Katha Ahura

මාරයා | 09 කොටස || හොල්මන් කතා ||

කතාව කොහොමද?

? මාරයා ?

#09 කොටස

සඳරූගෙ අවමංගල්‍ය කටයුතු ඉවර වුනේ සමීරව පිස්සෙක් කරලා. සමීර සඳරූට කොච්චර ආදරේ කරලද කියන එක ඔහුගෙ යාලුවන්ට වගේම පවුලෙ අයටත් හිතවත් අයටත් හොඳට දැනගන්න ලැබුණෙ මළ ගෙදරදි සමීර හැසිරුණු විදිහෙන්. සැරින් සැරේ හඬපු ඔහු වෙලාවකට උමතුවෙන් වගේ මොනවදෝ කියෙව්වා. තව වෙලාවකට සඳරූ ලඟ ඉන්නවා හිතාගෙන වගේ කතා කලා, හුරතල් කලා. මේක බලන් ඉන්නම බැරි තැන සමීරගෙ තාත්තා සමීරව ඩොක්ටර් කෙනෙක් ලඟටත් එක්කගෙන යන්න ලෑස්ති වුනා.

“පීටර්… ඌ තමා මගෙ කෙල්ලව මැරුවෙ… ඔව් ඌ තමා මගෙ අහිංසකීව මරලා දැම්මෙ… හීනෙන් ඇවිත් මගෙ අහිංසක කෙල්ලව බය කරලා හුඟක් වද දෙන්න ඇති ඕකා… පීටර්… උඹව මං ඉවරයක් කරනවා ඔව්….”

අවමංගල්‍ය කටයුතු ඉවර වෙලා සතියක් ගත වෙලා තියෙද්දි දවසක් සමීර ගෙදර ඉද්දි එකපාරටම කියපු දෙ‍යින් ඔහුත් එක්කම සාලෙ හිටපු ඔහුගෙ තාත්තගෙ හිත ගැස්සිලා ගියා. වාඩිවෙලා හිටපු පුටුවෙන් වේගෙන් නැගිටපු සමීර කෙලින්ම ගියේ කුස්සියට. පිහි රඳවනයෙන් තරමක් දිග උල් පිහියක් ගත්තු සමීර සාලය හරහා ගිහින් උඩ තට්ටුවෙ තමන්ගෙ කාමරේට යන්න පඩිපෙල නඟින්න හදනකොටම සමීරගෙ තාත්තා ඔහුව අල්ලගත්තා.

“පුතා… මොකද මේ කොහෙද පිහියකුත් අරන් යන්නෙ…?”

කන්න වගේ ටික වෙලාවක් තාත්තා දිහා බලන් හිටපු සමීර හයියෙන් හිනාවුනා.

“තමුසෙලා එකතුවෙලා මරලා දාපු පීටර් එනවනෙ හීන වලට… ඌව අද මං මරන්නයි මේ යන්න හදන්නෙ… අතාරිනවා ඒ නිසා මාව…”

සමීර කියපු දේට හිත හොඳටම ගැස්සුණත් ඔහුගෙ පියා ඒක පිටට පෙන්නුවෙ නෑ.

“මොනාද පුතා මේ කියවන විකාර ආ…? මොන පීටරයෙක් ගැනද ඔයා ඔය කියවන්නෙ…?” කෝ මෙන්න මෙහාට දෙන්න ඔය පිහිය…”

පියා සමීරගෙ අතේ තිබ්බ පිහිය උදුරගන්න හැදුවත් ඔහු එය වැලකුවා. ඊලඟට ඔහුගෙ මූණෙ තිබ්බෙ පියාව සලිත කරන ආකාරයේ බැල්මක්.

“විකාර…? හහ් විකාර නේ…? මට ඇත්තම කියපන් තාත්තෙ… උඹලා කරපු වැරදි වලට අපියි යකෝ විඳවන්නෙ…? තොපි පාඩුවෙ හිටපු එකෙක්ව මරලා දැම්මට අපි පලිද යකෝ ඌ අපෙන් පලිගන්න තරම් ආ…? ඇත්තම කියපන් අද මට…” හයියෙන් කෑගහපු සමීර තමන්ගෙ පියා දිහාවට පිහිය දික් කලා.

