Katha Ahura

දෝණී | 29 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#29 කොටස

තද සීතලක් මූණට දැනෙද්දි මං හෙමීට ඇස් ඇරියා. ඒත් එක්කම මගෙ මූණට වැදුණෙ සීතල වතුර පාරක්. ඇස් දෙකට වතුර ගිහින් ඇස් දනවා උනත් මට ඒවා පිහාගන්න විදිහක් තිබ්බෙ නෑ මගෙ අත් දෙක පිටිපස්සට කරලා ගැටගහලා තිබ්බ නිසා. මට තේරුණා කවුරුහරි මාව පුටුවකට තියලා ගැටගහලා කියලා. යාන්තමට වගේ මතක් උනේ අතුල කාරයව. මිනිහා වෙන්න ඕනෙ මාව මෙහෙම ගේන්න ඇත්තෙ. මට මතකයි ඔලුවට මොකකින් හරි ගැහුවා වගේ. ඒක තමයි ඔලුව පිටිපස්සෙන් මෙච්චර වේදනාවක් දැනෙන්නෙ. පිටිපස්සට කරලා ගැටගහලා තියෙන නිසාද කොහෙද අත් දෙකත් රිදෙනවා. මූණ දෙපාරක් තුන්පාරක් දෙපැත්තට හොලවලා මූණට වැටිලා තිබ්බ වතුර ටිකක් අයින් කරගත්ත මං අමාරුවෙන් උනත් ඇස් දෙක ඇරලා වටපිට බැලුවෙ මං මේ කොහෙද ඉන්නෙ කියලා. කහපාට බල්බ් එකකින් වැටුණු මලානික එලියකින් මං ඉන්නෙ කොහෙහරි ගෙදරක කළුවර කාමරයක් ඇතුලෙ කියලා කියලා මට තේරුණත් මගෙ ලඟ පේන්න කවුරුවත් හිටියෙ නෑ. වතුර ගහපු එකෙක්වත් පේන්න හිටියෙත් නැති නිසා මං කෑගැහුවා.

“කවුද මෙතන ඉන්නේ…? ඇයි මාව මෙහෙම ගැටගහලා තියෙන්නෙ… අතුල…! උඹද මිනිහො මාව මෙහෙම ගෙනාවෙ ආ…. කෝ පේන්න වරෙල්ලා හැංගිලා ඉන්නැතුව…”

මගෙ කටහඬ ඒ පාලු කාමරේ ඇතුලෙ දෝංකාර දුන්නා මිසක් කවුරුත් එතෙන්ට ආවෙ නම් නෑ. මගෙ හිතට ආවෙ පුදුම තරහක්. අත් දෙක ගලවගන්න හැදුවත් තදින් ගැටගහලා වගේ තිබ්බ නිසා ගලවගන්න බැරි උනා. කාමරේ වටේටම බැලුවත් මට තේරුණේ මං ඇරෙන්න මේ කාමරේ වෙන කවුරුවත් නෑ කියලා.

“ආ……. මාව ලිහපල්ලා යකෝ….!!”

මගෙ කෑගැහිල්ල අස්සෙන් මට ඇහුණා කවුරුහරි බර අඩි තිය තිය කාමරේ පැත්තට එන සද්ද‍යක්. කෑගහන එක නවත්තලා මං බලන් හිටියෙ කවුද එන්නෙ කියලා.

“හෙලෝ අහස්… කොහොමද ඉතින්…?”

කාමරේ දොරෙන් ඇතුල් උනේ වෙන කවුරුත් නෙමෙයි අතුල. නෝන්ඩි හිනාවක් දාන ගමන් මිනිහා මගෙ ඉස්සරහට ඇවිත් හිටගත්තා.

“එහෙනම් තමුසෙ තමයි මාව මෙහෙම කිඩ්නැප් කලේ…? මොනාද තමුසෙට ඕනෙ කියනවා… සල්ලිද…?” ලොකු කේන්තියකින් මං කියද්දි අතුල හිනාවුණා.

“සල්ලි…? මට සල්ලි ඕන නෑ අහස්… මට සල්ලි වලින් ඇති වැඩක් නෑ…”

“එහෙනම් මොන එහෙකටද මිනිහො මාව අරන් ආවෙ…? තමුසෙ මොකක්ද මේ කරන්න හදන සෙල්ලම ආ…?”

