Katha Ahura

මාරයා | 03 කොටස || හොල්මන් කතා ||

5/5 - (1 vote)

? මාරයා ?

#03 කොටස

“මේ… මේ කොහෙද යකෝ….???”

පුදුමටත් බියටත් පත් වෙච්ච සිතිර තමන්ගෙන්ම ඇහුවා. කවීන්ගෙ කාමරේ වෙනුවට එතන තිබ්බෙ කැඩිච්ච ලී, යකඩ බඩු තැන් තැන් වල ගොඩ ගහලා තිබ්බ කාමරයක්. කිසිම එලියක් ඒ කාමරේ තිබ්බෙත් නැති නිසා සිතිර වටේටම ටෝච් එක අල්ලලා බැලුවා.

“මේක කවියලගෙ ගබඩා කාමරේවත්ද…? ඒත් උන්ට එහෙම එකක් තිබ්බෙ නෑනෙ… මේක හරියන්නෑ යමන් ආයෙ එලියට…” එහෙම හිතපු සිතිර ආයෙමත් හැරුනෙ දොර ඇරගන්න. ඒත් කිසිම දොරක් එතන තිබ්බෙ නෑ වගේම කොච්චර ටෝච් එක අල්ලලා බැලුවත් එතන දොරක සළකුණක්වත් තිබ්බෙ නෑ. සිතිරට ඇති උනේ ලොකු බයක්. කවුරුහරි තමන් එක්ක සෙල්ලමක් කරන්න හදනවද කියලා තරහකුත් ඇති උනා.

“ක්‍රී……න්”

කෙඳිරි ගාගෙන කාමරේ එක පැත්තකින් දොරක් ඇරෙනවා සිතිරට ඇහුණා. ඒ පැත්තට ටෝච් එක අල්ලපු සිතිර දැක්කෙ එහා කොණේම තිබ්බ වැඩිය උස නැති දොරක්. පොඩි එලියක් ඒ දොරෙන් කාමරේ ඇතුලට වැටිලා තිබ්බා. සිතිර ඉක්මණින්ම ඒ දොර දිහාවට ඇවිදගෙන ගියා.

“ආ….ව්…!!!”

කෑගහගෙන එතනම බිම වාඩිවුණ සිතිර කකුල අල්ලගත්තෙ ඇස් වලින් කඳුලු පනිද්දි. වෙවුලන අතින් ෆෝන් එකේ ටෝච් එක තමන්ගෙ යටි පතුලට අල්ලපු ඔහු දැක්කෙ සෙරෙප්පුවත් පසාරු කරගෙන ඇනිලා තිබ්බ ලෑලි කෑල්ලක තිබ්බ ලොකු ඇනයක්. ඇනුන තැනින් ලේ ගලමින් තිබ්බා. සිතිර වේදනාවෙන් කෙඳිරි ගාමින් හෙමීට ටිකෙන් ටික ඇණය ගලවලා දැම්මා. වේදනාව හින්දම ඔහුගෙ ඇස් වලින් කඳුලු වගේම කටින් කුණුහරුපත් පිට උනා. සාක්කුවෙන් ගත්තු ලේන්සුවෙන් තුවාලෙ ගලමින් තිබ්බ ලේ පිහලා දාපු සිතිර ඒක ටිකක් තදවෙන්න යටිපතුල වටේ ඔතාගත්තා.

“මේවා මට හොඳ පාඩම් යකෝ… ඉන්න බෑනෙ කැසිල්ලනෙ ෂිට්…”

තමන්ටම බැණගනිමින් ඔහු ටිකක් කොරගගහා දොරෙන් එලියට ආවා. ඊලඟට සිතිර ඇවිත් තිබුනෙ ලොකු ශාලාවක් වගේ තැනකට. වහලෙ උඩ එල්ලලා වගේ තිබ්බ යාන්තමට ඩිම් එලියෙන් දැල්වුණ බල්බ වල එලියෙන් ඔහු ශාලාව දිහා හොඳට වටපිට බැලුවා. එතකොටයි ඔහු දැක්කෙ මෙතන නිකන් අතෑරලා දාපු මොකක් හරි කර්මාන්තශාලාවක් වගේ තැනක් කියලා. ඒත් එක්කම ඔහුට මතක් උනේ…..

