Katha Ahura

අඳුන් සිහින | දහවැනි පරිච්ඡේදය | නවකතාව |

5/5 - (1 vote)

නිශ්කගේ උණුසුමට මැදිව තමා කෙතරම් වේලාවක් උන්නාදැයි රිදීමාට තේරුණේ නැත. කල්ප ගණනාවක් තමා මෙසේ ඉන්න ඇද්ද ? ඈ තමාගෙන්ම ප‍්‍රශ්ණ කළාය.

“සුදු මැණිකේ !” නිශ්ක පහත් හඬින් රිදීමා ඇමතීය.

“හ්ම්….”

“සුදු මැණිකේ !”

“නිශ්ක…..”

ඈ ඔහු වෙතින් ඉවත්ව, වේදනාවෙන් පිරී ගිය ඒ දෙනෙත දෙස එක එල්ලේ බැලූවාය.

“ඔයා මට මෙහෙම කළේ ඇයි ?”

”කොහොමද ?”

“මාව නොදන්න කෙනෙක් ගාණට මග ඇරලා හිටියේ….” ඔහුගේ වේදනාවට, බැගෑපත් බවක්ද ඒ හඬින් එක් වූයේය.

“මට සමාවෙන්න නිශ්ක….. මට ඔයා මතක නැහැ.”

“මතක නැහැ……” නිශ්ක එයම ප‍්‍රතිරාවය කළේය. අදහාගත නොහැකි වූ ඔහුගේ බැල්මෙන් කතා දහස් ගණනක් කියැවිණි.

“එහෙම නම් කොහොමද ඔයා නි….ශ්….ක…..කියලා මගේ ළඟට දුවගෙන ආවේ ?”

“මට තේරෙන්නේ නැහැ…. පිංචි ඔයාව පෙන්නන්න ගඟ ළඟට මාව එක්කගෙන එනවා විතරයි මට මතක…..”

“ඔයාගේ පිංචිට කවදාවත් කැමැත්තක් තිබුණේ නැහැ. ඔයා හැමදාම මාව බලන්න ආවේ එයාව මග ඇරලයි….”

රිදීමාට ඒ කතාව විශ්වාස කළ නොහැකි විය. පසුගිය දිනවල, තමා පසුපසින් සෙවනැල්ලක් මෙන් උන්නේ පිංචි කෙල්ලය. සමහර විට දඩබ්බර වැඩ කළ මුත්, ඇය තමාට හිතවත් බව රිදීමා දැන සිටියාය.

“එයා අතන තමයි හැමදාම බටනලා පිඹින්නේ…..” පිංචිගේ හඬ ඇයට ඇසෙන්නාක් බඳු විය.

“කොතනද ?” ඒ නම් නොවැරදීම තමාගේ හඬය.

“අර බටපඳුරු ගොල්ල යට….”

“කෝ කොතනද ?”

“අර බලන්නකෝ ! රුක් දෙවියෙක් බිමට වැඩලා වගේ ලස්සණට ඉඳගෙන බටනලාව පිඹින හැටි….. ගමේ කෙල්ලෝ මෙයාට වහ වැටිලා, බලන්න දුවගෙන එන එක පුදුමයක් ද ?”

“මොකක්ද උඹ කීවේ ?”

“රුක් දෙවියෙක් බිමට වැඩලා වාගේ ලස්සණට ඉඳගෙන බටනලාව පිඹින හැටි…..”

“නෑ… නෑ… ඊට පස්සේ….”

“ගමේ කෙල්ලො මෙයාට වහ වැටිලා, බලන්න දුවගෙන එන එක පුදුමයක් ද ?”

“පොඞ්ඩක් හිටපන්…. උඹ ඔය ගමේ කෙල්ලො කීවේ කාටද ?”

පිංචි සිනාසෙමින් තමාගේ ගැලවීම සඳහා දිව යනු ඇයට මැවී පෙනුනෝය.

