Katha Ahura

ඔබ මට හිමි වේ නම් |13 කොටස | නවකතාව

කතාව කොහොමද?

……………………..13 වෙනි කොටස …………..

සැප නින්දක් දාගෙන හිටපු මට ඇහැරුනේ ෆෝන් එක නාදවෙන සද්දෙට.. කවුද යකෝ මේ මහ රෑ මට කතා කරන නිසාචරයා.. ධමියා නම් වෙන්න බෑ.. කෝකටත් අරන්ම බලමු.. මූට නැලවිලි ගීයක්වත් කියන්න බැරියෑ නින්ද යනකන්.. මගේ හිතේ ඇති වෙච්චර තරහත් එහෙමම තියාගෙන මම කළුවරේම අතපත ගාලා ෆෝන් එක හොයාගත්තෙ කතා කරන එකාට හොඳවයින් දෙකක් කතා කරලා ආයෙම නිදි කරවන්න..

“අයියෙ..?”

එහා පැත්තෙන් ඇහුණෙ මට අදහගන්නවත් බැරි ලස්සනම ලස්සන අහිංසක කටහඩක්.. කවුද මේ පුංචි සුරංගනාවි.. ඒ වෙන කවුරුවත් නෙමෙයි මගේ ආදරණිය රෝi මල සංසලා නංගියා.. ඒත් මෙයා මේ මහ රෑ මොකද නැගිටගෙන කරන්නෙ..

“සංසලා නංගි.. ඉතින් කොහොම..? මොකද මේ මහ රෑ නැගිටගෙන කරන්නෙ..”

“මම හොඳින් ඉන්නවා අයියෙ.. ඔයාට කොහොමද..?”

“ආහ්.. මමත් ෆට්ට ෆිටේ ඉන්නවා.. ඉතින් කිව්වෙ නැහැනේ මේ රෑ වෙලා මට කතා කලේ ඇයි කියලා..”

“ම්.. මම කතා කරපු එක අයියට කරදරයක්ද..? එහෙනම් මම තියන්නම්.. අනේ සොරි කරදරයක් කලා නම්..”

මගුලක් කතා කරනවා.. යකෝ ආදරේට පුංචි ප්‍රශ්නයක් ඇහුවම එහෙමත් කරන සිරිතක් තියෙද.. මයෙ හිතේ මම ආදරේට ඇහුවෙ වැරදි ප්‍රශ්නයක්.. තූක් විතරක්.. කවදා කාපු ටකරන්ද..

“අනේ නංගි වැරදියට හිතන්න එපා.. මම එහෙම ඇහුවෙ ගොඩක් අය රෑ දහය පැන්න ගමන් දොයි බබා වෙනවනේ.. අනිත් එක විශේෂයෙන් ගෑනු ළමයි.. ඒකයි මම ඇහුවෙ සංසලා නංගි මොකද නැගිටගෙන කරන්නෙ කියලා..”

“මම පාඩම් කලා අයියෙ.. හැමදාම මම එකොළහ, දොළහ වෙනකන් පාඩම් කරනවා.. අනිත් අය රෑට දොයි ගන්නෙ නැහැ අයියෙ.. එයාලා ඒ වෙලාවට තමයි ආදරේ කරන්නෙ.. හි..හි.. හි..”

අන්න කෙල්ලො.. යකෝ මම රෑට පොතක් අතට ගන්න තියා පොතේ පිට කවරෙවත් බලන්න කැමති නෑ.. හැමදාම අපේ එවුන් එක්ක සෙට් වෙලා පාඩම් කරන්න හිතාගනෙ හිටියත් කොහෙද ඒක කතාවටම විතරක් සීමා උනානේ.. හැමදාම කියනවා විතරයි.. හරියට කටින් මොනවද කොල හිටවනවා වගේ.. සංසලා දීපු අන්තිම ටෝක් එක මොකක්ද යකෝ.. හහ්.. අපි නොදන්නවයි අනිත් එවුන් රෑට ආදරේ කරන කෙරිල්ල..

“අයියෝ මම නම් පොතක් අතට ගනිපු කාලයක් මතක නැහැ නංගි.. මේ කොල්ලො කෙල්ලො රෑටම ආදරේ කරන්නෙ.. ඇයි දෙයියනේ වෙන වෙලාවක් තිබුණෙම නැද්ද.. කළුවරේ කොහොමද අනේ ආදරේ කරන්නෙ.. හරිම ප්‍රාථමිකයි… ”

“අයියෝ…. ඒ ගැන නෙමෙයි අයියෙ මම කතා කරන්නෙ.. අපේ වයස් වල ගෑනු ළමයි එහෙම රෑට තමා ආදරේ කරන්නෙ.. ඒ කිව්වෙ එයාලා රෑට තමා ෆෝන් එකෙන් පැය ගණන් කතා කරන්නෙ.. දවල්ට චාන්ස් එක අඩුයිනේ ඉතින්..”

අප්පට සිරි වෙන්න.. මේකි මේ මල් කඩන සීන් එකක් ගැනනේ කතා කරන්නෙ.. මම හිතුවා වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් ගැන කතා කරවදෝ කියලා.. බයෙත් බෑ..

“ආ.. මට නම් එහෙම කතා කරන්න කවුරුවත් නෑනේ නංගො.. අපි ඉතින් දහය විතර වෙනකොට ඇඳට පැණලා දොයි ගන්නවා.. එහෙම කෙනෙක් හිටියා නම් කතා කරන්න තිබුණා..”

මම සංසලාගෙ හාට් එකට වදින්නත් එක්ක, මට කෙල්ලෙක් නෑ කියලා අඟවන්නත් එක්ක ටෝක් එක දුන්නා.. එයා දන්නවා උනත් මට කෙල්ලෙක් නෑ කියලා දැන් ඒක නිච්චියටම දැනගන්න ඇති.. චිහ්.. ජීවිතේකට නව කතාවක්වත් කියවලා නෑනේ.. එහෙම තිබුණා නම් දෙන ටෝක්ස් මොනවද කියලවත් ඉගෙනගන්න තිබුණා.. ඒකත් මගේම කරුමෙ තමා..

“හ්ම්.. ඉතින් අයියා කාලද ඉන්නෙ..? අර වැඩේට මොකද උනේ..?”

