Katha Ahura

සත්‍ය ප්‍රේමය | 3 කොටස | විද්‍යා ප්‍රබන්ධ

3.1/5 - (12 votes)

ඇත්ත වශයෙන් ම ග්ලෝරියා ගේ ඇඩීම නැවතුණි. එහෙත් ඒ අතර ම ඇගේ සිනාසීම ද නැවතී තිබිණි. ගත වූණු දිනයන්හි දී ඇය නිහඩ මුලුගැන්වුණු ස්‌වභාවයකින් පසු විය. ඇගේ දුකට තමාත් හවුල් වූවා ය යන හැඟීම වෙස්‌ටන් මහත්මියට ඉවසා සිටිය හැකි වූවත්, තම සැමියා ඉදිරියේ පරාජය පිළිගැනීමට නොහැකි ව ලත විය.

එක්‌ සැදැවක ඇය විසිත්ත කාමරය තුළට විත්, දැත් නවාගෙන කෝපයෙන් මෙන් පසු විය.

“ඒ පාර මොකක්‌ ද ග්‍රේස්‌?”

ඇගේ සැමියා පත්තරයට උඩින් බෙල්ල ඔසවා ඇය දෙස බලා ඇසී ය.

“අපේ දරුවා ගැන ජෝර්ඡ් මම කල්පනා කරන්නේ. බල්ලව ආපහු යවන්න අද මට සිද්ධ වුණා. ග්ලෝරියාට ඌව පෙන්නන්න බැහැ. මෙහෙම ගියොත් නම් මාව පිස්‌සු වැටෙනවා.”

වෙස්‌ටන් පත්තරය පසෙකින් තැබූ අතර, බලාපොරොත්තු සහගත හැඟීමක්‌ ඔහු ගේ දැස්‌වල නිරූපනය විය.

“සමහර විට.. සමහර විට අපට ආයේ රොබීව ගෙන්නගන්න පුළුවන් වෙයි. ඔව්, එහෙම කරන්න පුළුවන්. මට පුළුවන් ඒගොල්ලොත් එකක්‌ කතා කරලා…”

“නැහැ.” ඇය දැඩි ස්‌වරයකින් පැවසී ය.

“ඒ ගැන හිතන්න වත් එපා. අපි ඉක්‌මන් වෙලා බලාපොරොත්තු අත හරින්න නරකයි. සම්බන්ධය කඩන්න අවුරුදු ගාණක්‌ ගත වුණා වුණත්, මගේ දරුවා රොබෝවෙක්‌ යටතේ ඇතිදැඩි වෙන්න ඉඩ දෙන්න බැහැ.”

වෙස්‌ටන් කලකිරුණු ස්‌වභාවයකින් යුතු ව පත්තරය අතට ගත්තේ ය. වෙස්‌ටන් මහත්මිය නැවතත් කතා කරන්නට පටන්ගත්තා ය.

“ග්ලෝරියාට ඕන කරන්නේ පරිසරයේ වෙනසක්‌. මෙහෙ ඉඳගෙන රොබී ව අමතක කරන්න එයාට බැහැ. හැම ගහක්‌ ගලක්‌ දැක්‌කමත් රොබී ව සිහි වෙනකොට එයා කොහොම ද ඒක අමතක කරන්නේ? මම නම් අහලා තියෙන ලොකු ම විහිළුව තමයි මේක. නැති වුණ රොබෝවෙක්‌ ගැන දුකින් තැවෙන දැරියක්‌”.

“එතකොට ඔයා පරිසරය වෙනස්‌ කරන්න හදන්නේ මොන විදියට ද?”

“අපි එයාව නිව්යෝක්‌වලට එක්‌ කරගෙන යමු.”

“නිව්යෝක්‌වලට? අගෝස්‌තු මාසේ? ඔයා දන්නව නේ අගෝස්‌තු මාසේ නගරයේ කොයි තරම් තදබදයක්‌ ද තියෙන්නෙ කියලා?”

“එහෙනං ඕන තරම් මිනිස්‌සු යන්නේ? කොහොම වුණත් අපි ඉක්‌මනින් ම යන්න ඕනේ, පුළුවන් තරම් ඉක්‌මනට. නගරයේ ග්ලෝරියා ආස දේවල් ඕන තරම් තියේ වි. අලුත් යාළුවෝ අඳුනගන්න ලැබෙයි. වැඩි දවසක්‌ නො ගිහින් ම එයාට රොබෝව ගැන අමතක වෙලා යා වි.”

ජෝර්ඡ් ඇගේ අදහසට එතරම් කැමැත්තක්‌ දැක්‌වූයේ නැති බව වෙස්‌ටන් මහත්මියට තේරුණි.

