Katha Ahura

මාරයා | 08 කොටස || හොල්මන් කතා ||

කතාව කොහොමද?

? මාරයා ?

#08 කොටස

ඔලුව උස්සලා බලපු ගයාන් දැක්කෙ තාමත් පිච්චෙමින් තිබ්බ තමන්ගෙම ශරීරය. බිත්තියට හේත්තු කරලා කුරුසෙ ඇණ ගහලා වගේ බිත්තියට තියලා අත් වලට ඇණ ගහලා තිබ්බා. ඔලුව පහලට කඩා වැටිලා තිබ්බා. මූණ සම්පූර්ණයෙන්ම වගේ පිච්චිලා කරවෙලා ගිහින් තිබුණා.

“මේ… මේ…. ඉන්නේ…..”

ගයාන්ට කියාගන්න හම්බුණේ එච්චරයි. මළමිනියෙ පහළට කඩා වැටිලා තිබ්බ ඔලුව එකපාරටම හෙලවුනා. ඒ එක්කම පිච්චුණ මූණ මැද තිබ්බ ඇස් දෙක එකපාරටම ඇරුණා.

“මේ ඉන්නෙ උඹ…!!”

කහගැහුණු දත් විලිස්සපු මළමිනියෙ රතුපාටට දිලිසෙන ඇස් කෙලින්ම දිස්වෙලා තිබ්බෙ ගයාන් දිහාවට.

“නෑ….නෑ….නෑ….. මේක වෙන්න බෑ…. ම..මං ජීවත් වෙනවා…. මේ මම නෙමෙයි…..” ගයාන් දැඩි ලෙස භීතියට පත්වෙලා කෑගැහුවා.

අමාරුවෙන් කොහොමහරි නැගිටගත්තු ගයාන් කකුල් දෙකට පණ අරන් එතනින් දුවන්න දුවන්න ලෑස්ති උනා. ඒත්…..

“ග..යා…න්…..”

ඔහුට පිටිපස්සෙන් ඇහුණෙ…..

“ස..ඳ..රූ….???”

පිටිපස්ස හැරුණු ගයාන් දැක්කෙ ඔහු දිහා බලාගෙන හිටපු සඳරූව. ඊලඟට ඔහු දැක්කෙ තමන් තවදුරටත් ඉන්නෙ තමන්ගෙ ෆාම් හවුස් එකේ කාමරේ ඇතුලෙ කියලා. හිතට ලොකු සැනසීමක් දැනෙද්දි ගයාන්ගෙ ඇස් ගියේ තමන් ඉස්සරහා සරාගී විදිහට අඩ නිරුවත්ව හිටපු සඳරූගෙ පපුව දිහාවට.

“මොනාද බලන්නෙ ම්ම්….?”

තාලෙකට සඳරූ එහෙම අහද්දි මෙච්චර වෙලාම බයෙන් ගැහි ගැහි තිබ්බ ගයාන්ගෙ හිත සීතල වෙලා ගියේ උණුසුම් හැඟීම් වලින් ගයාන්ගෙ මුළු සිරුරම පණ ගන්වද්දි. සඳරූ සරාගී විදිහට තාලයකට ඔහු දෙසට ඇවිදගෙන එන්න ගත්තා. හැඟීම් උද්දීපනය වෙච්ච ගයාන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියෙ පුදුමෙනුත් ආශාවෙනුත්.

“මේක… හීනයක් නෙමෙයි නේද…? සඳූ… මගෙ වස්තුව ඔයා කොච්චර ලස්සනද… වාව්…. කොච්චර සෙක්සිද කෙල්ලෙ… ම්ම්ම්ම්….”

ගයාන් තොලකට ලෙවකමින් ආශාවෙන් මත්වෙලා සඳරූ දිහාවට ඇදිලා ගියේ වශීවෙලා වගේ. සඳරූ ඔහු ලඟට ඇවිත් ඔහුගෙ බෙල්ල වටේට අත්දෙක දාලා ගයාන්ගෙ පපුවට තද උනා.

“මේ..ක… ඇ..ත්..ත..ක්… තේ..රු..ණා..ද….?”

