Katha Ahura

සසල අවතාර | 06 කොටස | හොල්මන් කතා |

5/5 - (1 vote)

සසල අවතාර 06

“ආරෝ..”

“අහ්..”

“මොකද්ද උනේ..? ඇයි මේ.. මම එනකොට.. ඔයා ෆේන්ට් වෙලා බාත්රූම් එක ඇතුළෙ..”

“කවුද ඒ..?”

“කවුද..?”

“මම දැක්කා.. මම වගේමයි..”

“අයියෝ.. ආරෝ.. ඔයා ටිකක් කලබල වෙලා ඉන්නෙ.. ඇත්තට මුලදි මටත් අමුත්තක් දැනුණා තමයි.. ඒ උනත් මං හිතන්නෙ එදා අපි අතරමං වෙලා ඉන්නකොට.. මහන්සියයි, කේන්තියයි.. ඔය ඔක්කොම නිසා වෙන්නැති අර සුදු ඡායාවක් දැක්කෙ..”

“ඔයා.. ඔයා මට කිව්වෙ නෑනෙ..”

“හරි ඒක මං කියන්න හිටියෙ.. ඒත් ඇත්තටම මේක කොච්චර ලස්සන තැනක්ද.. ඉතිං මොකටද අපි බයවෙන්නෙ.. අනික අමුතු දෙයක් උනෙත් නැහැනෙ..”

“නැහැ සාහිල් මම..”

“අහන්න ආරෝ.. මොකද මේ.. හොල්මන්, අද්භූත දේවල්.. එහෙම කිසි දෙයක් මේ ලෝකෙ නැහැ… අනික දවස තිස්සෙ මලමිනි, ලේ එක්ක ගණුදෙනු කරන ඔයා මොකද මේ ටාෂිලාටත් වඩා බයවෙලා..?”

සාහිල් පවසන දෙය සත්‍යයක් යැයි මට ම කියාගනිමින් මම සන්සුන් වන්නට උත්සහ දැරුවේ අසීරුවෙනි.. මුල් දිනයේ පටන් සිදුවූ සිදුවීම් මට නැවතත් මැවී පෙනෙද්දී මට මාව ම දරාගන්නට නොහැකි විය..

ඒ සුදු පැහැ ඡායාව, දොර අසළ වූ රුධිරය.. පඩිපෙළ බැස ගිය ස්ත්‍රිය.. විශාල ගස අසළ සිටි ස්ත්‍රිය.. කණ්ණාඩියෙන් මා දකින දේවල්.. මේ සියල්ල මනසේ ඇඳුණු දේවල් යැයි මම කෙසේ සිතන්නද..? මේ සියල්ල මැවෙන්නේ මට ම පමණක්ද..? පොරවනය හිසේ සිට පාදාන්තය දක්වා ම පොරවාගෙන මම නින්දට වැටුණෙමි..

නැවත අවදි වන විට රාත්‍රී අටත් පසුවී තිබුණෙන් මම පැය හය, හතකට වැඩි සුව නින්දක් ලබා තිබුණේ සිරුරටත් යම් සහනයක් දනවමිනි.. සැවොම අපේ කාමරයට පිරී සිංදු කියමින් නටන්නට වූ නිසා මට මොහොතකට සියල්ල අමතක විය.. පැයක් පමණ ම බයිලා කියමින් සිට කන්නට යමුයි කියද්දී ම නෙතුම් තවත් සිංදුවක් පටන් ගත්තේ ය..

“සයිමන් අයියයි.. මාටින් අයියයි.. හොඳ ම යාළුවෝ දෙන්නා..
ගමන් බිමන් කනබොන දේ එකටයි, එක වගෙ අඳින්නෙ දෙන්නා..”

ඒකත් ඉවර වෙනකම්ම ඉඳලා අපි පහළට යන්න ලෑස්ති උනේ කෑම කන්න.. ටාෂි අභිෂේක්ගෙ අතේ එල්ලිලා යද්දි අනිත් උන් ටිකත් පස්සෙන් වැටුණා..

“සාහිල්.. මම උදේ ඇඳගෙන හිටිය ගවුම කෝ.. ඒක මම කාමරෙන් තිබ්බනෙ..”

“ආහ් මම ඒක.. ආහ් ඒකත් පෙඟෙන්න දැම්මා..”

“මොකක්..?”

“ඇයි..?”

“අයියෝ සාහිල්.. මගෙ අන්ඩවෙයාස් කෝ..”

“ඉතිං එතන තිබුණ ඔක්කොම මම අර බේසමට දාලා තිබ්බා රෑට හරි, හෙට උදේට හරි හෝදලා දානවා කියලා හිතාගෙන..”

