Katha Ahura

දෝණී | 17 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#17 කොටස

සති දෙකක් විතර කිසිම කලබලයක්. කරදරයක් නැතුව ගෙවිලා ගියේ අපේ පවුලට ආයෙමත් සැරයක් ඉස්සර තිබුණා වගේම සතුට, සැහැල්ලුව ලබා දෙන ගමන්. නංගිත් හොස්පිටල් ඉඳන් ඇවිත් සුපුරුදු විදිහටම එයාගෙ දඟකාරකම් එක්ක කාලෙ ගත කලත් එයා හිටියෙ බයකින් කියලා මට තේරුණා. එයා විතරක් නෙමෙයි අපි හැමෝගෙම හිත් වල බය තිබුණා. ඒ හැමදේටමත් වඩා මගෙ හිත ඇතුලෙ මොකක්දෝ කැකෑරෙන වෛරයක් තිබුණා. ඒත් ඒක එලියට ආවෙවත්, මට ඒක එලියට ගන්න උවමනාවක්වත් තිබුණෙ නෑ. මං පුලුවන් තරම් ගෙදර අය එක්ක සැහැල්ලුවෙන් කාලෙ ගත කලා. පහන්දි ලංකාවට එන්න ලෑස්තියි කියලා එයා කිව්වත් මං ඒකට ටිකක් අකමැති උනේ මේ ප්‍රශ්න තාමත් ඉවර නෑ කියලා මගෙ හිත දන්න නිසා.

“අනේ අහස් අපි දෙන්නා දැන් ආදරේ කරන්නත් අරන් අවුරුදු තුනකටත් කිට්ටයි… ගෙවල් වලිනුත් කැමති එකේ මං මේ සැරේ ආවම අපේ එන්ගේජ්මන්ට් එක ගමුකො… ප්ලීස්… ප්ලීස්….” දවසක් හවසක එයා කෝල් කරලා මට කන්කෙඳිරි ගාන්න ගත්තා. එයා කියන කතාවත් ඇත්ත උනත් ඒකෙන් පස්සෙ හරි ඒකට කලින් හරි මොනාමහරි නරක දෙයක් වෙන්න පුලුවන් කියල මං දැනන් හිටිය නිසා මං ටිකක් අදිමදි කලා.

“ඉතින් මැට්ටියෙ මොකෝ ඔච්චරම හදිස්සි මාව හිරේට දාගන්න ආ…? තව ටිකක් මෙහෙම ඉමු ඉතින්…”

“අනේ මේ ඔයාට ඕන නම් ඉන්න එකයි ඇත්තෙ… මට නම් තවත් ඉන්න බෑ…”

“ආ…. එතකොට කවුද දන්නෑ පහුගිය කාලෙ මං බඳිමු කියද්දිත් කිව්වෙ තව වර්ක් කරන්න ආසයි, ෆ්ලයි කරන්න ආසයි ඒ නිසා තව අවුරුද්දකින් කල් දාමු අරකයි මේකයි කියලා…”

“හරි බූරු තඩියො ඒ කිව්වෙ ඉස්සරනෙ… ඒවා අයිති අතීතෙට.. මේ වර්තමානෙ.. හෙට අනාගතේ… ඉතින් අපි අනාගතේ ගැන හිතලා වර්තමානෙ බඳිමු ඉක්මණටම… අනික ඉතින් මං කිව්වෙ නෑනෙ අපේ මැරේජ් එක කරමුයි කියලා.. මං කියන්නෙ අපේ එන්ගේජ්මන්ට් එක ගමු.. ඊටපස්සෙ මගෙ මේ ෆයිනල් ඉයර් එකත් ඉවර කරලා මං ආවම වෙඩින් එක ගමු.. කතාව ඉවරයි ඈවරයි දෑවරයි තුන්හතරම ඈවරයි ඒක තමා අන්තිම ලාස්ට් ෆයිනල් ඩිසිෂන් එක…” පහන්දි කියාගෙන ගිය විදිහට මට හිනාව නවත්තගන්න බැරි උනා.

“හරි හරි එහෙනම් අම්මලාට කියමුකො අපි ලෑස්තියි කියලා…” මං හිනාව අස්සෙන්ම කිව්වෙ එයාගෙ හිත රිදවන්න අකමැති නිසා.

