Katha Ahura

මාරයා | 04 කොටස || හොල්මන් කතා ||

1.5/5 - (2 votes)

? මාරයා ?

#04 කොටස

“එතකොට තමුසෙලා කියන්නෙ මේ දේට කිසිම සම්බන්ධයක් නෑ කියල නේ…? හැබැයි පුතෝ මතක තියාගනින් උඹලා මේ සෙල්ලම් කරන්න හදන්නෙ පොලිසියත් එක්ක… දන්නවනෙ මේ ප්‍රනාන්දුගෙ හැටි… හමගහනවා තේරුණානෙ…?”

අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානියා වෙච්ච සාගර ප්‍රනාන්දු සමීර ඇතුලු මිතුරන් දෙදෙනාගේ දෑස් දෙස බලමින් තර්ජනය කලා. පොලිස් කූඩුව ඇතුලෙ වෙවුලමින් හිටපු යාලුවො තුන් දෙනාගෙ කලිසමේ චූ ගියේ නැති ටික විතරයි. මොකද සාගර ප්‍රනාන්දු කියන්නෙ බොහොම දරුණු පොලිස් නිළධාරියෙක් කියලා ඔවුන් දැනන් හිටියා.

“න්…නෑ…. නෑ…. නෑ….. ස්…ස…ර්….” සමීර වෙවුලමින් උත්තර දුන්නා.

“හ්ම්ම්ම්…. මං උඹලා ගැන ඇහැ ගහන් ඉන්නෙ අද ඉඳන් තේරුණානෙ… අනික උඹගෙ අම්මා කියන්නෙ මගෙ පොඩි කාලෙ ඉඳන් යාලුවා… ඒ අහිංසක මනුස්සයගෙ මරණෙටවත් ගරු කරලා උඹ මින්පස්සෙ හැදෙන්න ඕනෙ… තේරුණාද…?” සාගර ප්‍රනාදු කිව්වෙ සමීරට ඇඟිල්ල දික් කරලා.

“ඔ..ඔ..ව්… ස…ර්….”

“ඔව් සර්..? ඔව් නෙමෙයි තෝ මට පාරක තොටකවත් හම්බ උනොත් අම්මපා තෝව මං ගෙනල්ලා එල්ලලා ගහන්නෙ… හ්ම් දැන් පලයව් යන්න මේ කූඩුවෙන් එලියට… අර පොතේ අත්සන් කරලා කෙලින්ම ගෙවල් වලට පලයව්… ආයෙ මඟතොට නතර වෙලා එහෙම අහු වෙන්නෙපා තේරුණානෙ…”

“න්..නෑ….ස…ර්….හරි…ස…ර්….”

එහෙම කිව්ව යාලුවො තුන්දෙනා පොලිස් කූඩුවෙන් එලියට ආවෙ දුවගෙන වගේ. තුන් දෙනා යන දිහා බලලා යාන්තමට හිනාවුනු සාගර ප්‍රනාන්දුත් කූඩුවෙන් එලියට ආවා.

“ඇයි සර් හිනාවෙන්නෙ…?” එතන හිටපු කොස්තාපල් කෙනෙක් සාගරගෙන් ඇහුවා.

“නෑ අයිසේ ඔය සුදු කොල්ලව මං පොඩි කාලෙ අතගාලා හැදුවත් එක්ක… ඌත් නිකන් උගෙ අම්මා වගේමයි හරිම අහිංසකයි ඔය පොඩි පොඩි ඇට්ටරකම් කලාට… ඕකුන් තුන් දෙනා කීයටවත් ඔය වගේ මිනීමැරුමක් කරන්නෙ නෑ… අනික අරූ නම් කරන්න තියා හිතන්නෙවත් නෑ…” එහෙම කියලා හිනාවුනු සාගර අනිත් පැත්තට හැරුණා. “නිලන්ත, අසේල… උඹලා දෙන්නා මොකටත් ඔය තුන් දෙනා පස්සෙ ටිකක් පරික්ශාවෙන් ඉඳපන්… අරූව නැතත් මට අනිත් උන් දෙන්නව ශුවර් නෑ…”

“ඕකේ සර්…”

“නොදකින් යකෝ අපිට පෙරලුන බාල්දිය… අම්මපා මං නම් ආයෙ අරූට කලා වගේ විහිලු කාටවත් කරන්න නම් යන්නෑ…” යාලුවො තුන් දෙනාගෙන් කෙනෙක් වුනු තිසර කිව්වා.