“අපි කොහොම හරි යන්න ඕනේ. පහුගිය මාසෙ දි ග්ලෝරියා ගෙ බර රාත්තල් පහකින් අඩු වෙලා. මට මගේ දුව ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා බලාගෙන ඉන්න බැහැ.”

“රොබී ව දුව ගෙන් ඈත් කරනකොට නම් සෞඛ්‍යය ගැන මකත් වුණේ නැහැ නේ ද?” ඔහු ගේ මුවින් එම වාක්‍යය පිට වූයේ නැත. සිතින් තමාට ම කියාගත්තා පමණි.

ළඟ දී ම නිව්යෝක්‌ නගරයට විනෝද සවාරියක්‌ යන බව කී වහා ම, ග්ලෝරියා ගේ හැසිරීම හොඳ අතට පත් වන ලකුණු පෙනෙන්නට තිබිණි. ඇය ඒ ගැන එතරම් කථා කළේ නැතත්, කථා කළ අවස්‌ථා කිහිපයක දී ඒ ගැන සැබෑ උනන්දුවක්‌ ඇති වූ බවක්‌ පෙනෙන්නට තිබිණි. නැවතත් ඇය පෙර මෙන් සිනාසෙන්නට වූ අතර ආහාර රුචිය ද වර්ධනය වී තිබිණි.

වෙස්‌ටන් මහත්මිය ඇය වැළඳගත් අතර ලැබුණු අවස්‌ථාව, තවමත් සැකයෙන් පසු වුණු තම සැමියා පරාජය වූ බව පෙන්වීමට යොදාගැනීමට ද අමතක නො කළා ය.

“දැක්‌ක ද ජෝර්ඡ්, එයා ගමනට ලෑස්‌ති වෙන්නේ මොන තරම් සතුටින් ද, කථා කරන්නෙත් හරියට එයාට මුළු ලෝකෙන් ම කිසි ම ප්‍රශ්නයක්‌ නැතුවා වගේ. මම කිව්ව නේ ඔයාට – අපිට කරන්න තියෙන්නේ එයා ආස කරන වෙනත් දේවල්වලින් ඒ අඩුව පුරවන එකයි.”

“හ්ම්, මමත් හිතනවා.” ඔහු ගේ පිළිතුර වූයේ එපමණකි.

òòòòòòòòòòò

ගමනට අවශ්‍ය මූලික දැ ඉක්‌මනින් සූදානම් කෙරිණි. නිව්යෝක්‌ නගරයේ, ඔවුන් නැවතී සිටින නිවස සම්බන්ධ කටයුතු පිළියෙල කෙරුණු අතර මෙහි නිවස බලා කියා ගැනීමේ කටයුතු ගෘහසේවක යුවලකට පැවරිණි. අවසානයේ දී ගමනට නියමිත දිනය එළඹුණු විට, ග්ලෝරියා සම්පූර්ණයෙන් ම පාහේ, පෙර පුරුදු සාමාන්‍ය තත්ත්වයට ම පත් වී සිටි අතර රොබී ගැන සඳහනක්‌ වත් ඇගේ මුවින් පිට නො වී ය.

පවුලේ සියලු දෙනා ම, ගුවන් ටැක්‌සි රථයකින් ගුවන් තොටුපළ වෙත පැමිණිය හ.

“එන්න ග්ලෝරියා” වෙස්‌ටන් මහත්මිය පැවසුවා ය.

“මම ඔයාට ජනේලේ ළඟ සීට්‌ එකක්‌ තියාගත්තා. එතකොට ඔයාට සිරි නරඹන්න පුළුවන් නේ.”

ග්ලොරියා ආසන, පේළි අතරින් උද්යෝගිමත් ව ඇවිද්දා ය. ඉන්පසු ඇය ජනේලය තුළින් පිටත බලා සිටියා ය. ගුවන් යානය ගුවන්ගත වී, පොළොවෙන් ටිකෙන් ටික ඈත් වී, හඳුනාගත නොහැකි අන්දමට පත් වන තුරු ඇය බලා සිටියා ය. ඉන්පසු ඇය ආපසු මව වෙත හැරුණා ය.

“අපිට ඉක්‌මනට එහාට යන්න පුළුවන් වෙයි ද අම්මේ?”

“ඔව්, දුව පැය භාගයකින් විතර. ඔයා ආස නැද්ද එහෙට? නගරයේ ලොකු ගොඩනැඟිලි, මිනිස්‌සු, බලන්න ලස්‌සන දේවල් කොච්චර තියනව ද? අපිට හැම දා ම වුණත් සැණකෙළිවලට යන්න පුළුවන්. සර්කස්‌, මුහුදු වෙරළ, තව…….”

