Katha Ahura

ආශාවරී |පනස් දෙවැනි කොටස |නවකතාව |කතා අහුර රචක

4.5/5 - (10 votes)

පනස් දෙවැනි කොටස

” ඉතින් දැන්වත් පලයංකො අපිට නිදහසේ ඉන්න දීලා….” රුහාන් එහෙම කියද්දි ආකේශ්ට සද්දෙන් හිනා ගියා..

” හරි හරි..මොකටද උදලු…මං කැපුනා එකෙන්ම….උබව මං පස්සෙ හම්බෙන්නං…බායි රුහාන්..බායි ආකාශි …” ආකේශ් ඒ දෙන්නාට සමුදෙද්දි ආයෙම කාමරේ ආකාශි රුහාන් තනි උනා.

” ඔයා හදිස්සියෙම ආවෙ…මොකක් හරි වැඩකටද රුහාන්….” ආකාශි ඇහුවෙ තකහනියෙම රුහාන් ඇගේ ගෙදර ආපු නිසා දැනුම් දීමකින් තොරවම..කොහොමත් ආකාශිගෙයි රුහාන්ගෙයි සම්බන්දය මහේශ් දැනගත්ත දවසෙම රුහාන් ආකාශිගෙ බංගලාවෙන් යන්න ගියේ මහේශ්ගෙ ඉල්ලීම පරිදි ….ආශාවරීගෙ අසනීප තත්වයයි නිවසෙ ඒ වෙද්දි තිබ්බ කලබලකාරී තත්වය උඩදි රුහාන් තමන්ගෙ නිවසෙ රදවගන්න මහේශ් කැමති උනේ නෑ…ඒ නිසා එදාම රුහාන් මහේශ්ගෙ නිවසින් ඔහුගෙම මහරගම තියෙන විශාල බංගලාවට ආවෙ නිතර නිතර ආකාශිව මුණ ගැහෙන්න එන එකනං නතර උනේ ඈ හැබැයි….අදත් ඔහුට ආකාශිව දකින්න ඇය එක්ක කතා කරන්න තිබ්බ උවමනාව හින්දම ඇයව බලන්න එද්දි තමා ඔහු දැක්කෙ ආශාවරී ආකාශිට පහර දෙනවා…

” ඔව්…වැඩකට තමා ආවෙ…වැඩේ ඉතින් මගේ මේ beautiful princess ව බලන එක….ඔයාව surprise කරන්න ඔයාට එනවා කියලා කියන්නැතුව ආපු මම surprise උනා ඔයාට ආශාවරී ගහනවා දැකලා…අම්මෝ…මං කේන්තියට එයාව තල්ලු කරලා දැම්මා…මොනා උනාද දන්නෑ එයාට….මං ගොඩක් බය උනා ආකාශි ….මං බය උනෙ ඔයාට මොනාහරි උනොත් කියලා….” රුහාන් ඇගේ හිස සිඹින ගමන් කිව්වෙ..

” අපි ගෙදර යං රුහාන්..මට ආශිව බලන්න ඕන..” ආකාශිගෙ පෙරැත්ත කිරීමට රුහාන් ඇයව ඇගේ ගෙදර එක්කන් ගියේ අකමැත්තෙන්..මොනා උනත් ඔහුට ඇගේ හිත රිද්දන්න බැහැ.ගෙදර ගිය ආකාශි දැක්කෙ ඉන්ජෙක්ෂන් එකේ පවර් එකට ආශාවරී හොදටම නිදා ඉන්නවා…ඇගේ හිස අතගාලා නලලට හාදුවක් තියලා ඇය ආශාවරීගෙ කාමරෙන් නික්මුනේ ඇස් වල කදුලු පුරෝගෙන .ආදරයක් හින්දා මිනිස්සු විදවන තරම්…

කොහොමද පුතේ අද වැඩ….ම්….ඉස්කෝලෙ මග හැරුන වැඩ අල්ලන් යන්න පුලුවන් වගේද…” රෑ කෑම මේසෙදි කුසුම් ඇහුවෙ සදෙව් කෑම අතගගා ඉන්නවා දැකල…

” ම්…අනේ මංදා අම්මෙ….පුලුවන් වේවි….බැරි වෙන එකක් නෑ…” සදෙව් බත් එක දිහාම බලාගෙන කිව්වෙ ඔහුගෙ ඇගිලි වලින් එක දිගට මිරිකෙන බත්කට කටට දාගන්න පාටක් නං නෑ…

” පුතා ඔයා හොදින්ද…මොකෝ නිකං දුකෙන් වගේ ඉන්නෙ…??” කුසුම් ඇහුවෙ කුතුහලයෙන් …සදෙව් ඔලුව උස්සලා අම්මා දිහා බැලුවෙ..

