Katha Ahura

රස කතා අහුර – හතරවන කොටස

කතාව කොහොමද?

අනාගතේදී වෙන දේ

වන රක්‌ෂිතයේදී දැවැන්ත අලියකුට වඳුරෙක්‌ හමුවිය. මෙම අලියා බෙහෙවින්ම ආඩම්බරකාර කිසිවකු ගණන් නොගන්නා නොහික්‌මුණු එකෙකි. ඒ හේතුව නිසාම අලි රැළෙන්ද ඌ පිටමං කෙරින.

“ආෘ අඟුටුමිට්‌ටා, බලාපන් මං කොච්චර ලොකුද? වැදගත්ද? කියල. නුඹ කොච්චර පොඩිද? නොවැදගත්ද? බොරුද මං කියන්නේ, යි අලියා වඳුරාට සමච්චල් කළේය.

“ගණන් ගන්න දෙයක්‌ නෑ ඕයිෘ අනාගතේ දවසකදී මං මිනිහෙක්‌ වෙනවා. තමුසේ එතකොටත් අලියමනේ. ඒකයි ලෝකේ චාරේ”යි වඳුරා ඇඟට පතට නොදැනීම කියා දැම්මේය.

හොඳට හිතීමේ බෙහෙතක්‌

වඳුරෙකුට වරක්‌ ඇසේ දමන කණ්‌ණාඩි කුට්‌ටමක්‌ හමුවිය. උගේ මතකයට අනුව එය මිනිසුන් කන් දෙකේ රඳවා ගන්නා බව සිහිපත් කළේය. ඌද එය කන් දෙකේ රුවාගෙන කණ්‌ණාඩි දෙක නලලත රඳවා ගත්තේය. එතැනින් යන්නට ගොස්‌ මේ විපරිතය දැක්‌ක නරියෙක්‌, උඩ පැන පැන සිනාසෙන්නට විය.

“මොකද තමුසෙ හිනාවෙන්නේ”යි වඳුරා ඇසීය.

“කණ්‌ණඩි දාන්නෙ ඇස්‌ දෙකට. වැඩිය හොඳට පේන්න. තමුසෙ ඒක දාගෙන ඉන්නෙ නලලෙනෙ. හිනා නොවී ඉන්න පුළුවන්ද?”

“මං ඒක නලලට දාගෙන ඉන්නෙ වැඩිය හොඳට හිතන්න පුළුවන් වෙන්න”,යි වඳුරා පිළිතුරු දුන්නේය.

ලේසිම දේ

“අනේ ඩාර්ලිං, මට පාටි එකට ඇඳගෙන යන්න ඇඳුමක්‌ නෑනෙ”යි බිරිඳ සැමියාට තමාගේ අඳෝනාව කියා පෑවාය.

“ඇයි කෙල්ලෙ, අල්මාරි පුරාම පිරිලා තියෙන්නෙ ඔයාගෙ ඇඳුම් වලින්නෙ”යි සැමියා පුදුමවී කීවේය.

“ඇත්ත තමයි, ඒත් මගේ යාළුවො ඒවා ඔක්‌කොම දැකල තියනවානෙ. ඒක හින්දා අලුත්ම මෝස්‌තරයක, අලුත්ම එකක්‌ එපාය මෙදා පාටියට අඳින්න.”

සැමියා මඳක්‌ කල්පනාවේ යෙදී සිට මෙසේ පිළිතුරු දුන්නේය.

“මං හිතන්නෙ වඩාත්ම ලේසිදේ ඔයා අලුත් යාළුවන් පිරිසක්‌ ඇතිකර ගැනීමයි.”

එහෙමත් කරනවද?

“හැම තිස්‌සෙම මං අහන ප්‍රශ්නවලට තමුසෙ මොකද ප්‍රශ්න වලින්ම උත්තර දෙන්නෙ” ප්‍රධාන ලිපිකරුවා, කාර්යාල කාර්ය සහායකගෙන් ප්‍රශ්න කළේය.

“මං එහෙම කරනවද? සර්ෘ” කාර්යාල කාර්ය සහායකගේ පිළිතුර විය.

උපන් දිනයට තෑග්ගක්‌

සැමියාගේ උපන් දිනයට ඔහුට දිය හැක්‌කේ කුමක්‌දැයි දස අතේ කල්පනා කළ බිරිඳ අවසානයේදී “ටයි පටයක්‌” මිලදී ගත්තාය. උපන් දින උදයේ සුබ පතමින් ඈ එය ඔහුට තෑගි කළාය.

