Katha Ahura

මාරයා | 02 කොටස || හොල්මන් කතා ||

5/5 - (1 vote)

?මාරයා?

#02 කොටස

“අපි හැමෝම දන්නවා මේ දරුවා ගමේ හැම කෙනෙක්ගෙම හිත දිනාගෙන කාටවත්ම කරදරයක් හිරිහැරයක් නොකර දෙවියන් වහන්සේගේ මග යමින් ජීවත් උනු යහපත් දරුවෙක්… මෙවැනි යහපත් දරුවෙක් තමයි අද දෙවියන් වහන්සේ තමන් ලඟට අරගෙන තියෙන්නෙ… ඉතින් මේ රැස්ව සිටින…….”

වෙන්නප්පුව සුසාන භූමියේ කවීන් පෙරේරාගේ සොහොන වටේට ඔහුගෙ පවුලෙ අය වගේම නෑදෑ හිත මිතුරනුත් අසල්වැසියොත් එකතු වෙලා හිටියා. ගමේ පල්ලියේ පූජකවරයෙක් ඇවිත් ඔහු වෙනුවෙන් අවසන් යාච්ඥව කරමින් හිටියෙ. ගොඩක් දෙනෙකුට මේ හදිසි මරණය දැඩි කම්පනයක් ඇති කලා වගේම ඔහු වැනි කිසිම ප්‍රශ්නයක් නොතිබ්බ තරුණයෙක් එලෙස සියදිවි නසාගැනීමත් අදහාගැනීමට නොහැකි දෙයක් වුණා.

“අරූ ගැන බොරුත් කියනවා බං ෆාදර් කාරයා… ඕකා කොහෙද බං ගමේ හැම වැඩකටම උදව් දෙන්න ගියේ? මේ අපිනෙ බං පල්ලි නොගියත් ඒවට යන්නෙ හැමදාම…” සෙනඟ අතරින් ටිකක් ඈත්ව හිටපු කවීන්ගෙ මිතුරෙක් උනු සමීර තවත් මිතුරෙකුට පැවසුවා.

“අපි මැරුණත් කවුරුත් මළ ගෙදරදි වැරදි කියන්නෑ බං… ඒක ඉවර උනාම තැන් තැන් වල හැපිචෝල් ගහනවා මිසක්…”

“ඒ අර බලපංකො අරකි අඬන හැටි… අඩෝ ඌට ඔච්චර පට්ට කෑල්ලක් හිටියා අදනෙ බං දන්නෙ…”

“කට කට යකෝ… මෙතන ඉන්න උන්ට ඇහුනොත් ඉවරයි… තොට නම් අනුන්ගෙ ගෑනුම තමයි නේ…?”

මේ අතර සිතිර සිටියේ වැලහින්නක් සේ අඬනා මල්මි දෙස බලමින්ය. තමා අතහැරියද තමන්ගේ මිතුරාගේ පෙම්වතිය වී හෝ ඇය සතුටින් සිටි බව දැනගත් වෙලේ පටන් හිතට ඊර්ෂ්‍යාවක් ඇති වුනිද දැන් ඔහුට ඔහු ගැනම කළකිරීමක් දැනෙන්නට වූයේ එදා රෑ කවීන්ව තමන් දමා ආවේ නැතිනම් අදත් ඔහු ජීවතුන් අතර නේද බව හිතුනු නිසා. පැත්තකින් මේසයක් මත තබා ඇති කවීන්ගෙත් ඔහුගේ පවුලේ අයගේත් ඡායාරූප අතර ඔහුත් සමඟ ගත් ඡායාරූප වලද කවීන් සතුටින් සිනහවී සිටින අයුරු දැකීමෙන් මෙතෙක් වේලා නොතිබ්බ කඳුලක් සිතිරගෙ ඇස් අගටත් එකතු උනා. ඒ දවස් කොච්චර ලස්සනද? යාලුවො ඔක්කොම එක්ක නටපු පිස්සු මතක් වෙද්දි කවීන්ගෙ මතකයන් එක්ක සිතිර තවත් හඬන්න උනා.