” අනේ මංදා අම්මෙ…මට මුකුත් හිතාගන්න බෑ….ඉස්කෝලෙ ගියාම මට මහ අමුතු අමුතු දේවල් දැනෙන්න ගන්නවා…අනේ මංදා…මට ලොකු පාලුවක් දැනෙනවා අම්මෙ….මට දැනෙන්නෙ මට මොකක් හරි ලොකු දෙයක් මග හැරිලා වගේ…ඇගෙන් කොටසක් නෑ වගේ මට දැනෙනවා අම්මෙ….හුස්ම ගත්තත් හරියට පණ නෑ වගේ මහ විකාර හැගීමක් දැනෙන්නෙ…සමහර වෙලාවට එක එක කටහඩවල් ඇහෙන්න ගන්නවා…එක වෙලාවකදි මට මොකද්ද මංදා ජායාවක් පේන්න ගන්නවා…ඒත්…ඒත් ඒක පැහැදිලි නෑ….ඒක මොකද්ද කියලා හිතන්න හිතන්න මගේ මුලු ඔලුවම පැලෙන්න වගේ වේදනා දෙනවා අම්මෙ….ඔව්…මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයිද කියලත් හිතෙනවා මට…” සදෙව් කිව්වෙ හරි අසරණව හිනාවෙලා.කුසුම්ට ලොකු හුස්මක් පිට උනේ..

අනේ දෙවියනේ ….මෙයාට ආශාවරීගෙ මතකයන් ආයෙම මතක් වෙන්න අරං…

කුසුම් හිත හිතම කතාකරන්න ගත්තෙ හිත ඇතුලෙන් සදෙව් ගැන ලොකු බයක් තෙරපෙද්දි ….

” පුතා වැඩිය ඒවා ගැන හිතන්න යන්නෙපා….ඉස්කෝලෙ වැඩ ටික හරියට කරගෙන ඉන්නකො..ඒ ඇති…” කුසුම් එහෙම කියද්දි නොදැනුවත්වම සදෙව්ගෙ දෑස් කදුලු වලින් පිරිලා ගියා.

” මං හිතන්න යන්නෑ අම්මෙ…මට හිතෙනවා…මට දැනෙනවා මං ලග මොකක්මහරි දෙයක් තිබිලා දැන් ඒක මං ලග නෑ කියලා…ලොකු අඩුවක් මට මගෙන් දැනෙනවා අම්මෙ….අනේ මංදා…මං දැන් ඉන්නෙ සතුටෙන් නෙවේ කියලා මට හිතෙනවා…” සදෙව් එහෙම කියලා කෑම අහවර කරලා මේසෙන් නැගිටලා ගියේ සදෙව් කිව්ව දේ ඇහිලා කුසුම්ගෙ දෑසුත් කදුලින් බොදවෙලා ගියා…

පුතා…ඔයා එච්චරටම ආශාවරීට ආදරේ කලාද දරුවො…එයාගෙන් වෙන්වීම ඔයාට මෙච්චර තදින් බලපානවද…..අනේ සදෙව් …ප්ලීස් …දැන්වත් ආදරේ ගැන හිතන්නැතුව පාඩම් වැඩ කරලා විභාගෙ පාස් වෙන්න බලන්න දරුවො ..මේ කාලෙට ආදරය ගැලපෙන්නෑ පුතේ ..