අන්න මට පේන්න බැරි සීන් එක.. යකෝ ප්‍රශ්නයක් හරි මොකක් හරි ඇහුවම මේ කෙල්ලො කියන ජාතිය බකමූනියො වගේ හ්ම් කියලා ෂේප් වෙන එකනේ වැඩේ.. ඔය හ්ම් එක හොයාගනිපු එකාගෙ කට මහන්න ඕන සන් නූල් බොල්යක් ගෙනැල්ලා පස් පාරක් විතර..

“ආ.. ඔවු නංගි මම කෑවා.. අර වැඩේ හෙට ෂේප් කරගන්නම්කො.. නංගි කෑවද..?”

“ඔව් අයියෙ මමත් කෑවා..”

මම සංසලත් එක්ක තව තව මෙලෝ වැඩකට නැති මගුල් ගැන විනාඩි විස්සත් විතර කතා කරලා බුදු සරණයි කියලා ආයෙම දොයි ගන්න සෙට් උනා.. කෙල්ලට කොහොම උනත් මාව නිතර නිතර මතක්වෙන පාටයි.. එහෙම නැත්නම් මේකි මට මේ මහ රෑ කොල් කරාවියෑ.. අනේ දෙවියනේ මගේ ලව් එක ගොඩ දාලා දෙනවා නම් එච්චරයි.. අම්මෝ.. එදාට මට සැනසීමෙ ඉන්න පුළුවන් වෙයි..

“සුමියෝ…. සුමියෝ… මචං උඹ නිදිද..? ඉක්මනට නැගිටලා මේ දොර ඇරපන්..”

දෙවනි පාරටත් මගේ නින්ද කැඩුනෙ කවුදෝ කාමරේ දොරට පත බානවා දැකලා.. ඒපාර කවුද ඒ.. පේන විදියට නම් කුමාරයා වගේ.. ඒත් මූ මොකද මේ මහ රෑ කරන්නෙ.. එහෙම කියලා මම වටිපිට බැලුවා.. මොන මහ රෑද.. යකෝ උදේ වෙලානේ.. ඊයෙ සංසලත් එක්ක කතා කරකර හිටපු නිසා ඇගටත් නොදැනි මට නින්ද ගිහින්. පොරෝගෙන හිටපු රෙද්දත් පැත්තකට විසි කරලා දාලා සරමත් හරිහැටි ඇඳගෙන මම දොර ගාවට ගියේ කුමාරයට එන්න දොරේ අගුල අරින්න..

“ඒ.. මාර සීන් එක බං.. උඹ ඊයෙ හන්දියෙ එවුන් එක්ක වලියක් දාගත්තද..?”

කුමාරයා දොර ඇරියා විතරයි කාමරේට LTTE එකන් කඩාගෙන පැන්නා වගේ ඇවිත් කියවන්න ගත්තා.. මොකක්ද යකෝ ඒ සීන් එක..

“මොන මගුලක් ගැනද උඹ ඔය කියවන්නෙ..”

“තෝ ඊයෙ හන්දියෙ ත්‍රීවිල් පාක් එකේ එවුන් එක්ක වලියක් දාගත්තද නැද්ද කියහං..”

ආ.. ඒක මූටත් ආරංචි වෙලා වගේ.. යකෝ පාක් එකත් එක්කම වලියක් දාගත්තයෑ.. එකෙක් ඒකක විතරනේ කොක්ක දාගත්තෙ..

“පාක් එකක් එක්ක වලියක් දාගත්තෙ නැහැ බං.. එකෙක් එක්ක පොඩි කොක්කක් දාගත්තා.. මම මේ අද උගෙන් සමාව ගන්න යන්න හදන්නෙ.. මගේ වැරද්ද නිසා..”

“තොට පිස්සුද යකෝ එක එකා එක්ක වලි දාගන්න.. නංගි හිටියෙ නැත්නම් ඌ බොට දෙන්න ඉඳලා තියෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න..”

නංගි..? මූට ජාපාල ඇටවත් කැවුනද..

“මොන නංගිද බං..?”

“ඇයි ඊයෙ ඌත් එක්ක වලිය යනකොට බේරුවෙ තොගෙ නංගි ඇවිත් නෙමෙයිද..?”

මට දැනුයි සීන් එක මතක් උනේ.. ඊයෙට විතරක් මගේ නංගි උනේ සංසලානේ.. එයා මගේ නංගි නෙමෙයි හත්තිලව්වෙ.. මගේ බිරිඳ.. තොට ඒක කියනවද නැද්ද.. පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා..

“ඔව්.. ඔව්.. එහෙම සීන් එකක් උනා තමයි බං.. උඹට කවුද කේස් එක කිව්වෙ..?”

“මට කිව්වා යකෝ කිහිපදෙනෙක්ම.. මුලින්ම ත්‍රීවිල් පාක් එකේ බුවෙක් කිව්වෙ.. ඊට පස්සෙ කඩ පේලියෙ අයියා කෙනෙක් කිව්වා.. තෝ මොන අහවල් එකකටද පාර ගියපු ත්‍රීවිල් කාරයෙකුට ගහන්න ගියෙ.. උන් එක්ක සෙල්ලම් කරන්න එපා යකෝ.. පෙති ගහලා හොට් ඩෝග් හදයි..”

යකෝ සීන් එක තාත්තටත් ආරංචි වෙලාද දන්නෙ නෑ.. එහෙම උනොත් අද සුවර් එකටම තාත්තා වැඩට නොගින් ආයෙම ගෙදර එනවා.. අසිත්ගෙ සීන් එකෙන් පස්සෙ අපේ තාත්තා මං ගැන හරි බයෙන් ජීවත් වෙන්නෙ කියලා මම හොඳටම දන්නවා.. මේ මගුල අද ඉවරයක් කරගන්න ඕන.. කුමාරයා කියන කතාව ඇත්ත තමා.. උන්ගෙ මූණු දැක්කම පේනවා උන් මාව හොට් ඩෝග් එකක් කරයි කියලා..

“වෙලාවට බං තාත්තට ආරංචි වෙලා නොතිබුණේ.. නැත්නම් තාත්තා බයේ වෙව්ල වෙව්ල ගෙදර දුවන් එයි වැඩ පැත්තක දාලා.. පව් බං..”

