Katha Ahura

මාරයා | 01 කොටස || හොල්මන් කතා ||

5/5 - (1 vote)

? මාරයා ?

#01 කොටස

වෙලාව රෑ දහය පසුවෙමින් තිබුණා. පැවති දැඩි වර්ශාව හේතුවෙන් වෙන්නප්පුව නගරයේ හැම වෙළෙඳ සැලක්ම වාගේ වසා තිබුණත් අතරින් පතර විවෘත වී තිබ්බ වෙළෙඳ සැල් අතරේ නගරයේ කොණකට වෙන්න තිබ්බ ‘ගිමන්හල’ කැෆේ එකත් විවෘතව තිබ්බෙ තවමත් එය මිනිසුන්ගෙන් තරමක් දුරට පිරී තිබුණු නිසා. හිමිවෙලා තිබ්බ ජනප්‍රියත්වය නිසාම වගේ එතන හැමදාම රෑ එකොලහ විතර වෙනකල්ම බිස්නස් සරුවටම කෙරීගෙන ගියා.

“අඩෝ කවියා උඹ තාම ගියෙ නැද්ද බං…?”

කැෆේ එකේ දොරත් ඇරගෙන වතුර පිටින්ම ඇතුලට ආපු සිතිර ඉස්සරහා මේසෙක වාඩිවෙලා හිටපු කවීන්ගෙන් ඇහුවෙ ටිකක් සද්දෙන්.

“ආ සිත්තා… තාම නෑ බං උඹ දන්නවනෙ ඉතින් නංගිව ගන්න ආවා අද එයාට රෑ වෙනකල් වැඩනෙ…” කවීන් සිතිරට මඳ සිනාවක් පාමින් උත්තර දුන්නා.

සිතිර එයා ඇඳන් හිටපු ජැකට් එක ගලවලා පුටුවෙ ඇන්දෙන් දාන ගමන් වටේට ඇහැ යැව්වෙ කෙල්ලෙක්වත් ඉන්නවද බලන්න. කොණක තමන්ගෙ පෙම්වතා එක්ක වාඩිවෙලා හිටපු කෙල්ලෙක්ව නෝට් කරගත්තු ඔහු කවීන් ඉස්සරහා පුටුවෙන් වාඩිවුනා.

“අද වැස්ස හින්දා මෙතන සෙනග නෑ නේ බං… නැත්තන් ඉතින් වෙනදා කට කපලනෙ…”

“හ්ම්ම්ම් ඔව් බං…” කම්මැලි ගතියෙන් වගේ කියපු කවීන් මේසෙ උඩ තිබ්බ කෝපි කෝප්පය දිහා බැලුවා.

“මොකද හුත්තෝ තොට වෙලා තියෙන්නෙ නිකන් ඈලි මෑලි ගතියෙන් ඉන්නෙ…? මොකක් හරි අවුලක්ද…?”

“නෑ බං වැස්ස නිසා පට්ට කම්මැලියි… මේ… එක්ස්කියුස් මී….” කවීන් එහා මේසය ලඟට ආපු වේටර්ට කතා කලා.

“ඔව් සර්…? මොනවද ඕනෙ…?”

එහෙම කියලා ඔවුන්ගෙ පැත්තට හැරුණු වේටර්ව දැකපු සිතිරගෙ ඇස් උඩ ගියා.

“මල්මි තමුසෙ මෙහේ…???” ටිකක් සද්දෙට සිතිරට ඇහෙද්දි කැෆේ එකේ හිටපු කීපදෙනෙක් ඔවුන් දිහා හැරිලා අමුතුවට බැලුවා.

“ආ… සිතිර ඉතින් කොහොමද…? මං මේකෙ තමයි දැන් වැඩ කරන්නෙ… ඔයත් මෙහෙද ඉන්නෙ මං දැනන් හිටියෙ ඔයා මීගමුවෙ කියලනෙ…” ටිකක් කින්ඩියට වගේ ඇඟට පතට නොදැනී වේටර්වරිය උනු මල්මි එහෙම කියද්දි සිතිරට ඇති උනේ ලැජ්ජාවක් වගේම තරහක්.

