Katha Ahura

දෝණී | 18 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#18 කොටස

“තා…ත්…තී…….!!!”

මහ ගොරෝසු කැඩි කැඩි වගේ ආපු හඬකින් මට කතා කර කර එයා මගෙ ලඟට ඇදිලා එන්න ගත්තා. මං එහෙමම බිම දිගේම පස්සෙන් පස්සට ගියේ එයාගෙන් ඈත් වෙන්න හිතාගෙන. ඒත් එයා එක කකුලකුත් බිම දිගේ ඇදගෙන මගෙ ලඟට ටිකක් වේගෙන් එන්න ගත්තෙ මගෙ හිතේ තිබ්බ බය තවත් වැඩි කරමින්. අතේ තිබුණු ෆෝන් එකත් බිමට වැටෙද්දි කිසිම එලියක් නොතිබුණු ඒ අඳුරු රෑ මං නැගිටලා දුවන්න ගත්තෙ යන්නෙ කොහෙටද කියලවත් දන්නෙ නැතුව. ගස් අස්සෙන් පඳුරු උඩින් පැන පැන මං පුලුවන් තරම් දුරකට දිව්වත් මං දුවන්නෙ තවත් අන්ධකාරෙටම කියලා තේරෙන්න තරම් මගෙ මොලේ එවෙලෙ වැඩ කලේ නෑ. හදිස්සියෙම ඉස්සරහින් ආපු සද්දයක් නිසා මං එකපාරටම නතර උනා. කිසිම එලියක්වත් තිබුණෙ නෑ ඒ හරියෙ. මට ඇහුණෙ වේලිච්ච කොළ,දරකෝටු පෑගෙන සද්දයක්. ටිකක් වෙලා කිසිම සද්දයක් නොකර හිටපු මට මගෙ හදවත වේගෙන් ගැහෙන සද්දෙ පවා ඇහෙන්න ගත්තෙ වටේම පරිසරයෙ ලොකු නිෂ්ශබ්දතාවයක් පෙන්නුම් කරන් ගමන්. ටික ටික ඇස් අඳුරට හුරුවෙද්දි මං දැක්කා කලු පාටට ඡා‍යාවක් මගෙ ඉස්සරහින් ඇදිලා යනවා. හුස්ම ගන්නෙවත් නැතුව බලන් හිටපු මට ආයෙම ඇහෙන්න ගත්තෙ කොළ රොඩු ඇදෙන වගේ සද්දයක්. සද්දෙ ආපු පැත්ත බලපු මං අඳුර අස්සෙන්ම දැක්කෙ අපේ නංගිගෙ මූණ. ඔව් ඒ එයාම තමයි. මේ මහ රෑ අර හොල්මන් අස්සෙ මෙයත් හොල්මන් කරනවද කොහෙද මාව තවත් බය කර කර. හිතින් බණින් ගමන් මං එයාට කතා කලා.

“නංගී…”

ඒත් එයා එකපාරම සිහිය නැති උනා වගේ වැටෙනවා මං ලාවට වගේ දැක්කා. බිමට වැටෙන සද්දෙත් ආපු නිසා මං එතෙන්ට දුවගෙන ගියා. නංගි ඇඳලා හිටියෙ සුදු පාටට හුරු ඇඳුමක් නිසා අඳුරෙ උනත් ඒක පේනවා. මං එයාගෙ ලඟට ගිහින් එයාව අල්ලද්දි මට දැනුනෙ අයිස් ගොඩක් ඇල්ලුවා වගේ තද සීතලක්. මං ඉක්මණටම එයාව මගෙ පැත්ත හරවලා මගෙ උකුළට ගත්තා. “නංගී…”

“තා…ත්..ත්…තී……”

නංගිගෙ කටහඬ වෙනුවට මට ඇහුණෙ සඳසාවිගෙ කටහඬ. එතකොටයි මං අඳුරෙ උනත් පැහැදිලිව පෙනුණ ඒ මූණ දැක්කෙ. කුණු වෙලා ඕජස් ගලන බලන්න බැරි තරම් විරූපි වෙලා තිබ්බ ඒ මූණෙ තිබ්බ ඇස් වලින් මං දිහා බලන් හිටපු එයා මං එතනින් පැනලා දුවන්න හදද්දිම මගෙ අත තදින් අල්ලගත්තෙ මට හෙල්ලෙන්නවත් බැරි විදිහට. කොච්චර අත ගලවගන්න හැදුවත් යකඩ අඬුවකින් අල්ලගෙන ඉන්නවා වගේ ශක්තියකින් එයා මගෙ අත එයාගෙ කුණු වෙලා ඕජස් ගලන අතකින් අල්ලගෙන මගෙ දිහාම බලාගෙන නැගිට්ටා.

