Katha Ahura

කලබල වෙන්න එප කෑම ටික කාලා ඉන්න| ගන්දර කලපුව -4 || නවකතාව||

කතාව කොහොමද?

මෙතෙක්‌ කතාව

ගන්දර වලව්වේ රාත්‍රී නවාතැන් ගත් ජයසේනට එදින රාත්‍රියේ අත්විඳින්නට සිදුවූයේ බියකරු සහ අමුතුම ආකාරයේ අත්දැකීම රැසකටය.

පසුදින එම නිවසින් පිටව යන්නට උත්සාහ කළ ජයසේනට ඔහු බලාපොරොත්තු නොවූ කරදර රැසකටද මුහුණපාන්නට සිදුවිය.

ජයසේන තවමත් කල්පනා කරන්නේ ගන්දර වලව්වේ සිටින අද්භූත අමුන්තා කවරෙන්ද යන්නය.

අද එතැන් සිට

දිග කලු කබායක්‌ හැඳගත් සේවකයෙක්‌ මේසය මත පිඟන් එකින් එක පිළිවෙළට තැබුවේ පන්සල් බිත්තියක්‌ මත දැල්වූ මැටි පහන් තබන විලාසයෙනි. යම්කිසි ලතාවකට සංයමයකින්.

“සර් මේ පැත්තෙ සෝපාවක වාඩිවෙන්න” ඌනෝ ඇරයුම් කළේය.

මේසය අතට මුහුණලූ ලොකු සුව අසුනක කෙළවරක හිඳගත් උපසේන අවට බැලුවේය. අවට බිත්තිවල පලින් පල චිමිනි ලාම්පු දැල්වුණි. ඒවායේ රන් කහ එළිය පලින් පල ආලෝකමත් කළ අතර මේසය ඉහළින්වූ පහන් වළල්ලක මැද වඩාත් ලොකු වීදුරු චිමිනියක්‌ සහිත ලාම්පුවක්‌ දැල්විණි.

“තාම ලැයිට්‌ ආවෙ නෑ සර්” ඌනෝ බයාදු හඬින් කීවේය. ලැයිට්‌ ආවම ඔය පහන් වළල්ල ගින්දර වගේ පත්තු වෙනවා. අද ඉතින් භූමිතෙල් ලාම්පුවල පිහිට තමයි.”

පහන් වළල්ලෙහි පළිඟු අතර වූ විදුලි බුබුළු දැන් උපසේනට වඩාත් පැහැදිලි විය. චැන්ඩලියර් යනුවෙන් ඉංගී්‍රසියෙන් හැඳින්වෙන්නේ මෙවන් පළිඟු පහන් වළලුය. නමුත් මේ වළල්ල මැද භූමිතෙලින් දැල්වෙන චිමිනි ලාම්පුවක්‌ තිබීම මෙවැනි පරිසරයක වඩාත් උචිත විය. අර බිත්තිවල රඳවා ඇති චිමිනි ලාම්පු ද කියා සිටියේ මේ පෙදෙසෙහි විදුලි බලයෙහි තිබිය හැකි අස්‌ථිර ස්‌වභාවයයි.

“මං යනවා සර්” කී ඌනෝ නැමී ආචාරයක්‌ පා පිටව ගියේය.

උපසේන මේසය වෙත පිඟන් පිළිවෙළට තබමින් සිටි මිනිසා දෙස දැන් වඩාත් උවමනාවෙන් බැලුවේය. හිසකෙස්‌ පසු පසට පීරූ පැහැපත් මුහුණින් යුතු මැදිවියේ මිනිසෙක්‌.. සන්සුන් ඉරියව්. සන්සුන්පෙනුමක්‌ ඔහු උපසේන දෙස බැලුවේවත් නැති උපසේන හිඳිනා මගක්‌වත් මේ මිනිහා නොදනී. උපසේන උගුර පෑදුවේය. උපසේන තමා අත රැඳි ඔරලෝසුව දෙස බැලුවේය. තුනයි හතළිස්‌ පහයි.. වෙන්න බෑ.. පිටත රාත්‍රිය මෙන් හැඟෙයි.

එහෙත් උපසේනට පිටත බැලිය හැකි කවුළුවක්‌ මේ ශාලාවෙහි නොවීය. ඔහු යළිත් තම අත් ඔරලෝසුව දෙස බැලුවේය. තවමත් එහෙමමයි. තුනයි හතළිස්‌ පහයි. ඔරලෝසුව නැවතී තිබිණි. තුනයි හතළිස්‌ පහට මේ ශාලාවේ කොතැනකවත් හෝරා යතුරක්‌ නොවීය.

