Katha Ahura

කුළී නිවස | සිව්වන කොටස | හොල්මන් කතා | කතා අහුර

4.6/5 - (11 votes)

මං දැක්ක දේ නිසා මට දාඩිය දාන්න පටන් ගත්තා . හොදට හද එළිය වැටිලා තියෙන සාලාවේ සුදු ඇදගත්ත ගෑනු කෙනෙක් ඇවිදිනවා . ඒ මදිවට එයාගේ ඔලුව පේන්න නෑ. බෙල්ලෙන් පහළ කොටස විතරයි තියෙන්නේ..

මට කරන දෙයක් හිතාගන්න බැරිවුණා . ගයාන් මල්ලිලාට කතා කරන්න විදියකුත් නෑ. සාලේ මැදින් යන්න බෑනේ . අනික ඒ දෙන්නත් හවස බයවෙලා හිටියේ . ළමයි තුන් දෙනා ඇහැරුණොත් බය වෙයි කියලා හිතලා හිමීට ඇවිත් ඇදට නැග්ගේ ඉතිපිසෝ ගාථාව මුමුණන ගමන් .

එළිය වැටෙනකල්ම මට නින්ද ගියේ නෑ. 5.30ට තිබ්බ එලාම් එකත් මං වදින්න කලින්ම ඕෆ් කරලා දැම්මේ බයට. 6.00 වෙද්දී හොදට එළිය වැටිලා නිසා මම කුස්සියට ගියා . ඒත් ටිකක් බය තිබුණා . මම බය වුණොත් මුකුත්ම කරගන්න බැරිවෙයි කියලා හිතලා හිතට ශක්තිය අරං මං කුස්සියට ගිහිං ඉක්මනින් කෑම හදලා , හැමෝටම තේ හදලා එයාලව ඇහැරෙව්වා.

රෑ වුණු කිසිම දෙයක් මං කාටවත්ම කිව්වෙ නැත්තේ එයාලව බය කරන්න ඕන නැති නිසා. හැමෝම ගෙදරින් ගියාට පස්සේ ලොකු තනියක් දැනුණත් ගේ එහෙම අස් පස් කරලා මම දොර ලොක් කරලා පැල්පත පැත්තට ඇවිදගෙන ගියේ එහේ ඉන්න අයගෙන් හරි මේ ගෙදර ගැන විස්තරයක් අහන්න .

ගිහිං බලද්දී පේන්න ගෙදර කවුරුත් හිටියේ නෑ. ඒ නිසා මම දොරට තට්ටු කරලා බැලුවා . වයසක සීයා දොර ඇරලා කන්න වගේ මගේ දිහා බලාගෙන හිටියා .

“අංකල්.. මං එහා ගෙදරට අලුතින් පදිංචියට ආවේ.. ළඟ පාත ඉන්න අය අදුරගන්න එපැයි . ඒකයි මං කතා කරන්න ආවේ ටිකක් ” මම සිනහ වෙමින් කිව්වා .

ඒත් ඔහු මං බලාපොරොත්තු වුණ විදියට ප්‍රතිචාර දැක්කුවේ නෑ. අඩුම තරමේ හිනා වුණේවත් නෑ. ඒත් මේ ගෙදර ගැන දැනගන්න ඉන්නේ මේ සීයම නිසා මං ආයෙත් කතා කළා.

” අංකල් අපි ඉන්න ගෙදර ගැන මොනවා හරි දන්නවද ? ඇන්ටි කෝ ගේ ඇතුළෙද?” එකපාරම ප්‍රශ්න දෙකක් ඇහුවා.

“අනුන්ගේ ගෙවල් ගැන මං මොකුත් දන්නේ නෑ. මං මෙහෙ තනියෙන් ඉන්නේ . හැමදාම ගෙදර ඇත්තෙත් නෑ. කුළී වැඩ වලට ගියාම යන තැනක නතර වෙනවා” කියලා සීයා සැරෙන් කිව්වා .

“එතකොට ඇන්ටි කොහේ හරි ගිහිංද?” මං ආයෙත් ඇහුවා .

“මගේ නෝනා මැරිලා දැන් මාස 6ක් වෙනවා” කෝපයෙන් කියලා දොර වහගත්ත නිසා මම ආයෙත් ගෙදර ආවේ දාඩිය දාන ගමන් .

