Katha Ahura

දෝණී | අවසන් කොටස කොටස | හොල්මන් කතා |

4/5 - (5 votes)

#32 කොටස

“කෝ මැට්ටො තාම ඇඳගත්තෙ නැද්ද…? අනේ අනේ මෙතෙන්ට වෙලා බකන් නිලාගෙන, බඩ උලාගෙන ඉන්නැතුව ඇඳගන්නකෝ…. බලන්න දැන් අටත් පහු වෙලානෙ… කීයටද අපි යන්නෙ…?”

පහන්දිගෙ හඬින්, අවුරුදු හතරකට කලින් අතීතෙන් මං අයින් උනා. සුදුපාට ලස්සන දිග සායක් ඇඳලා, ඒකටම මැච් වෙන බ්ලවුස් එකකින් සැරසිලා කොන්ඩෙත් තනි කරලට ගොතාගෙන හිටපු එයා ඉනට අත් දෙකත් තියාගෙන මගෙ දිහා බලාගෙන හිටියෙ කන්න වගේ.

“හරි හරි මේ ලෑස්ති වෙනෝ… අර ෆ්‍රිජ් එකෙන්වත් මොනාහරි අරන් කනවකො බඩගිනි නම් මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නැතුව…” විහිලුවකුත් කරන ගමන් මං නැගිටලා ඇඳුම් අල්මාරිය ලඟට ගියා.

“මං ඌරු මස් කන්නෑනෙ ඉතින්…”

“ඔව් ඒකත් හොඳයි තමන්ගෙම ජාතිය කන්නැති එක…” මං විරිත්තුවා.

“දැන් දෙනවා මං දෙකක්… ඇඳගන්නයි කිව්වෙ ඉක්මණට… මං අනිත් බඩ්ඩවත් ලෑස්ති කරන් එන්නම්කො මෙලහකටත් මොනවා කරනවද දන්නෑ….” මට විරිත්තලා එයා කාමරෙන් යන්න ගියා. අල්මාරියෙන් ලා නිල්පාට ඩෙනිමකුයි සුදු ෂ‍ර්ට් එකකුයි එලියට ගත්තු මම ඒවා අඳින ගමන් ආයෙම කල්පනාවට වැටුණා.

“හරි මං ලෑස්තියි අපි යමුදෝ…. කෝ ඒ ගමන මට කෑගහපු මේ ගෑනි…? මං තනියමද යන්න ඕනේ….” ලෑස්ති වෙලා සාලෙට ආපු මං පහන්දිට කතා කලේ එයා පේන්න හිටියෙ නැති හින්දා.

“අනේ විනාඩි පහක් දෙන්න මහත්තයෝ මෙයාට ටොයිලට් යන්න ඕනෙලු….” පහන්දි කාමරේ ඉඳන් කෑගහලා කිව්වා. එයා එනකල් මං සාලෙ ලොකු සෝෆා එකෙන් වාඩි වෙලා මගෙ ෆෝන් එක අතට ගද්දිම මගෙ ඇස් දෙක ගියේ සෝෆා එක උඩ තියලා තිබ්බ ෆොටෝ එක දිහාවට. මගෙයි පහන්දිගෙයි හුඟක් ඉස්සර ගත්තු ෆොටෝ එකක්. ඒ මතකෙ දිගේ මාව ආයෙම සැරයක් අතීතෙට ඇදිලා ගියේ මටත් නොදැනිමයි.
**********************************************************************

මහා භයානක හීනයක් වගේ තිබ්බ දවස් දෙකකට පස්සෙ පහන්දිට සිහිය ආවා කියන ආරංචිය මට ඇහෙනකොට මං හිටියෙ හොස්පිටල් එකේ බංකුවක් උඩට වෙලා නිදි කිර කිර. අපේ පවුලෙ හැමෝම වගේ හිටියෙ හොස්පිටල් එකේ. මුලින්ම ඩොක්ටර් ලඟට දුවගෙන ගියේ මම.

“අනේ ඩොක්ටර් මගෙ මැනිකට ප්‍රශ්නයක් නෑ නේද…? එයා හොඳින් නේද…. කියන්නකො ඩොක්ටර්…..”

