Katha Ahura

දෝණී | 16 කොටස | හොල්මන් කතා |

4.9/5 - (40 votes)

#16 කොටස

“එයාට සිහිය එනවා… අම්මී සුදු අයියට සිහිය එනවා….!” ඈතින් වගේ ඇහුනෙ කවුරුහරි සද්දෙන් කතාකරන හඬක්. මුලු ලෝකෙම අන්ධකාරෙන් වැහිලා වගේ මට දැනෙද්දි මං හරිම අමාරුවෙන් ඇස් දෙක හෙමීට අරිද්දි මං දැක්කෙ බොඳවෙච්ච ඡායාවල් දෙක තුනක් මාව වටකරගන්නවා. ඇස් දෙක ඇරපු මං දෙතුන් වතාවක් ඇස් පිල්ලන් ගැහුවෙ ඇස් වල කඳුලු පිරිලා තිබ්බ නිසා. ඇස් දෙක හරියටම ඇරපු මං මුලින්ම දැක්කෙ මගෙ අම්මගෙ මූණ. මගෙ මූණ දිහා ඇස් වල කඳුලු පුරෝගෙන ලස්සන හිනාවක් එක්කම බලන් හිටපු අම්මා එයාගෙ එක අතකින් කඳුලු ටික පිහාගත්තා. “අ..ම්..ම්..මේ…..”

“මගෙ පුතේ කතා කරන්නෙපා රත්තරනෙ.. ඔහොම ටිකක් ඉන්න සනීපෙට…” අම්මා හෙමීට කිව්වා.

මං වටේටම ඇස් කරකවලා බැලුවෙ මං මේ කොහෙද ඉන්න කියලා බලාගන්න. තාත්තයි, නංගියි මගෙ වටේට හිටියෙ ඇස් වල කඳුලු පුරෝගෙන.

“පුතා…” තාත්තා කතා කලා. “ඔහොම ඉන්න දරුවො ඇලවෙලාම.. නැගිටින්න හදන්නෙපා.. දැන් ඩොක්ටර් එන ගමන් ඔයාව බලන්න…”

ඩොක්ටර්..??? එතකොට මං මේ ඉන්නෙ හොස්පිටල් එකේද? මට මොකද උනේ ඇත්තටම? කිසිම දෙයක් මගෙ මතකෙට ආවෙ නෑ. මතක් කරන්න හැදුවත් කිසිම දෙයක් මතකෙට ආවෙ නෑ. මොකද මේ මට වෙලා තියෙන්නෙ..? ඔලුව ඇතුලෙන් ප්‍රශ්න ගොඩක් එද්දි මගෙ ඇස් මානෙට ආවෙ මං මේ ලෝකෙන් දකින්න ආසම ඇස් දෙක තියෙන කෙනා.

“සුදු මැණික…” ඇස් දෙකේ කඳුලු පුරවන් මගෙ දිහා ලොකු ආදරේකින් බලන් හිටියෙ වෙන කවුරුත් නෙමෙයි පහන්දි… එයාව දැකපු ගමන් මගෙ ඇඟට ලොකු ශක්තියක් ආවා වගේ දැනුණා. මං කතා කරන්න හැදුවත් එයා මගෙ කට එයාගෙ අතකින් වහලා ඔලුව දෙපැත්තට වැනුවෙ එපා කියන්න වගේ. මං එයාගෙ අතින් අල්ලන්න හැදුවත් මට අල්ලගන්න තියා අත උස්සගන්නවත් බැරි උනා. මට මේ මොකද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැරුව මං අසරණ උනා. කිසිම කෙනෙක් මගෙ දිහා දුකෙන් වගේ බලාගෙන හිටියා මිසක් කිසිම දෙයක් කතා කලේ නෑ ඊටපස්සෙ. ටිකකින් ඒ හැමෝගෙම මූණු වෙනස් වෙන්න ගත්තෙ මහ බය හිතෙන විදිහට. හැමෝම මං දිහා බලන් හිටියෙ මාව කන්න තරම් තරහක් හිතේ තියන් වගේ කියලා මට හිතුණා. මං කතා කරන්න හැදුවත් මගෙ කටින් වචන පිට උනේ නෑ. ඒකෙන් තවත් මාව කලබල උනත් මට මගෙ අතපය කිසිම දෙයක් හොල්ලන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒත් එක්කම අපි හිටපු කාමරේ දොරත් ඇරගෙන කවුරුහරි එනවා ඇහුණා. මාව කන්න වගේ බලන් හිටපු අම්මවයි පහන්දිවයි ඈත් කරගෙන එතෙන්ට ආවෙ කවුරුත් නෙමෙයි සඳසාවි. එයා මගෙ දිහා බලලා හිනාවුණා. එයා ඇඳන් හිටියෙ හරියට ඩොක්ටර් කෙනෙක් වගේ.

