Katha Ahura

සසල අවතාර | අවසාන කොටස | හොල්මන් කතා |

4.2/5 - (8 votes)

සසල අවතාර 15

“ටාෂී….”

මම භීතියෙන් කෑ ගසද්දී සාහිල් සිය හස්තයෙන් මගෙ මුව වැසී ය..

“ෂ්… ටාෂියි.. රිෂිතුයි.. දෙන්නම… කෑ ගහන්නෙපා ආරෝ.. කෑ ගහන්නෙපා…”

“අපි මෙතනින් යමු.. අනේ සාහිල්…”

ඔවුන් දෙදෙනාගේ සිරුරු ලණු තොණ්ඩු දෙකක් ගෙල මැද සිර වීමෙන් පහළට එල්ලා වැටී තිබුණි.. දෙදෙනාගේ දිව එළියට පැමිණ තිබූ අතර, සිරුරු පැද්දෙන විට ලණුවට කැපීම නිසාවෙන් බෙල්ලෙන් ලේ වැගිරෙමින් තිබිණ.. අපි දෙදෙනා යන අතක් සොයා ගැනීමට නොහැකිව දුවගෙන පැමිණ තිබුණේ මිනිවල අසළට ය.. එය ගොඩ දමා ඇති හැඩ ය..

“ආරෝහි…..”

“අහ්හ්..

අපි දෙදෙනා ඒ හඬින් බියට පත්ව පසුපස බලද්දී තනි සුදු හැඳි කාන්තාවක සහ පුරුෂයෙකුගේ ආත්මයන් පැහැදිලි ලෙස දැකගත හැකි විය.. බියකරු මුහුණු ඉරිතලා ගිය මලමිනී සේ දිස් වෙයි…

“හ්..හහ්..හ.. හහ්…හා..”

ටිකෙන් ටික ඔවුන් අප ඉදිරියට පැමිණෙද්දී, අප දෙදෙනා මදින් මද පසුපසට විය.. පොළවට මදක් උඩින් පාවී එන සේ ඔවුන් දිස්වෙද්දි මම මහත් හඬින් විලාප තැබීමි..

“මොනාද.. ඔයාලට ඕනෙ..? අපිට මුකුත් කරන්නෙපා.. එපා සුරම්‍යා.. එපා..”

නම හඬ ගෑ පමණින් දෙදෙන නැවතිණ.. මහත් සුළඟක් අප අවටින් ගසාගෙන ගොස් අඳුරු අඳෝනා නද මොර දුන් හඬ සෙමෙන් වියැකුණි.. ඒ සුරම්‍යා නම් තැනැත්තියගේ ආත්මය බව මම දනිමි.. මා ඇමතුවේ ඇයවයි..

“සුරම්‍යා… කොච්චර ආදරණීයයිද ඒක…? මිනිස්සු මට මළ යක්සනී කියනකොට, මගෙ ආත්මෙ පිච්චෙනවා වගෙයි දැනෙන්නේ… උඹ මට කතා කළේ නම කියලා.. සේදිරිස්, රවී වගේම..”

ඈ මදක් ඉදිරියට පැමිණ නැවතිණ..

“සුරම්‍යා.. මම දන්නවා.. ඔය දෙන්නා.. රවී, සුරම්‍යා නේද..? කවුද ඔයාලා…?”

“රවී.. මගෙ මුළු ජීවිතේම උනේ රවී..”

රවී ඉදිරියට පැමිණියේ ඉන් අනතුරුවයි.. ඒ මුහුණු විරූපීව වුවද ආලෝකමත්ව දිස් විය.. මිත්‍රශීලී කතා විලාසය අපේ චකිතය මදක් වියැකී යන්නට වාරුවක් විය..