“ඔව් අපි පදිංචිය වෙනස් කලානෙ… දැන් ඉන්නෙ මෙහෙ…”

මේ දෙන්නගෙ කතාව අහන් හිටපු කවීන්ට දෙන්නා කතා වෙන්නෙ මොනා ගැනද කියලා නොතේරුණත් දෙන්නගෙ කලින් මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඇති කියලනම් තේරුණා.

“එක්ස්කියුස් මී… උඹ මල්මිව අඳුනවද මීට කලින්…?” කවීන් ඇහුවා.

“මල්මි…?? යකෝ උඹ කොහොමද මේකිව දන්නෙ…?” සිතිර ඇහුවෙ නළල රැලි කරන්.

“කවීන් කියන්නෙ මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් සිතිර…”

මල්මි කියපු දෙයින් සිතිරගෙ ඇස් උඩ ගියා. ඒත් එක්කම වගේ ඔහුගෙ මතකය අවුරුදු දෙකකට කලින් අතීතෙට ගියා. ඒ දවස් වල තමන්ගෙ අතේ එල්ලිලා ගිය කෙල්ල, තමන් බොරු තොගයක් කියලා රවට්ටලා අතෑරපු කෙල්ල තාන්ගෙ හොඳම යාලුවගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙලා. සිතිරට මේක ටිකක් තද පාරක් වැදුනා වගේ උනා.

“මොකෝ බං උඹ බර කල්පනාවක වගේ…? මොකක් හරි අවුලක්ද මචං…” කවීන් සිතිරගෙ අතක් උඩින් ඔහුගෙ අතක් තිබ්බා. ඒත් සිතිර ඒ අත ඇදලා ගත්තා.

“නෑ මචං අවුලක් නෑ… මං.. මං යනවා බං මට පොඩි වැඩක් මතක් උනා හදිසියෙම…” එහෙම කියපු සිතිර පුටුවෙන් නැගිටලා තමන්ගෙ ජැකට් එකයි ෆුල්ෆේස් හෙල්මට් එකයි අතට ගත්තෙ කවීන් පුදුමයෙනුත්, මල්මි සමච්චලයෙනුත් ඔහු දිහා බලන් ඉද්දි. “එහෙනම් මං ගිහින් එන්නම් කවියා හෙට සෙට් වෙමු මචං ඈ… සුභ…”

“ආ හරි මචෝ එල… සුබ ඈ…” තමන්ට අතක් වනාගෙන ගිය සිතිරට අතින් ෆිට් එක පෙන්නලා කවීන් කිව්වා. “මල්මි සීරියස්ලි ාහන්නෙ මොකක්ද ඔයාලගෙ ප්‍රශ්නෙ…? මට ඇත්ත කියන්න…”

“කමෝන් කවී… මං කිව්වෙ මාව රවට්ටලා ගිය මගෙ ෆස්ට් ලව් එක ගැන… අන්න එයා තමයි ඔය… මං දන්නෙත් නෑනෙ එයා ඔයාගෙ හොඳම යාලුවෙක් කියලා… හි..හි…” මල්මි හිනාවෙවී කියද්දි කවීනුත් ඒ හිනාවට එකතු උනා.

“හරි හරි මට තේරුනා… එහෙනම් ඌට ඒකයි එච්චරම අවුල් ගියේ නේද…? ඌ අතෑරපු කෙල්ල උගෙ හොඳම යාලුවා එක්ක ආදරේ කරනවා දකිද්දි ඌට ඌ ගැනම කළකිරෙන්න ඇති… යාලුවා උනාට ඌ හෙන ඇම්ඩා තමා බබියො… ඌ දන්නෙ නෑ ඌ අතෑරියෙ කොච්චර වටින කෙල්ලෙක්ද කියලා…” මල්මිගෙ අතකින් අල්ලගත්තු කවීන් කියාගෙන ගියා.