“ඈතෑරපන් යක්ශණී මාව…! අතෑරපන්….!!”

මං කෑගගහා අත ගලවගන්න හැදුවත් එයා ඒක තදින්ම අල්ලගෙන හයියෙන් හිනාවෙන්න ගත්තෙ මහ ගොරෝසු බය හිතෙන හඬකින්.

“හහ් හහ් හහ් හා හා හා……..!!!”

ඒ අන්ධකාර රෑ ඒ හිනාව වටේටම දෝංකාර දෙන්න ගත්තා. හිතේ තිබ්බ බය වගේම තරහවත් එක්කම උඩ පැනලා පයින් පාරක් ගැහුවෙ එයාගෙ ඔලුවට. ඒ ගහපු පාරෙ සැරකමටද කොහෙද ඒ කුණුවෙලා මස් කෑලි එල්ලි එල්ලි තිබ්බ බෙල්ලෙන් ඔලුව බාගයක් විතර ගැලවිලා ඒක පැත්තකට ඇලවෙලා එල්ලි එල්ලි වගේ තිබුණා. මං ටිකකට කලින් දැකපු නංගිගෙ ශරීරය වෙනුවට එතන තිබ්බෙ මුලු ඇඟේම මස් කෑලි හැලි හැලී යමින් තිබ්බ කුණුවෙච්ච, ඕජස් ගලන ශරීරයක්. ඔලුව එල්ලි එල්ලි තියෙද්දිත් එයා කතා කලේ අර කලින් ආපු හඬටත් වඩා භයානක හඬකින්.

“උඹලට මගෙන් ගැලවීමක් නෑ….. මගෙන් බේරෙන්න හිතන්නවත් උඹලා කාටවත්ම බෑ….”

එහෙම කියපු එයා මගෙ බෙල්ලට එයාගෙ කුණුවෙච්ච අතක් තිබ්බෙ මගෙ බය දෙගුණ තෙගුණ වෙලා මං කෑගහද්දි. ඒත් හඬක් පිට උනේ නම් නෑ මං කොච්චර කෑගැහුවත්. මගෙ බෙල්ලෙන් අල්ලගත්තු එයා ඒක හිරවෙද්දිත් මාව බිම දිගේ ඇදගෙන යන්න පටන් ගත්තා. මං කොච්චර දැඟලුවත් මට බේරෙන්න බැරි බව දැනෙද්දි මට හිතුණෙ මේ මගෙ අවසානෙ වෙන්නැති කියලා. ටික ටික හුස්ම හිරවෙද්දි මගෙ ඇස් දෙක පියවෙන්න ගත්තා. ඒත් ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මටත් පිදුරු ගහක් විදිහට මතක් උනේ මගෙ කලිසමේ සාක්කුවට මං නිදාගන්න කලින් දාපු කුරුසිය තිබ්බ මාලෙ. හිතේ ශක්තියෙන් අමාරුවෙන් සාක්කුවට අත දාපු මං මාලෙ එලියට අරන් අර කුණුවෙච්ච අතේ කුරුසිය වැද්දුවා.

“ආ………හ්…..!!!”

මගෙ බෙල්ලෙන් අත ගත්තු සඳසාවි මහ හයියෙන් වේදනාවෙන් වගේ කෑගහගෙන මගෙන් ඈතට පැන්නා. බෙල්ල අල්ලගෙන කැහැ කැහැ මං ටිකක් පස්සට දිව්වෙ අමාරුවෙන් හුස්ම ගන්න ගමන්. ආයෙමත් යටිගිරියෙන් කෑගහපු එයා මගෙ දිහා බලන් හිටියෙ ගිනි පිටවෙන ඇස් දෙකකින්.

“ඕක විසි කරපන්…! නැත්තම් මං උඹගෙ පවුලෙ උන් ඔක්කොම මරලා දානවා මේ දැන්ම ගිහින්…!!”

