Katha Ahura

දෝණී | 07 කොටස | හොල්මන් කතා |

4.8/5 - (29 votes)

#07 කොටස

එදා වෙච්ච දේ මං දැකපු දේ මිතුන් එක්ක කිව්වෙ යමක් දිහා සීරියස්ම හිතන්නෙ ඌ විතරක් නිසා. ඒකෙන් පස්සෙ මට හරියට නින්දක් ගියේවත් නෑ. මගෙ මූණ දිහා බලන් හිටපු මිතුනා නිකන් නක්කලේට වගේ හිනා උනා.

“උඹත් නිකන් අර Nightmare on Elm Street ෆිල්ම් එකේ නිදිමරාගෙන ඉන්න එකෙක් වගේනෙ. බලපන් මූණෙ හැටි…” ඌ හිනාවෙන ගමන් කිව්වා.
“විහිලු නෙමෙයි බං ඒකි මට ඒකිගෙ අතීතෙ පෙන්නනවද කොහෙද… මං දැනන් හිටියා ඒකි වර්ජින් නෙමෙයි කියලා. ඒක දැන දැනමයි ඒ කාලෙ ලවු කලෙත්. ඒත් ඉතින් මෙහෙම දෙයක් උනා කියලා දන්නෙ නෑනෙ. මට තෙරෙන්නෙ නැත්තෙ ඇයි මට මෙහෙම ඒවා ඒකි පෙන්නන්නෙ කියලා. අනික මට මෙහෙම හීනෙන් පවා වද දෙන්නෙ ඇයි බං. බලපන් ලංකාවට ආපු වෙලාවෙ ඉඳලා මට සැනසීමක් නෑ. ඒකි මැරුණා, හරි මට ඒකට දුකයි තමයි. ඒත් බං ඒකි ජීවත් වෙලා ඉද්දි මට එච්චර ආදරේ කලානම් ඇයි බං මැරුණම ඇවිත් මට වදයක් වෙන්නෙ? ඒක ලවු එකක් නෙමෙයි බං මල වදයක් ඇත්තටම…” මං කිව්වෙ කලකිරීමක් එක්ක ආපු තරහක් එක්කමයි.
“හරි මචං මට තේරෙනවා… ඒත් මටනම් හිතෙන්නෙ මං එදා කියපු දේවල්ම තමයි. උඹේ හිතෙන් ඔය විකාර අයින් කරපන් බං. එක්කො උඹට මෙහේ ඉන්න බැරිනම් ටික දවසක්ට පහන්දිලාගෙ ගෙවල් පැත්තට පලයන්. එහෙ ටිකක් නිවී හැනහිල්ලෙ ඉන්න පුලුවන්නෙ උඹට. එහෙම නැත්තම් අපි සෙට් එක යමු ට්‍රිප් එකක්වත් වෙනසකටත් එක්ක… එතකොටවත් උඹේ හිත කූල් වෙලා මේ දේවල් අමතක වෙයිනෙ…”
“පහන්දි නැතුව එහේ ගිහින් වැඩක් නෑනෙ බං. අනික තාම අපේ ගෙදර කට්ටිය එක්ක එහෙ ගියෙත් නෑනෙ. ඉතින් එහෙම යන එක හරි නෑ. හැබැයි ඉතින් ට්‍රිප් එකක් යන එකනම් පට්ට අයිඩියා එක. අපේ උන් එක්ක කතා කරලා බලමු ඒක…”
“අන්න එහෙමනෙ බං කොල්ලො… ඔය හු#%වල් අමතක වෙන්නත් එක්ක ගිහින් ආතල් එකක් අරන් එමු බං… අපේ උන් එක්ක ඉද්දි උඹට ඕවා අමතකම වෙලා යයි” මිතුන් එහෙම කියද්දි ටික වෙලාවකට මට සැනසීමක් දැනුණා. මොනා උනත් යාලුවො අතර ඉද්දි දැනෙන සතුට සැහැල්ලුව වෙන අයගෙන් ලැබෙන්නෙ නෑ. අපි දෙන්නා තව වල්පල් හෑලි ටිකක් කියෝ කියෝ ඉඳලා පොඩි රස්තියාදුවකුත් දාලා රෑ වෙලා ගෙවල් වලට ගියේ. ගෙදර ගිහින් පහන්දි එක්ක පැය දෙකකටත් වැඩි කාලයක් කතා කර කර හිටපු මගෙ හිත තවත් හොඳටම සැහැල්ලු උනේ එයාගෙ දඟකාර, හුරතල් කතා වලට. පුංචි එකෙක් වගේ මගෙ ලඟ හුරතල් වෙන ඒ ආදරේට මං හුඟාක් ආදරේ කලා. ඒ නිසාමද කොහෙද එදා රෑ මට කිසිම නරක හීනයක් නොපෙනී නින්ද ගියා.