“අනේ සිතිර ඔයාගෙ යාලුවට එන්න කියන්නකෝ… අනේ මට එයා නැතුව ඉන්න බෑ සිතිර… බලන්න බලන්න එයා අර පෙට්ටිය ඇතුලෙ හැංගිලා ගිය හැටි මාව දාලා… අනේ මට එයා නැතුව ඉන්න බෑ… ඔයත් මාව දාලා ගියා දැන් එයත් මාව දාලා ගියා… මට කවුරුත් නෑ දෙයියනේ…”

භූමදානය ඉවර වෙලා හැමෝම විසිර යද්දි සිතිරව බදාගෙන මල්මි අඬන්න පටන් ගත්තා. සමහරුන්ට මේක ටිකක් අවුල් සහගත උනත් සිතිරට ආයෙමත් මල්මි ගැන හිතේ යටපත් වෙලා තිබ්බ ආදරේ උඩට මතුවෙන්න ගත්තෙ ඇය ගැන ආපු අනුකම්පාවත් එක්කම. ඔහු ඒ නිසාම මල්මිව සනසන්න උත්සාහ ගත්තා.

“හරි මල්මි හරි එයා ගියේ දෙවියො ගාවටනෙ… දෙවියො හොඳ අයව එයා ලඟට ඉක්මණට ගන්නවනෙ.. ඒ නිසා තමයි කවීන් වගේ හොඳ කෙනෙක්වත් එයා ලඟට ගත්තෙ… එයා ඉන්න තැනක ඉඳන් අපි දිහා, ඔයා දිහා ආදරෙන් බලන් ඉන්නවා ඇති… දැන් ඔය අඬන එක නතර කරගන්නකො හොඳ ළමයා වගේ…”

“අනේ එතකොට දෙවියො එයා වගේ හොඳ අයව එයා ලඟට ගන්නවනම්, ඇයි උඹ වගේ නරක එවුන්ව අපායට යවන්නැත්තෙ….???”

මල්මිගේ කටින් පිටවෙච්ච වචන සිතිරගෙ හිතට එකතු කලේ පුදුමයක්. වටේටම සෙනඟ තාමත් ඉන්න නිසා කාට්වත් ඇහෙයි කියලා බය හිතුනු සිතිර මල්මිව ඔහුගෙන් ඈත් කලා. ඒත්…

“මල්මි….??? උ..උඹ කවුද…? අම්මෝ….!!!” සිතිර කෑගැහුවෙ ඔහුගෙ තුරුලෙ ඉඳලා ඈත් උනේ මල්මි නොවෙන නිසා.

තමන්ගෙන් අඩි දෙකක් විතර එහාට වෙන්න හිටපු මුලු ඇඟම කරවෙන්නම පිච්චිලා හිටිය මළ මිනිය දිහා බලන් හිටපු සිතිරට ඇති උනේ කියාගන්න බැරි විදිහෙ බයක්. කලුපාට මූනෙ රතුම රතු පාටට දිලිසුනු ඇස් දෙකත් කහ ගැහුනු විලිස්සන් හිටපු දතුත් එක්ක මළ මිනියෙ දකුණු අතේ තිබ්බෙ දිග උල් පිහියක්.

“උඹ වගේ එවුන් අපායෙ ඉන්න ඕනෙ… එහෙම නේද කොල්ලො…?” දත් විලිස්සලා එහෙම අහපු මළ මිනිය එකපාරටම පිහිය වැනුවෙ සිතිර පිටිපස්සට පනිද්දිමයි.

“ආ…. අම්මේ…හ්…!!” සිතිර වේදනාවෙන් කෑගැහුවා.

“ඒයි මචං සිතිරයා මොකද බං වෙලා තියෙන්නෙ…? ඒ මචං…!!”

කාගෙදෝ කටහඬක් ඈතින් වගේ ඇහෙද්දි සිතිර නින්දෙන් ඇහැරුණා වගේ එකපාරටම කලබල වෙලා කෑගහගෙන පස්සට පැන්නා. එතන රැස්වෙලා හිටපු හැමෝම වගේ ඔහු දිහා බැලුවා. වේගෙන් හුස්ම ගත්තු සිතිර තමන් ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරුව ටිකක් වෙලා වටපිට බැලුවත් ඊලඟට ආයෙමත් තමන්ගෙ වම් අත දිහා බලපු ඔහු ගොඩාක් කලබල උනා. වම් අතේ වැලමිටෙන් උඩට වෙන්න ටිකක් ගැඹුරට කැපිලා තුවාලෙන් ගලපු ලේ අත දිගේ බේරෙමින් තිබුණා.