“ඕ..යේ….!!! ෆයිනලී….” එයා සතුටින් කෑගැහුවා. ඊටපස්සෙ ෆෝන් එකෙන් කිස් ගොඩාක් දීපු එයා තවත් හුඟක් දේවල් මගෙත් එක්ක කතා කරලා කෝල් එක කට් කලේ හරිම සතුටකින්. හීන ගොඩක් මවාගෙන මාත් එක්ක ජීවත් වෙන්න පෙරුම් පුරන ඒ අහිංසක හිත පාරන එක පවු පිරෙන වැඩක් උනත් මං ලොකු කල්පනාවකට වැටුණෙ සඳසාවි ආයෙමත් මගෙ පස්සෙන් ආවොත්, අපිට කරදර කලොත් මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරුව. ඒත් හැම අඳුරු වලාකුලකම ඇඳෙන රිදී රේඛාව වගේ මගෙ හිතටත් ආවෙ ෆාදර් ජෝන් ව. එතුමගෙන් මේ ගැන උපදෙස් වගේම අපිට ආරක්ශාවකුත් කරගන්න පුලුවන් නේද කියලා මට හිතුණා.
***********************************************************************

අයිවන් ෆාදර් නැතිවෙලා කියන මූසල ආරංචිය ගම පුරාම පැතිරිලා ගියේ මුලු ගමේම මිනිස්සු ගමේ පල්ලියට එකතු කරමින්. ආරංචිය ආපු ගමන්ම අපේ ගෙදර හැමෝම පුලුවන් තරම් ඉක්මණින් පල්ලියට ගියේ එතුමා අපේ පවුලට හුඟක් හිතවත් කෙනෙක් උනු නිසයි. යද්දි පල්ලිය වත්ත පුරාම වගේම පල්ලිය ඇතුලෙත් ෆාදර්ලගෙ ලැගුම් ගේ ඇතුලෙත් ලොකු සෙනගක් හිටියා. සමහර අය ඇස් වල කඳුලු පුරෝගෙන. තවත් මිනිස්සු අඬනවා. හිටපු සෙනග පීරගෙන ඉස්සරහට ගිය මායි තාත්තයි නැවතුනේ අයිවන් ෆාදර්ගෙ නිදන කාමරේ ලඟ. දැකපු දර්ශනෙන් මගෙ ඇඟ සීතල වෙලා වෙවුලලා ගියෙත් තාත්තා මගෙ අත තදින් අල්ලගත්තෙත් එකම වතාවෙ.

“මගෙ දෙ‍යියනේ…!” තාත්තගෙ කටින් පිටවුණා.

ඒ කාමරේ දොරට කෙලින්ම තිබ්බ බිත්තියෙ ඔලුවෙන් අතට හරවලා අත් දෙකත් දෙපැත්තට දාලා කකුල් දෙක ලං කරලා, බිත්තියට තියලා හරියටම කිව්වොත් කුරුසියේ ඇණ ගහලා වගේ හිටියෙ වෙන කවුරුත් නෙමෙයි ෆාදර් අයිවන්. ලොකු යකඩ උල් අත් දෙකටයි, කකුල් දෙකටයි බස්සලා තිබ්බෙ බිත්තිය පසාරු කරගෙන යන විදිහට. ඒකත් කුරුසිය අනිත් පැත්තට හරවලා වගේ. මුලු ඇඟම රතු පාට ලේ වලින් නෑවිලා ගිහින් තිබුණා. බලන්න බැරි තරම් විරූපි වෙලා තිබුණු මූණෙ තිබ්බෙ භීතියට පත් වෙලා වගේ පෙනුමක්. බලන ඕනම කෙනෙකුගෙ ඇඟ කිලිපොලා න ඒ දර්ශනය දිහා මට උනත් තවත් බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒත් මං ඇස් අහකට ගන්න හදද්දිම දැකපු දෙයින් මගෙ හිත තවත් ගැස්සිලා ගියා.