මම දුවගෙන ගිහින් වතුර බේසමට අත දාලා රෙදි එහෙට මෙහෙට කරලා බැලුවෙ ගවුම තියනවද කියලා.. ඒත් මම පරක්කු වැඩියි.. කළු පැහැ තිසරපටයත්, කොළ කැබැල්ලත් වතුරෙ පෙඟිලා.. මම කොළය දිග ඇරලා බැලුවත් පලක් උනේ නෑ.. පස්සෙ මං ඒක ගුලි කරලා ජනේලෙන් එළියට විසික් කරන ගමන් පහළට ආවෙ කන්න.. සුනඛයාගේ මළ සිරුර දුටු පසු මම අසිහියෙන් මෙන් ඇඳුම් ගලවා දමා වෙනත් ඇඳුමකට මාරු වූ බව සිහිවුණා..

මගේ ම අසිහිය පිළිබඳව මට ම දොස් පවරගනිමින් මම කුස්සියට එද්දි කට්ටිය කටවල් ඇඹුල් කරගෙන ඉන්නවා..

“මේ මොකෝ..?”

“ටාෂිගෙ කෑම ඒ තරම් රසයි..” රිෂිත් කීය..

“අභී.. උඹ උයන්න පුළුවන් ගෑනියෙකුත් ගනින්..” නෙතුම් සිනාසෙද්දී අභී කට අතින් වසාගනු මම දුටිමි..

“මොනාද බං අපි දැන් කන්නෙ.. අපරාදෙ නූඩ්ල්ස් ටික..” සාහිල්ට අනිමින් ශෙනුකත් විහිළු කරන්නට පටන් ගත්තේ ය..

“ආරෝ ලෙඩ වෙන එකේ පරිප්පුව කන්නෙ අපිනෙ දැන්..” රිෂිත් නැවතත් ටාෂිට ඔච්චම් කරන්නට විය..

“ඇයි… නූඩ්ල්ස් එකට මොකද වෙලා තියෙන්නෙ..?”

“මේකිට හම්බන්තොටින් කසාදයක් කරලා දුන්නොත් නං කාලා හමාරයි.. බඳින එකා පිත පුපුරලා මැරෙයි..” සාහිල් අභිෂේක් ට පවසමින් මා අසළට පැමිණියේ ය..

“නූඩ්ල්ස් එකෙත් ලුණු, පරිප්පුවෙත් ලුණු.. කනවා තියා කටේ තියන්න බෑ බං..” නෙතුම් පරිප්පු හැන්දක් රැගෙන මවෙත දිගු කළේ ය..

ටාෂි සියළු අපවාද අසාගෙන පැත්තකට වී සිටියේ හැන්දකුත් අතේ තබාගෙන ය.. සැබවින් ම එය කටේ තබද්දි ම රස නහර පුපුරා යන තරම් ලුණු රස දැනිණ..

“හරි හරි මං ඕක හදලා දෙන්නම්.. ටාෂියගෙ මූණ තවත් නරක් කරන්නැතුව දුවපියව්..”

ටාෂිගෙ නහය මිරිකා ඈ සනසන්නට උත්සහ කරමින් මම සියල්ලන් කුස්සියෙන් එළවා දැමුවේ නිවි සැනසිල්ලේ කුස්සියේ කිසිවක් කරගන්නට නොහැකි බැවිනි.. පරිප්පුවට වතුර ස්වල්පයක් දමා නැවත එය ලිප තබමින්, අල ගෙඩියක් සුද්ද කර එය කෑලිවලට කැපූ මම එය පරිප්පුවට දමා බිත්තර පහක් තැම්බෙන්නට තැබුවෙමි..

අනතුරුව නූඩ්ල්ස් එකත් එලෙසම ලිපට තබමින්, පත්තර පිටුවකින් එය වසා තැබුවේ එහි ලුණු ගතිය පරිප්පුවේ තරම් නැති නිසා ය.. ටාෂි අපායක් කර තිබූ කුස්සිය මම නැවත අස්පස් කොට උඩට ආවේ කට්ටිය පෙනෙන්නට නොසිටි නිසාවෙනි..

“සාහිල්.. කෝ කට්ටිය..?”

“දන්නෑ බබා.. ඇති කාමරවල.. නෙත්තා මොකක්හරි සීඩී එකක් උස්සන් ශෙනුකයයි අභියයි එක්ක උගෙ කාමරේට රිංග ගත්තා..”

“අයියෝ.. දැන් ඉතිං ආයෙත් ලාහෙට ගෙම්බො එකතු කරනවා වගේ මුන්ව කන්න අඬගස්සගන්න එපැයි..