ගයාන්ගෙ මූණ දිගේ දබරැඟිල්ල තාලයකට අරන් යන ගමන් සඳරූ කෙඳිරිල්ලක් වගේ හඬකින් මිමිණුවා. ඇගේ හුස්ම ඔහුගෙ මුහුණෙ වදිනකොට ගයාන්ට තවත් ඉවසගෙන ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. හැඟීම් දෝරෙ ගලද්දි මුළු ලෝකෙම අමතක කරපු ගයාන්, සඳරූගෙ රෝස පාටට දිලිසෙන තොල් තමන්ගෙ තොල් වලට මැදි කරගත්තෙ පුදුම තරම් ආසාවකින්.

“ම්ම්ම්ම්ම්හ්….”

දෙන්නගෙම තොල් ටික වෙලාවක් එහෙමම පැටලිලා තියෙද්දි ගයාන්ගෙ අත් සඳරූගෙ ශරීරයෙ හැමතැනකම ගියා. ඒත් ටික වෙලාවකින් ගයාන්ට සඳරූගෙ සිරුරෙ ලොකු වෙනසක් දැනෙන්න ගත්තා. හරියට නිකන් කොරපොතු අහුවෙනවා වගේ. මෙච්චර වෙලාම රසට දැනුනු තොල් වලින් එන්න ගත්තෙ ජරා කුණු රහක්. ඇස් වහගෙන මොහොත විඳ විඳ හිටපු ගයාන් ඇස් ඇරියා.

“ආආඅග්..හ්….”

පිටිපස්සට පැන්න ගයාන් හයියෙන් කෑගැහුවා. ඔහුගෙ ඉස්සරහා හිටියෙ….

“උඹ….???”

සඳරූ වෙනුවට ඔහුගෙ ඉස්සරහා හිටියෙ පිච්චිලා කරවෙලා ගිය පීටර්. බලාගෙන ඉද්දිම තමන් අවට කාමරේ වෙනස් වෙන එක ගයාන් බලන් හිටියෙ භීතියෙන්. ගයාන් දිහාවට අතක් දික් කරපු පීටර් අඩියක් ඉස්සරහට තිබ්බා.

“ලඟට එන්නෙපා…. පලයන්… මට පාඩුවෙ ඉන්න දියන්… පලයා…න්…!!!” මහ හ‍යියෙන් බෙරිහන් දුන්නු ගයාන් ආපහු හැරිලා දුවන්න ගත්තෙ දොර දිහාවට. ඒත් ඔහුට පේන මානයෙ කිසිම දොරක් ජරාවට ගිය ඒ කාමරේ ඇතුලෙ තිබ්බෙ නෑ.

“උඹට බේරෙන්න බෑ කොල්ලො….”

පීටර්ගෙ ගොරහැඬි කටහඬ කාමරේ ඇතුලෙ දෝංකාර දුන්නා.

“ඇයි උඹ මෙහෙම කරන්නෙ…? කවුද උඹ…?? මට යන්න දීපන්…. ප්ලීස්…..” කාමරේ ඇතුලෙ කොටුවෙච්ච ගයාන් ජීවිතේ පලවෙනිම පාරට බිම දණගහලා ජීවිතේ යැද්දා.

“පාඩුවෙ…? උඹගෙ තාත්තා කියන පාහර බල්ලා මාවයි මගෙ අහිංසක දරු පැටියවයි මරලා දැම්මෙ අපි උගෙන් අපිට පාඩුවෙ ඉන්න කියලා ජීවිතේ යදිද්දි… ඌ කිසිම කෙනෙක් කියන දෙයක් ඇහුවෙ නෑ… මාව නොකරපු වරදකට පටලවලා මිනිස්සුන්ට මං ගැන බොරු කියලා පාඩුවෙ හිටපු අපිව මරලා දැම්මෙ තොගෙ තාත්තා තමා යකෝ…” පීටර්ගෙ වියරු හඬ කාමරේ ඇතුලෙ දෝංකාර දුන්නා. ඒ කටහඬේ තිබ්බෙ පුදුමාකාර වෛරයක්.