“මාත් ඈ… අයෙනම් මළ ගෙයක් පලාතෙ යන්නෑ බං කාලෙකට… අම්මෝ ප්‍රනාන්දු කාරයා අපිව නිකන් අතෑරියා වෙන්නත් බෑ ෂුවර් එකටම අපිව අද ඉඳන් ෆලෝ කරයි…” අනිකා, දිනුකත් කිව්වෙ හති දදා.

“ඒ මාවත් ෆලෝ කරන්න කියාංකො බං මගෙත් ෆලෝවර්ස්ලා අඩුයි ඕයි….”

“මේ හිකනලයො මේක විහිලු කරන වෙලාවක් නෙමෙයි… තොපිට තේරෙන්නැද්ද මූ කිව්වා වගේ සාගර මාමා අපිව නිකන් අතෑරියා වෙන්න බෑ… මොකද මිනිමැරුම වෙද්දි අපි විතරයි එතන හිටියෙ… වෙච්ච දේ මොකක් උනත් මොන හේතුවක් උඩ උනත් අපියි ඒක ඇස් දෙකෙන් දැක්කෙ… අද ඉඳන් සිරාවටම අපි ගැන හොඳට ඇහැ ගහන් ඉඳියි… ඒ නිසා මේ ටිකේ සාන්තුවරු වගේ හිටපල්ලා…” සමීර අනිත් දෙන්නට අනතුරු ඇඟෙව්වෙ ඔහු පොලිස් පරික්ශක සාගර ප්‍රනාන්දු ගැන හොඳින්ම දන්නා නිසාය. ඔහු මුදලට තියා කුණු දේශපාලුවෙකුටවත් නැමෙන්නේ නැති අයෙක් බව ප්‍රසිද්ධ රහසකි.

“මූ බලකො ඒ ටිකට මාමා වෙලා අරූ…”

“මාමා තමා බං අපේ අම්මගෙ යාලුවෙක් ඒ… මාව පොඩිකාලෙ එයාලගෙ ගෙදර තියාගෙන හැදුවෙ අවුරුදු දෙකක්ම අම්මා අසනීප කාලෙ… මං අපි තුන්දෙනාගෙම හොඳටයි කියන්නෙ…”

“උඹ කියන එක ඇත්ත සමීරයා… අනික බං ඒ වෙච්ච දේත් හරිම අමුතුයි… බලපං අරූ කෑගැහුවෙ මේක හීනයක් විතරයි උඹ ඇත්තක් නෙමෙයි කියලනෙ… හරියට නිකන් හීනෙන් ඇවිත් ඌව කවුරුහරි මරන්න හදනවා වගේනෙ… ඌ ඇස් දෙකත් වහගෙනමයි හිටියෙත්… අම්මෝ බං බයත් හිතෙනවා මතක් වෙද්දි… ගිරේකින් ඇනගෙන මැරුනෙ යකෝ…”

‘හීනෙන් ඇවිත් ඌව කවුරුහරි මරන්න හදනවා වගේනෙ…’ යන වචන ටික ඇහෙද්දි සමීර හිත ඇතුලෙන් වෙවුලලා ගියා. දවස් දෙකක ඉඳලා ඔහුට පෙනෙන භයානක හීනයේත් සිදුවන්නේ කිසියම් කෙනෙකු තමන්ව මරන්න සැරසෙන සිදුවීමකි. ඒත් අන්තිම මොහොතෙ මොකක් හරි දෙයක් වෙලා තමන්ව ඇහැරෙන බව ඔහුට මතක් උනා.

“සමීරයා මොකද බං උඹ සයිලන්ට් උනේ එකපාරම…?”