“හා හා කොලුවො බයවෙන්න දෙයක් නෑ….” ඩොක්ටර් මං දිහා බලලා හිනාවෙලා කිව්වා. “ඔයාගෙ මැනික හොඳටම හොඳින්… ඔන්න ඔයාව තමයි මුලින්ම එයා ඇහුවෙ සිහිය ආපු ගමන්ම… ඒ නිසා ඔයාට විතරක් දැනට ඇතුලට යන්න පුලුවන්…” මගෙ පිටට තට්ටුවක් දාපු ඩොක්ටර් කිව්වා.

“අනේ ගොඩාක් පින් ඩොක්ටර් එයාව බේරලා දුන්නට… එයා නැත්තම් මටත් ජීවිතයක් නෑ… එයා තමයි මගෙ හැමදේම…”

“හරි හරි මට තේරෙනවා… දැන් යන්න එයාව බලන්න ඉක්මණට…”

ඩොක්ටර්ට ආයෙම සැරයක් ස්තූති කරපු මං කාමරේ ඇතුලට ගියා නෙමෙයි පැන්නා. බට ගොඩකුත් ගහලා සේලයින් දීලා එයාව බලන්න දුකයි. මං යද්දිම යාන්තමට ඇස් දෙක උස්සලා බලපු ඒ මූනෙ ලාවට හිනාවක් ඇඳුනා.

“සුදු මැණික…” මං ආදරෙන් කතා කරද්දි ඒ ඇස් ආදරෙන් දිලිසුනේ ඇස් අගට කඳුලු බිංදුවක් එකතු වෙද්දි. “අනේ අඬන්නෙපා මගෙ මැනිකෙ… ඔයාට හොඳ නෑනෙ…”

“ම්..ම…හ…ත්….ත…යෝ…..” එයා යාන්තමින් තොල් මැතිරුවා.

“ෂ්ෂ්…. කතා කරන්නෙපා මැණිකෙ…. මං ඉන්නවනෙ දැන් ලඟ… ඔයා ලඟින් හෙල්ලෙන්නෙවත් නෑ මම… මෙහෙම ඉන්නම් ඔයා ගාවින්ම… දැන් ඔහොම සනීපෙට ඉන්නකො….” මං එයාගෙ ඔලුව අතගෑවා හෙමින්. ඒත් එයා මට මොකක් හරි දෙයක් කියන්න හදනවා කියලා තේරුණා.

“ද්…දෝ…ණි….”

යාන්තමින් මට ඒ තොල් කියවගන්න පුලුවන් උනා වගේම ඒ ඇස් තිබ්බෙ මගෙ පිටිපස්සෙ තිබුණ දේකට කියලත් මං දැක්කා. ඒත් එක්කම වගේ හැරිලා බලපු මං දැක්කෙ මගෙ පිටිපස්සෙ හිටපු දෝණිව. එකපාරටම දැකපු නිසා මං ගැස්සිලා ගියත් මට තේරුණා පහන්දි යාන්තමට මගෙ අතකින් අල්ලගන්නවා.

“දෝණි ඔයා…??? ඔයා මොකද මෙතන කරන්නෙ…?” මං ටිකක් සැරෙන් සද්දෙ අඩු කරලා ඇහුවෙ එලියෙ ඉන්න අයට ඇහෙයි කියලා.

“තාත්තී….” එයා දුකෙන් මගෙ දිහායි පහන්දි දිහායි බලාගෙන මිමිණුවා. “මට ඔයාගෙන් ඈතට යන්න බෑ තාත්තී…”

“දෝණි යනවා යන්න මෙතනින්… තමුන්ට ඕන දේ ලැබුණනෙ… දෙයියන්ගෙ නාමෙට මටයි මගෙ ගෑනිටයි පාඩුවෙ ඉන්න දීලා ඔයා ඔයාගෙ සැනසීම හොයන් යන්….” මට එතනින් එහාට කතා කරන්න හම්බුනේ නෑ පහන්දි මගෙ අත තද කලා. මං එයා දිහා බැලුවම එයා මගෙ දිහා බලාගෙන ඔලුව දෙපැත්තට වැනුවා.

“එ..යා…ට… බ..නි..න්…නෙ..පා…. ම..හ..ත්..ත..යෝ…. එ..යා… ප…ව්….” පහන්දි ඇස් වල කඳුලු පුරවන් හෙමින් කියද්දි මට එයා ගැන ඇතිවුණේ පුදුමයක්.

