Katha Ahura

දෝණී | 22 කොටස | හොල්මන් කතා |

5/5 - (3 votes)

#22 කොටස

පහන්දි ලංකාවට එන්න සතියක් විතර තියෙද්දි නංගිට ඕන උනා ශොපින් කරන්න යන්න. අම්මයි තාත්තයි මට තමා ඒකත් බාර දුන්නෙ මං බෑම කියද්දි. ඇයි ඉතින් කෙල්ලෙක් එක්ක ශොපින් ගියාම කන්න වෙන කටු ගැන ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑනෙ. එයාලා ඇඳුම් තෝරනකල් අපි ඉන්න ඕනෙ ඔහේ පැත්තකට වෙලා බලාගෙන. එහෙමත් නැත්තම් ඉතින් තෝරන තෝරන ඇඳුම අතේ තියන් ඉන්න එපැයි. අනික අපි වගේ ඉක්මණින් ඇඳුමක් තෝරගන්න එකක්යැ. ඒත් ඉතින් නංගි නහයෙන් අඬපු නිසාම මං එයා එක්ක යන්න කැමති උනා.

“මෙතන ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වගේ බලන් ඉන්නැතුව අන්න අර ජෙන්ට්ස් පැත්තට ගිහින් ඔයාටත් ඇඳුමක් ගන්නවකො අයියෙ…” නංගි කිව්වෙ අපි මීගමුවෙ සී.අයි.බී එක ඇතුලෙ ඉද්දි. මං ඉතින් පුටුවකට වෙලා ඉඳගෙන ඔහේ බලන් හිටියෙ ඇඳුම් ගන්න ආපු එවුන් කරන දේවල් දිහා බලාගෙන.

“අපෝ මට ඇතිවෙන්න තියෙනවා ඇඳුම්… එහෙ ඇඳපුවත් ඔක්කොම වගේ ගිය සතියෙ ආවනෙ බොක්ස් එකක් පුරෝලම…” මං එයාට රවන ගමන් කිව්වෙ.

“අපෝ ලෝබයා අලුතින් ඇඳුමක්වත් ගන්නවකො… ඉන්නවකො අක්කි එනකල් මං එයාට කියලම වැඩේ කරවන්නම්…” එහෙම කියපු නංගි මට දිවත් දික් කරලා එතනින් යන්න ගියේ තවත් ඇඳුම් තෝරන්න.

ඇඳුම් කඩවල් දහයකට විතර ගියත් නංගිරන් තිබුණෙ කෑලි දෙකක් විතරයි. අම්මපා මේ කෙල්ලො නම්. ඊටපස්සෙ රස්නෙයි තිබහයි කියලා කෑගහපු හින්දම මං එයාව ජූස් බාර් එකකට එක්කන් ගියේ මටත් ටිකක් හරි සැනසීමයිනෙ හිතලා. බීම දෙකක් ඕඩර් කරපු අපි පොඩි චැට් එකක් දාගෙන ඉද්දි අපිට ටිකක් එහාපැත්තෙ හිටපු කොල්ලො දෙන්නෙකුගෙ කතාබහක් ඇහුණු මං ඒ පැත්තට ටිකක් කන් දෙක දැම්මා.

“කැ% සිද්දිය කියන්නෙ බං කලින් එක වෙලා සති තුනක්වත් ගියෙ නෑ උගෙම යාලුවට මේක උනා කියන එකනෙ… දෙන්නවම මරලා තියෙන්නෙ සෑහෙන්න වද දීලා… උඹට කියන්න මං ගියානෙ ඔය බොඩි දෙකම බලන්න… හම්මේ බං ගන්න දෙයක් නෑ දකිද්දිත් මාර බය හිතෙනවා… අනික වමනෙට එනවා…” එකෙක් කියනවා ඇහුණා. මුන් මේ කතාවෙන්නෙ එදා ටීවී එකේ පෙන්නපු මර්ඩර් කේස් ගැන කියලා මට තේරුණා.