“හෙලෝ තාත්තී… ඔයාට දැන් කොහොමද..? මං හිතන්නෙ ඔයාට තාමත් හොඳ මදි වගේ.. ආහ් කතා කරගන්න බෑ වගේ නේද…? ඉන්නකො මං ගාව ඕකට හොඳ බෙහෙතක් තියෙනවා…” එහෙම කියපු එයා මහ හයියෙන් හිනාවෙලා ඇඳ ලඟ තිබ්බ කබඩ් එකේ ලාච්චුවකට අත දාලා ඇදලා ගත්තෙ ලොකු, ටිකක් දිගට තිබ්බ හරියට නිකන් මස් කපන පිහියක්. මගෙ දිහා බලපු එයා ආයෙමත් හිනාවුණා. “මං ඔයාව ඉක්මණටම හොඳ කරන්නම් තාත්තී.. මෙන්න මේක තමයි ඒකට කරන්න ඕනෙ…” එහෙම කියපු එයා ඒ පිහිය අරන් ලඟ හිටපු පහන්දිට පිහියෙන් කෙටුවෙ හරියට මස් කෑල්ලක් කපනවා වගේ. ඒ පාරත් කාගෙන ලේ පෙරාගෙන පහන්දිත් වියරුවෙන් හිනාවෙද්දි තවත් පිහි පාරවල් ගොඩක් එයාට ගහපු සඳසාවි හ‍යියෙන් හිනාවෙලා අම්මා පැත්තට හැරුණා. ඒ වෙච්ච දේ දැකපු මට කෑගැහුණත් මගෙ කටින් හඬක් පිට උනේ නෑ. ඇස් වලින් කඳුලු ගලාගෙන යද්දි සඳසාවි අම්මටයි, තාත්තටයි, නංගිටයි ඒ පිහියෙන් කොටාගෙන කොටාගෙන ගියේ වියරු වැටිලා වගේ. ඒ හතර දෙනාම මළ කඳන් බිමට වැටෙද්දි එයාලගෙ ලේ වලින් මාවත් නෑවෙද්දි සඳසාවි මහ හයියෙන් හිනාවුණා.

“හාහා හහ් හා හා….!!! දැන් ඒ එකෙක්වත් නෑ ඔයාගෙන් මාව වෙන් කරන්න…හහ් හ හා හා.. දැන් ඔයත් එන්න මගෙ ලඟට…” එහෙම කියපු එයා මට කොටන්න පිහිය උඩට ඉස්සුවා. හිත ඇතුලෙ තිබ්බ වේදනාවයි එවෙලෙ හිතට දැනුණු බයයි නිසාම මං මට පුලුවන් තරම් හයියෙන් කෑගැහුවා.

“එපා……!!!!!”

ඒත් එක්කම වගේ මගෙ මූණට තෙත දෙයක් වැටෙනවා දැනුණ මං අත පය ගසලා දාලා නැගිට්ටෙ ලඟ හිටපු කෙනෙක්වත් පෙරළගෙන.

“පුතා.. පුතා… මොකද මේ…??”

කෙලින් උනු මං දැක්කෙ තාත්තා මං ගාව ඉඳන් මගෙ දිහා බයවෙලා බලාගෙන ඉන්නවා. එයාගෙ අතේ වතුර ජෝගුවක් තිබුණා. ඒක උදුරලා ගත්තු මං වතුර ටික බීගෙන බීගෙන ගියේ දවස් ගාණකින් වතුර බිව්වෙ නැති එකෙක් වගේ. ඒ වතුරෙන්ම මූණත් හෝදගත්තු මං වටපිට බලද්දි දැක්කා ෆාදර් අයිවනුයි මං දෝණි එක්ක ඉද්දි මට එතනින් පැනගන්න උදවු කරපු මනුස්සයයි එහා පැත්තෙ ඉඳන් මං දිහාම බලන් ඉන්නවා. මගෙ ලඟට ආපු තාත්තා මාව බදාගත්තා.