“උඹේ යාළුවා රිෂිත්, උගෙ සීයා වගේමයි.. මම මුදලිසිංහ බංගලාවෙ බාල දෝණි.. සුරම්‍යා මුදලිසිංහ… හ..හහ්හා..හා හ්හා.. රිෂිත්ගෙ සීයා.. මගෙ දෙවෙනි අයියා.. පවුලෙ එකම කෙල්ල නිසා අප්පච්චිලා මාව හැදුවෙ ගෙයින් එළියට බහින්න නොදී.. ගෙදරින් පිට මට ලෙංගතුවෙච්ච එකම පිරිමියා රවී.. සේදිරිස් එක්ක රවී අපේ ගෙදර ආවෙ, රවීගෙ විශ්ව විද්‍යාලෙ නිවාඩු කාලෙක… මම රවී දැක්ක පළවෙනි දවසෙ ඉඳලා.. රවීට ආදරේ කළා.. ඒ ඇඟෑලුම්කම එකටම කන වැටුණෙ පොඩි අයියට.. මේ බංගලාවෙ මිනිස්සු සල්ලි බලෙන් මත් වෙච්ච බල්ලො වගේ.. ආදරයක්, කරුණාවක්, තෙතමනයක් හිත් වැදුණු මිනිස්සු නෙමෙයි.. කාලකණ්ණි ජඩ හැත්ත…”

එසේ පවසමින් ඈ මහත් හඬින් වියරුව බිහිසුණු අඳෝනාවක් නැගුවේ කන්බෙර පුපුරා යන තරමිනි.. එක්වරම ඈ නිසල විය..

“උන් මහ සත්තු.. ගමේ මිනිස්සුන්ට ආදරෙන් සලකපු නැති, මහන්තත්කමින්, මාන්නෙන් ඔළු උදුම්මවගත්ත, මහ පාහර බල්ලො.. ගෙදර හිටිය වෘක බල්ලො වගේ මහ නපුරු තිරිසන් බල්ලො පස්දෙනා කොයි වෙලාවෙත් වත්තෙ කැරකුණා.. අඩු කුලේක මිනිහෙක්, කවදාවත් මේ වත්තෙ පස් පාගලා නෑ.. පිටිපස්සෙ ගඩොලින් බැඳපු අර ලොකු කොටුව අස්සෙයි උන්ව දාලා තිබුණෙ.. දවසක්… මම රවී එක්ක කුස්සියෙ කතා කර කර ඉන්නවා, පොඩි අයියා අහගෙන උන්නා… එයා එකපාරම කුස්සියට ආවම, රවී වෙනදා වගේම ලියමනක් කුස්සියෙන් තියන්නම් කියලා ඉක්මණින් එතනින් පිටවුණා.. ඒත් පොඩි අයියා මගෙ කොණ්ඩෙන් ඇදගෙන ගිහිල්ල මාව කාමරේට දාලා, ඉන් එළියට බහින්නත් තහනම් කළා දවසක් යනකං.. අප්පච්චිලා ගෙදර නැති උනාම ඌ යකෙක් වගේ.. මම මහ රෑ කාමරෙන් එළියට ආවා.. පඩිපෙළ දිගේ ඇවිත් කුස්සියට ගියෙ පුරුදු තැනින් මගෙ ලියුම ගන්න හිතාගෙන.. ඒත් කවුරුහරි මගෙ කට තදින් අල්ලලා වහලා ආයෙමත් උඩට ඇදගෙන ගියා..”

අමිහිරි අතීතාවර්ජනයක යටපත් ව සැඟව ගිය වේදනාවන් නැවත උඩ මතු වෙද්දී ඇගේ මුහුණේ ඉරියව් මදින් මද වෙනස් විය…

