Katha Ahura

මාරයා | 06 කොටස || හොල්මන් කතා ||

කතාව කොහොමද?

? මාරයා ?

#06 කොටස

සමීරයි සඳුරූයි දැක්කෙ එයාලා දිහා සැකෙන් වගේ බලන් ඉන්න සමීරගෙ තාත්තව.

“තාත්තෙ ඔයා මේ වෙලාවෙ…? උදේ කොළඹ යනවා කිව්වා නේ…?” සමීර ඇහුවා.

“නෑ තමුන්ව පොලිසියාටට අරන් ගියා කියලා ප්‍රනාන්දු කාරයා කෝල් කරලා කිව්ව නිසයි මං ගමන කැන්සල් කරලා දැම්මෙ… ආ… සඳරූ දුව කොහොමද…?”

“හොඳයි මාමෙ…: සඳරූ බොරු හිනාවක් පෙන්නන ගමන් කිව්වා.

“හරි දැන් මං ආවනෙ තාත්තෙ… අවුලක් නෑ මාමා කාරයා මාව එව්වා ආයෙ ඕන උනොත් කතා කරන්නම් කියලා…”

“හිනාවෙන්නෙපා සමීර… මේවා සෙල්ලම් වැඩ නෙමෙයි තේරුණානෙ…? තමුන් මිනීමැරුමක සාක්ශිකාරයෙක්.. අනික් අතට සැකකාරයෙක්… ඉතින් මේවට හිනාවෙන්නෙපා මෝඩයෙක් වගේ…” සමීරගෙ තාත්තා ටිකක් තදින් කිව්වා. සමීර කොහොමත් තමන්ගෙ තාත්තට බය නිසා බයෙන්ම ඔලුව වැනුවා. “අනික කවුද පීටරයෙක් ගැන කතා උනේ ඔයාලා…?”

සමීරගෙ තාත්තා එහෙම අහද්දි දෙන්නම ගැස්සුණත් සමීරවත් සඳරූවත් ඒක පිටට පෙන්නුවෙ නෑ. පීටර්ගෙ මරණය ගැන තමන් හීනෙන් මොනවා දැක්කත් ඒවා සමීර වැඩිය විශ්වාස කලෙත් නෑ ඒ වගේම තමන්ගෙ තාත්තා නිවැරදිකාරයෙක් කියලා හිතුවෙත් නෑ. මොකද තමන්ගෙ තාත්තා බිස්නස් වලදි කොච්චර දරුණු මනුස්සයෙක්ද කියලා සමීර දැනන් හිටියා.

“ආ…. ඒ මේ අපේ සඳුවට කවුදෝ පීටර් කියලා එකෙක් කරදර කරනවලු තාත්තෙ… අපි මේ කතා උනේ ඒ නාකියට වැඩක් දෙන්න ඕනෙ කියලා… නාකි සමනලයෙක්ද කොහෙද…” සමීර ශේප් එකේ කියලා දැම්මා.

“ඇත්තද දුව මේ කියන්නෙ…?”

“ඔ..ඔව් මාමෙ… ක්ලාස් ඇරිලා එද්දි මිනිහා දවස් දෙක තුනක් මගෙ පස්සෙනුත් ආවා… මං අපේ තාත්තිටත් කිව්වා ඒ ගැන… ඒත් එයා එන දවසට ඌ පළාතක එන්නෙ නෑනෙ…”

“හ්ම්ම්… ඒකත් එහෙමද..? ඉන්නකො බලන්න මං ජයේ එක්ක කතා කරලා ඕකට විසඳුමක් දෙන්නම්… එහෙම කොහොමද මේ කොහෙවත් ඉන්න වල් හැතිකරේ අපේ දරුවන්ට කරදර කරන්නෙ…? මේ පීටර්ගෙ කරදරෙත් අපිම ඉවරයක් කරන්නම්කො දුවේ ඔයාලා බය නැතුව ඉන්නකො ම්ම්… කොල්ලො උඹත් නිකන් වීරයා නොවී හිටපන් මේ ටිකේ පාඩුවෙ… තියෙන කරදර මදිවට තවත් ඒවා ඇඟේ දාගන්නැතුව…” සමීරගෙ තාත්තා එහෙම කියලා එතනින් හැරිලා ආයෙ ගේ පැත්තට යද්දි සමීරයි සඳරූයි මූණෙන් මූණ බලාගත්තා.

“මේ පීටර්ගෙ කරදරෙත්…?” සමීර හෙමීට මිමිණුවා.

“ඒ කියන්නෙ….”