“ඔයා මේ මොනාද කියන්නෙ මැනික… මෙයා නිසයි මේ ඔක්කොම ඇතිවුණේ… ඔයාට මෙහෙම උනෙත්… අනික…”

“නෑ… ම..හ..ත්..ත..යෝ….” මගෙ කතාව ආයෙත් නවත්තපු එයා කිව්වා. “එ..යා… නැ..ත්..ත..ම්… මං… අ..ද… මෙ..ත..න… නෑ…..”

“මොකක්ද ඒකෙ තේරුම…?” මං පහන්දි දිහායි දෝණි දිහායි බලන ගමන් ඇහුවා.

“මං කියන්නම් තාත්තී…” එහෙම කියපු දෝණි, පහන්දිගෙ ඇඳේ අනිත් පැත්තට ගිහින් එයා දිහා බලන් හිටියා. “අක්කිව මහන්සි කාරන්න හොඳ නැති නිසා මං ඒක කියන්නම්…”

“හොඳයි කියන්න…” මං පහන්දිගෙ අතින් අල්ලගන්න ගමන් කිව්වා.

“පුතා…!!! අනේ මගෙ දෝණී….”

එකපාරටම දොරත් ඇරගෙන කාමරේට ආවෙ පහන්දිගෙ අම්මා. එයා හිටියෙ අඬ අඬා. ආපු ගමන් ඇඳේ අනිත් පැත්තට ගිය එයා පහන්දිගෙ අතකින් අල්ලගෙන අඬන්න ගත්තා. මං දැක්කා දෝණි ඒ දිහා බලාගෙන ඉඳලා දුකෙන් වගේ මගෙ දිහා බලනවා. එයා හෙමින් හෙමින් කාමරේ දොර ලඟට ගිහින් අතුරුදහන් උනේ මගෙ දිහාත් එකපාරක් හැරිලා බලලා.
*******************************************************************

“තා..ත්..තී…..!!!”

එකපාරම මාව ගැස්සුණේ සඳසාවිගෙ හඬින්. මගෙ ලඟට දුවගෙන ආපු එයා මාව හයියෙන් බදාගත්තා පැනපු ගමන්.

“ඕහ්… මයි ලිට්ල් ප්‍රින්සස්…. උම්ම්ම්මා….” එයාව තුරුලට ගත්තු මං ඒ රෝසපාට කම්මුලක් ඉඹගත්තා.

“ඔන්න ඉතින් ඒ පාර ගමන පැත්තකින් තියලා පටන් ගත්තා තාත්තිගෙයි දෝණිගෙයි හුරතලේ… අම්මපා මේ දෙන්නා නම්….” එතෙන්ට ආපු පහන්දි අපි දෙන්නා දිහා බලලා හිනාවෙවී කියද්දි අපි කලේ හයියෙන් හිනාවෙන එක.

“අම්මිට ජෙලස් නේද තාත්තී….? අපිට බනින එකමයි වැඩේ….” කටත් උල් කරගෙන සඳසාවි කියද්දි මට වගේම පහන්දිටත් ඇතිවුණේ ලොකු ආදරයක් මේ චූටි එකී ගැන.

“ඔව් ඔව් අම්මිට ජෙලස් තමයි දෝණි තාත්ති ලඟටම වෙලා ඉද්දි… අම්මිට එන්න දෙන්නෙත් නෑනෙ අම්මිගෙ තාත්ති ලඟට….” පහන්දිත් අපි ලඟට ඇවිත් වාඩිවෙන ගමන් කිව්වෙ සඳසාවිව කුචිකවන ගමන්.

“හි..හි..හී…. ඒම තමයි තාත්ති මගේ විතරයි…”

“එතකොට අම්මි කාගෙද….?”

“අම්මිත් දෝණිගෙ…” එහෙම කියලා දෝණි අපි දෙන්නවම බදාගත්තා. අපි දෙන්නම එයාගෙ කම්මුල් වලට කිස් කරද්දිම එයා අහකට උනේ මගෙයි පහන්දිගෙයි ලිප්ස් එකට වදිනකොට.