“මට ඕනෙද…?” එහෙම කියපු අතුල හිනාව නවත්තලා මගෙ කොණ්ඩෙන් අල්ලලා ඔලුව උඩට ඉස්සුවෙ දත්මිටි කමින්. “මට ඕනෙ උඹලා හැමෝගෙන්ම පලිගන්න…!” එහෙම කියපු අතුල මගෙ ඔලුව වේගෙන් අතෑරියා.

“ආහ්…! පලිගන්න..? මොකටද මගෙන් පලිගන්නෙ මං මොකක්ද තමුසෙට කරපු වරද…? කියනවා මං මොකක්ද කරපු වරද…???” මං කෑගහලා ඇහුවා.

ඒත් මිනිහා කලේ කතාවක් නැතුවම මගෙ වටේට ඇවිදින්න ගත්තු එක. හේතුව ඇහුවත් මට නොකියපු අතුල මගෙ වටේ වට දෙක තුනක්ම ඇවිද්දෙ හරියට ගොදුරක් වටේ කැරකෙන වල් සතෙක් වගේ.

“මේකෙ තේරුම මොකක්ද කියපං යකෝ…? කොහෙටද මාව මේ ගෙනල්ලා තියෙන්නෙ..? මොකක්ද මං කරපු වරද තමුසෙ මගෙන් පලිගන්නවා කියන්නෙ..? ඇත්තටම තමුසෙ සී.අයි.ඩී කාරයෙක්ද නැත්තම් අපරාධකාරයෙක්ද….???”

“කට වහපන් හු$#ගෙ පුතෝ…!!!” මගෙ මූණට වේගෙන් පාරක් ගහපු අතුල කෑගැහුවා. කට ඇතුලෙ පැලිලා දිවට ලේ රස දැනෙද්දි මගෙ තරහා තවත් වැඩිවුණා. ඒත් එක්කම වගේ මිනිහා ඇදලා ගත්තු පිස්තෝලෙ දැකපු මං ටිකක් කලබල නොකර හිටියෙ මූ මේ මොනවද කරන්න හදන්නෙ කියලා බලන්න.

“ඔව් උඹට මං කියන්නම් මං කවුද කියලා… ඒ වගේම ඇයි මං උඹලගෙන් පලිගන්නෙ කියලා…” එහෙම කියපු අතුල මගෙ කම්මුලට ආයෙම පාරක් ගැහුවෙ මං හිතුවෙවත් නැති විදිහට. මගෙ මූණ වේදනාවෙන් පුපුරු ගහද්දි මං ඉවසන් හිටියෙ මිනිහගෙ අතේ තිබුණ පිස්තෝලෙ නිසා.

“ඉතින් කියපං යකෝ පිරිමියෙක් වගේ කෙලින්… මිනිහෙක්ගෙ අතපය බැඳලා උට ගගහා නිකන් පොන්නයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව…!” මං කියපු දේට මිනිහට යකා නැග්ගා කියලා තේරුණත් ක්ෂණිකවම මිනිහා මූණ වෙනස් කරලා හිනාවුණා.

“හඃ හඃ හා… තමුසෙ හිතුවද අහස් තමුසෙගෙ අත් දෙක ලිහලා තිබ්බනම් තමුසෙ නිකන්ම ඉඳියි කියලා..? නෑ… තමුසෙ මැරෙන්න කලින් දැනගන්න ඕනෙ කරපු වරද මොකක්ද කියලා… මැරෙන්න කලින් විඳවන්න ඕනෙ… තමුසෙ දන්නවද මම කවුද කියලා ආ…?? මං තමයි යකෝ උඹට පණටත් වඩා ආදරේ කරපු, මේ ලෝකෙ වැඩිපුරම උඹව විශ්වාස කරපු, උඹ බල්ලෙක් වගේ දාලා ගිය ඒ අහිංසකීගෙ තාත්තා… මං තමයි යකෝ සඳසාවිගෙ තාත්තා…!!!”

ඔලුව ලඟම හෙණ පුපුරණවා වගේ දැනෙද්දි මං බයෙන්ද පුදුමෙන්ද මන්දා ඇස් දෙකත් ලොකු කරන් බැලුවෙ අතුල දිහා. මොකක්??? අතුල කියන්නෙ දෝණිගෙ තාත්තා වෙන්නෙ කොහොමද? එයා මට කියලා තිබුණෙ තාත්තා පොඩි කාලෙම දාලා ගියා කියලනෙ. ඉතින්…

“ඔව් අහස් මං දන්නවා උඹ දැන් හිතන්නෙ මොනාද කියලා… මගෙ කෙල්ල උඹට කියන්න ඇති එයාගෙ නරුම තාත්තා එයාව පොඩි කාලෙම දාලා ගියා කියලා.. ඔව් මං එහෙම කලා තමයි… මං ඒ තරම්ම පව්කාරයෙක් උනා ඒ දවස් වල… මගේ පවුලට කලින් මං හිතුවෙ මගෙ රස්සව ගැන…” එහෙම කියපු අතුල බිත්තියක් අයිනට ගිහින් අඬන්න ගත්තා.