කුසුමුත් අඩ අඩම කෑම අහවර කලා… කාලය ටික ටික ගෙවිලා ගිහින් පසුදා අරුණලු උදා උනා…ඉන්ජෙක්ෂන් එකේ බලේට ආශාවරීට පැය ගානක් එකදිගට නින්ද ගිහින් තිබුනා..ඇය ඇහැරෙද්දි උදේ වෙලත් තිබ්බා….පෙරදින රාත්‍රියට ඇය ආහාර ගත්තෙවත් නෑ…කලින්දා දවල් ඉදන් පසුදා උදේ වෙනකන්ම දීර්ඝ නින්දකට වැටිලා හිටිය ආශාවරී හිටියෙ හරියට මත්වෙලා වගේ..දැන් ආශාවරීගෙ කාමරේ ඇයට සාත්තු කරන්න ඉන්නෙ ඇගේ අම්මා නදීකා…..මොකද දැන් තියෙන තත්වෙ අනුව ඊට ආකාශිට එන්න බැහැ….ආශාවරී තවමත් ආකාශි එක්ක තරහින් ඉන්නෙ….ආකාශිව දැක්ක හැටියෙ ආශාවරී ආයෙම නොසන්සුන් වෙන්න ගන්න නිසාම නදීකා ආකාශිව ආශාවරීගෙන් ඈත් කරලා තියන්න කල්පනා කලා..ඒ වගේම මහේශ්වත් ආශාවරීගෙ නෙතු මානෙන් ඉවත් කරන්න ඇය වගබලා ගත්තා…කාමරේටම කොටුවෙලා හුදකලා ජීවිතයක් ගෙවන ආශාවරීට පේන්න එන්නෙ නදීකා විතරමයි….

පහුවදාත් සදෙව් උදෙන්ම ලෑස්ති වෙලා ඉස්කෝලෙ යන්න ගියේ ඔහුට ලොකු ඕනකමක් තිබ්බෙ ඉස්කෝලෙ ලමයි එන්න කලින් ඉස්කෝලෙට ගිහින් තනියම තමන්ගෙ හිතට දැනෙන අමුතු හැගීම් ඔස්සේ ඇවිදින්න….ඉතින් උදේ 6.45 විතර වෙද්දි සදෙව්ට ඉස්කෝලෙ යන්න පුලුවන් උනා…තවමත් ලමයි හරිම සුලු පිරිසයි ඉස්කෝලෙ ඇවිත් තියෙන්නෙ….සදෙව් හිමින් හිමින් ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඉස්සරහට ඇවිදන් ගියේ හොදට වටපිට බල බල…..ටික ටික ඉස්සරහට යන සදෙව්ගෙ ඇස් නතර උනේ ඊයෙ ඔහු ඇහිපිල්ලම් නොගහා බලා හිටිය පිට්ටනියට ඇතුල්වෙන තැන දිහා..සදෙව්ට මතක නැති උනත් ඒ පිට්ටනියට යන මග කියලා සදෙව්ට අමුතු හුරුපුරුදු බවක් තිබ්බෙ ඒ තැන ගැන…ඉතින් හිතට ලොකු ආසාවක් දැනෙද්දි ඒ චූටි ගේට්ටු පලුවෙන් ඇතුල දකින්න සදෙව් හෙමි හෙමින් පිට්ටනියට ඇතුල් වෙන ගේට්ටු කෑල්ල ලගට පය එසවුවා..

” ඔහ් ශිට්….” සදෙව්ට එකපාරටම කියවුනෙ ඒ කුඩා ගේට්ටු පලුවට ඉබ්බෙක් දාලා ලොක් කරලා තියෙනවා දැකලා….වෙනදට නං උදේ හය හමාර වෙද්දි පිට්ටනිය අරිනවා උනත් අද තවමත් එය විවෘත කරලා නැහැ….සදෙව්ට ආවෙ ලොකු කේන්තියක් වගේම හිතට ලොකු දුකක් දැනුනා….ඒ දුක කොච්චරද කියනවනම් නොදැනුවත්වම ඔහුගෙ දෑස් කදුලින් බොදවෙලා ගියා..

