Katha Ahura

කුළී නිවස | හයවන කොටස | හොල්මන් කතා | කතා අහුර

4.2/5 - (38 votes)

අපි හැමෝම බය වෙලා හිටියේ. එක එක්කෙනාව බදාගෙන. දැන් දැන් අපේ කාමරේට එයි කියලා අපට හිතුණා.. මාත් බය වුනොත් ළමයි තව තවත් බය වෙයි කියලා මට හිතුන නිසා මං තුන්දෙනාටම බුදු ගුණ සිහි කරන් අපට කරදරයක් වෙන්න එපා කියලා හිතන්න කියලා කිව්වා . තුන්දෙනාම ඒක ඒ විදියට කළා..

ඒ සිද්ධිය වුණේ හරියටම රෑ 12.20ට. හරියටම 1.30 වෙනකං නුස්‍රලා හිටිය කාමරෙන් සද්ද ඇහුණා . ඒත් ඊට පස්සේ ඒක ඇහුණේ නෑ. සෑහෙන වෙලාවකට පස්සේ තුන් දෙනාටම නින්ද ගියේ මට තුරුළු වෙලා ඉද්දිමයි.

“අනේ දෙවියනේ මේ මොකක්ද වෙන්නේ ” කියලා මම කල්පනා කළේ “මේකට මං මොකද කරන්නේ?” කියලා හිතන ගමන්මයි .

**********************************************

උදේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ලොකු දුව ඇහුවේ “අම්මට තනියම ඉන්න පුලුවන්ද?” කියලා .

“මට තනිය නෑ පුතේ ” කියලා මම කිව්වේ එයාගෙ ඔලුව අතගාන ගමන් .

“අම්මි ඊයේ රෑ කවුද ආවේ අපේ ගේ ඇතුළට ? නුස්‍රා අක්කිලා හිටිය කාමරේ මොකද කළේ ආව කෙනා?” චූටි දූ ප්‍රශ්න වැලක්ම ඇහුවා.

” මීයෝ ගොඩක් බෝවෙලාද කොහෙද චූටි .” මම කිව්වේ වෙන කියන්න දෙයක් නැති නිසා .

” අනේ අම්මා අපි පූස් පැටියෙක් හොයාගමුකෝ… මම යාලුවෙක්ට කියන්නද?” චූටි ඇහුවෙ දීප්තිමත් ඇස් දෙකකින් .

මම ඒකට “හා” කිව්වේ වෙන කරන්න දෙයක් නැති නිසා. මේ වගේ ගෙදරකට සතෙක්වත් ගේන්න මගේ කැමැත්තක් තිබුණේ නෑ..

තුන්දෙනාම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා එළියට ගිහිං ලොකු දුව ආයෙමත් මං ළගට දුවගෙන ඇවිත් ,

“අම්මේ මං අචිනිගෙන් මේ ගැන අහලා බලන්නද?” කියලා ඇහුවා .

“එපා.. එපා ලොකු . අපි හරියටම දන්නේ නෑනේ මොකක්ද වෙන්නේ කියලා. අපි ටිකක් බලමුකෝ ” කියලා මං කිව්වම

“හරි අම්මේ . එහෙනම් පරිස්සමෙන් ඉන්නකෝ” කියලා නංගිලා දෙන්නා එක්ක ගියා .

ලොකු දුව අචිනි කිව්වේ එයාගේ යාලුවට. මේ ගෙදර අයිති එයාගේ අම්මටයි තාත්තටයි . මම ලොකු දුවට ඒ ගැන අහන්න එපා කිව්වේ මංම මේ දේවල් විසදනවා කියලා හිතාගෙන . ඒත් ඒක ඉක්මනින් කරන්න ඕන වුණත් කොහොමද කියල මට තේරුණේ නෑ..

ගෙදර වැඩ කරලා එහෙම ඉවර වෙලා දොර ලොක් කරලා මං යන්න ලෑස්ති වුණේ දුවලා තුන්දෙනා දහම් පාසල් යන පන්සලට .