උපසේන නැඟිට යන්නට සිතුවා පමණි. දුම් දමන ලොකු බඳුනක්‌ දොaතින්ම ගත් තරබාරු ගැහැනියක්‌ උපසේන හිඳ සිටි සෝපාව පසෙකින් බිත්තියේ වූ දොරකින් ඇතුළට ආවාය. උපසේන යළිත් හිඳ ගත්තේ නොසිතාමය. ඔහුව නැවතුවේ ඇගේ තරබාරු සිරුර හෝ ඈ හැඳ සිටි තිරස්‌ව ඉරිදිවූ දිගු සාය හෝ බෝරිච්චි අත් සහිත කහ පැහැ හැට්‌ටය නොවේ. ඇගේ අතේ වූ බඳුනෙන් නැඟී කටට කෙළ උණන කෑම සුවඳයි.

උපසේනට එක්‌වනම බඩගින්නක්‌ දැනුණි

ගැහැනිය මේසය වෙතට ගමන් ගත්තේ උපසේනව ගණන් නොගනමිනි.

මේසය වටා පිඟන් තබමින් සිටි මිනිසා යන්තම් හිස ඔසවා යළි තම කාරියට නැඹුරු වුණේය. ගැහැනිය දුම් දමන බඳුන මේසය මැදට වෙන්නට තැබුවාය. උගුර යටින් මෙන් යමක්‌ කීවාය. කිසිවක්‌ පැහැදිලි නොවීය. සේවකයාට යටි උගුරෙන් මෙන් හඬක්‌ නැඟුවේය. “හ්ම්” කියන්නාක්‌ වැනි හඬක්‌. අනතුරුව ඔහු අර ගැහැනිය ඇතුල් වූ දොරෙන්ම පිටව ගියේය.

උපසේන උගුර පෑදුවේය.

ගැහැනිය එක එල්ලේ ඔහු දෙස බැලුවාය. ඇගෙන් කුමක්‌ අසන්නදැයි උපසේනට එක්‌වරම සිතාගත නොහැකි විය. ඇගේ විවර ලොකු දැසේ වූයේ ආකර්ෂණීය පෙනුමකි. දිගු ඇස්‌ පිහාටු කවාකාර ඇහි බැම. ඒ දෑස්‌ එළදෙනකගේ දැස්‌ මෙනි. මුවැත්තියකගේ දැස්‌ නම් නොවේ. මුහුණේ තෙල් පිපුණු ගතියක්‌ විය. මුහුණ කහ පැහැයකට හුරුය. නැහැය ලොකුය. දෙතොල පුළුල්ය. හැට්‌ට කර ලොකුය. එය මැදින් පියයුරු බෙදන ගැඹුරු රේඛාව මදක්‌ පෙනේ. පියයුරු ලොකුය. දැත්වලද මස්‌ පිරුණු ගතියක්‌ වෙයි. ගමන සෙමින් වුවත් ස්‌ථාවර බවක්‌ වෙයි. අලස නොවේ.

“මේ” උපසේන යළිත් උගුර පෑදුවේය. ඈ නැවතුණාය. ඔහු දෙසම බලා සිටියාය.

“අර ලොකු මහත්තයා දැන් එනවද?”

“ආ ලොකු මහත්තයා ඒවි. දැන් බඩගිනි වේලාවනෙ” ඈ යන්තම් සිනාසුණාය.

ඈ වෙත ඇති කුළුපග බව නිසා තමාට කතා කළ හැකි බවක්‌ උපසේනට දැනුණි.

“ඔයා ද කෑම උයන්නෙ?”

“නැතුව වෙන කවුද?” ඇගේ කටහෙŒ මඳ නොරිස්‌සුමක්‌ වුවද එහි ඇඟෑලි ගතියක්‌ ද විය.

“උදව්වට කවුරුවත් නැතිද?”

“අපොයි ඉන්නවා. දෙන්නෙක්‌ම ඉන්නෙ. කමකට නැති අය මං නැත්තං මෙතන ඉතිං යුද්දයක්‌ තමයි¾”

උපසේන තනිවම සිනාසුණේය. ඇගේ වැදගත්කම ඈ දනියි. ඈ නැත්නම් මෙතැන වැඩක්‌ කෙරෙන්නේ නෑ. ඇත්තටම කෑම ටික උයන්නත් කවුරු හරි එතැයි ඈ නැත්නම් ලොකු මහත්තයා බඩගින්නේ ඉඳීවිද? නැත්නම් ලොකු මහත්තයා ගඟසිරි හෝටලලේට ගිහින් මාළුපාන්, කාලා ඒවි………

“මට තේරුණා.” උපසේන තවත් ඇඟෑලිකමින් කථා කළේ ඇගෙන් තව තොරතුරක්‌ දැනගන්නා අටියෙනි. “මොනවද ඉව්වෙ? සුවඳයි”

“මේ එලෝලු සුප් එක…..” ඈ යන්තම් සිනාසුණාය. එලෝලු කිව්වට කී ජාතියක්‌ දාලා හදන්ටද?”

