Katha Ahura

දෝණී | 28 කොටස | හොල්මන් කතා |

4.9/5 - (100 votes)

#28 කොටස

“දුවන්න අහස් දුවන්න….!!!”

මිස්ටර් අතුල මගෙ දිහාවට හැරිලා හයියෙන් කෑගහන්න ගත්තා. ඒත් එයාව දාලා යන්න බැරි නිසා මං එයා දිහාවට දිව්වෙ එයාවත් ඇදගෙනම දුවන්න හිතාගෙන.

“පණ බේරගෙන දුවපන් යකෝ දුවපන්…!! මං මූව කොහොමහරි අල්ලගන්නම් උඹ දුවපන්…!!!”

මං දුවන් එනවා දැකපු මිස්ටර් අතුල යක්ශයා ආවේස වෙලා වගේ කෑගහන්න ගත්තා. එහෙමම නැවතුණු මං ආයෙම හැරිලා කකුල් දෙකට පණ දීලා හ‍යියෙන් දුවන්න ගත්තෙ පස්සවත් නොබලා.

“ආ……. එපා…… එපා………!!!”

මිස්ටර් අතුලගෙ වේදනාවෙන් බෙරිහන් දෙන කටහඬ ඇහෙද්දි මං දුවන වේගෙ තවත් වැඩි උනා. ගස්වැල්, පඳුරු පීරගෙන මං ඉස්සරහට දිව්වෙ හඳ එලිය විතරක් වැටිලා තිබුණු ඝන අන්ධකාරෙ මැද්දෙ. කොහෙට දුවනවද කියලා මංවත් දැනන් හිටියෙ නෑ.

“හඃ හඃ හඃ හහා හා….!! දුවපන්… පණ බේරගෙන ඇති තරම් හයියෙන් දුවපන්…. හඃ හඃ හඃ හා…!!!”

මගෙ පිටිපස්සෙන් ලඟින්ම වගේ ඇහුණු ඒ භයංකාර හඬට මගෙ ඇඟේ හැම රෝම කූපයක්ම කෙලින් උනා කිව්වොත් හරි. හිතට දැනුණු බයත් එක්කම මං දුවන වේගෙ තවත් වැඩි කලේ පිටිපස්ස හැරිලවත් බලන්නැතුව. කොච්චර හයියෙන් දිව්වත් මගෙ පස්සෙන් ඇහෙන ඒ වියරු හිනා හඬ මට ලඟ ලඟම ඇහෙන්න ගත්තා. ඒ උනත් කොච්චර හති වැටුණත් මං දුවන එක නතර කලේ නෑ. මුලු ඇඟම සීරුම් තුවාල වලින් වේදනා දුන්නත් ඒ හැම එකකටම වඩා හිතේ බය වැඩි නිසා දුවපු මට එකපාරටම නතර වෙන්න සිද්ද උනා.

“ආ….හ්”

මගෙ ඉස්සරහින් හිටියෙ මහ භයංකාර මූණක් තිබ්බ යක්ශණියක්. ගිනියම් වෙච්ච ඇස් දෙකකින් මගෙ දිහා බලාගෙන පිලිවෙලකට නොතිබ්බ දත් ටික විලිස්සගෙන කුණුවෙලා ඕජස් ගලන අත් දෙකක් මගෙ දිහාවට දික් කරගෙන ඒ යක්ශණී මගෙ දිහාවට පාවෙලා වගේ එන්න ගත්තා. ආපහු හැරිලා දුවන්නවත් මට වෙලාවක් තිබ්බෙ නෑ. මගෙ ලඟට ආපු යක්ශණී සෙවල පිරුණු ඒ ඇඟිලි වලින් මගෙ බෙල්ල අල්ලගත්තා.

“ග්හ්…….”

බෙල්ල හිරවෙච්ච මං වේදනාවෙන් කෙඳිරි ගෑවෙ අත් වලිනුයි කකුල් වලිනුයි ඒ යක්ශණීට ගගහා.

