිව්වා එහේ නවතින්න ඇදුම් එහෙම අරං එන්න යන් කියලා . මමත් ඒකට කැමති වුණේ ඉන්න තැනක් හොයාගන්නකල් එහේ ඉන්න එක හොදයි කියලා හිතුන නිසා . අපි එහෙට යන්න කියලා ත්‍රීවීලර් එකක් ගත්තා . මගදි මගේ අප්පච්චි පයින්ම යනවා හම්බ වෙලා අප්පච්චිවත් එක්ක ගෙන ඒකෙ ආවා. ත්‍රීවීලර් එක එන්නේ මේන් රෝඩ් එජට විතරනේ. එතන ඉදන් පයින්ම කන්දක් නැගගෙනයි අපේ ගෙදරට එන්න ඕන .

තුන්දෙනාම හෙමින් හෙමින් කන්ද නැගගෙන පැල්පත ළගින් එනකොට “දුවේ” කියලා වයසක අංකල් කතා කරාම මට පුදුම හිතුනා.

“ආ…ඇයි අංකල් ” කියලා මම ඇහුවේ හිනා වෙන ගමන්.

“දුව ඊයේ රෑ ළමයි තුන්දෙනා එක්ක රෑ ගියේ කොහෙද ?” වයසක අංකල් එකපාරටම ඇහුවා .

“මම අපේ නැන්දම්මලාගේ ගෙදර ගියේ අංකල් . මේ තම නැන්දම්මා . එයත් ටවුන් එක කිට්ටුව ඉන්නේ ” කියලා මම නැන්දම්මා පෙන්නුවා .

“මේ ගෙදර ගැන මොනවා හරි දන්නවද අයියේ ?” කියලා නැන්දම්මා වයසක අංකල්ගෙන් ඇහුවා .

“ඔය ගෙදර හදලා තියෙන්නේ අපෙන් ගත්ත ඉඩමක. ඒත් ගෙදරට එන්න තියෙන එකම පාර අපේ ගේ මැදින් . අපි මේ කොටස ලිව්වේ නෑ. ඒත් ගේ මැදින් යන්න ඉඩ දෙන්නම් කියල කිව්වා . ඒ මිනිස්සු හා කියලා හොරෙන් මේ කොටසත් ඔප්පුවේ ලියාගෙන තිබුණ ” ඔහු කිව්වේ ඇඩුම් ස්වරයෙන්.

“ඉතිං අංකල් පොලීසියට ගියේ නැද්ද ?” කියලා මම ඇහුවා .

“ඒක තමා අපේ හෙනහුරාට හිටියේ . අපේ නෝනා නිතරම ඒ ගෙදර අයිති ගෑණු කෙනා එක්ක රණ්ඩු කරා. උදේ පාන්දරම රණ්ඩු පටන් ගත්තේ ඉඩම්වලට අයිතිවාසිකම් කියාගෙන . දවසක් අපේ නෝනා පොලිසියට යනවා කියලා කිව්වම, පොලිසි ගියාට අපි බය නෑ කියලා කියනවා මං අහගෙන හිටියේ ” කියලා ඔහු කතාව නැවැත්තුවා.

“ඊට පස්සේ මොකද වුණේ ?” කියලා අප්පච්චි ඇහුවා .

” එදා එහෙම කිව්වට අපිට පොලිසියට යන්න බැරිවුණා . මගෙ නෝනා හිටි හැටියේ රෑ අසනීප වුණා . විකාර කියව කියව ඉදලා, අත පය කොරවෙලා දවස් දෙකක් ඉදලයි මළේ” ඇස් අග වූ කදුලු පිසිමින් ඔහු කිව්වා .

“අංකල්ගේ ළමයි ?” කියලා මං ඔහු දිහා බලද්දී

“අපට ළමයි හිටියේ නෑ දුව ” කියලා කිව්වා .

“මේ ගෙදර අය හිටි හැටියේ මේ ගේ දාලා යන්න හේතුව අංකල් දන්නවද ?” කියලා නැන්දම්මා ඇහුවේ මටත් අහන්න ඕන වෙලාම තිබ්බ දෙයක්.