“මචං මොකද බං මේ අයියෝ බං මොකකට හරි කපාගත්තද උඹ…? අඩෝ ඔය ලේන්සුවක් ගනිල්ලා…” සිතිරගේ මිතුරෙක් උනු අශේන් කෑගැහුවා.

“මං හිතන්නෙ මේ යකඩ කුරුසෙට කැපෙන්න ඇති බං… මේ බලපන් ඒක නිකන් කඩුවක් වගේ ශාප්නෙ බං…” එතන තිබ්බ සොහොන් කොතක් උඩ හදලා තිබ්බ යකඩ කුරුසයක් පෙන්නපු චාමර කිව්වා.

“මූ හොල්මනක් දැක්කා වගේනෙ බං බයවෙලා පස්සට පැන්නෙ… යකෝ තොට හිටගෙන නින්ද ගියාද හීනයක්වත් දකින්න…?” ලේන්සුවකින් සිතිරගේ තුවාලය වෙලමින් හිටපු අශේන් ඇහුවෙ හිනාවෙවී.

“න්..නෑ… බං මේකට කැපෙද්දියි බං ටිකක් බයවෙලා කෑගැහුවෙ… අවුලක් නෑ ඔය ඇති බං ගිහින් බේත් ටිකක් දාගමු…” එහෙම කිව්ව සිතිර තමන්ගෙ අත පැත්තකට ගත්තා. ඊටපස්සෙ එතනින් ඈත් වෙලා කනත්තෙන් එලියට ආපු සිතිර සිගරට් එකක් පත්තු කරගත්තෙ හිතේ තිබ්බ කලබල ගතිය අඩුකරගන්න හිතාගෙන.

“ෂිට්… අර හුකන හීනෙ ආයෙමත් පේන්න අරන්… මේකට නම් මොනාමහරි කරන්න වෙනවා නැත්තම් මට පිස්සු හැදිලයි නතර වෙන්නෙ…” තනියම තමන්ටම මුමුණ ගත්තු සිතිර සිගරට් එක ඉවර වෙන්නත් කලින්ම ඒක බිමට දාලා හයියෙන් පාගලා දැම්මෙ භූමදාන කටයුතු තාම ඉවර නැති නිසා ආයෙමත් කනත්ත ඇතුලට යන්න හිතාගෙනයි.

“ඥා….ව්”

කනත්තෙ ගේට්ටුව ලඟ හිටපු කලුම කලු පාට බය හිතෙන පෙනුමක් තිබ්බ පූසෙක් සිතිර දිහා බලාගෙන කෑගැහුවා. ඌව දැක්ක සිතිරට ඇති උනේ ලොකු බියක්.

“පල කාලකන්නි මූසල පූසා මෙතනින්… ටහුකන්ඩ ආවා මෙතන…”

බිම තිබ්බ ගල් කැටයක් අහුලගත්තු සිතිර කෑගහගෙන ඉස්සුණත් පූසා පේනතෙක් මානෙකවත් හිටියෙ නෑ. හිතට අමුත්තක් දැනුනු නිසා සිතිර ඉක්මන් ගමනින් එතනින් යන්න ගියේ ඔහුගෙ වම් අතේ තුවාලෙ දැඩිව වේදනා දෙද්දි.
************************************************

“එයා එකපාරටම මේක හීනයක් මේක හීනයක් කියලා කෑගහන්න ගත්තා… අනේ එතකොටම තමයි… ඉහි..ඉහි…. එයා… එයා… අතේ තිබ්බ ගෑරුප්පුවෙන්… අනේ…..”

පොලිසිය ඇවිත් මල්මිගෙන් කට උත්තරයක් ගත්තෙ එදා රෑ. මොකද සිද්ධිය වෙච්ච වෙලාවෙ ඉඳලා මල්මි හිටියෙ හොඳ සිහියකින් නෙමෙයි නිසා. දැනුත් ඇය හිටියෙ ඇඬූ කඳුලින්. අඬ අඬා හරි එදා තමන්ගෙ පෙම්වතාගෙ බිහිසුණු මරණෙ වෙච්ච විදිහ එයා මතක් කරමින් පොලිසියට කට උත්තරයක් දුන්නා.