“He is only Mine… No one can keep him away from me…”

ෆාදර් අයිවන්ගෙ බොඩි එකට උඩින් බිත්තියෙ ලේ වලින් ලියලා තිබ්බෙ ඒ වචන ටික. ඒක දැක්කම මගෙ ඇඟ තවත් සීතල වෙලා ගියා. මේක අනිවාර්‍යෙන්ම සඳසාවිගෙ වැඩක් කියලා තේරෙන්න මට වැඩි කාලයක් ගියෙ නෑ. කලබල වෙච්ච මම එතනින් යන්න හැදුවත් තාත්තා මගෙ අතින් තද කරලා අල්ලගත්තා. එයා මගෙ මූණ දිහා බලන් හිටියෙ හුඟක් බයවෙලා.

“මේ දේ කලේ මොකෙක් උනත් උන්ට නම් හෙණ පිට හෙණ ගහන්න ඕනෙ දෙයියනේ…! දෙවියන්වහන්සේ මේ අපරාදෙ දිහා බලා මේ අපරාධය කරපු හැම එකෙක්ටම දඬුවම් කරන සේක්වා…!!!” එතන හිටපු වයසක ආච්චි කෙනෙක් කෑගැහුවා. ඒත් එක්කම මෙච්චර වෙලාම සද්ද නැතුව හිටපු හැම කෙනෙක්ම වගේ එතන කලබල කරන්න කෑගහන්න ගත්තා. එතෙන්ට ඇවිත් හිටපු සමහරු බිම දණගහගෙන යාඥා කරන්න ගත්තා. මං තාත්තවත් ඇදගෙන එතනින් එලියට එද්දි අම්මයි නංගියි අපි හිටපු දිහාවට එනවා දැකපු නිසා තාත්තා එයාලව නැවැත්තුවා.

“යන්නෙපා නදී ඒක බලන්න.. ඒක ඔයාලට බලන්න සුදුසු දර්ශනයක් නෙමෙයි.. චූටි දූවත් එක්කගෙන මෙහෙන් ඉන්න.. නැත්තම් ඒ දරුවත් බයවෙයි…” අම්මලාව එහාට එක්කගෙන යන ගමන් තාත්තා කිව්වා. නංගි ඇවිත් මගෙ අතේ එල්ලුනා.

“ඇයි සුදු අයියෙ තාත්ති එහෙම කියන්නෙ..? මොකක්ද ලොකු ෆාදර්ට වෙලා තියෙන්නෙ…?”

“සු..සුදු… ඒ..ක…” මට ගොත ගැහෙද්දි එයාට උත්තර දුන්නෙ තාත්තා.

“ෆාදර්ව කවුරුහරි පවුකාරයෙක් මරලා දාලා පුතේ… නිදි ඇඳේදිම මරලා දාලා.. මේක අහස පොලොව නුහුලන අපරාධයක්…”

“අනේ තාත්ති…” නංගි මගෙ අත බදාගෙන අඬන්න ගත්තා. ඒ කියපු දේ නිසා නංගි මෙහෙම අඬනවනම් අර වගේ දෙයක් දැක්කා නම්, ඒක කරලා තියෙන්නෙ කවුද කියලා තේරුණානම් එයා මීට වඩා බය වෙලා අඬනවා.

“අහස පොලොව විතරක් නෙමෙයි මොහාන් මල්ලී මේක කිසිම කෙනෙක් නුහුලන අපරාධයක්.. පේනවනෙ ඒ වෙලා තියෙන දේ… හරියට නිකන් අමනුස්සයෙක් කරපු දෙයක් වගේ… කුරුසෙ අනිත් පැත්ත ගහන්නෙ අමනුස්සයොම තමයි…” එතන හිටපු ගමේ මාමා කෙනෙක් කිව්වා. තාත්තා එයා දිහා ටිකක් තද බැල්මක් දැම්මෙ මෙතන නංගි වගේම තව පොඩි ළමයි හිටපු නිසා වෙන්නැති. ඒක තේරුණ ඒ මාමාීට වඩා දෙයක් කිව්වෙ නෑ.