“හඃ හඃ හඃ හඃ හා හා….!!! උඹට මගෙන් බේරෙන්න බෑ….. මං උඹව මරලා විනාශ කරනවා…. හඃ හඃ හඃ හහා…..”

“එ..ප්..පා……. එපා……..!!!”

මං මට පුලුවන් තරම් හයියෙන් කෑගැහුවා. ඒ යක්ශ මූණ බලන්න බැරි තරම් භයංකාර බවක් තිබ්බ නිසා මං මට පුලුවන් තරම් ශක්තිය දාලා දඬු අඬුවකින් අල්ලන් ඉන්නවා වගේ දැනුනු ඒ කුණුවෙච්ච අත් වලින් ගැලවෙන්න උත්සාහ කලා. ඒ උනත් ආයෙමත් භයංකාර විදිහට හිනාවුණු ඒ යක්ශණී මාව අල්ලලා උඩට වීසි කරලා දැම්මා.

“දග්…!”

බිමට වැටුණු මං ආයෙමත් නැගිටලා දුවන්න ගත්තෙ ඒ යක්ශ්ණීගෙන් කොහොමහරි බේරෙන්න හිතාගෙන.

“ද්ඩා….න්..!!!”

“අම්මේ…හ්”

මාව කොහෙහරි බිත්තියක් වගේ තද යමක හැප්පිලා බිමට වැටුණා. ඔලුව තදින්ම වැදුණු නිසා මට නිකන් සිහි මද ගතියක් දැනුණා. කළුවරේම අතපත ගගා නැගිටින්න හදපු මගෙ අතට අහුවුණේ පුටුවක්. ඒකට බර දීලා නැගිටපු මම දැක්කෙ මං ඉන්නෙ මගෙම කාමරේ කියලා. එතකොට මං දැකලා තියෙන්නෙ හීනයක්ද? අම්මපා මටත් වෙන දේවල්. ඒ පුටුවෙම වාඩි උනු මම ටිකක් වෙලා එතනම හිටියෙ හෝන්දු මාන්දු ගතියෙන් මිදෙන්න හිතාගෙන. කාමරේ ලයිට් එකවත් දාන්නෙ නැතුව මං එහෙම්ම බාත් රූම් එකට ගිහින් ලයිට් එකත් දාලා මගෙ නළල දිහා බැලුවා. එතන ටිකක් ලොකුවට ගෙඩි ගැහිලා තිබ්බෙ වැදිච්ච පාරෙ සැරකමටද කොහෙද. මූණ සෝදගෙන ලයිට් එකත් ඕෆ් කරලා කාමරේට ආපු මම කණ්නාඩි මේසෙ උඩ තිබ්බ බාම් එකක් අරගෙන නලලෙ ගාගත්තා. හම්මෝ දැනෙන සනීපෙ.

“ඩක් ඩක් ඩක්… ඩක් ඩක් ඩක් ඩක්…!!”

බැල්කනියට ඕපන් වෙන දොර කවුරුහරි කඩන්න හදනවා වගේ ඇහුණ මං කලබල උනා. පාන්දර දෙකත් පහුවෙලා තියෙන මේ වෙලාවෙ හොරෙක්වත් ඇවිත්ද දන්නෙ නෑ. ඒත් හොරු දොරවල් වලට ගගහා එන්නෙ නෑනෙ. හිතට මේ වගේ සිතුවිලි ගොඩක් නැගෙද්දි මං ඇඳ ලඟ බිත්තියට හේත්තු කරලා තිබුණු යකඩ බේස් බෝල් බැට් එක අතට අරන් දොර දිහාවට ගියා. දිගින් දිගටම දොරට ගහන සද්දෙ ඇහුණු නිසා මං හෙමින් හෙමින් කලුවරේම දොර ලඟට ගිහින් දොර රෙද්ද ටිකක් ඈත් කරලා වීදුරුවෙන් බැලුවෙ කවුද කියලා. අඩි හයක් විතර උස හොද හැඩිදැඩි මනුස්සයෙක් එලියෙ ඉන්නවා කියලා මට පෙනුණත් අඳුර නිසා මූණක් පැහැදිලිව පෙනුණෙ නෑ. හෙමීට දොරේ ලොක් එක කරකවපු මං බැට් එකත් ලෑස්ති කරගෙන හිටියෙ ඉන්න එකා මොකා උනත් ඇතුලට එනකල්.

