Katha Ahura

ඈ සැබැවින් ම සුරංගනාවක්‌ මෙනි| ගන්දර කලපුව -5 || නවකතාව||

කතාව කොහොමද?

ගන්දර කලපුව -1 || නවකතාව||

ගන්දර කලපුව -2 | නවකතාව|| කතා අහුර||

ගන්දර කලපුව – 3 || නවකතාව||

ගන්දර කලපුව -4 || නවකතාව||

නෑ නෑ විදුලිය තියෙනවා’ උපසේන සිතුවේය. ‘මේ මිනිහා මට කොලේ වහන්න මේ සේරම කරන්නෙ. චිමිනි ලාම්පු පත්තු කලාම ශාලාවෙ ගතියක්‌ තියෙනවා. මගේ හිත දිනාගන්න කරන උප්පරවැට්‌ටියක්‌ මේක’ උපසේන තමාටම කියා ගත්තේ මුල්ම බත්කට ගන්නා අතරේය. කෑම ටික ඇත්තෙන්ම ප්‍රණීත විය.

“මේ ඉන්නෙ ක්‌වට්‌රො’ කාලිංග තමාට කෑම බෙදන තට්‌ටයා පෙන්වමින් කීවේය. ක්‌වාට්‌රොයන්තම් සිනා සුනා පමණි. “ඔය ඉන්නෙ දොaසේ” බොකුටු කෙස්‌ සහිත සේවකයා දෙස බලමින් කාලිංග කීවේය.

‘අමුතු නම්’ උපසේනට සිතුණි. එහෙත් කිසිවක්‌ අසන්නට ඔහු සිත් දුන්නේ නැත.

“සේරම මගෙ හිතවත්සේවකයො. මෙහෙම තමයි ඉන්නෙ”

“හරි – හරි…”

සේවකයන් දෙදෙනා මේසයෙන් මඳක්‌ ඈතට ගොස්‌ කාලිංග පිටුපසින් දෙපසින් සිට ගත්තා. සෙල් පිළිම සේ නොසෙල් වී.

උපසේන බත් රස වින්දේය. කාලිංග තලු මැරුවේය. නිහැඬියාව බිඳිමින් ඇසුනේ වැස්‌සේ අඛණ්‌ඩ හඬ පමණි.

මඳ වේලාවකට පසු උපසේන “මං ඉතිං යන්න ඕනෑ”යි කීවේය.

“ඇයි හදිසි?”

“නෑ – මං ආවෙ කතරගම යන්න නෙ. මගේ බොස්‌”

“ආ බොස්‌ට අද එන්න වෙන්නෙ නෑ කිව්වනෙ”

“ඒ කොයි වෙලාවෙද?”

“එතකොට උපසේන නිදි – මං කරදර කරන්න ගියේ නෑ”

“මොනවද කිව්වෙ?”

“මගෙ ෆෝන් එකට කථා කරල කිව්වෙ. අද එන්න වෙන්නේ නෑ කියලා”

“වෙන – මොනවද කිව්වෙ?

“වෙන මොකුත් නෑ” කාලිංග බත් කටක්‌ කෑවේ තලු මරමිනි.

“හෙට එනව කිව්වද?”

“හෙට උදේ බලමු”

“මං එහෙම නං ගෙදර යන්න ඕනෑ. මාව පාරට ගිහින් දාන්න මං බස්‌ එකක හරි කෝච්චියක හරි – ටැක්‌සියක හරි නැඟිල යන්නං” උපසේන කීවේ නොඉවසිල්ලෙනි.

“කලබල වෙන්න එපා කෑම ටික කාලා ඉන්න. තාම තදේට වහිනවා. ඇහෙනවනෙ? විදුලිත් කොටනවා ගොරවනවා. ටිකක්‌ මේ වැස්‌ස තුරල් වුණාම මම ම ගිහින් ස්‌ටේෂන් එකට බස්‌සන්නං…”

“තෑන්ක්‌ යූ”

“මොනවටවත් කලබල වෙන්න එපා උපසේන. කෑම ටික කන්න. රස විඳින්න. මේ මොහොතෙ ජීවත් වෙන්න”.