“අ..නේ…. තාත්තා කරපු වැරදි වලට අපිට දඬුවම් දෙන්නෙ ඇයි… ම..මං අහිංසකයි ප්ලී…ස්… මට යන්න දෙන්න….”

“උඹේ තාත්තා මගෙ දරුවව මැරුව වෙලාවෙත් උට කිසිම පසුතැවීමක් තිබුණෙ නෑ… මටත් එහෙම දෙයක් නෑ කොල්ලෝ…. හහ්..හ….” කට කොණකින් හිනාවුනු පීටර් අඩියක් ඉස්සරහට තිබ්බා.

“එපා…. එපා….. ලඟට එන්නෙපා… පලයන්… මට පාඩුවෙ ඉන්න දීපන්… මේක හීනයක් විතරයි… එපා….!!!” ගයාන් මරහඬ දුන්නා.

ඒත් පීටර් ගයාන් ලඟටම හෙමින් හෙමින් ලං වුනා. ගයාන් බ්ත්තිය මුල්ලෙ වාඩිවෙලා දණිස් දෙක අස්සෙ ඔලුව ගහගෙන කෑගගහා අඬන්න ගත්තෙ පොඩි දරුවෙක් වගේ. භීතියෙන් පිස්සු වැටිලා හිටිය ගයාන්ට මළ මුත්‍රා පවා පිටවෙලා තිබුණා ඒ වෙද්දිත්.

“නෑ..නෑ…නෑ… මේක හීනයක් විතරයි… ඔව් මේක හීනයක් විතරයි… මට මේ හීනෙන් ඇහැරෙන්න ඕනෙ… මේක හීනයක් ඔව්… මං යන්න ඕනෙ මෙතනින්… මං යන්න ඕ……”

උමතුවෙන් වගේ විකාර කියව කියව හිටපු ගයාන් හදිස්සියෙ යමක් මතක් වෙලා වගේ කියවමින්ම එතනින් නැඟිටලා දුවන්න හැදුවා විතරයි……

“ආ…ග්..ග්..හ්….ග්..හ්……”

ගයාන්ගෙ ඔලුව පිටිපස්සෙන් බැහැපු උල් පිහිය ඔහුගෙ කටින් එලියට මතුවුනේ ජරාජීර්ණ පොලොව මතට ලේ විදිමින්.

********************************************************************

කමල් සූරියාරච්චිට අයත් ෆාම් හවුස් එක ඉස්සරහා වාහන හතර පහක්ම පාක් කරලා තිබුණා. පැත්තකින් ගිලන් රථයකුත්, පොලිස් වාහන දෙකකුත් නවත්තලා තිබුණා. කමල් සූරියාරච්චිට මේ සිද්ද වෙච්ච දේ අදහාගන්න බැරුව හිටියෙ. මොකද පළාතම හොල්ලන් හිටපු බලවත්ම ඇමතිවරයා තමයි ඔහු. ඒ වගේම ඔහුට සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි පාතාල කල්ලි පවා පුදුමාකාර බයක් දැක්වුවෙ ඔහු එතරම්ම දරුණු පුද්ගලයෙක් නිසා. එතරම් තත්ත්වයක් තියෙද්දිත් තමන්ගෙ දරුවව මරන්න තරම් හයියක් තිබ්බෙ කාටද කියලා හිතපු කමල් සූරියාරච්චි කෝපයෙන් වියරු වැටිලයි හිටියෙ.

“අයිසේ සාගර මේක කරපු එකාව තමුසෙ කොහොමහරි හොයාගන්න ඕනෙ… මට ඌව පණපිටින් ගෙනත් දෙනවා… මගේ මේ අත් දෙකෙන් ඌව වලපල්ලට යවන්න ඕනෙ යකෝ…” වේදනාවෙන් කෑගැසූ කමල් සූරියාරච්චි දත්මිටි කමින් අඩි පොලොවෙ හැප්පුවා.