එයාගෙ තර්ජනය ගණන් නොගත්තු මං බෙල්ලත් අල්ලගෙනම පස්සෙන් පස්සට ගියේ වටපිට බල බල අපේ ගේ තියෙන්නෙ කොහෙද කියලා බලාගෙන. එතකොට තමයි දැක්කෙ මං ඉන්නෙ ගෙදරට මීටර් සීයක් විතර මෙහෙන් කියලා. කුරුසිය ඉස්සරහට දික් කරගෙනම මං පස්සෙන් පස්සට ගියා. සඳසාවිත් කලින් වගේම කකුලත් අද්දගෙන මගෙ ලඟට එන්න ගත්තා. ගෙදරට මීටර් පණහක් විතර වෙනකල්ම ආපු මං ආපහු හැරිලා දුවන්න ගත්තෙ සඳසාවි මහ හයියෙන් හිණාවෙවී මගෙ පස්සෙන් පන්නද්දියි. ඒත් ගාඩ්න් එකත් පහු කරලා ගේ සීමාවට එද්දි එතනින් එහාට එයාට එන්න බැරිවුණේ එයා ලංවෙන්න හදන හැම වෙලාවෙම එයාව පස්සට විසිවුණු නිසයි. මං ගෙදර පෝටිපෝවට වෙලා ඒ දිහා බලාගෙන ඉද්දි කවුරුහරි මගෙ පිටිපස්සෙන් ඇවිත් මාව අල්ලගත්තා. කෑගහගෙන අනිත පැත්ත හැරුණු මං පයින් පාරකුත් දෙන ගමන් පස්සට පැන්නා.

“අහස්…! මේ ම..ම….”

ඒ හිටියෙ වෙනින් කවුරුත් නෙමෙයි ෆාදර් ජෝන්. මං ගහපු පාර එයාගෙ අතකට වැදුණු නිසාද කොහෙද එයා අතක් අල්ලගෙන මගෙ දිහා බලාගෙන හිටියා. මං ෆාදර් ලඟට ගිහින් එයාගෙ අතකින් අල්ලගත්තෙ හිතට දැනිලා තිබ්බ බයටමයි. ඒත් ෆාදර් බලන් හිටියෙ මං දිහා නෙමෙයි කියලා තේරුණේ එයා මං ලඟට ආවා කියලවත් ගණන් ගත්තෙ නැති නිසා. එයා බලන් හිටිය දිහාව බලපු මං දැකපු දෙයින් කටේ තිබ්බ අන්තිම කෙල බිංදුවත් හිඳුනා කිව්වොත් හරි.

“ෆා..ද..ර්…. ඒ ඉන්නෙ…..”

ෆාදර් බලන් හිටියෙ වෙන කවුරුත් දිහා නෙමෙයි සඳසාවි දිහායි, එයා එක්ක හිටපු ඊයෙ උදේ සඳසාවි විසින්ම මරලා දාලා තිබුණු ෆාදර් අයිවන් දිහායි. ෆාදර් අයිවන් බලන්න බැරි තරම් විරූපී වෙලා හිටියෙ එයා මැරිලා හිටපු විදිහටත් වඩා භයානක විදිහට. ඒත් ෆාදර් අයිවන් කියන්නෙ මෙහෙම හොල්මනක් වෙන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. එතුමා දෙවියන්ගෙ මග ගිය කෙනෙක්නෙ. මගෙ ඒ ප්‍රශ්නෙට උත්තර ඉක්මණටම ලැබුණෙ ෆාදර් ජෝන්ගෙන්.

“ඒ මා‍යාවක් අහස්… අර යක්ශණී අපිට පෙන්නන්නෙ ෆාදර් අයිවන්ගෙ ආත්මය නෙමෙයි ඒක මායාවක්…”

“ඒ..ඒ..ත්”

“ඒ යක්ශණී හදන්නෙ අපිව බය කරන්න අහස්… නපුරට අපි බය නොවෙන තාක් කල් නපුර ජයගන්නවා.. ඒත් අපි අපේ බය නැති කරගන්න ඕනෙ… එතකොට මේ වගේ ආත්ම දුර්වල වෙනවා…”

ෆාදර් ජෝන් එහෙම කිව්වත් මගෙ හිතේ තිබ්බ බය ටිකක්වත් අඩු උනේ නෑ. ටිකකින් ෆාදර් අයිවන්ගෙ රූපය බලන් ඉද්දිම මැකිලා යද්දි සඳසාවි හිටපු භයානක විරූපී රූපෙ වෙනස් වෙලා ඉස්සර ජීවත් වෙලා ඉද්දි හිටපු කෙනා වගේම උනේ මගෙ දිහා අහිංසක බැල්මක් බලන ගමන්.