“තොට ඉතින් හැමදේම මතක් වෙන්නෙ කෝච්චිය ගියාට පස්සෙනේ.. කොච්චර කිව්වත් උඹ හෙන පන්ඩිතයි.. දවසක කනවා කාගෙන් හරි ඔය ලස්සනට තියෙන දත් ටික බඩට යන්න.. මට ඒක සුවර් සුමියා.. ඉතින් කතාව කියහන්කො.. මොකද උනේ කියලා මුල සිට සරලව..”

තුක් විතරක් යාලුවෙක් කියන කතාවක්ද මේ අපතයා කිව්වෙ..

“මෙන්න මේකයි බං උනේ..”

එහෙම කියලා මම ඊයෙ වෙච්ච සම්පූර්ණ සිද්ධියම පොඩි පොඩි දේවල් ඇරෙන්න කුමාරයගෙ කනේ තිබ්බා.. කුමාරයා මම කියන දේවල් අහගෙන හිටියෙ හරියට පංසලේ ඉන්න සිංහයා කට ඇරගෙන ඉන්නවා වගේ කටත් මහ ලොකුවට ඇරගෙන.. මූ හිතනවද දන්නෙ නෑ මට මොන්ගල් කියලා..

“කතාව ඉවරයි බං.. කට වහගනිං.. ඕක තමා උනේ..”

“ඉතින් යකෝ තෝ මහ පාර මැද බයික් එකත් නවත්තගෙන කාගේ දිහාද බලන් හිටියෙ..?”

“සංසලා දිහා බොල සංසලා දිහා.. මගේ ආදරෙණිය රෝස මල සංසලා දිහා..”

“අම්මේ පැණි බේරෙන වයසට කිව්වලු.. යකෝ…. සංසලත් සීන් එක දන්නවද බං..?”

“මොකෝ නොදන්නෙ.. ඒකි තමා මාව බේරගත්තෙ යකෝ.. නැත්නම් මම කනවා අජරාමර වෙන්න..”

“ඒ කිව්වෙ..?”

“උඹ අර කලින් කිව්වෙ නංගි ඉදපු නිසා මාව බේරුණා කියලා.. අන්න ඒ මගේ නංගි නෙමෙයි..”

කුමාරයා ආයෙම කට ඇරගෙන මගේ දිහා බලන් ඉන්නවා..

“එහෙනම්..?”

“සංසලා බං.. සංසලා.. ඒකි තමා මට ගහන්න එපා කියලා මැද්දට පැනලා මාව බේරගත්තෙ..”

“යකෝ ඒකි පිස්සු කොර බාන්ඩයක්නේ.. කෙල්ල උඹත් එක්ක දැන් කතා කරනවද..? උඹලා දෙන්නා ලව්ද..? අවිදින්න ගියාද..?”

යකෝ මූ එක වතාවකට ප්‍රශ්න අහනවනේ හැට හුටහමාරක්.. මෙච්චර ප්‍රශ්න වලට උත්තර දෙන්න මගේ ළඟ උත්තර නෑ.. තව ටිකකින් අහයි උඹලා කසාඳ බැන්දද, අහවල් වැඩේ කළාද.. ළමයිත් හැදුවද කියලා..

“හරි.. හරි.. මම අද ක්ලාස් යනකොට ඉතුරුවා කියන්නම්..”

“හා.. හා.. තෝ මොකද යකෝ දොර ඇතුළෙන් ලොක් කරගෙන නිදියන්නෙ.. හසිද්දියකට කවුරුහරි ඇතුළට එන්නෙ කොහොමද..?”

“මොන මගුලටද යකෝ හද්සිසියක් උනොත් මගේ කාමරේට එන්නෙ.. උඹ කියන්නෙ දොර ඇරලා තියලා නංගිවයි, අම්මවයි උදේ පාන්දරම බය කරන්න කියලද..?”

“ඇයි බං ඒ..?”

“ඇයි බං ඒ කියන්නෙ බූරුවො.. මම රෑට මේ අඳින සරම.. උදේ වෙද්දි තියෙන්නෙ ඔලුවෙ.. ඉතින් නංගි හරි අම්මා හරි වැරදිලාවත් කාමරේට කෙලගෙන ආවොත් උදේ පාන්දර නූල් බඳින්න වෙනවා කළු කුමාරයට බය උනා කියලා..”

“අයියෝ සල්ලි..සරමෙ හිටන්.. ඒ මම මේ කඩේට යන ගමන් ආවෙ බං.. උඹ වලි කේස් එකක පටලැවිලා කියලා ආංරංචි උන ගමන් මම මේ කෙලගෙන ආවා.. උඹට අවුලක්ද කියලා බලන්න.. එක සැරයක් මතකනේ.. මම යනවා.. ආයෙම එන්නම් ක්ලාස් යන වෙලාවට.. ලෑස්ති වෙලා හිටපන්.. ඔය මගුල අද විසඳගනිමු.. ඒක නිසා මම අද කලින් එන්නම්.. මම යනවා සුමියා.. බායි..”

“බායි මචං..”

කුමාරයා දොරත් වහගෙන කාමරෙන් යන්න ගියා.. මොනවා උනත් කුමාරයා හොද මිනිහා.. ඌ තකහනියක් පයින්ම දුවගෙන ඇවිත් මාව බලන්න.. පව්..

මම උදේට තේ එකක්වත් බීලා හිටපු නැති නිසා අම්මව හොයාගෙන ගියේ තේ එකක් බොන්න.. අම්මා හිතුවද දන්නෙ නෑ මම තවම නිදි කියලා..