“හි..හි.. නෝටි ගර්ල්….” පහන්දි එයාගෙ කම්මුලක් හෙමීට මිරිකුවා.
********************************************************************

මාසයක් විතර ගෙවුනෙ ගොඩක් දේවල් වෙද්දි. සඳසාවිගෙ පලිගැනීමට ගොදුරු වෙච්ච හැමෝගෙම මිනිමැරුම් වලට සංදීප් පොලිසියට බාර වෙලා තිබුණා. ඒත් සඳුන්ගෙ මරණෙට සංදීප් වැරදිකාරයා වෙන එකෙන් බේරුණේ පිස්තෝලෙ අයිතිකාරයා වගේම සඳුන්ව ඇත්තටම මැරුවෙත් අතුල කියලා ඔප්පු උනු නිසා. අතුලව අපරාධකාරයෙක් හැටියට හංවඩු ගැහුනෙ එයාගෙ රහස් පරීක්ශක ජීවිතේ එච්චර කාලයක් රැකගත්තු නම විනාස කරගනිමින්. ඒ උනත් කිසිම සාක්ෂියක් නැති නිසා සංදීප්ව ඔක්කොම වැරදි වලින් නිදහස් කරගන්න අපිට පුලුවන් උනා. ඒකට උදව් උනේ මගෙ කලින් බොස් වෙලා හිටපු මිස්ටර් විජේමාන්න එයාගෙ යාලුවෙක් වෙන ලංකාවෙ හොඳම ලෝයර් කෙනෙක්ව අපිට අඳුන්වලා දුන්නු නිසා. පහන්දිටත් හොඳටම හොඳ උනු නිසා ගෙවල් වල හැමෝම කතා උනේ අපි දෙන්නගෙ වෙඩින් එක ඉක්මණටම ගමු කියලයි.

“අහස් අයියෙ…” දවසක් සංදීප් මාව හම්බෙන්න ආවා.

“ඔව් මල්ලි කියපන්… මොකක්ද අවුල..?”

“මට ලංකාවෙන් යන්න ඕනෙ බං… වෙච්ච දේවල් එක්ක මට මෙහෙ ඉන්න හිතක් නෑ… අනේ උඹට පුලුවන් නම් මට උදව් කරපන්… ඉන්දියාවට හරි කමක් නෑ බං මට මෙහෙන් යන්නයි ඕනෙ…” මගෙ අතක් අල්ලගෙන කොල්ලා කියද්දි මට ඌ ගැන දුක හිතුණා. මොනා උනත් මේ කොල්ලා නැත්තම් මං ඉන්නෙ මෙලහකටත් හිරේ.

“මල්ලි උඹ තව මාස හතරක් ඉවසපන්… මගෙයි පහන්දිගෙයි වෙඩින් එකෙන් පස්සෙ අපි මෙහෙන් යනවා… එතකොට මං උඹට සෙට් කරන්නම් එකක්… පුලුවන් නම් පාස්පෝට් එක හදාගනින් ඉක්මණටම… මං ඉතුරු ටික බලාගන්නම්…”

“ගොඩක් ස්තූතියි බං අහස් අයියෙ… ගොඩක් පින් උඹ මට ඒ උදව්ව කලොත්….” සංදීප් එදා මට නොසෑහෙන්න උත්සාහ කරලයි ගියේ.

මාස තුනක් යද්දි මගෙයි පහන්දිගෙයි වෙඩින් එකත් ලස්සනටම සිද්ධ උනේ හැමෝගෙම ආශිර්වාදය මැද්දෙ. කාලයක් තිස්සෙ අපි මවපු එක හීනයක් හැබෑ වෙද්දි දැනෙන සතුට වචන වලින් කියලා විස්තර කරන්න බැරි තරම්. පටන්ගත්තු වෙලාවෙ ඉඳන්ම ඉවර වෙනකල්ම මගෙ ඇස් දෙක තිබ්බෙ මගෙ පුංචි මනමාලි ලඟ. ඒ ඇස් දෙකත් තිබුණෙ මං ලඟ.

“මහත්තයෝ….”

“ඇයි මැණික…?”

