Katha Ahura

මාරයා | 05 කොටස || හොල්මන් කතා ||

කතාව කොහොමද?

? මාරයා ?

#05 කොටස

සමීර භීති‍යෙන් වගේ පීටර්ගෙ පිච්චෙන මළ මිනිය දිහා බැලුවා. ඔලුව උස්සපු මළ මිනියෙ වෛරයෙන් දිලිසෙන රතු පාට ඇස් කෙලින්ම සමීර දිහාවට යොමු වෙලා තිබ්බා. ගින්න ටිකෙන් ටික නිවිලා යද්දි මළ මිනියට පණ ඇවිත් වගේ ඇඹරෙන්න ගත්තෙ සමීර බයෙන් වෙවුලද්දි. හදිස්සියෙම යමක් මතක් උනා වගේ පියවි සිහියට ආපු සමීර හිටපු තැනින් පැනලා දිව්වෙ දොර දිහාවට. ඒත් යකඩ දොර ‘දඩිං’ ගාලා වැහිලා ගියේ සමීරව අසරණ කරමින්. කරකියාගන්න දෙයක් නැතුව සමීර කාමරේ පුරාම දිව්වෙ පිටවෙන්න තැනක් හොයාගන්න. ඒත් සමීර කාමරේ ඇතුලෙ කොටු වුනා.

“අනේ ප්ලීස් මාව අතාරින්න… මං මේ කිසිම දේකට සම්බන්ධ නෑ… මගෙ අම්මයි තාත්තයි කරපු වැරදි වලට මාව මරන්නෙපා… ප්ලීස්….” බිම දණගහපු සමීර අත් දෙක එකතු කරලා පීටර්ගෙ මළ මිනියට වැන්දෙ අඬ අඬා.

“අතාරින්න…?? උඹේ කාලකන්නි දෙමව්පියො මගෙ අහිංසකීව මරලා දැම්මෙ එයා මොනවා කලාටද…? උඹලා හැමෝම මං එකින් එකාව මරලා තමයි මගෙ කෙල්ලටයි මටයි සැනසීමක් ලබාගන්නෙ…” මහා ගොරහැඬි, රළු හඬකින් එහෙම කියපු පීටර් බිත්තියට තියලා ගහලා තිබ්බ ඇණ වලින් ගැලවිලා කෙලින්ම වැටුණෙ දණ ගහන් හිටපු සමීරගෙ මූණ කෙලින්මයි.

“මේක හීනයක් විතරයි… ප්ලීස් මාව ඇහැරියන්… මේ යක්ශයගෙන් මාව බේරගන්න දෙයියනේ…!!!” සමීර ඇස් දෙක පියාගෙන කෑගැහුවා.

“හෙ..හෙ..හෙ… දෙවියො මෙහෙ නෑ කොල්ලෝ…. මේක මගේ හීනෙ… උඹ ඉන්නෙ මගේ ලෝකෙ… මෙහෙ ඉන්න දෙවියත් මම යමපල්ලත් මම… හඃ හඃ හා…”

මුළු කාමරේම පීටර්ගෙ භයංකර හිනා හඬ දෝංකාර දුන්නා.

“ඇස් ඇරලා බලපන් උඹේ කාලකන්නි අම්මයි තාත්තයි උන්ගෙ යාලුවො ටිකයි මට කරලා තියෙන දේ… බලපා….න්…!!!” පීටර් තරහින් කෑගැහුවෙ සමීරගෙ ඔලුව දෙපැත්තෙන් තදින්ම අල්ලගෙන.

“බෑ…. බෑ….. මේක හීනයක් විතරයි… උඹ ඇත්තක් නෙමෙයි…. උඹ මැරිච්ච මිනිමරුවෙක් විතරයි… උඹ මගෙ අම්මවත් මැරුවා මිනිමරුවා…!!!” සමීරත් අඬමින්ම හයියෙන් කෑගැහුවා.