“ත..තමුසෙ එහෙනම් ඒ අහිංසකීගෙ තාත්තා..?? ඒ කෙල්ල මේ ලෝකෙ අපා දුක් විඳිනකොට තමුසෙ රස්සාව කර කර ආතල් එකේ හිටියා… උඹ ඇත්තටම මහ නරුම මිනිහෙක් අතුල… උඹ වගේ එකෙක් මොකට ඒ කෙල්ලගෙ තාත්තා උනාද…” මං කෑගැහුවා. මට ඇත්තටම අතුල ගැන ඇතිවෙලා තිබ්බෙ ලොකු තරහක්. මොකද මූ නිසා ඒ කෙල්ල අවජාතක කතා අහලා කොච්චර නම් අපහාස විඳින්න ඇත්ද? කොච්චර නම් දුක් විඳින්න ඇත්ද?

“කටවහපන් යකෝ…!!! තෝ මගෙ ගැන දන්නෙ නෑ… ඒ නිසා කට වහපන්…” අඩියට දෙකට මගෙ ලඟට ආපු අතුල මගෙ කම්මුල් වලට පාරවල් තුන හතරක්ම ගැහුවෙ ලොකු කේන්තියකින්. “මං මගේ කෙල්ලව අතෑරියෙ නෑ… ඒත් මට එයාව අතෑරුණා… මේ රස්සාවෙදි අපේ ජීවිත කොයි වෙලාවෙ නැතිවෙයිද කියලා දන්නෙ නෑ… ඉතින් මට සිද්ද උනේ මගෙ පවුලෙන් ඈත් වෙලා ඉන්න… උඹලට ඒක තේරෙන්නෙ නෑ.. උඹලා මේ ජීවත් වෙන ලස්සන ලෝකෙ ආරක්ශාකාරිව ඉන්න ඉඩ හදලා දෙන්නෙ අපි වගේ මිනිස්සු… උඹලට මේවා තේරෙන්නෙ නෑ…” එහෙම කියලා කාමරෙන් එලියට වේගෙන් ගිය අතුල ආයෙම ආවෙ පුටුවකුත් ඇදගෙන. ඇවිත් මගෙ ඉස්සරහා වාඩි වෙලා මගෙ මූණ දිහා බලන් හිටියා. මං තාමත් හිටියෙ පුදුමෙන් වගේම වෛරෙකින්. ඒත් මගෙ ගැන වැඩි තැකීමක් නොකරම අතුල ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.

“මං ඒ කාලෙ හිටියෙ වැදගත් කේස් එකක.. ඔය ආරච්චිකට්ටුව පැත්තෙ වෙච්ච කෝටිපතියෙක්ගෙ මිනීමැරුමක් ගැන හොයන්න පටන් ගත්තු මට එතනින් එහාට තිබුණ ලොකු මත්කුඩු ජාවාරමකුත් හොයාගන්න පුලුවන් උනා…

ඒ ගැන පරීක්ශන කර කර ඉන්න කාලෙ තමයි මට ජනනිව, ඒ කියන්නෙ මගෙ දුවගෙ අම්මව හම්බුණේ.. ඒ කාලෙ මං තරුණ කාලෙ නිසා මං ටිකක් සෙල්ලක්කාරයි.. ඒ නිසාම අපේ සම්බන්දෙට වැඩිකල් නොගිහින්ම සඳසාවි ජනනිගෙ බඩට ආවා… ඒත් ඒ වෙනකොට මට කසාද බඳින්න කෙනෙක් හිටියා…

ඒත් ළමයව නැති කරන්න ජනනි කැමති උනේ නෑ… ඒ වෙද්දි අර කේස් එකත් විසඳිලා තිබ්බ නිසා මං එහෙන් එන්න හැදුවත් ජනනි මැරෙන්න හැදුවා ගියොත් මැරෙනවමයි කියලා… මොනවා උනත් මේ මගෙ පලවෙනිම දරුවා නිසා මං එහෙ කාලයක් හිටියා එයාව ලැබෙනකල්.. හැබැයි මං ජනනිව බැන්දේ නෑ… ප්‍රශ්න ගොඩකට මට මූණ දෙන්න උනා… බඳින්න හිටපු කෙල්ලත් මාව දාලා ගියා මේ හේතුව හින්දා… ගෙදරින් මාව එලෙව්වා…