හනිමූන් එකට මහනුවර ලස්සන වටපිටාවක තිබුණු විසාල ප්‍රමාණයෙ හොටෙල් එකක පුංචි කොටේජ් එකක් අපි වෙනුවෙන් වෙන් කරලා තිබ්බා. ඒක ඉස්සරහා තිබුණු පුංචි බංකුවක වාඩිවෙලා හිටපු මගෙ උරහිසට ඔලුව තියාගත්තු එයා මුලපුරන්නෙ ලොකු කතාවකට කියලා මට තේරුණා.

“එදා සඳසාවි හිටියෙ නැත්තම් අද මම මෙතන මේ විදිහට ඔයාගෙ තුරුලට වෙලා ඉඳින්නෙ නැති වෙන්න තිබ්බා මහත්තයෝ…” එයා ලොකු හුස්මක් අරන් එහෙම කියද්දි මං එයා දිහා බැලුවා.

“එදත් ඕක මට ඔයාලා කිව්වෙ නෑනෙ… අනික එදායින් පස්සෙ මං එයාව දැක්කෙම නෑ… අඩුම තරමෙ හීනෙන්වත් දැක්කෙ නෑ….”

“අහන්නකො ඉතින්… එදා මාව බේරගන්න අමාරු වෙලා තිබුණා ඩොක්ටර්ස්ලට… ඔයා ඒක දන්නවනෙ.. මං දැනන් හිටියෙ නෑ එදා ඔයාව බේරගන්න පනිද්දි උණ්ඩෙ මගෙ පපුවට වදියි කියලා… ඒත් ඒක එහෙම උනා… මට එදා මරණ බයක් දැනුනෙ නෑ මහත්තයෝ… ඒත් මට ඔයාව මේ ලෝකෙ දාලා යන්න ලෝබ හිතුනා… අනේ මේ අත් දෙකට අරන් හදපු ජීවිතේ ආයෙම මං ගියොත් නාස්ති වෙයි නේද කියන බය මගෙ හිතට දැනුනා.. මගෙ පුංචි එකාව මේ ලෝකෙ තනියම දාලා යන්න මට බෑ කියලා හිතුනා…” එහෙම කියලා එයා මාව බදාගත්තා. මට එය ගැන ඇතිවුණේ ලොකු ආදරයක්. “ඒ උනත් මට තේරුණා මේ ලෝකෙන් මං යන්න හදන්නෙ කියලා… මගෙ මුලු ලෝකෙම ලොකු අන්ධකාරෙකින් වැහිලා යද්දි මං දැක්කා කවුරුහරි කෙනෙක් මගෙ ලඟට එනවා වගේ… මාව වටකරන් හිටියෙ ඩොක්ටර්ස්ලා නිසා මං හිතුවෙ පේන්නෙ ඒ කෙනෙක් කියලා… ඒත් ඊටපස්සෙ මං දැක්කා එයාගෙ මූණ… ඒ දෝණි තමයි මහත්තයෝ… මං හිතන්නෙ එයා මගෙ ඇඟට ඇතුල් උනා එදා… මොකද මට ලොකු ශක්තියක් දැනුණා එවෙලෙ… ඊටපස්සෙ මට ඇහුණා එයා කියනවා ඔයාව දාලා යන්නෙපා කියලා එයා ඔයාව දාලා ගියා වගේ… එතකොටයි අන්ධකාර උනු මගෙ ලෝකෙ එකපාරම එලිය උනේ… ඒ කියන්නෙ මං බේරුණේ එතකොට… එයයි මගෙ ජීවිතේ බේරුවෙ… මං දන්නෙ නෑ ඇයි කියලා එච්චරම මට වෛර කරපු එයා ඇයි මාව බේරුවෙ කියලා… ඒත් මං එයාට ණයගැතියි මහත්තයො….”

“නෑ මමයි ඔයාලට ණයගැති…”

පහන්දිගෙ කතාව ඉවර වෙනවත් එක්කම වගේ ඇහුණු කටහඬින් මාත් එයත් දෙන්නම ගැස්සිලා වටපිට බැලුවා. එතකොටම අපේ ඉස්සරහට ආවෙ සඳසාවි. එයා අපි දෙන්නා දිහා බලාගෙන අහිංසක විදිහට හිනාවුණා.

“දෝණි…???” පහන්දියි මායි දෙන්නම එකට කිව්වා.