“සමීර ඕක නවත්තපන් දැන්… උඹ ඔය කියන්නෙ මොනාද කියලා මං දන්නෙ නෑ… මං කිසිම මිනිහෙක් මරලත් නෑ… ම….”

“කටවහගෙන පලයන් අර පුටුවට… හ්ම් පලයන් ඉතින්….” පියාගෙ බෙල්ලෙන් අල්ලලා පිටිපස්සට තල්ලු කරපු සමීර තර්ජනය කලේ පිහිය උරුක් කරමින්.

“පුතා මං කියනදේ අහපන්….”

“පලයන් යකෝ මගෙන් මැරුම් නොකා… මට තවත් මගෙ යාලුවො මැරෙනවා බලන් ඉන්න බෑ… තොපි ඒ කාලෙ කරපුවට අපි මොකටද යකෝ තවත් විඳවන්නෙ…? පලයන් අතනින් වාඩි වෙයන් ගිහින්… අන්න හරි ඔහොම වාඩිවෙලා මට කියපන් ඇත්ත මොකක්ද කියලා…”

සමීරගේ දරුණු තර්ජනය හමුවේ බියවුනු ඔහුගේ පියා කිසිත් නොකියම ගිහින් පුටුවෙ වාඩිවුනා. සමීර මේ අහන්නේ අතීතයේ තමන් අමතක කරන්නට දඟලන ඉතාමත්ම අමිහිරි අත්දැකීමක් බව ඔහු දැනන් හිටියා. නමුත් ඒ දෙය මේ සිදුවන මරණ වලට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ඔහුට සිතාගත නොහැකි වුනා.

“උඹ හිතන දේ හරි තාත්තෙ… මේවල සම්බන්ධයක් තියෙනවා… පීටර් ගන්නෙ ලේ වල පලිය… උඹලා උගෙ දරුවව මරලා දැම්මා… දැන් ඌ උඹලගෙ දරුවො වෙච්ච අපිව මරලා දානවා… මේකට වගකියන්න ඕනෙ උඹලා…” සමීර වියරුවෙන් වගේ කෑගැහුවා.

“නෑ පුතා ඔයා හිතන් ඉන්න විදිහ වැරදියි… මං කියන දේ අහන්න… පීටර් ගැන….” ඒත් ඔහුට කතාව ඉවර කරන්න ලැබුණෙ නෑ. වේගෙන් ආපු පිහි පාරක් ඔහු හිටපු කුශන් සැටිය ඉරාගෙන කිඳා බැස්සෙ ඔහුගෙ වම් කකුල ලඟින්ම.

“ඊලඟ පිහිපාර එන්නෙ උඹේ කකුලට… ඒ නිසා අනවශ්‍ය කතන්දර නැතුව මට ඇත්තම කියපන්…” නැවතත් පිහිය අතට ගත් සමීර එය උරුක් කරමින් කියද්දි සමීරගෙ තාත්තට ඇත්තටම බය හිතුනා.

“හරි මං කියන්නම් එහෙනම්… මේකයි පුතා… මේ දේ මං මතක් කරන්න කැමති නෑ… මොකද මේ සිද්ධිය උන දවසෙ තමයි….”

“මගෙ අම්මා මැරුණෙ ඔව් ඒක මං දන්නවා… පීටර්ගෙ වෙඩි උණ්ඩෙන් තමුන්ව බේරගන්න මගෙ අම්මා එයාගෙ පණ දුන්නෙ එදානෙ… දැන් කියනවා මං නොදන්න කතාව…”

සමීර කියපු දෙයින් පියා පුදුමයට පත් වුණත් ඔහු දිගටම කතාව කරගෙන යන්න හිතුවා.