ඒත් ඒ හැමදේම මං ඉවසුවෙ මගෙ දෝණි වෙනුවෙන් කමක් නෑ කියලා හිත හදාගෙන…” ලොකු හුස්මක් අරන් පහලට දාපු අතුල කතාව ටිකක් නතර කලා. “සඳසාවි කියලා නම තිබ්බෙත් මම… මොකද චූටි කාලෙ හඳක් වගේ ඒ මූණ හරිම ලස්සනයි…ඒ වගේම හරිම අහිංසක පෙනුමක් තිබුණෙ… එයාව ලැබිලා අවුරුදු තුනක් වෙනකල්ම මං ජොබ් එකටත් නොයා එහෙට වෙලා හිටිය නිසා මගෙ ජොබ් එකත් නැටි උනා මට.. ඒත් මට ඉවසන්න බැරි උනේ ජනනි හැමවෙලේම මාත් එක්ක රණ්ඩු වෙන්න ගත්තු නිසයි… එයා හරිම නපුරු ගෑනියෙක් උනා…

නිතරම මාව සැක කරන්න පටන් ගත්තා… ඒ හේතු නිසාම මට එහෙ ඉන්න එකත් එපාම උනා… අපි කසාද නොබැඳ හිටපු එකත් එයාට බලපාන්න ඇති… ඒත් මට ඕන උනේ එහෙන් ගැලවෙන්න… මං දුවවත් අරන් යන්න හදද්දි ජනනි මට කිව්වෙ දුව මගෙ නෙමෙයි වෙන එකෙක්ගෙ කියලා… මං රණ්ඩු කලා ඒක අහලා හොඳටම… ඒත් එයා එයාගෙ පවුලෙ අයත් එක්ක එකතු වෙලා මාව ඒ ගෙදරින් එලවගත්තා… මං කොහොමත් ඒ දවස්වල මුරණ්ඩු මිනිහෙක්..

ඒ නිසාම දරුවත් මගෙ නෙමෙයි කියපු නිසා එහෙන් එන්න ආවා… පස්සෙ ආරංචි උනා ජනනි දරුවවත් දාලා වෙන මිනිහෙක් එක්ක ගියා කියලා… හැබැයි මගෙ හිතට දරුවා ගැන වද දුන්නා නිතරම… කොච්චර කිව්වත් ඒ මගෙ දරුවා කියලා මං දැනන් හිටියා… ඒත් මං එයා ලඟට ගියෙ නෑ මං එතකොට වෙන කසාදයක් කරගෙන හිටපු නිසා…

ජනනිගෙන් වෙන්වුණ මට වැඩි කාලයක් තනියම ඉන්න බැරි නිසා ගෙදරින් මට සමාවත් දුන්නු නිසා එයාලම හොයලා දුන්නු කෙනෙක්ව මං කසාද බැන්දා… ඒත් අපිට ළමයි හිටියෙ නෑ… මං එයාගෙනුත් ඈත් උනා ජොබ් එක් නිසාම… හැබැයි මං සඳසාවි ගැන ගොඩක් හොයලා බැලුවා… එයා වෙනුවෙන් කාටත් හොරෙන් මං වෙනම බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරලා ඒකට සල්ලි දැම්මෙ කවදහරි මගෙ කෙල්ලට ඒක ගන්න පුලුවන් වෙන විදිහට…

එයාගෙ ඉස්සරහට නොගිහින් මං එයාව බලන්න ගිහින් තියෙනවා… ඒ උනත් කාලෙකට පස්සෙ මං ඒකත් අතෑරියෙ මගෙ ජොබ් එක නිසාමයි… ජොබ් එක නිසා මං රටට සේවයක් කලත් මං ආදරේ කරපු දේවල් නැති කරගත්තා… මං මහ නරුම මිනිහෙක් තමයි අහස්… මං තමයි මගෙ කෙල්ලව මේ ලෝකෙ තනි කලේ එයාට ආදරේ ඕනම කාලෙදි…” ආයෙම කතාව නවත්තපු අතුල ඇස් වල තිබ්බ කඳුලු පිහාගෙන මගෙ දිහා බැලුවෙ ලොකු වෛරෙකින්. ඒත් එක්කම අත උස්සලා ආයෙම මට පාරක් ගැහුවෙ මාව පුලුවත් පෙරලගෙන බිමට වැටෙන්නම.