ඇයි මේ සදෙව් …ඇයි මට මෙච්චර ලොකු දුකක් දැනෙන්නෙ…මේ ගේට්ටුවෙන් ඇතුල බලන්න මං මෙච්චරම ආස ඇයි….මොකද්ද මේක ඇතුලෙ ඇත්තෙ…බෑ..බෑ….මට මේක ඇතුල්ට කොහොමහරි යන්නම ඕන…..තව තැනක් ඇතිනෙ මේක ඇතුල්ට යන්න….” සදෙව් හිත හිතම තවත් ඉස්සරහට ගියේ පිට්ටනිය පාස් කරගෙන..මේන් හෝල් එක පටන් ගන්නවත් එක්කම ඒ ලගින් පාර දෙකට බෙදෙද්දි වෙනදට පංතියට යන පාර නැතුව සදෙව් අද අනික් පාර තෝරගත්තෙ ඒ මාවත ඔස්සේ ඔහු ඉස්සරහට ඇදෙන්න ගත්තෙ හොදට වටපිට බල බල…පඩිපෙල් දෙක තුනක් නැගලා ඉස්සරහට යන්න යන්න ඔහුට හම්බුනේ ඔහුගෙ දකුණු අත පැත්තෙ තිබ්බ ක්‍රීඩා පුහුණුවීම් වලට එන අයගෙ ඇදුම් මාරු කරගන්න කාමර වගේම ඔවුන්ගෙ බඩු මුට්ටු දාලා තියෙන කාමර…හොදින් ඒ කාමර දිහා බල බල ගියපු සදෙව් පඩිපෙල් දිගේ උඩට උඩට පය එසෙව්වෙ ඔහු එකපාරටම දැක්කෙ තමන්ගෙ වම් අත පැත්තෙ හදල තිබ්බ පිට්ටනියෙ pavilion එක….මුවේ දගකාර හිනාවක් සනිටුහන් වෙද්දි සදෙව් බෑග් එකත් එල්ලගෙනම දුවලා ගියේ pavilion එකට……පිට්ටනියට ඇතුල් වෙන්න මාර්ග තුනක් තියෙනවා….ඒ ප්‍රධාන පිට්ටනියට අයත් ගේට්ටුවෙන් , අනික pavilion එකෙන් , අනිත් එක තමා හය හත අට වසරෙ ලමයින්ගෙ සෙක්ශන් තියෙන බිල්ඩින් තියෙන හරියෙන්….

Pavilion එකට දුවලා ගියපු සදෙව් පුටු පේලි අතරින් ඉස්සරහට ඉස්සරහට ගිහින් එකතැන නතර වෙලා වටපිට බැලුවෙ හරි ආසාවෙන් .

මේක පිට්ටනිය ….

ඔහු හිත හිතම ආසාවෙන් වටපිට බැලුවෙ…එහෙම වටපිට බලද්දි ඔහු දැක්කෙ ඔහුගෙයි ආශාවරීගෙයි ආදර කතාවෙ මතකයන් ගොඩාක් දන්න සුදු අරලිය ගහ….සදෙව්ට ලොකු උවමනාවක් ආවෙ ඒ ගහ ලගට යන්න…..ඉතින් pavilion එකේ පුටු අතරින් පහලට පහලට පඩිපෙල් බහින්න ගිය සදෙව් එකපාරටම එකතැන නතර උනේ ඔහුට බැලුනෙ ඔහුට දකුණු පසින් තිබ්බ පුටු පේලිය දිහා….

” ආශාවරී ….”

” සදෙව් …ඔ…ඔයා මොකද්ද කරන්න හදන්නෙ මට….”

” මං කොහොමද ඔය මූණ මාසයක්ම නොදැක ඉන්නෙ…

” මට පිස්සු හැදෙයි ආශාවරී ….මට පිස්සු හැදෙයි ….

” සදෙව් …?? …”

” මට දෙයක් කියන්න තියෙනවා ආශාවරී ..”

” සදෙව් ප්ලීස් …”

” කියන්න දෙන්න ආශාවරී ..මට කියන්න දෙන්න…..මං…මං ඔයාට…”

සීතලම සීතල හුලගක් සදෙව් වටා හමා යද්දි ඔහුට ඒ හුලගෙ එක එක කටහඩවල් ඇහෙන්න ගත්තෙ ඔහු තදින් දෑස් පියාගෙන ඒ ඇහෙන කටහඩවල් වලට හොදට අවදානය යොමු කලා….තමන්ගෙ කටහඩයි මියුරු ගැහැණු කටහඩයි ඔහුගෙ කන් ඇතුලෙ ප්‍රතිරාවය දෙද්දි ඔහුගෙ මනසෙ අපහැදිලි රූප රාමු ගොන්නක් පේන්න ගත්තෙ නොදැනුවත්වම සදෙව්ගෙ දෑස් අගින් කදුලු බිංදු ගලා ගියා…

සදෙව් දැක්කෙ එදා pavilion එක උඩ ආශාවරී එක්ක ගතකල සුන්දර මතකයන්….ඒත් ඒ සියල්ලක්ම අපහැදිලි චායාවන් උනේ ඔහුට අදුනගන්න පුලුවන් උනේ තමන්වම විතරයි…තමන් එක්ක ඉන්න අනික් යුවතියව ඔහුට අදුනගන්න බැහැ….ඒත් ඒ චායාව ඔහුගෙ හදගැස්ම වැඩි කරන්න සමත් උනා..හදවත අසාමාන්‍ය අන්දමින් වේදනා දෙද්දි ඒ වේදනාව උණු කදුලු වෙලා කම්මුල් තෙමන්න ගත්තා ….