“මේ මේ මිස්ටර් කමල් දඬුවම් දෙන එක අපි කරන්නම්… ඔයා කලබල වෙන්නෙපා… මේක කරපු එකා කවුරු උනත් අපි ඉක්මණින්ම ඌව අල්ලලා නීතිය ඉස්සරහට ගේනවා… අනික…”

“නීතිය ඉස්සරහට බැරිනම් පස්සට හරි කමක් නෑ ඌව එකටම අල්ලගනින් යකෝ… දැන් මිනිමැරුම් කීයක් උනාද කෝ තමුසෙලාගෙ මහලොකු පොලිසිය මෙච්චර දවසක් පොල් ගෑවද මිනිමරුවො අල්ලන්නැතුව…? මගෙ දරුවට මේ අපරාධෙ කරපු එකාව මට දවස් දෙකක් ඇතුලත හොයලා ගෙනත් දෙනවා නැත්තම් මං දන්නවා කරන්න ඕන දේ…” කමල්, සාගරගේ කතාව නවත්වමින් කෑගැහුවා.

ඔහුගේ කතාවෙන් මෙතෙක් වේලා ඉවසීමෙන් හිටපු සාගරගේ ඉවසීමේ රතු කට්ට පැන්නා. ඔහුගේ මූණ මෙන්ම ඇස් දෙකද රතු වෙනු දුටු උප ප්ලිස් පරීක්ශක ලසන්ත සාගරගේ ඉස්සරහට ආවා.

“සර් මෙතන කලබල ඇතිකරගන්න එක හරි නෑනෙ… මෑන් මෙතන වේදනාවෙන් ඉන්න නිසයි ඔහොම කියවන්නෙ… ප්ලීස් අපි එහාට ගිහින් අර වැඩ ටික කරමු සර්… ඕකා සර්පයා කියලා දන්නවනෙ…”

“සර්පයා නෙමෙයි මොකා උනත් මට වැඩක් නෑ ලසා… ඌ දෙන ප… ටෝක් මට අල්ලන්නෑ… මිනිමරුවො නීතිය ඉස්සරහට ගේන්න කලින් ඕකව මම ගේනවා නීතිය ඉස්සරහට… පාහර බල්ලා…”

“අපි කවුරුත් මේ වෙලාවෙ අසරණයි සර්… ඌට කොච්චර පවර්ස් තියෙනවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ… අපි බලන් ඉන්න ඕනෙ අවස්ථාවක් එනකල්… එතකල් කූල් එකේ ඉමු සර්…”

“මට එහෙම කූල් එකේ ඉඳලා පුරුද්දක් නෑ කියලා උඹ දන්නවනෙ… මට අද රෑම ඕකගෙ හැම පරණ ෆයිල් එකක්ම ඕනෙ… උඹට තේරුණානෙ…? කොහෙන් හරි හොයලා ගෙනත් දියන් ඕකගෙ පරණ ෆයිල් ඔක්කොම… විශේෂයෙන්ම අර පීටරයගෙ කේස් එක ඕනෙ… හෙට එලිය වැටෙන්න කලින් ඕනෙ තේරුණානෙ…?”

වෙන්නට යන්නේ නම් හොඳ දෙයක් නොවන බව උප පොලිස් පරීක්ශක ලසන්තට ඉවෙන් වගේ තේරුණා. කමල් – සාගර ගැටුම ඉවර වෙන්නේ ලොකු විනාශයකින් කියලා ඔහු දන්නවා. මොකද දෙන්නම කිසිම කෙනෙකුට පරදින්නෙ නැති දෙන්නෙක් නිසා.

“හරි සර් අපි එහෙම කරමු… දැන් යමු සර් මෙතනින්…”

ලසන්ත, සාගරවත් රැගෙන එතනින් යන අයුරු බලන් හිටපු කමල් සූරියාරච්චි තමන්ගෙ දකුණු අත වෙච්ච විල්සන්ව ගෙන්නුවා.

“අයිසේ විල්සන්… අර සාගරයා ගැන ඇහැ ගහන් හිටපන් අද ඉඳන්… මෑන් වැඩිය දැඟලුවොත් මගෙ අවසරයක් ඕනෙ නෑ ඌව ඉවරයක් කරලා දාපන් තේරුණාද…?”

එය අසා සිටි විල්සන් කට කොණකින් හිනාවුනා.