“හොඳයි පීටර් කියන්නෙ නිකන්ම නිකන් මිනිහෙක් නෙමෙයි… ලංකාවෙ අංක එකේ මිනීමරුවෙක්… කුලියට මිනී මරන එකෙක්… නොම්මර එකේ දක්ශම වෙඩික්කාරයෙක්… මං හිතන්නෙ මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති එච්චර දරුණු හිතක් තිබ්බ එකෙක්… වයස අවුරුදු අටේදි තමන්ගෙ අම්මව මැරුවා වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා කියලා… තාත්තව වස දීලා මැරුවා බේබදුකම ඉවරයක් නැති නිසා… ඊටපස්සෙ හැදුණෙ පුනරුත්ථාපන කඳවුරක…ඒකෙනුත් පැනලා ඇවිත් සමාජෙ වැරදි කරන ලොකු ලොකු සල්ලිකාරයො කීපදෙනෙක්වම මරලත් දැම්මා… අන්තිමට ඒ කාලෙ ලොකු සල්ලිකාරයෙක් වෙලා හිටපු කමල් සූරියාරච්චිගෙ නංගි නිර්මලාව හම්බුනාට පස්සෙ තමා මිනිහගෙ මිනිමැරුම් නතර උනේ… මොකද කමල්ව මරන්න හිටපු එක නතර කලේ එයාගෙ නංගි නිසා… ඒත් කමල් සූරියාරච්චි කියන්නෙ කවුද කියලා පුතා දන්නවනෙ… නංගිව දෙන්නම් කියලා පීටර්ට කියලා තමන්ගෙ බිස්නස් එකේ හතුරන්ව, තරඟකාරයන්ව සමහරුන්ව මරලා දැම්මා.. තවත් සමහරු අතුරුදහන් වෙලා ගියා… පීටර් මේ හැමදේම කලේ නිර්මලාට හොරෙන්… ඒ කාලෙ අපිට ඔයාව ලැබුණ කාලෙ… නිර්මලා හැමදේම දැනගත්තට පස්සෙ පීටර් තමන්ගෙ වැරදි සේරම නවත්තලා දැම්මා… ඒකෙන් උනේ කමල් නයා වගේ උන එක… ඒත් පීටර්ට ඇති බය නිසාත් කමල් පීටර්ට විරුද්ධව මොකුත් කරන්න ගියෙ නෑ… අන්තිමට ගෙදරින් අකමැති බව දන්න නිසාම නිර්මලා පීටර් එක්ක පැනලා ගියා… දරුවා හම්බෙන්න යද්දි නිර්මලා මැරුණ නිසා කමල් වියරු වැටිලා පීටර් හිටපු ගෙදරින් පවා එලවලා දැම්මා… ඒත් අවුරුදු තුනක් විතර යනකල්ම කමල් කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම කලා… ඒ ඔක්කොම වැටුනෙ පීටර්ගෙ එකවුන්ට් එකට… අපි ඒ දේවල් දැනගත්තෙ පස්සෙ… අපිත් ඒ කාලෙ විශ්වාස කලේ කමල්ව… මොකද මිනිහා අපිත් එක්ක පොඩි කාලෙ ඉඳන් යාලුවො…”

“මට ඕවා වැඩක් නෑ යකෝ… කියපන් ඌව මරන්න කියලා උඹලා අර ෆැක්ට්‍රියට ගිය හේතුව…”

“සම්පූර්ණ කතාවම අහගනින් සමීර… කමල් අන්තිමට කලේ දේවකගෙ ලොකු කෙල්ලව රේප් කරපු එක… මිනිහා ඒක කලේ අද මිනිහගෙ දකුණු අත වගේ ඉන්න විල්සන්ව දම්මලයි… ඒත් දේවකව කමල් රවට්ටලා තිබ්බා ඒක කලේ පීටර් කියලා… ඒ විතරක් නෙමෙයි අපිවත් රැවැට්ටුවා… අපි පීටර්ව හැමතැනකම හෙව්වා ඒත් හම්බුනේ නෑ… ඒකෙන් අපේ වෛරය වැඩි උන එකයි උනේ… ඊටපස්සෙ කමල් කලේ තමන්ගෙම ගෑනිව විල්සන් දම්මලා රේප් කරවපු එක… ඒකෙදි විල්සන් එක්ක පොරබදද්දි කමල්ගෙ වයිෆ් නැති උනා… ඒකෙන් උනේ අපි හැමෝටම යක්ශයා ආවේස වෙච්ච එක…එදා හවස පීටර් ඉන්නෙ කොහෙද කියලා හොයාගත්තු අපි ඒ ෆැක්ට්‍රියට ගිහින්….”