“මොකක්‌ද ඔයාගෙ නම?” උපසේන ඇසුවේය.

“මම?” ඈ පපුවට අතක්‌ තබා ගත්තාය. කෙනෙක්‌ උවමනාවෙන් ඇගේ නම ඇසූ මුල් අවස්‌ථාව මෙය විය හැකිය. “මම ට්‌රේසා”

“තෙරේසා?

“නෑ නෑ – ට්‌රේසා”

ට්‌රේසා… තෙරේසා මොකක්‌ද වෙනස? නෑ ඈට ඇගේ නම වැදගත්නෙ. ට්‌රේසා.

“ලොකු මහත්තයා මට කියන්නෙ ට්‌රේසා කියලා.”

“ලොකු මහත්තයද නම දැම්මේ?” කියා අසන්නට සිතුණත් උපසේන මුව පියා සිටියේය.

ට්‌රේසා යුහුසුළු බවක්‌ පෑවාය.

“අනිත් කෑම ටික මේසෙට අරින්න ඕනෑ විජහට” කියමින් ඈ පැමිණි දොරන්ම පිටව ගියාය.

උපසේන ගෙල දිගු කරමින් පසු අතට හැරී ඇය ගිය දිසාව බැලුවේය. ඒ දොරෙන් පිටත වූයේ අඩ අඳුරු කොරිඩෝවකි. එහි කළෙවර රතු පැහැ ආලෝකයක්‌ දිස්‌ විය. ඒ මුළුතැන් ගෙය විය යුතුයි. එහෙත් ඒ දෙස වූයේද නිහඬතාවයකි.

මේ පාලු මූසල තැන කොහොම ඉන්නවාද? උපසේනට සිතුණි. මෙතැනින් ගිය තරමට හොඳයි. දැන් ඒ පාර රෑ කෑමක්‌…. කුස්‌සියට ගොස්‌ බලන්නට සිතුණත් උපසේන හිටි තැන මුල් ඇද්දාක්‌ මෙන් අලස බවකින් හිඳ සිටියේය.

තව මදකින් ට්‌රේසා තවත් ලොකු බඳුනක්‌ දැතින්ම ඔසවා ගෙන ආවාය. බත් බන්දේසියක්‌, ඈ අනුව සුදු හැඳගත් සේවකයන් දෙදෙනෙක්‌. තරුණ විය පසු කරන පිරිමින් දෙදෙනෙක්‌. සුදු දිග කබා….. සුදු සරම්. එක්‌ අයෙක්‌ තට්‌ටයෙකි. මදක්‌ තරබාරුය. අනෙකා වඩාත් උස මහත නොවේ. බොකුටු කෙස්‌ සහිත හිසකි. දෙදෙනාම මේසය වෙතට ගමන් ගත්තේ බඳුන බැගින් ඔසවා ගෙනය. ට්‌රේසා අනුවම, තම බඳුන් මේසය මත තැබුවාට පසු ඒ තිදෙනාම යළිත් මුළුතැන් ගෙය අතට ගමන් ගත්හ. උපසේන යමක්‌ අසන්නට තැත් කළද එයට කාල වේලාවක්‌ නොවීය.

උපසේන නැගිට්‌ටේ ඔවුන් දොරෙන් පිටව ගියාට පසුවය. ඔවුන් ගිය අතට යනවා වෙනුවට ඔහු මේසය වෙතට ඇවිද ගියේ කුතුහලයකිනි. මේසය මත සුප් බඳුනත්. ලොකු බත් බඳුනත් හැරෙන්නට අනෙක්‌ බඳුන් දෙකෙහි තෙල් දැමූ අලත්. හොද්දට ඉසූ මස්‌ වගයකුත් විය. බත් කහබත් උපසේනගේ කටට කෙළ ඉනුවේය. බඩගින්න වඩාත් තීව්‍ර විය. ඔහු මේසය පසු කරගෙන තමා මෙතැනට පැමිණි ඇතුළු වූ දොර වෙතට ගියේය.

දැන් ඒ දොර වසා දමා තිබිණි.

ඌනෝ යනවිට ඒ දොර වසාගෙන යන්නට ඇති. උපසේන නිකම්ම දොරට අත තබා බැලුවේය. දොර අගුල්ලා වසලාය.

“මේ මොකද?”

උපසේනට හීන් දහදිය දැම්මේය.