“නෑ…හ්..? අඩෝ මාත් දැක්කා එෆ්බී එකේ ෆොටෝස් වගයක්… හැබැයි ඉතින් ලයිව් බලන තරම් නම් ගතියක් නෑ… ෆොටෝස් ටික දැකපු මට එදා දවසම කෑම කන එකත් එපා උනා බං… එච්චරම අවුල්…”

“උඹ ෆොටෝස් වලින් දැකලනෙ… යකෝ මට එතනම වමනෙ ගියා… ගොඩක් උන්ට එහෙමයි… පොලිස් කාරයෙක්ටත් ගියා කියාංකො…”

“හම්මට ඒක ඊට හපන්…”

“ඔව් යකෝ… වැඩේ කියන්නෙ උන් දෙන්නගෙම ප%$වල් කපලා උගුරට යනකම්ම කට ඇතුලට බස්සලා… හෙ හේ…” එහෙම කියලා ඌ හිනාවෙන්න ගත්තා. මුන් මිනිහෙකුගෙ මරණෙනුත් බලන්නෙ ආතල් ගන්නමනෙ.

“කපලා නෙමෙයි නේ බං මට ආරංචි උන හැටියට නම් ඒවා එතන මස් එක්කම කඩලා අරන් තියෙන්නෙ…” අනිකා කිව්ව දෙයින් මං බිබී හිටපු බීම එකත් ඉස්පොල්ලෙ ගියා. නංගි නැගිටලා ඇවිත් මගෙ පිටට තට්ටු දැම්මෙ මගෙ කටත් පිහින ගමන්.

“මොකද අයියෙ වෙලා තියෙන්නෙ ඔය බීම එකවත් හ‍රියට බොන්නකො අනේ ඔයා මටත් වඩා පොඩි එකෙක් වගේනෙ…”

“හරි ඉතින් ඕන මනුස්සයෙක්ට ඉස්පොල්ලෙ යනවනෙ… ආච්චි වෙන්නැතුව ඉන්නවකො… ඕක බීලා ඉවර නම් යමු තව ගන්න තියෙනවා නේද…?”

“හා හා යමු මේ අන්තිම ටික…” එහෙම කියපු එයා වීදුරුවෙ තිබ්බ අන්තිම බීම ටිකත් බීලා එයාගෙ මලු ටිකත් අරන් මගෙ පස්සෙන් ආවා. බිලත් ගෙවපු අපි දොරෙන් එලියට එද්දිම මට අරුන් කියපු දෙයක් ආයෙමත් ඇහුණා.

“හැබැයි මචං එතන හිටපු පොලිස් කාරයො කිව්වෙ ඒ දෙන්නම මැරිලා තියෙන්නෙ අධික භීතියකින් කියලා… මොකද ඒ මූණු දැක්කම අපිට උනත් හිතෙන්නෙ ඒක…”

ඒ ටික ඇහෙද්දි මට මංවත් නොදන්න හිනාවක් ගියේ හිතටත් අමුතු ගැම්මක් එද්දි.

අපි ගෙදර ආවෙ හවස හයත් පහුවෙලා. ඔන්න ඕකයි කෙල්ලෙක් එක්ක ශොපින් ගියාම අපිට වෙන වැඩේ. අන්තිමට ඒත් ගත්තු දේකුත් නෑ. ඇඳුම් කඩ විස්සකට විතර ගිහින් එයා ගත්තෙත් කිට් පහක් විතර. මග දිගටම මගෙන් බැනුම් අහ අහා තමා එයා ආවෙ. මං කියන ඒවා කණකටවත් නොගත්ත එයා මට බනිනවා තව ඇඳුම් ගන්න තිබ්බලු. ඔන්න ගෑණු අම්මපා.