පහුවදා උදේ මට අහන්න ලැබුණෙ නරක ආරංචියක්. ඒ තමා මිතුන් අක්සිඩන්ට් වෙලා උට හොඳටම අමාරුයි කියන එක. ඉක්මණින්ම ලෑස්ති වෙලා ඉසුරුලාගෙ ගෙදර ගිහින් ඌවත් දාගෙන හොස්පිටල් එකට ගියේ හැටට හැටේ. අපි යද්දිවත් ඌව වෝඩ් එකට දාලා තිබ්බෙ නෑ. මිතුන්ගෙ අම්මා අඬ අඬා හිටියා. අපි එයාවත් සනසන ගමන් ඇහුවෙ මොකද උනේ කියලයි.

“පුතා මාව ගන්න පාන්දර ගෙදරින් ඇවිත් තියෙන්නෙ. මං ටවුන් එකට වෙලා හිටියෙ එයා එනකල් ඒත් ගෙදරින් පිටත් උනා කියලා කිව්වට එච්චර වෙලාවක්ම ආවෙ නැති නිසා මං පයින්ම ටික දුරක් ආවෙ මගදිවත් හම්බවෙයිනෙ කියලා හිතාගෙන. කෝල් ගත්තත් ආන්සර් කලේ නෑ. ගෙදරට කතා කලාමත් මාලි කිව්වෙ පුතා ගෙදරින් පිටත් වෙලා පැය බාගෙකටත් වැඩිනෙ කියලා. මේ උදේම කොල්ලා වෙන කොහෙවත් ගියාද කියලා හිතාගෙන බැන බැනම පයින් එද්දි තමා දැක්කෙ පාරෙ මිනිස්සු වගයක් කලබලෙන් වගේ වට වෙලා ඉන්නවා. එතෙන්ට ගිහින් බලද්දි ලේ විලක් මැද්දෙ මගෙ කොල්ලා වැටිලා හිටියා පුතේ… හොස්පිටල් ගේද්දිත් සිහිය නෑ හොඳටම තුවාල වෙලා…” මිතුන්ගෙ තාත්තා අනිල් අංකල් කියාගෙන ගියේ ඇස්වල කඳුලු පුරෝගෙන. ඒ කඳුලු වලින්ම මට තේරුණා මිතුන්ට ගොඩාක් අමාරු වෙලා ඇති කියලා.
“දැකපු කෙනෙක් කිව්වෙ පුතා මොනාදෝ මන්දා හයියෙන් කෑගගහා අතක් ඉස්සරහට දාලා හරියට නිකන් මොනාහරි අයින් කරනවා වගේ වන වනා ආවා කියලා. ඊටපස්සෙ කන්ට්‍රෝල් නැතුව ගිහින් බයික් එක පෙරලිලා මෙයාව විසිවෙලා ගිහින් එතන තිබ්බ ගහක වැදිලා වැටිලා…” මිතුන්ගෙ මාමා කෙනෙක් කිව්වා.
“ඩොක්ටර්ස්ලා පවා හිතුවෙ මැරිලා කියලලු.. අනේ දෙයියනේ මගෙ කොල්ලා පෙර කරපු පිනක් නිසාමද කොහෙද බේරිලා තියෙන්නෙ…. මගෙ දරුවා…..” මිතුන්ගෙ අම්මා කෑගගහා අඬද්දි මගෙ ඇහැටත් කඳුලක් ආවෙ නොදැනීම. ඊයෙත් දවසම මාත් එක්ක ෆුල් ආතල් එකේ හිනාවෙවී හිටපු එකාට මෙහෙම උනා කිව්වම විශ්වාස කරන්නත් අමාරුයි. අනික උගෙ මාමා කියපු දේවල්? ඌ කවදාවත් බයික් එකක යද්දි පිස්සුවක් නටන්නෙ නෑ කියලා මං හොඳටම දන්නවා. මොකුත් හිතාගන්න බැරුව හිතත් එක්කම අවුල් වෙලා ඉද්දි ඉසුරුවා මාවත් අරන් එලියට ආවා.