“ඔව්, අම්මේ” ග්ලෝරියා පිළිතුරු දුන්නේ එතරම් උනන්දුවකින් නො වේ. වලාකුළු අතරින් ගමන් කර, ගුවන් යානය නැවතත් පැහැදිලි අහසට අවතීර්ණ වූ පසු, ඇය නැවතත් මව දෙසට හැරුණේ යම් රහසිගත දෙයක්‌ ගැන ඉව වැටුණාක්‌ මෙනි.

“අම්මේ, මම දන්නවා අපි නිව්යෝක්‌වලට යන්නේ ඇයි කියලා.”

“ඔයා දන්නවා? මොකක්‌ ද?” වෙස්‌ටන් මහත්මියට එය ප්‍රහේළිකාවක්‌ විය.

“අම්මා මට ඒක නො කියා හිටියේ මාව පුදුමයට පත්කරන්න හිතාගෙන. ඒ වුණත් මම ඒක දැනගත්තා. අපි නිව්යෝක්‌වලට යන්නේ රොබී ව හොයාගන්න. රහස්‌ පරීක්‌ෂකයෝ යොදවලා රොබී ව හොයාගන්න.”

ඇය ගේ ප්‍රකාශය ඇසුණු වහා ම, ජෝර්ඡ් වෙස්‌ටන් තමා බොමින් සිටි වතුර උගුරේ සිර කරගත්තේ ය. සෑහෙන වේලාවක්‌ පුරා පැවැති කැස්‌ස සමනය වූ පසු ව ද, ඔහු මහත් පීඩාකාරී බවකින් පසු වූ අතර ඔහු ගේ මුහුණ ද රතු වී තිබිණි.

වෙස්‌ටන් මහත්මිය, කලබල වූ බවක්‌ නො පෙන්වා සිටියත්, ග්ලෝරියා එම ප්‍රශ්නය ම තවත් වරක්‌ ඇසූ පසු, ඇගේ සිතේ ස්‌වභාවයේ මද වෙනසක්‌ ඇති වී තිබිණි.

“ඔව්, සමහර විට එහෙම වෙන්න පුළුවන්. දැන් හොඳ ළමයා වගේ කලබල නො කර ඉන්න කෝ.” ඇය ගේ පිළිතුර විය.

òòòòòòòòòòò

ක්‍රි. ව. 1998 දී නිව්යෝක්‌ නුවර, ඉතිහාසයේ කවර දාටත් වඩා සිරි නරඹන්නන් ගේ පාරාදීසයක්‌ විය. ග්ලෝරියා ගේ මාපියෝ ද එම කරුණ දැන සිටි හෙයින්, ඉන් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමට අදහස්‌ කළ හ.

තම බිරිඳ ගේ නියෝගයන්ට අනුකූල ව, “ග්ලෝරියා අනතුරින් මුදාගැනීම” නමින් ඔහු තමා විසින් හඳුන්වාගන්නා ලද දෙයට කාලය කැප කිරීම පිණිස, ජෝර්ඡ් වෙස්‌ටන් තම රාජකාරී කටයුතු, මාසයක පමණ කාලයක්‌ සඳහා ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගත්තේ ය.

සැතපුම් භාගයක්‌ උසැති රුස්‌වෙල්ට්‌ ගොඩනැඟිල්ලට ග්ලෝරියා කැඳවාගෙන යන ලදි. සත්ත්වොද්‍යාන, කෞතුකාගාර, උයන් වතු, මුහුදු වෙරළ, මින් මැදුරු ආදී මෙකී නොකී සැම තැනකට ම ඇය කැඳවාගෙන යනු ලැබිණි.

පොළොවේ සිට සැතපුම් දහයක්‌ තරම් එපිට ගුවනේ, ප්‍රදර්ශන චාරිකාවක යෙදීමට ඇයට අවස්‌ථාව ලැබිණි. අහස තද දම් පැහැයෙන් දිස්‌ විය. තරු පායද්දී, ඈත ésතිජයේ, මීදුම අතරින්, පෘථිවිය දැවැන්ත පාත්‍රයක්‌ මෙන් දිස්‌ විය.

එමෙන් ම, වීදුරුවලින් තැනූ විශේෂ යානයකින්, ගැඹුරු සාගර පතුලේ විස්‌මයජනක ලොවේ සිරි නැරඹීමට ඇයට අවස්‌ථාව ලැබිණි. විවිධ වර්ගයේ මුහුදු ප්‍රාණීහු, ඇය ගේ ඇෙග් ගැවී නො ගෑවී පිහිනා ගිය හ.