“එච්චරයි බොස් ඕනෙ…”

මේ අතර ෆාම් හවුස් එක බලාගන්න සිරිදාස නැමැත්තාගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් හිටියා. සිරිදාස හිටියෙ පපුවෙ අමාරුවක් හැදෙන තරම් බයකින්. මොකද වෙච්ච දේ, තමන් ඇස් දෙකටම දැකපු දේවල් නිසා ඔහ්ගෙ හිත ගැස්සිලා තිබ්බා. අනික මිනිමැරුමක් එකම සාක්ශිකාරයා වෙච්ච තමන්ව නිකන්ම සැකකාරයෙකුත් වෙනවා කියලා ඔහු දැනන් හිටියා. තව පැත්තකින් මැරුණෙ තමන්ගෙ හාම්පුතා වෙන කමල් සූරියාරච්චි ඇමතිගෙ පුතා නිසා හාම්පුතා තමන්ට කුමක් කරයිද කියලත් ඔහු බයවුනා.

“තමුන් අපිට තමුන් දන්න ඇත්ත ඔක්කොම කිව්වොත් තමුනුත් මේකෙන් ගැලවෙයි අපිට මිනිමරුවා අල්ලගන්නත් වැඩේ ලේසි වෙයි තේරුණානෙ… ඒ නිසා විකාර නොකියා දැකපු දේ හරියට කියනවා මනුස්සයො…” ප්‍රශ්න කරමින් සිටි පොලිස් නිළධාරියා සිරිදාසට තදින් අවවාද කලා.

“අනේ බුදු මහත්තයො මගෙ මේ ඇස් දෙක පල්ලා මගෙ දරු තුන්දෙනා පල්ලා මං මේ කියන්නෙ ඇත්ත මහත්තයො… පුංචි බේබි දවල් ෆාම් හවුස් එකට තනියම ආවෙ… ඊටපස්සෙ කවුදෝ ගෑනියෙකුත් ආවා… දෙන්නා එක්ක හවස් වෙනකල්ම ඉඳලා ඒ ගෑනි ගියාට පස්සෙ මට කියලා දඩමසුත් හදාගෙන අරක්කු බිව්වා… මං වත්ත පහල කෙහෙල් වගාවෙ වැඩක් කර කර ඉද්දි තමයි මට බේබි කෑගහනවා ඇහුණෙ… මං හිතුවෙ මොනාහරි ඕනවෙලා කෑගහනවා ඇති කියලයි… ඉතින් මං ඉක්මණට දිව්වා ගේ ඇතුලට… එතකොට තමා මං දැක්කෙ… අම්මෝ….” සිරිදාස වෙවුලලා ගියේ තමන් දැකපු දේ ආයෙ මතක් වෙලා. ඒ බිහිසුණු සිද්ධිය මතක් කරන්නවත් ඔහු කැමති උනේ නෑ.

“ඊටපස්සෙ මොකද උනේ…?”

එහෙම කියාගෙන එතෙන්ට ආවෙ සාගර ප්‍රනාන්දු. ඔහුව දැකපු සිරිදාස තවත් බයවුනා.

“සර්… මේ මිනිහා විකාර කියෝනවා කලින් ඉඳන්…..”

“ඉන්නවා අයිසේ හැමදේම අපිට වැදගත්… විකාරයක් උනත් කියන්න දෙනවා ඒකෙත් අපිට ගන්න දෙයක් ඉතුරු වෙනවා තේරුණාද…?” තරමක් තදින් කියපු සාගර සිරිදාස දිහා තියුණු බැල්මක් හෙලුවා. “හ්ම්ම් ඊටපස්සෙ වෙච්ච දේ කියනවා බයවෙන්නැතුව… මෙතන තමුන්ට කරදර කරන්න කවුරුවත් නෑ…”