“අ..හ..ස්…!”

ඇතුලට අඩිය තියද්දිම මං බැට් එක උස්සද්දි ආපු ඒ කටහඬ කාගෙද කියලා අඳුනගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ. අඩියට දෙකට ගිහින් කාමරේ ලයිට් එක දාපු මං ආයෙ දොර දිහාවට හැරුණා.

“මිස්ටර් අතුල….??? ඕහ් ගෝඩ්… මොකද මේ උනේ….???”

*************************************************************************

“වාහනේ ඇක්සිඩන්ට් උනු නිසා චන්දනට ටිකක් තුවාල වෙලා තිබුණෙ… මං පරිස්සම් උන නිසා මගෙ ඔලුව අතපය ටිකක් වැදුණා මිසක් වෙන අවුලක් උනේ නෑ.. එතකොටම තමයි එතෙන්ට සුනන්ද ඇමතියගෙ සෙට් එක ඇවිත් චන්දනවයි මාවයි එලියට ඇදලා ගත්තෙ… ආ..හ්.. අපිව කැලේට ඇදගෙන ගිය උන් අපිට පොලු වලින් ගැහුවා හොඳටම.. මට වඩා ගැහුවෙ චන්දනට… ඊටපස්සෙ එකෙක් කඩුවක් අතට අරන් මාව කැපුවා… ඒත් මාශල් ආ‍ර්ට් කරලා තිබුණු නිසා මං ඒ කඩු පාර මගෑරියා… ඒත් මගෙ අත මේ විදිහට තුවාල උනා… දෙවෙනි පාර කපන්න හදද්දි තමයි මං මාව අල්ලන් හිටපු උන්ටත් ගහලා පැනලා දිව්වෙ… ඒත් පස්සෙන් එලවපු එකෙක් මාව පිහියකින් කැපුවා… ඒත් මං දුවන එක නතර කලේ නෑ.. තුවාල පිටින් හරි දුවලා බේරුණ මං ඇලකට පැනලා බේරුණා… ඒත් උන් මාව එතනත් හොයපු නිසා වතුර යටින්ම සද්දයක් නැතුවම මං අමාරුවෙන් පීනලා ගොඩ ආවා ටිකක් එහායින්… එතනින් පස්සෙ පාලු වෙලකට බඩගාපු මං සිහිය නැතුව වැටිලා හිටියා… ආයෙ නැගිටලා බලද්දි උදේ ඉර එලිය වැටෙන්නත් ලඟයි… ලඟ ගෙදරකට ගිය මම වැලක තිබුණ ඇඳුමක් හොරකම් කරලා ඒක ඇදගත්තෙ ඇඟේ තිබුණු කැපුම් තුවාල වහගන්න… චන්දනට මොකද උනේ කියලා බලාගන්න උවමනාව තදින්ම තිබ්බත් මට ආයෙම එතෙන්ට යන එක අවදානම් කියලා තේරුණා.. ඒ නිසාම මං කොහොමහරි එතනින් පැනගෙන හැංගි හැංගි මගේ ගෙදරට ගියා… ඒ ගියාමයි මං දැක්කෙ එතෙන්ටත් සුනන්දගෙ මැරයො ඇවිත් ඉන්න බව.. උන් යනකල්ම හැංගිලා බලන් හිටපු මම ආයෙමත් ගෙදරට රිංගලා තුවාල වලට බෙහෙත් දාගත්තා.. හොස්පිටල් යන්න ඕනකම තිබ්බත් ඒ වෙනකොටත් මං නිව්ස් වල දැක්කා චන්දනගෙ මරණෙට මාව සැක කරනවා කියලා… ඒ නිසාම තමයි මං මෙහෙ ආවෙ අද ඔයාගෙන් උදව් ඉල්ලගෙන…”