” කවුද ඒ…මොකද්ද මං මේ දකින්නෙ….මොනාද ඒ උනේ ….මාත් එක්ක හිටිය ඒ කෙල්ල කවුද …මේක හීනයක්ද..නැත්තං මගෙ මතකයක්ද..ආශාවරී …කවුද ඔයා…ඔයාව මට දකින්න ඕන…..ඔයා කොහෙද ඉන්නෙ….පැතුම් කොච්චර කිව්වත් ඔයාව මං දැකලා නෑ කියලා….එතකොට මේ මට පේන්නෙ…මට ඇහෙන මේ කටහඩ…මං හැමතිස්සෙම කියවන ඒ නම…එතකොට ඒවා….ඒවා බොරුවක්ද…නෑ…ඒවා බොරු වෙන්න විදිහක් නෑ….මට ඔයා බොරු කරනවා පැතුම්…..ඒත් ඇයි එහෙම ඔයා මට බොරුවක් කිව්වෙ….ඇයි…මොකද්ද හේතුව…මේ හැමදෙයක්ම මට දැනගන්න ඕන…ඇයි ඒ කෙල්ලගෙ චායාව දකින වාරයක් වාරයක් ගානෙ මගෙ හිත මෙච්චරටම රිදෙන්නෙ…පුදුම වේදනාවක් දැනෙන්නෙ දෙවියනේ …මං මැරිලා යයිද දන්නෑ මෙහෙම ගියොත් ….” තමන්ටම මුමුණ ගත්ත සදෙව් එදා ආශාවරී වාඩිවෙලා හිටිය පුටුවෙ ඇන්ද සීරුවෙන් අතගාන්න ගත්තෙ ඔහුගෙ කම්මුල් දිගේ ගලා හැලෙන කදුලු පුටුව දිගේ ගලා ගියේ අතීත ආදරය ඔහුගෙ හිත ඇතුලෙ උඩට තෙරපෙද්දි …..

සදෙව් ටික වෙලාවක් pavilion එක උඩ ඉදලා ආයෙම පඩිපෙල් බැහැගෙන පිට්ටනියට බැස්සෙ ඔහුට ඕන කලේ පිට්ටනියට වම් පසින් තිබ්බ සුදු අරලිය ගහ යටට යන්න…පිට්ටනිය දිගේ එහා පසට ගිය සදෙව් ඇවිදන් ගියේ ඒ පිවිතුරු අරලිය ගහ ලගට….අරලිය ගහ යටට ගිය සදෙව් ඔලුව උස්සලා ගහ උඩ බැලුවෙ ලාවට නැගෙමින් තිබ්බ හිරුගෙ දීප්තිමත් කිරණ සුදු අරලිය ගහේ කොල අතරින් මල් අතරින් ඇවිත් සදෙව්ගෙ මුහුණ සිපගත්තෙ සදෙව්ට ලොකු සැහැල්ලුවක් නිදහසක් දැනුනෙ…ගහේ කද ස්පර්ශ කරපු සදෙව් හරිම ආසාවෙන් ගහේ කද දිහා බලා හිටියෙ ඔහුගෙ අතැගිලි ගහ ස්පර්ශ කරද්දි එකපාරටම දැනුනෙ හරි අමුතු හැගීමක්….

” ඒයි..මොකද්ද ඔය කරන්නෙ …??” ආශාවරී එකපාරටම ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුන කටහඩට.පිටිපස්ස හැරිලා බලපු ඇය දැක්කෙ සදෙව්ව…මුවේ දගකාර හිනාවක් ඇදෙද්දි ඇය ආයෙම සුදු අරලිය ගහ දිහාටම හැරුනෙ සදෙව් ඇවිත් ඇය අසලින්ම පිටිපස්සෙන් ඇගේ ගෑවී නොගෑවී වගේ හිටගත්තෙ ගහේ කද දිහා බලාගෙන..