“ඔයාට මාව විස්වාස නැද්ද ?” නිශ්ක, ඇගේ සිතිවිලි බිඳ දමමින්, නිකටින් අල්වා ගත්තේ, ඇගේ පහත් වූ හිස එසවූයේය. ඔහු ළඟටත් දුරට මෙන්ම කඩවසම් නොවේදැයි ඇයට මොහොතකට සිතිණි.

“මට මාව විශ්වාස නැහැ නිශ්ක. ඔයා ඔය කියන කාලේ, ඔයාව විතරක් නෙවෙයි මට කිසිම දෙයක් මතක නැහැ….”

නිශ්ක තම හිස දෙපසට සැලූවේය. “මේ ලෝකේ හැමදේකටම වඩා මට ආදරේ කරපු සුදු මැණිකේගෙන් මට මෙහෙම දෙයක් අහන්න වෙයි කියලා මම හිතුවේ නෑ…..”

“අනේ මට සමාවෙන්න නිශ්ක” ඇගේ නෙතඟින් කඳුලක් ගලා ආවේය.

“මොනවද සුදුමැණිකේ එදා උණේ ? ජීවිතේ එපා කියලයි මම එදා ඔයාව බේරගත්තේ…..”

රිදීමා වෙව්ලා යනු නිශ්ක දුටුවේය. කතාවේ හොඳ හරියක් නිශ්ක දන්නේය. එහෙත් ඒ සියල්ල දරාගැනීමට
තරම් හය්යක්, ඒ වෙලාවේ රිදීමා සතු නොවීය. නිශ්ක ඇගේ දෑත් අල්වා, සෙමෙන් මිරිකා අත්හැරියේය.

”එක්කෝ අපට නොපෙනෙන යමක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. නැතිනම් ඇත්තටම ඔයාට මාව
එපාවෙලා මග අරිනවා…..”

ඇගේ මුහුණ දුටු ඔහු මඳ සිනාවක් පෑවේය. “මමත් ඒ දෙවෙනි කාරණේ නම් විශ්වාස කරන්නේ
නැහැ. කොහොම උණත්, අපි මුල ඉඳන් ආයම ආශ‍්‍රය කරන්න පටන්ගමු…..”

“යාලුවෝ වගේ ?” රිදීමා ප‍්‍රශ්ණ කළාය.

“ඔයාටයි, මටයි මේ ජීවිතේ කවදාවත්ම යාලුවෝ විදියට ඉන්න බෑ සුදුමැණිකේ !” නිශ්ක පැවසුවේ තිර හඬකිනි. මෙතරම් තමාට ආදරය කරන කෙනෙකු අමතකවීමට තරම් එදා සිදුවූයේ කුමක්ද ?

“මම ඔයාව පස්සේ මුණ ගැහෙන්නම්………….”ඔහු ඇයත් සමඟ උන් තැනින් නැගිට්ටේය. ”මාව අමතක කරන්න එපා….”

“කවදාවත්ම නෑ නිශ්ක……”

“ඔහු ඇය විශ්වාස නොකරන්නාක් මෙන් නිහඬව, තත්පර ගණනාවක් ඇගේ දෑස් දෙස බලා උන්නේය. අනතුරුව කිසිවක් නොදොඩා එතැනින් නික්මුණේය.

“රිදීමා……”

ඒ මහීකාගේ හඬය. ඇය තමාට කෙතරම් වේලා කතා කළාදැයි රිදීමා නොදත්තාය. එමෙන්ම දෙනෙතේ පිරුණු කඳුලෙන්, මහීකාගේ රූපය පෙනුණේ බොඳවෙලාය. ඇය අසලම හිටගෙන උන් දිනූෂව, රිදීමා මුලින් දුටුවේ නැත. ඔහුගේ වේදනාබර මුහුණ දුටු ඇසිල්ලේ ඇගේ හදවත යළිවරක් කඩා වැටුණේය. ගෙදරට ළඟාවෙනතුරුම කිසිවෙක් කතා නොකළෝය. ඔවුන් උදෑසන පැමිණි මහීකාගේ කාරයට කුමක්වීද, ඔවුන් දිනූෂගේ කාරයේ ගෙදර යන්නේ මන්ද යන්න ප‍්‍රශ්ණ කිරීමටවත් කල්පනාවක් රිදීමාට නොවීය. නිශ්කගේ වේදනාවෙන් පිරිණු දෙනෙත තරමටම කතාවෙන් තොර දිනූෂද, රිදීමාගේ සිත සසල කළේය.

