Katha Ahura

සසල අවතාර | 07 කොටස | හොල්මන් කතා |

4.9/5 - (14 votes)

සසල අවතාර 07

ඒ හඬ වියැකෙනු සමඟ ම සුළඟක් මා අසළින් ඉවත් ව ගිය හැඩ ය.. ඈතින් ඉටිපන්දම් එළියක් පෙනෙද්දී මම භීතියෙන් එදෙසට දිව ගියෙමි..

“ආරෝ..”

“අහ්.. අනේ සාහිල්..”

“එකපාර ම කරන්ට් එක ගියා බබී… ඔයා බයවුණාද..?”

මම ඔහුට තුරුළු වෙද්දී ම හාත්පස ආලෝකමත් විය.. අපි දෙදෙනා පහළට බැස ගියේ කුස්සියට ය.. නෙතුම්, ශෙනුක සහ අභිෂේක් ද පහළට පැමිණි පසු මම අභිෂේක් ඇමතුවෙමි..

“කෝ ටාෂි..?”

“එයා කාමරේ වෙන්නැති.. ඉන්න මම එක්කගෙන එන්නං..”

ඔහු කුස්සියෙන් පිටවෙද්දී, රිෂිත් කුස්සියට පැමිණියේ කොණ්ඩය අතින් හදමිනි.. මම ඇස් පුංචි කර ඔහු දෙස බලද්දී, ඔහු අප සියළු දෙනා මගහැර මෙන් ගොස් වතුර වීදුරුවක් රැගෙන බීවේ ය..

“ටාෂිට නින්ද ගිහින්.. අපි කමු..”

අභිෂේක් පැමිණියෙන් අප සියළු දෙනා ආහාරගෙන කතාබහ කරමින් සිට නැවත කාමරවලට ගියෙමු.. ටාෂි නින්දට වැටී ඇතැයි කීවද මට එය කුතුහලය ඉපදවූයේ ඊට මොහොතකට පෙර ඈ හා රිෂිත් ආලෙන් වෙලී සිටිනයුරු මම දුටු බැවිනි..

එදින රෑ නින්දට පෙර මම මදක් භාවනායෝගී ඉරියව්වෙන් හිඳ දෑස් පියාගෙන සිටියේ සිත සන්සුන් කරගනු වස් ය.. මේ සිදුවීම් පෙළ කෙසේ හෝ එකිනෙක ගලපාගත යුතු යැයි මම දනිමි.. මන්ද සාහිල් පවසන අයුරින් මේ කිසිවක් මගේ මනසේ ඇදෙන දේවල් නොව.. මෙහි ඇති වරද වන්නේ සියල්ල මට ම පමණක් දෘෂ්‍යමාන වීම ය..

“ආරෝ..”

“ම්ම්..”

“එන්නකො ලඟට.. ඔයා මේ ටිකේ ම මාව මග ඇරියා..”

“අද මග අරින්නෙ නෑ ඔන්න..”

මම සාහිල්ගේ වතට බර වීමි.. ඒ යාමය සොඳුරු සුයාමයක් වනු නිසැක ය.. සිපගැනීම් මතින් ඔබ්බට මගේ සිරුරේ රසපහස සොයන්නට සාහිල් වෙහෙසෙද්දී මම ද සියල්ල අමතක කොට ඔහුට වාරු උනෙමි..

“ම..ර..න..වා..”

“ආහ්.. සාහිල්..”

“ආරෝ.. මොකද මේ..?”

“ඔයාට ඇහුණද ඒක..?”

“මොකද්ද..?”

මම භීතියෙන් නැවත යහන මතට වැටුණේ ඒ හඬ ඇසෙන්නේ මට පමණක් වන නිසාවෙනි..

“ආරෝ.. මොන විකාරයක්ද මේ..?”

“නෑ මට මොකක්හරි ඇහුණා..”

“බබා.. මෙන්න මෙහෙ එන්න..”

සාහිල් නැවත මා සිපගන්න උත්සහ කරද්දී එක්වර ම අප අසළින් සුළං පහරක් හමා යන්නට විය.. ක්ෂණයෙන් සාහිල් ද නදක් වෙනස් විය.. අනතුරුව ඔහු සිය අදහස අතෑර දැමුවේ මා සනසවමිනි..

“අමුත්තක් තියනවා තමයි ආරෝ.. ෂ්..ෂ්.. නිදාගන්න.. නිදාගන්න.. හ්ම්… මට නං තේරෙන්නෑ..”