“අයියගෙ බේබදු යාළුවො.. වංසක්කාර‍යි කියාගන්න කාලකණ්නි හැත්ත.. අයියට බොන්න දීලා.. උන්ට ඕන උනේ මාව උන්ගෙ හපයක් කරගන්න.. මුලදි මම දැඟලුවත්, මම සන්සුන් වෙලා උන් ලඟට එනකං හිටියා… එතන ම තිබුණ වයින් බෝතලයක් රාක්කෙට ගහලා කුඩු කරපු මම අහුවෙච්ච හැම එකාගෙම බඩ බොකු පසාරු කරගෙන යන්න ඇන්නා… පහළට දුවගෙන ඇවිත් මම හෙව්වෙ මගෙ රවීව.. මම දන්නවා ඒ වෙලාවට සේදිරිසුත් වත්තෙ නැති වග.. මට උදව් ගන්නවත් කෙනෙක් උන්නෙ නෑ… උගුර ලේ රහ වෙනකං මම රවීගෙ නම කිය කියා ඇඬුවා.. හතර අතේ දිව්වා.. ගෙයි පිටිපස්සෙ බලු කොටුවෙ බල්ලො පස් දෙනා වටකරගෙන රස බලන්නෙ රවීගෙ මළමිනිය කියලා මම දැනගත්තෙ මම එතනට ගියාමයි… උහුලගන්න බැරිම තැන මම ආවේස වෙලා වගේ දුවගෙන ආවා.. අර කාලකණ්නි හතරදෙනාව පඩිපෙළ දිගේ පහළට ඇදගෙන ඇවිත්, වත්ත මැද්දෙ තියලා භූමිතෙල් හලලා මම මහ ගිනි ගොඩක් ගැහුවෙ හිත අස්සෙ කකියන්න ගත්තු ආදරේට..”

සුරම්‍යා බොලඳ ස්ත්‍රියක් බැව් මට වැටහුණේ ඈ පිරිමින් විෂයෙහි එතරම් දැනුමැත්තියක් නොවන බැව් මට තේරුම් ගිය පසු ය.. මාන්නක්කාර මුදලි පරම්පාරවක, පවුලේ සුරතලිය ලෙස හැදුණු ඇය මුදල් මත ම පදනම් වූ සෙනෙහසට වෛර කර ඇත…

” පිරිමි කියන්නෙ මහ නින්දිත ජාතියක්.. පුංචි කාලෙ ඉඳලා මං දැකපු හැම පිරිමියෙක්ම ඒ වගෙයි.. රවී විතරයි මගෙ ආත්මෙටම වැදුණ එකම පිරිමියා.. මං එයාට පොරොන්දු වෙලා උන්නා.. දවසක එයාගෙ වෙනවා කියලා.. එයා නැතුව මට ජීවත් වෙන්න හේතුවක් තිබුණේ නෑ.. ගබඩා කාමරෙන් කඹයක් අරං ඇවිත් වත්තෙ දකුණු පැත්තෙ තියන රූස්ස ගහට තොණ්ඩුවක් දාලා මං ජීවිතේ නැති කරගත්තෙ රවීගෙ නම මතුර මතුර.. මුන්ට සාප කර කර… රවීගෙ නොවී, මගෙ ආත්මෙට සැනසීමක් නෑ…”

ඇගේ අඳෝනාව අවසන් වෙද්දී ම අපි මුල්වරට රවීගේ කටහඬ ඇසීමු… ඔහුගේ හඬ ගැඹුරු ය.. එය ඝර්ජනාත්මක ලතැවුල්ලක් සේ ඇසිණ..

“මම ලියමන තියලා කුස්සියෙන් එළි බහිද්දි ම ඔළුව දෙදරලා යන තරම් වේගෙට පොලු පාරක් පිටිපස්සෙන් වැදුණා.. අර නරුම කාලකණ්ණි පස් දෙනා මාව උස්සගෙන ගිහින් කොටුවට දාලා වහලා ආවෙ හිනාවෙවී.. ඒ උන් හිනා වෙන අන්තිම හෝරා කීපය වෙන්ඩ මම සාප කළා.. වෛර කළා ඕකුන්ට මම… මගෙ ආත්මෙට සැනසීමක් නැත්තං, ඕකුන්ගෙ ආත්මවලට සැනසීමක් ලැබෙන්නත් බෑ…”

සුරම්‍යා පිළිබඳ සේදිරිස් පැවසූ දෑ මට වැටහිණ.. පිරිමින්ට ඇගේ ආත්මයෙන් කරදර බහුල ය.. ඔවුන්ට එක්වෙන්නට නුදුන් සෑම මනුෂ්‍යයෙක්ට ම අත්වූයේ එකම ඉරණමකි.. එනම් මරණයයි.. රිෂිත් හා ටාෂිගේ සිරුරුවලට ඇතුල් වෙමින්, ඔවුන් රඟ දැක් වූ ප්‍රේම ආලිංගන, ඒ නොසන්සිඳුණ කාමාශාවත්, ශාප ලත් ආත්මයන්ගේත් හේතුඵලයන් ය..