“ඔව් තාත්තී… අක්කී…. මං ඔයාලට ණයගැතියි… ලෝකයක් ඉස්සරහා හොඳ මූණක් මවාගෙන ඉඳලා මං වෙනුවෙන් මාව මේ ලෝකෙන් යවපු ඒ ජරා මිනිස්සුන්ගෙන් පලි ගත්තු අන්තිම මොහොත වෙනකල්ම මාත් එක්කම හිටපු, මං නිසා මැරෙන්න ගිය ඔයාට මං ණයගැතියි තාත්තී… කොටින්ම ඔයා තමයි මට ජීවිතේ කියලා දුන්නේ… මාව මලක් වගේ බලාගත්තෙ ආරක්ශා කලේ… අම්මා තාත්තා නොහිටපු මට ඒ දෙන්නගෙ අඩුවක් දැනෙන්න නොදී මට හුඟාක් ආදරේ දීලා මාව බලාගත්තෙ… හරි ආදරේ මොකක්ද කියලා මට කියලා දුන්නෙ ඔයා තාත්ති… මං ඔයාට හුඟක් ණයගැතියි ඒ නිසා… මං මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු කෙනා ඔයයි තාත්තී… ඒත් ඒ ආදරේ මං ආයෙ එන ආත්මෙක පතන්නෙ නෑ ඔයාගෙන්… ඒ ආදරේ අයිති මේ ඔයා ලඟ ඉන්න දේවතාවිට… ඔව් අක්කී මගෙ හුස්ම ටික බේරගත්තෙ ඔයයි… එදා තාත්ති වෙනුවෙන් ඒ උණ්ඩෙට මූණදීලා ඔයාගෙ ජීවිතේ පවා අනතුරේ දාගත්තු ඔයාව දැකලා මට තේරුණා ඔයා තරම් ආදරේ කරන කෙනෙක් එයාට ආයෙත් හම්බෙන්නෙ නෑ කියලා… ඒ නිසයි මං ඔයාව එදා බේරගත්තෙ… මං මගෙ ආත්මාර්ථකාමී සිතුවිලි අයින් කලා… මට දැන් පලිගැනීමක් අවශ්‍ය නෑ… ඒ වගේම ඔයාලට ආයෙමත් බාධාවක් වෙන්නෙත් නෑ… ඒත් මං ආයෙමත් ඔයාලට වද දෙන්න එන්නම් ඔයාලගෙම දරුවෙක් වෙලා හරි…” එහෙම කියලා එයා අපි එක්ක හිනාවුණා.

ඒ කතාවෙන් අපි දෙන්නගෙම ඇස් තෙත් උනා කිව්වොත් හරි. මොනවා උනත් මේ ඉන්නෙ කාලෙකට කලින් ඒ හිටපු අහිංසක කෙල්ල කියලා මං දැනන් හිටියා. මොකද වෙනදා වගේ එයාගෙ ඇස් වල හිස් බවක් තිබුණෙ නෑ. ඒ ඇස් වල තිබුණෙ කියාගන්න බැරි අමුතුම හැඟීමක්.

“නංගී….”

“දෝණී…”

“ඔයාට හුඟක් පින් අක්කි…. දැන් එයාව අයිති ඔයාට විතරයි… ආයෙම කාටවත්ම එයාව දෙන්නෙපා… ඔයාගෙ නපුරු අහිංසකයව ආදරෙන් බලාගන්න…. ඒ වගේම තාත්තී….” එහෙම කියලා එයා මගෙ දිහා බැලුවා. “මාව දාලා ගියා වගේ නපුරු වෙලා එයාව දාලා යන්නෙපා… නපුරුකම් පෙන්නන්න පිට අයට… තමන්ගෙ අයට ඒක පෙන්නන්න එපා කවදාවත්ම… අක්කිව ගොඩාක් ආදරෙන් පරිස්සමින් බලාගන්න… මං ගිහින් එන්නම්… දෙන්නටම බුදු සරණයි….”

“දෝණී….!!!”