“නෑ බං මං මේ කල්පනා කලේ අපි පල්ලිය පැත්තෙ ගිහින් පොඩ්ඩක් පාපොච්චාරණය කරලා ෆාදර්ට කියලා බෙන්සාරු කරගත්තනම් හොඳයි කියලා… මළ ගෙදරක වෙච්ච සීන් එකක්නෙ බං… මගෙ හිතට ටිකක් අවුල් මොනා උනත්… ආරක්ශාවක් කරගන්න එක හොඳයිනෙ…”

“ඒ ගමන තෝ හිතන්නෙ මේක භූතයෙක්ගෙ වැඩක් කියලද…? හූ…. අඩෝ කවියගෙ හොල්මන වෙන්නැති සිත්තව මරන්න ඇත්තෙ… හහා හා හා….” එහෙම කියලා හයියෙන් හිනාවුනු තිසර ඔහුගේ නිවසේ ගේට්ටුව ලඟින් නැවතුනා. “අඩෝ එහෙනම් මං කැපුණා ඈ… හෙට උදේ නමය වෙද්දි මං උඹලගෙ ගේ ලඟ ගොබිලො… පල්ලියට යන්න ලෑස්ති වෙයන්…”

“කතාවෙන් කතාව ගේ ලඟටම ඇවිත් නේ බං… හරි බං එල හෙට හම්බවෙමු හිපාටුවෝ…” තිසරත් කෑගැහුවා.

“එහෙනම් මචෝ මාත් ගියා… උඹත් පලයන්… හෙට උදේට සෙට් වෙමුකො ඈ…”

තිසරත් ඔහුගේ නිවස ලඟින් නැවතිලා කිව්වා. සමීර ඔහුට සමුදුන්නත් ඔහුට දැනුනෙ දැඩි පාලු ගතියක්. දහවල් දොලහ පසුවී තිබුණත් මාර්ගයේේ එවෙලෙහි තිබුණු දැඩි පාලු ස්වාභාවයත් සමීරගේ හිතට ඇති කලේ ගුප්ත බවක්. දවස් දෙකකින් නින්දක් නොලැබුනු නිසාත් ඔහු හිටියෙ තෙහෙට්ටුවෙන් වගේම නිදිමතකින්. තම නිවස අසලට පැමිනි ඔහුත් විසල් ගේට්ටුව ඇරගෙන ඇතුලට ආවා. ඒත් ඔහු ඇතුල් වුනේ……

“මොකක්…???”
*******************************************************************

තමන් මේ සිටින්නේ හීනෙන් දකින විශාල කර්මාන්තශාලාව ඇති ඉඩමේ බව සමීරට තේරුණා. වටේටම තිබ්බෙ මහ පාලු මූසල පාටක්. ඒ උනත් හීනෙන් දකිද්දි තිබ්බට වඩා මෙතන ටිකක් අලුත් වගේ කියලා ඔහුට තේරුණා. හරියට නිකන් මාසෙකට දෙකකට කලින් අතෑරලා දාපු තැනක් වගේ. වැඩිය ජරාවාස වෙලා තිබ්බෙත් නෑ.

“එතකොට මං මේ ඉන්නෙ හීනෙ ඇතුලෙද…? ඕහ් ෂිට්…!”

තමන් ඉන්නෙ වෙනදා දකින අර භයානක හීනෙ ඇතුලෙ කියලා දැනගත්තු සමීරට ඇති වුනේ ලොකු බයක්. ඔහු ඉක්මණ් ගමනින් ආයෙම ගේට්ටුව ලඟට ඇවිත් ඒක අරින්න හැදුවත් ඒක තිබ්බෙ ලොකු ඉබ්බො දාලා ලොක් කරලා. වටේට තිබ්බෙ උස තාප්පෙනුත් පනින්න තැනක් තිබ්බෙ නෑ. අනික ඒ තාප්පෙ උඩ යකඩ උල් සවි කරලා තිබ්බෙත්. අසරණ වෙච්ච සමීර වෙන දෙයක් වෙද්දෙන් කියලා ෆැක්ටරිය පැත්තට හෙමින් ඇවිදගෙන යන්න ගත්තා. ඒත් එකපාරටම සමීරට ඇහුනෙ වාහන කීපයක් එන සද්දෙ. ලඟම තිබ්බ පොඩි බිල්ඩිමකට මුවාවෙච්ච සමීර බලන් හිටියෙ මොකද වෙන්නෙ කියලා.