“හරි බුදු මහත්තයො කියන්නම්…” දෙකට තුනට නැමිලා බයාදු විදිහට කියපු සිරිදාස අයෙම කතාව පටන් ගත්තා. “මං යනකොට පුංචි බේබි ඇස් දෙකත් වහගෙන මොනාදෝ කියලා කෑගහනවා… මුලින් මට ඒක තේරුණේ නෑ… මං ලඟට යද්දි එකපාරටම බේබි කෑගැහුවා මේක හීනයක් මේක හීනයක් විතරයි කියලා… එතකොටයි මට තේරුණේ පුංචි බේබි හීනයක් දැකලා හීනෙන් බයවෙලා කියලා… මං කොච්චර කතා කලත් එයා ඇහැරුනේ නෑ මහත්තයො… මං බයටම වතුර එකක් අරන් එන්න කුස්සියට දිව්වා… ඒක අරන් එනකොටම… පුංචි බේබි… අම්මෝ… පුංචි බේබි හිටපු තැනින් අඩි දෙකක් ඉස්සරහට තිබ්බා විතරයි හීනෙන්ද කොහෙද… කොහෙන්දෝ ඉඳලා ආපු පිහියක් බේබිගෙ ඔලුව පිටිපස්සෙන් ඇනිලා…. හම්මෝ….. මට නම් බෑ මහත්තයො මං එතනින් පැනලා එලියට ආවා… ඊටපස්සෙයි පොලිසියට කතා කලේ…. එච්චරයි මං දන්නෙ මහත්තයො අම්මා පල්ල….”

සිරිදාසගේ කතාවෙන් පොලිස් පරීක්ශක සාගරට යමක් ඉවෙන් මෙන් තේරුණා. ඒ, සිදුවූ හැම මිනිමැරුමකම සාක්ශි වල සඳහන් වූයේ, සාක්ශි දුන් හැමෝම කියා සිටියේ මරණයට පත්වූ හැමෝම මැරෙන්නට කලින් ‘මේක හීනයක් විතරයි’ ලෙස හීනෙන් කෑගසමින් සිටි බවයි. ඒ වගේම මැරුණු හැමෝම බයවෙන්නට ඇත්තේ එකම හීනෙකට විය හැකි බවත් ඔහුගේ තීක්ෂණ බුද්ධියට තේරුණා. ඒත් මේ දේවල් වල සංකීර්ණත්වයක් මෙන්ම අමුත්තකුත් තියෙන බව ඔහුට තේරුණා.

“මේ හැම මිනිමැරුමක්ම එකකට එකක් සම්බන්ධයි ලසා… බලපන් හැම දරුවෙක්ම මැරෙන්න කලින් නිදාගෙන ඉඳලා තියෙන්නෙ… ඒ වගේම හීනෙන් බයවෙලා… සාක්ශි වල හැටියට හීනෙන් තමයි දිවිනසාගෙන තියෙන්නෙ… ඒකත් හරිම අමුතුයි… අන්තිමට මැරුණු කොල්ලො දෙන්නගෙම අතේ ආයුධයක් තිබ්බෙ නෑ… කමල්ගෙ කොල්ලගෙ බෙල්ල පිටිපස්සට පිහියක් කොහෙදෝ ඉඳන් ඇවිත් තමා ඇනිලා තියෙන්නෙ අර වැඩකාරයා කියපු විදිහට… එතකොට මුල් දෙන්නා එකෙක් ගෑරුප්පුවෙන් අනිකා ගිරේකින් ඇනගෙන මැරුණා… ඒ වගේම ඔක්කොම උන් මැරෙන්න කලින් කෑගහලා තියෙන්නෙ මේක හීනයක් විතරයි කියලා කියලා… එක්කො හීනෙ ඇතුලෙ තමයි මිනිමරුවා ඉන්න ඕනෙ… නැත්තම් මේ කොල්ලන්ව මානසිකව කොහොමහරි වශීයකටවත් ගන්න ඕනෙ…”

මධ්‍යම රාත්‍රියේ තමන්ගෙ කාර්‍යාලයට වෙලා තමන්ගෙ සගයොත් එක්ක මිනිමැරුම් ගැන සාකච්ඡා කරන වෙලාවෙ සාගර කියූ දෙයින් ඔහුගේ සගයන්ද ඒ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. සිද්ධ වෙන දේ අමුතු දෙයක් උනත් මේක පිටිපස්සෙ ඉන්න මිනිමරුවව කොහොමහරි අල්ලගන්නවා කියන අධිෂ්ඨානෙ සාගරගෙ හිතේ තදින්ම ඇඳිලා තිබ්බා.

