හොල්මන් කතා
කුළී නිවස
තෙවන කොටස
“ඇයි චූටි මොකද වුණේ?” කියමින් මම සාලයට දිව්වා.
“අම්මේ චූටි මල් කඩන්න ගිහින් බය වෙලා” ලොකු දුව කිව්වා.
“ලොකූ, දෙවෙනි ඔයාලා මොකටද මෙච්චර රෑ වෙලා තියෙද්දිත් නංගිව තනියම මල් කඩන්න යැව්වේ? මම චූටි දුව වඩා ගනිමින් ප්‍රශ්න කළා.
“අම්මේ මේ සතියේ චූටිනේ බුදුන් වදින්න මල් කඩන්න ඉන්නේ .. එයා තනියම ගියා කියලා අපි දන්නෙත් නෑ. අනික මිදුලමනේ අම්මේ” දෙවැනි දුව කිව්වා.
දරුවන් තිදෙනාම දිනපතා සවස 7.00ට බුදුන් වදින අතර සතියකට වරක් එකිනෙකා මාරුවෙන් මාරුවට මල් කඩා පහන් දල්වා බුදු මැදුර පිරිසිදු කළ යුතු බව මා යෝජනා කළේ තිදෙනාම එම කටයුතු පුරුදු විය යුතු නිසා.
“මොකටද චූටි දූ බය වුණේ ?” කියලා මම ඇහුවා.
“අනේ අම්මේ… මං පිච්ච වැලෙන් මල් කඩනකොට ටොයිලට් එක හරියෙන් සුදු පාට ඇදගත්ත ආච්චි කෙනෙක් ගියා.. මං ආච්චි අම්මේ කොහෙද යන්නේ ඇහුවට කතා කළේ නෑ.. එකපාරටම පිච්ච වැල ගාවට ඇවිත් පේන්නේ නැතුව ගියා” කියමින් අඩන්නට පටන් ගත්තා .
“චූටි දූ අඩන්න එපා… මල් කඩන්න එන්න ඇත්තේ.. සිල් ගන්න යන්න වෙන්න ඇති” මම සිනහ වෙමින් බොරුවක් කීවේ දියණිය බය කිරීමට අවශ්‍ය නොවූ නිසා .
“මේ රෑ සිල් ගන්නේ කවුද? අද පෝයත් නෑනේ” ලොකු දුව කී විට මා ඇයට රවා
“ගෙදරක බුදුන් වදින්න මල් ටිකක් කඩාගන්න එන්න ඇති ලොකූ… නංගී බය කරන්න එපා . ඊළඟ දවසේ ඉදලා මං මල් ටික කඩලා දෙන්නම්” මම කීවේ ඇර තිබූ දොර වසා දමමින් .
“ආ… අක්කේ එහා ගෙදර ආච්චි වෙන්න ඇති එන්න ඇත්තේ.. අපි වැඩ ඇරිලා එනකොට එහා ගෙදර කඩුල්ල ළඟ සුදු පාට ඇදගත්ත වයසක ගෑණු කෙනෙක් හිටියා. අපි හිනා වුණාට එයා හිනා වුණේ නෑ. නපුරු විදියට අපේ දිහා බලාගෙන හිටියා . එයාලගෙ මිදුල මැදින් එනවට කැමති නැද්ද කොහෙදෝ” ගයාන් මල්ලී කිව්වා .
“එහෙමද මල්ලී ? අපි දැකලා තිබුණේ සීයා කෙනෙක් විතරක් ඉන්නවනේ.. එයාගේ නෝන වෙන්න ඇති එහෙනම්.. හ්ම්ම් .. හරි දරුවනේ දැන් තුන් දෙනාම බුදුන් වදින්නකෝ.. මම රෑට උයන්නම්..” කියමින් මම කුස්සියට ගියා .
දියණියන් තිදෙනා ශබ්ද නගා බුදුන් වදින අයුරු මට ඇසුණා. ගයාන් මල්ලීත්, නුස්‍රා නංගිත් ඇග සේදීමට කියා නිවසේ ඉදිරිපස තිබූ වතුර බැරලය අසලට ගියේ මේ වෙලාවේ.
අප නිවසට අවශ්‍ය ජලය නිවසට ඉහළින් වූ කන්දේ සිට බට දමා ලබාගෙන තිබූ අතර නිවස ඉදිරිපස බැරලයකට නිතරම වතුර පිරෙන්නට තබා තිබුණා . අපි නෑමට සහ රෙදි සේදීමට එම බැරලයේ ජලය භාවිතා කළා.
“අක්කේ… අපේ ඇදුම් වේලෙන්න දාල ගියා.. ඔයා අරං තිබ්බද?” කියමින් ගයාන් මල්ලී කුස්සියට ආවා .
“ආ… ඔව් මල්ලී …මං රෙදි ටික නවලා අරං තිබ්බා. ඉන්න මං ගෙනත් දෙන්නම්” කියමින් මා ඔහුට රෙදි ටික ගෙනත් දුන්නා .
“ග–යා—න්…. අනේ… එ–න්–න–කෝ…” නුස්‍රා නංගීගේ බිය මුසු කටහඩත් සමගම යකඩ බාල්දිය පෙරළී යන හඩ අසා අප දෙදෙනාම ඒ දෙසට වේගයෙන් දිව්වා
“අනේ අක්කී…” කියමින් නුස්‍රා නංගී මා බදාගෙන ඉකි බිදින්නට පටන් ගත්තා.