“උඹ තමයි මගෙ කෙල්ලගෙ ජීවිතේ කෑවෙ ඊටපස්සෙ… ඔව් උඹ තමයි… ඒකිට ආදරේ දීලා ඒකිව අතරමන් කරලා රටිනුත් පැනලා ගියේ උඹ… පර බල්ලා…”

බිම වැටුණු මට එක දිගටම පයින් ගහගෙන ගහගෙන ගිය අතුල මං කෑගහද්දිම ආයෙමත් මාව උස්සලා තිබ්බා. මුලු ඇඟම වේදනා දෙද්දි මං අතුල දිහා බලන් හිටියෙ ලොකු තරහකින්. මේ මිනිහා තමන්ගෙ වැරදි වලට දඬුවම් කරන්නෙ කාත් කවුරුවත් නැතුව අසරණ වෙලා හිටපු දෝණිට ආදරේ දීපු මටනෙ කියලා හිතපු මං ඒ තරහෙන්ම නිදහස්ව තිබුණු කකුල් වලින් මගෙ ඉස්සරහට ආපු අතුලට වේගෙන් පාරක් දෙන ගමන්ම පිටිපස්සට වැටුනා.

වැටුණ වේගෙට මාව ගැට ගහලා තිබුණු ලී පුටුව කැඩිලා ගියා. ඇඟේ තිබ්බ ඔක්කොම ශක්තිය එකතු කරගත්තු මං උරහිස් බිමට ගහලා කොන්ද උස්සලා දුන්න ගැහුවා වගේ නැගිට්ටා. ඉක්මණටම පුටුවෙන් අත් දෙක ගලවගත්තු මං අතුල දිහා බැලුවා. මං ගහපු පාරට විසිවෙලා ගිහින් බිත්තියෙ වැදුණු අතුල මාරාවේශ වෙලා වගේ ආයෙම නැගිටලා මගෙ ලඟට දුවගෙන ආවෙ මට ගහන්න පැනගෙනම.

ඒත් ඒ වේගෙම ඌට විරුද්ධව පාවිච්චි කරපු මං අතුලව උස්සලා අරන් පොලවෙ ගැහුවා. ඒ උනත් අතුලත් ලේසියෙන් අතාරින පාටක් තිබ්බෙ නෑ. සී.අයි.ඩී කාරයො කියන්නෙ හොඳ පුහුණුවක් ලබන අය නිසා මේ සටන ලේසි නෑ කියලා මං දැනන් හිටියා.

“හඃ උඹ ඔය කරන්න හදන්නෙ වැරදි සෙල්ලම අහස්… උඹ වගේ සාමාන්‍ය එකෙකුට පුලුවන්ද යකෝ මං වගේ අවුරුදු විස්සකටත් වඩා පළපුරුදු එකෙක් එක්ක හැප්පෙන්න…? හොඳ හිතින් යටත් වෙයන් නැත්තම් මේක ඉවර වෙන විදිහට උඹ කැමති වෙන එකක් නෑ… පර බල්ලා ඉඳා…!”

කෑගහපු අතුල මට හිතාගන්නත් කලින්ම පැනලා ගහපු පාරෙන් විසිවුණ මාව සිමෙන්ති පොලොවට වැටුණා. ආයෙමත් මගෙ ලඟට වේගෙන් පැනපු අතුල බිම හිටපු මට පාරක් ගහන්නත් කලින්ම, බිම ඉඳන්ම උගෙ එක කකුලකට තද පයින් පාරක් ගැහුවෙ මිනිහව ඇදගෙන වැටෙන්නම. ක්ෂණිකවම නැගිටපු මං අතින් පයින් නවත්තන්නෙ නැතුව අතුලට ගහගෙන ගහගෙන ගියේ මිනිහට හරියට ගාඩ් එකක්වත් දාගන්න වෙලාවක් නොතියා.

දිගටම වදින පාරවල් නිසා දුර්වල උනු අතුලට දණහිස උස්සලා තද පාරක් ගහපු මං මිනිහව වැටෙන්න නොදි අතින් ඇදලා අරන් අත මිට මොලවලා ආයෙමත් තද පාරක් ගැහුවා මූණ මැදටම. කෑගහගෙන බිමට වැටුණු අතුල මූණ අල්ලගෙන බෙරිහන් දුන්නා. ආයෙමත් කකුල් දෙකෙන් ඇදලා අරන් මිනිහව වටයක් කරකවපු මං බිත්තියෙ වදින්නම වීසි කලා. වීසි උන පාරට ගිහින් ඔලුව බිත්තියෙ වැදුණ අතුල ඔලුවත් අල්ලගෙන ගුලි උනේ වේදනාවෙන් කෑගහගෙන.