“තාත්තී….” එයා කතා කලා. “අනේ මගෙ ලඟට එන්න තාත්ති මට ඔයාව ඕනෙ… මාව ඔයාගෙන් ඈත් කරන්නෙපා තාත්තී… එන්නකෝ ඇවිත් ඔයාගෙ දෝණිව ඔයාගෙ තුරුළට ගන්නකෝ… එන්නකෝ තාත්තියෝ….” එයා හරිම අහිංසක විදිහට හිතේ දුකක් ඇතිවෙන විදිහට කතා කලාම මට එයා ගැන ඇතිවුණේ ලොකු අනුකම්පාවක්. ඒ වගේම මං දන්නෙවත් නැතුව මාව එයා ලඟට ඇදිලා යන්න ගත්තා. එයා අහිංසක බැල්මෙන්ම මගෙ දිහා බලාගෙනම හිටියා. ඒත් මගෙ ලඟට පැනපු ෆාදර් ජෝන් මාව අල්ලගත්තා.

“පිස්සු වැඩ කරන්නෙපා අහස්… ඒ යක්ශණී හදන්නෙ ඔයාව එයා ලඟට ගෙන්නගෙන මෙහෙන් අරන් යන්න.. එහෙම උනොත් අපිට ඔයාව බේරගන්න බැරිවෙනවා…”

මං නින්දකින් ඇහැරුණා වගේ ආයෙමත් පස්සට යද්දි සඳසාවිගෙ මූණ ආයෙමත් අර කලින් වගේ මළකුණක් වෙන්න ගත්තෙ ඒ දිහා බලන් ඉන්නත් අමාරු කරමින්.

“උඹට හැමදාම එයාව මගෙන් ඈත් කරන්න හම්බෙන්නෙ නෑ… මතක තියාගනින් උඹට උනෙත් අරූට වෙච්ච දේම තමයි… එයාව මගෙන් ඈත් කරන්න හදන හැමෝටම වෙන්නෙ ඒ දේ…. හහ් හා හා හහ් හා හා….!!!” එහෙම කියපු එයා වියරු විදිහට හිනාවෙලා අතුරුදහන් උනා. ආයෙමත් සැරයක් වටපිට බලපු මම පෝටිපෝව යට තිබුණු පුටුවක වාඩි උනේ සැනසීමෙන් හුස්මක් උඩට අරන් පහලට දැම්මා.

“දෙවියන් වහන්සේ විශ්වාස කරන්න අහස්… නපුරට දින්නන දෙන්න එපා… ඔයා බය නොවී ඒ දේට මූණ දෙනකල් ඔයාට අනතුරක් කරන්න කාටවත්ම බෑ…” ෆාදර් ජෝන් කිව්වා.

“ඇයි ෆාදර් එයා අපිට මෙච්චර කරදර කරන්නෙ…? මොනාද ඇත්තටම එයාට ඕන කරලා තියෙන්නෙ…?? ඇත්තටම අද ෆාදර් හිටියෙ නැත්තම් මං ඉව‍රයි…” එහෙම කියපු මං ඔලුව උස්සලා ෆාදර් ජෝන් දිහා බැලුවත් එයා එතන හිටියෙ නෑ. මං වටපිට බැලුවත් එයා පේන්න හිටියෙ නෑ. මං වටේටම ඇස් යවලා බැලුවෙ කෝ එයා කියලා. ඒත් කිසිම කෙනෙක් හිටියෙවත් අවටින් කුකුල්ලු හඬලනවා ඇරෙන්න කිසිම කෙනෙක් හිටියෙත් නෑ. මේ ටිකට එයාට කොහෙටවත් යන්න වෙලාවකුත් නැති එකේ එයා කොහෙද? මං කතා කලත් එයාගෙ සද්දයක්වත් නෑ. මොකද වෙන්නෙ කියලා නොතේරුණත් හිතට මහා අමුත්තක් දැනුණා. ඒත් එක්කම වගේ ගෙදර කට්ටිය කලබලෙන් කතා කරන සද්දෙ ඇහුණෙත් ඉස්සරහා දොර ඇරුණෙත් එක සැරේම වගේ. දොරෙන් එලියට ආවෙ තාත්තා.

“තාත්තේ…”

“අහස්…? පුතා මොකද මේ මහ පාන්දර ගෙදරින් එලියෙ කරන්නෙ..? අනික මොකද මේ මුලු ඇඟේම ජරාව ගාගෙන හැමතැනම සූරගෙන ආ..?? මොකද මේ වෙන්නෙ…???” මාව දැකපු තාත්තා පුදුමෙන් වගේ මගෙන් ප්‍රශ්න වැලක්ම අහගෙන ගියේ මගෙ උඩ ඉඳන් පහලට බලන ගමන්.