“ද…ඩා….න්”

කර්මාන්ත ශාලාවෙ ලොකු ගේට්ටුවත් දෙබෑ කරගෙන ඉස්සරහට ආවෙ ඩිෆෙන්ඩර් එකක්. ඒ පිටිපස්සෙන්ම වගේ ඔහුගෙ තාත්තට අයිති ජීප් එක වගේම ජීප් එකකුත්, කාර් තුන හතරකුත් වෑන් එකකුත් කර්මාන්ත ශාලාව ඇතුලට ආවෙ විදුලි වේගෙන්. සමීරවත් පහු කරන් ඉස්සරහට ගිය වාහන පෝලිම මහ සද්දෙට බ්‍රේක් කලා. දොරවල් ඇරෙන හඬ ඇහුණු සමීර බිල්ඩින් වලට මුවා වෙවී ඒ පැත්තට ගියේ වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න.

“අම්මා…?”

නවත්තලා තිබ්බ ජීප් එකෙන් ලොකු පොල්ලකුත් අරන් එලියට බැස්සෙ වෙන කවුරුවත් නෙමෙයි සමීරගෙ මැරුණු අම්මා. සමීරට ටිකක් කම්පනයක් වගේ දැනෙන්න ගත්තා අම්මව දැක්කට පස්සෙ. ඒ වගේම ඊට එහාපැත්තෙන් බැස්සෙ තාත්තා. අනිත් වාහන වලින් බැහැපු අය අතරින් කවීන්ගෙ තාත්තවත්, සිතිරගෙ තාත්තවත්, තිසරගෙ අම්මා, තාත්තා සහ සඳරූගේ තාත්තාවත් අඳුනගන්න සමීරට පුලුවන් උනා.

“ඒයි එලියට බැහැපන් පීටර්…!! මේක අද ඉවරයක් වෙන්න ඕනෙ…” ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු හොඳ උස මහත මිනිහෙක් කෑගැහුවෙ ෆැක්ටරිය පැත්ත බලාගෙන.

“පීටර් මේක උඹට කරන ලාස්ට් වෝනින් එක… උඹ එලියට බහිනවද අපි ඇතුලට එන්නද…? වරෙන් යකෝ මේක හොඳින් විසඳගන්න ඕනෙ නම්…” සමීරගෙ තාත්තා රයිෆල් තුවක්කුවකුත් අතින් අරන් ඉස්සරහට යද්දි සමීරට දැනුනෙ ලොකු බයක්.

“අම්මේ…. තාත්තේ… මොකද මේ ඔයාලා….???” කියාගෙන කෑගහගෙන සමීර අම්මා තාත්තා ලඟට ගියත් ඒ කාටවත් ඔහුව ඇතුනු බවක් නම් පේන්න තිබ්බෙ නෑ. සමීර අම්මගෙ අතින් අල්ලන්න හැදුවත් ඒ අත හරහා ඔහුගෙ අත ගියා විතරයි. එතනින් ඔහුට තේරුම් ගියේ තමන් ඉන්න හීනෙ ඇතුලෙ නිසා මේවා නිකන් මායාවල් විතරයි කියලා. කාටවත්ම ඔහුව පෙනුනෙත් නැති නිසා සමීර බලන් හිටියෙ ඊලඟට මොකද වෙන්නෙ කියලා. ඒත් වෙන්න යන දේ නම් හොඳ දෙයක් නෙමෙයි කියලා ඔහුට තේරුණා.

“පීටර්…!!! උඹ එන්නෑනෙ එහෙනම්…? අපි දන්නවා උඹ ඉන්නෙ ඇතුලෙ කියලා එහෙනම් අපි එනවා උඹව හොයාගෙන…” එහෙම කිව්වෙ අර ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු මනුස්සයා. මිනිහගෙ අතේ තිබ්බෙ පිස්ටල් එකක්. සමීරට ඔහුගෙ හුරුවක් තිබ්බත් කවුද කියන්න මතකයක් තිබ්බෙ නෑ.