“හැම මරණෙකටම වැරදිකාරයා වුණේ කාලකණ්ණි සහෝදරයා.. සල්ලි බලෙන් ඌ බේරිලා ආවට, ගෙවල් දොරවල් දාලා මේ ගෙදර මිනිස්සු යන්නම යන්න ගියා… මං ගැන මතකය ගමේ මිනිස්සුන්ටත් අමිහිරි වුණා.. උන් මට ශාප කළා.. යක්සනී කිව්වා.. මගෙ ආත්මෙට ගරහන එකෙක් මම ඉතුරු කරන්නෑ…”

රිෂිත් හා ටාෂිව වරදවා වටහාගෙන ඔවුන්ට බාධා කළ අපේ සෑම අයෙක් ම මේ වන විට ප්‍රාණය හැර ගොස් ය.. ඔවුන්ගේ අවසන් ඉලක්කය අප දෙදෙනායි…

“රිෂිත්, ටාෂි… උඹලගෙ යාළුවො දෙන්නා.. අපේ සිතැඟි පුරවන්න නිස්කාරණේ බිලිවුණා.. හ්..හහ්හා…හ..හහා.. අද අපේ ආත්ම සැනසීමෙන් නින්දට යයි… සදහටම.. සදහටම අපි යනවා.. ආයෙමත්, මේ සුරම්‍යා රවී.. මිනිස්සුන්ගෙ මතකයට නොඒවි…”

එසේ පවසමින් ඒ ගිනි පුලිඟු මෙන් රත් පැහැ වූ සිව් නෙත්, අග්නියෙන් දැවෙන සේ දිලිහෙන්නට වූ අතර මදින් මද ඉදිරියට පැමිණෙන ආත්ම දැක වෙව්ලා ගිය අප දෙදෙනා පස්සට පස්සට ගොස් එක්වරම මහත් අඳෝනා හඬක් නංවාගෙන ඇදගෙන වැටුණේ පතුලක් නොපෙනෙන තරම් ගැඹුරට කැපූ මිනි වල තුළටයි…

අප දෙදෙනා ඇදගෙන වැටෙද්දී මා මරහඬ දෙමින් කෑ ගැසුවද හඬක් නොනැගෙන්නට අපහසුවෙන් මෙන් උගුර හිර විය.. ඒ ආත්ම යුගළය විදුලි වේගයෙන් ඉහළට ඇදී පෙනී නොපෙනී යද්දී අප දෙදෙනා ඉමක් නොපෙනෙන ආගාධයකට මෙන් වැටීගෙන වැටීගෙන ගියේ කිසිවක් සිතාගන්නටවත් ඉඩක් නොතබා ය.. එය සිහිනෙන් ප්‍රපාතයකට ඇද වැටෙන සේ මට දැනුණි… එක්වරම කොන්ද ඇනුණ සේ දොහ් ගා මා බිම පතිත විය…

“ආරෝ.. ආරෝ… මොකද වුණේ…?”

“අහ්.. සා..සාහිල්… අපි මේ.. ක්.. කොහෙ..ද.. ඉන්නෙ..?”

“ආරෝ.. ඇයි මේ දාඩියත් දාගෙන…? ආහ්… කෝ මේ වතුර එක බොන්න..”

මම හාත්පස නිරීක්ෂණය කළෙමි.. මේ ජා-ඇළ, ඒකළ ප්‍රධාන පාර කිට්ටුවෙන් අප මිලදී ගත් සාහිල්ගෙත් මගෙත්, සොඳුරු නිවහනයි.. විවාහ වී තවම සතියකි… එක්වර ම එය මතකයට ආවේ සාහිල් කාමරයේ විදුලි බුබුළ දැල්වූ පසු කාමරයේ වූ අපේ මංගල ඡායාරුව දැකීමෙනි.. හිස තෝන්තු වී ඇත… මා දුටුවේ ස්වප්නයක්ද..?