උපසේන සැබවින්ම කෑම රස විඳින්නට පටන් ගත්තේ ඉන් පසුවය තමා නිකරුණේ කලබල වූවා යෑයි ඔහුට සිතුණි. මේ මිනිහා නරක මිනිහෙක්‌ වෙන්න බෑ. ඇත්තටම මට කළේ උදව්වක්‌. වහින කොට මාව මෙතැන්ට එක්‌ක ගෙන ආවා. බොස්‌ට කථා කළා. නිදාගන්න කාමරයක්‌ දුන්නා. දැන් මේ කෑම හදලා දුන්නා. මේ මිනිහා හිතන කරන විදිය වෙනස්‌. නරකක්‌ නෙමෙයි වෙනස්‌ වෙනස්‌ විදියකට තමයි ලංවීම. උපසේන කෑම කන අතරේÊකාලංගට සවන් දුන්නේය. කාලිංග කථා කළේ තම දෙමවුපියන්ගේ ඉතිහාසයකි. එය පොතක්‌ ලියන්නට වටින කතාවකුයි. කාලිංග කීප වරක්‌ම කීවේ. කථාව ලියන්නට සුදුස්‌සා තමා දැන් සොයාගත්තා. ඒ උපසේන යෑයි’ කියමිනි.

“ඔව් මට ලියන්න බැරි කමක්‌ නෑ”යි උපසේන කීවේ මේ මිනිහාගේ හිත දිනාගෙන මෙතැනින් ඉක්‌මනින්ම පිටව යන්නට හොර ගල් අහුලමිනි. එහෙත් කාලිංග කියවාගෙන ගිය තොරතුරු බොහොමයක්‌ උපසේනගේ කන වැකුනාට මොළයට වැදුණේ නම් නැත.

කෑම අවසන් විය. මෙහෙකරුවන් දෙදෙන වතුර පිරවූ වීදුරු පාත්‍රය බැගින් ගෙන ආවේ උපසේනටත් කාලිංගටත් අත් සෝදාගන්නටයි. අනතුරුව දොaසෙ, තම වම් වැලමිටෙන් පහළ බාහුවෙහි රඳවා සිටි තුවා කඩක්‌ උපසේනට දුන්නේ අත පිසදමා ගැනීමටයි.

‘මේක මාලිගයක ඉන්නවා වාගෙ නොවැ”යි උපසේනට සිතුනි. ‘මේ මිනිහා ඉන්නේ රජෙක්‌ වගේ. තමා ඇවිත් ඇත්තේ රජ කෙනෙක්‌ වගේ මිනිහෙක්‌ ළඟට. මේ මිනිහා ධනවතෙක්‌ වෙන්න ඕනෑ. එහෙම නම් අර ගඟසිරි හෝටලය වගේ තැනක තේ බොන්න ආවෙ? සමහර විට රජවරුත් වෙස්‌ වලාගෙන සාමාන්‍ය ජනතාව අතරට යනවානෙ. මේ මිනිහත් එහෙම යනවා ඇති. සාමාන්‍ය මිනිස්‌සු අතරෙ ගැවසෙන්න. සාමාන්‍ය මිනිස්‌සු කන විදියට කන්න. සාමාන්‍ය මිනිස්‌සු අඳුන ගන්න. උපසේන වාගේ සාමාන්‍ය මිනිහෙකුට උදව් කරන්නන, අඳුනගෙන කෑම වේලක්‌ දෙන්න, තමන්ගේ මාළිගාව පෙන්වන්, හුවා දක්‌වන්න.

උපසේන උගුරු පෑදුවේ කථා කරන්නට කලිනි.

“ම්-හ්- මේ – කාලිංග- ම්හ් – කාලිංග… මට… මට අපේ ගෙදරට කෝල් ඒකක්‌ ගන්න ඕනෑ…”

“ආ- ඔව්…” කාලිංග සාක්‌කුවෙන් ජංගම දුරකථනය ගෙන උපසේනට දුන්නේය. “ආ.. කතා කරන්න”

උපසේන දුරකථනය ගත්තේ දොaතිනි.

උපසේන මතකයෙන් ගෙදර නොම්මරයට බොත්තම් එබුවේය. දුරකථනය නාද විය. කිසි පිළිතුරක්‌ නැත. සාමාන්‍යයෙන් එහා පැත්තේ පුතා හෝ බිරිඳ පිළිතුරුදිය යුතුය. නැත්නම් පණිවිඩයකට යයි. තමාට පණිවිඩයක්‌ තබන්නට පුළුවන. අද… නාද වෙනවා පමණි. උපසේන යළිත් වරක්‌ නොම්මර එබුවේය. කලින් ප්‍රතිචාරයමයි. පිළිතුරු නැත.