“අනේ සුදු අයියෙ මට බයයි… මාව ගෙදර එක්කන් යන්නකෝ…” නංගි කන්කෙඳිරි ගාන්න ගත්තා. අම්මටයි තාත්තටයි එතන ඉන්න කියලා මං නංගිව එක්කන් පල්ලිය වත්තෙන් එලියට ඇවිත් එතන එහා පැත්තෙ තිබුණු කෑම කඩෙන් කූල් බීම එකක් අරන් දුන්නා. එයා හිටියෙ මොකක් හරි බයකින් කියලා මට තේරුණු නිසා මං ඒක එයාගෙන් ඇහුවා.

“මේකත් අරයගෙම වැඩක් වෙන්නැති කියලා හිතෙනවා අයියෙ… ඔය දන්නෙ නෑ මාව පඩිපෙලෙන් වැටුණු දවසෙ වෙච්ච දේ…”

“කියන්න පැටියො බයවෙන්නෙපා මං ඉන්නවනෙ ඔයා ලඟින්ම…” මං එයාගෙ ඔලුව අතගෑවා.

“එදා අම්මිට ඇහුණෙ නෑ කිව්වට මට ඇහුණා ඔයාගෙ ෆෝන් එක රින්ග් වෙනවා.. ඇත්තමයි මගෙ කන් දෙකට හොඳටම ඇහුණා ඒ සද්දෙ… මං උඩට දුවලා ගිහින් ඔයාගෙ රූම් එකට යද්දිත් ඒක ඇහුණා.. ඒත් මං ඇතුලට ගිහින් හෙව්වට ෆෝන් එක හම්බුණේ නෑ.. ඉතින් මං මගෙ ෆෝන් එකෙන් ඔයාගෙ එකට ආයෙම කෝල් එකක් ගත්තා.. ඒත් ඒක ඕෆ් කිව්ව නිසා මං හිතුවෙ බැටරි ලෝව් නිසා ඕෆ් වෙලාද දන්නෙ නෑ කියලා… මං රූම් එකෙන් එලියට යන්න හදද්දිම ආයෙමත් රින්ග් වෙන සද්දෙ ඇහුණා.. මං ආයෙ බලද්දිම සද්දෙ නැවතුණා… ෆෝන් එක ආයෙම හෙව්වත් හම්බුණේ නැති නිසා මොකක්ද මේ විකාරෙ කියලා හිතපු මං ෆෝන් එක නෑ කියලා අම්මිට කියලා පහලට බහින්න හදනකොටම…” ඒ කියලා නංගි කතාව නවත්තලා ලොකු හුස්මක් අරන් බීම උගුර්‍රක් බිව්වා.

“කියන්න සුදූ ඊටපස්සෙ…” මං එයාගෙ අතින් අල්ලගෙන කිව්වා.

“මට ඇහුණා කවුරුහරි මහ බය හිතෙන විදිහට හිනාවෙනවා… ඊටපස්සෙ ඇහුණෙ අද තමා උඹේ අවසානෙ කියලා.. මං බයවෙච්ච පාර හයියෙන් පඩිපෙල බැහැලා යන්න හැදුවෙ… ඒ..ඒ..ත්.. එ..ක්..ක..ම… අ..නේ… අයියේ…” නංගි මාව බදාගත්තා. කඩේ හිටපු මිනිස්සු අපි දිහා බැලුවෙ අමුතුවට කියලා තේරුණත් මං ඒක ගණන් නොගෙන නංගිගෙ ඔලුව අතගෑවා. “මාව හයියෙන් තල්ලු කලා කවුරුහරි පිටිපස්සෙන්.. බිමට වැටුණු මං වේදනාව අමතක කරලා ඔලුව උස්සලා බැලුවෙ පඩිපෙල උඩ දිහා… එ..ත..කො..ට… ම..ම.. දැ..ක්..කා… සඳූ මගෙ දි..හා භයානක විදිහට බාලාගෙන හිනාවුණා… මට මතක එච්චරයි අයියේ….”