“ඒයි කොල්ලො මෙතන කස්ටමර්ස්ලා ඉන්නවා අතාරින්නකො… තාම මං ඕෆ් නෑනෙ… ඒක නෙමෙයි සර් ඔයාට තව මොනාහරි ඕනෙද… ඔයාට හරිම වෙහෙස පාටයි… නිදාගත්තෙ නැද්ද ඔයා…?”

“නිදාගත්තා බබියො ඒත් අද වැඩත් ටිකක් වැඩි නිසා මහන්සියි මට… කෝ මට තව කෝපි එකක් අරන් එන්නකො සීතලයි මට…”

“ඔච්චර කෝපි බොන්නෙපා මැට්ටෝ හොඳ නෑ… ඉන්නකො මං හොඳ කෝපි එකක් හදාගෙනම එන්නම්…” කවීන්ගෙ කම්මුලක් හෙමීට මිරිකපු මල්මි එතනින් යන්න ගියා.

මල්මි යන දිහා බලන් හිටපු කවීන් මේසෙ උඩ තිබ්බ තමන්ගෙ ෆෝන් එක අතට ගත්තෙ කෝපි එක ගේනකම් ෆේස්බුක් යන්න හිතාගෙන. ටිකක් වෙලා යනකල් වෝල් එකේ උඩට පහලට ගිය කවීන් එක පෝස්ට් එකක් ගාව නැවතිලා ඒක දිහා බලන් හිටියා. ඒකෙ තිබ්බෙ බුදු හාමුදුරුවන්ගෙ හිසට ඉහලින් රැස් විහිදෙන විදිහට හදපු පොඩි ඇනිමේෂන් එකක්. ඒ දිහා බලාගෙන ඉද්දි ඔහුගෙ ඇස් දෙකත් උඩට ගිහින් ලාවට නිදිමතක් වගේ ආවා. වහාම ෆෝන් එක පැත්තක දාපු කවීන් ඇස් දෙක පිහාගත්තෙ නින්ද යන්න නොදී. තමන් ලඟ තිබ්බ වෙට් ටිෂූ එකක් ගත්තු කවීන් ඒකෙන් ඇස් දෙකයි මූණයි පිහාගත්තා.

“ශිට් මේක නම් හරියන්නෙ නෑ… මූණ ටිකක් හෝදගත්ත නම් හරි වගේ…”

තමන්ටම මුමුණගත්තු කවීන් ඔලුව උස්සලා වටපිට බැලුවා. ඒ වෙද්දි කැෆේ එකේ හිටියෙ දෙතුන් දෙනෙක් විතරයි. වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිටපු කවීන් කෙලවරේ තිබුණු ටැප් එක ලඟට ගියා. සීතල වතුර වලින් මූණ හෝදගත්තු කවීන් සින්ක් එක අත් දෙකෙන්ම අල්ලගෙන වතුර පිටින්ම ඔලුව උස්සලා කණ්නාඩිය දිහා බැලුවා. එතකොට ඔහු දැක්කෙ තමන්ගෙ පිටිපස්සෙන් තමන්ව පහු කරලා යන සිතිරව.

“මූ ආයෙ ඇවිත්ද…? හම්මේ ඉතින් මුට හෙන ජෙල ඇති දැන් ඒකයි ඕකා එන්න ඇත්තෙ… ඒත් මූ පිටිපස්සට නේද ගියේ…?”

එහෙම හිතපු කවීන් පිටිපස්ස හැරිලා බැලුවත් සිතිර පේන්න හිටියෙ නෑ. එතන තිබ්බ ටිෂූ එකකින් මූණ පිහාගත්තු කවීන් ස්ටාෆ් එකට විතරක් ඇතුල් වෙන්න අවසර තිබ්බ, කැෆේ එකේ පිටිපස්ස පැත්තට ගියේ සිතිර ගියෙත් ඒ පැත්තට නිසයි. හිතට ටිකක් අමුත්තක් දැනුනෙ සිතිර ඇවිත් මල්මිට මොකක් හරි අප්සෙට් යන කතාවක් කියයිද දන්නෑ හිතිලා.