“හඃ හඃ හඃ හා…. ඔව් මං මිනිමරුවෙක් තමයි… උඹේ අම්මවත් මං මැරුවා ඔව් දැන් උඹවත් ඒකි ඉන්න අපායටම යවනවා මම… මැරෙන්න ලෑස්ති වෙයන්… හා හා….” වියරුවෙන් වගේ එහෙම කියපු පීටර් දකුණු අතේ තිබ්බ පොඩි කිණිස්ස ඉස්සුවෙ සමීරගෙ බෙල්ල කපලා දාන්නයි. ඒත්….

***********************************************************

“සමීර… සමීර…. නැගිටිනවා මෝඩයො මොකද මේ…?”

එකපාරටම සමීරගෙ මූණට විසිවුනේ වතුර බකට් එකක්. මූණට දැනිච්ච තෙත ගතිය නිසා සමීර දණිපණි ගාලා නැගිට්ටෙ හයියෙන් කෑගහගෙනමයි. ඇස් දෙක ඇරපු ගමන්ම වටපිට බලපු සමීර තමන් තවදුරටත් ඉන්නෙ හීනෙක නෙමෙයි හැබෑ ලෝකෙ කියලා තේරුම් ගත්තා තත්පර ගාණක් ඇතුලත. ඒත් තාමත් බයෙන් පපුව ගැහෙන එක නැවතිලා නම් තිබ්බෙ නෑ.

“ඒයි බූරුවො මොනාද ඕයි මේ තණකොල ගොඩවල් උඩ ඔහොමත් නිදාගන්නවද මේ මහ දවාලෙ ගිනි ගහන අව්වෙ ආ…?”

සඳරූ ඉනටත් අත් දෙක තියාගෙන එහෙම අහපු විදිහට සමීරගෙ හිතේ තිබ්බ බය මොහොතකට අයින් වෙලා බකස් ගාලා හිනාවක් පැන්නා එලියට. ඒත් ටිකක් වෙලා යනකොටයි සමීරට තේරුනේ තමන් ඉන්නෙ තමන්ගෙ ගෙදර ගාඩ්න් එකේ කියලා. ඒ වගේම ගිනි ගහන අව්වෙ කියලත්.

“ආ…. මං මේ සූර්‍යාලෝකය වින්දනෙ සඳූවො… කොහෙද ඉතින් මේ කොහෙවත් යන පාන් බට්ටියෙක් ඇවිත් මගෙ ඇඟේ වතුර එකක් හලලා ඒ වැඩේ කෑවනෙ… චී… බලනවා ඉතින් ඇඟ හැමතැනම වතුරනෙ…”

“මොකක්ද මොකක්ද කිව්වෙ…? ඈ බොල හිපාටුවො උඹ මෙතන නිදාගෙන කෙඳිරි ගගා ඇඹරි ඇඹරි මොනාදෝ කියවනවා නිකන් මෝහිනී හීනෙන් ඇවිත් දූශනේ කරනවා වගේ… මම දැකලා ඇහැරෙව්වෙ නැත්තම් මෙතන මොනවා වෙයිද දන්නෑ…” ඇස් දෙකත් ලොකු කරන් සඳරූ ඒක කියපු තාලෙට සමීරට එයාව බදාගන්න හිතුනා.

“අනේ දෙයියනේ මේකිගෙ තියෙන ඉරිසියාවක් ඈ… මෝහිනී එක්ක මං ආතල් ගත්තම උඹට මොකක්ද තියෙන අමාරුව…? අපරාදෙ එහෙම හරි දූසනේ වෙන්න තිබ්බා මට අම්මපා නියම චාන්ස් එකක්නෙ මිස් ක….”

“ච..ටා…ස්”

සමීරගෙ කම්මුල හරහා වැදුනෙ වේගවත් කම්මුල් පාරක්. සඳරූගෙ ඇස් වල කඳුලු බෝල දෙකක් දිලිසි දිලිසි තිබ්බා මූණත් එක්කම රතු වෙලා.

“සඳූ…?”