“එයාලට ඉන්න දුන්නෙ නෑ. එයාලා අහිංසක ගෑණු කෙනෙක් මරලා දැම්මා ” අංකල් කිව්වා .

“අංකල් දැකලා තියෙනවද එයාව? වෙලාවකට ඔලුව නැතුව සුදු ඇදගෙන ඇවිදින ගෑණු කෙනාද?” මම ඉක්මනින් ඇහුවා .

“ඔව් මං දැකලා තියෙනවා . ඒ වෙන කවුරුත් නෙවෙයි මගේ නෝනා ” ඔහු කිව්වේ අපි පුදුම වෙලා අංකල් දිහා බලාගෙන ඉද්දී .

“මොනවා?? මොකක්ද වුණේ අංකල් ?” මම ඇහුවා .

” නෝනා විකාර දොඩවන්න පටන් ගත්ත දවසේ රෑ එහා ගෙදර තොවිලයක් වගේ දෙයක් තිබුණ . කට්ටඩියෙක් හවස එහෙට ගියා . ඒ වගේම රෑ නවයට විතර මන්ත්‍ර වගයක් කියනවා ඇහුණා .. ඒත් එක්කම මොකක්ද මිදුලට වැටෙනවා වගේ ඇහිලා නෝනා දොර ඇරලා බලන්න ගියා . ඒ යද්දී පොඩි මැටි මිනිස් රූපෙකට කටු වගයක් ඇනලා ඒකට කුප්පියක් එල්ලලා විසි කරලා තිබුණ . නෝනට ඒක පෑගුණා. ඔලුව බදාගෙන වැටුණේ මම එතනට යනකොට . ඊට පස්සේ තමා අත පය කොරවෙලා සිහිය නැති වෙලා ගියේ ” කියලා කිව්වේ අඩන ගමන් .

“අනේ එහෙමද අංකල් ? අපට හරි දුකයි වුණ දේවල් වලට . ඒත් ඇන්ටි ඇයි මෙහෙම ඇවිත් කරදර කරන්නෙ ?” මම ඇහුවා .

” නෝනා මැරිලා තියෙන්නේ ඒ මිනිස්සු එක්ක තරහෙන් . එයාලා කරපු දේවල් නිසා. ඉන්න බැරිව එයාලා ගියාම ඔය දුවලා ආවනේ. මම හිතුවෙ ඒ මිනිස්සුන්ගේ නෑදෑයන් කියලා . ඒත් ඊයේ වැස්සෙම දරුවෝ එක්ක යනකොට නට තේරුණා මොකක් හරි වෙලා තියෙනවා කියලා . අර අහිංසක දරුවෝ දැක්කම මට දුකක් හිතුනා. ඒකයි මං කාටවත් නොකිව්ව දෙයක් කිව්වේ . නෝනා මං ළගටත් ඇවිත් මොකක්ද කියන්න හදනවා. ඒත් මට තේරෙන්නේ නෑ.. වෙලාවකට මං කුළී වැඩ කරන්න යන තැන්වලටත් එන්වා. ඒ මගේ නෝනා තමා. ඒත් තරහෙන් මැරිලා නිසා ඔය දුවලා ඒ ගෙදරින් යන්න . ඒක හොදයි . ” අංකල් කිව්වා .

ඒ දේවල් එක්ක අප්පච්චි වගේම නැන්දම්මා කිව්වෙත් එදාම බඩු අස් කරගෙන යන්න කියලා . ඒ නිසා බඩු සේරම අරං නැන්දම්මලාගේ ගෙදර ගියේ ආයෙත් කුළී ගෙදරකට යනවා නම් හොදට හොයලා බලනවා කියලා හිතාගන්න ..

———————-නිමි————————-

කතාව එක්ක හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි . ඒ වගේම කියන්න කැමතියි මේක ඇත්ත කතාවක් . 🙂

නයෝමී නදීරා ධීරසිංහ

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.