“මේ මොකද වෙන්නෙ…. එපා……”

ඒත් එක්කම සමීරව උන්නු තැනින් හුලඟට ගහගෙන වගේ යන්න ගත්තා. ඔහු කොච්චර හයියෙන් කෑගැහුවත් හඬක්වත් පිට උනේ නැති තරම්. අන්තිමට කැරකිලා කැරකිලා ගිහින් එකපාරටම ටිකක් තද පොලොවකට ඔහුව වැටුණා. ටිකක් තදින් වැටුණු නිසා පිට පැත්තම වේදනා දෙද්දි සමීර අමාරුවෙන් නැගිටලා වටපිට බැලුවෙ තමන් ඉන්නෙ කොහෙද කියලා බලාගන්න.

“අප්පච්චිගෙ චූටි දෝණි මෙතන ගොඩාක් පරිස්සමට ඉන්න ඕනෙ… අප්පච්චි එලියට ගිහිල්ලා අර ඇවිත් ඉන්න මාමලා නැන්දලා එක්ක කතා කරලා එන්නම්… එතකල් ගොඩාක් පරිස්සමට මෙතෙන්ට වෙලා ඉන්න මගෙ හොඳ චූටි දෝණි… උම්ම්මා… මං ආදරෙයි මහ ගොඩාරියක් ඔයාට… මෙතනම ඉන්න මගෙ මැණික….”

අඳුරු කාමරේ සමීරට ටිකක් එහායින් වගේ ඇහුනෙ කවුරුහරි පිරිමියෙක් කතා කරන හඬ. ඒ හඬේ යාන්තම් වගේ හුරුවක් සමීරට දැනුනා. ඒ නිසාම ඔහු හඬ ආපු දිහාවට හෙමින් හෙමින් ඇවිද්දා. කාමරේ කොණක ගිනි මැලයක් දල්වලා තිබ්බෙ කාමරේට එලිය වගේම උණුසුම දෙන්නත් එක්ක.

“අප්පත්තී…. දෝණිට බයා….” පුංචි එකීගෙ හඬ හුරතල් විදිහට ඇහුණා.

“බයවෙන්නෙපා මැණික මං ඉන්නවනෙ මගෙ චූටි දෝණි ගාවින්ම… මේ බලන්න චූටි දෝණිගෙ අම්මිත් ඉන්නවා දෝණි දිහා බලාගෙන මෙතෙන්ට වෙලා… මං ඉක්මණින් එන්නම්….”

සමීර දැක්කා ඔහුට වඩා අවුරුදු කීපයක් වැඩිමල් තරුණයෙක් වාඩිවෙලා තමන්ගෙ දුව ගාව ඉඳන් එයාව සනසන හැටි. හුරු ගතියක් නැතත් ඒ කටහඬ තමන්ට හුරුයි කියලා සමීරට දැනුනා.

“අයියේ…. මෙතන මොකද වෙන්නෙ ඇත්තටම……” සමීරට අහන්න හම්බුනේ එච්චරයි වහලා තිබ්බ යකඩ දොරට හයියෙන් ගහන සද්දයක් ඇහෙන්න ගත්තා.

“පීටර්…!! ඇරපන් මේ දොර… අපි දන්නවා උඹ ඇතුලෙ ඉන්නවා කියලා… මේක කඩාගෙන එන්න කලින් ඇරපිය මේක….” එහා පැත්තෙන් ඇහුනෙ කවීන්ගෙ තාත්තගෙ කටහඬ කියලා සමීරට තේරුණා.

“මගෙ කිසිම සම්බන්ධයක් නෑ ඔය දේට… කරුණාකරලා මට පාඩුවෙ ඉන්න දෙන්න… මෙතන මගෙ අහිංසක දරුවත් ඉන්නවා බයවෙලා… මං එලියට එන්නම් ඔයාලා ඔතනින් යන්න….” බිම වාඩිවෙලා හිටපු තරුණයා නැගිටලා ටිකක් බයෙන් වගේ කිව්වා.