“දෝණි…” මට කියාගන්න හම්බුණේ එච්චරයි. තාත්තා කෑගැහුවා.

“ඒ යක්ශණී මෙහාට ආයෙමත් ආවද…?? දෙයියනේ මේ මොනවා වෙනවද…???”

“ඇයි තාත්තෙ මොකද වෙලා තියෙන්නෙ…???”

“ඒ යක්ශණී තවත් බිල්ලක් අරන් පුතා…” තාත්තා කෑගැහුවා.

“ක්..ක..වු..ද.. තා..ත්..තෙ..???”

“ෆාදර් ජෝන්….!”

*********************************************************************

මුලු රැයක්ම නිදි නැතුව ගොඩක් හිරිහැර වලට මූණදූන්නු මං ඒ උදේ පාන්දරම වෙන ඇඳුමකට මාරු වෙලා ඉක්මණින්ම ෆාදර් ජෝන් නැවතිලා හිටපු පුංචි පල්ලිය ලඟට යද්දි ඒ ගමේ මිනිස්සු ගොඩක් පල්ලිය වටේට රැස් වෙලා හිටියා. වෙච්ච දේ මට හිතාගන්න බැරි උනේ පාන්දර මාත් එක්ක ෆාදර් ජෝන් හිටපු නිසා. එයා මට සඳසාවිගෙන් බේරෙන්න පවා උදවු කලානෙ. අනික මැරුණා නම් කොහොමද එයා මාව අලාන්නෙ? මං ගහපු පාර උනත් එයාට වදින්නෙ? මේ දේවල් හිතට වද දෙද්දි මං හැමදේම තාත්තට කිය කියා ආවෙ. එයත් ඉන්නෙ ලොකු කැළඹීමකින් කියලා එයාගෙ මූණ බලපුවම තේරුණා. සෙනඟ අස්සෙන් මිනීමැරුම වෙච්ච තැනට අපි හරිම අමාරුවෙන් ඇදුණත් ඒ වෙද්දිත් ඇවිත් හිටපු පොලිසිය අපිට ඇතුළට යන්න දුන්නෙ නෑ.

“මේ ගමට නම් මොකක් හරි සාපයක් වැදිලා වගේ… දැන් මේ දෙවෙනි දවස මේ වගේ දෙයක් උන… දෙවියන්වහන්සේ කෝප වෙලාද කොහෙද…” එතන හිටපු වයසක මාමා කෙනෙක් කිව්වා.

“දෙන්නම මැරිලා තියෙන්නෙ එකම විදිහට කුරුසෙ අනිත් පැත්ත හරවලා වගේ බිත්තියට තියලා ඇණ ගහලා… බලන්න බැරි තරම් මූණ අතපය සතෙක් සූරලා වගේ තුවාල වෙලා මස් එලියට එනකල්ම… මූණත් බලන්න බැරි තරම් විරූපී වෙලා… අම්මෝ….!”

එතන හිටපු තව කෙනෙක් කිව්වෙ මගෙ ඇඟම හිරිවැටිලා යද්දි. ඒ කියන්නෙ ෆාදර් ජෝන් මැරිලා උනත් ඊයෙ මට උදවු කරන්න ඇවිත් තියෙනවා. ඒක තමයි ඊයෙ සඳසාවි කිව්වෙ ‘උඹට හැමදාම එයාව මගෙන් ඈත් කරන්න හම්බෙන්නෙ නෑ… මතක තියාගනින් උඹට උනෙත් අරූට වෙච්ච දේම තමයි… එයාව මගෙන් ඈත් කරන්න හදන හැමෝටම වෙන්නෙ ඒ දේ…’ කියලා. මේ විදිහට එයා තව කාව බිල්ලට ගනියිද? එයාට අපරාධය කරපු එවුන් නිදහසේ ඉද්දි ඇයි එයා මේ අහිංසක මිනිස්සුන්ටම කරදර කරන්නෙ?

“පුතා අර බලන්න…” තාත්තා මගෙ අතින් අල්ලලා මට පෙන්නුව දිහා මං බැලුවා. අයිවන් ෆාදර් මැරුණ තැනදිත් තිබුණු ඒ දේ ෆාදර් ජෝන් හිටපු කාමරේ දොරේ උලුවස්සෙත් රතුපාට ලේ වලින් ලියලා තිබුණා.

“He is only Mine… No one can keep him away from me…”

*************************************************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.