වොශ් එකක් දාගෙන අම්මට කියලා තේ එකකුත් හදාගෙන මං බැල්කනියට ආවෙ සීතල හුලඟ ටිකක් විඳින්න තියෙන ආසාවට. උදේ ඉඳන්ම තිබුණු කලබල පරිසරෙන් මිදිලා මෙහෙම සැහැල්ලුවෙන් ඉද්දි හිතට දැනෙන්නෙ ලොකු සැනසීමක්. පහන්දිට කෝල් එකක් ගන්න හිතුණත් ෆෝන් එක ගන්න ආයෙ කාමරේට යන්න කම්මැලි හිතුණ නිසා ඒ අදහස අතෑරලා දාපු මං රෑ අහස දිහා බලාගෙනම කල්පනාවට වැටුණා. ඒ විදිහට මං කොච්චර වෙලාවක් හිටියද කියලා මංවත් දන්නෙ නෑ.

“මොනාද ඔච්චරම කල්පනා කරන්නෙ…?”

ලඟින්ම වගේ ඇහුණු කටහඬින් කල්පනාවෙ හිටපු මාව ගැස්සුණ පාර අතේ තිබ්බ මග් එක බිම වැටිලා කුඩු උනා. හැරිලා බලද්දි දැකපු දෙයින් මං වාඩිවෙලා හිටපු පුටුවෙන් මාව නැගිට්ටුණා.

“ඔ..ඔයා…???”

මගෙ ඇස් ඉස්සරහම හිටියෙ මගෙ දිහාම කන්න වගේ බලන් හිටපු සඳසාවි.

“දෙන්නෙක්ම ඉවරයි තාත්ති… තව ඉතුරු වෙලා ඉන්නෙ දෙන්නයි… මගෙ පළිය සම්පූර්ණ වෙනවා එතකොට…”

“ඉ..ඉතින් ඇයි මේ මට කරදර කරන්නෙ ඇවිත්…? කාගෙන්ද ඔයා පලිගත්තෙ…??”

“හහ් හා හා… ඔයාට මං කරදර කරන්නෙ නෑ තාත්ති… ඒ වගේම මේ හැමදේම ඔයාට පස්සෙ තේරෙයි… ඒ වෙනකොට මගෙ පලිය සම්පූර්ණ වෙලා තියෙයි… හහ් හහ් හහ හා…”

එහෙම කියපු එයා තව ටිකක් මගෙ ලඟට ආවා.

“මං ආවෙ ඔයාට අනතුරු ඇඟවීමක් කරලා යන්න… ඔයාගෙ එන්ගේජ්මන්ට් එක වෙන්න මං ඉඩ තියන්නෙ නෑ… ඔයාව අයිති මට විතරයි.. මේ පලිගැනීම සම්පූර්ණ උනාම මං ඔයාව මගෙම කරගන්නවා හොඳින් හරි නරකින් හරි… අරකිට කියන්න ලංකාවට එන්නෙපා කියලා… ආවොත් මං ඒකිව කෑලි කෑලි වලට ඉරලා දානවා ඔයා ඉස්සරහම… මතක තියාගන්න තාත්ති අයිති දෝණිට විතරයි… කිසිම බලවේගෙට උනත් මගෙන් ඔයාව වෙන් කරන්න බෑ…” ලොකු වෛරයකින් එහෙම කියපු එයා මං බලන් ඉද්දිම අතුරුදහන් උනා.

“දෝණි..!!”

මං කෑගැහුවවත් එයා ආයෙත් මට පේන්න ආවෙ නෑ. ඔලුවෙ අත් දෙක ගහගත්තු මම කල්පනා කලේ ආයෙමත් මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා. මාසයක් විතර යනකල් අපිට කරදර නොකරපු කෙනා ආයෙමත් ඇවිත් අපේ සැනසීම නැති කරන්න. නෑ නෑ ඒක නම් වෙන්න දෙන්න බෑ. අනික පහන්දිව දැන් ලංකාවට එන එකෙන් නවත්තන්න කොහොමටවත් බෑ. එයා එන එක, අපේ එන්ගේජ්මන්ට් එක හැමදේම ස්ථිර කරලා තියෙන දේවල්. මං ආයෙම මොකක් හරි අවුලක් කලොත් වැඩිහිටියන්ගෙ හිත් සවුත්තු වෙන්න පුලුවන්. අපේ ජීවිත වලට ආයෙමත් කරදර ගේන්න එයාට ඉඩ දෙන්න බෑ. මේකට විසඳුමක් හොයන්නවත් දැන් කාලයක් නෑ. කරන්නම දෙයක් හිතට ආවෙ නැති නිසා තිබ්බෙ නැති ඔලුවෙ අමාරුවක් මට හැදුණෙ ඒ ටික වෙලාවට. ඔලුවත් බදාගෙන ඇස් දෙකත් පියාගෙන මං එහෙමම හිටියා ටික වෙලාවක්. ඒත් කොහේදෝ ඉඳලා මගෙ ඔලුවට ආවෙ දවසක් මට පහන්දි කියපු කතාවක්.