“අම්මේ……….. මට තේ එකක් හදන්ඩෝ…”

මම එහෙමත් කියාගෙ කුස්සිය පැත්තට ගිහින් අම්මට කියාගෙ තේ එකකුත් හදාගෙන බීලා.. බඩටත් මුකුත් දාගෙන, කරන්න දෙයක් නැති කමට ෆේස්බුක් පැත්තට රිංගුවා.. ඒකෙත් බල්ලෙක්වත් ඔන්ලයින් නෑ.. ඒක නිසා මම ඒ මගුලත් අයින් කරලා දාලා ටික වෙලාවක් ගේම් එකක් ප්ලේ කලා.. සංසලාට කෝල් එකක් දෙන්න හිතුවත් මම කෝල් කලේ නැත්තෙ එයා ඉස්කෝලෙ ගිහින් ඇති කියලා හිතලා.. කරුමෙටවත් අම්මා ෆෝන් එක ඉස්සුවොත් නැට්ටෙ ඉඳලා ගොම නාන්න වෙනවා.. හවසට කතා කරන්න බැරියෑ.. එහෙම හිතලා අමාරුවෙන් හරි මම ඉවසගෙන හිටියා..

කුමාරයා අපේ ගෙදරට කලින් එනවා කිව්වට මූ ආවෙ පට්ටම කලින්.. හරියටම බුවා එනකොට දොළහට විතර ඇති..

“යකො මෙච්චර වේලාසනින් ආවෙ අල කන්නද බං..”

“මොනාද ඩෝ.. උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්නත් කියලා එක්ක ආවෙ.. උඹලා හොඳයි.. එහෙනම් මම යන්නම්..”

යකෝ මූට වචනයක් මිස් වෙන්න බෑනේ..

“යකෝ මම ඒක නිකමට වගේ ඇහුවෙ.. එච්චර ලොකුවට හිතන්න යන්න එපා.. තව පැය දෙකහමාරක් විතර තියෙනවනේ බං.. උඹ කාලද ආවෙ..?”

“බොට පිස්සුද යකෝ.. මම ගෙදරින් ආවෙ එකොළයි කාලට විතර.. අපේ අම්මා එතකොට හාල් හෝදනවා.. උඹ හිතුවද දවල්ට කන්නෙ උදේ දහයට, එකොළහට විතර කියලා.. මම අද බොලාගෙ ගෙදරින් තමා දවල්ට කන්නෙ.. අම්මට කියපන් රසට උයන්න කියලා..”

“අපේ අම්මා උයනවා කොහොමත් රස තමයි.. ඉතින් කියහන්කො පාඩම් වැඩ කටයුතු එහෙම..”

මට කුමාරයගෙන් අහන්න දෙයක් තිබුණෙම නැති නිසා වටින කියන ප්‍රශ්නයක් ඇහුවා.. ඒත් ඒක අහපුවම කුමාරයගෙ මූණ හරියට හෙන ගහපු පොල් ගහක් වගේ බලන් ඉද්දි ඇට්ටකුණා වෙලා ගියා.. යකෝ පාඩම් කරන එක මුන්ට මේ තරම්ම ඇලජික්ද..?

“ඒ ගැන නම් කතා කරන්න එපා සුමී.. මට මහ විකාරයි බං.. හැමදාම පාඩම් කරනවා කියලා පොත අතට ගන්නවා.. ඒත් පොතේ පිටුව විතරක් බලලා කොහෙට හරි විසික් කරලා දානවා.. රෑට පාඩම් කරන්න කියලා හිතන් හිටියට පොතක් පේන්න බෑ බං ඒ වෙලාවට..”

මූටත් තියෙන්නෙ මට තියෙන ලෙඩ තොගේම තමයි එහෙනම්.. අපි පැය ගාණක කයිවාරුවක් දාගෙන ඉඳලා නාගෙන කියාගෙන දවල් කෑමත් කාලා වෙනදට වඩා කලියෙන් පංතියට යන්න සූදානම් උනා.. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි ත්‍රීවිල් පාක් එකේ ආරවුල විසඳගන්න.. මම ඒකට ඒතරම් අකමැති උනත් මට අකමැත්තෙන් උනත් ඒ දේ කරන්න උනේ සංසලා නංගිගෙ බලවත් ඉල්ලීම නිසා.. එයාට මුරණ්ඩු වෙන්නවත්, බොරු කාරයෙක් වෙන්නවත් මම කොහෙත්ම කැමති උනේ නෑ.. ආදරේදි බොරු කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.. ආදරේ ප්‍රකාශ කරන්න කලින්ම මම එයාට බොරුවක් කලොත් එයාට මාව අප්‍රිය වෙයි.. මම බොරු කාරයෙක්, වංචාකාරයෙක් කියලා හිතයි.. මගේ ආදරේ බොරුවක් කියලා හිතයි.. ඒ දේවල් වලට මම පොඩ්ඩක්වක් කැමති උනේ නෑ.. මට ඕන උනේ සංසලාගෙ හිතේ මං ගැන තියෙන ආදරේ දවසින් දවස වැඩි කරවන්න.. එයාට තව තවත් ලංවෙන්න..

“යමං බං.. ඔච්චර සෙන්ට් ගාන්න එපා බොල පව් සිද්ධ වෙනවා.. වර බං යන්න..”

මම අදමයි ඇහුවෙ සෙන්ට් ගෑවම පව් සිද්ධ වෙනවා කියලා.. මුගේ තියෙන්නෙත් බල්ලො බත් කන්නෙ නැති ටෝක්ස් තමා..

“හරි හරි යමං..”

එහෙම කියලා අපි පඩිපෙළ බැහැගෙන අම්මව හෙව්වෙ එයාට වැඳලා යනවා කියලා කියන්න..

“ආ.. මොකද අද කලියෙන්ම පංති යන්නෙ..?”

“ආ.. සර් කිව්වා අම්මෙ අද ක්ලාස් එක පොඩ්ඩක් සුද්ද කරලා දාන්න කියලා.. අපි ඉතින් ඒ වැඩේ බාරගත්තා.. නැත්නම් ඕක කවුරු කියලා කරන්නද.. සූවිලි අස්සෙ ඉදලා ලෙඩදුක් හැදෙනවනේ..”

“හ්ම්.. ඒක නම් හොඳ වැඩක් තමයි පුතා.. මම ඒත් බැලුවා මෙච්චර වේලාසන කොහෙ යනවද කියලා.. හොඳයි එහෙනම් දෙන්නම පරිස්සමින් ගිහින් එන්නකෝ.. බුදු සරණයි දෙන්නටම”

මම අම්මට බොරුවක් කියන්න අකමැති උනත් මට ඒ දේ අකමැත්තෙන් හරි කරන්න සිද්ධ උනා.. මොකද මම ඇත්ත තත්වෙ කියන්න ගියොත් අම්මා තවත් බය වෙනවා.. ඒක මට ඊටත් වඩා දුකක්.. ඒක නිසා බොරුවක් කියලා මේකෙන් ෂේප් වෙන එක හොඳයි..