“කට වහනවා…! කට තිබ්බ පලියට කියවන්නෙපා වලත්තයෙක් වගේ… අනික මගෙන්ද අහන්නෙ තියෙන අමාරු… නෑ ඕන නෑ මට අමාරුවක් නම් නෑ තමයි…” වේගෙන් එහෙම කියපු සඳරූ පිටි අත්ලෙන් කඳුලු පිහාගත්තා. “තමුසෙ මගෙ පොඩි කාලෙ ඉඳන් හොඳම යාලුවා නිසයි කියන්නෙ…

මේ ටිකේ මේ පාරෙ ඉන්න අපේ හැම යාලුවෙක්ම දකින්නෙ එකම නරක හීනයක්… තේරුම් ගන්නවා මෝඩයෙක් වගේ කියවන්නැතුව… මට ඕන නෑ මං ආදරේ කරන… මට ඕනකමක් නෑ මගෙ හොඳම යාලුවා අර වගේ හීනෙන් බයවෙලා පිහියෙන් තියා ඉඳිකට්ටකින්වත් ඇනගෙන මැරිලා ඉන්නවා බලන්න… තේරුණාද…?”

සඳරූ කියපු හැම වචනයක්ම අහන් හිටපු සමීර පුදුමෙනුත් පුදුමයට පත් උනේ ඇය මේ දේවල් දන්නේ කොහොමද කියලයි. ඒ වගේම ඇගේ හිතේ තමන් ගැන තියෙන ආදරේ ගැනත් දැනගන්න ඔහුට අද පුලුවන් උනු එකටත් සමීර සතුටු වුනා. ඒත් ලොකු බයක් ආයෙම දැනෙන්න ගත්තෙ සඳරූටත් ඒ හීනෙ….

“සඳූ ප්ලීස් ඔහොම ටිකක් ඉන්න…” තමන්ට පිටුපාලා යන්න හදන සඳරූගෙ අතකින් අල්ලලා නවත්තපු සමීර ඇයව තමන්ගෙ පැත්තට හරවගත්තා.

“ඔව් සමීර මං දන්නවා ඒ හීනෙ මොකක්ද කියලා… ඔයාට ඕනෙ මට ඒ හීනෙ පේනවද කියලා දැනගන්නනෙ… උත්තරේ තමයි ඔව්… මාත් ඒක මේ ටිකේම දකිනවා… මේ බලන්න මගෙ ඇස් දිහා…” එහෙම කියලා සඳුරූ පෙන්නුවෙ එයාගෙ ඇස් යට කලු වෙලා තියෙන හැටි. “ඒ වගේම මේකත්…”

සඳරූ ඊලඟට තමන්ගෙ ටී ෂර්ට් එක උස්සලා පෙන්නුවා. මුලින් ටිකක් අදිමදි කලත් සමීර ඒ දිහා බැලුවම ඔහුට හීල්ලුනා.

“දෙයියනේ….. සඳූ මේ මොකද…???”

සඳරූගෙ යටිබඩ හරියෙ ඉඳන් ටිකක් උඩට වෙනකල් තිබ්බෙ හරියට සතෙක් හූරලා වගේ තිබ්බ කැපුම් පාරවල්. හරියට නිකන් ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙච්ච් මනුස්සයෙක් කපාගෙන වගේ කැපුම් පාරවල් මහ ගොඩක් එතන තිබ්බා.

“ඌ මට හැමදාම හීනෙන් වද දෙනවා සමීර… මාව මරන්නෙ නෑ කිව්වා… ඌ මහ භයානක එකෙක්… අනේ අපි මේකට මොකද කරන්නෙ…?”

“මෙතන අපි හිතනවට වඩා කතාවක් තියෙනවා සඳූ… පීටර් කියන්නෙ ඔයා කියනවා වගේ ලේසිපාසු එකෙක් නෙමෙයි… ඒ වගේම…..”

සමීරට කතාව ඉවර කරන්න ලැබුනෙ නෑ.

“පීටර්….???”

පිටිපස්සෙන් ඇහුනු හඬින් දෙන්නම ගැස්සුනා.

*****************************************************************
?SanjaaN?

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

කතාව ලස්සනයිද? එහෙනම් ඇයි තනියම කියවලා සතුටුවෙන්නේ. ඔයාගේ ළගම යාළුවාටත් ඔයාගේ කතාඅහුර ඇප් එකගැන කියන්න

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.