“දන්නවද මහත්තයො ඕනම කරදරේකදි බුදු ගුණ සිහි කලාම මට ඒ කරදරෙන් බේරෙන්න පුලුවන්.. අනිත් ආගම් ගැන නම් මං දන්නෙ නෑ ඇත්තටම… ඒත් මං අත්දැකපු දේවල් නිසා ඒ ගැන ලොකු විශ්වාසයක් මට තියෙනවා… ඔයා කතෝලික උනත් කරදර වෙලාවකදි බුදු ගුණ සිහි කරන්න ඒ ගැන විශ්වාසය හිතේ තියාගෙන.. ඔයාටම තේරෙයි මං මේ කියපු කතාව ඇත්තක් කියලා…”

අඳුරු වලාවක ඇඳුණු රිදී රේඛාවක් වගේ මට එයාගෙ ඒ වචන මතක් උනා. ඒත් එක්කම මගෙ හිතට දැනුනෙ සැනසීමක්. ඔව් එයා කියපු දේ විශ්වාසෙන් කරලා බලන්න ඕනෙ. මොකද ඕනම යකෙක් බුදු ගුණට යටයි කියලා මං කතාවකුත් අහලා තියෙනවා. ඒ දේවල් විශ්වාසයෙන් කලාම අපිට තියෙන මේ කරදරේ ටික කාලෙකට හරි නැතිවෙයි අපි වෙන විසඳුමක් හොයාගන්නකල්. හිතට දැනුණු සැනසීමෙන්ම බිඳුණු මග් එකේ කෑලි ටිකත් අහුලගෙනම එතනින් නැගිටලා ආපු මං කලේ ලැප් එක ඔන් කරගෙන දවසක් පහන්දි මගෙ ලැප් එකට සේව් කරපු පිරිත් වගයක් තිබ්බ ෆයිල් එක හොයපු එක. ඊට අමතරව එෆ්බී එකට ලොග් වුණු මම මගෙ බෞද්ධ යාලුවෙකුගෙන් විස්තරත් අරගෙන තව පිරිත් ටිකක් ඩවුන්ලෝඩ් කරගත්තා.

“අපි බලමු දෝණි ඔයාද මමද දිනන්නෙ කියලා…” හිතින් එහෙම කියපු මං ලොකු හුස්මක් අරන් පහළට දැම්මෙ ලොකු සැනසීමකින්.
*********************************************************************

“පුතා…. පුතා අහස්….!!!”

පහුවදා උදේ මං බාත් රූම් එකේ ඉද්දි මගෙ කාමරේ දොරට තඩිබෑවෙ තාත්තා. මං බාත් රූම් එකේ දොර ඇරලා ඇයි කියලා ඇහුවා.

“මොනාද ඔය දාලා තියෙන්නෙ සද්දෙට ආ…? ඔන්න ඕක වහලා දාන්නයි කිව්වෙ…”

තාත්තා කෑගහන්නෙ මං මගෙ කාමරේ මහ සද්දෙට පිරිත් දාලා තියෙන එකට. එයා ඉතින් ආගම්වාදියිනෙ ටිකක් ඒකයි ඔහොම කෑගහන්නෙ.

“ඔන්න ඔහේ තිබුණදෙන්… මං පිරිත් අහන්න ආසයි තාත්තේ….” මං කිව්වා.

