Katha Ahura

සසල අවතාර | 09 කොටස | හොල්මන් කතා |

3.5/5 - (47 votes)

සසල අවතාර 09

“ආරෝ.. ආරෝ.. නැගිටින්න..”

“අනේ.. සාහිල්…”

මුහුණට වැටුණු දියපොදින් ප්‍රාණවත් වූ මම සාහිල් බදාගත්තේ බියෙනි.. මමත්, අභිෂේකුත්, නෙතුම් සහ සාහිලුත් රිෂීගේ කාමරයේ දොරට මෙහායින් කොරිඩෝවේ වැටී උන්නේ ශෙනුක අප අසළ මදක් එහායින් බිම වැටී සිටිද්දී ය..

නමුත්.. අප දුටුවේ මායාවක්ද.. ශෙනුක කිසිඳු අනතුරකින් තොරව එහි බිම වැටී සිටියේ ය.. අප පෙර දුටු කිසිඳු තුවාල කැළලක් ඒ මුහුණේ නොමැත.. මම දුවගෙන ගොස් ශෙනුකව බදාගතිමි…

“ශෙනුක.. උඹ හොඳින් නේද..?”

“අහ්.. ඔ..ඔව් බං.. ඒත්..”

“ආරෝ.. මං දැකපු දේවල් ඔයත් දැක්කා නේද..?”

“සාහිල් ඒකි නෙමෙයි මමත් දැක්කා.. ශෙනුක උඹ හොඳින් නේද..?”

අප සියල්ලන්ට දෘෂ්‍යමාන වූයේ මායාවක්ද..? ශෙනුක ලේ පෙරාගෙන වැටී සිටිනු අප දිටිමු.. එසේ නම් දැන් ඔහු හොඳින් සිටින්නේ කෙසේද..? අභිෂේක් ඉක්මණින් කාමරය අසළට දිව ගියේ ය.. අප දුටුවේ ටාෂි උඩුකය අඩ නිර්වස්ත්‍රව රිෂිත් හා යහනේ වැටී සිටින අයුරුයි.. මම ඉක්මණින් දුවගොස් අප්‍රාණික ටාෂිගේ සිරුර පොරවනයකින් වසා දැමීමි..

රිෂිත් සිහිවිකල්ලෙන් මෙන් සිටි අතර, ඔහු යම් යම් විකාර වගයක් කියවනු මට ඇසිණ.. අභිෂේක් සිටියේ රිෂිත් මරා දමන්නට තරම් කේන්තියකිනි..

“මූ රඟපානවා.. මූ මගෙ කෙල්ලට මොනාහරි දීලා..”

“අභිෂේක් පිස්සු කියවන්නෙපා බං.. මෙතන මොකක්හරි තියනවා අපිට නොතේරෙන..”

“නෑ.. රිෂිත්.. තෝ නං..”

එක්වර ම අභිෂේක් රිෂිත්ගේ බෙල්ලට පනිද්දී සාහිල් ඔහු බේරාගත්තේ නූලෙනි..

“උඹට පිස්සුද..? එහෙනං අපි මොනවද දැන් ටිකකට කලින් දැක්කෙ.. කුණාටුවක් වගේ අපි ලඟින් හමාගෙන ගිය හුළඟ.. සුදු මීදුම වගේ අපිට බොඳ වෙලා පෙනුණ දේවල්.. උඹ කියන්නෙ ඒවා රිෂිත්ගෙ වැඩ කියලද..?”

“කවුද දන්නෙ.. මූ මගෙ කෙල්ලව.. ෂිට්.. ශෙනුක උඹ දැක්කා නේද.. ඇත්ත කියපං.. උඹ මොනාද දැක්කෙ..?”

අභිෂේක් බොලඳ ලෙසින් රණ්ඩු කරන්නට පටන් ගත්තේ සුළු මොහොතකට පෙර දුටු භයානක දසුන අමතක කර දමමිනි.. ඔහු ඒ ගැන කතා නොකර රිෂිත්ටම ඇඟිල්ල දිගු කළේ කේන්තියෙනි.. ඒ දෑස් රතු වී ගිනි පුපුරු මෙන් කේන්තියෙන් දිලිහෙන්නට විය..

“මම.. උඩට එද්දි.. රිෂිත්ගෙ කාමරෙන් ටාෂි හිනාවෙන සද්දෙ ඇහුණා.. ඒකයි මම එබිලා බැලුවෙ.. ඊට වඩා කිසි දෙයක් මට මතක නෑ බං..”

“තෝ මගෙ කෙල්ලව රවට්ටගෙන..”

“අභී ඇති දැන්.. නවත්තන්න.. රිෂිත්ට බනින්නෙපා.. මට කිසි දෙයක් මතක නෑ.. ඒත් රිෂිත් එහෙම කෙනෙක් නෙ..” ටාෂි පවසද්දී ම අභිෂේක් වියරු වැටිණ..

“ආහ්.. තමුසෙටත් ලොකු ඌවද..? ආහ්.. උඹ මාව කෑවා.. ෂිට්.. මදැයි.. මං උඹව ලොකු කරගන්න දැඟළුවා.. තෝ ඌ එක්ක හිටියා මදිවට මට කියනවා ඌට මුකුත් කියන්න එපාලු..”