මම බැණ බැණ ම කොරිඩෝව දිගේ ඉදිරියට පැමිණියේ කට්ටියගේ දොරවල්වලට දෙවරක් බැගින් තට්ටු කරගෙන ය.. “එන්නම් එන්නම්” යැයි එකිනෙකාගේ කාමර තුළින් හඬ ගසනු ඇසුණද අභිෂේක්ලාගේ කාමරය තුළින් ටාෂිවත්, රිෂිත්ගේ කාමරය අසළදී රිෂීවත් හඬක් නොනැගී ය..

අභිෂේක්ගේ කටහඬ, නෙතුම්ගේ කාමරයෙන් ඇසුණ නිසා ම මම ටාෂිගේ කාමරයේ දොර විවර කර බැලීමි.. ගැලවූ ගැලවූ ඇඳුම් තැන තැන ය.. මම නැවත දොර වසා එළියට එද්දී ම පෙර දින වයින් රාක්ක තිබූ කාමරය අසළින් ශබ්දයක් ඇසිණ.. කෙඳිරිලි හඬක් මෙන් ඇසුණු නිසා, මම එදෙසට ඇවිද ගියේ කළුවරේම ය…

එම කාමරයෙන් එහාට සම්පූර්ණයෙන් ම අඳුරු වූ අතර අපි කිසිවෙක් ඒ පැත්තට ගොස් නොබැලුවෙමු.. දුහුවිලි සහ මකුණු දැල් ද එමට වූයේ අප කොරිඩෝවේ ඒ කෙළවර අස්පස් නොකළ බැවිනි.. අඩි ශබ්දය නොඇසෙන ලෙස සෙමින් පියවර තබා යද්දී කොරිඩෝව දකුණු පසට හැරෙන තැන මගේ දෑසට හසුවූයේ ටාෂි යැයි සිතිය හැකි තරුණියකගේ ඡායාවකි..

එක්වර ම මම දුටුවේ ටාෂි කිසිවෙක්ගේ ගෙල වටා අත් දෙක පටලවාගෙන කතාබස් කරමින් සිටින බවකි.. නමුත් අභිෂේක් නෙතුම්ගේ කාමරයේ නම් ටාෂි මෙතන සිටින්නේ කා සමඟද..? මම නම කියා කතා කිරීම යුතුදැයි නොදනී.. එහෙත් එක්වරම මගේ කකුල එහි වූ ලෑල්ලක පැටලිණ..

“අහ්.. ආහ්..” මට කෑගැසුණි..

දෙදෙනෙක් කලබල වනු ඇසුණි..

“ඔහොම ඉන්න රිෂිත්..”

ඒ ටාෂිගේ කටහඬදැයි මට සිතාගත නොහැක.. හරියට රහසින් කොඳුරන සේ ය.. එහි සිටින්නේ රිෂිත් වුවද, ටාෂිගේ හඬට අවනතව රිෂිත් මගේ නෙත ගැටෙන මානයට නොආවේ ය.. නමුත් මම වැටෙන්නට ගිය නිසා අඳුරේ ම බිත්තිය අල්ලාගනිද්දී ම ටාෂි මට පෙනෙන මානයට පැමිණියේ ය..

ඇගේ දෑස්… දෙවියනේ.. එදා මා මගේ ම ප්‍රතිබිම්බය දුටුවාක් මෙන් කළුරුව ගිලී ගොස් සුදු ඇස් බෝල දෙකක් පමණි.. මට කෑ ගසාගන්නටවත් නොහැක.. භීතියෙන් ඇලලී මම පසුපසට යන්නට ගත්තේ ඈ මා ඉදිරියට එනු දැකීමෙන් ය.. කොණ්ඩය උ‍රහිස් දෙපසින් ඇද හැලේ.. මුව දෙපසින් කළු රුධිරය වැනි යමක් පෙරී එනු දැක මම ඉක්මණින් හැරී දිව්වෙමි..

එක්වර ම මුළු නිවස අඳුරේ ගිලී ගියේ ආලෝකය නැතිව යාමෙන් ය.. මම ඉක්මණින් බිත්තියකට හේත්තු වූයේ කළුවරේ කිසිත් නොපෙනෙද්දී මම අතිශයින් බියපත් ව හුන් සිටි බැවිනි.. එක්වර ම නාඳුනන කටහඬක් කන අසළින් ම ඇසිණ..

“මරනවා… එ..කෙ..ක්.. නෑ..ර..”

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
———————————
ලයිට් නිමලා නිදාගන්න..
භයානක කටහඬවල් ඇහෙයි..
ගණන් ගන්නෙපා..

(මට බැනලම යන්න ඔන්න ඔහෙ..)

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.