දිග විස්තරයක් කියාගෙන ගිය මිස්ටර් අතුල දිහා මං බලාගෙන හිටියෙ කටත් ඇරගෙන පුදුම වෙලා. විශ්වාස කරන්න අමාරු උනත් එයා හිටියෙ හරිම අමාරුවෙන් කියලා මට තේරුණා. අනික නිව්ස් වලට කියපු විදිහට සී.අයි.ඩී කාරයො දෙන්නෙක් තමයි වාහනේ ඉඳලා තියෙන්නෙ. ඒ වගේම එදා මෙයාලා දෙන්නෙක් හිටියනෙ. මේ කියපු විස්තරෙත් අනුව මං ඒක ගලපගත්තා.

“එ..තකොට දැන් මගෙන් ඕන උදව්ව මොකක්ද..? අනික මේ මහ පාන්දර මෙහෙම එන්නෙ මොකටද මිස්ටර් අතුල..? ඔයාට පුලුවන්නෙ ඇත්තම කියන්න අනිත් අයට…”

එයා අතේ තිබුණු වතුර බෝතලෙන් වතුර ටිකක් බීලා මගෙ දිහාවට දැම්මෙ අමුතුම බැල්මක්.

“ඔයා හිතන්නෙ සුනන්දගෙ මිනිස්සු පොලිසියෙ නෑ කියලද..? අනික ඔයා දන්නවද සුනන්ද ඇමතියා ඊයෙ රෑ කවුරුහරි ගෙදරදිම මරලා දාලා කියලා…? ඉතින් ඔයා හිතන්නෙ චන්දනවත් මරලා දාලා නම්, ඇමතිත් මැරිලා නම් මං කොහොමද ඔප්පු කරන්නෙ මං නිර්දෝශයි සුනන්ද තමයි වැරදි කාරයා කියලා… අහස් මේක පිටරටක් නෙමෙයි ලංකාව… මේකෙ වෙන්නෙ ලෝකෙ අනිත් රටවල් වල වෙන දේවල් නෙමෙයි අනිත් පැත්තට… මං ෆෝන් එකවත් යූස් කරන්නෙ නැත්තෙ මාව ට්‍රේස් කරන්න පුලුවන් නිසා… නැත්තම් මට උදව් ඉල්ලගන්න පුලුවන් කාගෙන්හරි.. ඒත් ඒක රිස්ක් එකක් නිසයි මං එහෙම නොකරන්නෙ…”

“මොකක්..? ඇමතිව මරලා…? ඒ කොයි වෙලාවෙද..? අනික නිව්ස් වලට එහෙම දෙයක් කිව්වෙවත් නෑනෙ…”

“අපිට මොකක් හරි බරපතල කේස් එකක් ආවම ෆෝන් එකට මැසේජ් එකක් එනවා අහස්… මාත් දැනගත්තෙ ඒකෙන්…” මිස්ටර් අතුල ආයෙමත් සැරයක් වතුර උගුරක් බොන ගමන් කිව්වා.

ඒත් ඒ කතාවෙන් මගෙ හිතට දැනුණෙ සැකයක්. මොකද කලින් මෙයා කිව්වනෙ එයා ෆෝන් එක පාවිච්චි කරන්නෙ නෑ කියලා. එතකොට කොහොමද ඇමති මැරුණා කියලා මේ මනුස්සයා දන්නෙ? ඒ ගැන හිතද්දි මගෙ හිතට අතුල ගැන ආවෙ ලොකු සැකයක්.