“උඹ මොකෙක් උනත් මට කමක් නෑ අතුල… උඹට බෑ මාව මරන්න… උඹ හිතන තරම් ලේසි පහසු එකෙක් නෙමෙයි මම… උඹේම දුව වෙනුවෙන් උඹ වගේම කාලකන්නි නරුමයො පස් දෙනෙක්ව මරපු මට උඹ මහලොකු එකෙක් නෙමෙයි…!”

මං ඒක කිව්වා නෙමෙයි මට කියවුණා කිව්වොත් හරි. ඒත් මගේ කතාවෙන් පුදුම උන අතුල මගෙ දිහා බැලුවෙ පුදුම වෙලා.

“ඔව් ඒක තමයි ඇත්ත… උඹ හිතන්නෙ උඹ උඹේ දුවට ආදරේ කලා කියලද..? නෑ…. උඹ එක අවස්ථාවාදියෙක් විතරයි… උඹේ දුවට මේ ලෝකෙන් ඇත්තටම ආදරේ කලේ මේ මම විතරයි.. මට ඒ ආදරේ වෙනුවෙන් මැරෙන්න වගේම මරන්නත් පුලුවන් කම තිබ්බා… උඹ මොකද කලේ..? එක එකාලගෙ කතා අහගෙන, තමන්ගෙම දරුවව අතෑරලා දාලා මහලොකු රස්සාවක් පස්සෙ ගියා… ඇයි ඒ..? උඹ රටට ආදරේ නිසා නෙමෙයි උඹට ඒ රස්සාවෙදි ජීවිතේ ආතල් එක වැඩි නිසා… උඹ දැන් බොරුවට රැඟුවට ඇත්ත ඒකයි…

මමයි උඹේ දරුවගෙ මරණෙ පලිය ගත්තෙ… මමයි ඒ හැම එකාවම වද දීලා මරලා දැම්මෙ… මමයි සඳසාවිගෙ ආත්මෙ ශක්තිමත් කලේ එයාට ඒ පලිය ගන්න උදව් වෙන්න… උඹ හිතන්නේ මගෙන් උඹේ කෙහෙල්මල් පළිය ගන්න පුලුවන් වෙයි කියලද… හඃ හඃ හඃ හා හා…!!! නෑ මිස්ටර් අතුල මෙතනත් තමුන්ගෙ දුව ඉන්නවා මාත් එක්කම… තමුසෙ හිතුවෙ තමුසෙ මාව පැහැරගත්තා කියලද…? නෑ මමයි තමුසෙව පැහැරගත්තෙ… හඃ හඃ හහා…!!”

මගෙ දිහා ඇස් දෙක එලියට පනින්න තරම් ලොකු කරන් බලන් හිටපු අතුලගෙ මූණ බලන් ඉද්දිම ලොකු පරාජිත බවකින් වගේම ලොකු බයකින් වැහිලා යන හැටි මං බලන් හිටියෙ හිණාවෙවී. වේදනාවෙන් ගුලිවෙලා හිටපු අතුල හෙමින් හෙමින් දිග ඇරිලා පොලොවට අත් දෙක තියලා හෙමින් නැගිට්ටා. ඒත් එක්කම මිනිහගෙ අතේ තිබ්බෙ පිස්තෝලෙ. ඒ මගෙ දිහාවට දික් කරන ගමන් මිනිහා හිනාවුණා.

“හඃ හා… උඹේ කයිවාරුව ඇති කොල්ලො… දැන් ඉතින් උඹත් මැරෙන්න ලෑස්ති වෙයන්… මගෙ කෙල්ල වෙනුවෙන් උඹ එහෙනම් පලිය ගත්තනෙ… උඹ පස් දෙනෙක්ව මැරුවනෙ ඒ වෙනුවෙන් නේද…? දැන් ඉතින් මං එයාගෙ අන්තිම පලිය ගන්නම් උඹව මරලා… උඹ එයාව එදා දාලා නොගියනම් අද උඹේ ජීවිතේට මෙහෙම දවසක් එන්නෙ නෑ අහස්… දැන් ඉතින් දෙවියන් යැදපන්….”

