Katha Ahura

සසල අවතාර | 13 කොටස | හොල්මන් කතා |

4.5/5 - (20 votes)

සසල අවතාර 13

“සේදිරිස්ට විතරක්..?”

“මන්දා නෝනෙ ඉතිං.. ඒ දවස්වල ඉඳලා බංගලාවෙ වැඩ කරපු එකානෙ..”

“හරි සේදිරිස්, බඩු ලැයිස්තුවක් තියනවා ගේන්න.. මම අරං එන්නං..”

මමත්, සාහිලුත් එය ගෙනැවිත් දී නැවත කාමරයට ගියේ අභීගේ තත්වයත් පිරික්සා බලමින් ය.. ඔහු යථා තත්වයට පත්ව උන්නද කිසිඳු කතාබහක් ඒ මුවේ නොමැත.. ටාෂි පවා අමුතු ය.. ශෙනුක සහ නෙතුම් පවා උන්නේ තෝන්තු ගතියෙනි..

“හරි අපි යමුකො.. කියවන්නැතුව ඉඳපං බං..”

ඇවිදින්නට යමුයි කියද්දී, රිෂිත් එන ගමනකට ශෙනුක නොඑන බැව් පවසමින් වාද කරද්දි අභී එම ගැටුම නවත්වන්නට උත්සහ කළේ නැමීගෙන සිය සපත්තුවේ ලේස් පටි ගැට ගසමිනි..

“ටාෂි කාලා ඉන්න..”

මම සැන්විච් පාන් පෙති දෙක ඈ අතට දී ගොස් සාහිල්ගේ කැමරාව සහිත බෑගයත් රැගෙන පැමිණියෙමි.. අනතුරුව අපි ගෙයින් එළියට බැස ගේට්ටුව වසා දමා, ඉදිරිපස ගුරුපාර දිගේ පහළට බැසීමි.. ගුරුපාර දිගේ කෙමෙන් කෙමෙන් අප ඇදුණේ වනයේ පහළට බව මම දැනගත්තේ ඈතින් ගඟක් ගලා යන ශබ්දය හොඳින් ම ඇසුණ නිසා ය..

“ගඟේ නාලා යමුද..?”

“ගුඩ් අයිඩියා… වරෙන් ඒ පැත්තට යමු…”

දවල් කෑම අපි ඔතාගෙන පැමිණියේ නැවත සවස් වී එන්නට සිතාගෙන ය.. එබැවින් අපි ගඟතලාව අසළ වැටී නාන්නට සැරසුණේ සියලු දුක් දොම්නස් සහ වැරදි වැටහීම් තත්ව මග හරවාගනිමිනි..

තුන හතර පසු වූ පසු අපි නැවතත් පහසු ඇඳුම්වලට මාරු වී එන්නට පිටත් වීමු.. හදිසියේ අවට පරිසරය මදින් මද කළුවර වන්නට විය..

“මෙච්චර ඉක්මණට කළුවර වැටෙන්නෙ මොකද.. අයියෝ.. අපිට කාලගුණේ බලලා එන්න තිබුණෙ..”

අවට කිසිවක් නොපෙනෙන තරමට අඳුර වැටුණ පසු කොහේ යා යුතුදැයි අපට සොයාගත නොහැකි විය.. අපි අතරමං වී ඇති බව පමණක් සියළුදෙනා ම දැනගෙන සිටියෙමු..

“අපි කොහෙද යන්නෙ කියලවත් අපි දන්නෙ නෑ..” ශෙනුක කීය..

“උදේ වෙනකං ඉන්න එකයි හොඳ.. නැත්තං තවත් අතරමං වෙනවා..” අභී පැවසුවේ ටාෂිව තුරුළු කරගෙන ය..

“අපි මෙහෙම ඉමු…”

වනය තුළ ම රැය පහන් කරන්නට තීරණය කරගෙන අපි තැන තැන වැටී ඔහේ සිටියෙමු…

“පට්ට චූ බරයි බං..”

“පත කැලයක් තියාගෙන තොට චූ කරන්න තැනක් නැද්ද..? අන්න අරහෙට පලකො…”

ශෙනුක නැගිට ගොස් මද වේලාවක් ගත වුවද ඔහු නැවත පැමිණියේ නැත..

“ශෙනුක….”

“ශෙනුකයා.. කෝ උඹ..?”

“සද්දයක් නෑ..”

“නෙත්තා වරෙන් ගිහින් බලමු…”

රිෂිත් නැගිට ගියේ නෙතුම් සමඟ ය.. සියල්ල දාන්නා හෙයින්දෝ මම භීතියට පත්ව සිටියේ ශෙනුකගේ ජීවිතයට යම් අනතුරක සේයාවක් වැටී ඇති බව මට ඉවෙන් මෙන් දැනුණු නිසා ය..

“දෙයියනේ.. ශෙනුක.. අභී මෙහෙ වරේන්.. කොල්ලෝ…. ආරෝ…”

“නෙත්තා නේද.. වරෙන් යං..”