“ඒත් මිස්ටර් අතුල කිව්වනෙ ට්‍රේස් කරන නිසා ෆෝන් යූස් කරන්නෙ නෑ කියලා.. එතකොට කොහොමද ඔයා මැසේජ් එකක් ආවා කියන්නෙ..? මට ටිකක් අපැහැදිලියි ඒක…” මං අහපු දෙයින් මිනිහගෙ මූණ ටිකක් අවුල් උනා කියලා මට තේරුණා.

“නෑ අහස් මං බැලුවෙ මගෙ ලැප් එකෙන්… මේල්ස් එනවනෙ… ඔයාට හිතාගන්න බැරි හුඟක් දේවල් ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙනවනෙ…” එහෙම කියපු මිස්ටර් අතුල ආයෙමත් අර අමුතු හිනාව දැම්මා. “අහස් මට පුලුවන්නම් තරහා නැතුව පොඩි ටවල් එකක් හරි රෙදි කැල්ලක් හරි දෙනවද…?”

“ශුවර්…”

එහෙම කියපු මං ආයෙම හැරිලා අල්මාරිය දිහාවට ගියේ මේ මිනිහා මට මොනාහරිම දෙයක් හංගනවා කියලා හිතුණ නිසයි. අනික මිනිහගෙ හැසිරීමත් හරිම අමුතුයි. සී.අයි.ඩී කාරයො ටිකක් විශ්වාස කරන්න අමාරු මිනිස්සු කියලා මං දැනන් හිටියා. මොකද මේ මහ රෑ මාවම හොයන් ආපු එකත් හරිම අමුතුයි. වෙන මිනිස්සු කොච්චර ඉන්නවද උදව් ගන්න. අනික තාම මගෙන් ඕන උදව්ව මොකක්ද කියලා කිව්වෙත් නෑනෙ. එහෙම හිත හිතා මං අල්මාරිය ඇරලා ටවල් තිබුණ ලාච්චුව අරින්න බිමට පාත් වෙනවත් එක්කම මට ඇහුණෙ අඩි සද්දයක්. මං ආපහු හැරෙන්නත් කලින්ම මගෙ ඔලුව පිටිපස්සට තදින් මොකක් හරි වදිනවා දැනුණෙ ලොකු වේදනාවක් එක්කම.

“දග්..!”

වැදුණු පාරෙ සැරකමටම මගෙ ඇස් දෙක පියවුණේ සිහිය අඩුවෙනවා වගේ දැනෙද්දි. එහෙමම අල්මාරිය අස්සට ඇදන් වැටුණු මට ආයෙ නැගිටින්නත් කලින්ම තව පාරක් ඔලුවට වැදුණෙ මුලු ලෝකෙම අන්ධකාරෙකින් වැහිලා යද්දි.
***********************************************************************

පහුවදා උදෑසන අහස්ගේ නිවසේ තිබුණේ විශාල කලබැගෑනියකි. අහස්ගේ පවුලේ අය මෙන්ම ඔහුගේ මිතුරන්ද, නෑදෑ හිතවතුන් හා අසල්වාසීන්ද නිවස වටා රැස්වී සිටියහ. සැවොම පැමිණ තිබුණේ අහස්ගේ අතුරුදහන් වීම ගැන ආරංචි වීම නිසාය. සෑම තැනකම සොයා බැලුවද අහස් ආගිය අතක් සොයාගැනීමට ඔවුන්ට නොහැකි විය. මේ අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම අසල්වාසීන්ගෙන්ද පොලිසිය විසින් ප්‍රශ්න කරන්නට විය.

“ඔබතුමා අන්තිමට පුතාව දැක්කෙ කොයි වෙලාවෙද…?” උප පොලිස් පරීක්ශකවරයා අහස්ගේ පියාගෙන් ප්‍රශ්න කර සිටියේ‍ය.

“පුතා අපිත් එක්ක රෑට කෑම කාලා කෝපි එකක් බිබී ගොඩක් වෙලා යනකල්ම කියව කියව හිටියෙ ඔෆිසර්.. අන්තිමට දැක්කෙ එයා එයාගෙ කාමරේට යන්න පඩිපෙල නගිද්දි.. එතකොට වෙලාව රෑ දහයාමාරට විතර ඇති…” අහස්ගේ පි‍යා වූ මොහාන් මහතා පැවසුවේ ශෝකයෙනි.