“සිතිර… උඹ මොකද…..” කෑම රාක්ක පහු කරන් ඉස්සරහට ගිය කවීන් දැක්කෙ පිටිපස්සෙ දොර ගාව මල්මියි සිතිරයි මොනවදෝ මුමුණ මුමුණ ඉන්නවා. ඒත් කවීන්ව දැකපු ගමන් සිතිර කවීන්ට ඔරවලා මල්මිගෙ උරහිසෙන් අල්ලන් දොරෙන් ඇතුලට තල්ලු කරලා ඔහුත් ඇතුලට ගිහින් දොර වහලා දැම්මා.

“සිතිර… මල්මි මොකද ඔතන වෙන්නෙ…? ඒයි සිතිර…!!” කෑගහගෙන දොර ලඟට ගිය කවීන් දොරට ගහගෙන ගහගෙන ගියා. “ඒයි මේ දොර ඇරපං සිතිරයා මගෙ කෙල්ලව අතෑරපන්…!!!”

‘දඩාස්’ ගාලා ඇරිච්ච දොරෙන් කවීන්ව වීසි වෙලා ගිහින් බිත්තියක වැදිලා බිමට වැටුණා. ඔලුව ටිකක් තදින් වැදුණ නිසා කවීන් ටිකක් එහෙම්ම හිටියත් මල්මිව මතක් වෙලා ඔහු එතනින් දනිපනි ගාලා නැගිට්ටා. ඒත් තමන් ඉන්නෙ කැෆේ එකේ නම් නෙමෙයි කියලා තේරුම්ගන්න ඔහුට ටිකක් වෙලා ගියා. වටේටම තිබ්බෙ කැඩිච්ච බිඳිච්ච බඩු ගොඩාක් හැමතැනකම වගේ ගොඩගහලා තිබ්බ අතෑරලා දාපු බිල්ඩිමක් වගේ තැනක.

“මේ කොහෙද යකෝ…? මල්මී…. සිතිරයා උඹලා කොහෙද…? මල්මි ඔයා හොඳින්ද…? කෝ කවුරුත් මෙහෙ නැද්දෝ….???” කවීන් හයියෙන් කෑගැහුවත් තමන්ගෙම හඬ හිස් බිල්ඩිම ඇතුලෙ දෝංකාර දුන්නා මිසක් අඩුමතරමෙ මීයෙක්ගෙ සද්දයක්වත් ඇහුනෙ නෑ.

තමන් ආපු දොර දිහාවට ආයෙම හැරුණත් එතන කිසිම දොරක් ඒ වෙද්දි තිබ්බෙ නෑ. වටපිට බලපු කවීන් ඉස්සරහින් බාගෙට වගේ ඇරලා තිබ්බ දොරක් දැක්කා. කැඩුණු බිඳුනු බඩු ගොඩවල් අතරින් ඉස්සරහට ගිය කවීන් ඒ දොරෙන් ඇතුල් උනේ ලාවට එලියක් තිබ්බ කාමරේකට. කාමරේ එක පැත්තකින් ගිණි මැලයක් පත්තු උනේ කවුරුහරි මෙහෙ ඉන්න බවක් පෙන්නුම් කරමින්.

“ආ…හ්” කෑගහපු කවීන් පස්සට පැන්නා.

වටපිට බලපු කවීන්ට දැකගන්න පුලුවන් උනේ පිච්චිලා අඟුරු වෙලා ගිය මනුස්සයෙක්ගෙ බොඩි එකක් කුරුසෙකට තියලා ඇණ ගහලා තියෙනවා. ඒ දිහා බලන් හිටපු කවීන් ගැහි ගැහි උනත් බොඩි එක ලඟට කිට්ටු කලා. ඒත් එක්කම කවීන් ආයෙම කෑගහගෙන පිටිපස්සට විසිවෙලා ගිහින් වැටුනෙ පිච්චිලා කරවෙලා තිබ්බ ඒ මළමිනියෙ ඇස් දෙක එකපාරටම ඇරුණු නිසා.