“ඇයි උඹ පැනලා යන්නද මේ පාරත්…? ඇරපිය පරයා දොර… නැත්තන් අපි මේක කඩාගෙන එන්නෙ…”

“මං කිව්වනෙ මගෙ සම්බන්ධයක් නෑ ඔය කියන දේට… මං ඒ දේවල් අතෑරලා හුඟක් කල්… කමල් මහත්තයා දන්නවා ඔක්කොම… එයාගෙන් අහගන්න ප්ලීස්…”

“තෝ මෙතන වැරදි කරලා මේ පාඩුවෙ ඉන්න මාවත් අහු කරනවද බොල… පර බල්ලා…!! ඇරපිය මේක…” එහා පැත්තෙන් ඇහුනෙ අර ඩිෆෙන්ඩර් එකේ ආපු මනුස්සයගෙ හඬ.

“හරි ඔහොම ඉන්න මං අරින්නම්… අනේ ප්ලීස් මෙතන මගේ පොඩි එකී ඉන්නවා ඒ නිසා අපි එලියට ගිහින් කතා කරමු…” එහෙම කියලා පීටර් ගිහින් යකඩ දොරේ ලොක් එක ඇරියා විතරයි ඒකෙන් ඇතුලට එකටම ආපු කෙනා ආවෙම පීටර්ගෙ බෙල්ලෙන් අල්ලගෙන.

“පර බල්ලා… තෝ මෙච්චර වැරදි කරලත් මේ මාව අල්ලනවද ඒවට ආහ්…? ගිය පාරත් තොට මමයි සමාව දීලා බේරලා ඇරියෙ… පර බල්ලා…!!!” එහෙම කියපු කමල්, පීටර්ගෙ බඩට වේගවත් පහරක් දුන්නා. පාරෙ සැරකමටම පීටර්ව විසිවෙලා ගිහින් වැටුණෙ බිම එලලා තිබ්බ පැදුරෙ හිටපු ඔහුගෙ දුව ලඟට.

“අප්පත්තී….!!!” වෙච්ච දෙයින් ගොඩක් බයවුණ පොඩි දරුවා හයියෙන් අඬන්න ගත්තා.

“අනේ…. මගෙ දරුවා….” කියපු පීටර් ළමයව බදාගත්තා. “අපිට අපේ පාඩුවෙ ඉන්න දීලා පලයව්… මං කිව්වනෙ මං මේ පාර කිසිම වැරැද්දක් කලේ නෑ… කමල් මහත්තයා කියන්නෙ බොරු… එයයි ඒ දේවල් වලට සම්බන්ධ මම නෙමෙයි… ප්ලීස් මාව අතාරින්න…”

“බොරු කියන්නෙපා යකෝ අපි ඔක්කොම දන්නවා තෝ කරපු දේවල්… මෙහාට වරෙන් පරයා… සුජිත් උඹ ගනින් අර ළමයව මෙහාට…” සමීරගෙ තාත්තා එතන හිටපු කෙනෙක්ට කෑගැහුවා.

“එපා… එපා….”

හයියෙන් කෑගහපු පීටර් ඔහුගෙ දරුවාත් බදාගෙන වේගෙන් නැඟිට්ටා. ඔහුව අල්ලාගන්නට සමීරගේ පියා හා කමල් නැමැත්තා පැන්නද ක්ෂණික පා පහරවල් දෙකක් ඔවුන් දෙදෙනා විසිවී යන්නම දුන් පීටර් රැස්ව සිටි අනිත් අයටද වේගවත් පා පහ‍රවල් දුන්නේ දක්ශ සටන්කරුවෙක් වගේ. සමීර මේ සියල්ල දෙස බලා සිටියේ කටත් ඇරගෙනය. එතනින් එහාට ඔහුට කරන්නට දෙයක් නොමැත. මෙය සිහිනයක් පමණි.

“ඕකව අල්ලපන්…!!!” කමල් බෙරිහන් දුන්නා.