“එතකොට එයාගෙ මොකක් හරි අමුතු හැසිරීමක්, කතා බහේ වෙනසක් වගේ දෙයක් දැක්කද..?”

“අනේ එහෙම දෙයක් නම් නෑ ඔෆිසර්… පුතා වෙනදා වගේම තමයි අපිත් එක්ක හිනාවෙලා කතා කර කර හිටියෙ… එයාගෙ වයිෆ් එක්කත් අපි හැමෝම ස්කයිප් එකෙන් කතා කලා ගොඩක් වෙලා… කිසිම වෙනසක් තිබ්බෙ නෑ එයාගෙ…” අහස්ගේ මව හඬමින් පිළිතුරු දුන්නාය. තම දරුවා අතුරුදන් වීම නිසා ඇය සිටියේ දරාගත නොහැකි ශෝකයකිනි.

“හරි හරි අහස්ගෙ අම්මෙ අඬන්නෙපා දැන්… අපි කොහොමහරි අහස්ව හොයාගමු… අපේ අය මේ ගැන පරික්ශණ පටන් අරන්නෙ තියෙන්නෙ දැන්…” පොලිස් පරීක්ශක සමන්ප්‍රිය මහතා අහස්ගේ මව සනසවමින් පැවසුවේය.

පොලිසිය විසින් තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කල අතර අහස්ගේ මිතුරන්ගෙන්ද ප්‍රශ්න කර සිටියෝය. සියළුම කට උත්තර සටහන් කරගත් ඔවුන් මුළු වත්ත වටාද සෝදිසි කලේ යකිසි හෝඩුවාවක් සොයාගැනීමටය. අහස්ගේ කාමරයේ තිබී ඔහුගේ ජංගම දුරකථන දෙකද හමුවූ අතර ඒවා මෙන්ම ඔහුගේ ලැප්ටොප් පරිඝනකයද අහස්ගේ දෙමව්පියන්ගේ අවසරය මත ඔවුන් ඉදිරිපිටම පරික්ශාවට ලක් කරන ලදි. නමුත් කිසිම හෝඩුවාවක් සොයාගැනීමට ඔවුන්ට නොහැකි විය. අවසානයේ බලාපොරොත්තු අතහැර අහස්ගේ කාමරයෙන් පිටවීමට යනවිට එක නිළධාරියෙකු දුටුවේ අහස්ගේ බේස්බෝල් පිත්තයි. හිතට දැනුණු සැකයක් නිසා ඔහුට එම පිත්ත පරික්ශා කිරීමට සිත් විය. ඔවුන්ගේ පරීක්ශණයේ ප්‍රථිපල සාර්ථක වූයේ එහි අහස්ගේ ඇඟිලි සලකුණු මෙන්ම තවත් කෙනෙකුගේ ඇඟිලි සලකුණුද වැදී තිබූ බැවිණි.

“දැන් අපිට තේරෙනවා මෙතන අතුරුදහන් වීමට අමතරව වෙනත් යමකුත් තියෙනවා කියලා.. අපි මේ සම්බන්ධටෙන් වැඩිදුර පරීක්ශණ කරගෙන යනවා මේ දැන් ඉඳන්… ඔයාලත් අපිට උපරිම සහයෝගය දෙයි කියලා හිතනවා මේ කේස් එක විසඳන්න… මේ අතුරුදහන් වීම පිටිපස්සෙ ඔයාලා දන්න මොකක්මහරි තොරතුරක් තියෙනවනම් අපිට දැනුම් දෙන්න.. ඒක අපිට ලොකු උදව්වක් වෙයි… ඉක්මන් වෙන තරමටම අපිට මේ ගැන හොයාගන්න පුලුවන්…” පොලිස් පරීක්ශක සමන්ප්‍රිය මහතා එතැන රැස්ව සිටි සියලු දෙනාටම පවසා සිටියේය. තව දුරටත් සෝදිසි කිරීමෙන් පසු පොලිසිය එතැනින් පිටව ගියෝය.