“මාව මරන්න…? මාව මරන්න උඹට බෑ අතුල… මොකද උඹ උඹේ දුවගෙ පලිය සම්පූර්ණ කරන්නෙ නෑ මාව මැරුවා කියලා… තාම මේ කතාව ඉවර නෑ උඹ හිතන විදිහට… තව එ…”

“කට වහපන් යකෝ කට වහපන්…!!!” මගෙ කතාව නවත්තපු අතුල වැනි වැනිම කෑගැහුවා. මට තේරුණා මිනිහට කෙලින් හිටන් ඉන්නවත් පණ නෑ කියලා. ඒ නිසා මං හෙමීට එක අඩියක් ඉස්සරහට තිබ්බා. “එන්නෙපා ලඟට තියනවා ඔලු කට්ට කුඩු වෙන්නම… උඹ හිතන්නෙ මං උඹට ඔය කෙහෙල්මල් පළිගැනීම සම්පූර්ණ කරන්න ඉඩ දෙයි කියලද…? නෑ අහස් තමුන් ඔය කරන්නෙ වරදක්… තමුන් මිනීමරුවෙක්… තමුසෙ එක්කම මේ මිනීමැරුම් ඔක්කොම යට යයි… තවත් මිනිස්සු මැරෙන්න මං ඉඩ තියන්නෙ නෑ…”

“එතකොට උඹට ඕනෙ උඹේ දුවව වද දීලා දූශණය කරලා වසත් පොවලා මැරෙනකල් හිනාවෙවී බලන් හිටපු එවුන් ජීවත් වෙලා ඉන්නවා බලන්නද යකෝ…?? උඹත් තාත්තෙක්ද කියපන්…” අතුලගෙ ඒ අමුතු කතාවට තරහා ආපු මං කෑගහලා ඇහුවා.

“හඃ හඃ හා… ඔව් මට වැඩක් නෑ දැන් වෙච්ච දේවල් උනා… මේ මරණ සිද්ධ උනා දැන් හොඳටම ඇති… මං දැනන් හිටියෙ නෑ තමුසෙ‍යි මේ මිනිමැරුම් කරන්නෙ කියලා… බලන් ගියාම මේවට කිසිම සම්බන්ධයක් නෑ කියලා දිවුරලා කියපු තමුන්ම තමයි මේ දේවල් ඔක්කොම කරලා තියෙන්නෙ නේද…? අර අහිංසක ෆාදර්ස්ලා දෙන්නවත් මැරුවෙ තමුන්ද එතකොට ආ…හ්ම් කමක් නෑ මේ කේස් එක නිසා ලොක්කා මාව කෑවා මේ ටිකේම.. මේක විසඳලා දැම්මම මට ප්‍රමෝශන් එකක් ලැබෙයි… හඃ හඃ හා….!!!”

මට අතුල ගැන ඇති උන වෛරය කියලා නිම කරන්න බැරි උනා. මේ යකාගෙ එකම දරුවව මරපු උන්ට දඬුවම් දෙනවට වඩා, ඒ පලිගැනීම සම්පූර්ණ කරගන්නවට වඩා මූට ඕනෙ රස්සවෙ උසස්වීම් ගන්න. මේ මොන වගේ මිනිහෙක්ද කියලා තේරුම්ගන්න මට මේ ටිකට පුලුවන් උනා. ඒත් සඳසාවිගෙ පලිගැනීමට මේ මිනිහත් ඇතුළත් නිසා මගෙ වැඩේ ඉක්මන් කරන්න ඕනෙ කියලා හිතපු මම තව අඩියක් ඉස්සරහට තිබ්බා.

“ඩිං…!”

පිටිපස්සෙන් ඔලුවට වැදිච්ච පාරට කෑගහගෙන බිමට ඇදගෙන වැටුණ අතුලගෙ අතින් පිස්තෝලෙ විසිවෙලා ගියා.

“අහස් අයියෙ…”

පොඩි ගෑස් සිලින්ඩරයක් අතින් අල්ලගෙන මගෙ දිහා බලන් හිටියෙ වෙන කවුරුත් නෙමෙයි සංදීප්. එයත් එක්ක හිනාවුණ මං බිම වැටිලා මගෙ දිහාවට බඩගාගෙන එන අතුල දිහා බලපු මට සංදීප් එයාගෙ අතේ තිබ්බ ගෑස් සිලින්ඩරේ විසි කලා. ඒක අතට ගත්තු මම, මගෙ දිහා ඔලුව උස්සලා බලපු අතුල දිහා බලලා හයියෙන් හිනාවුණා.