මං කෑගහද්දිම එයා අන්ධකාරෙට මුසුවෙලා අතුරුදහන් උනා. පහන්දි මට තුරුල් වෙලා අඬද්දි මාත් එයාව තුරුල් කරන් ඇඬුවෙ හිතට දැනුනු දුක හින්දමයි. දෝණී…. අපේ ජීවිත වලින් ඔයා යන්න ගියත්, ඔයාගෙ මතකය අපි ලඟ හැමදාම ඉතුරුවෙලා තියේවි.
**********************************************************************

දළදා මාලිගාවෙ පැය තුනකට වඩා ගත කරපු අපි එතනින් එලියට ආවෙ හිතේ ලොකු සැනසීමකින්. මගෙයි පහන්දිගෙයි මැද්දට වෙලා අපි දෙන්නගෙම අත් අල්ලන් ඉස්සරහට ගිය සඳසාවි එකපාරටම අපි දෙන්නගෙම අත් අතෑරලා දුවගෙන ගියේ කෑගහගෙනමයි.

“ආනේ… සබන් බෝල…. තාත්තී දෝණිට සබන් බෝල ඕනෙ…” සබන් බෝල යවන පුංචි බෝතල් විකුණන මනුස්සයෙක් ගාව නතර වෙලා දෝණි කෑගහන්න ගත්තා. ගොඩක් මිනිස්සු එයා දිහා හැරිලා බලද්දි මං ඉක්මණට එයා ලඟට ගිහින් එයාව වඩාගත්තා.

“කීයක් ඕනෙද මගෙ දෝණියට….”

“ම්ම්ම්ම්…. දෙකයි… තුනයි…. මෙච්චලක් ඕනෙ…” අතේ ඇඟිලි හතරක් පෙන්නලා කටත් උල් කරගෙන එයා කියද්දි ඒ සුදු මූණ ඉඹගත්තු මං එයා ඉල්ලපු බෝතල් ගාණම එයාට අරන් දුන්නා.

“තාත්ති දෝණිව අතෙන්ට අරන් යන්නකෝ….” වළාකුළු බැම්ම පෙන්නලා එයා කියද්දි මගෙ හිත ඇතුලෙ විදුලියක් කෙටුවා වගේ හැඟීමක් ඇති උනේ ඇයිද කියන්න මට හිතාගන්න බැරි උනා.

වළාකුළු බැම්ම අයිනට වෙලා සබන් බෝල යව යව සතුටින් කෑගගහා හිනාවෙන සඳසාවිව දැක්කම මගෙ හිත අතීතෙට ඇදිලා ගියේ මටත් නොදැනිම.

“දවසක ඔයාගෙ අතින් අල්ලන් ගිහින් දළදාවහන්සේ වැඳලා වළාකුලු බැම්ම ලඟට වෙලා කියව කියව ඉන්න ගමන් මට සබන් බෝල අරින්න ඕනෙ… අනේ මං හරි ආසයි ඒ වැඩේට… හැබැයි ඔන්න දැන්මම එපා හරිද…? මට එදාටමයි ඒක කරන්න ඕනෙ… ආ… තව මාලුන්ට පොරි විසි කරන්නත් ඕනෙ තාත්තියෝ… මාව එක්කන් යන්න හරිද….”

“තාත්තී….!” ආයෙමත් මගෙ ලඟට දුවගෙන ආපු දෝණි මගෙ කකුලෙ එල්ලුනා.

“ඇයි මගෙ හා පැංචියෝ….?”

“දෝණිට පොලි ඕනෙ… මාලුවොන්ට කන්න දෙන්න ඕනෙ… අනේ අලන් දෙන්නකෝ….”

එයා එහෙම ඉල්ලද්දි මට බැලුනෙ පහන්දි දිහා. කතා කරන්න පුලුවන් වෙච්ච දවසෙ ඉඳන් එයාගෙන් අපිට අහන්න දකින්න ලැබුණු හුඟක් දේවල් අයිති උනේ සඳසාවිට කියලා පහන්දියි මමයි දැනන් හිටියා. ඒත් මේ තරම්ම දේවල් අපි බලාපොරොත්තු උනේ නෑ. “ඒත් මං ආයෙමත් ඔයාලට වද දෙන්න එන්නම් ඔයාලගෙම දරුවෙක් වෙලා හරි…” එදා එයාගෙ වචන මගෙ හිත ඇතුලෙ දෝංකාර දෙන්න ගත්තා. ඔව් මේ එයාම තමයි. ආයෙමත් අපි අතරෙම ඉපදිලා මේ තරම් හුරතල් වෙන්නෙ, ආදරේ ඉල්ලන්නෙ මට මෙච්චරම ලැදිත් ඒ නිසාම වෙන්නැති.