මගේ හිතේ දාහක් ප්‍රශ්න තිබුණා . ඇන්ටි මැරිලා මාස 6ක් නම් ඒ ගෙදර ළඟ හිටියා කියන ගෑණු කෙනා කවුද ? සුදු ඇදගෙන හිටිය නිසා ඒ හිටියේ මැරුණ ඇන්ටි ද? එතකොට මං දැක්ක කෙනා එයාමද? මට මූණ පෙනුණේ නැත්තේ ඇයි ? මැරුණ ඇන්ටිට මේ ගෙදරත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? ප්‍රශ්න ගොඩක් මගේ ඔලුව ඇතුළෙ කැරකෙන්ම පටන් ගත්තා .

මම කොහොම හරි මේක හොයාගන්න ඕන කියලා හිත හිත ගෙදරට ආවා. අද හවස ඉදන් එළි වෙනකන් පිරිත් දාලා තියන්න ඕනි කියලා මම හිතාගත්තා.

**********************************************

හවස 5.00 වෙනකොටම මම මල් ටික කඩලා තියලා දරුවන්ට ඇග හෝදගෙන ගේ ඇතුළට වෙලා පාඩම් කරන්න කියල වේලාසනින් කෑම හදලා දරුවෝ පාඩම් කරනකන් ළගට වෙලාම හිටියා . මං පිරිත් දැම්මේ ටිකක් සද්දේ වැඩි කරලා . ගයාන් මල්ලීයි, නුස්‍රා නංගියි ආවේ 7.45ට.

“අක්කා මොකෝ සද්දෙන් පිරිත් දාලා?” කියාගෙනම ගයාන් මල්ලී දොරට තට්ටු කළා.

“අනේ නුස්‍රා නංගී කමක් නැද්ද පිරිත් දාලා තිබ්බට? ඔයා කැමති නැද්ද දන්නේ නෑනේ. මට ඒක වැඩිය ගානක් ගියේ නෑ” කියලා මම දොර ඇරියේ ඇත්තටම පොඩි පසුතැවීමකින්.

නුස්‍රා නංගී මුස්ලිම් නිසා එයාට ඇහෙන්න පිරිත් දැම්ම එක හොද නෑ නේද කියලා මට හිතුනෙ අපි හැමෝම අපේ ආගම්වලට ආදරේ කරනවා ගවුරව කරනවා නේද කියල හිතුන නිසා.

“අයියෝ අක්කී එහෙම ප්‍රශ්නයක් නෑ.. මං ගයාන් එක්ක පන්සල් ගිහිං තියෙනවා ” නුස්‍රා නංගී හිනා වෙලා කියපු නිසා මගේ හිතට නිදහසක් දැනුණා.

ඒ දෙන්නා ඇග හෝදන් ආවාට පස්සේ හැමෝම කතා කර කර කෑම කාලා නිදාගන්න ගියා . වෙනදා වගේම ලොකු දුව පාඩම් කළා.. මං එයා ළගට වෙලා ඉදගෙන හිටියත් මට ඇහැරලා ඉන්න එපා නිදාගන්න කියලා දුව කියපු නිසා මං ඇදට වෙලා හාන්සිවෙලා ඉද්දී දන්නෙම නැතුව නින්ද ගිහිං .

“අම්මී.. අම්මී මට චූ බරයි..” කියලා චූටි දූ මාව ඇහැරෙව්වා .

මං වෙලාව කීයද කියලා බැලුවේ අපේ කාමරේ දාලා තිබ්බ නයිට් බල්බ් එකේ එළියෙන් . වෙලාව 12.20යි. තාමත් රේඩියෝ එකේ පිරිත් යනවා.

“යමු චූටි” කියල මං චූටි එක්කන් ටොයිලට් එකට ගියා.

චූටි දුව ටොයිලට් එකට ගිහිං එළියට එනකොටම

“අම්මෙ අම්මේ අන්නාර ආච්චි අම්මා අදත් සිල් ගන්න යනවා” කියලා ඇගිල්ල දික් කරා.

මං ඉක්මනින් ඒ පැත්ත හැරිලා බැලුවේ චූටිගෙ අතත් අල්ලගෙනමයි..