“මෙච්චර කාලයක් අහපු නැති ඒවා දැන් මොකටද අහන්නෙ..? අනේ මන්දා මේ කොල්ලට මොනවා වෙලාද කියලා… එහෙනම් ඔය අහන එකක් ඔයාට විතරක් ඇහෙන්න දාගන්න එකයි ඇත්තෙ…”

“හරි තාත්තෙ…”

තාත්තා දොර ගාවින් ගියාට පස්සෙ මං වොශ් දාන ගමන් කල්පනා කලේැයි එයා එච්චරම ඒවට අකමැති කියලා. යක්කුන්ටත් ඒවා ඇහෙද්දි ඉන්න බෑනෙ. අනේ මන්දා හරිනම් අපේ කාලෙ අයනෙ ඒවට ආස නැතිවෙන්න ඕනෙ. ඕවා හිත හිතම මං බාත් රූම් එකෙන් එලියට එද්දිම මගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. ම්ම්ම් අඳුරන්නෙ නැති නම්බර් එකක්.

“හෙලෝ ගුඩ් මෝනින්ග්…”

“මෝනින්ග් හු%3….! තෝ ගෙදරද හිවලෝ…???” ෆෝන් එකේ ස්පීකර් එකත් කුඩු වෙන සයිස් ටකරන් සද්දෙන් ඇහුණෙ ඉසුරුවගෙ කටහඬ. අම්මපා මූට උදෙන්ම ටිකක් ආචාරශීලී වෙන්න බැරි හැටි.

“ඔව් ඔව් ගෙදර ඉන්නෙ කියපන්…”

“අඩෝ අද චාමරයගෙ අහවල් දිනේලු… ඌට විශ් කරපිය.. ඒ කරලා වරෙන් අපේ ගෙදර අද හවසට සෙට් වෙනවා අපි හතර දෙනා…”

“අහවල් දිනේ කිව්වෙ බං ඌට ඩේට්ද…?” මං ඇඟට පතට නොදැනි ඇහුවා.

“නෑ ප%යෝ උගෙ තව අවුරුද්දකින් නාකි වෙන දවස… අනම් මනම් කතා ඕන නෑ ඔන්න මං පණිවිඩේ කිව්වා දොළහ වෙද්දි අපේ ගෙදර හිටපන් හරී… අපි නැකතට වැඩ කියලා උඹ දන්නවනෙ…”

එහෙම කියලා මං මොකුත්ම කියන්නත් කලින්ම ඌ කෝල් එක කට් කලා. අනේ ඕකුන්ගෙ නැකත් වෙලාව. ඒක එන්නෙත් හරි වෙලාව පහුවෙලානෙ. චාමරයට කෝල් එකක් අරන් විශ් කරද්දිත් ඌ නිදාගෙන හිටියෙ. ඔව් ඉතින් අදනෙ ඌ ඉපදෙන්නෙත්. ඒ නිසා කොයි වෙලෙත් නිදි කුමාරිගෙ උකුලෙ නිදාගෙන ඉන්නෙ. ශෝටකුයි ටී එකකුයි දාගත්තු මං පහලට ගිහින් කෑමත් කාලා ටවුන් එකට යන්න පිටත් උනේ චාමරයට තෑග්ගක් ගන්න හිතාගෙන.

හවස අපි කොල්ලො සෙට් එක ගමේම තිබුණු රෙස්ටුරන්ට් එකකට එකතු උනේ උපන්දිනේ සමරන්න. අපි හතර දෙනාට අමතරව තව ගමේම ‍යාලුවෙකුයි, චාමරයගෙ අයියා කෙනෙකුයි ඇවිත් හිටියා. වැඩේ කියන්නෙ අපේ එවුන් කේක් එකකුත් ගෙනත් කැපුවනෙ. ඊටපස්සෙ තමා බොන එක පටන් ගත්තෙ. මං ඇරෙන්න අනිත් උන් ඔක්කොම බිව්වා. අවුලක් නෑ අනිත් එවුන්ව පරිස්සමට ගෙදර එක්කන් යන්නත් එකෙක් ඉන්න එපැයි. විහිලු තහලු වලින් පටන් ගත්තු කතාව දේශපාලන වාද පිටියක් වෙන්නත්, බූට් කාපු තියපු කතා කියන්නත්, කෙල්ලන්ටයි රටේ නැති එවුන්ට බනින්නත්, වාහන ගැන ආර්ථිකය ගැන කියවන්නත් අන්තිමට තමන් ගැන බයිලා ගහන තරමටම දුර දිග යද්දි අරක්කු බෝතල් තුනක්ම ඉවර වෙලා තිබුණා.