“තාත්තී….”

*************************************************************************

“බීපන් මචෝ හොඳට… ආයෙ මේවා ගමේ බඩු ඈ…”

“මට නම් දැනටම බඩු වගේ මචෝ…. හික්… හම්මේ සැප ආ….”

“මේ ටිකක් ඉඳහං මං චූ පාරක් දාලා එන්නම් ඈ…”

අනෙකාට පැවසූ තරුණයා එතැනින් නැගිට ගරා වැටුණු නිවසේ විශාල සාලය පසු කරගෙන වෙරි මත නිසා දෙපසට වැනෙමින් එහි වූ කාමරයක් තුලට රිංගා ගත්තේය. අඳුරේම තම කලිසම පහත් කල ඔහු බිත්තිය මුල්ලට වී මුත්‍රා කරන්නට විය.

“මොකෑ කොළුවො ඔය කරන්නෙ ගෙයි මුල්ලෙ…?”

කිසිවෙකුගේ පිටිපසින් ඇසුණු හඬින් කෝපගත් තරුණයා කෑගසන්නට විය.

“උඹට වැඩක් නෑනෙ යකෝ මං කොහේ මොනවා කලත්… ඇයි මේවා තොපේ තැන්ද….??”

“මේක මගේ තැන තමයි බොලව්… පලයන් යන්න දැන්ම එලියට….”

“කවුද යකෝ මට පාට් එක දාන්නෙ…?” මුත්‍රා කරමින්ම අනෙක් පස හැරුණු තරුණයා මර හඬ දී එතැනම ඇද වැටුණේය.

එක්වරම ඇසුණු කෑගැසීම නිසා තම සගයා වෙරිමතින් ගොස් කුමන හෝ අකරතැබ්බයකට මුහුණ පාන්නට ඇතැයි සැක කෙරූ අනෙකාද නැගිට ඔහුව සොයන්නට අඳුර මැදින් පිටත් වූයේ ජංගම දුරකථනයේ තිබූ ටෝච් එකද දල්වාගෙනය. විසල් අඳුරු සාලය මැදින් ගමන් කල ඔහුගේ හිසෙහි යමක් වැදුණි. ඔහු ඒ කුමක්දැයි බැලීම සඳහා එයට ආලෝකය දිගු කලේය.

“බුදු අම්මෝ…..!!!”

වහලයේ සිට එල්ලෙමින් තිබුණේ ඔහුගේ මිතුරාගේ මුහුණ විකෘති වූ මළකඳය. භීතියට පත් වූ ඔහු නැවත දිවීමට අනෙක් පස හැරුණා පමණි.

“කොහෙද බොල දුවන්නෙ මේ මහ රෑ….???”

ඔහුගේ දෙනෙත් ඉදිරියේ සිටියේ කොන්ද කුදුවූ මැහැල්ලකි. ඔහු බලා සිටියදීම ඇගේ කෙස් වැටිය කඩා හැලී මුහුණේ තිබූ මස් දියවී හැලී යමින් තිබුණේ මුහුණේ වූ භයානක පෙනුම වැඩි කරමිනි. විලිස්සාගත් දත් නැති ලොඹු කටෙහි වූයේ උල් වූ දත් කිහිපයකි. ඇස් ගෙඩි දෙක තද රත්පැහැ ගැන්වී එලියට පැනලාය. තරුණයාගේ මුව ගොලුවී තිබුණි. ඔහුගේ මුලු ශරීරයම පණ නැති වී ගොසිනි.

“මෙහෙට වරෙන් මගෙ ලඟට….”

ඇගේ ඕජස් ගලමින් කුණුවී තිබූ දෑත් ඔහු දෙසට දිගු කරමින් ඔහුගේ ගෙලින් අල්ලාගත් ඈ වියරුවෙන් සිනාසෙන්නට විය.

“අම්මෝ……….!!!!”

“හඃ හඃ හඃ හා…. හා….හ්… හඃ හඃ හඃ හා හා……!!!!!”

************************************************************************

? ??? සමාප්තයි ??? ?
පසුවදන රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.