“ඔව් සඳරූ ඔයා හිතන දේ හරි… මෙතන අපි නොදන්න ලොකු අතීත කතාවක් තියෙනවා… පීටර් කියන්නෙ ඇත්තටම ජීවත් වෙච්ච මනුස්සයෙක්… මං දැකපු දේවල් හරිනම් ඌ මිනීමරුවෙක්… මොකක් හරි දේකට තමයි ඌව අපේ තාත්තලා එකතු වෙලා මරලා දාලා තියෙන්නෙ… ඒකෙදි උගෙ දරුවත් මැරුනු නිසා තමයි ඌ අපෙන් පලිගන්න එන්නෙ… ඔයාට තේරුණාද ඒක…?”

“අනේ ඒත් ඇයි අපෙන් පලිගන්නෙ අපි කිසිම වරදක් කලේ නෑනෙ පීටර්ට…” සඳරූ බයෙන් වගේ කිව්වෙ සමීරගෙ අතකුත් අල්ලගෙන.

“මොකද කියනවනම් පීටර්ගෙ ළමයත් කිසිම කෙනෙක්ට වරදක් නොකරපු කෙනෙක් වෙලත් එයාවත් මරලා දාපු නිසා… තේරෙනවද සඳූ ඒ පව ගෙවෙන්නෙ අපෙන්…” සමීර සඳුරූගෙ අත තදින් අල්ලගෙන කිව්වා.

“මගෙ ඔලුවත් රිදෙනවා සමීර දැන් නම්… මොනවා වෙනවද කියලා මට තේරෙන්නෙ නෑ… හීනෙකින් ඇවිත් ඒ මිනිහට අපිට ඕන දෙයක් කරන්න පුලුවන් කියන්නෙ ඒ මිනිහා අමනුස්සයෙක් වෙන්නැති… මං යනවා පංසල් අදම… හාමුදුරුවන්ට කියලා මොකක් හරි යන්තරයක්වත් දාගත්තා නම් හරියි කියලා මට දැනුයි හිතෙන්නෙ… මට මේ දේවල් දරාගන්න බෑ දෙයියනේ…” සඳුරූ අඬන්න ගත්තා. සමීර දෙපාරක් හිතන්නැතුවම සඳරූව තමන්ගෙ තුරුලට අර තුරුල් කරගත්තා.

“අඬන්න එපා සඳූ… ඔයාට කිසිම දෙයක් වෙන්න මං ඉඩ තියන්නෑ… මං ඉන්නවනෙ ඔයාට ම්ම්… අපි දෙන්නම අද හවසට පංසල් යමුකො… කොහොමත් අපි සෙට් එක හෙට පල්ලි යන්න හිටියෙ.. අද පංසලටත් ගිහින් ඔයා හෙට අපිත් එක්කත් එන්නකො පල්ලියට යන්නත්… දෙවියන්ගෙ ආශිර්වාදෙ, ආරක්ශාව ගත්තම ඔය කිසිම එකෙක්ට හීනෙන් තියා හැබහින්වත් අපිට කරදර කරන්න බැරි වෙයි…”

“හ්ම්ම්ම්….”

සඳුරූ තවත් සමීරගෙ උණුසුමට ගුලි වෙද්දි සමීරගෙ හිතට දැනුනෙ පුදුමාකාර සතුටක්. මෙච්චර කාලයක් තමන්ට කියාගන්න බැරුව හිටපු ආදරේ උරුමක්කාරි අද ඉන්නෙ තමන්ගෙ තුරුලෙ නේද කියලා හිතපු ඔහු ස්තූති කලේ පීටර්ට. “මූ නැත්තම් මට මගෙ කෙල්ලට ලව් එකවත් කියාගන්න ලැබෙන එකක් නෑ…” සමීර තමන්ටම මුමුණගත්තා.
******************************************************************

“මචං තිසා රොකට් එකක් නැද්ද බං ගන්න…?”

එදින රැයේ තිසරව අමතපු දිනුක ඇහුවා.

“නෑ මචෝ බඩු ඉවරයි… අපේ බාප්පා කාරයා ලඟ නම් බඩු ඈති එයාගෙන් අහපන්කො ටිකක්…”

“යකෝ පිස්සුද තොට…? අපි එහෙම එවුන් කියලා සමාජයා දැනගන්න හොඳ නෑනෙ…”

“අනේ මේ මගෙන් කුණුහරුප අහගන්නැතුව අම්මා දෙන බත් ටික කාලා නිදාගනින් ගංජා ගැටයො… ගුඩ් නායිට්…” එහෙම කියපු තිසර දිනුක යමක් කියන්නත් කලින්ම කෝල් එක කට් කරලා ෆෝන් එක ඇඳට විසි කලා. “හම්මේ නාගන්න ඕනෙ ගඳයි යකෝ මං ගාවම…”