උපසේනට යළිත් හීන් දාඩිය දමන්නට විය.

“මොකද? කවුරුවත් ගන්නේ නැද්ද? “කාලිංග බර හඬින් ඇසුවේය. ඒ දෑසේ වූයේ මහා ගුප්ත බවකි. උපසේන ඉවත බලාගෙන අපහසුවෙන් ‘නෑ – නෑ’ කීවේය. ‘මේ මිනිහා මේ දුරකථනයටත් මොකක්‌ද උප්පරවැට්‌ටියක්‌ කරලා වෙන්නැති. මාව තම්බන්න හදනවා උපසේනට සිතුනි. ‘මොකක්‌ද මේ මූගෙ සෙල්ලම?’

“උපසේන – කලබල වෙන්න එපා” කාලිංග සන්සුන්ව පහත් හඬින් කීවේය. “සමහරවිට මේ වැස්‌ස නිසා ෆෝන් ලයින් අප්සෙට්‌ ඇති.”

“ෆෝන් ලයින්?” කියමින් උපසේන නැගිට්‌ටේ පුටුව තල්ලුකරගෙනය..”අප්a-සෙට්‌?” ඔහු පුටුව තවත් තල්ලු කරද්දී එය ‘දඩස්‌’ ගා පසු අතට වැටුණි. දොaසේ ළං වෙන විට පමා වැඩිය.

බිම වැටුණු දුරකථනය අහුලාත් ක්‌වාට්‌රො එය කාලිංග අතට දුන්නේය.

“මටයි අප්සෙට්‌” කී උපසේන වෙව්ලන්නට වුණේය.

ක්‌වාට්‌රෝත්, දෝසෙත් අවුත් උපසේනව දෙපසින් අල්ලා ගත්හ. උපසේන තවමත් වෙව්ලුවේය. තමා මෙයට පෙර මෙලෙස හැසිරී නැත. මෙතෙක්‌ මුහුණ නොපෑ අවස්‌ථාවකදී මිනිසෙකු ප්‍රතිචාර දක්‌වා හැසිරෙන විලාශය කිsසිවෙකුට පෙර නිමිති කිව නොහැක.

කාලිංග කථා නොකළේය. උපසේන වෙව්ලුවේය. චිමිනි ලාම්පු සියල්ල නටන්නාක්‌ මෙනි ඔහුට පෙනුණේ. කාලිංග දැසෙන් සන් කළේ මෙහෙකරුවන් දෙදෙනාට උපසේනව සෝපාව වෙතට ගෙන ගොස්‌ වාඩි කරන ලෙසටය.

“මෙහෙන් වාඩි වෙන්න සර්. ක්‌වාට්‌රො කරුණාබර හඬින් කීවේය.

උපසේනව සේපාවට තල්ලු විය. උපසේන ඉන්දුනේය. ඔහුගේ වෙව්ලිල්ල සංහිඳෙන්නට මඳ වේලාවක්‌ ගත විය.

ප්‍රධාන දොර විවර විය.

ඌනෝ කඩිනමින් ඇතුළුÊවිය.

“සර්·”ඌනෝගේ කටහඬ දොaංකාර දුන්නේය.

“සර්… අපේ පාරෙ ගහක්‌ කඩාගෙන වැටිලා·”

“මොනවා?” කාලිංග පුදුමයක්‌ පෑවේය.

“ඔව් සර් – වාහනේකට යන්න එන්න බෑ.”

උපසේනගේ අවධානය උනන්දුව අලුත් විය. එහෙත් ඔහු නිහඬව සවන් යොමු කළේය.

“අර දොඹ ගහ සර්”

“චැඃ චැඃ පායන කල් හෙට වෙනකල් මොනවත් කරන්න බැරි වෙනවා” කියමින් කාලිංග උපසේන අසලින්ම හිඳ ගත්තේය.

“මේ මිනිහගෙ ඇඟෙන් එන්නේ අමුතු සුවඳක්‌” උපසේනට සිතුණි. ‘ලයිලැක්‌ මල්වල සුවඳ – මොනව හරි සුවඳ පැන් ජාතියක්‌ හලාගෙන ඇති ඇඟේ ගඳ වැහෙන්න.”