“එතකොට මිස් මල්මි කියන්නෙ ඔයාලා අතරෙ කිසිම රණ්ඩුවක්, හිත් අමනාපයක් එහෙම ඇති උනේ නෑ කියලද..? සිද්ධිය වෙන්න කලින් එයා හිටියෙ මොකක් හරි ප්‍රශ්නෙක කියලවත් ඔයාට තේරුනේ නැද්ද…?”

“එහෙම දෙයක් උනේ නෑ… ඒත් එයා හිටියෙ හරියට දවස් ගාණකින් නිදාගත්තෙ නැති කෙනෙක් වගේ… ඇහුවම කිව්වෙ වැඩ වැඩි නිසා මේ ටිකේ මහන්සියි කියලා… අන්තිමට… අන්තිමට මගෙන් කෝපි එකක් ඉල්ලුවා… ඒක හදලා ගේද්දි තමයි එයා…. ඉහි..ඉහි….” මල්මි ආයෙමත් අඬන්න ගත්තා.

“ඕකේ මිස් මල්මි ආයෙමත් ඕන උනොත් අපි එන්නම්… ගොඩක් ස්තූතියි ඔයාට… අපි ගිහින් එන්නම්කො…”

පොලිසිය ගියාට පස්සෙ කවීන්ගෙ අම්මගෙ තුරුලට වෙලා මල්මි ගොඩක් වෙලා ඇඬුවා. මේ හැමදෙයක්ම සිතිර ඈතට වෙලා බලාගෙන හිටියෙ. මල්මි ගැන ආයෙමත් ලොකු ලෝබකමක් ඔහුට දැනෙන්න අරන් තිබුණෙ ඇයව කැෆේ එකේදි දැකපු වෙලාවෙ ඉඳලා. තමන් එක්ක හිටපු කාලෙට වඩා ඇය ගොඩාක් ලස්සන වෙලා හැඩ වෙලා කියලා ඔහුට තේරුණා. ඒ ලස්සන ආයෙමත් සැරයක් විඳින්න ඕනෙ කියලා සිතිරගෙ හිත ඔහුට බලකලා. ඒ නිසාම තමයි සිතිර කොච්චර වැඩ අස්සෙ උනත් මල්මි දිහාම ඇහැ ගහන් හිටියෙ.

“සිතිරයා උඹට අවුල් ගියෙ නැද්ද බං ඒකි කවියා එක්ක ඉන්නවා දකිද්දි…? උඹ කොහොමත් ඒකිව දාගෙන හිටියෙ ආතල් එකටනෙ…” අශේන්, යාලුවො සෙට් එකම පැත්තකට වෙලා කාඩ් සෙල්ලම් කර කර ඉද්දි සිතිරගෙන් එකපාරටම ඇහුවා.

“හ්ම්ම්ම් ආතල් ගත්තා උනත් ඒකි ගැන මොකක්දෝ මෙව්වා එකක් මගෙ හිතේ තිබ්බා බං… ආතල් ගන්න කලින්ම තමයි මාව අරකිට අහු උනේ… ඒ නිසානෙ මං ඕකිව අතෑරියෙ… දැන් තමා හිතෙන්නෙ අපරාදෙ කියලා බං… බලපංකො දැන් කඳ එහෙම පට්ට නේ…?” සිතිර මල්මිව හිතෙන් මවාගනිමින් කිව්වා.

“ඔහොම තමා මල්ලි දැන් ඉතින් උඹට හුලං තමයි… ආයෙ නම් ඕකි උඹට අහුවෙන්නෑ ලොවෙත්…” එතන හිටපු තව යාලුවෙක් වුනු වරුණත් කියද්දි සිතිරට ඇති උනේ තරහක්.

“අනේ උඹ හැමනියන් වරුණ අයියෙ… ඒක මං බලාගන්නම්කො…” එහෙම කියපු සිතිර එතනින් නැගිටලා ගියේ බල බල හිටපු කාඩ් අතත් පොලවෙ ගහලා.