අපි ත්‍රීවිල් පාක් එක ළඟට යනකොට හරියටම පැය භාගයක් විතර ගිහින්.. මම වැඩිය ඔය ත්‍රීවිල් පාක් එකේ බුවාලා දැකලා නැහැ.. දැක්කත් හරියට නෝට් නැහැ.. මොකද මම ගොඩක් ඔය හරියෙන් ගියාට වැඩි ඕනෑකමකින් ඔය පැත්ත බලන්නෙ නැති නිසා.. අපි පාක් එක ගාවට යනකොටම මට ඊයෙ ගේම ඇදපු එකා මගේ ගාවට ආවා..

“හලෝ මලයා.. හයර් එකක්වත් යන්නද..?”

මට මාවම අදහගන්න බැරිව ගියා.. යකෝ මේ ඊයෙ මට පාට් එක දාපු එකාද අද මේ විදියට කතා කරන්නෙ..? ඊයෙ මට ගහන්න පැනපුම කෙනාද කියලා බලන්න මම පොරගෙ මූණටම හොදට එබිලා බැලුවා.. දෙපාරක් තුන් පාරක්ම ඒ මූණ දිහා මම හොඳට බැලුවා.. ඒ හිටියෙ පොරම තමයි.. ඒත් ඊයෙ කතාවයි අද කතාවයි සම්පූර්ණ වෙනස්නේ.. මොන මගුලක්ද යකෝ මේ.. මුන්ට පිස්සුද මට පිස්සුද..?

“නෑ නෑ අයියෙ.. මම ආවෙ ඔයාගෙන් සමාව ගන්න..”

“සමාව ගන්න.. අර මොකටද මලයා මගෙන් සමාව ගන්නෙ.. එන්න.. එන්න මලේ.. වාඩිවෙලා කතා කරමු..”

මම එහෙම කියනකොට පාක් එකේ හිටපු හැමෝම වගේ මගේ මූණට එබිලා බැලුවා.. අර ඊයෙ මට ගේම දාපු කෙනා කැරම් බෝඩ් එක පැත්තකින් තියලා එතන තිබුණ පුටු හතරෙන් දෙකක් අරගෙන ඇවිත් මටයි කුමාරයටයි දුන්නා වාඩිවෙන්න කියලා.. පොරත් වීල් එක ඇතුලට රිංගලා වාඩිය දැම්මෙ සීන් එක පැහැදිලිව දැනගන්න වෙන්න ඕන.. ඒක නිසා මමත් ලතාවකට, කලාවකට කතාවට බැස්සා..

“නෑ අයියෙ.. ඊයෙ මගේ අතේ වැරැද්ද තියාගෙන ඔයාට පිස්සෙක් වගේ කෑගැහුව එකටයි මම සමාව ගන්න ආවෙ.. ඇත්තටම මම ඒකට ඔයාගෙන් සමාව ඉල්ලනවා.. මම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි.. අර ඔයා මට ගහන්න හදනකොට ඇවිත් මාව බේරගත්තෙ මම ආදරේ කරන කෙනා.. ඒත් එයා එක්ක මම මුල්ම වතාවට කතා කලේ එදා තමයි.. ඒක සිද්ධ උනෙත් අයියා නිසා හැබැයි.. ඒකට ගොඩක් ස්තුතියි..”

“හ්හ්.. හහ්.. හහ්.. හා… අයියෝ මල්ලි.. අපෙන් මොන මගුලකට සමාව ගන්නවද.. මම ඊයෙ නිකමට වගේ හිතුවා ඒ මලයගෙ නංගි නෙමෙයි කියලා.. මම දැක්කනේ ඔයා දුර ඉඳන්ම ඒ නංගි දිහා බලාගෙන ඉන්නවා.. ඉතින් කොහොමද ඔයාගෙ නංගි වෙන්නෙ.. ඒ ගෑනු ළමයා ඔයාට ඇත්තටම ආදරෙයි මල්ලි.. ඒක සුවර්.. දැක්කනේ දුවගෙන ඇවිත් ඔයාව බේරගත්ත හැටි.. හොද කෙල්ලෙක් මලයා.. ඔයා වාසනාවන්තයි..”

මම හිතුවෙ නෑ මේ ත්‍රීවිල් පාක් එකේ අය මේ තරම් හොදයි කියලා.. හැමෝම කියන්නෙ මුන් කුඩු කාරයො, ගන්ජා කාරයො, වලි කාරයො කියලා.. ඒත් බැලූ බැල්මට මෙතන ඉන්න එක්කෙනෙක්වත් මම ඒ විදියට දැක්කෙ නෑ..

“බොහොම ස්තුතියි අයියා.. මම මේ ඔයාගෙන් සමාව ගන්න ආවෙ ඔයා මාත් එක්ක තරහින් ඇතියි කියලා.. සමාව නොගෙන ඉඳලා මගදි මාව දැක්කොත් ඔයාගෙන් මට ගුටි කන්න තමා වෙන්නෙ.. මොකද මමනේ වැරදිකාරයා..”