ඒ අතර ම, එතරම් විශේෂත්වයක්‌ නොමැති දෙයක්‌ වූවත්, ඇය සුපිරි සාප්පු සංකීර්ණයකට ද කැඳවාගෙන යැමට ද වෙස්‌ටන් මහත්මිය අමතක නො කළා ය.

කෙසේ වූවත්, එම මාසය අවසන් වන විට, ග්ලෝරියා ගේ සිතෙන් රොබී අමතක කර දැමීම සඳහා උපකාරී වේ යෑයි සිතුණු සැම පියවරක්‌ ම, ඇගේ මාපියන් විසින් ගනු ලැබ තිබිණි. එහෙත් එය සාර්ථක වූවා ද යන සැකය ඔවුන් තුළ ඉතිරි ව පැවතිණි.

ග්ලෝරියා කැඳවාගෙන ගිය සැම තැනක දී ම පාහේ ඇයට දැකගන්නට ලැබුණු රොබෝවන් පිළිබඳව ඇය දැඩි උනන්දුවකින් බලා සිටියා ය. ඇය ඉදිරියේ මොන තරම් ප්‍රිය උපදවන දසුනක්‌ පැවතුණත්, ඇගේ නෙත් කොනකින් හෝ රොබෝවන් චලනය වන බව පෙනුණේ නම් ඇය එක වර ම ඒ දෙස හැරී බැලුවා ය.

ග්ලෝරියා ගේ අවධානය, වුවමනාවට වඩා රොබෝවන්ට යොමු වීම වැළැක්‌වීම පිණිස, වෙස්‌ටන් මහත්මිය හැකි සැම විටක ම ඇය අසලින් සිටීමට වග බලාගත්තා ය.

එහෙත් විද්‍යා හා තාක්‌ෂණ කෞතුකාගාරය තුළ දී එහි උච්ච අවස්‌ථාව එළඹිණි. කෞතුකාගාරය මගින් එදින ළමයින් සඳහා විශේෂ වැඩසටහනක්‌ සංවිධානය කර තිබිණි. එය ළමා මනසට ගෝචර වන අන්දමින්, විද්‍යාවේ හාස්‌කම් නිරූපනය කළ ප්‍රදර්ශනයක්‌ විය. වෙස්‌ටන් යුවල එය සැලකුවේ, අනිවාර්යයෙන් ම නැරඹිය යුතු වූ දෙයක්‌ ලෙසිනි.

ඔවුන් අති ප්‍රබල විද්යුත් – චුම්බකයේ හාස්‌කම් ගැන වශී වී බලා සිටිද්දී, ග්ලෝරියා තමන් ළඟ නොමැති බව වෙස්‌ටන් මහත්මියට එක වර ම අවබෝධ විය. මුල දී කලබල වුවත්, පසුව සන්සුන් වී සේවකයන් තිදෙනකු ගේ ද සහාය ලබාගෙන දැරිය සෙවීම ආරම්භ කෙරිණි.

කෙසේ වුව ද, ග්ලෝරියා කිසි අරමුණක්‌ නැති ව, ඉබාගාතේ යන දැරියක්‌ නො වී ය. ඇය ගේ වයසටත් වඩා ඇය අධිෂ්ඨානශීලී විය, ධෛර්යවත් විය, සැම විට ම අරමුණ නිවැරැදි ව හඳුනාගත් දැරියක්‌ විය. තුන්වැනි මහලේ සවි කර තිබූ දැවැන්ත පුවරුවක්‌ ඇය දුටුවා ය.

“කථා කරන රොබෝව නැරඹීම සඳහා මෙතැනින් ඇතුළට ගමන් කරන්න.”

පුවරුවේ වූ දැ එකිනෙක ගලපාගෙන කියවා, තම මාපියන්, ඇය ඒ දෙසට කැඳවාගෙන යනු නො ලබන බව දැනගත් පසු, ඇයට සුදුසු යෑයි සිතුණු දේ ඇය කළා ය. තම මවුපියන් ගේ අවධානය තමා දෙස යොමු නො වන තෙක්‌ බලා සිට, ඇය හෙමින් සීරුවේ ඔවුන් ගෙන් ඈත් වී පුවරුවේ සලකුණු කර තිබූ දිශාවට ගමන් කරන්නට වූවා ය.

ලබන සතියේ තවත් කොටසක්‌

අසිසෙක්‌ ඇසිමෝව්ගේ’ “රොබී” නම් විද්‍යා ප්‍රබන්ධය ඇසුරෙනි.

අනුවාදය

අමල් වික්‍රමසූරිය

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.