“මචං දැන් බඩුත් ඉවර එකේ ගෙවල් වලට යමු නේද…” මං ඇහුවෙ කට්ටියටම හොඳ ගාණට වැදිලා තිබ්බ නිසා. චාමරයට නම් ඉඳගෙන ඉන්නත් බැරි තරම් වෙරි. ඌ කන සාක්කුවෙ දාගෙන නිදි.

“අඩෝ ප්..පිෂ්ෂුද අහශා…” ඉසුරුවා ගොත ගගහා කතා කලේ. “ගෙදර ගිහින් ත්..ත..ව බෝ..තලයක් ගෙනෙන්කො හො..ඳ එක්..කා වගේ…”

“අනේ මේ පලයන් බං කුඩුවෙන්නම ගහලා තව හොයන්නෙ… යමන් යමන් ගෙදර මගෙ තරහා අවුස්සන්නෙ නැතුව…” මං කිව්වෙ ඇත්තටම තරහා ගිහින්.

ඉසුරුවටයි චාමරයටයි ඇරෙන්න අනිත් උන්ට කෙලින් ඇවිදගන්න පුලුවන් කම තිබ්බා. බිල ගෙවලා ආවට පස්සෙ මායි චාමරයගෙ අයියා කෙනෙක් උනු අශාන් අයියයි චාමරයව උස්සන් ඇවිත් මගෙ කාර් එකේ පිටිපස්සෙ සීට් එකෙන් දැම්මා. මෙහෙම වෙනවා කියලා දන්න නිසාම කාර් එකේ ආව එක හොඳයි. ඉසුරුවවත් කාර් එකට දාගත්තු මං විකාර කියව කියව හිටපු මිතුනවත් කාර් එකට දාගත්තා. අනිත් දෙන්නා උන් ආපු බයික් වල ගෙදර යද්දි මං අපේ උන්වත් දාගෙන ගෙවල් වලට පිටත් උනා. චාමරයවයි ඉසුරුවයි ගෙවල් වලින් දාපු මං මිතුන්වත් එක්ක උන්ගෙ ගෙදර ගියේ උන්ගෙ ගේ ටිකක් දුර නිසා. වෙලාවත් පාන්දර එකයි කාලට විතර ඇති. අරූ ඔහේ කියවද්දි මං අඳුර අතරෙන්ම කාර් එක අරන් ගියා. එකපාරටම කොහෙවත් තිබ්බෙ නැති වැස්සක් කඩාගෙන වටෙන්න පටන් ගත්තෙ ඉස්සරහා පේන්නැතුව යද්දි. මං කෝකටත් කියලා කර් එක අයිනකට කරලා නතර කලා. කාර් එක ඇතුලෙ තිබ්බ ස්ප්‍රයිට් බෝතලයක් ගත්තු මං අරූට බොන්න දුන්නෙ ඌ වමනෙ කරන්න වගේ හදපු නිසා. ඒකත් බිබී ඉද්දි උගෙ අතින් බෝතලේ ලිස්සලා වැටුණා. මං බිමට නැමිලා ඒක උගෙ අතට දෙන ගමන් ඉස්සරහා බැලුවෙ නිකමට වගේ. ඒත් එක්කම කාර් එක ඇතුලේ තියෙන පිටිපස්ස බලන කණ්නාඩියෙන් දැකපු දෙයින් ගැස්සිලා ගිය මගෙ අතින් බෝතලේ ආයෙම වැටුණා.

“ඕහ් ශිට්..!”