අභිෂේක් ටාෂිගේ කොණ්ඩයෙන් ඇද කෑ ගැසුවේ කේන්තියෙනි.. තත්වය සමථයකට පත් කරන්නට සාහිල් වෙහෙසුණද ඒ වෙද්දී සියල්ලන්ට තමන් දුටු දේවල් අමතක ය.. මම ඒ ගැන කතා කරන්නට උත්සහ කරද්දී පවා අභිෂේක් සියල්ලේ වරද රිෂිත්ට පැටවූයේ සිය කේන්තිය මුළුමනින් ම ඔහු පිටින් යවාගෙන ය..

“මූ.. මූ අපිව මෙහෙ එක්කගෙන ආවෙ මොන මොන ප්ලෑන් ගහලද කියලා කවුද දන්නෙ.. උඹලට තේරෙන්නෑ.. හොල්මන් කියලා දෙයක් නෑ.. මූ තමයි ඔක්කොම කරන්නෙ.. අපිව රවට්ටන්න.. බල්ලා..”

අපි රිෂිත්ට මදක් තනිව සිටින්නට ඉඩ දී කාමරයෙන් පිටතට පැමිණියෙමු.. මමත් සාහිලුත් මේ තත්වය පිළිබඳ කොතෙක් කතාබහ කළද අපි දෙදෙනාම එකම තැනක කැරකෙනු මිසක ඊට එහායින් කිසිවක් වටහා ගැනීමට අපට නොහැකි විය..

රිෂිත්ගේ කාමරයට එහායින් කොරිඩෝවත් එහි කාමර කිසිවක් අපි පිරික්සා නොබැලූ හෙයින්, මම සාහිල් හා එක්ව ඒ කාමර පිරික්සා බලන්නට තීරණය කළේ සොයාගැන්මට කිසිවක් ඇත්දැයි බැලිය යුතු නිසාවෙන් ය..

එහි කාමර සහ කොරිඩෝවේ ලයිට් නොමැති බැවින් අප දෙදෙනා ඉටිපන්දම් දෙකක් දල්වාගෙන සෙමින් එදෙසට පිය නැගුවෙමු.. වයින් කාමරයට එහා කාමරයේ දොර අගුළු ලා තිබුණු අතර ඊට එහා කාමරයේ දොර සරනේරුවල මලකඩ ශබ්දය නංවමින් එය සෙමෙන් විවර විය..

කාමරය සෝදිසි කිරීමට ඉටිපන්දම් එළිය නොසෑහුණත් අපි දුටුවේ එය නිදන කාමරයක් බවයි.. සුදු මෙට්ටයක් එහි වූ අතර සාහිල් නාන කාමරය දෙසට යද්දී මම ජනේලය මදක් විවර කර බැලුවෙමි..

කෑලි කැපිය හැකි ඝනඳුර මදක් පහව ජනේලයෙන් හඳ එළිය මදක් කාමරයට වැටිණ.. මම සෙමින් පස්සෙන් පස්සට විත් අනෙක් පස හැරෙද්දී ම එක්වර මගේ නෙත් ඉදිරියේ සුදු පැහැ ගවොමක් හැඳගත් කාන්තාවක් හිසකෙස් කඩාගෙන සිටියේ මගේ මුළු සිරුරම දහදියෙන් නහවා ය.. විකෘති මුහුණත හිසකෙයින් වසාගෙන ඈ මා අසළට පියවර තබද්දී මා භීතියෙන් කෑ ගසමින් පස්සෙන් පස්සට ගොස් බිත්තියට හේත්තු වූවෙමි..

ඇගේ දිගු නියපොතු මගේ ගෙල අසළට දිගු කරද්දී ම ජනෙල් මහත් හඬන් වැසී ඇරෙන්නට පටන් ගත්තේ ය.. හාත්පස වේගයෙන් සුළං හමද්දී ඇය මහත් හඬින් සිනසෙන්නට පටන් ගත්තේ ය..

“හ්..හහහ්හා…. ම..ර..න..වා..”

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
———————————————————–
කතාව බය හිතෙනවා අඩුයි කියලා කීප දෙනෙක් පෞද්ගලිකව කතා කරලා කිව්වා.. ඔයාලටත් එහෙම දැනෙනවා නම් කියන්න.. මම හොල්මන් කතා කියවලා නෑ.. ලියන පළවෙනි එක මේක.. වැරදි තියෙයි.. ඒත් ප්‍රවීණ හොල්මන් කතා ලේඛකයෙක්ගෙ ශෛලිය මගෙන් හොයන්න එපා.. මොකද මට එච්චර දැනීමක් නෑ හොල්මන් ගැන.. උත්සහයක් විදියටයි මම මේක ලියන්න පටන් ගත්තෙ.. ඒ සිස්ටම් එකට හුරුවෙන්න ටිකක් කල් යයි..

සමාවෙන්න..

✍️නොතෙල්ලා කෙල්ල

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.