“ඇහුනද උපසේන? අපේ පාරෙ ගහක්‌ කඩා වැටිලා. වාහනේකට යන්න බෑහ් – ඇහුණද?”

“ඔ….. ව්”

“දැන් ඉතිං රෙස්‌ට්‌ කරන්න. අපි හෙට උදේ පෑව්වම මොකද වෙන්නෙ බලමු.”

උපසේන කථා නොකළේය. “මොනව වෙන්නද? මේ මිනිහා මා එක්‌ක සෙල්ලමක්‌ කරනවා. මගේ ජීවිතේ එක්‌ක මොකද්ද සෙල්ලමක්‌ කරනවා. බළලයි – මීයයි වගේ. මේ මිනිහා ලබන්නෙ අමුතු සතුටක්‌.

උපසේනගෙ වෙව්ලිල්ල කෙමෙන් අඩුවිය. තවමත් අත් ඇඟිලි පාලනයක්‌ නැතිව නැටුවේ.

“සර් ඔහොම පිටුපස්‌සට හේත්තු වෙන්න.” ක්‌වාට්‌රෝ එසේ කියමින් උපසේනව සෙමින් පසුපසට තල්ලු කළේය. උපසේනට අප්‍රාණික ගතියක්‌ දැනුණි. “මේ මොනවා වෙන්න යනවද?” උපසේන එසේ සිතන අතරේ ඔහු දකුණු පසින් හිඳ සිටි කාලිංග සිය දකුණත මහපටැඟිල්ල උපසේනගේ නලල මැදට තබා තද කළේය. මොහොතකට සියල්ල නිලංකාර වෙන්නාක්‌ මෙන් උපසේනට පෙනුණි. මඳකට කිසිවක්‌ නෑසී ගියේය. කටහඬවල් දෝංකාර දුන්නා පමණි.

උපසේන දැස්‌ පියා ගත්තේය.

“මෙන්න සර් මේක හෙමින් බොන්න.” ගැහැනු කටහඬක්‌ ඇසෙමින් උපසේන දැස්‌ හැරියේය. ඔහු අසලම වීදුරුවක්‌ අතින් ගෙන සිටගෙන සිටියේ ට්‌රේසාය.

ට්‌රේසා අත වූයේ කිරි වීදුරුවකි. උපසේන එය දොaතින් ගත්තේය. උණු කිරි.

“බොන්න සර්”

උපසේන උගුරක්‌ බිව්වේය. පැණි රසයි. කිරි රසයි. උණුසුමයි.

“බොන්න බොන්න” කාලිංග ද අසල හිඳ කීවේය.

ඇත්තෙන්ම කිරි දියරය උගුරෙන් පහළට යන විට උපසේනට ගත සිත සන්සුන් වෙනු දැනුණි. සිහින් සංගීතයක්‌ අවටින් ඇසෙන්නට විය. ට්‌රේසා මඳක්‌ ඈත් වූවාය. කාලිංග තවමත් උපසේන අසලින් හිඳගෙනය. අනෙක්‌ ආවතේවකරුවන් පිටව ගොසිsනි.

මෙය වේදිකාවක්‌ යෑයි උපසේනට මොහොතකට සිතුණි. සංගීතය, යුරෝපීය සම්භව්‍ය සංගීතයකි. විශ්වයේ පාවී යන සංගීතයක්‌ මන්දාකිණි අතර තරු කැට දිලිසෙන වලාකුල් ඇදී යන සංගීතයක්‌. උපසේනට සැහැල්ලුවක්‌ දැනුණි. ට්‌රේසා මඳක්‌ ඈත් වෙත්ම ශාලාවේ තවත් රුවක්‌ මතුවිය.

ඒ තරුණ කාන්තාවකි. ඈ ට්‌රේසාගේ ඉමහත් බඳ පිටුපස සැඟවී සිටින්නට ඇත. ඒ නැත්නම් ඈ ශාලාවට එන්නට ඇත්තේ මේ දැන් ය.