“ඉතුරු ටික මං දන්නවා යකෝ… උඹලා ඒ වගේ මෝඩ රැලක් හින්දා තමයි අද මෙහෙම උඹලගෙ දරුවො වෙච්ච අපි මැරිලා යන්නෙ… බලපන් අර අහිංසක කෙල්ලට වෙච්ච දේ… ෂිට්… උඹලත් මිනිස්සුද කියපල්ලා… මගෙ අම්මත් එදා උඹ වගේ පවුකාරයෙක් වෙනුවෙන් පණ දුන්නනෙ… උඹලත් මිනිස්සුද යකෝ….??”

දෑතින්ම මුහුණ වසාගත් සමීර අඬන්න පටන් ගත්තෙ සඳරූව මතක් වෙලා.

“නෑ….. මං මනුස්සයෙක් නෙමෙයි….”

සමීරගෙ ඉස්සරහින් ආපු ගොරහැඬි කටහඬ…..

“පීටර්… උඹ….???”

ඔලුව උස්සලා බලපු සමීර දැක්කෙ තමන් ඉස්සරහා දත් විලිස්සන් හිනාවෙලා ඉන්න පීටර්ව. සමීරගෙ ලේ රත් වේගෙන එනවා දැනුනෙ හිතට ආපු වෛරය, තරහව ඔක්කොම එකට එකතු වෙද්දි. දත්මිටි කාපු සමීර කෑගහගෙන පීටර් ලඟට පැන්නෙ අතේ තිබ්බ පිහියත් අරගෙනමයි.

“තෝ මගෙ කෙල්ලව මගෙන් උදුරගත්තා කැරි වේ… බල්ලා… තෝව මං අද ඉතුරු කරන්නෑ…”

පිස්සුවෙන් වගේ කෑගහපු සමීර අතේ තිබ්බ උල් පිහියෙන් පීටර්ගෙ ශරීරයේ තැන් කීපයකටම පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියේ වෛරයෙන් වියරු වැටිලා.

“එපා….ග්..හ්…ග්…හ්….”

මහත් හඬින් විලාප තැබූ සමීරගේ පියාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ලේ විලක් මතට ඇද වැටුණා.

********************************************************************

“ඒයි මචී මොකද බං උඹ කොයි ලෝකෙද ඉන්නෙ..?”

පිට හරහා වැදුණු පාර නිසා උඩ ගිහින් පියවි සිහියට ආපු මල්මි තමන්ගෙ සහයක වගේම යාලුවා වෙච්ච සාරංගි දිහා බැලුවා.

“ඇ..ඇයි බං මොකක්ද අවුල…?”

“මං දැන් උඹට සෑහෙන වෙලා ඉඳන් කතා කරනවා කතා කරනවා උඹට නෙමෙයි ඇහුණෙ…හි.හි… මොකෝ කෙල්ලෙ ආයෙත් අරයව මතක් උනාද…? ඉවසන්ිඳපන් බං එයා ඉන්න තැනක ඉඳලා උඹ දිහා ආදරෙන් බලන් ඇති…” තමන්ගෙ මිතුරියව තේරුම්ගත්තු සාරංගි කිව්වා.

“හ්ම්ම්ම් අනේ මංදා සාරා… මෙහෙම හරි ඇවිත් වැඩ කරන නිසයි මට ඒ දේවල් ටිකකට හරි අමතක වෙන්නෙ… ගෙදරම හිටියනම් මට පිස්සු හැදෙයි…” ඇස් වලට කඳුලු උනද්දි කවීන්ව සිහි කරපු මල්මි කිව්වා.