“දෙයියනේ…. එතකොට අර මූසල හීනෙ… නෑ… නෑ…. ඒක වෙන්න විදිහක් නෑ……”

හයියෙන් කෑගහපු සිතිර බයෙන් වගේ වටපිට බැලුවෙ තමන් නිතරම හීනෙන් දැකලා බයවෙන අර පිච්චුනු කලුගැහිලා හිටිය….

“උඹ….??? එපා එපා මේක හීනයක් විතරයි…. එපා…. අම්මෝ…..!!!”

*********************************************************************

“අඩෝ මේ බලපිය මේකා මෙතන හොඳටම නිදි…”

මළ ගෙදරින් පැය කීපයකට අතුරුදහන් වෙලා හිටපු සිතිරගෙත් කවීන්ගෙත් යාලුවෙක් වුණු සමීරයි ඔහුගෙ තවත් යාලුවො දෙන්නෙකුයි ආයෙමත් මළ ගෙදරට කඩන් පාත් උනා. එතකොටයි සමීර දැක්කෙ පුටුවක් උඩ වාඩිවෙලා නිදාගෙන හිටපු සිතිරව.

“මේ මචෝ හැමෝම නිදි එකේ අපි මුගෙන් පොඩි ආතල් එකක් ගමු වරෙල්ලා… ගනින් ඔය බුලත් එකේ තියෙන හුනු එක… ඒ උඹ ගිහින් කවියාගෙ බාත් රූම් එකෙන් ටූත්පේස්ට් එක අරන් වරෙන්… තව කොස්සෙන් කෙඳි ටිකකුත් අරන් වරෙන්…”

යාලුවො තුන් දෙනා එහෙම කතා වෙලා නිදාගෙන ඉන්න සිතිරව විහිලුවකට ගන්න ලෑස්ති උනා. අරන් ආපු ටූත් පේස්ට් එකෙන් ටූත් පේස්ට් සෑහෙන ප්‍රමාණයක් සිතිරගෙ එක අතකට හලපු සමීර අනිත් අතට හුණු දාලා තව හුණු ටිකක් සිතිරගෙ උඩු තොලට උඩින් ගෑවා. ඒ අතරෙ එකෙක් දුම් කොල කෑලි දෙකක් අරන් නහය අස්සෙ ගහද්දි අනිත් එකා කොහෙන්දෝ කඩන් ආපු මල් පොකුරක් සිතිරගෙ කොණ්ඩෙයි, එක කණකයි රැඳෙව්වා.

“හම්මේ…. හූ….”

“අඩෝ කෑගහන්නෙපා බං අපිට ගුටිත් කන්න වෙයි ගෙදර මිනිස්සුන්ගෙන්… ඔය ෆෝන් එක අරන් ෆොටෝ ටිකක් ගනින්…” සමීර හිනාවෙද්දි එක යාලුවෙක් කිව්වා.

තුන් දෙනාම සිතිර දිහා බලමින් හිනාවෙන අතරෙ ඇති තරම් ෆොටෝ ගත්තු සමීර ඊටපස්සෙ කලේ කලින් ගෙනාපු කොහු කෙන්දක් අරගෙන සිතිරගෙ නහයයි කනකුයි ඒකෙන් කිති කවපු එක.

******************************************************************

සිතිර කකුලත් කොර ගසමින් ශාලාව හරහා දුවන්නට වුනා. තැනින් තැන ගොඩ ගසා තිබුනු බඩුමුට්ටු පෙරල පෙරල වැටි වැටී දිව්වත් තමන් දුවන්නෙ කොහාටද කියල ඔහු දැන් හිටියෙ නෑ. අන්තිමට ටිකක් විතර අඳුරු වෙලා තිබ්බ ශාලාවෙ කොණකට ආපු සිතිර එතන තිබ්බ යකඩ බඩු ගොඩක් පිටිපස්සට වෙලා හැංගුණා. අතින් කටත් වහගෙන හයියෙන් හති වැටෙන එක පවා නතර කරගෙන හුස්ම ගන්නත් අමතක කරලා ඔහු ඇස් දෙක කරකවමින් පිටිපස්ස බැලුවෙ තමන්ගෙ පස්සෙන් ආපු ඒ කලුපාට රූපෙ එනවද බලන්න. ඒත් තත්පර ගාණකට පස්සෙ ශාලාව ඇතුලෙ තිබ්බෙ පුදුම නිශ්ෂබ්දතාවයක්.