මං නංගිව සනසලා එයාගෙ ඔලුව අතගෑවා. මොනා උනත් මේ කෙල්ල පොඩි දේටත් ගැස්සෙන එකේ ඒ වගේ දරුණු දෙයක් උනාම කොහොම දරාගන්නද කියලා මට හිතුණා. අනික සඳසාවි මගෙ පවුලෙ අයට කරදර හිරිහැර කරනවා වැඩියි. එයාට කිසිම කරදරයක් නොකරපු මගෙ අහිංසක පවුලෙන්ම එයා මෙහෙම පලිගන්න තරම් හේතුවක් මට හිතාගන්න බැරිවුණා. මේ වෙන දේවල් කවදා කොහෙන් ඉවරයක් වෙයිද කියලා දෙවියො තමයි දන්නෙ. නංගිත් එක්ක එතන තව ටික වෙලාවක් හිටපු මං එයාවත් ත්‍රී වීලර් එකක් දාගෙන ගෙදර ගියා.
***********************************************************************

එදා හවස් වෙනකල්ම පොලිසිය ෆාදර් අයිවන්ගෙ මිනීමැරුම ගැන පරීක්ශණ කලත් කිසිම සාක්ශියක් හොයාගන්න බැරිවෙලා තිබුනෙ මේ මිනීමැරුම තවත් එක අභිරහස් මරණයක් කරමින්. බිත්තියෙ ලියලා තිබුනු දේ උනත් හැමෝටම ලොකු ප්‍රෙහෙළිකාවක් වෙලා තිබුණා. ඒ උනත් අපේ පවුලෙ අය දැනන් හිටියා මේකට වගකියන්න ඕන කවුද කියලා. ඒ උනත් අපි කවුරුත් ඒ ගැන කාටවත්ම කියන්න ගියෙ නැත්තෙ ඒකෙන් අපිට වෙන්නෙ අනවශ්‍ය ප්‍රශ්නයක් නිසා. මොකද එදා අර යාගය උනත් කලේ ගොඩක්ම රහසිගතව. එදා මුලු රෑම අපේ ගෙදර කතා උනේ මේ මිනීමැරුම ගැන. තාත්තා නම් හොඳටම ශොක් වෙලා තිබුණා. නංගි නම් හිටියෙ අම්මගෙ අස්සෙමයි. ෆාදර් අයිවන් අපිට උදවු කරපු නිසා මෙහෙම දෙයක් එයාට උනේ කියලා අපි හැමෝගෙම හිත් වල තදින්ම වැදිලා තිබ්බෙ හරියට ලොකු වැරැද්දක් කරපු මිනිස්සුන්ගෙ හිත් වල ඇතිවෙන වරදකාරී හැඟීම් වගේ. මේ ප්‍රශ්නෙ නිසා කවදාවත්ම නැති තරම් අපේ පවුල අසරණ වෙලා තිබුණා. අපි සෑහෙන වෙලාවක් කතා කලේ මේක විසඳගන්නෙ කොහොමද කියන කාරණාව ගැන.