“මගෙ පුතා…”

“තාත්තෙ මේ මොකද උනේ…? මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ… මොනාද මේ වෙන දේවල් වල තේරුම..? කෝ දෝණි එයාට මොකද උනේ…?? එතකොට මේ ඉන්න මනුස්සයා කවුද…???” මං තාත්තව ඈත් කරලා ඇහුවා. ඒකට උත්තර දුන්නෙ ෆාදර් අයිවන්.

“අහස් පුතා… කලබල වෙන්න දෙයක් නෑ දැන්.. ඒ ආත්මෙට දැන් ඔයාට ලං වෙන්න බෑ.. එයාව එයාගෙ ලෝකෙ හිරකරලයි තියෙන්නෙ… ඒ ආත්මෙ විනාස කරන්න නම්…”

“එයාව හිර කලා..??? ඇයි එහෙම දෙයක් කලේ…? ඒ අහිංසක කෙල්ලගෙ ආත්මෙ මොන දෙයක් නිසාද ඔයාලා හිර කලේ..??” ෆාදර්ගෙ කතාව නවත්තපු මං අඩි පොලවෙ හප්පලා කෑගැහුවා.

“අහස්..!” ගැඹුරු, තදින් මගෙ නම කතා කරන හඬක් ඇහුණා. හැරුණු මං දැක්කෙ අර මනුස්සයා මගෙ ලඟට එනවා. “තමුන් දන්නවද අපි තමුන්ගෙ ජීවිතේ බේරගන්න අපේ ජීවිත පවා අනතුරේ දාගත්තා කියලා.. තමුන්ගෙ මේ තාත්තා, ගමේ පල්ලියෙ තමුන්ලට දේව පණිවිඩය දෙන මේ ෆාදර් අයිවන්, ඒ වගේම මේ කිසිම දෙයක් නොදැන තමුන්ට උදවු කරන්න ආපු මම කොච්චර නම් අවදානමක් ගත්තද කියලා දන්නවද..? මැරුණු කෙනෙකුගෙ ආත්මයක් කියපු දෙයක් අහලා, ඒ ආත්මෙ පෙන්නපු දේවල් දැකලා හැමදේම තීරණය කරන්නෙපා අහස්… හැඟීම් වලට වහල් වෙලා මෝඩ තීරණ ගන්නෙපා.. අපි තමුන්ව බේරගත්තෙ තමුන් මහා විනාශයක් කරගන්න කලින් කියලා දන්නවද…? මිනීමරුවෙක් වෙන එකෙන් බේරගත්තෙ කියලා දන්නවද..?? ඒ දේවල් නොදැන මෙතන කෑගහන්නෙපා…” ඒ කතාවෙන් මං ටිකක් සන්සුන් උනත් මට ප්‍රශ්න ටිකක් ඉතුරු උනා. මං කට අරින්න හදද්දිම ෆාදර් අයිවන් කතා කලා.

“පුතා මේ අහන්න.. මුලින්ම කියන්න ඕනෙ මේ ඉන්නෙ මේ වගේ කටයුතු වලට බොහොම දක්ශ, මේ වගේ ප්‍රශ්න සිය ගාණක් විසඳලා දුන්නු ෆාදර් ජෝන්…” ෆාදර් අයිවන් එහෙම කිව්වම තමා මං හරියටම අර මනුස්සයගෙ ඇඳුම දිහා බැලුවෙ. ඇත්ත නේන්නම් මේ ඉන්නෙ ෆාදර් කෙනෙක්නෙ. හිතට ලොකු පසුතැවීමක් දැනෙද්දි මං ෆාදර් ජෝන් ගෙන් සමාව ඉල්ලුවා. තාත්ත ඇවිත් මාව එතන තිබ්බ පුටුවක ඉන්දුවා.