ඒත් පීටර් වේගයෙන් දොරෙන් එලියට පැනලා දුවන්න ගත්තෙ තමන්ගෙ හඬන දරුවවත් වඩාගෙන. අනිත් හැමෝම එලියට දුවද්දි සමීරත් ඔවුන් පස්සෙන් දිව්වා. ඒත් පීටර්ට වැඩි දුරක් දුවන්න හම්බවුනේ නම් නෑ. කමල්ගේ පිස්තෝලයෙන් නිකුත් වුනු උණ්ඩ කීප‍යක් පීටර්ගේ පිට හරහා වැදුණේ පීටර්ව මීටර් කීපයක් ඈතට විසි කරමින්. නමුත් ඔහු දරුවාව අත් හැරෙන්නට දුන්නේ නෑ.

“ඕකව ඇදගෙන වරෙන්… ඔය දරුවව ගනිල්ලා කවුරුහරි… කාලකන්නි හැත්ත… අද ඉවරයක් කරමු ඕකව මේ සමාජෙට ආයෙ අපරාධ නොවෙන්නම…” කමල් නමැත්තා කෑගැසුවේ අණ කරමිනි.

“චූටි දෝණී… මගෙ දෝණී… අනේ දෙයියනේ මොකක්ද තොපි මේ කරපු අපරාදෙ…? අනේ මගෙ දරුවා අනේ…. මගෙ අහිංසක කෙල්ලට උඹලා මේ මොකද කලේ…??? චූටි මැනික…. අයියෝ….!!!” පීටර් දරුවා දෙස බලමින් හඬමින් කෑගසන්නට වුනා.

“දෙයියනේ….” ඒ දිහා බලපු සමීරට හීල්ලුනා විතරක් නෙමෙයි ඇස් වලට කඳුලුත් ආවා.

පීටර්ගේ ඇඟ පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩ පුංචි දරුවාගේ සියුමැලි ඇඟද තුවාල කර තිබුණේ ලේ විලක් මැද දරුවාව අවසන් ගමන් යවමින්. පීටර් වේදනාවෙන් කෑගසමින් පිරිසට සාප කරමින් හඬන්නට වුනා.

“කමල් මොනවද මනුස්සයො මේ කලේ…? බලනවා තමුසෙ අර අහිංසක දරු පැටියවත් මරලා දැම්මා… දැන් මොනවද දැන් මේකට අපි කරන්නෙ…?” සිතිරගේ පියා ඔලුවේ අත ගසාගෙන කිව්වා.

“කටවහපන් යකෝ…!” කමල් කෑගැහුවා. “මං වෙඩි තිබ්බෙ මේ කාලකන්නියට… දැන් ඉතින් කරන්න දෙයක් නෑ ගෙනෙන් අර පෙට්‍රල් කෑන් එක ගිහින්…”

“කමල් අපි මේක මේ විදිහට කරන්න නෙමෙයි ආවෙ… අතන මේ කිසිම දෙයක් නොදන්න අහිංසක දරුවෙක් නැතිවෙලා තියෙනවා… දැන් මේක ඉවරයි අපි යමු මෙතනින්…” සමීරගෙ අම්මා එතෙන්ට ඇවිත් ටිකක් තදින් වගේම කලබලෙන් කිව්වා.

“සුනීතා තමුන් පැත්තකට වෙනවා… මේ මිනිමරුවා තවත් මේ සමාජෙ තියාගන්න බෑ… මූ කරපු වැඩ ගැන දැන දැනත් පොලිසියෙනුත් උදව්වක් නැත්තම් අපියි මූව ඉවරයක් කරන්න ඕනෙ… මේ දේ අද හරි වෙන දවසක හරි අපේ අතින්ම වෙන්න තිබ්බා… අද ඒක උනා දැන් ඉතින් මූවත් වලපල්ලට යැව්වම හරි…”

“හඃ හඃ හා… මාව වලපල්ලට යවන්න තොපි…? හැමදේම අතෑරලා පාඩුවෙ හිටපු මාව බොරු වරදකට පටලවලා මගෙ අහිංසක දරු පැටියවත් මරලා දාපු පවුකාර කාලකන්නි… හිටපියව් තොපිට…” එකපාරටම වැනි වැනී නැගිටපු පීටර් ඉනේ හංගන් හිටපු පිස්ටල් එකක් අරන් වෙඩි තියාගෙන තියාගෙන ගියේ වියරුවෙන් හිනාවෙවී.