“ඔයාලා අපි ගැන වැරදියට හිතන් ඉන්නෙ මල්ලි.. ඒක අපේ කරුමයක්.. හැමෝම කියනවා අපි ගන්ජා ගහනවා, කුඩු ගහනවා, වලි සීන් වලට බහිනවා කියලා.. ඒක නිසා අපිව ආශ්‍රය කරන්න එපා කියලා.. මෙතන ඉන්න එක කොල්ලෙක් එක කුඩු පොඩ්ඩක්, ගන්ජා පොඩ්ඩක් කටේ තියන්නෙ නෑ මලයා.. ඉඳලා හිටලා අරක්කු පොඩ්ඩක් බොනවා විතරයි.. ඒත් ඒ ලොකු හයර් එකක් වැදුනොත් තමයි.. මල්ලි අපි මෙච්චර කාලෙකට එක මිනිහෙක්ට අතක් උස්සලා නෑ.. ඒත් අනේ මන්දා මිනිස්සු හැමෝම කියන්නෙ අපේ ගැන වැරදි විතරයි.. කවුරුවත් හොදක් කියන්නෙ නෑ.. මොනවා කරන්නද මල්ලි ඒක අපි ලබා උපන් හැටි වෙන්න ඇති.. අඩුම තරමෙ ගෑනු ළමයෙක් අපේ දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ.. උන් ඔක්කොම හිතන් ඉන්නෙ අපි මදාවිකාරයො කියලා.. ඒත් අපි එහෙම නෙමෙයි මලයා.. උඹලා වගේම අහිංසක කොල්ලො.. මෙතන සමහර එවුන් කැම්පස් ගිහින් ඩිග්‍රිය ගහපු එවුන්.. ඒත් උන්ට ජොබ් නෑ.. ගෙදර ඉන්න අම්මයි තාත්තයි ජීවත් කරවන්න විදියක් නෑ.. ඒක නිසයි උන් මේ ජොබට බැස්සෙ.. මමත් කැම්පස් කාරයෙක් මලයා.. ඒ කාලෙ ඉගෙනගන්න කාපු කට්ට මම විතරයි දන්නෙ.. ඒත් අන්තිමට අයිති උනේ මේ රෝද තුන උඩට වෙලා වේලෙන්න විතරයි.. අපි ආත්ම ගානක ඉඳන් පව් කරලා ඇති.. උඹලවත් අපි ගැන වැරදියට නොහිත හිටපන් මලයා.. කවදාවත් මෙතන ඉන්න එක කොල්ලෙක්වත් කාටවත් අඹමල් රේණුවක තරම්වත් වැරැද්දක් කරලා නෑ..”

ඇත්තටම එයාලගෙ කතාව අහද්දි මගේ ඇස් දෙකට කඳුළු එන්න පටන් ගත්තා.. ඒ තරමටම එයාලත් සංවේදි වෙලා තමයි අපි දෙන්නට ඒ කතාව කිව්වෙ.. කුමාරයත් ඒ දිහා බලාගෙන හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන.. මෙච්චර කටු කාලා ඉගෙනගෙන, කැම්පස් ගිහින්, ඩිග්‍රි ගහලා අන්තිමට අයිති වෙන්නෙ මේකද..? එතකොට අපි කට්ට කාගෙන ඉගෙනගන්නෙත් මේකටද..? ඇත්තටම ලංකාව ගැන මට මහ ලොකු වේදනාවක් දැනුණා.. මේ වගේ රැකියා නැති ඉගෙනගත්තු කොල්ලො කෙල්ලො කී දාහක් අද ලංකාවෙ ඇත්ද..? ඕවා ගැන කතා කරන්න ගියොත් මටත් සුදු වෑන් එකේ පිහිට තමයි.. ඒක නිසා මම ඒ ගැන හිතන එක නවත්තලා දැම්මා..

“ඔයාලා වගේ දුක් විඳලා ඉගෙනගත්තු කෙල්ලො කොල්ලො කී දාහක් අද රස්සා නැතුව දුක් විඳිනවා ඇත්ද..? ඇත්තටම පව්.. මට ඇත්තටම දුකයි අයියෙ ඔයාලා ගැන.. මමත් ඔයාලා ගැන හිතාගෙන හිටියෙ වැරදි විදියට.. මම ආදරේ කරන කෙනාගෙත් ඉල්ලීම උනේ ඔයාගෙන් සමාව ගන්න කියලා.. මොකද වැරැද්ද කලේ මමනේ.. ඒකයි අපි දෙන්නා ක්ලාස් යන ගමන් ඔයාව හොයාගෙන ආවෙ..”

“ඒක නම් එහෙම තමයි මලේ.. කෙල්ලො කොල්ලො ඕන තරම් ඉන්නවා අපි වගේ දුක් විඳලා ඉගෙනගෙන අන්තිමට ජොබක් නැතුව වේලෙන.. ඒක ඉතිං ලංකාවෙ හැටිනේ.. වෙච්ච සීන් අතෑරලා දාන්න මලයා.. මම නම් ඕක ඊයෙම අමතක කරලා දැම්මා.. මට ඊයෙ තරහා ගියේ ඔයා වැරැද්ද කරලත් මට කෑගහපු නිසයි.. නැතුව වෙන කේස් එකකට නෙමෙයි.. මටත් දැන් හයර් කට්ටක් තියෙනවා.. ඒකට යන්න ඕනි.. එහෙනම් අපි පස්සෙ දවසක සෙට් වෙමු.. මම ප්‍රාර්ථනා කරනවා මලයගෙ ආදරේ ඉක්මනටම ලැබෙන්න කියලා.. කෙල්ලට බොරු කරන්න එපා.. රවට්ටන්න එපා.. ආදරේ කරනවා නම් හදවතින්ම කරන්න මලයා.. ආදරේ කියන්නෙ පූජනීය වස්තුවක්.. ආදරේට ආදරේ කරන්න.. ඒ නංගි ගොඩක් හොද කෙනෙක් කියලා බය නැතුව කියන්න පුළුවන්.. ඒත් මිනිස්සු වෙනස් වෙනවා.. අපිට මිනිස්සු අදුනගන්න අමාරුයි එක පාරම.. මොකද කාලා බලන්නයෑ.. එහෙනම් මලේ ඔයාට සුභපැතුම්..”

“හරි අයියෙ.. අපිත් මේ ක්ලාස් යන ගමන් ආවෙ.. අපිත් කැපෙනවා එහෙනම්.. පස්සෙ දවසක අනිවා සෙට් වෙමු..”

හැමෝටම බායි පාරකුත් දාලා අපි විදුදයා ක්ලාස් එක පැත්තට හැරුණෙ ක්ලාස් එක පටන් ගන්න වැඩි වෙලාවක් නැති නිසා.. දන්නෙම නැතුව මෙතනටම හුග වෙලාවක් ගියා..

“මල්ලි විදුදයා එකටද යන්නෙ.. මමත් ඒ සයිඩ් එකට තමා යන්නෙ.. යමු මාත් එක්ක..”