” ඇයි සදෙව් ….මං අපි දෙන්නගෙ නම් දෙකේ මුල් අකුරු ගහේ කොටන්න හදන්නෙ….එතකොට හැමදාටම මේ ගහ අපේ…අපේ ආදරේ මතකයක් මේ ගහ…” ආශාවරී හිනාවෙවී එහෙම කිය කිය තමන්ගෙ ශක්තිමත් කොන්ඩ කටුවකින් ගහ පහුරු ගාන්න ගත්තා…

” ඇත්තටම…කෝ බලන්න….” සදෙව් ගහට එබුනෙ ආශාවරීගෙ උරහිස උඩින් ඔලුව දාලා .ඔහුගෙ වම් කම්මුල ඇගේ දකුණු කම්මුලේ ස්පර්ශ වෙද්දි ආශාවරී ඒ ස්පර්ශයෙන් හිරිවැටිලා ගියා..

” මෙහෙම ලියන්න….කෝ…ගන්න අත..” එහෙම කියලා සදෙව් ආශාවරීගෙ දකුණු අත මත ඔහුගෙ දකුණත තියලා සීරුවෙන් අල්ලගත්තෙ ඇගේ අත අල්ලගෙනම සදෙව් ගහේ කුරුටු ගෑවෙ A+S කියලා….ගහේ කද දිහාම බලාගෙන අකුරු කුරුටු ගාන සදෙව් දිහා ආශාවරී හිමින් සැරේ ඔලුව හරවලා බැලුවෙ ඒත් එක්කම ඇගේ රෝස දෙතොල් සදෙව්ගෙ කම්මුලේ ස්පර්ශ උනේ නොදැනුවත්වමයි .සදෙව් ඒ ස්පර්ශයෙන් වෙව්ලලා යද්දි ඔහුටත් එකපාරටම බැලුනෙ ආශාවරී දිහා..සදෙව්ගෙ සුසුම් ආශාවරීගෙ මුලු මුහුණෙම තැවරිලා ගියා…ආශාවරීගෙ දගකාර දිලිසෙන දුඹුරු ඇස් ලග සදෙව්ගෙ දෑස් නතර වෙද්දි මොහොතක් ඒ තරු නෙත් එකට පැටලිලා දගකරන්න ගත්තා…..දෙන්නට දෙන්නා දිහා බලාගෙන හිටිය ආශාවරීගෙ ඇගිලි තුඩු අල්ලන් හිටිය සදෙව් ඔහුගෙ නිදහස් අතත් ආශාවරීගෙ අනික් නිදහස් අතේ අතැගිලි අතර පැටලෙන්න ගත්තෙ සදෙව්ගෙ බැල්මෙන් ආශාවරී රතුවෙලා ගියා….ලැජ්ජාවෙන් රතුවෙලා ඉන්න ආශාවරී දිහා බලාගෙන සදෙව් හීන් හිනාවක් දැම්මෙ ඔහුගෙ නාසය ආශාවරීගෙ නාසයෙ සියුම්ව ඇතිල්ලුවෙ දගකාර විදිහට .ආශාවරීගෙ දෑස් සතුටින් දිලිසෙන්න ගත්තෙ සදෙව්ගෙ මේ දගකාරම් වලට .

” කවදාවත් අමතක වෙන එකක් නෑ….අමතක වෙන්න දෙන්නෙත් නෑ…..” ඇගේ අත මිරිකලා සදෙව් එහෙම කිව්වෙ ඇගේ දෑස් දිහාම බලාගෙන.

” promise වෙන්න සදෙව් …අමතක කරන්නෑ කියලා මාව…කවදාවත්ම ….” ආශාවරීගෙ දෑස් කදුලින් බොදවෙලා යද්දි ඇය කිව්වෙ ගහේ කදේ ස්පර්ශව තිබ්බ ඇගෙ අත සදෙව්ගෙ අතින් මුදවගෙන ඒ අත ඔහුගෙ මූණ ලගට කරලා හරහට අල්ලලා…..ඇගේ කතාවට සදෙව්ගෙත් දෑස් බොදවෙලා යද්දි ඔහුගෙ අත ඇයගෙ අත මත තියලා ඇයට පොරොන්දු උනා කවදාවත් ඇයව අමතක නොකරන වග…

” කවදාවත් අමතක කරන්නෑ ආශාවරී ….මං මැරුනත් මැරෙන්නෙ ඔයා ලග….” එහෙම්මම ඇගේ අත ආපිට අල්ලලා මුව ලගට කරලා පරිස්සමට සිපගත්ත සදෙව් ආශාවරීව වැළදගත්තෙ ආශාවරීත් සදෙව්ට තුරුල් උනේ ඒ උනුහුමට ලෝබ කමේ..