“අහසා මොකද බං මේ උනේ… ඌ කවදාවත් අපි වගේ බයික් එකක යද්දි පිස්සුවක් නටන්නෙ නෑනෙ බං. අනික ඌ පට්ට පරිස්සම්. ඕකව පොඩි කාලෙ බයිසිකලේකින්වත් වැටිලා නෑ කියලයි උන්ගෙ තාත්තා කියන්නෙ. එච්චරම පරිස්සම්ලු. අනේ මන්දා බං මූට මෙහෙම උනේ ඇයි කියලා හිතාගන්න බෑ…”
“ඔවු බං මාත් ඕකම තමා කල්පනා කලේ. ඊයෙත් මාත් එක්ක හෙන ආතල් එකේ හිටපු එකානෙ බං. එකපාරටම උන දේ හිතාගන්න බෑ බං…”
“මට අවුල ඌ අර විදිහට හැසිරුණු එක බං. සත්තු වෙන්නත් බෑ මොකද ඌ හයියෙන් කෑගගහා ඇවිත් තියෙන්නෙ… අනේ මන්දා බං මොනවා වෙනවද කියලා. මටත් මේ ටිකේම මහ අවුල් හීන පේනවා. උඹටත් අවුල්. මෙහෙන් දැන් මූ හැප්පුනා. අපිට මාර අපල කාලයක් වගේ බං…” ඉසුරුවා සෑහෙන අවුලකින් වගේ කිව්වෙ.
“උඹටත් අවුල් හීන පේනවද බං…?”
“ඔවු බං ඊයෙත් දැක්කා කවුදෝ මන්දා කෙල්ලෙක් ඇවිත් මට හෙන ලවු එකෙන් වගේ කතා කරලා මාව කන්දකින් පහලට තල්ලු කරනවා. යකෝ කෙල්ලෙකුත් නැති මට එහෙම ඒවා පේද්දි කෙල්ලෙක් එක්ක සෙට් වෙන්නවත් හිතක් නෑ බං…” ඌ කියපු දේට මට හිනා ගියත් මං කල්පනා කලේ මං ආපු දවසෙ ඉඳන් නේද මුන්ටත් මේ කරදර කියලා. මේවලින් ටිකක් හිත නිදහස් කරගන්න හවසට පල්ලියටවත් යන්න ඕනෙ කියලා මං හිතාගත්තා. තව ටිකක් එලියට වෙලා ඉද්දි චාමරයයි අපේ නංගියි ආවා. අපි හතර දෙනා ඇතුලට ගිහින් මිතුනගෙ අම්මවයි තාත්තවයි සැනසුවෙ උගෙ තත්ත්වෙ ගැන තාමත් ආරංචියක් ආවෙ නැති නිසා.

දහයාමාරට විතර දෙන්නෙකුට විතරක් මිතුනව බලන්න යන්න අවසර ලැබුණා. උගෙ අම්මයි තාත්තයි ඇතුලට ගියාට පස්සෙ අපි එලියෙ ඉඳන් කතා කර කර හිටියෙ ඉවසිල්ලක් නැතුව. දොරේ තිබ්බ පොඩි කවුලුවෙන් ඇතුල බැලුවත් මොකුත් දැකගන්න බැරි උනේ තිර රෙදි වලින් කවර් කරලා තිබ්බ නිසා. පැය කාලක් විතර එහෙම එද්දි මිතුන්ගෙ අම්මා අඬ අඬාම එලියට ආවෙ. තාම හරියට කතා කරගන්න බෑලු උට. ඒ නිසා බලලා ඇවිත් එයාලා. අපිට බලන්න යන්න දුන්නෙ නැති නිසා තවත් පැයක් විතර එතන හිටපු අපි ගෙදර එන්න පිටත් උනේ හවසත් එන්න බලාපොරොත්තුවෙන්.
****************************************************************