නිවසට ළඟාවනවිට මහීකාගේ කාරය මිදුලේ නතරකර තිබෙනු ඈ දුටුවාය. කාරයේ හඬ ඇසුණු අජය එළියට ආවේ, “අද අපි ඔන් කෝල් මෙහේ…..” කියමිනි. ඔහු පසුපසින් උන් අමා හෝ රුචිරා කිසිවක් කතා
නොකළෝය. අමාගේ සිහින් මුහුණේ වූයේ බැරෑරුම් පෙනුමකි. රුචිරා දිගටම තම තොල්පට විකුවාය.

“මොකද උණේ ?” ඇසුවේ අජයමය.

අමා, රිදීමාව පුටුවක ඉන්දවූවාය.

“මොකද උණේ කියලා ඔය කුමාරිහාමිගෙන්ම අහගත්තා නම් හොඳයි….” මහීකා කඩා පැන්නාය. ඇගේ කම්මුල් පිම්බී, රතුවී තිබෙනු රිදීමාට පෙනුණි.

“කවදාවත් දන්නේ නැති කොල්ලෙක් තුරුලට බලන්න ඕනේ දුවගෙන ගිහින් වැටුණු හැටි…… අපට කියන්නේ නම් මුකුත් මතක නෑ කියලා….. හැබැයි අරයා දැක්ක ගමන්, ‘නි…..ශ්…..ක……’ කියලා බලන්න එපැයි කෑගහපු හැටි….”

දිනූෂ, තම දෑස් කෙස් අතරින් යවා, හිස තදකොට අල්වාගනු රිදීමා දුටුවාය. එම සිද්ධිය ඔහු මෙතරම් වේදනාවක් ගෙනදේ යැයි ඈ කිසිවිටකත් නොසිතුවාය. නිශ්ක වෙත ඇය දිවගියේ සිතා මතා නොවේ. එය සිදුවූයේ ඉබේටමය. එහෙත් ඔහුගේ උණුසුම, තමාට සුපුරුදු නිවහනක් ලෙසින් ඇයට කිසිවිටකත් නොදැනුණේය. ඔහු කෙරෙහි ඇය තුළ වූයේ, දැවී ගිය ගොඩනැගිල්ලක නටබුන් දකින්නකු තුළ ඇතිවන අනුකම්පාවකට සමානවූ, තේරුම් ගත නොහැකි, තේරුම් කළ නොහැකි අනුකම්පාවකි.

“මොකද මචං !”

අජය, දිනූෂගෙන් විමසුවේ රහසිනි. දිනූෂ ඊට පිළිතුරු නුදුන්නේය. වචන පිටකර ගත නොහැකි තරමේ ආවේගයක්, තමා තුළ තෙරපෙනු ඔහුට දැනුණි. එය පුපුරා හැලීමට ආසන්න ගිණි කන්දක් වැනි විය.

“එයාගෙන් ඒවා අහලා වැඩක් නෑ අජය…… ඒක අහන්න ඕන මෙන්න මෙයාගෙන් !” මහීකා ඔවුන්ගේ කතාව මැදට පැන්නාය.

”පොඞ්ඩක් කට පියාගෙන ඉන්න මහී….” ඒ අමාය. “අනෙක් අයට පොඞ්ඩක් හුස්ම ගන්නවත් දෙන්න…….”

“මටත් හුස්ම ගන්න බැරිකොට මම කොහොමද අනික් අයට හුස්ම ගන්න ඉඩදෙන්නේ ?” මහීකා තරහෙන්ම කතා කළාය. ඇය මෙතරම් නපුරු උණේ කෙසේදැයි රිදීමා කල්පනා කළාය.