ඔහු අනෙක් ඇළයට හැරී නිදන්නට වැටුණේ මන්දැයි මම නොදනිමි.. නමුත් ඔහු නින්දට වැටුණද මම නොනිදා ඇහැරගෙන සිටියේ ඒ වචන සිහිපත් කරගෙන ය.. සියල්ලන් මරන බවට එන මේ තර්ජනය මට අනතුරු ඇඟවීමක් වැනි ය..

එදා මා දුටු ලියමන.. මට නැවතත් සිහිපත් විණ.. දිරාපත් වන්නට මෙන් වූ එයින් මට කිසිවක් දැනගන්නට හෝ තිබුණා නොවේද.. බංගලාව අවට ගම්බද පරිසරයක් හෝ වූයේ නම් අපට කරුණු පිරික්සා බලන්නට තිබුණි..

නිදි නැතුව සිටිද්දී මට පිපාසය අධික විය.. අසළ කුඩා මේසය මත වීදුරුව ඇත්දැයි අතපත ගා බලද්දී මගේ අත වැදී වීදුරුව පෙරළිණ.. මම ඉක්මණින් නැගිට කාමරයේ විදුලි බුබුළ දල්වා එය අස්පස් කර දැමුවේ රෙදි කැබැල්ලකින් වතුර පිස දමා ය..

කුස්සියට යන්නට අවශ්‍ය වූවත් බියක් දැනුණේ මෙහි යම්කිසි සැඟවුණු රහසක් ඇති බව මා සක් සුදක් සේ දැන සිටි නිසා හා මරන තර්ජනයට ඇති බිය නිසා ය.. නමුත් නොයා බැරි ම තැන මම රාත්‍රී ගවොමට උඩින් හවුස්කෝටය දමාගෙන පහළට ඇදුණෙමි.. විදුලි පන්දමේ එළියෙන් කුස්සියට ගොස් වතුර වීදුරුවක් බී මම නැවත උඩට එද්දී දුටුවේ රිෂිත්ගේ කාමරයේ දොර විවරව තිබෙන සැටි ය..

අයුතු දෙයක් වුවත් මම ඒ අසළට ගොස් රහසින් අසා සිටියේ ඒ තුළින් එන හඬ ය.. ටාෂිගේ සිනහ හඬ කෙඳිරිලි හඬක් ඒ මට ඇසුණේ කෙසේදැයි මම නොදනිමි.. මන්ද ටාෂි සිටිය යුත්තේ අභිෂේක් සමඟ ය.. කාමරය තුළ ආලෝකමත් වූ බැවින් මම සෙමින් දොර අසළට මුවා වී කාමරය තුළට දෙනෙත් යොමු කළේ පෙර මෙන් අත්වැරැද්දක් වන්නට ඉඩ නොතියා ය..

“රිෂී.. අයි ලව් යූ රිෂී..”

ටාෂිත්, රිෂීත් සිප ගනිමින් සිටිනයුරු දකිද්දී මට පිළිකුළක් දැනිණ.. ටාෂිගේ මේ අමුතු හැසිරීම.. මට එය ප්‍රශ්නාර්තයකි.. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ යැයි සිතා, මම සෙමින් කාමරය තුළට අත දමා බිත්තිය අතපත ගා ස්විචය සොයාගෙන එහි විදුලි බුබුළ නිවා දැමීමි.. අනතුරුව වේගයෙන් කාමරය වෙත යන අතර අභිෂේක්ගේ කාමරයට මහ හඬින් තට්ටු කරගෙන ගියේ ඔහු ඇහැරවන්නට ය..

අපි සියළු දෙනා සිටින්නේ කරදරයක බව මම ඔවුන්ට ඇඟවිය යුත්තේ ප්‍රායෝගිකව ය.. නැතිව ඔවුන් කිසිවෙක් මා පවසන දෙය පිළිගැන්මට සූදානම් නැති බව මා තේරුම් ගතිමි..

වේගයෙන් කාමරයට ගිය පසු එක්වර ම අපේ කාමරයේ ජනෙල් මහත් හඬින් විවර ව නැවත දඩාස් හඬින් වසා දැමුණේ ය.. එහි වේගවත් බවට ජනෙල් වීදුරු බිඳී ස්ලාං හඬින් වීදුරු කටු හැලී යන ශබ්දයත් සමඟ සාහිල් ඇහැරිණ..

සුළං කුණාටුවක පෙර නිමිති සේ අවට පරිසරය කැළඹිලි ස්වභාවයක් ගනිද්දී එක්වර ම අපට ඇසුණේ කාමරයෙන් පිටත මහත් ඝෝෂාවකි..

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
——————————–
ජනෙල් වහලා නිදාගන්න..
මහ රෑ වතුර බොන්න කුස්සියට එහෙම යනවා නෙමෙයි..

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.