අපි බෑග් ටික එතනම දමා වේගයෙන් ඔවුන්ගේ කෑ ගැසීම ඇසුණු පැත්තට දුවගෙන ගියේ කුමක් වීදැයි දැනගැනීම ට ය.. දෙවියනේ.. මා දුටු දෙයින් කොපමණ භීතියට පත් වීද යත් මා එතනම දණ ගසා ගෙන වැටුණේ දුටු දෙයින් මා කම්පනයට පත් වූ බැවිනි..

ගසක් මුල වැටී උන් ශෙනුකගේ බෙල්ල පැත්තට කැඩී මුවින් සහ ගෙලෙන් ලේ පෙරාගෙන ඔහු මැරී වැටී සිටියේ අද්භූත ලෙස ය.. නිසැකව ම මෙය කාගේ ක්‍රියාවක්ද යන්න මම දනිමි.. මගේ ඉහින් කණින් දාඩිය වැක්කෙරී ඇත.. හදිසියේ අසළ පඳුරක් සෙලවිණ.. අප සියල්ලෝ ම දෑස් අයා බැලුවේ ඒ දෙසයි..

අසල නිහඬතාවය බිඳිමින් එක්වරම පඳුර තුළ සිට කිසියම් කුඩා සතෙක් පැන දුවද්දී අප තවත් භීතියට පත් විය..

“මොකද්ද මේ උනේ.. අපි මොකද්ද කරන්නෙ… දෙයියනේ…?”

ටාෂි කෑ ගසද්දි අනෙක් සියල්ලන් භීතියෙන් වෙව්ලමින් වැලපෙන්නට විය.. මම සියළු දෙනාට පසුපසින් දණින් වැටී සිටියේ කතා කරගන්නටවත් පණක් නොමැතිව ය.. ක්ෂණයෙන් හාත්පස සුළඟත් සමඟින් දෝංකාර දෙන මරණීය විලාපයක් ඇසිණ..

“ම..ර..න..වා.. උ..ඹ..ලා… එ..කි..න්.. එ..කා.
ම..ර..න..වා..”

“හ්..හ..හ්.. හහ..හා….හ්.. හා..”

“ප..ලි..ග.. න්.. න.. වා..”

වියෝ විලාපයක් සමඟින් අප දුටුවේ කළුවරේ අප වෙත ඇදෙන හිස කේ කඩාගත් සුදු හැඳි කතකි..

“දුවපං.. දුවපං…”

ක්ෂණයෙන් අප හිස් ලූ ලූ අත දිව්වේ පසුපසින් පන්නාගෙන එන භයංකර මරණීය හඬට සහ සුදු හැඳි කාන්තාවට බියෙනි.. නමුත් එකා එකා මග හැරුණා මිසක සිදු වූ අන් දෙයක් නම් නොමැත.. සුළං හඬ වියැකී ගොස් පරිසරය නිශ්චල වත් ම මට තේරුණේ මම සිටින්නේ නෙතුම් සමඟ බවයි.. එසේ නම් අනිත් අයට කුමක් වීද..? සාහිල්.. දෙවියනේ..

“සාහිල්….. සාහිල්…”

“ආරෝ උඹට පිස්සුද.. කැ ගහන්නෙපා ගෑනියෙ.. මේ මර උගුලෙන් බේරෙන්න විදියක් හිතපං..”

“අපි හිරවෙලා ඉවරයි.. උඹවත් මමවත් ඉතුරු වෙයිද කියලා මට විශ්වාසයක් නෑ නෙතුම්..”

“මොනාද උඹ මේ කියවන්නෙ.. මෙහෙ වරෙන් යමු…”

අප දෙදෙනා තවත් වේගයෙන් ගස් අතු පතරින් පැන පැන දුවගෙන ගියේ හඳ එළිය ඔස්සේ ය..

“අහ්..ම්.. ම්.. හ්හ්.. ආහ්..”

“ආරෝ.. උඹට ඇහුණද ඒක…?”

“ෂ්.. ඇහුණා.. කවුද ඒ..?”

“ආහ්.. ආහ්…”

ඇසුණේ මදින් මද වේගවත් වෙමින් ඉහළ පහළ ඇදෙන සරාගී සුසුම් පොදක හඬකි.. නමුත් මේ ගන වනාන්තරයේ.. අපට සිදු වූ දේ හැටියට අභිෂේක් සහ ටාෂි ගැන සැක සිතිය නොහැක… අපි දෙදෙනා තවත් සවන් යොමු කළෙමු..

“රවී… මං ඔයාගෙ විතරයි…”

සිප වැළඳගැනීම් ආදර බස් තෙපලීම්… සුරම්‍යා සහ රවී යනු කවුරුන්දැයි සොයාගැනීම මට අද වනතුරුත් කරගැනීමට නොහැකි විය.. අදින් පසු මා ජීවත් වේවිද යන්නත් සැක ය.. මේ ගමන එන්නට ගත් මෝඩ තීරණය ගැන මම අත් දෙක හිසේ ගසාගෙන මට ම සිතින් සාප කර ගද්දී නෙතුම් ඉදිරියට ඇදෙන බව මම දුටුවෙමි..