“ඔයා මේකට කැමැතිද? මේකට වඩාත්ම ගැලපෙන්නේ මොකක්‌ද?”යි ඇය ඇසුවේ සැමියාගේ කර වටා එය පළඳවා හැඩ බලමිනි.

“දිගම දිග යටි රැවුලක්‌” යයි සැමියාගේ ක්‍ෂණික පිළිතුර විය.

ආරියපාල මුදලිගෙ

දෝෂය දන්නෙ මමන!

වෛද්‍යවරයෙක්‌ සහ මෝටර් රථ කාර්මික ශිල්පියෙක්‌ මහල් නිවාස පෙළක වාසය කළහ. දිනක්‌ මෝටර් රථ කාර්මික ශිල්පියා රෝගාතුර විය. ඔහු වෛද්‍යවරයා හමුවීමට ගියේය.

රෝගියා පරීක්‍ෂා කර බෙහෙත් ලබා දුන් වෛද්‍යවරයා රු. 500 ක්‌ වූ සිය බිල ඉදිරිපත් කළේය.

“රුපියල් 500 ක්‌…… මේ පොඩි ලෙඩේට?” මෝටර් රථ කාර්මික ශිල්පියා විමතියෙන් මෙන් වෛද්‍යවරයාගෙන් ඇසුවේය.

“ලෙඩේ පොඩි වුණාට ඒක හරි හැටි අඳුර ගත්තෙ මමනෙ.” වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.

ඉන් සතියකට පමණ පසු වෛද්‍යවරයාගේ මෝටර් රථයේ කිසියම් දෝෂයක්‌ හට ගත්තේය.

ඔහු හනික මෝටර් රථ කාර්මිකයා හමුවට ගියේය.

මෝටර් රථයේ දෝෂය පරීක්‍ෂා කර බැලූ කාර්මිකයා එය නිසි පරිදි සකස්‌ කර සිය ගාස්‌තුව වශයෙන් රුපියල් 750 ක්‌ අවශ්‍ය බැව් කියා සිටියේය.

විමතියට පත් වෛද්‍යවරයා ඔහුගෙන් මෙසේ ඇසුවේය. “පොඩි නට්‌ එකක්‌ දාන්න ඔච්චර ගාස්‌තුවක්‌.”

“නට්‌ එක පොඩි වුණාට ඒක නිවැරදිව සවි කරන තැන දන්නෙ මමනෙ.” මෝටර් රථ කාර්මිකයා ඇඟට පතට නොදැනී කියාගෙන ගියේය.

රෑට වතුර පුරවනවා!

මහමඟ ගමන් කරමින් සිටියදී එක්‌තරා මෝටර් රථයක්‌ මඩ වළක එරී ගියේය.

උදැල්ලක්‌ ද කර තබා ගත් ගොවියෙක්‌ එතැනට පැමිණ මෝටර් රථය මඩවළෙන් ගොඩට ගැනීමට උපකාර කළේය. ඒ සඳහා ගාස්‌තුව වශයෙන් රුපියල් 100 ක්‌ අවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.

“මං මේ අද ගොඩ ගත්තු දහවැනි කාර් එක.” ගොවියා මහත් ආඩම්බර ලීලාවකින් එසේ පැවසීය.

“එතකොට ඔහේ ගොවිතැන් වැඩ කරන්නෙ රෑටද?” මෝටර් රථ හිමියා ඔහුගෙන් ඇසුවේය.

“නෑ…. ගොවිතැන් කරන්ඩ වෙලාවක්‌ කෝ.? මම රෑට මඩ වළ වතුරෙන් පුරවනවා.” ගොවියා පිළිතුරු දුන්නේය.

ඇඟට අත තියන්න එපා!

මිතුරන් තිදෙනකු බෝට්‌ටුවක නැගී විලක මාළු බාමින් සිටියහ.

හිටි හැටියේ ඔවුන්ගේ බෝට්‌ටුව තුළින් ලස්‌සන සුරංගනාවියක්‌ මතු විය.

“ඔබට වුවමනා ඕනෑම දෙයක්‌ මට ලබා දෙන්න පුළුවන්” සුරංගනාවිය ප්‍රකාශ කළාය.

“මගෙ මේ කොන්දෙ අමාරුවක්‌ තියෙනවා. මම හරිම දුකක්‌ විඳින්නේ. මට ඒක සනිප කරලා දෙන්න.” පළමුවැනි මිතුරා ඉල්ලා සිටියේය.

සුරංගනාවිය ඔහුගේ පිට අතගෑවාය. මොහොතකින් ඔහුට පූර්ණ සුවය ලැබිණි.