තමන්ටම මුමුණගත්තු තිසර තුවායත් අරන් බාත් රූම් එකට රිංගගත්තා. දිනුකගෙන් කෝල්ස් ආවත් තිසර ඒවා ගණන්වත් ගත්තෙ නැත්තෙ දිනුක ඉල්ලපුවා තමන් ලඟ තිබ්බත් ඕනම දෙයක් ඕනාවට වඩා කරන්න හොඳ නෑ කියලා හිතුව නිසයි. ඇබ්බැහි උනොත් එහෙම නරක නාමෙ එන්නෙත් තමන්ටමය් කියලා තිසර දැනන් හිටියා.

“හදවත ඉල්ලා…. නොලැබුණ විටදී……”

හයියෙන් සිංදු කිය කිය නාගත්තු තිසර බාත් රූම් එකෙන් එලියට ආවා.

“හම්මට යකෝ මේ කොහෙද…?” තිසරට ඇහුණා.

වටපිට බලපු තිසරට තේරුණා තමන් ඉන්නෙ ඉස්පිරිතාලෙක ඔපරේශන් තියටර් එකක කියලා. ලෙඩෙක් වටේට දොස්තරලයි නර්ස්ලයි වටවෙලා ලොකු ඔපරේශන් එකක ඉන්නෙ කියලත් ඔහුට තේරුණා. ඒත් තමන් මෙතෙන්ට ආවෙ කොහොමද කියලා වටහාගන්න බැරි වුනු තිසර ආපහු තමන්ගෙ බාත් රූම් එකේ දොර දිහාවට හැරුණා. ඒත් එතන තිබ්බෙ බාත් රූම් එකේ දොර නම් නෙමෙයි. කොලපාට කර්ට්න් එකකින් ආවරණය කරපු තනි සුදු බිත්තියක්. කලබල උනු තිසර ඇඳන් හිටපු ටවල් එක පිටින්ම වටවෙලා හිටපු දොස්තර කෙනෙක් ලඟට ගියා.

“එක්ස්කියුස් මී ඩොක්ටර්… මං මේ ඉන්නෙ කොහෙද කියලා කියන්න පුලුවන්ද…?”

ඒත් අහපු කෙනාට ඒක ඇහුණු බවක් නම් පෙනුනෙ නෑ. ඔහු තමන්ගෙ රාජකාරියෙ නිරත වෙලාම හිටියා.

“ඩොක්ටර්… මං මේ ඉන්නෙ කොහෙද කියලා කියන්න පුලුවන්ද…?” තිසර තව ටිකක් හයියෙන් ඇහුවා.

ඒත් ඔහුව කාටවත්ම ඇහුනු පාටක් නම් පේන්න තිබ්බෙම නෑ. සමීර එලියට යන්න දොරක්වත් තියෙනවද බලන්න යන්න කියලා හැරෙන්න හදද්දිම ලෙඩා දිහාවට හැරිලා නැමිලා හිටපු දොස්තර කෙනෙක් එකපාරටම කෙලින් උනා.

“හදවත ඉල්ලපු කෙනාට මේක දෙන්න…” ගොරහැඬි හඬක් එක්කම ඒ දොස්තරගෙ අත එතන හිටපු නර්ස් කෙනෙක්ගෙ දිහාවට දික් උනා. ඒත් තිසර එතකොටම දැක්කේ….

“ආ මෙන්න ඔයා ඉල්ලපු හදවත…”

මැරිච්ච සතෙක් කුණුවෙච්ච ගඳක් එක්කම තිසර ලඟට ආපු නර්ස් කෙනෙක් ඔහුගෙ අතට දුන්නෙ ලේ ගලන මිනිස් හදවතක්. ඔහු අත දික් කලේ නැතත් ඉබේම ඔහුගෙ අත් දෙක නර්ස් දිහාවට දික් උනා. දත් නොතිබ්බ, කලු ගැහිච්ච කටින් අමුතු විදිහට හිනාවුනු නර්ස් එතනින් යන්න ගියේ තිසර භීතියෙන් වෙවුලද්දි. ඔහුගේ අත් දෙක උඩ තිබ්බෙ තාමත් පණ ගැහෙමින් තිබ්බ මිනිස් හදවතක්. ඒ දිහා බලන්නවත් තිසරට උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් මොකක්දෝ බලවේගෙකට අහුවෙච්ච කෙනෙක් වගේ තිසරගෙ ඇස් තිබ්බෙ ඒ දිහාමයි. ඒත් එක්කම හදවත කාගෙද කියලා බලන්න තිසර ඇඳේ හිටපු ලෙඩා ලඟට කිට්ටු වුනා නෙමෙයි ඔහුව ඉබේම කිට්ටු කලා.