“පොඞ්ඩක් ඉවසන්න මගේ පැටියෝ……” අජය පැවසීය.

“විහිලු කරන්නෙපා මගෙත් එක්ක. මම තරහෙන් ඉන්නේ !”

“ඒක නම් අපි හැමෝටම පේනවා.” රුචිරා පැවසුවාය.

“ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තමයි, රිදීමා මේ වෙලාවේ මොන මානසික මට්ටමකින් ඉන්නවද කියන එක….” අමා, විස්තර කිරීමට තැනුවාය.

“ඔය කතා හොඳයි දොස්තරලට. මම දොස්තර කෙනෙක් නෙමි….” මහීකාගේ හඬ තවමත් මුරණ්ඩු වූයේය.

“අපි හිතුවට වඩා මේක බරපතළ ප‍්‍රශ්ණයක් ! කෑ ගහලා විසඳන්න පුලුවන් දෙයක් නෙමි…..” අමා යළිත් කීවාය.

“බෝතල් දෙකක් විතර බොන්න ඕන ප‍්‍රශ්ණයක්…..” අජය පැවසුවේය.

“අජය……..” අමා ඔහු නිහඬ කළාය.
“අපට පේන්නේ රිදීමා රඟපෑමක් කරනවා කියලා…… ඇත්තටම කිව්වොත් එයත් දන්නේ නැහැ, මොනවද කරන්නේ කියලා. ඔයාට තේරෙන්නේ නැද්ද මහීකා එයාට, එයාගේ අතීතේ එක්තරා කොටසක් ගැන කිසිම අවබෝධයක් නැති බව. එයාගේ ඔලුවෙන් කියන දේ එයා කි‍්‍රයාවට නගන්නේ….”

මහීකා ගැස්සුවාය. ඉතා අසරණ බවක් දැනුණෙන්, රිදීමා දෑතීන් මූණ වසා ගත්තාය. ඇගේ සැලෙන දෙඋරින් පෙනුණේ, ඇය තමාගේ හැඬුම වලකා ගැනීමට තැත්දරන බවකි.

“එයාට බනින්න එපා මහීකා… එයා ඒ හිතලා කරපු දේවල් නෙමේනේ.” බලා සිටීමට බැරි තැන දිනූෂ පැවසුවේය. ඔහුගේ බිඳුණු හඬ ඇසුණු රිදීමා ඉකිබින්දාය. දිනූෂ සිතුවේ මෙතනින් පලායාමටය. රිදීමා නොපෙනෙන දුරකට පලායාමටය. තමා තවදුරටත් මෙහි උන්නොත් කොයි මොහොතක හෝ හඬා වැටෙතැයි ඔහු බිය වූයේය.

“මම යනවා…..” ඔහු යාන්ති‍්‍රකව උන්තැනින් නැගිට්ටේය. රිදීමාගේ අසුන අසලින් යද්දී ඔහුට දැනුණේ, තමාගේ පය පැටලෙන බවකි.

“රිදීමා….” ඔහු ආයාසයෙන් පැවසුවේය. ”හොඳ ළමයා වගේ නාඩා ඉන්න…..” ඔහු ඇගේ හිසෙහි තම
සුරත මොහොතකට තැබීය.

“දිනූෂ….. දිනූෂ….” ඔහු වහා වැටෙන්නට ගිය රිදීමා වත්තන් කර ගත්තේය.

“මට සමාවෙන්න දිනූෂ…..” රිදීමා හැඬුවාය. “මට නිශ්කව මතක නැහැ. මට නිශ්කව පොඞ්ඩක්වත් මතක
නැහැ…..”

සියල්ලෝම, දිනූෂ වැළඳගෙන හඬන රිදීමා දෙස විමතියෙන් බලා සිටියෝය.

‘අඳුන් සිහින’ එකොලොස්වැනි කොටසින් නැවත හමුවෙමු.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.