“අන්න මචං පින් චාන්ස්.. වර වර..”

කුමාරයගෙ මූණ ලොකු හිනාවකින් පිරිලා ගියා.. මෙච්චර වෙලා බුවා වචනයක්වත් කතා නොකර හිටියෙ ඇයිද කියන එක තමා අරුමෙ.. මූ ලේසියෙන් කට වහගෙන ඉන්න පොරක් නෙමෙයි..

අපිව විදුදයා ක්ලාස් එක ගාවින් දාගෙන ත්‍රීවිල් අයියා යන්න ගියා.. මමත්, කුමරායත් බුවා නොපෙනී යනකන්ම ඒ දිහා බලාගෙන ඉදලා ක්ලාස් එකට යන්න හැරුණා..

“මචෝ පව් නේද බං උන් ටික..”

“පව්.. අනේ තෝ නාපන් ගස් ගෙම්බා..”

කුමාරයා කුලප්පු වෙලා මොකෝ.. මගේ කටින් වැරදි දෙයක්වත් කිය උනාද..?

“මොකෝ බං උඹට ඩෝං ගිහින්..”

“ උඹට හෙට අනිද්දම පෙනෙයි මට ඩෝං ගියේ ඇයි කියලා..”

මට කුමාරයා කියපු කතාව තේරුණේ නෑ.. ඒක නිසා මම කුමාරයගෙ මූණටම එබිලා බැලුවා..

“මොකක්ද බං ඒකෙ තේරුම..?”

“ඒකෙ තේරුමද..? ඇයි උඹ අර ත්‍රීවිල් පාක් එකේ එවුන්ට කිව්වෙ සංසලා උඹගෙ කෙල්ලයි අරකයි මේකයි හැම මගුලම.. යකෝ අපි දන්න එවුන් නම් කමකුත් නෑ.. ජීවිතේට දැකපු නැති එවුන් කී දෙනෙක් නම් එතන හිටියද..? ඌට අන්තිමට කියපු වචනෙ උඹට මතකනේ.. මිනිස්සු කොහොම විස්වාස කරන්නද මලයා.. මොකෝ අපි උන්ව කාලා බලන්නයෑ කියලා.. අන්න ඒ කතාව නම් මම පිලි ගන්නවා.. යකෝ මිනිහෙක් බොක්කට වදින්න ටෝක් එකක් දුන්න ගමන් උඹගෙ ඇස් දියවෙලා වැත්කෙරෙනවා.. ඒ විතරක් නම් කමක් නෑ.. ඕන දේයි නැති දේයි හැම මගුලමත් කියනවා..”

කුමාරයට තරහ යන්න හේතුව මට තේරුම් ගියේ පහුවෙලා.. ඇත්ත තමා.. ඇයි මම සංසලා ගැන එයාලට කිව්වෙ.. කුමාරයා කියනවා වගේ මම කවදාවත් නොදැකපු කී දෙනෙක් නම් එතන හිටියද.. අනේ මුන් සංසලාට කරදරයක්වත් කරයිද..?

“මචං මට බයයි බං කුමරයෝ.. මුන් සංසලාට කරදරයක් කරයිද..?”

“බයවෙයන් ඉතිං.. හැමදාම මම උඹට කියනවනේ දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන් කියලා.. ඒත් උඹට කියලා වැඩක් නෑ..”

“අඩෝ මට ක්ලාස් එකට යන්නවත් මූඩ් එකක් නෑ බං..”

“මූඩ් එක හදාගනිං එහෙනම්.. ඔන්න උඹගෙ ආදරණිය රෝස මලද මොකක්ද නලව නලව මේ පැත්තට එනවා..”

කුමාරයා එහෙම කියනකොටම මම පාර දිහාවට ඇස් දෙක යවලා බැලුවා.. එක වරම මගේ නෙත ගැටුනෙ සංසලාව.. මම ඒ අහිංසක ඇස් දෙක දිහා බලාගෙනම හිටියා.. ඒ ඇස් දෙකෙන් මගේ ඇස් දෙක ගලවගන්න බැරි උන නිසා වෙන්න ඇති කියලා මට හිතුණා.. වෙනදා වගේ නෙමෙයි ලොකු හිනාවක් දාගෙන සංසලා මගේ ගාවට ආවෙ.. කලින් නම් බිම බලාගෙන යන කෙල්ලනේ ඉතින්.. මගේ හිතේ තිබුණ බය චුට්ටකට පහවෙලා ගියා.. ඒත් සංසලාගෙ හිනාව එකපාරම නැති වෙලා ගියා..

“සුමිත් අයියෙ.. මොකද මේ බයවෙලා වගේ..”

කිරි අප්පට විදුලි කොටාපිය.. යකෝ මම හිනාවෙලා හිටියට මූණෙ තිබිච්ච බය මූඩ් එක එහෙම්මම තිබුණද.. අනේ මන්දා සංසලා නම් පුදුම කෙල්ලෙක් තමයි.. මේක මටම තමා ගැලපෙන්නෙ.. කොහොමත් ඔයා වෙන කෙනෙකුට අයිති නෑ බබෝ.. මටම තමා අයිති..

“නංගි මාර ඩයල් එකක්නේ..”

කුමාරයා පැනපු ගමන් කියපු කීමට සංසලා නංගිට බකස් ගාලා හිනා ගියා.. ඒ ගැම්මටම මටත් හිනා ගියේ මටත් නොදැනිම වගේ..

“ඇයි ඒ..?”

“ඇයි ඒ කියන්නෙ හලෝ.. මූ මෙච්චර වෙලා බයවෙලා තමයි හිටියෙ.. ඔයා එනවා දැකලා බය හංගගත්තා.. ඒත් වැඩේ අසාර්ථකයි.. ඔයාට අහු උනානේ..”

“ඇත්තද සුමිත් අයියෙ.. මොකකටද බය උනේ..?”

“නෑ නංගි මුගේ බොරු..”

“බොරු නෙමේ ඔයා බයෙන් ඉදියෙ.. මම දැක්කනේ ඔයාගෙ මූන දිහා.. බයෙන් පිරිලා තිබුණා.. තාමත් එහෙමමයි..”