“බුදු දහමට අනූව ජීවත් වෙනවා නම් වරදින්නේ නෑ නෝනා . ධර්මයට අනූව ජීවත් වෙන කෙනා ධර්මය විසින්ම ආරක්ෂා කරනව කියලා අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ..” කියලා ලොකු හාමුදුරුවෝ කිව්වේ මං වෙච්ච සිදුවීම් හැම එකක්ම කිව්වට පස්සේ .

“එහෙමයි අපේ හාමුදුරුවනේ ” කියලා මම කිව්වේ හාමුදුරුවන් කිව්ව දේ මං විශ්වාස කරන නිසා.

“ඔය පිරිත් නූල් දරුවන්ගේ බදින්න නෝනා . ඒත් නෝනේ පුලුවන් ඉක්මනින් ඔය ගෙදරින් යන්න බලන්න . ඉගෙන ගන්න දරුවෝ තුන්දෙනෙක්නේ ඉන්නේ . ඒ ළමයින්ගේ හිත් ගැස්සුනොත් ඉගෙන ගන්න එකටත් බාධා වෙනවනේ. අනික නෝනේ අපි දන්නේ නෑනේ ඔය කියන ආත්මය මොකක් හිතේ තියාගෙන එනවද කියලා. එන්නේ පළිගැනීමේ චේතනාවෙන් නම් නෝනලා මොකුත් නොකළත් අරමුණට බාධා වෙන බවක් දැනුනොත් කරදරයක් කරන්න බැරි නෑ” කියලා හාමුදුරුවෝ කිව්ව දේ ගැන හිත හිතා මං ගෙදර ආවේ ඒ කිව්ව දේ ඇත්ත නේද කියලා .

මං ගෙදර ආවේ එකට. හාමුදුරුවන් දුන්නු පිරිත් පැන් ගේ වටේටම ඉහලා දාලා පිරිත් නූල් ගේ වටේටම ඇදලා දැම්මේ හාමුදුරුවෝ කියපු විදියටම.

**********************************************

දවස් හතරක්ම කරදරයක් නැතුව ගෙවිලා ගියා .. මං ඒ හැම දවසකම ගේ වටේටම පිරිත් පැන් ඉස්සා. ඒත් පස් වෙනිදා එහෙම නෑ කියලා අපට තේරුම් ගියේ බුදුන් වදිනකොට. හවස 6.30 වෙද්දී ලොකු හුළගක් එක්ක සැරෙන් වහින්න පටන් ගත්තේ අකුණු ගහ ගහ.. ළමයි තුන්දෙනා බුදුන් වදින්න පටන් ගද්දි මාත් එතනට වෙලා හිටියා . එක පාරම අකුණු පාරක් එක්ක ජනේලයට එළියේ ගෑණු කෙනෙක් ඉන්නවා මං දැක්කා . මගේ හිත ගැස්සුනත් මං ඒ බවක් නොපෙන්නා පැදුරු දෙකක් ගෙනත් කර්ට්න් එකට උඩින් එල්ලුවේ “අකුණු ගහනකොට එළිය පේන්නේ නෑනේ” කියලා .

ඒත් එක්කම “දඩින් ගාලා ජනේලයට වගේම දොරට තට්ටු කරන හඩත් එක්කම බාල්දිය මිදුල පුරාත් ගේ වටේටමත් පෙරළෙන සද්දේ ඇහුණා .

දුවලා තුන්දෙනා එක්කම මාත් ගාථා කියලා බුදුන් වදින්න පටන් ගත්තා.. ඒත් එක්කම බල්බ් එක පුපුරලා ලයිට් ගියා..

“අම්මා….” කියලා චූටි කෑ ගැහුවෙ ඒත් එක්කම…
“ඇයි ඇයි චූටි ” කියලා මම ඉක්මනින් ටෝච් එක ගහලා ඇහුවා .

“කවුදෝ මගේ පිටට තට්ටු කරා අම්මා ” කියලා චූටි අඩද්දිම ලයිට් ආවා.

පිටට තට්ටු කලේ කවුද කියලා හොයලා බලනකොට ඒ ලොකු පළගැට්ටෙක්..

“අනේ චූටි බයවෙන්න එපා.. මේ පළගැට්ටෙක් ” කියලා මං ඌව අරං දැම්මා .