මං චූටි දූ පෙන්නුව දිහා බලද්දී සුදු පාට ඇදගෙන දිග කොණ්ඩය කඩා දාගෙන අපේ ගේ දිහාම බලං ඉන්න ගෑණු කෙනාව දැක්කා . අපේ ගේ ළගට ඇවිත් කුමක් කරන්නේදැයි අහන්නට උවමනා වුණත් චූටි දූ සිටිද්දී ඈ සමග කතා බහ කිරීමට මම බය වුණේ ඒ සිටින්නේ මනුෂ්‍යයකු නොවන බව වැටහුණු නිසා .චූටි දූ ඇදගෙන ගේ ඇතුළට දුවලා ගිහිං දොර වහලා දැම්ම මං චූටි දූට නින්ද යනකං ඔලුව අතගෑවා.

අද නම් ගේ ඇතුළෙ කිසිම සද්දයක් ඇහුණේ නැත්තේ පිරිත් දාලා තියෙන නිසා කියලා මට තේරුණා. පාන්දර යාමේ නින්ද ගිය මට එලාම් එකට ඇහැරෙනකොටත් ලොකු දුව නැගිටලා පාඩම් කරනවා.

“ලොකූ ඊලඟ දවසේ තනියම ඇහැරලා පාඩම් කරන්න එපා. මටත් කතා කරන්න ” කියලා මම කිව්වේ ලොකු මොකකට හරි බය වෙයි කියලා මට බය හිතුන නිසා .

“අයියෝ අම්මේ , හැමෝම ඉන්න කාමරේ මම පාඩම් කරන්න බය වෙන්නේ මොකටද?” කියලා ලොකු දුව හිනා වුණා .

මං බයවෙලා ඉන්නේ මොකටද කියලා මට ලොකු දූටවත් කියන්න හිතුනෙ නැත්තේ විභාග අස්සේ ඒ ළමයව බය කරන්න ඕන නැති නිසා .

වෙනදා වගේම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ලොකු දුව කොණ්ඩය පීර පීර එළියට ගියා .

“අම්මේ අනේ බලන්නකෝ අදත් කණ්ණාඩිය කැඩිලනෙ” කියලා කිව්ව නිසා මමත් ගිහිං බැලුවා .

වෙනදා වගේම කණ්ණාඩිය වීදුරුව පැත්ත යටට වෙන්න හැරවිලා වීදුරුව බිදිලා ගිහිං තිබුණ. කණ්ණාඩිය කැඩෙන්නේ හුළගට කියලා අපි හිතාගෙන හිටියට ඒක් එහෙම නෙවෙයි කියලා මට හිතුනෙ කණ්ණාඩිය වැටෙන්නේ නැති වෙන්න හිර කරලා ඇණයක් ගහලා තිබුණ නිසා .

“මං අලුත් කණ්ණාඩියක් ගෙනත් තියන්නම්කෝ” කියලා ගෙට ගියේ

“මීට පස්සෙ නම් එළියේ කණ්ණාඩිය තියන්න එපා” කියලා කියන ගමන්මයි.

දරුවෝ පාසල් යවලා ගයාන් මල්ලිලා වැඩට ගියාට පස්සේ ගේ දොර අස් කරලා මමත් ටවුන් ගියේ ගෙදරට ඕන කරන බඩු ගේන්න.

***********************************************

ටවුන් ගිහිං එන ගමන් ගෙනාව කණ්ණාඩිය එදා ඉදන් එළියේ තිබ්බේ නෑ. දවස් තුනක් කිසිම කරදරයක් නැතුව , කවුරුත් බය වෙන්නේ නැතුව හිටිය නිසා මං හිතුවෙ කරදර ඉවරයි කියලා . ඒත් එහෙම නෑ කියලා තේරුණේ හතර වෙනි දවසේ.

පිරිත් දාලා තිබුණත් 1.00ට විතර කුස්සියේ දොරේ ලොක් එක ඇරෙන සද්දේ වගේම දොර ළඟ තියෙන පිගන්, කෝප්ප දාලා තිබුණ රාක්කය හයියෙන් හෙල්ලෙන සද්දේ ඇහුණා . එත් එක්කම ඔර්ලෝසු කට්ට වේගෙන් කැරකෙන හඩ වගේම කුස්සියේ ඉදන් සාලෙටත්, සාලේ ඉදන් කුස්සියටත් කවුරු හරි ඇවිදින සද්දේ ඇහෙනවා.

හොද වෙලාවට දරුවෝ තුන් දෙනාම හොදට නිදි . අනේ අපට කරදරයක් නම් වෙන්න එපා කියලා මං හිතින් හිතාගෙන බුදු ගුණ සිහි කර කර හිටියා . නින්ද යන්නෙම නෑ. පාන්දර 2.00 වුණා . ඒත් ඇවිදින සද්දේ මට ඇහෙනවා . පාන්දර 4.00ට මට ඇහැරුණේ චූටි දූ චූ බරයි කියලා කතා කරපු නිසා.