“සර් මට මෙහෙමත් හිතෙනවා… ඔය ඔක්කොම මැරුණ ළමයින්ගෙ අම්මලා තාත්තලා ඉස්සර ඉඳලම යාලුවොනෙ… අනික ඔක්කොම අය බිස්නස් පවා කරන්නෙ එකට… ඒ කාලෙ ඔය කට්ටියගෙ අතින් වෙච්ච දේවල් කාට කාටත් මතක ඇතිනෙ… ඉතින් එහෙම අසාධාරණයක් වෙච්ච කෙනෙක් හරි ඒ පවුලක කෙනෙක් හරි මේ මිනිස්සුන්ගෙන් පලිගන්නවා වෙන්න බැරිද…? සමහරවිට අර ඒ කාලෙ හිටියෙ ඥානපාල වෙදමහත්තයා මන්තර ගුරුකම් එහෙම කලේ… මේ වෙන දේත් එක්ක මට හිතෙනවා එයාගෙ කවුරුහරිවත්ද මේවා මන්තර ගුරුකම් යොදාගෙන කරන්නෙ කියලා…” තරමක් වයස්ගත නිළධාරියෙක් වූ මහින්ද කිව්වා.

“මොන මන්තර ගුරුකම්ද බං මහින්ද අයියෙ…? ඕවා කරලා මරපු එක මිනිමැරුමක් කියපන් බලන්න… විකාර….”

“හා..හා..හා… මහින්ද අයියත් කියන කතා අම්මපා…”

හැමෝම හිනාවුනත් සාගර හිනාවුනේ නෑ කියලා මහින්ද දැක්කා. කොහොමත් සාගර දෙයක් ගැන හොඳට හිතන කෙනෙක් නිසා මහින්ද බලන් හිටියෙ සාගර ඊලඟට මොනවා හරි කියනකල්.

“මේක හිනාවට කාරණයක් නෙමෙයි… මහින්ද අයියා කියපු එකෙත් ඇත්තක් තියෙන්න පුලුවන්… අයිසේ මොහාන්… මට කමල් ඇතුලු අනිත් හැමෝගෙම නම් ගෑවිලා තියෙන හැම කේස් එකක්ම තියෙන ෆයිල්ස් හෙට වෙද්දි ලෑස්ති කරලා තියන්න ඕනෙ තේරුණාද…? මහින්ද අයියා දුන්නු ලීඩ් එකත් හොඳයි කියලා මට හිතෙනවා… මන්තර ගුරුකම් කොහොම වෙතත් අපිට දැනගන්න ඕනෙ අසාධාරණකම් වෙච්ච පවුල් වල කවුරු හරි මේවට සම්බන්ධද කියලා…”

“හරි සර් මං ඒක ලෑස්ති කරන්නම්… සර් දැන් යන්නද හදන්නෙ…?”

“ඔව් අයිසේ මට අද හරිම මහන්සියි… ලසා තව එකක්…” යන්නට ගිය ගමන නවතා සාගර, ලසන්ත දෙස බැලුවා. “අර කමල්ගෙ දකුණු අත වගේ ඉන්න හෙංචයියෙක් ඉන්නෙ විල්සන් කියන එකා… අන්න ඌව මොකක් හරි කේස් එකකට පටලවලා ඇතුලට දාපන් අද හෙටම… ඊටපස්සෙ මං දන්නවා උගෙන් වැඩ ගන්න ඕන විදිහ…”

කාරණය වැටහුණු ලසන්ත හිස දෙපසට වනා එය ස්ථිර කලා. ඒත් සමඟම සාගරගේ ජංගම දුරකථනය නාද වෙන්නට පටන් ගත්තෙ දුරකථන ඇමතුමක් බව හඟවමින්.

“හෙලෝ…?”

“ස…ර්…. විජයසිරි ඉස්කෝලෙ මහත්තයගෙ දුවව කවුරුහරි මරලා දාලා….”

*******************************************************************

තවත් කොටසක් සමඟින් හමුවෙමු මිතුරේ

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.