ඈ හැඳ සිටියේ සුදු ගවොමකි. අතකින් ගත් වෙද නලාවකි. ඈ සැබැවින් ම සුරංගනාවක්‌ මෙන්ය. උපසේනට පෙනුණේ තමා මිය ගොස්‌ දෙව්ලොවකට ගියාවත්ද? ඇගේ සිහිනිඟ, ඇඟ පත, සුන්දර මුහුණ, දිගු ඇහිබැම හා දැස්‌ පිහාටු සහිත දැස, රතු දෙතොල, පිරුණු දෙකම්මුල, තෙල් ගෑවාක්‌ මෙන් ඔපව දිලිසෙන යන්තම් කැරලි වූ කෙස්‌ රළ, පිරුණු ලැම, සිහින් අතැඟිලි, මේ සියල්ලම පහන් එළියෙන් ආලෝකවත්ව උපසේන බලා සිටියේය.

“මේ පංචිමා” කාලිංග සියසුනෙන් නැඟිටිමින් කීවේය.

“පංචිමා තමයි අපේ හෙදිය – වෙදකමත් දන්නවා”

“කෝ බලන්න” කී පංචිමා උපසේන ඉදිරියෙන් නැඹුරුව වෙද නලාවේ රබර් කෙළවර ඔහුගේ පපුවට තැබුවාය.

“හුස්‌ම ගන්න… හොඳට උඩට පහළට” ඈ කීවාය.

උපසේනට පෙනුණේ උස්‌ පහත් වෙන ඇගේ ලැමයි. පියයුරු බෙදා ගත් රේඛාවේ උඩ කොටසයි. ඈ වෙතින් නික්‌මි රෝස මල් සුවඳක්‌ උකහා ගනිමින් ඔහු හුස්‌ම ඉහළ පහළ හෙලුවේය.

“හොඳයි, පංචිමා කියමින් යළිත් කෙළින් වුණාය.

“පපුව හොඳයි සර්, පංචිමා ඒ කීවේ කාලිංගටය. ඇගේ කටහඬ කොතරම් මිහිරිද? කිසිවෙක්‌ වැරදෙන්න බෑ කියන විදියක්‌ උපසේනට දැනුණි.

“කොයිකටත් කටු වෙදකම කරන්න” කාලිංග කීවේය.

“කටු වෙදකම?” උපසේනට ඇසුණා පමණි. ඔහු ඒ ඔස්‌සේ සිතුවේ නැත.

“උපසේනව බලා ගන්න වෙන්නෙ පංචිමාට” කාලිංග කීවේය.

“මාව බලා ගන්න දෙයක්‌ නෑ” යි උපසේනට කියන්නට සිතුණත්, පංචිමා අත දිගු කළ විට ඔහු ඇගේ උදව්වෙන් නැගිට්‌ටේය.

ට්‌රේසා හිස්‌ කිරි වීදුරුව රැගෙන අඟ පත ගස්‌සාගෙන මුළුතැන් ගෙයට යන දොරෙන් අතුරුදන් වුනාය.

උපසේනට රෝස මල් සුවඳ වඩාත් තීව්‍ර දැනුණි. පංචිමා ඔහු අසලම සිටගෙන සිටියාය.

“උපසේනව එක්‌ක ගෙන යන්න” කාලිංග කීවේය.

“උපසේන අද රෑ ගිහිං විවේක ගන්න. අපි හෙට උදේ යන විදිය පිළිවෙළක්‌ කරමු. ම්?”

ඒ. “ම්” හඬ එක්‌තරා තීරණාත්මක විධානයකි.

“එන්න උපා” පංචිමා කීවාය.

“උපා?·” මේ ගෑනි මගේ නමත් කොට කරලා උපා… වෙන මොනවා කොට කරයිද? ඒ උනාට මේ ගෑනිගෙ මොකද්දෝ ආකර්ෂණයක්‌ තියෙනවා. උපසේනට සිතුනි. උපා – හරියට බලු කුක්‌කෙක්‌ වගේ.

පංචිමා උපසේනගේ අත අල්ලාගෙන ඉස්‌සර වූවාය. දෙදෙනා ප්‍රධාන දොර වෙතට යන විට ඒ දොර ඇරුණි. පිටතට ගොස්‌ උපසේන ආපසු හැරී බලද්දී දොර සෙමින් වැසෙමින් තිබිණි. කාලිංග සිටි තැනම සිටගෙන සිටියේය.