“අම්මෝ…..!!!”

හයියෙන් බෙරිහන් තීපු තිසර තමන්ගෙ ඇස් දෙක තදින් වහගත්තෙ දැකපු දර්ශණය එතරම්ම දරුණු එකක් උනු නිසයි. එතන ඇඳේ හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි තමන් අවුරුදු ගාණක් පණ වගේ කාටත් හොරා ආදරේ කරපු සඳරූ. ඒ මූණ බයෙන් ඇකිලිලා විකෘති වෙලා තිබ්බා. ඇස් එලියට උගුල්ලලා, මූණ හැමතැනම කැපුම් පාරවල්. පපුව මැද හාරලා වගේ වලක් හැදිලා තිබ්බෙ තිසරගෙ අතේ එතැනට අයිති හදවත තියෙද්දි.

“ති…ස….ර…..” වැතිරිලා හිටපු සඳරූගෙ උගුරෙන් පිටවුනේ කෙඳිරිල්ලක්.

ඒත් තිසරට කතා කරගන්න තියා කෑගහගන්නවත් විදිහක් තිබ්බෙ නෑ. ඔහු හිටියෙ සම්පූර්ණයෙන්ම ගොලුවෙලා. තමන් දැකපු දේවල් වලින් භීතියටත්, කම්පනයටත් පත් වෙලා.

“මේක හීනයක්ද දෙයියනේ…. හීනයක් නේද… අනේ මගේ සඳරූ…..” හිතින් සමීර කෑගැහුවා.

“ඊලඟ ලෙඩාව ලෑස්ති කරන්න….” අර ගොරහැඬි කටහඬ ආයෙම පිටවුනේ හදවත ගලවපු දොස්තරගෙන්.

ඊලඟ මොහොතෙ තිසරගෙ ඔලුවට උඩින් තිබ්බෙ සුදුපාට ආලෝකයක් විහිදවපු ලාම්පුවක්. ඒ වගේම තමන් ඉන්නෙ ඇඳක වැතිරිලා කියලත් ඔහුට තේරුණා.

“එපා….!! එපා…. අනේ මට මොකුත් කරන්නෙපා… කවුද උඹලා…. අනේ මට මොකුත් කරන්නෙපා….!!!”

තමන් ඔපරේශන් කරන්න ඉන්න ඊලඟ ලෙඩා කියලා තේරුණු තිසර මහ හඬින් කෑගහන්න පටන් ගත්තෙ කියාගත නොහැකි බයකින්. ඒත් වටවෙලා හිටපු කිසිම කෙනෙකුට ඒක ඇහුණෙ නෑ කවුරුවත් ගණන් ගත්තෙවත් නෑ. තිසර පුලුවන් තරම් උපරිමෙන් දැඟලුවා ඒත් කිසිම වැඩක් උනේ නෑ. හරියට ඇඳටම තියලා අලවලා වගේ තිසරව ඇඳට තදින්ම ඇලිලා හිටියා.

“මේක හීනයක්… යකෝ මේක හීනයක් විතරයි… නෑ… නෑ… නෑ…. මගෙ සඳරූට මොකුත් වෙලා නෑ… අදත් මං එයාව දැක්කා… මේක හීනයක් විතරයි මං ඉන්නෙ හීනෙක උඹලා ඔක්කොම බොරු හීනයක් විතරයි… හහ් හා හා හා…. මේක හීනයක් යකෝ ඇහැරියන් දැන් ඇතී….” තිසර උමතුවෙන් කියව කියව හිනාවුණා.

ඒත් ඊලඟට ඔහු දැක්ක දෙයින්….

“උඹ….??? නෑ… නෑ…. ප්ලීස් මේක හීනයක් විතරයි…. අනේ දෙයියනේ මාව බේරගන්න…”

ඔහුගේ ඇස් ඉස්සරහා දොස්තර කෙනෙක්ගෙ කබායකුත් ඇඳගෙන හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි පීටර්. දවස් දෙකක ඉඳන් තමන්ට පේන ඒ භයංකාර හීනෙ ඇතුලෙ හිටපු ඒ යක්ශයා අද තමන් ඉස්සරහම ආයෙමත් ඉන්නවා දකිද්දි තිසරට එහෙම්ම මුත්‍රා පිටවුනේ බයටමයි. දිලිසෙන දිග පිහි තලයක් අතේ තියාගෙන පිලිස්සිලා කළුවෙච්ච මූණෙ මැද තිබ්බ කහපාට දත් පෙන්නලා හිනාවුනු පීටර් හෙමීට පාත් උනේ තිසර දිහාවට.