“නෙතුම් එපා…”

“ඔහොම ඉඳපං…”

“නෙතුම් කිව්වනෙ.. යන්නෙපා…”

කියන දේ නාහා ඔහු ඉදිරියට ඇදෙද්දී මම හුන් තැන ම ගල් විණ..

“නැව..ති..යන්…”

ඒ හඬ මගේ අවවාදය මෙන් නොව.. දැඩි ඝර්ජනාත්මක අණකි.. නෙතුම් බිය වී පස්සට වද්දී ම මම ගසකට මුවා විණ.. දෙවියනේ.. රිෂිත් සහ ටාෂි සිප ගනිමින් සිට ඇත.. නැත.. ඒ ඔවුන් විය නොහැක.. මගේ අනුමානය නිවැරදි නම්.. ඒ රවීගෙත්, සුරම්‍යාගෙත් ආත්ම විය යුතු ය.. මෙතෙක් කල් සිදු වූ දේවලින් මම වටහා ගත්තේ එපමණකි..

ඔවුන් දෙදෙනා වටා විහිදෙන රත් පැහැ ආලෝකය.. දෙවියනේ එක්වර ම ටාෂි, නෙතුම් දෙසට අත දිගු කර ඔහු ඉහළට එසවූයේ කුමන අදෘෂ්‍යමාන බලවේගයක් ඔස්සේ ද යන්න මට නොවැටහේ.. ක්ෂණයෙන් ඔහුගේ සිරුර වේගයෙන් මා ඉදිරිපිට වූ රූස්ස ගස දිගේ ගෙනගොස් ඔහුව දෙවරක් පමණ ගසේ ගසා ගස පාමුලට ඔහු වැටෙන්නට දමා ඔවුන් දෙදෙනා හැරී යද්දී මම භීතියෙන් වෙව්ලා වෘක්ෂය පාමුල ම වැටුණෙමි..

නෙතුම්ගේ විලාපය නැවතිණ.. මගේ දහදිය බයට ම ලේ වී ඇතැයි මට සිතේ.. මද වේලාවක් පපුවට අත තබාගෙන හුස්ම වැටෙන වේගය යථා තත්වයට ගත් පසු සෙමින් නැගිට මම ආපසු ගස අනෙක් පැත්තට පැමිණියෙමි…

“නෙතුම්ම්…… අනේ.. අ..අනේ.. නෙ..නෙතුම්.. දෙයියනේ..”

මා මේ දකින්නේ දකින්නට සුදුසු දෙයක් ද.. ගසේ විශාල උල් අත්තක් නෙතුම්ගේ පපුව පසාරු කරගෙන ගොස් ඔහු මුළුමනින් ම ලේවලින් නැහැවී ඇත.. මම ඒ මුහුණ මදක් අල්ලා බැලීමි.. තවමත් ඒ සිරුර උණුසුම් ය.. නමුත් ඔහු දෑස් දොඹ ගෙඩි මෙන් විවරව, බෙල්ල පැත්තට හැරී ගස පාමුල ප්‍රාණය නිරුද්ධ වූ නිසොල්මන් මළ සිරුරක් වී හමාරය..

මම වේගයෙන් ඒ අසළින් ඉවත් විණ.. ටාෂිලා ගිය දිසාව මග හැර මම අනෙක් පසට දිව ගියේ හතිලමින් ය.. තවත් දුර දුවන්නට පණක් නැත.. මම බිම වැටීගෙන කොළ ගොඩේ ම හිස තබාගෙන සිටියදී අසළින් ඇසුණේ සියුම් කෙඳිරිලි හඬක් ය…

මදින් මද මේ ගන කළුවරේ ඒ කෙඳිරිලි හඬ වේදනාබර අඳෝනාවක් වන්නට විය.. වියරුවෙන් සිනහසෙන හඬ සහ මහත් හඬින් ඇසෙන කාන්තාවකගේ මළ ලතෝනි හඬින් මම වෙව්ලා ගියෙමි.. එය ඇසුණේ කන අසළින්ම මෙනි.. ටිකෙන් ටික ටිකෙන් ටික විලාපය තියුණු වී කන් අඩි පුපුරා යන තරමේ අඳෝනාවකින් පසු සියල්ල එක්වර ම නිශ්චල වී සීතල සුළඟක් සමඟ මගේ සවන් සියුම් ව ස්පර්ශ කරමින් ඇදී යන්නට විය..

බිහිසුණු අඳෝනා මතු ඇසෙන්නට නියමිත ය..
——————————————-

කතාව ගැන දැන් මොකද හිතෙන්නෙ… අවසානය ලඟයි ඔන්න..

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.