පන්තියෙන් පිට උන ශානිකා කෙලින්ම ගියේ පිට්ටනියට. අනිත් අය සෙල්ලම් කරන හැටි බලන් ඉදල එපා වෙලාද කොහෙදෝ අසංක සර් එතැනින් ගිහින් තිබුනා. ඒක නිසා පිට්ටනිය අයිනෙ වැවිල තිබුන ලොකු ගහ ළගට ගිය ශානිකා එතැන හදල තිබුන සිමෙන්ති බංකුව උඩ වාඩි උනා. ඊට පස්සෙ මාලිකාවත් තමන් ළගින් වාඩි කරව ගත්ත. ඒත් එයාගෙන් දකින්න ලැබුනෙ හරිම නිශ්ශබ්ද බවක්. වචනයක්වත් පිට උනේ නෑ. ටිකක් හයියෙන් හමපු නුහුරු හුලගින් ශානිකාගෙ ඇස් දෙකත් පිය උනා.
“මොකද ශානි?” මාලිකා ඇහුවෙ යාලුව දිහෑවෙ බලල.
“උඹ ඔය අරෙහෙම කිව්වෙ ඇත්තටමද?”
“ඒක ගැන තමයි මමත් කල්පනා කලේ මාලි!”
ශානිකා කිව්වෙ බිම බලාගෙන.
“මගේ කටින් පිට උන දේවල් ගැන මටම හිතා ගන්න බෑ”
“ඉතින් ඇත්තටම උඹ සාරංගට කැමති නැද්ද?”
“අකමැතිව නෙවෙයි බං. ඌ හොද කොල්ලෙක්. උගෙ යාලුවො දෙන්නත් හොද එවුන්. සෙල්ලක්කාර වැඩ කලාට පන්තියෙ අනිත් උන්ට වඩා උන්ගෙ හිත හොදයි”
“එහෙනම්?” මාලිකා ඇහුවෙ එයාගෙ ලස්සන ඇස් ලොකු කරල.
ශානිකා ඈතට යොමු වෙලා තිබුන එයාගෙ ඇස් මාලිකා දිහාවට හැරෙව්වා. පුංචි හිනාවක් කට කොනකින් මතු උනා.
“අනේ මන්ද බන්, හිතේ දහිරියට කැමතී කිව්වට මට නම් මහ බයකුත් දැනෙනවා. උඹ දන්නවනෙ පවුලෙ එකම කෙල්ල උනාම කොච්චර සීමා වෙලාද මට ඉන්න වෙලා තියෙන්නෙ කියල. ඒ අතරෙ සාරංගට ඉඩක් දෙන්න පුලුවන් වෙයිද කියල මට සැකයි”
“මේ බලපන්” මාලිකා කිව්ව.
“මම මේ උඹට සාරංගට ආදරේ කරන්න කියනව නෙවෙයි. ඒත් උඹ කරන්න ඕන උබේ හිත කියන දේ. ඒක සාර්තක කර ගන්න මමත්, නාලකත් අර අනික් එකා, කව්ද මේ…චාමරත් උදව් කරනවා. ඒ කවුරු නැතත් මම උඹත් එක්ක ඉන්නවා. ඒ නිසා උඹ බය වෙන්න නම් එපා”
ශානිකාගෙ ඇස් දෙක දිලිසුනා. මාලිකා දිහාවෙ බැලුව එයා මාලිකාගෙ අතකින් අල්ලගත්තෙ තදේට.
“ඇත්තමද බන් උඹ ඔය කියන්නේ? ප්‍රොමිස් වෙයන්”
“ඇත්තමයි” මාලිකා කිව්වෙ නාලකත් සාරංගත්, චාමරත් ඈත එනව දැකල.
“කෝ මෙහෙ බලපන්, ඔය ඇස් දෙකෙත් කදුළු, පිහිද ගනින් අන්න උඹේ කුරුල්ලා එනව මේ පැත්තට.”
ශානිකා බය වෙලා වගේ මාලිකා පෙන්නපු දිහාවෙ බැලුව. කිව්වත් වගේම ඇහැක් අගට ඇවිත් තිබුන කදුලු බිංදුවක් ලේන්සුවෙන් පිහිදල දාල සතුටින් හිනා උනා.
මාලිකා හිනාවෙන ශානිකා දිහා බැලුවෙ පුදුමෙන්. ඇත්තටම ආදරේ මොන වගේද? එයාට හිතුනා. මොක උනත් තමන්ට නම් ඒක එපා කියලත් හිතුන බව නම් නොකියාම බැහැ. වෙන හේතුවක් හන්ද නෙවෙයි. එහෙම දෙයක් දරා ගන්න තරම් මාලිකා තාම පුංචි වැඩියි.