“සිතිර…. උඹ කොහෙද ඉන්නේ….. මෙන්න මං එනවා උඹව හොයාගෙන…. ඩිං ඩිං ඩිං පපුව ගැහෙනවද…. මට උඹව ඇහෙනවා….”

ශාලාවෙ එහා කොණෙන් ඇහුන මහ ගොරෝසු කටහඬට සිතිරව සීතල වෙලා ගියා. හුස්ම ගන්න එක නවත්තපු සිතිර ගල් පිලිමයක් වගේ එහෙම්ම හිටියා. ටිකෙන් ටික තමන් දිහාට එන යමක් පොලොව දිගේ ඇතිල්ලීගෙන එන හඬ ඇහෙද්දි හදවත පවා වේගෙන් ‘ඩග් ඩග්’ ගාද්දි සිතිර පපුවත් අල්ලගත්තෙ හදවත ගැහෙන ශබ්දය පවා පිටට ඇහෙයි කියන බයට. ඒත් එකපාරටම කොහේවත් තිබ්බෙ නැති කිතියක් නහය ඇතුලෙන් දැනෙන්න ගන්නවත් එක්කම සැර යමක් නහය ලඟ තිබ්බා වගේ දැවිල්ලක් සිතිරට ඇති උනා.

“හ…ච්…චි…න්…..!!!”

දරාගන්න බැරි කිවිසුමක් සිතිරට පිට වෙනවත් එක්කම…..

“හොයාගත්තා….!!!”

තමන්ගෙ ඇස් දෙක ඉස්සරහා ගොරහැඬි කටහඬක් එක්ක මතුවෙච්ච ඒ බිහිසුණු මූණ දැකපු සිතිරට ඇඳන් හිටපු කලිසමේම මුත්‍රා පිට උනා.

“නෑ…. නෑ…. උඹ හීනයක්… උඹ ඇත්තක් නෙමෙයි මේක හීනයක් විතරයි… අනේ මාව ඇහැරෙන්නකෝ…. මාව ඇහැරවපල්ලා…..”

මරු විකල්ලෙන් දඟලමින් කෑගහපු සිතිර ඔලුවත් අත් දෙකෙන් අල්ලගෙන එහෙන්ම බිම වාඩි උනා. භයංකාර විදිහට ඇහෙන ඒ හිනා හඬ ඔහුගෙ ඔලුව පුරාම දෝංකාර දුන්නා.

“සිතිර… සිතිර මොකද මේ… අයියෝ මේ බලන්නකො මං දිහා…”

ඈතින් වගේ සිතිරට ඇහුණෙ මල්මිගෙ කටහඬ. හෙමින් ඇස් ඇරපු සිතිර ඔලුව උස්සලා මල්මි දිහා බැලුවා.

“මැරෙන්න ලෑස්ති වෙයන්…!!!”

කලු වෙන්නම කර වෙලා තිබ්බ මළ මිනියෙ ලේ පාටින් රතු වෙච්ච ඇස් වල තනිකරම තිබ්බෙ වෛරයක්. මූණෙ තැනින් තැන පිච්චුණු තැන් ගැලවිලා රතුපාට මස් වැදලි එලියට ඇවිත් තිබුණා. කහගැහුනු දත් විලිස්සලා සිතිර දිහා බලපු මළමිනිය තමන්ගෙ අතේ තිබ්බ පිහියෙන් කෙලින්ම ඇන්නෙ සිතිරගෙ උගුරු දණ්ඩ හරි මැදටම.

“එපා…..ග්..හ්….”

අසළ වූ පුටුවක් මත තබා තිබූ බුලත් හෙප්පුවේ තිබුණු ගිරය අතට ගත් සිතිර තමන්ගේ උගුරු දණ්ඩට ඇනගෙන ඇනගෙන යන හැටි දැකපු සමීර ඇතුලු ඔහුගේ යාලුවන් දෙන්නා මළ ගෙදර දෙවනත් වෙන්න කෑගැහුවා.

*************************************************************************

තවත් මරණයක් සමඟ හමුවෙමු ?

?SanjaaN?

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.