“ෆාදර් ජෝන් කියපුවා ඔක්කොම ඇත්ත.. ඒ ආත්මෙ ඔයාට කියපු හැමදේම ඇත්ත වෙන්න පුලුවන් ඒ වගේම පෙන්නපු හැමදේම ඇත්ත වෙන්නත් පුලුවන්.. ඒ වගේම ඒ හැමදේම බොරුවක් වෙන්නත් පුලුවන්. මොකද කියනවනම් මැරුණු ආත්ම ගොඩක් වෙලාවට බොරු කියන අවස්තා වැඩියි…”

“ඒත් ෆාදර් ඒ කියපුවා ඇත්ත වෙන්න පුලුවන් හොඳටම.. මොකද ඒ දේවල් මගෙ අතීතෙදි වෙලා තියෙන නිසා… ඒ කෙල්ලට වෙලා තියෙන්නෙ ලොකු අසාධරණයක්…”

“මෙහෙමයි අහස්..” ෆාදර් ජෝන් මගෙ ලඟට ආවා. “මං දන්නවා ඒ ඔයාගෙ අතීතෙ ගැන.. මං ඒ දේවල් දැක්කා… ඒ වගේම ඒ ආත්මෙ ඔයාට කොච්චර ආසාවකින්, ආදරේකින් බැඳිලද කියලත් දැක්කා… එයාට වෙච්ච අසාධරණේ මොකක්ද කියලත් දැක්කා… ඒත් අහස් ඔයා ඒ ආත්මෙ ග්‍රහණෙ යටතෙ ඉන්නකල් ඔයාගෙ හැඟීම් වලින් එයා ප්‍රයෝජන ගන්නවා.. ඔයාගෙ හිත ඇතුලෙ තියෙන මතකයන් එලියට අරන් ඒ අතීතෙ ඇතුලෙ ඔයාව ජීවත් කරවලා එයාට වෙච්ච දේවල් වලට ඔයාගෙ හිතට වෛරය ඇතුල් කරලා ඒ මාර්ගෙන් ඔයා ලව්වා එයාට අසාධරණේ කරපු මිනිස්සුන්ගෙන් පලිගන්න පුලුවන්… හිතන්න ඔයා ආත්මයක් වැහිලා මේ දේවල් කලා කියලා කිසිම කෙනෙක්වත් උසාවියෙන්වත් පිලිගන්නෙ නෑ… ජීවිතේ ඉතුරු කාලෙ ගෙවන්න වෙන්නෙ හිර කූඩුවක.. එහෙමත් නැත්තම් පෝරකයක් උඩ මැරෙන්නයි වෙන්නෙ… තේරුණාද…???”

ෆාදර් ජෝන් කියපුවා මං පිලිගත්තත් දෝණි ගැන හිතේ ඇතිවෙලා තිබ්බ අනුකම්පාව, එයාට අපා දුක් දීපු, මරලා දාපු උන් ගැන මගෙ හිතට තදින්ම වැදිලා තිබ්බෙ. ඒ කිසිම හැඟීමක් මං පිටට පෙන්නුවෙ නෑ. ඒත් තාමත් දෝණිට හරියටම මොකද උනේ කියන එක මට දැනගන්න ලැබුණෙ නැති නිසා මගෙ හිතේ පොඩි නොසන්සුන්කමකුත් තිබුණා.

වටින් ගොඩින් එලිය වැටීගෙන එනකොට ෆාදර්ස්ලා දෙන්නම යන්න ලෑස්ති උනා. ඒත් ඊට කලින් අපේ මුලු ගෙදරම එයාලා ආශිර්වාද කරලා ආරක්ශාවක් කරලයි ගියේ. ඒ වගේම වත්තෙ හතර මායිමම ආරක්ශා කලේ කිසිම බලවේගෙකට අපේ වත්තටවත් ඇතුල් වෙන්න බැරි විදිහට. ඊටත් වඩා විශේශයෙන්ම මට උපදෙස් ගොඩකුත් දීලා ලොකු ආරක්ශාවකුත් කරලයි ගියේ. ෆාදර් ජෝන් මට කිව්වා හදිසියක් උනොත් එයාට කතා කරන්න කියලා. ඒ වගේම ගෙයින් පිට ඉද්දි ගොඩාක් පරිස්සම් වෙන්න කියලත් කියලයි ගියේ.

********************************************************************
ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.