අරලිය ගහ ලග තවත් එක මතකයක් දිගහැරෙද්දි සදෙව් කිසිත් හිතාගන්න බැරිව අන්ද මන්ද වෙලා වගේ හිටියෙ ගහේ කදේ සටහන් වෙලා තිබ්බ අකුරු දෙක දැකලා….එකපිට එකපිට ඔහුගෙයි ආශාවරීගෙයි මතකයන් මතක් වෙන්න ගනිද්දි මුලු ඔලුවම රිදෙන්න ගත්ත සදෙව්ට හයියෙන් කෑගැහුනෙ ඔහුගෙ මනසෙට ඒ හැගීම් එකවිට දරාගන්න බැරි කමට.

” ආහ්….මගෙ ඔලුව…..” දෑතින්ම ඔලුව අල්ලන් කෙදිරි ගෑව සදෙව්ගෙ දෑස් අගින් එකපෙළට කදුලු ගලා ගියා…

” මොනාද මේ වෙන්නෙ මට….කවුද ඒ කෙල්ල …කවුද …මගෙයි එයාගෙයි මෙච්චර මතකයන්…මොකද්ද මගෙයි එයාගෙයි තිබ්බ සම්බන්දය….මට මුකුත්ම හිතාගන්න බැහැ…..මෙච්චර ලගින් මං කෙල්ලෙක්ව ආශ්‍රය කරලා තියෙනවද…..මෙච්චර දේවල් උනාද අපි අතරෙ…ඒ කවුද මගේ….ඇයි ඒ මූණ මට පැහැදිලි නැත්තෙ…..අයියෝ මගෙ ඔලුව…මොන කරුමෙකටද මංදා මට අතීතෙ අමතක උනේ….ශික්….මේ හැමදෙයක්ම ගැන පැතුම් දන්නවා ඇති…ඒ ඔක්කොම මට එයාගෙන් දැනගන්න ඕන….මට බෑ තවත් විදවන්න…..මේ වේදනාවෙ කෙලවරක් තියෙන්න ඕන…..” සදෙව් හිත හිතම පිට්ටනියෙන් එන්න ආවෙ හිතේ ඇතිවුන ලොකු ප්‍රශ්නයට ඉක්මන්ටම පිලිතුරු බලාපොරොත්තුවෙන් .

මේ අතරෙ උදේ අවදි උන ආශාවරී නදීකා බලෙන්ම බත් කටවල් දෙක තුනක් කැව්ව හින්දම කුස පුරවගෙන උදේට නියමිත බෙහෙත් වේල බීලා සුපුරුදු පරිදි ඇය කාමරේ බැකනියට වෙලා පුටුවක් උඩ ඉදගෙන ඔහේ බලාගත්තු අත බලාගෙන හිටියෙ කිසිම හැගීමක් දැනීමක් නැතුව වගේ….ඇය දිහා හොරෙන් බලා හිටිය නදීකායි මහේශුයි හිටියෙ ගොඩාක් ලොකු දුකකින්…

” දූට ඉක්මන්ට සනීප වෙන එකක් නැද්ද මහේශ් ….මට දුකයි…..බලන්න එයා ඉන්න හැටි ….සම්පූර්ණයෙන්ම එයා ලෙඩෙක් වෙලා මහේශ් ….මගේ ආශි දැන් පිස්සියෙක් වෙලානෙ මහේශ් ….හහ්…ඉහ්…” නදීකා අඩන්න ගත්තෙ අත්දෙකෙන්ම මූණ වහගෙන…මහේශ් ඇගේ උරහිසින් අතක් තිබ්බෙ ඇයව සන්සුන් කරන්න.

” අඩන්නෙපා නදී….අපි අපිට උපරිමයෙන්ම ආශිව සනීප කරගන්න ට්‍රයි කරනවනෙ….එයාට ඉක්මන්ටම සනීප වෙයි…..අද දූව ඩොක්ටර් ලගට ගෙනියන්න ඕන නේද….??” මහේශ් කිව්වෙ දෑස් වල කදුලු පිහිදගන්න ගමන්…

” හ්ම්….ඔව්….appointment එක දවල් 3ට තියෙන්නෙ…ඔයා එනවනෙ….හැබැයි මහේශ් ආශිට පේන්න ඔයා ඉන්නෙපා…එයා කලබල උනොත් හදිස්සියෙවත් …..” නදීකා එහෙම කිව්වෙ පෙර දින වෙච්ච සිදුවීම මතක් වෙලා..