පිටත කොරිඩෝවේ විසල් වීදුරු කවුළුවෙන් පිටත විදුලියක්‌ කෙටුවේය. කොරිඩෝව මඳ අඳුරේ විය. එහි සිටගෙන සිටි සේවකයෙක්‌ විදුලි පන්දමක්‌ දල්වා පංචිමා අතට දුන්නේය.

අතකින් විදුලි පන්දම ගත් පංචිමා, අනෙක්‌ අතින් උපසේනගේ අත අල්ලා ගෙන ඉස්‌සර වුණාය. ඇගේ අත උණුසුම් ය.

“එන්න උපා.” අගේ කටහඬ සිත්ගන්නා සුළු ය.

මේ සිහිනයක්‌ ද?

‘පංචිමා’ මහ විකාර නමක්‌. අනික්‌ නම් වගේම ඌනෝ – දෝසෙ – ට්‌රේසා – ක්‌වාට්‌රො – පංචිමා

විදුලි පන්දමේ එළිය සුදුය. බලගතුය. පරිසරය මනාව එළිය විය. උපසේන පංචිමා අනුව ඇවිද ගියේ නිලංකාර වූ දැසකිනි.

දෙදෙනා හිණි පෙළ නැග කාමරය වෙතට ආවේ නිහඬවමය. උපසේනගේ පපුවට දැන් නලාව තිබ්බා නම් ඉතා වේගයෙන් ‘ඩිග් – ඩිග්’ හඬ ඇසෙනු නොඅනුමානය. කාමර දොර හැරුණි.

කාමරය තුළ මේසය මත චිමිනි ලාම්පුවක්‌ දැල්වුණේය. උපසේනගේ ඇඳුම් සියල්ල, බෑගයේ ලා අසුරා බෑගය ඇඳ පාමුල තබා තිබිණි. ඇඳ පිළිවෙලට සකසලාය.

“මට නාන කාමරයට යන්න ඕනෑ.” ගුරුවරියකගෙන් අවසර ගන්නා අයුරෙනි උපසේන එසේ කීවේය.

“යන්න උපා…. මගෙන් තහනමක්‌ නෑ.” යන්තම් සිනාසුණ පංචිමා මේසය අසල හිඳ ගත්තාය.

උපසේන නාන කාමරයට වැදී දොර වසා ගත්තේය. සුලු දිය සැහැල්ලු කළේය. කොමෝඩය අසල සිටගෙන සිටියදී ඔහු සිතුවේ මෙතැනින් පිටව යන ආකාරයක්‌ ගැන ය. ඔහු නාන කාමරයේ වීදුරු කවුළුව අත ගා බැලුවේය. දිගටි සිහින් කවුළුව පැහැදිලි වීදුරු – එහෙත් ඝනකම සහිතයි. පිටත දැඩි අඳුරේ. එක්‌වනම තව විදුලියක්‌ කෙටුවේය.

“අද නම් යන්න බෑ.” ඔහුට සිතුණි. ඒ අස්‌සේ ගහක්‌ වැටිලා පාර හරස්‌වෙලා කියනවානෙ”

ඔහු කවුළුව අත ගා බැලුවේය. කවුළුව බින්දත් තමා පහතට පැන්නත් ඊළඟට කලපුවේ පීනා යන්නද? ඒ දියෙහි කිඹුලන් ඉන්නවා කීවා නොවේද? එය ඇත්තක්‌ දැයි දැන ගන්නට ඉතින් වතුරට පැනලා ම බලන්න වේවි. ඒත් මේ වැහි රෑ කලුවරේ.

උපසේන මුහුණ දොවාගෙන නාන කාමරයෙන් පිටතට ආවේය.

පංචිමා පුටුවේ හිඳ ගෙනම සිටියාය. එහෙත් දැන් ඇගේ කෙස්‌ රළ මුදා හැරලාය. ඇගේ උඩුකය වසා තනපොටක්‌ පමණි.

ඇගේ දැසේ බැල්ම වශී කරන සුළුය. ඇගේ දැතේ කුඩා පෙට්‌ටියකි. රතු පාට ලැකර් ගෑ පෙට්‌ටියක්‌.

මතු සම්බන්ධයි….!

භද්‍රජි මහින්ද ජයතිලක

ඉරිදා දිවයින පුවත්පතේ පළවූ සතිපතා කතාවකී

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.