“තමුන් නොදන්න ගොඩාක් දේවල් තියෙනවා අතුල… මං කරපු මිනීමැරුම් එකක්වත් කවමදාවත් අහුවෙන්නෙ නෑ… ඒවා මිනිමැරුම් නෙමෙයි අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාශ කරපු පව්කාරයන්ගෙ පව් උන් එක්කම හේදිලා යන සාධාරණ පලිගැනීම්… එයාව මරපු කිසිම එකෙක්ට මගෙන් කිසිම සමාවක් නෑ… ඒ වගේම එයාව මේ ලෝකෙ තනි කරලා එයාට අපාදුක් විඳින්න සලස්වපු හැම එකාගෙන්මත් මං පලිගන්නවා… උඹ එයාගෙ තාත්තා උනත් මට ඒකෙන් වැඩක් නෑ… මැරෙන්න ලෑස්ති වෙයන් අතුල…මැරියා…න්…!!!”

අතුල කෑගහද්දිම අතේ තිබුණ ගෑස් සිලින්ඩරෙන් ඔලුවට පාරවල් දෙකක් ගහපු මං ඉතුරු ටික සංදීප්ට ඉවරයක් කරන්න භාරදීලා ඒ කාමරෙන් එලියට එන්න ආවා. කොරිඩෝව දිගේ ලොකු සාලෙට ආපු මං එකතැනක නතර උනේ සීතල හුලඟක් මාව වටකරගන්නවා දැනුණ නිසා.

“දෝණි…”

මගෙ ඉස්සරහට ලස්සන හිනාවක් එක්ක ආවෙ සඳසාවි. එයා මගෙ දිහා අහිංසක විදිහට බලලා හිනාවුණා.

“ඔයා ඒක කලා තාත්තී… දැන් ඉතුරු වෙලා ඉන්නෙ අන්තිම එකා විතරයි… ඊටපස්සෙ මගෙ පලිගැනීම සම්පූර්ණයි…”

“ඔව් දෝණි ඒක ඇත්ත… හෙට ඉර බැහැලා ගිහින් හඳ අහසෙ පායද්දි ඌත් මේ ලෝකෙ විඳින ලොකුම වේදනාව විඳ විඳ මැරිලා යයි… මං ඔයාට පොරොන්දු වෙනවා ඒක…”

“හ්ම්ම්ම්… ඒකෙන් පස්සෙ… ඔයා හැමදාමත් මගේ වෙයි තාත්තියො… අපි දෙන්නටම ආයෙමත් එකට ඉන්න පුලුවන් වෙයි…” එයා මගෙ දිහා බලලා හැඟීමක් නැති විදිහට කියලා දැම්මා.

ඒ කතාවට මං මොකුත්ම කිව්වෙ නෑ. මොකද එයා ඉල්ලන ඒ දේ මට දෙන්න වෙන්නෙ නෑ කියලා එයා දන්නෙ නෑ. අන්තිම පාරටත් මං දිහා බලලා හිනාවුණ එයා අඳු‍රත් එක්කම අතුරුදහන් උනා.

“අහස් අයියෙ…”

සඳසාවි එතනින් ගිහින් පැය කාලකට විතර පස්සෙ එතෙන්ට ඇවිත් කතා කරපු සංදීප්ගෙ හඬින් මං ගැස්සුනා.

“අරූ හෙට ගමට එන එක ශුවර් නේද සංදීප්..? ඔයා ඔක්කොම හොඳට චෙක් කලානෙ…?”

“හ්ම්ම් ඔව් අයියෙ… හෙට තමයි ඌ මේ ගම දකින අන්තිම දවස… මේ මොහොත වෙනුවෙන් මං අවුරුදු ගාණක් බලන් හිටියා අයියෙ… එදා දවස මට තාමත් අමතක කරන්න බෑ… මට ඌව දකින දකින වාරයක් ගානෙම මරාගෙන කන්න හිතෙනවා…”

“හෙට ඒ දවස අපි හැමෝටම වඩා ඌට මතක් වෙයි සංදීප්.. මේ ලෝකෙ දෙන්න පුලුවන් ලොකුම වේදනාව දැනෙද්දි ඌට ඒ දවස හොඳට මතක් වෙයි…” දත්මිටි කාගෙන කියපු මං සංදීප් එක්ක ඒ පාලු ගේ ඇතුලෙන් එලියට ආවෙ සඳුන් ගෙ මරණය ගැන අන්තිම තීරණයත් හිත් වල තියාගෙනයි.

************************************************************************

30 කොටසින් නැවතත් හමුවෙමු… ?

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.