තමා මෙතැනින් පිටව යන්නේ කෙසේද? පිටත එකවනම දැඩිව වැස්‌ස වැටෙන්නට විය. එහෙත් පිටත පෙනෙන තැනක්‌ (කවුළුවක්‌) මේ ශාලාව තුළ නොවීය.

ට්‌රේසාත් අනික්‌ සේවකයන් දෙදෙනාත් යළි බඳුන බැගින් මේසයට ගෙන ආහ. පරිප්පු – බඳුනක්‌ රටළුEනු තක්‌කාලි සම්බෝලයක්‌. කොල මැල්ලුමක්‌ සියල්ල පහන් එළියට දිළිසුණි.

“කෑම ටික කෑව හැටියෙ මෙතැනින් යනවිදියක්‌ බලන්න ඕනෑ” උපසේන සිතුවේය. සිහින් දහදිය අතරේ කටට කෙළ උණයි. බඩගින්න වැඩිවෙයි. “ටැක්‌සියක්‌ ගෙන්න ගත්තාම හරි මොනවත් බැරිනම් කෝaච්චියක්‌ අරන් කොළඹට යනවා. නැත්නං කලුතර තානායකම නවතිනවා. අපේ බොස්‌ට මොනව උනාද? මේ කාලිංගයා මොනව කරනවද? එක්‌වරම ඩාං ගා හඬක්‌ නැගුණි. උපසේන තිගැස්‌සුණේය. ගැඹුරු සීනු හඬක්‌. ඊළඟට තව පස්‌ වතාවක්‌. ඩාං. ඩාං. ඩාං. ඩා. ඩාං. ඔරලෝසුවක හය වදින හඬ එකම අස්‌වැසුම. වෙලාව රාත්‍රි හය බව දැන ගැනීමයි.

තාම එහෙම නම් ඒ හැටි රෑ වෙලා නැහැ. සීනු හඬ සමඟ සේවකයන් තිදෙනා රිද්මයකට මෙන් පිටව ගියහ.

සේවකයන් ගිය අතට යන්නට උපසේන සිතුවා පමණි. මෙතෙක්‌ වසා තිබූ දොර විවරව කාලිංග එතැන ප්‍රාදුර්භූත විය. දැන් කාලිංග හැඳ සිsටියේ ඉනෙන් පහතට මදක්‌ දික්‌වූ ලා කහ පැහැ කබායක්‌ වැනි දිග අත් සහිත කමීසයකුත් ඒ පැහැයම දිගු කලිසමකුත්ය. දෑතේම ඇඟිලිවල මා මුදු රනින් දිලිසුණි.

“ආ… උපසේන. වෙලාවට නැගිට්‌ටද? “කාලිංග හඬ බරකොට ඇසුවේ උපසේන ඔහු දෙස හැරෙද්දීමය.

කාලිංග පිටුපස වූ දොර යන්ත්‍රානුසාරයෙන් ඉබේම වැසුණි. එහෙනම් මේ මිනිහ ළඟ දොර අරින්න වහන්න බොත්තම ඇති. උපසේනට සිතුණි. හරියට අර ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපටයක වගේ. මේ මිනිහා චිත්‍රපට බලලා ඒවා අනුකරණය කරනවා වෙන්නැති.

“බඩගිනිද? අපි කමුද?” කාලිංග තවත් ළං වෙමින් කුළුපඟව ඇසුවේය. “හො’ඳට නිදා ගත්තද?”

“ඔ-ඔව්” මේ මිනිහාට දෙවැනිවෙන්න නරකයි. උපසේනට සිතුණි. ඔහු අනතුරුව ‘තැන්ක්‌යූ” කියා එකතු කළේ සම තැනකට එන ආකාරයෙනි.

“අපි කෑම ටිකක්‌ කමු. අපේ ට්‌රේසා රසට කෑම උයනවා”

“ඔව් මට හම්බු වුණා. අපි කතා කළා”

මොහොතකට කාලිංග නිහඬ විය. නිහඬවම මේසය වෙතට අත පෑවේ ඉඳගන්නට කරන ආරාධනයක්‌ ලෙසිණි.

අර සුදු හැඳ සිටි ආවතේවකරුවන් දෙදෙනා මේසය වෙතට ඇවිත් සිටියා. තට්‌ටයා කාලිංගගේ පිඟානට බත් මාලු පිණි බෙදූ අතර, බොකුටු කෙස්‌ ඇත්තා, උපසේනට ආවතේව කළේය. කාලිංග ප්‍රධන අසුනේ හිඳ සිටි අතර උපසේන ඔහුගේ වම් පසින්ය හිඳ සිටියේ.

මතු සම්බන්ධයි….!

භද්‍රජි මහින්ද ජයතිලක

ඉරිදා දිවයින පුවත්පතේ පළවූ සතිපතා කතාවකී

 

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.