” හ්ම්….හරි….මට ඕන දූව කෝමහරි සනීප කරගන්න…”

” සදෙව්ට විතරයි මහේශ් පුලුවන් ආශිව සනීප කරගන්න….ඔයාට බැරි වෙයිද කුසුම් එක්ක කතා කරලා සදෙව්ව ආශිට මීට් කරවන්න….” නදිකා ඇහුවෙ ඇස් වල කදුලු පිහිදගන්න ගමන්.

” හ්ම්…අනේ මංදා නදී….මං හිතන්නෑ කුසුම් කැමති වෙයි කියලා ඒ වැඩේට ..මං දැක්කා දැන් කොල්ලට හොදටම සනීපයි….එයා ඉස්කෝලෙ යනවා මං දැක්කා……ආරංචි විදිහට කොල්ලාට තවමත් මතකය ඇවිත් නැහැ…..” මහේශ් එහෙම කිව්වා..

” සදෙව් පුතාට මතකෙ ඇවිල්ලානම් එයා කොහොමත් ආශිව හොයාගෙන එනවා මහේශ් ….මගේ දූ හරිම වාසනාවන්ත කෙල්ලෙක්…අපි දෙන්නා එයාට ආදරේ කලා වගේම එයාට එයාගෙ ඉදිරි ජීවිත කාලෙත් පණ වගේ ආදරේ කරන කොල්ලෙක් ලැබිලා ඉන්නෙ….ඒත් අපේ වැරැද්දෙන් ඒ දෙන්නම දෙන්නගෙන්ම ඈත් උනේ…බලන්න දැන් දෙන්නම ඉන්න විදිහ …..ඒ දෙන්නා කවදාවත් එකතු වෙන එකක් නැද්ද මහේශ් …මගේ දූට එයාගෙ ආදරේ ලැබෙන එකක් නැද්ද ….??” නදීකා ඇහුවෙ දුකෙන්….ඇයට දුක ඇගේ චූටි දුව හැමදාටම මේ විදිහට මානසික රෝගියෙක් වෙලාම ඉදී කියලා…

” දන්නෑ නදී…මං දන්නෑ…..අපි ප්‍රාර්ථනා කරමු දූට දූගෙ ආදරේ ඉක්මන්ටම ලැබෙන්න කියලා ..ආශි ඉක්මන්ටම සනීප වෙන්න කියලා අපි බෝධි පූජාවක් වත් තියමු නදී….සදෙව්ට බැරි නං මේ වෙලාවෙ මගෙ දරුවව බේරගන්න….අනිවාර්යයෙන්ම දෙවියන්ට පුලුවන් මගෙ දූව බේරලා දෙන්න…අපිට දෙවියො වත් පිහිට වෙයි නදී…බයවෙන්නෙපා…හැමදේම හරි විදිහට සිද්ද වෙයි… ” මහේශ් එහෙම කියලා නදීකා එක්කම ආශාවරීගෙ කාමරෙන් පිට වෙලා ගියේ ඇයට තනිවම ඉන්න ඉඩහරින්න…

**************************************

කිව්වත් වගේ සදෙව් පැතුම්ගෙන් ආශාවරී ගැන අහාවිද??

❤ ආශ්කා රශ්මි❤

9 thoughts on “ආශාවරී |පනස් දෙවැනි කොටස |නවකතාව |කතා අහුර රචක”

  1. අදත් ගොඩක් ලස්සනයි කතාව…… සදෙව් ආශි දෙන්නම පව් දුකයි ගොඩක්…

  2. Ashawariwa doctor lagat ekkn yaddi sadewwa dakid dnne na.. ane ehem unoth hodai… ethakota ashawariy hodawei.. e wagema sadewtath hamadem mthkwei..

    Hamadamath wage adath kathawa godak lassanai akkiyo..
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  3. Nirosha Lakmali

    හරිම ලස්සන හරිම සුන්දර ආදරණීය කතාවක්. හරිම ආසාවෙන් කියවනවා. ඒත් මේ දවස්වල හරිම දුකයි. ඇඩෙනවා. අනේ දෙන්නම පව්. ඉක්මනට ඒ දෙන්නව එකතු කරන්න. ප්ලීස්… හදවතින්ම සුබ පතනවා.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.