එදා රෑ චූටි එක්ක ටොයිලට් ගිහිං සිද්ද වුණ දේ නිසා දරුවට කරදරයක් වෙයි කියලා මට බය හිතුන . ඒ නිසා ඇද යට ප්ලාස්ටික් බාස්කට් එක්ක මං තියල තිබ්බේ චූටි දුවට චූ බර වුණොත් ඒකට දාන්න කියනවා කියලා හිතාගෙන .

“චූට් දූ මේකට චූ දාන්න පුතේ ” කියලා මම කිව්වත්

“අනේ අම්මේ මේකට දාන්න බෑ. මට පුරුදු නෑනේ . අම්මිමයි කිව්වේ ටොයිලට් එකට යන්නෙ ගුඩ් ගර්ල්ස්ලා කියලා . මට නෝටි වැඩ කරන්න බෑ” කියලා චූටි දූ අඩන්න ලෑස්ති වුණා .

පොඩි කාලේ ඉදලම ටොයිලට් එකටම යන්න පුරුදු කරලා නිසා දරුවන්ට මේක නුහුරු දෙයක් . ඒත් දැන් තියෙන තත්ත්වෙ එක්ක මට එළියට යන්නත් බෑ. ඒ නිසා නං බොරුවක් කියලා දැම්මේ දෙපාරක් නොහිතා.

“අනෙර් චූටි අම්මගෙ කකුල රිදෙනව. ඇවිදින්න අමාරුයි වගේ”

“අනේ අම්මි සොරි කරදර කළාට . මං මේකට දාන්නම්” කියලා චූටි දූ කිව්වම මට කෙල්ල ගැන ලොකු දුකක් හිතුනා.

5.30 වෙනකල්ම මට නින්ද ගියේ නෑ. මං කුස්සියට යනකොටම ගයාන් මල්ලී නුස්‍රා නංගී එක්ක දුවගෙන ආවා. දෙන්නගෙම ඇස් දිහා බැලුවම පෙනුණේ දෙන්නම නිදාගෙන නෑ. ලොකු බයක් ඇස්වල තියෙනවා කියලා .

“අක්කේ.. ඔයාට ඇහුනද රෑ අපට ඇහුන සද්දේ ?” ගයාන් මල්ලී ඇහුවා .

“කෙනෙක් ගේ ඇතුළෙ ඇවිදින සද්දේ නේද මල්ලී ?” මම අහනකොටම,

“අනේ අක්කී සද්දේ විතරක් නෙවේ. ගෑණු කෙනෙක් ඇවිද්දා. මං ඇස් දෙකෙන්ම දැක්කා . එහා ගෙදර වැට ළඟ හිටිය ආච්චිම තමයි අක්කේ . ඒත් එයා කොහොමද ගේ ඇතුළට ආවේ කියල කතා කරන්න හදනකොටම තමා ගයාන් මාව කාමරේ ඇතුළට ඇදලා ගත්තේ ” කියලා නුස්‍රා නංගි කිව්වා .

“එයා මනුස්සයෙක් නෙවෙයි කියලා මට තේරුණා අක්කී . මං කිව්වේ නැද්ද ඔයාට ආව දවසෙම මේක හොල්මන් ගෙයක් කියලා ” ගයාන් මල්ලී කිව්වේ මට වැරදිකාර හැගීමක් හිතට ඇති කරලා..

“මාත් එයාව දැක්කා මල්ලී . මං කලින් මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ. එහෙම දැනගෙන හිටියා නම් මං මේ ගෙදරට එන්නෙත් නෑ. මං මේක කිව්වේ නැත්තේ ළමයි තුන්දෙනා බය වෙයි කියලා ” එහෙම කියලා මං කතාව නතර කරේ ලොකු, දෙවෙනි එක්ක කුස්සියට ආව නිසා..

වෙනදා වගේ හැමෝම ලෑස්ති වෙලා ගෙදරින් ගියාට පස්සේ 10.30ට විතර දොරට තට්ටු කරනවා ඇහුණා . මං ගිහිං දොර ඇරලා බැලුවේ මේ වෙලාවේ කවුද ඇවිත් තියෙන්නේ කියල හිතන ගමන්..

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.