ඈත් එමින් ඉදිය කොල්ලො තුන් දෙනා දැන් පිට්ටනියෙ මැදක් වෙනකම් ඇවිත් තිබුනා. ශානිකා ඉදපු තැනින් නැගිටලා එන්නය කියල සාරංගට අත වැනුව. අත වනන්න දෙයක් නෑ උන් එන්නෙ මෙහෙට තමයි කියල මාලිකාට පෙනුනත් එයා සද්ද නැතුව බලන් උන්නා.
මුලින්ම ආවෙ නාලක ආපු ගමන් ගහේ පාත් වෙලා තිබුන විසාල අත්ත උඩට පැනල එයා වාඩි උනා. සාරංගත් චාමරත් ශානිකාල ඉදිය තැනට ඇවිත් හිට ගත්තා.
නාලක එයා ඉදපු අත්තෙ කොණ පෙන්නලා චාමරවත් වාඩි කරව ගත්තා.
“ඔයා එන්න මෙතනට”
ශානිකා කිව්වෙ සාරංගට තමන් ළග තිබුන හිස් ඉඩ පෙන්නල.
“කමක් නැද්ද? කවුරු හරි දැක්කොත්?”
සාරංග බය උනා.
“කවුරු දකින්නද බන් ඔන්න ඔහේ වාඩි වෙයන්!” නාලක කිව්වෙ ඈත් බලාගෙනෙ.
“කවුරු හරි එනවනම් අපි කියන්නම්”
සරංග බයෙන් බයෙන් වාඩි උනා. ඊට පස්සෙ ශානිකා දිහා බලල මල් පාට හිනාවක් දැම්මා.
“හිනා නෙවෙයි පරිස්සමින් කොල්ලෝ”
ශානිකා කිව්වෙ සරංග දිහා බලල.
“ඔයා දැන් මේව ගැන නොහිත පාඩම් කරන්න ඕනෑ. විබාගෙට තව මාස කීයද තියෙන්නේ”
“ඔයත්”
සාරංග කිව්වෙ වට පිට බලල.
“ඔයත් මට ඒක පොරොන්දු වෙන්න ඕන. ඔයා නැතිව ඒ.ලෙවල් කරන්න උනොත්. අයියෝ මට මොනව හිතෙයිද?”
“හ්ම්ම්ම් එහෙනම් මමත් පොරොන්දු වෙන්නම්කෝ මෝඩයෝ”
ශානිකා කිව්වෙ ඇහැක් වහල.
“ඉතිං”
දෙන්නම කිව්වෙ එක පාර. දෙන්නටම හිනා ගියා. ඒක දිහා බලන් ඉදිය මාලිකාටත් හිනා ගියා.
“දැන් ඉතිං රෝන්දෙ ගහල් එහෙම මට අහු වෙන්න එපා හොදේ”
ශානිකා කිව්වෙ හිනා වෙවී.
“වෙන කෙල්ලො දිහා බලලවත් අහුවෙන්න එපා මට. ගහනවා කණ පැලෙන්න”
“මටද?” සාරංග ඇස් දෙකින් හිනාවෙවී බයෙන් වගේ මූන හදාගෙන ඇහුවා.
“අනේ මම ඔයාට හරි බයයි!”
“ඇත්තට?” ශානිකා කිව්වෙ ඇස් දෙක නටවල.
“ඔයාට නෙවෙයි අනේ, ගහවා ඒ කෙල්ලට”
සාරංග හිනා උනේ ලෝකෙම දිනල වගේ.
ඒත් එක්කම පීරියඩ් බෙල් එක ඈති වදිනව ඇහුනා. නාලක ගහෙන් බිමට පැන්නා.
“යමු නේද පන්තියට”
“යමු”
කියපු සාරංගත් නැගිට්ටා.
ඒත් ශානිකා සාරංගගෙ අතින් අල්ලගෙන නැවැත්තුවා.
සාරංග දේදුන්නෙ පාටට හැරුනා.
“නැගිට්ටවනවා මාවත්, දැන් තනියම යන්න දෙන්නෙ නෑ මම”
දෙපැත්ත බලපු සාරංග ශානිකාගෙ අතින් අල්ලලා බංකුවෙන් නැගිට්ටෙව්වා. ඊට පස්සෙ දේදුන්නෙ පාටින් රෝස පාටට හැරුනා. නාලකට හයියෙන් හිනා ගියත් කැස්සකින් ඒක වහගෙන කපල් එක දිහා බැලුව. නාලකගෙ මූන දැකපු මාලිකාටත් හිනා ගියා.
ඉතිරිය දිනපතා උදෑසන 10ට