“මේ… මේ…”

මට ඇත්තටම කියන්නෙ මොනවද කියලා හිතාගන්න බැරි උනා.. ඒක නිසා මගේ වචන එක තැන ගොත ගැහෙන්න පටන් ගත්තා..

“හ්ම්.. එහෙනම් රෑට කියන්නකො.. මම කෝල් එකක් දෙන්නම් හොදෙ..”

“හරි නංගි.. ඔයා දැන් ක්ලාස් එකට යන්න.. යාළුවො දැක්කොත් ඔයාට එක එක ඒවා කියයි.. මාත් එක්ක කාතා කරකර ඉන්නවා දැකලා..”

“ඉතින් මොකෝ අනේ.. මට ඕන නිසානේ මම කතා කරන්නෙ..”

අපෝ මේ කෙල්ලගෙ සැර.. දයියා වගේ..

“හ්ම් හ්ම්.. ඉතින් ළමයො දැන් ක්ලාස් පටන් ගනියි.. අපිත් යනවා.. නංගි ඉස්සෙල්ලා යන්න.. අපි ටිකක් පහු වෙලා එන්නම්..”

“හරි අයියෙ බුදු සරණයි! පරිස්සමින්!”

කුමාරයටත් මටත් දෙන්නටම එහෙම කියලා සංසලා ගේට්ටුවෙන් ඇතුළට ගියා..

“මචං කුමාරයො…….”

“ඇයි බං..?”

“එදා අර බඩියා පෙන්නපු බුවා අදත් මෙතන හිටියා බං.. ඌ අපි දිහාවත් බලන් ඉන්නවද දන්නෙ නෑ..”

එදා අර බඩී පෙන්නපු මෑන් අදත් මෝටර් බයික් එක නවත්තගෙන ඉඳලා ටික වෙලාවකට පස්සෙ හරවගෙන යන්න ගියා.. මූ ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන හිටපු නිසා මූණ බලාගන්නවත් විදියක් නෑනේ.. පෙර ගැන ලොකු සැකයක් නැති උනත් යාන්තමට වගේ මගේ හිතේ සැකයක් ඉපදෙන්න ගත්තා..

“විකාර නොකිය ඉදපං බං.. ඌ මේකෙ කෙල්ලෙක්ට ලයින් දානවා ඇති.. ඒකි බලන්න එනවා ඇත්තෙ..”

“හ්ම්..”

“මේ ඒක නෙමෙයි බං.. ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න.. උත්තර දෙනවද.?”

කුමාරයා කල්පනා කරකර ඉඳලා එක සැරේම අහන්න යන ප්‍රශ්නෙ මොකක්ද මන්දා..

“අහපන් බලන්න..”

“එක තමයි අද සංසලාගෙ හොදම යෙහෙළිය වන නිම්මි කෙල්ල කොයි..? දෙක තමයි අපේ හාල්පාරුවො සෙට් එක කොයි..?”

ඇත්තටම අද සංසලා ක්ලාස් ආවෙ තනියෙම නේද..? දෙයියනේ………. එතකොට නිම්මි කෝ.. වෙනදා සංසලා ක්ලාස් එන්නෙ නිම්මි එක්කනේ.. මේකි නිම්මි එක්ක වලියක්වත් දාගත්තද දන්නෙ නෑ එදා මං ගැන බොරු කිව්වා කියලා.. මට නම් හිතෙන්නෙ ඒ වගේ.. අපේ එවුන් ටික නම් කෙල්ලො ගණන් කරනවා ඇති එහා පැත්තෙ තාප්පෙට හේත්තු වෙලා.. නැත්නම් කඩේකට ගිහින් දෙසා බානවා ඇති..

“සිරාවටම කුමාරයො නිම්මි නැහැනේ බං.. සංසලා නිම්මි එක්ක තරහ උනාද දන්නෙ නෑ.. අපේ එවුන් ඇතුලෙ ඇති බං කෙල්ලො ගණන් කරකර.. උන්ට මේ සීන් කියන්න යන්න එපා හොදෙ.. පස්සෙ දවසක ශේප් එකේ කියමු..”

“මම කියන්න යන්නෙ නැහැ බං ඔය මගුල් කවුරුවත් එක්ක.. මේ ඒක නෙමෙයි ඇයි සංසලා නිම්මි එක්ක තරහ වෙන්නෙ..?”

“ආ.. ඒකත් මම උඹට වෙන වෙලාවක කියන්නම්කො.. දැන් යමු ක්ලාස් එකට..”

“හ්ම්.. යමං යමං..”

එහෙම කියලා කුමාරයයි මමයි ක්ලාස් එක පැත්තට ඉක්මන් ගමනින් යන්න ගියා..
………………මතු සම්බන්දයි ……………….

5 thoughts on “ඔබ මට හිමි වේ නම් |13 කොටස | නවකතාව”

  1. Onna mama thamai ada mulinma comment kare aiyeeeee…ane ithin kiyanna deyakna aiyooo kathawa supiriiiiiiiiiiii…..clz giya kale mavila penawa aiye..ayeth a wayasata yanna thibunanam kiyala hithenawa aiye..a kale gena kochchara sundara mathaka tyenawada..oya godaaaaak daksha writer kenek aiyee..aththamai mam godak novel kiyola tyenawa famous writerlage..a ayatat wada ape hithata danenna oya liyanawa aiyee saththai saththai saththai..yauwana samindra aiyage poth walatat mama asai godak ewa kiyola tyenawa..a wagema oyath perfect aiye..me aththamai…mama hadawathinma suba pathanawa aiye oyata me pathtenuth godak issarahata yanna shakthiya dahiriya wasanawa labenna kiyala….

    1. Me wage adaraniya comments ekka labannath mama pin karanna one hithata loku sathutak Mata hidalama thanks thawath liyanna Asa wenawa aththatama ow meka mage adara kathawa ithin mama Katha karana vidiyatama liuwa asawen balanwata me wage adaraniya comments danwataha thank you so much mama song writer kenk mage Nama gala ahanna godak song thiye mage budusaranyi

      1. Oyage sindu mama beluwa youtube eke..ewath godak lassanai aiyee..hamotama me wage hekiyawan pihitanne na aiye me oyage pera pinaka wasana mahimaya thamai..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.