“හරි හරි දැන් ඔය කඳුලු පිහාගනින්… යමන් අන්න අරහෙ මැනා උඹව හොයනවා… මං ඒකයි උඹට කතා කලේ ඇවිත්…” සාරංගි එහෙම කියලා මල්මිගෙ ඔලුව අතගෑවා.

“උගෙනුත් මල වදේ බං… මේ කරදර අස්සෙ උගෙ මනමාලකම් වල කරදර ඉවසන්නත් ඕනෙ ෂිට්…”

බැන බැනම මල්මි ගියේ තමන් සේවය කරන සුපිරි වෙළෙඳසැලේ මැනේජර්ව හම්බවෙන්න. එතන පැය භාගයක් තිස්සෙම මල්මිව ලඟ තියාගත්තු මැනේජර් බොරු වැඩ වගයක් මල්මිට පැවරුවා.

“මොකද බං මේ මූණ නිකන් ගල්‍ රෝලට අහුවෙච්ච පොල් ලෙල්ල වගේ… මැනා මොකෝ අදත් අවුල්ද…?”

“ඌ මං මේකට ආපු දවසෙ ඉඳන් අවුල්නෙ බං… නොදකින් නාකි කුකුලා… මේ මං යනව බං කෑම පැත්තට… උඹ මේ ටික බලපන්කො….”

මල්මි ආවේ කෑම වර්ග අසුරා තිබෙන රාක්ක ඇති පෙදෙසට. එතන හිටපු කස්ටර්මර්ස්ලා දෙන්නෙක්ට උදව් කරපු මල්මි අපිලිවෙලට තිබ්බ රාක්ක පිලිවෙලට අස් කලා. ඒ අතරෙ එක රාක්කයක තිබුණ නියුටෙලා චොකලට් බෝතල් දැකපු මල්මිට හීල්ලුනා. ඒ, කවීන්ව මතක් උන නිසයි. තමන්ගෙ නියුටෙලා වලට ඇති පෙරේතකම නිසාම කවීන් ඒ දවස්වල මාසෙකට බෝතල් තුනක්වත් ඇයට අරන් දෙනවා. අතීතය මතක් වීමෙන් මල්මිගෙ ඇස් වලට කඳුලු පිරුණා. රාක්ක අතරින් මුල්ලකට ගිය ඇය එතන තිබ්බ පුංචි බංකුව අරන් ඒකෙ වාඩිවෙලා කාටත් හොරා අඬන්න ගත්තා.

“ස්..ෂ්….ස්…ෂ්….”

බර යමක් බිම දිගේ ඇදගෙන යන සද්ද‍යක් ලඟින්ම ඇහුණු නිසා කලබල වෙච්ච මල්මි හිටපු තැනින් නැගිටලා ආවා. එතකොට ඇය දැක්කෙ ඇයව පහු කරලා මොකක්දෝ බර මල්ලක් බිම දිගේ ඇදගෙන යන කෙනෙක්ව.

“එක්ස්කියුස් මී… මේ මල්ල කොහෙටද ගෙනියන්නෙ… මොනාද මේකෙ තියෙන්නෙ…?”

ඒත් එක්කම නැවතුණු පුද්ගලයා ලාවට වගේ ඔලුව විතරක් හරවලා බලලා ආයෙම අර මල්ල බිම දිගේ ඇදන් යන්න පටන් ගත්තා.

“එක්ස්කියුස් මී ඔයා කවුද ඇයි මේ මල්ලක් ඇතුලට අරන් යන්නෙ..? මොනාද මේකෙ තියෙන්නෙ…?” මල්මි නැවතත් ඇහුවෙ මෙසේ අවසරයක් නොමැතිව භාණ්ඩ ඇතුලට ගෙනයාම තහනම් නිසා.

එතකොටම අර මල්ල එකපාරටම හෙල්ලෙන්න ගත්තා. ඊටපස්සෙ ඒකෙ කටෙන් එලියට මතුවුනේ….

“ම..ල්…මි….”

“කවී…න්…!! ඔයා….???”

**********************************************************************
?SanjaaN?

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.