“හූ… පව් යකෝ උඹ… හහා…”

අනිත් අය හයියෙන් හිනාවෙද්දි සිතිර මළ ගෙදරින් ටිකක් ඈතට ඇවිත් සිගරට් එකක් පත්තු කරන් පාර දිගට ඇවිදින්න ගත්තා. කවීන්ගෙ මරණයත් එක පැත්තකින් ඔහුට වද දෙද්දි මල්මි ගැන ඇතිවෙලා තිබ්බ රාගික හැඟීම් නිසාත් ඔහු තරමක් දුරට මානසිකව පීඩනේකට ලක්වෙලා හිටියෙ. සිගරට් පහ හයක්ම ඉවර කරපු සිතිර ආයෙමත් මළ ගෙවල් පැත්තට ඇදුණා. භූමදානය ඉවර උනත් මිනිස්සු නම් අඩුවක් නැතුවම මළ ගෙදර හිටියෙ එච්චරටම කවීන් කියන්නෙ හැම කෙනෙක්ගෙම හිත දිනාගෙන හිටපු කෙනෙක් නිසා.

“මල්ලි විටක් කනවද…?”

යාලුවන්ගෙන් ටිකක් ඈතින් තිබ්බ පුටුවක වාඩිවෙච්ච සිතිරගෙන් එහෙම ඇහුවෙ ගමේ කොල්ලෙක්. ඒක ප්‍රතික්ෂේප කරපු සිතිර කෝපි ගෙනාපු කෙනෙක්ගෙන් කෝපි කෝප්ප දෙකක්ම ඉල්ලගත්තෙ ඔහුට නින්ද යයි කියලා බය හිතුණු නිසා. එක දිගටම රෑට දකින නරක හීනයක් නිසා සිතිර නිදාගන්න කැමති උනේ නෑ. ඒත් දවස් ගාණක්ම හරි හැටි නින්දක් නැති නිසා කෝපි බිව්වත් සිතිරට දැනුනෙ තද නිදිමතක්. නින්ද යාගෙන එද්දි සිතිර කලේ මල්මි ගැන හිතපු එක. මේ විදිහට පාන්දර දෙකත් පහුවෙනකල් ඇහැරිලා හිටපු සිතිර තමන්ගෙ යාලුවො පවා එකින් එකා ගෙවල් වලට යනකල් හිටියෙ කලින් ඔහු සැලසුම් කරන් හිටපු දෙයක් කරන්න බලාගෙන. මළ ගෙදර හිටපු සෙනගත් ඒ වෙද්දි දහයකට විතර සීමා වෙලා හිටියා. සමහරු නම් වැටිච්ච තැන් වල නිදි. ඔහුටත් තදින්ම නිදිමත දැනුණත් සිතිර තමන් මල්මි එක්ක ගත කරපු මොහොතක් සිහියට නඟාගත්තා.

“දැන් හරි වගේ ටයිම් එක… මේකි ශුවර් එකටම ඇත්තෙ කවියගෙ කාමරේ වෙන්නැති… යමන්කො බලන්න…” තනියම එහෙම හිතපු සිතිර මල්මිව හොයාගෙන හොරෙක් වගේ ගේ ඇතුලට රින්ගුවා.

ගේ වටේටම ලයිට් දාලා තිබ්බත් ගේ ඇතුලෙ ලයිට් ඕෆ් කරලයි තිබ්බෙ ඒ වෙලාවෙ. ඒ නිසාම සිතිරට කවීන්ගෙ කාමරේ ලඟට හොරෙන්ම යන්න පුලුවන් උනා. හොරෙක් වගේ වටපිට බලපු සිතිර දොරේ අඟුල කැරකෙව්වා. පුදුමෙකට වගේ දොර ලොක් කරලා තිබ්බෙ නෑ. ඔහු හෙමීටම දොර ඇරලා ඇතුල් වෙලා දොර වහලා දැම්මා. කාමරේම තිබ්බෙ ඝන අඳුරක. සාක්කුවෙන් ෆෝන් එක එලියට ගන්න ටිකට ඔහුට දැනුනා මල්මිගෙ පර්ෆියුම් එකේ සුවඳ. ෆෝන් එකේ ටෝච් එක කාමරේ වටේට අල්ලපු සිතිර එකපාරටම පස්සට විසි උනා.
**********************************************
?SanjaaN?

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

හෙට සිට හැමදාම රෑ 9ට මාරයා කතාව කියවන්න පුළුවන්

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.