“බයවෙන්නෙපා කොළුවෝ මේක රිදෙන්නෙ නෑ…”

එහෙම කියපු පීටර් එහා පැත්තෙන් ඇවිත් පිහි තලය තිසරගෙ නිරුවත් පපුව උඩින් තිබ්බා.

“එපා… එපා…. ප්ලීස්…. අනේ…. මට මොකුත් කරන්නෙපා…!! මං වැඳලා කියන්නම් අනේ මට මොකුත් කරන්නෙපා… ප්ලීස්… මේ හීනයක් විතරයි… ප්ලීස්….!!!”

ඒත් එක්කම පීටර් යමක් මතක් වෙලා වගේ ආයෙමත් පිහි තලය පපුව උඩින් ගත්තා. තිසරගෙ හදවත ‘ඩබ් ඩබ්’ සද්දෙට වේගෙන් ගැහෙන්න ගත්තෙ පපුවෙන් ගැලවිලා එලියට විසිවෙන්න වගේ.

“හ්ම්ම්ම් මේක හොඳයි…” ගොරෝසු කටහඬින් එහෙම කියපු පීටර් ඊලඟට ඇදලා ගත්තෙ ලොකු මන්නා පිහියක් වගේ එකක්.

“අනේ…. මට යන්න දීපන්… මං කාටවත් කිසිම වරදක් කරලා නෑ… ප්ලීස්…. මට යන්න දියන්… අනේ….. මේ හීනයක් විතරයි…. කවුරුහරි මාව ඇහරවපල්ලා….!!!”

තිසර තමන්ට පුලුවන් තරම් හයියෙන් ආයෙම කෑගැහුවෙ පීටර් දෝත බදලා පිහිය උඩට උස්සද්දි. ඒත් ආයෙමත් පීටර් තමන්ගෙ වැඩේ නවත්තලා පිහිය පැත්තකට දැම්මා.

“මේක හීනයක් නෙමෙයි කොල්ලෝ මේක තමයි තිත්ත ඇත්ත… හඃ හඃ හා….!”

පීටර්ගෙ හිනාව කාමරය පුරාම දෝංකාර දුන්නා. ඒ හිනාවෙන් කන් දෙක පිරුණු තිසර භීතිය නිසාම අඬන්න ගත්තා.

“අනේ ප්ලීස් කවුරුහරි මාව ඇහැරවන්නකෝ… ප්ලීස්…. මේ හීනෙන් ඇහැරවපල්ලා….”

“කිසිම එකෙක් උඹේ උදව්වට එන්නෙ නෑ යකෝ… උඹලගෙ කාලකන්නි දෙමව්පියො එදා මාවයි මගෙ අහිංසක දරුවවයි මරලා දාද්දි කිසිම එකෙක් අපිට අනුකම්පා කලේ නෑ… හඃ හඃ හඃ හා…. තොපිටත් මගෙන් කිසිම අනුකම්පාවක් නෑ…”

වියරුවෙන් වගේ ගොරහැඬි හඬින් කෑගහපු පීටර් කුඩා සැත්කම් පිහියක් අරන් තිසරගෙ නිරුවත් ශරීරයේ හැමතැනක්ම වගේ අමු අමුවෙම කපාගෙන කපාගෙන ගියේ තිසරගෙ දැඩි වේදනාබර කෑගැසිල්ල මැද. මස් කෑලි එලියට ඇවිත් තිබ්බ තිසරගෙ ගැහෙන ශරීරය දෙස බලා හයියෙන් හිනාවුණු පීටර් මේසයක් මත තිබූ අත් පොරවක් ගත්තා.

“මේක උඹේ තාත්තට හොඳට මතක ඇති… හඃ හඃ හඃ හා….!!!” තමන්ගෙ අතේ තිබ්බ පොරවයි තිසරගෙ මූණයි දිහා බලපු පීටර් කිව්වෙ හිනාවෙවී.

“එ..ප්…පා… අ..ග්..හ්”

තිසරට කියාගත හැකිවූයේ එපමණයි. විදුලි වේගෙන් ආපු පොරෝ පාරක් තිසරගෙ ඔලුව දෙබෑ කරගෙන ගියේ මොළ කෑලි බිම තැන් තැන් වලට විසුරුවමින්.

***********************************************************************

එහෙනම් අඩුපාඩු ඇත්නම් කමෙන්ට් කරන්න මිතුරේ ?

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.