එදා රෑ අපි කට්ටියම නින්දට යද්දි පාන්දර දෙකත් පහුවෙලා. මං කල්පනා කර කර ඉන්න ගමන් නින්ද ගියේ නොදැනීම වගේ. ඒත් මට වැඩි වෙලාවක් එහෙම නිදාගන්න ලැබුණෙ නෑ. මගෙ රූම් එකේ ජනේලෙකට එක දිගටම මොකක් හරි වදින සද්දෙ ඇහිලා මං ඇහැරුණා. ටේබල් ලෑම්ප් එක දාපු මං හිතින් බැන බැන ජනේලෙ ලඟට ගියේ මොකක්ද හේතුව කියලා බලන්න. ජනෙල් හොඳට ඇතුලෙනුත් ලොක් දාලා තිබ්බෙ. කිසිම අවුලක් නැති නිසා මං හිතුවා හුලඟට ගහක කොලයක්වත් ඇවිත් වදීන ඇති කියලා. මොකද මේ නොවැම්බර් මාසෙ නිසා වැහි හුලඟත් රෑට එනවනෙ. ආයෙම පාරක් ජනෙල් චෙක් කරපු මං නිකමට වගේ එලිය මිදුල දිහා බැලුවා. එතකොටම මං දැක්කෙ කාගෙහරි ඡායාවක් ගාඩ්න් එකේ ඉඳලා වත්තට යනවා. මේ රෑ කවුද කියලා බලද්දි හිතට ආවෙ සඳසාවි උනත් මේ එයා වෙන්න බෑ. මොකද ඒ ඇඳුම අපේ නංගි රෑට අඳන් හිටපු ඇඳුම වගේමයි. අනික අපේ ගේ සඳසාවිට එන්න බැරිවෙන්නම ආරක්ශා කරලනෙ තියෙන්නෙ. නංගි රෑට හීනෙන්වත් ඇවිදිනවද? ඒත් ඉස්සර එහෙම නෑනෙ. මොකටත් පහළට ගිහින් බලනවා කියලා හිතපු මං සෙරෙප්පු දෙකත් දාගෙන ලොකු ටෝච් එකකුත් අරගෙන පහලට බැස්සා. නිකමට ආපු සිතුවිල්ලකට නංගිගෙ කාමරේ ඇතුල බැලුවත් එයා පේන්න හිටියෙ නෑ එයාගෙ ඇඳේ. බාත් රූම් එකෙත් දොර හොඳටම ඇරලා. ඒත් ලයිට් දාලා නැති නිසා එයා ඒකෙ වෙන්නත් බෑ. මං ඉස්සරහා දොර ගාවට යද්දි ඒක බාගෙට ඇරිලා තිබ්බෙ. මේ නංගිම වෙන්නෝන කියලා හිතාගෙන මං මිදුලට බැස්සත් කිසිම කෙනෙක් හිටියෙ නෑ පේන්න. එලියෙ ලයිට් තිබ්බ නිසා මං වටපිට බැලුවත් කවුරුත් නෑ. ගාඩ්න් එකෙත් කිසිම කෙනෙක් නෑ. ඒකෙත් ලයිට් තිබ්බත් එහනින් එහාට වත්තෙ ලයිට් නැති නිසා තිබ්බෙ ඝන අන්ධකාරයක්. වෙලාවක් කීයද කියලවත් බලාගන්න බැරි උනානෙ. ඒ අස්සෙන් දෙසැම්බර් ලඟ හින්දද කොහෙද මාර සීතලක් දැනෙන්නෙ. අරන් ආපු ලොකු ටෝච් එක ඔන් කරපු මං නංගි ගිය දිහාවට ඒකෙ එලිය යැව්වෙ ඉන්නවද කියලා බලාගන්න. වටේටම ටෝච් එලිය යැව්වත් කිසිම කෙනෙක් පේන්න හිටියෙ නෑ. ඒත් එකපාරටම අන්ධකාරෙ දිලිසෙන ඇස් දෙකකට ටෝච් එලිය වදිද්දි ගැස්සුනු මගෙ අතින් ටෝච් එක බිමට වැටුණා, “වට් ද හෙල්…” මටම කියාගත්තු මං ආයෙමත් ටෝච් එක අහුලන් අර ඇස් දෙක තිබ්බ දිහාවට දික් කලා. නොදකින් අයාලෙ යන පූස් තඩියෙක්ද කොහෙද වත්තට රිංගලනෙ. උගෙත් අම්ම අප්පා මතක් කරන ගමන් මං තව ටිකක් එහාට ගියේ මේ කෙල්ල කොහෙට ගියාද බලන්න. මොකද හීනෙන් ඇවිදලා වත්තෙන් පිටට ගියොතින් ආයෙ අල්ලන්න බෑ කියලා කතාවක් මං අහලා තිබුණා.

“ස්‍ රා ස්….!”