හවසත් මිතුනව බලන්න ගියත් වාට්ටුවට දාලා තිබ්බෙ නෑ. මං කිව්වා ඌව ප්‍රයිවට් හොස්පිටල් එකකට මාරු කරගමු කියලා. ඒත් උගෙ තාත්තා ඒකට කමති උනේ නෑ. තව ටිකක් එතන ඉඳලා ගෙදර ඇවිත් වොශ් එකක් දාගන්න කියලා බාත් රූම් එකට ගියේ හිත සෑහෙන්න අවුල් වෙලා නිසා. ඒ නිසාම බාත් ටබ් එකට වතුර පුරවලා ඒකට බැහලා ටිකක් වෙලා ඉද්දි මට සනීපෙටම ඇහැ පියවුණා. ඒත් ඒ ටික වෙලාවකට විතරයි. සද්දයක් ඇහිලා ඇස් ඇරලා බලද්දි බාත් රූම් එකේ ලයිට් ඩිම් වෙනවා තේරුණා. ටිකකින් ආයෙ හරිගියා. ආයෙ ඩිම් වෙන්න ගත්තා. මේ මොකද වෙන්නෙ කියලා හිතද්දිම ලයිට් එක නිවිලා ගියා. සැනසීමෙ නාගන්නවත් නෑනෙ කියලා හිතින් බැන බැන බාත් ටබ් එකෙන් එලියට බහින්න කකුලක් උස්සද්දිම මං දැක්කා බාත්ටබ් එකේ තිබුණ වතුර නිකන් මඩ පාටට වගේ හැරෙනවා. “ඕහ් ශිට්..!” මටම මුමුණගත්තු මං බාත් ටබ් එකෙන් එලියට බැහැලා ටැප් එකක් ඇරලා බැලුවෙ ඒවල වතුරත් මඩ වෙලාද කියලා බලන්න. ඒවලින් හොඳ පිරිසිදු වතුර ආපු නිසා ආයෙමත් බාත් ටබ් එක දිහා බලද්දිම දැකපු දෙයින් මාව පස්සට විසිවුණා. කාගෙදෝ මන්දා ඔලුවක් වතුරෙ පාවෙවී තිබ්බෙ කලුපාට දිග කොණ්ඩයක් වතුරෙ හැමතැනම වගේ විසිරිලා තියෙද්දි. ටිකකින් හොඳටම සුදුමැලි වෙලා, සෙවල බේරෙමින් තිබ්බ අතක් එලියට ආවා. මඩ පාටට තිබ්බ වතුර එක හරියට නිකන් පල් වෙච්ච වතුර වගේ ගඳ ගහන්නත් තද කොල පාටට හුරු කලු පාටක් වෙන්නත් පටන් ගත්තෙ මට කිසිම දෙයක් කරගන්න බැරුව මාව ගල්වෙද්දි. වතුර යට ඉඳන් කතා කරද්දි නගින බුබුලු වතුර එකෙන් උඩට එන්න ගත්තෙ අර ඔලුව වතුරෙන් උඩට එද්දිමයි. ටිකකින් තවත් සෙවල බේරෙමින් තිබ්බ අතක් එලියට ආවෙත් මං බාත් රූම් එකේ දොර දිහාවට පස්සෙන් පස්සට ගියෙත් එකපාරම. දොරේ ලොක් එක ඇරගන්න දඟලන වෙලාවේ….

“තා…ත්..ත්…තී…….”