“හී…” කියලා හිනා වුනු චූටි මාව බදාගත්තා . ඒකට ලොකු දුවයි දෙවෙනි එකතු වුණේ හිනාවෙන ගමන්මයි .

එළියේ සද්ද බද්ද ටික ටික අඩුවෙලා ගියා . අපි කාල නිදාගන්න ගියේ පහුගිය ටිකේම කලා වගේ ලොකු බෙඩ් සීට් එකක් දොර රෙද්දට උඩින් දාලා ඒ වගේම දොර ලගින්ම බිම ක්‍රීම් බෝතල්, බිස්කට් ටින් වගේ බඩු කිහිපයක් තියලා . එහෙම තියමු කියලා යෝජනා කළෙ දෙවෙනි . ඒක කරේ කවුරු හරි අපි නිදාගෙන ඉද්දී කාමරේට ආවොත් ඇහෙනවනේ කියලා . එදා රෑ ආයෙත් සද්දේ ඇහුණේ නෑ.

පහුවදා උදේ මට පෙනුණේ හුළග නිසා පිරිත් නූල් ඔක්කොම ගැලවිලා ගිහිං තිබුණ විදිය . පිරිත් පැන් ටිකත් සේදිලා යන්න ඇති කියලා මට හිතුනා..

*******************************************

දවස් දෙකක් මොකුත්ම නොවී තිබුණ . බය වෙලා හිටියා කියන එක අමතක වෙලා දුවලා තුන්දෙනා හිනා වෙලාම හිටිය නිසා මටත් සතුටක් දැනුණා..

හවස තේ බොන ගමන්,

“අම්මේ… අනේ අද වීර්සාරා ෆිල්ම් එක යනවා . අපි බලමුකෝ ” කියලා ලොකු දුව කිව්වා .

“කීයටද ලොකු ” කියලා මම ඇහුවම

“දහයට පටන් ගන්නෙ අම්මේ ” කියලා ලොකු දුව කිව්වා .

***********************************************

රෑ දහය වෙනකොට කාලා, ටී.වී. එක සාලේ තිබුණ නිසා අපි හතර දෙනාම පැදුරු දාලා සාලේ නිදාගන්න ලෑස්ති කරගත්තා . චූටි නම් 10.30 වෙද්දී නිදාගත්තා . දෙවෙනි 12.00 වෙද්දී නිදාගෙන හිටියා .

“ඇඩ් යනවා වැඩි අප්පා” කියලා ලොකු නහයෙන් අඩ අඩ ෆිල්ම් එක බලනවා .

2.30 වෙද්දී ෆිල්ම් එක ඉවර වුණා . ආයෙත් ඇදට යන්න ගියොත් නංගිලා දෙන්නා ඇහැරෙයි කියලා ලොකු කිව්ව නිසා අපි එතනම නිදාගත්තා .

එකපාරටම මං ඇහැරුණේ කුස්සියේ දොරේ ලොක් එක ඇරෙන සද්දේ ඇහිලා . මං ඉස්සර වෙලාම බැලුවේ ඔරලෝසුව දිහා . වෙලාව පාන්දර තුන හමාරයි. ඒත් එක්කම පිගන් රාක්කය හෙල්ලෙන සද්දේ ඇහුණා . මං නිදාගෙන හිටිය තැන් ඉදලම ඔලුව උස්සලා බැලුවේ එතනට කුස්සියේ දොර හොදට පේන නිසා .

මම එකපාරටම දැක්ක දෙයින් මගේ ඇග හිරි වැටිලා ගියා . එතන හිටගෙන හිටියේ සුදු ඇදගත්ත ගෑණු කෙනෙක් . ඒත් එයාගේ ඔලුව පේන්න නෑ.. කද විතරයි . ඒක පුදුම විදියට බය හිතෙන රූපයක්. මං එයා දිහා බලනකොටම එයා එයාගේ අත දික් කරා..

ඒ අත දික් වෙලා කෙලින්ම ආවේ මගේ බෙල්ලට . තද කරලා මගේ බෙල්ල අල්ලන ගමන්ම මාව බිත්‍තියට තියලා බෙල්ල තව තවත් තද කරන්න පටන් ගත්තා .

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.