වේලිච්ච පොල් අත්තක්ද කොහෙද පෑගෙන සද්දෙ මට වම් පැත්තෙන් ඇහුණා. ඒ පැත්ත බලද්දිම මං දැක්කා සුදුපාටද කොහෙද ඡායාවක් ලොකු කොස් ගහක් අයිනෙන් එහාට ඇදෙනවා. අම්මපා මේකි මාත් එක්ක හැංගි මුත්තන් කරනවද කොහෙද? හිතින් බැන බැන මං ඒ පැත්තට යද්දි මගෙ ඇඟේ අමුතුම සීතලක් දැවටීගෙන ගියේ මගෙ ඇඟේ මයිල් ටික කෙලින් කරන ගමන්. ඒත් එක්කම වටේ පරිසරයෙ අමුතු වෙනසක් ඇති වෙනවා වගේ දැනුණත් මට ඒක එච්චර ගාණක් උනේ නෑ. මගෙ ඉස්සරහට ටෝච් එලිය ගහපු මං දැකපු දෙයින් මාව පස්සට විසිවෙලා ගියේ කෑගැස්සෙමින්. සඳසාවි ලේ පෙරෙන මූණක් එක්ක මගෙ ඉස්සරහට වෙලා බලාගෙන විරිත්තගෙන හිටියා. ටෝච් එක පැත්තකට විසි උනත් ආපහු ඒ පැත්තට ටෝච් එක ගැහුවත් කිසිම කෙනෙක් පේන්න හිටියෙ නෑ. හිත තාමත් ඩිග් ඩිග් ගානවා. මං හිතන්නෙ හිතේ තිබ්බ බයටත් එක්ක පේන්න ඇති. ඒත් එක්කම බල්ලෙක් මහ මූසල විදිහට උඩු බුරන්න ගත්තෙ ඇඟේ මයිල් ආයෙමත් කෙලින් ක‍රන ගමන්. නංගි නම් මේ වත්තෙ නෑ කියලා හිතපු මං ආපහු යන්න හිතාගද්දිම කවුරුහරි දුවන සද්දයක් ඇහුන නිසා මං ඒ පැත්තට ටෝච් එක ගැහුවා. ඒ දුවන්නෙ නංගි නේද? මටම කියාගත්තු මං ඒ පැත්තට එයාගෙ පස්සෙන් දුවන්න ගත්තෙ කට්ට කරුවලේ ටෝච් එලියත් ගැස්සි ගැස්සි මං යන පාරවත් පැහැදිලි නොවීම. ඒත් මට වැඩි දුරක් දුවන්න ලැබුණෙ නෑ. මාව ගහක මුලකද කොහෙද වැදිලා බිමට ඇදගෙන වැටුණෙ අතේ තිබ්බ ටෝච් එකත් ටිකක් ඈතට විසිවෙමින්. නංගි මොන නාඩගමක් නටනවද මන්දා මේ රෑ. එයාට බැන් බැන මං අමාරුවෙන් අනිත් පැත්ත හැරුණෙ නැගිටින්න හිතාගෙන. ඒත් එතන ඉස්සරහ තිබ්බ ලොකු තේක්ක ගහේ අතු සරබර ගාලා සද්දෙන් ඇහෙද්දි මං සාක්කුවෙ තිබ්බ මගෙ පොඩි ෆෝන් එක අරන් ඒකෙ ටෝච් එක ඒ පැත්තට ගැහුවෙ අනිත් ටෝච් එක හොයාගන්න බැරි නිසා. ඒ ඝන අන්ධකාර රෑ මං දකින්න පුලුවන් මහ භයංකාරම දර්ශනය දැක්කෙ මුලු ඇඟම දාඩියෙන් තෙත් කරමින් ෆෝන් එක තිබ්බ අත පවා වෙවුලවමින්.

“ද්…දෝ..දෝ…ණී…….????”

සුදුපාට තැනින් තැන ඉරිලා ගිය දිග ගවුමක් වගේ එකක් ඇඳගෙන ඇඟ පුරාම තුවාල වලින් ගලන ලේ පෙරාගෙන සෙවල වලින් වැහිච්ච මුලු කොණ්ඩෙම කඩාගෙන විසුරුවගෙන තැනින් තැන දරුණු විදිහට කැපිච්ච තුවාල වලින් ගලන ලේ පෙරාගත්තු මූණකින් දත් ටිකත් විලිස්සගෙන ගහ දිගේ කොර ගගහා ඔලුව පල්ලෙහාට දාලා ගහ උඩ ඉඳන් පහලට ආවෙ වෙන කවුරුත් නෙමෙයි සඳසාවි. මං ගල්ගැහිලා කෑගහන්නවත් බැරි විදිහට බාගෙන ඉද්දි ගහ දිගේ බඩගාගෙන පහලට ආපු එයා කකුලකුත් ඇද ඇද මගෙ ලඟට එන්න ගත්තෙ මගෙ මුලු හිතම මහ විශාල භීතියකින් වැහිලා යද්දි.

“තා…ත්…තී…….!!!”

**************************************************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.