ඒ ඇහුණ කටහඬින් මාව වෙවුලලා ගියා. කොච්චර කලබල උනාද කිව්වොත් දොර ලොක් කරලා කියන එකත් මට අමතක උනා. ඒ නිසා තදින් දොර ඇද්දත් ඒක ඇරුණෙ නැති නිසා කුණුහරුප වැලක් මගෙ කටින් පිට උනා. ඒ වෙනකොටත් සම්පූර්ණයෙන්ම සුදුමැලි වෙච්ච සෙවල බේරෙමින් තිබ්බ ඒ ඇඟත් අද්ද අද්ද බඩගාගෙන මගෙ ලඟට එයා එන්න ගත්තා. බය, තරහව ඔක්කොම නිසා කලබල වෙලා හිටපු මං ලඟ තිබ්බ ඇලුමීනියම් කුණු බාස්කට් එකෙන් දමලා ගැහුවත් ඒක වදින්නෙ නැතුව ඒ ඇඟ හරහා ගියේ මගෙ බය තවත් වැඩි කරමින්. කලින් කරලා තිබ්බ පිනකටද කොහෙද දොර එවෙලෙ ඇරුණෙ විදුලි වේගෙන් මං ඒකෙන් එලියට පනිද්දිම. ඒත් එක්කම වගේ බාත් රූම් එකේ දොර ‘දඩාස්’ ගාලා වැහිලා ගියා. වේගෙන් හුස්ම ගන්න ගමන් සැනසුම් හුස්මක් හෙලුවත් කාමරේ ලයිට් එක ඕෆ් උනෙත් කෙල්ලෙක් හයියෙන් යටිගිරියෙන් කෑගහනවා ඇහුනෙත් එකපාරම. රැක් එකේ දාලා තිබ්බ ෂෝටක් ඇඳගත්තු මං කාමරෙන් එලියට පනින්න දොර දිහාවට දුවන්න හැදුවත් කකුල පැටලිලා මාව වැටුණා. දණ්හිස්ස රිදෙද්දි මං ආයෙ නැගිටින්න හැදුවත් කවුරුහරි මගෙ කකුලෙන් අල්ලගන්නවා දැනුණා. අල්ලගත්තු එකාට පයින් පාරක් දුන්නත් මාව බිම දිගේ පස්සට ඇදිලා යන්න ගත්තෙ මං හයියෙන් කෑගහද්දියි. බිම දිගේ වේගෙන් ඇදිලා ගිය මාව ගියේ ඇඳ දිහාවට. කවුරුහරි උස්සලා ඇඳට දැම්මා වගේ මාව ඉස්සිලා ඇඳට වැටුණා. නැගිටගන්නත් කලින් මගෙ අත් දෙකයි කකුල් දෙකයි හතර පැත්තට ඇදිලා ගිහින් මට හොල්ලන්නවත් බැරි විදිහට තද උනා. කොච්චර කෑගැහුවත් මගෙ හඬ පිට නොවුණෙ හරියට මං ගොලුවෙලා වගේ. වටපිට බැලුවත් කිසිම කෙනෙක් පේන්නවත් හිටියෙ නෑ. ඔලුවට උඩින් ඇහුණු සද්දයක් නිසා ඔලුව උස්සලා බලද්දිම දැකපු දෙයින් මගෙ හිත හිරිවැටිලා ගියා. ඉස්සෙල්ලා ආපු එයාම බිත්තිය දිගේ බඩගාගෙන මගෙ ලඟට ලං උනා. හිත බයෙන් පිරිලා තියෙද්දි මං වචන ගැටගහගත්තා.

“ක්..ක…වු..ද ඔ..යා….? ඇ..යි මට මෙ…හෙම කරන්නෙ….?”

කිසිම දෙයක් නොකියපු ඒ ශර්‍රරෙ මගෙ ඇඟ උඩට පැන්නත් මට කිසිම බරක් දැනුණෙ නෑ. ඒ උනාට ඒ ශරීරය ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තෙ මං පුදුමෙන් බලන් ඉද්දි.

“දෝ…ණි ඔයා….???”

වෙනදා වගේම අහිංසක හිනාව මූණෙ තියාගෙන එයා මං දිහා දිලිසෙන ඇස් දෙකකින් බලන් හිටියෙ හරිම ආදරේකින්.

*************************************************************
ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.