“එපා….!!!”

සමීරගෙ තාත්තගෙ ඉස්සරහට කෑගහගෙන පැන්නෙ අම්මා. අම්මගෙ පපුව පසාරු කරගෙන උණ්ඩ බහිද්දි එයා ලේ පෙරාගෙන වැටුණෙ සමීරගෙ තාත්තගෙ අත් දෙක උඩට. පීටර් හිනාවෙවී ඉස්සරහට ඇවිදගෙන ආවා.

“තොපි කාලකන්නි මැරිලා පලය…..”

එච්චරයි පීටර්ට කියන්න හම්බුනේ. තිසරගෙ තාත්තා වේගෙන් දුවගෙන ඇවිත් ගහපු පොරෝ පාර කෙලින්ම වැදුනෙ පීටර්ගෙ ඔලුව මැදට. කෙහෙල් ගහක් කඩන් වැටෙනවා වගේ එතනම වැටුණු පීටර්ගෙ කටින් අන්තිම වචන ටික පිට උනා.

“පලිගන්නවා……”

සමීර අම්මා ලඟට වෙලා කෑගගහා ඇඬුවා. ඒ උනාට ඔහුගෙ හඬ කාටවත්ම ඇහුනෙ නෑ. ඇක්සිඩන්ට් එකකින් නැති උනා කියපු ඔහුගෙ අම්මට උනු දේ අදයි ඔහු දැනගත්තෙ. සමීරගෙ තාත්තා මේකෙන් වියරු වැටුනා. තමන්ගෙ අතේ තිබ්බ තුවක්කුවෙන් පීටර්ටයි ඔහුගෙ දරුවටයි වෙඩි පිට වෙඩි තියාගෙන ගියේ කෑගගහා.

“ඕක නවත්තපං බං ඕකුන් මැරිලා ඉවරයි… ඉතුරු ටිකත් කරලා වරෙල්ලා අපි යමු…” එහෙම කිව්වෙ කමල්.

සමීර අඬ අඬා මේ හැමදේම බලන් හිටියා. මළමිනී දෙකම පීටර් ජීවත් වෙච්ච කමරේට ඇදගෙන ගිය කට්ටිය පීටර්ව එතන තිබ්බ බිත්තියට තියලා ඇණ ගැනුවෙ කුරුසෙක විදිහට. මැරුණු දරුවව රෙද්දකින් ඔතලා වලක් හාරලා වැලලුවා. ඊටපස්සෙ පීටර්ගෙ මිනියට පෙට්‍රල් දාලා ගිනි තියපු කට්ටියම ඒ දිහා බලන් හිටියෙ ලොකු සැනසීමකින් වගේ.

“කරදරේ ඉවරයි… කාලකන්නි මිනීමරුවෙක් අපායට ගියා…” කමක් හැමෝටම ඇහෙන්න කිව්වා.

“අහිංසක ජීවිතයක් එක්කම…” එහෙම කිව්වෙ කවීන්ගෙ තාත්තා.

හැමෝම එතනින් ගියාට සමීරට එතනින් යන්න හිත දුන්නෙ නෑ. සමීර හිටියෙ මේ හැමදේම දැකලා උමතු වෙලා වගේ. දුකත්, භීතියත්, වෛරයත් නිසා සමීරගෙ මනස හුඟාක් කැලඹුනා. ඔහු එක දිගටම පීටර්ගෙ පිච්චෙන මළමිනිය දිහා බලන් හිටියා. ඒත් එකපාරටම පීටර්ගෙ මළ මිනියෙ පොඩි හෙලවීමක් දැකපු සමීර බයෙන් වගේ ඒ දිහා බලන් හිටියා.

“ස…මී…ර…..”

පිච්චිලා කළු වෙච්ච මූණෙ තිබ්බ ඇස් ඇරුනා.

*****************************************************************

එහෙනම් සුබ ඈ
?SanjaaN?

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.