“හෙලෝ….” මළමිනියෙ කටින් ඒ හඬ එද්දි කවීන් බයවෙලා තවත් පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු උනා.

“නෑ..නෑ…නෑ…. මේක ඇත්තක් නෙමෙයි… උඹ ඇත්තක් නෙමෙයි උඹ හීනයක් විතරයි…. ප්ලීස් ප්ලීස් මාව ඇහැරෙන්න අනේ දෙයියනේ….” බිත්තියට හේත්තු උනු කවීන් කෑගැහුවා. තමන් එක දිගටම රැයවල් කීපයක්ම දැකපු ඒ භයානක හීනෙ අදත් දකිනවා කියලා කවීන්ට තේරුණා.

“මේ..ක… ආහ්…” කුරුසෙන් ඇණ ගලවගත්තු මළමිනිය කෙඳිරුවා. “මේක ඇත්තක් කොල්ලෝ… හෙහ් හෙහ් හේ…”

“එපා මගෙ ලඟට එන්නෙපා… එපා….!!!” කෑගහපු කවීන් බිත්තිය ලඟින් ඈත් වෙලා දුවන්න ගත්තෙ දොර දිහාවට. ඒත් දොර වේගෙන් වැහිලා ගියේ කාමරේ ඇතුලෙ කවීන්ව හිරකාරයෙක් කරමින්.

“කොහොමද කොල්ලෝ….???”

තමන්ගෙ පිටිපස්සෙන් ඇහුණු ගොරෝසු කටහඬට හෙමින් හෙමින් වෙවුලමින් අනිත් පැත්ත හැරුණු කවීන්ගෙ කටේ කෙලත් ඔක්කොම හිඳිලා ගියා. පිච්චිලා කලුගැහිලා හිටපු මළමිනියෙ ලේ පාට වෙලා තිබ්බ ඇස් දෙක කවීන් දිහාවට හැරිලා තිබ්බෙ. කිසිම ඇඳුමක් නොතිබ්බ මළමිනිය තනිකරම කරවෙලා තිබ්බෙ. එක අතක තිබ්බ දේ දැකපු කවීන්ට තමන්ගෙ කලිසම තෙත් වෙනවා දැනුනා.

“අනේ එපා එපා මේක හීනයක්… මේක හීනයක් විතරයි… උඹ ඉන්නෙ මගෙ හීන වල විතරයි…” කවීන් කෑගැහුවා.

“නෑ… මේක ඇත්තක් කොල්ලෝ… මේ තමයි…. එකම ඇත්ත…. හා හා හා….!!”

කලු ගැහුනු මූණෙ කහ ගැහුණු දත් විලිස්සමින් මහ හයියෙන් වියරුවෙන් වගේ හිනාවුනු මළමිනිය තමන්ගෙ අතේ තිබ්බ උල් පිහියෙන් කවීන්ගෙ බෙල්ලට ඇන්නා.

“එපා… එපා…. උඹ ඇත්තක් නෙමෙයි… උඹ හීනයක්…. එපා….!!!”

“කවී…….න්…..!!!”

කෝපි කෝප්පය සහිත බන්දේසිය අතෑරපු මල්මි කවීන් ලඟට දුවගෙන ගියෙත්, කවින් තමන්ගෙ අතේ තිබ්බ ගෑරුප්පුවෙන් තමන්ගෙ බෙල්ලට ඇනගෙන ඇනගෙන ගියෙත් එක පාරටම. ඔහුගෙ බෙල්ලෙන් විද්ද ලේ මල්මිගෙ ඇඟට විසිවෙද්දි, ලේ දැකපු මල්මි සිහි නැතුව එතනම ඇදගෙන වැටුණා.
****************************************************************

?SanjaaN?

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.