Katha Ahura

අඳුන් සිහින | අටවෙනි පරිච්ඡේදය | නවකතාව |

4.3/5 - (3 votes)

”දුව…..දුව….”මව, රිදීමා සෙලවූවාය.

”ම්….”

”මොකද උණේ ?”

”ඇයි ?” රිදීමා විමසුවාය. තේ බන්දේසියද රැගෙන දිනූෂ සාලයට ආවේය. ”එයාට පොඩි හිසේ කැක්කුමක් එනවා අම්මා… රිදීමා !” දිනූෂගේ අත්ලෙන් රිදීමාගේ නළල් තලයට සුවයක් දැනුණේය.

”මම පැනඩෝල් දෙකක් ගේන්නද ?”

”එපා ආන්ටි ! ඕන නැහැ…”

රිදීමා තවමත් හිසෙහි මැවීමට තැත් දරනා දර්ශණ මකා දැමීමට වෙර දරමින් පැවසුවාය. ඇයට මහන්සි නොවන ලෙස සන් කළ මව, ගෙතුලට නික්මුණාය. සීනි, කහට හා කිරි දමා මනාව සෑදූ තේ කෝපපයක් දිනූෂ, රිදීමාට දිගු කළේය. ”බොන්න….”

නිවස ඉදිරිපස වාහනයක් නතර කරනුද, මව දොර අරින හඬද, කට හඬවල් කිහිපයක්ද, අඩි හඬද ඇසුණේය. සාලයට ඇතුලු වූයේ අජයත්, මහීකාත්ය.

මේ දෙන්නා අපට නොකියම බරටම වැඩ….” දිනූෂ බන්දේසියෙන් හිස ඔසවමින් පැවසුවේය.

”අනික් දෙන්නා අපිට කිය කිය හැමදේම කරන්නේ නේද?” අජයද පෙරලා ඇසීය. මහීකාගේ මුහුණෙහි වූයේ, වරදක් කළ අයකුගේ ලක්‍ෂණය.

”මට මෙයාව ෂොපින් සෙන්ටර් එ කේදි මුණ ගැසුණේ” දිනූෂ පැවසීය. ”මම ටිකකට ගෙදර එක්කන් ආවා….” ඔහුට කතාව නිම කිරීමට ඉඩක් නොලැබුණි.

”ඒවා හොඳ වැඩ….” අජය සිනාසුණේය. ” දැන් ඉතින් අම්මත් මුණ ගැහුණනේ….”

”අපි ආවා දිනූෂව බලන්න…” මහීකා, රිදීමා ළඟින් හිඳගනිමින් කීවාය. ”මොනවද මේ හොරෙන් හොරෙන් කරන වැඩ ?” ඇය පහත් හඬින් රිදීමාගෙන් විමසුවාය.

”දිනූෂ මට ලිෆ්ට් එකක් දෙනවා කිව්වා ගෙදරට… අනික් අය වගේ හොර වැඩ නැහැ අපි ළඟ”

මව සාලයට ආවේ පැනඩෝල් පෙති දෙකක් රැගෙනය. මහීකා දුටු ඇගේ ඇහි බැමක් උඩ ගියේය. මහීකාගේ කෙටි ඇඳුම දුටු රිදීමාට ද කට කොනකට සිනහවක් පහළ වූයේය.

”අද නම් අමුත්තෝ ගොඩයි….” මව පැවසුවාය.

”අම්මා….. මේ අජයගේ හොඳම යාලුවෙක්!” දිනූෂ පැවසුවේ අජයට ඇසින් ඉඟියක් කරමිනි. මහීකා බාගෙට රතුවූවාය. මවගේ මුහුණින් එතරම් ප‍්‍රසාදයක් පල නොවුණේය. ඇය, මහීකාගේ ගම් පළාත ගැන තොරතුරු විමසුවාය. දකුණු පළාතේ නගරයකින් පැමිණි ඇගේ විස්තර ඇසූ මවගේ මුහුණ තවත් වෙනස්වනු රිදීමා දුටුවාය.

”ආන්ටි ! මෙයාගේ අම්මත් තාත්තත් ලංකාවේ ෆේමස් ලෝයර්ස්ලා….” බලා සිටින්නට බැරිම තැන ඇය පැවසුවාය. ඔවුන්ගේ නම් ඇසූ මවගේ දෙනෙත් විවරනනු පෙනුණේය.

”හැබෑද ? කොච්චර හොඳද ?” මවගේ මුහුණ සිනාවෙන් විකසිත වුණේ තමාගේ පුත‍්‍රයාට ගැලපෙන යහලුවන් ලැබීමෙන් සැනසුනාක් වැනිවය.

”මේ දුවල නම් අපේ ගම කිට්ටුවමයි….” මව මහීකාට කුලුපගව පැවසුවාය. ”මම හිතන්නේ බලාගෙන යනකොට දුරින් නෑ කමකුත් තියනවා….” මව මඳක් කල්පනා කළාය. ”ඔහොම ඉන්න….. ඔය ගම ගැන කියනකොට මට කල්පනා උණා පොඞ්ඩක් ඉන්න….”

”අපි කොහේවත් යන්නේ නෑ ආන්ටි…..” අජය පැවසුවේය. දිනූෂ ඔහු නිහඬ කළේ, මවගේ මුහුණේ මතුවූ බැරෑරුම් පෙනුම නිසාය.

”මොක්කද මචං ?”අජය පහත් හඬින් ප‍්‍රශ්න කළේය. තමා කිසිත් නොදත් බව, දිනූෂ හිස සෙලවීමෙන් පෙන්වූයේය.

”ඔය ගමේ ඉස්කෝලේ පි‍්‍රන්සිපල් අපට දුරින් නෑයෝ වෙනවා. මට ටිකක් මතකයි. එයාලගේ පවුලට මොකක්දෝ ලොකු අකරතැබ්බයක් උණා.” මව තම දෑස මොහොතකට වසා ගත්තාය.

”හරි …… මට මතකයි…. එයාගේ දුවෙක් වතුරට ගහගෙන ගිහින් මළා නේද ?”

රිදීමා අතවූ හිස් තේ කෝපපය, හඬ නංවමින් බිම වැටුණේය. මහිකා ඉදිරියට නැවී, වැටෙන්නට යන රිදීමා වත්තන් කරගත්තාය.
-කතුවරී-
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.