“ඕවා නම් ශුවර් නෑ බං.. පොලිසිය ඌව හොයාගන්න කලින් අපි හොයාගන්න ඕනෙ.. බලපන් නැත්තම් අරකි අරහෙ ඉඳන් පිස්සියෙක් වගේ දුවන් එයි… මේ යකා සිරාවටම කොහෙ හරි ගියාවත්ද කියලා හිතෙනවා බං මට නම්…” පොලිසිය පිටව ගිය පසු අහස්ගේ මිතුරෙකු වූ ඉසුරු පැවසුවේය.

“එහෙම නෑ බං.. ඕකා ඉස්සර නම් පිස්සු නැටුවා.. හැබැයි දැන් නම් එහෙම නෑ කියලා මං දන්නවා හොඳටම… අනික බං ඌ ෆෝන් පවා දාලා ගිහින්.. මං දන්න අහසා එහෙම එකෙක් නෙමෙයි බං.. ඌ වැටෙන්නම බිව්වත් කවදාවත් උගෙ දේවල් කොහෙවත් දාලා යන එකෙක් නෙමෙයි.. ඒක උඹලත් දන්නවනෙ.. ඉතින් මට නම් හිතෙන්නෙ ඌව කවුරුහරි උස්සලා…” අහස්ගේ තවත් මිතුරෙකු වූ මිතුන් කීවේ තම මිතුරා ගැන ඔහු හොඳින්ම දන්නා නිසාය.

“ඒත් බං ඕකා ඒ කාලෙ ඉඳලම වලියට බර එකානෙ.. අනික දහයක් එක්ක උනත් ගහගෙන දිනන්න පුලුවන් තරමෙ එකෙක්නෙ බං… ඉතින් ඌව උස්සනවා කියන්නෙ…”

“නිකන් ඉඳින් බං ඉසුරුවා… දහයක් නෙමෙයි බං සීයකට ගැහුවත් වැඩක් නෑනෙ ඌ නිදාගෙන එහෙම ඉද්දි ඇවිත් උස්සන් ගියොත් මොකද කරන්නෙ..? අනික ඉතින් අද කාලෙ ඕන වැඩ්ඩෙක්ව මෙහෙම කරද්දි උස්සන්න පුලුවන් උන් ඉන්න මේ රටේ මුව උස්සන එකත් කජ්ජක්ද බං…?” ඉසුරු කියන්නට ගිය කතාව නැවැත්වූ චාමර පැවසුවේ සත්‍යක් බව අනිත් අයටද පසක් විය.

ඔවුන් එසේ කතා වන විට අහස්ගේ නෑදෑයන් මෙන්ම අසල්වාසීන්ද කතා වූයේ වෙනස් ආකාරයක් ගැනය. අහස්ගේ අසල්වාසී කාන්තාවක් වූ සමන්ති පැවසුවේ මෙය එක්තරා ආකාරයක හූනියමක් විය හැකි බවය. තවත් අය පැවසුවේ මෙය අහස්ගේ බිරිඳ වූ පහන්දිගේ දෝශයක් වෙන්නට ඇති බවය. තවත් සමහරු ඔහු පැන ගොස් ඇති බවද පවසන්නට විය. නමුත් මේ අතරේ සිටි කෙනෙකු මේ සියල්ලන් දෙසම බලමින් සිනාසෙමින් සිටින බවක් කිසිවෙකුට පෙනුණේ නැත. ඒ අන් කවරෙකුත් නොව අහස්ගේම ගමේ අසල්වැසි තරුණයෙකු වූ සංදීප් රණසිංහ ය.
************************************************************************

අවසානය ලඟ ලඟම ?

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.