“මගෙ ඇස්‌ පෙනීම ටිකක්‌ දුර්වලයි. මට ඒක සනීප කරල දෙන්න.” දෙවැනි මිතුරා සිය ඉල්ලීම ඉදිරිපත් කළේය.

සුරංගනාවිය කිසියම් වදනක්‌ පවසමින් ඔහුගේ දෑස්‌ ස්‌පර්ශ කළා පමණි. ඔහුගේ ඇස්‌ පෙනීම යථා තත්ත්වයට පත් විය.

“දැන් තමා මගෙන් බලාපොරොත්තු වන උදව්ව මොකක්‌ද?” මෙසේ ඇසූ සුරංගනාවිය තුන්වැනි මිතුරාගේ පිටට තට්‌ටු කිරිමට සැරසුණා පමණි.

“හා……. හා…….. මගෙ ඇඟට අත තියන්න එපා. මම ආබාධිත දීමනාව මාසිකව ලබන කෙනෙක්‌.”

එසේ පැවසූ ඔහු බෝට්‌ටුවෙන් පිටතට පැන්නේය.

නෑ බලූ පැටියෙක්‌!

එය ටියුෂන් පංති ගුරුවරයකුගේ උපන් දිනය විය.

නගරයේ මල් ශාලාවේ හිමිකරුගේ දියණිය ඔහුට ලස්‌සන මල් කළඹක්‌ දී සුබ පැතුවය.

රස කැවිලි වෙළෙඳසලේ හිමිකරුගේ පුතා ඔහුට රසකැවිලි පාර්සලයක්‌ තෑගි කළේය.

මේ අතර මත්පැන් හලේ හිමිකරුගේ පුතා ඔහු වෙත තරමක්‌ ලොකු පෙට්‌ටියක්‌ රැගෙන ආවේය.

මත්පැනට මහත් ලොල් බවක්‌ දැක්‌වූ ඔහු පෙට්‌ටිය අතට ගෙන ඔසවා බැලුවේය. එවිට පෙට්‌ටියේ අඩියෙන් කිසියම් දියරයක්‌ කාන්දු වන අයුරු ඔහු දුටුවේය. ඔහු හනික සිය ඇඟිල්ලෙන් දියර බිඳුවක්‌ ගෙන තොලගා බැලුවේය.

“වයින්ද?”

“නැහැ”

“විස්‌කිද?”

“නැහැ”

“එහෙනම් මොනවද මේකෙ තියෙන්නේ? ටියුෂන් මාස්‌ටර් වේගවත් ස්‌වරයෙන් ඇසුවේය.

“බලු පැටියෙක්‌ සර්” සිසුවා පිළිතුරු දුන්නේය.

සිගරැට්‌ කොට!

මිනිසෙකු රාත්‍රි දුම්රිය පැමිණෙනතුරු මඟZS කාමරයෙහි රැදී සිටියේය.

“මේකෙ සිගරැට්‌ බොන්න පුළුවන් කාමරයක්‌ද?” ඔහු එහි සිටි සේවකයකුගෙන් විමසුවේය.

“බැහැ මේ කාමරයේ සිගරැට්‌ බොන්න බැහැ..”

සේවකයා පිළිතුරු දුන්නේය.

“එහෙනම් මේ කාමරයේ මේ තරම් සිගරැට්‌ කොට ගොඩක්‌ තියෙන්නේ.” මඟියා ඇසුවේය.

“ඒ ඔය ප්‍රශ්නෙ අහපු නැති අය දාපු සිගරැට්‌ කොට…..” සේවකයා පිළිතුරු දුන්නේය.

ඒක තමයි තියා ගත්තෞ

වසර ගණනාවක්‌ තිස්‌සේ අඩු වැටුපකට සේවය කළ අයෙකු සිය වැටුප වැඩි කරන ලෙස ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමෙන් ආයතන ප්‍රධානියාගේ මුහුණ අප්‍රසන්න වන අයුරු ද ඔහු දුටුවේය.

“සර්……… මම මෙතැනට සේවයට ඇවිත් අදට අවුරුදු දහයයි. මේ දක්‌වා කිසිම දිනක පඩි වැඩි කරන්න කියා මම ඔබට කරදර කරලා නැහැ.”

“ඒ නිසා තමයි තමුසෙ මෙච්චර කල් තියා ගත්තෙ.” ආයතන ප්‍රධානියා කියාගෙන ගියේය.

ගොකරැල්ල රණවීර මනුකුලසූරිය.