Katha Ahura

ඉල් පොහොය වෙන්වෙන් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

4.3/5 - (41 votes)

ගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියා.

පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා:”මෙයින් මගේ බිරිඳට පිං ලැබෙයි කියල ඔබ වහන්සෙ හිතනවද?”

”ඔබේ බිරිඳට විතරක් නෙවෙයි, මේ පිරිත් සජ්ඣායනයෙන් සියලූම සචේතනික සත්ත්වයන්ටම පිං ලැබෙනවා” තෙරුන්ගේ පිළිතුර වුණා.

”ඔබ වහන්සෙ කීවාම සියලූම සචේතනික සත්ත්වයන්ට මෙයින් සෙත සැලසෙනවා කියා, ඒක මගෙ හිතට හරිමදි. මගේ බිරිඳ දුර්වල අයෙක්. ඉතින් ඇය මේ පිං අරන් අනෙක් අය ශක්තිමත් වුණොත් ඒක එයාට අවාසියක් වේවි. මේකෙන් ලැබෙන වාසිය ඇයට විතරයි ලැබෙන්න ඕනෑ. ඒ නිසා කරුණාකර නැවත ඇයට විතරක් පිරිත් ටිකක් කියන්න.” ගොවියා ඉල්ලා සිටියා.

තෙරුණුවන් ඔහුට පහදා දුන්නා, බෞද්ධයාගේ අභිලාෂය විය යුත්තේ කිසිම වෙනසක් නැතිව සෑම සචේතනික සත්ත්වයකුට ම එකසේ පිං පැමිණ වීම බව.

”ඒක ඉතා හොඳයි. ඒත් එක පුංචි වෙනසක් කරන්න බැරිද මං වෙනුවෙන්. මගේ අසල් වැසියා මට හරියට හිරිහැර කරනවා, ඒ හින්දා මේ සියලූම සචේතනික සත්ත්වයන් අතරින් එයාව විතරක්වත් අයින් කරන්න බැරි ද?” ගොවියා අවසන් වශයෙන් ඉල්ලා සිටියා.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)
2.ගුරුවරයකුගේ කාර්යයභාරය කුමක්ද? : තවත් සෙන් කතාවක්
බන්කෙයි නම් සෙන් ගුරුතුමා රටරටවලින් පැමිණි විවිධාකාරයේ ගෝලයන් පිරිසකට ධර්මය ගැන කියා දෙමින් භාවනා ක‍්‍රම පුහුණු කරමින් සිටියේය. ඒ අතරින් එක් ගෝලයෙක් සොරකම් කරන්නට පුරුදුව සිටි අයෙකි. ගෝලයෝ තමන් සතු යම්යම් දෑ නැති වූයෙන් ඒ ගැන ගුරුතුමාට පැමිණිලි කළහ. ගුරුතුමා එය ගණන් නොගෙන සොරකම් කිරීමේ පුරුද්ද අත්හළ යුතු එකකැයි පොදුවේ සියලූ දෙනාම අවවාද කළේය. එත් සොරකම එතැනින් නතර නොවීය. ඉන්පසු ගෝලයන් විමසිල්ලෙන් පසු වූයෙන් සොරකම අතටම අල්ලා ගත හැකි විය. ඔවුහු සොරා අල්ලා ගෙන ගොස් ගුරුතුමාට ඉදිරිපත් කළහ. සොරා පන්සලෙන් පන්නා දමන ලෙස ඉල්ලා සිටියහ. ඒත් ගුරුතුමා ඔහුට අවවාද කළා මිස වෙන කිසිවක් කළේ නැත. සොරකම නතර නොවීය. තවදුරටත් ඉවසා සිටිය නොහැකි ගෝලයෝ සොරා පන්සලෙන් නොරපා නොදැමුවොත් තමන් සියලූ දෙනාම එක්ව පන්සල හැර වෙනත් ගුරුතුමකු සොයා යන බව ඔවුන් සියලූදෙනාගේම අත්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියහ.

ගුරුතුමා ඔවුන් සියලූ දෙනාම එක් රැස් කළේය. චෝදනා ලැබූ ශිෂ්‍යයා ද එහි ගෙන්වීය. ඊළඟට ගුරුතුමා කාටත් ඇසෙන සේ පෙත්සම කියවීය. අනතුරුව ගෝලයන් අමතා මෙසේ කීය:

”බොහොම හොඳයි, ඔබ හැම දෙනාම හොඳ නරක හැම දෙයක් ගැනම දන්නා අයයි. ඒ නිසා ඔබ හැමදෙනාටම ඕනෑම තැනක ගොස් ඕනෑම ගුරුවරයකුගෙන් ඉගෙනීමේ හැකියාව තියෙනවා. ඒත් මේ ගෝලයාට එහෙම නෑ. ඔහු අඩු තරමින් සොරකම නරක දෙයක් බව දන්නේ නෑ. ඒ නිසා ඔහුට හොඳ නරක කියා දෙන්න ඉන්නෙ මං විතරයි. ඔහු යහමගට ගැනීම මගේ පරම යුතුකමයි. ඒ නිසා කැමති අයට යන්න පුළුවන්.”

ගුරුතුමාගේ ඒ කතාව අසා සිටි ගෝලයාගේ දෑසින් කඳුළු කැට කඩා හැළුණේය. ඔහුගේ සිතෙහි සොරකමට ඇති ආශාව එකණෙහිම අතුරුදන් විය.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)

5 thoughts on “ඉල් පොහොය වෙන්වෙන් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.