” ඇයි ඇයි නුස්‍රා ?? මොකද වුණේ ? ඔයා බය වුණාද පැටියෝ?” ගයාන් මල්ලීද බියට පත්ව ඇහුවා .
“ගයාන් වතුර බාල්දිය එක පාරටම පෙරළී පෙරළී ගියා.. මම හිතුවෙ හුළගට කියලා . ඒත් මං බාල්දිය අරං ඇවිත් වතුර එකකුත් පුරවලා තිබ්බා… ඒක ආයෙමත් පෙරළීගෙන යන්න පටන් ගත්තා… අනේ මට බයයි…” ඈ හඩමින් කීවා.
” නංගී බය වෙන්න එපා.. කන්දට පහළින් ගේ තියෙන නිසා මෙහෙට අපිට නොදැනෙන්න හුළග සැරට එනවා… කෝ දැන් අඩන්න එපා.. මල්ලී නංගිව ගේ ඇතුළට එක්කන් යන්න” කියලා මම මිදුල කෙළවරට ගියේ බාල්දිය අරං එන්න.
ගයාන් මල්ලී නුස්‍රා නංගීව අස්වසමින් ගෙතුළට යන අයුරු මට ඇසුණා . බාල්දිය එතරම් දුරක් හුළගට යාම කිසිසේත්ම සිදුවිය නොහැකියි. කුමක් හෝ අද්භූත බලවේගයක් ඇති බව මට සිතුනේ අද උදෑසන සිටම සිදු වූ සිදුවීම් නිසා.
“අනේ ඇයි අම්මේ නුස්‍රා නැන්දා අඩන්නේ? එයත් බය වෙලාද ?” චූටි දුව ඇසුවේ මා එනතුරු දොර ළඟ රැදී සිටිමින් .
“කකුලට බාල්දිය වැටිලා පුතේ.. නැන්දට රිදෙනවලු. ඔයාලා බය වෙන්න එපා.. යමුකෝ ඇතුළට ” කියමින් මම දොර වහලා දැම්මා .
මම චූටි දුව බිය වේ යැයි සිතා බොරුවක් කීවද වැඩිමහල් දියණියන් දෙදෙනා එම බොරුවෙන් රැවටීම කළ නොහැකි බව මා දනිමි. දරුවන් තිදෙනාම බියට පත්ව සිටි බව ඔවුන්ගේ මුහුණුවලින් පැහැදිලි වුණා .
**********************************************
“හැමෝම කෑම කන්න එන්න…” මම කතා කළා.
සියලු දෙනාම බියට පත්ව ඇති බවක් හැගුනේ කතා බහ නොකර ඔවුන් කෑම මේසයට වාඩි වූ නිසා .
“කෝ අද කතා පෙට්ටි වැහිලද? කවුරුත් කතා නැත්තේ ? මම සිනහ වෙමින් ඇසුවේ සිදු වූ දේවල් ඔවුන්ට අමතක කරන්න .
“අම්මී… මට බත් කවන්නකෝ…” කියමින් චූටි දූ මගේ ඇගේ එල්ලුණා..
නිහඩවම කෑම කා අවසානයේ සියලුදෙනාම නින්දට ගිය නමුත් ලොකු දුව කාමරයේ පාඩම් කළා.
මටත් නිදිමතක් නොදැනුණු නිසා ඇදට වී චූටි දුවගේ හිස අතගාමින් කල්පනා කළේ අද දින සිදු වූ දේවල් පිළිබඳව. ලොකු දුව රාත්‍රී 11.00ට නිදාගගත්තා. කල්පනා කරමින් සිටි මට නින්ද ගියේ කීයටද කියලා මට මතක නෑ. එකපාරටම කුස්සියේ දොරඅරින ශබ්දය ඇහිලා මට ඇහැරුණා.
නුස්‍රා නංගී හරි ගයාන් මල්ලී හරි ටොයිලට් යන්න වෙන්න ඇති කියලා හිතලා මම අනිත් පැත්තට හැරිලා නිදාගන්න යද්දිම ඔරලෝසු කටුව අසාමන්‍ය විදියට වේගයෙන් කැරකෙන හඩ මට ඇහුණා . මං ටෝච් එක ගහලා වෙලාව කීයද කියලා බලද්දී පාන්දර 2.00යි. ඔරලෝසුවේ තත්පර කට්ට වේගෙන් දුවනවා. මොකක්ද වෙන්නේ කියලා හිතගන්න බැරිව ඉද්දී මට සාලේ කවුරු හරි ඇවිදින ශබ්දයක් ඇහුණා .
“ගයාන් මල්ලී හරි නුස්‍රා නංගී හරි ඇවිදිනවා නම් ලයිට් දානවනේ.. මෙයාලා හීනෙන්වත් ඇවිදිනවද දන්නේ නෑ” කියලා හිතලා මම හිමීට ඇදෙන් බැහැලා දොර රෙද්ද ඈත් කරලා බැලුවා..
“අනේ දෙයියනේ ..” කියලා මට කියවුණේ මං දැක්ක දේ නිසා.