“මං කිව්වා.. මේ මහ රෑ විකාර ෆිල්ම් බලන්න ඕන්නෑ කියලා… කෝ ඉතිං ඇහුවද.. පණ්ඩිතකමට බැලුවා.. අල්ලගන්නංකො මං ශෙනුකයව.. ඕකා තමා උස්සන් ආවෙ ඔය හොල්මන් ෆිල්ම් එක..”

“මට බයයි…”

“එන්න නිදාගමු…”

සාහිල් මගේ හිස සිඹ, දහදියෙන් පෙඟුණ රාත්‍රී ගවොමද ගලවා පසෙකට දමමින් විදුලි පංකාවෙන් එන සුළඟට අමතරව කාඩ්බෝඩ් කැබැල්ලක් ගෙන පවන් ගසන්නට විය.. මම තවමත් සිහි මද ගතියෙන් මෙන් උන්නේ කිසිවක් තේරුම් බේරුම් කරගත නොහැකිව ය..

සිහිනයේ සිටි මම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකි.. නමුත් සැබවින් ම මා ගම්පහ රජයේ රෝහලේ වෛද්‍යවරියකි.. මොහොතකට මම සාහිල්ගේ තුරුළට වී සෙමින් හඬ අවදි කළේ ය..

“සාහිල්…”

“ම්ම්…”

“වෛද්‍ය විද්‍යාවට ඔප්පු කරන්න බැරි, අදෘෂ්‍යමාන බලවේග තියෙන්න පුළුවන්.. අධි මානසික තත්ව තියෙන්න පුළුවන්… මට එහෙම හිතෙනවා..”

“ඔව්… වෙන්න පුළුවන් මැණික.. හැබැයි, හිතට අවංකව ධර්මයක් අදහන, ශක්තිමත් ආත්මයක් තියෙන මිනිස්සු ඉස්සරහ ඔය ඔක්කොම බලවේග යටයි කියලත් මතක තියාගන්න.. බලන්න, ස්වාමීන් වහන්සේලා, ෆාදර්ස්ලා වගේ මිනිස්සු යකෙක්ටවත් බයද කියලා.. නෑ ආරෝ.. හැබැයි ඒක එයාලට විතරක් තියන අමුතු බලයක් නෙමේ.. හදවත ඇතුළෙ ධර්මයෙන් උසස් කාටත් ඒක කරන්න පුළුවන්.. ඔයාටත් මටත්.. නිස්කාරණේ බයවෙන්න ඕන දුර්වල මිනිස්සු.. ඒත් අපි එහෙම වෙන්න ඕන නෑ…”

ඒ වදන් සමඟින් ම මට සැනසුමක් දැනුණෙන් නැවතත් මම පොරවනය යටට ගුලි වී සාහිල්ගේ විසල්, නිරුවත් පපුතලයේ උණුහුමට තුරුළු වී සුව නින්දක පහස සෙවීමි… අඩ නින්දෙන් මෙන් ඔහු මගේ මුහුණ පුරා සිය දෙතොල් උණුසුම්ව තබමින්, මා සනසනු බැව් පමණක් මතක ය….

ඉදින්, දුර්වල ආත්මයන් ඇත්තවුන්ට පමණක්, මතුත් අඳෝනා ඇසේවි…

~නිමාව~
—————————————–

ඔන්න ඉතිං “සසල අවතාර” අවසානයි.. මම ලියපු පළවෙනි හොල්මන් කතාව.. පසු සටහනක් පසුවට දාන්නම්.. අනේ කතාව ගැන හිතෙන දේ පුංචි සටහනක් ඔයාලා දාලා යන්න.. වැරදි, අඩුපාඩු ගැනත් කියන්න..

හැමදාම කමෙන්ට් එකක් දාලා මට ශක්තියක් වුණ ඔයාලට ගොඩාක් ස්තූතියි.

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.