ඒත් පිටිපස්ස බලපු මට කිසිම දෙයක් පෙනුණෙ නෑ. මට හොඳටම විශ්වාසයි ඒ හිටියෙ දෝණි කියලා. එයා අපි දිහා බලන් හිටියෙ ලොකු තරහකින් කියලත් ඒ මූණෙ තිබ්බ බය හිතෙන පෙනුමෙන් මට තේරුණා. මං දෙතුන් සැරයක්ම පිටිපස්ස බැලුවත් එයා හිටියෙ නෑ. වැස්ස අස්සෙ කිසිම දෙයක් නොපෙනුනත් මං වටපිට බැලුවත් එයා පේන්න හිටියෙ නෑ. සැනසුම් හුස්මක් උඩට අරන් පහලට දාපු මං ආයෙමත් ඉස්සරහා බැලුවා.

“අම්මෝ….!!!”

මිතුනා කෑගැහුවෙ ඉස්සරහට අත දික් කරගෙන. ඉස්සරහා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි සඳසාවි. වැස්ස අතරින් විහිදුණු කාර් එකේ ලයිට් එලියෙන් එයාව දැකපු මිතුන්ගෙ වෙරි හිඳෙන්න ඇති. මොකද ඒතරම්ම භයංකර විදිහට එයා අපි දිහා බලන් හිටියෙ. මුලු මූණටම කොණ්ඩෙ කඩලා දාගෙන, මුලු මූණම විතරක් නෙමෙයි ඇඳන් හිටපු ඇඳුමත් ලේ වලින් නෑවිලා ඇඟේ සමහර තැන් වලින් මස් කෑලි එල්ලිලා වැටෙන රතු පාට දිලිසෙන ඇස් දෙකකින් අපි දිහා බලාගෙන හිටපු එයාව දැක්කම මගෙ හිතත් ලොකු භීතියකින් වැහිලා ගියා.

“අ…අ..අ..හ..සා…. ම..මචං… අරකි…”

මිතුනා මගෙ අතින් අල්ලගෙන ලොකු බයකින් ගොත ගැහුවා. මං කාර් එකේ තිබුණු ඕඩියෝ ප්ලේයර් එක ඔන් කලත් ඒක එවෙලෙ වැඩ කලේ නෑ. මං කලින් කාර් එකේදිත් පිරිත් අහන්න සෙට් කරලයි තිබ්බෙ. ඒත් කාර් එක ඇතුලෙ කිසිම දෙයක් එවෙලෙ වැඩ කලේ නෑ. මං කොච්චර ස්ටාට් කරන්න හැදුවත් කාර් එක ස්ටාට් උනේ නෑ.

“අ..අහසා…!!”

අරූගෙ කෑගැහිල්ලට මං ආයෙමත් ඉස්සරහා බැලුවා. දෙයියනේ සඳසාවි හිටියෙ කාර් එකේ බොනට් එක උඩ. එයා හ‍යියෙන් හිණාවෙවී වින්ඩ්ස්ක්‍රීන් එක ඇතුලෙන් අත දැම්මෙ මිතුනගෙ බෙල්ලෙන් අල්ලගන්න කියලා මට තේරුණා. මිතුනා සීට් බෙල්ට් එක ගලවගන්න බැරුව මරහඬ දෙනවා. මගෙ හිතට එකපාරටම ආවෙ ෆෝන් එක. කලබලේට එලියට ගද්දිම ඒකත් බිමට වැටුණා. ආයෙමත් ඒක අහුලගත්තු මම ඒකෙන් පිරිත් දාලා සවුන්ඩ් එකත් උපරිමේටම වැඩි කරලා මිතුනා ලඟට ෆෝන් එක දැම්මා. ඒත් එක්කම ‍යටි ගිරියෙන් කෑගහපු සඳසාවි කාර් එකෙන් ඈතට ගිහින් අපි දෙන්නා දිහා මරාගෙන කන්න වගේ බලාගෙන හිටියා.

“හඃ හඃ හඃ හා….!!! ඕවා දාලා මාව ඈත් කලාට ඔයාට මගෙන් කවදාවත්ම බේරෙන්න ලැබෙන්නෙ නෑ තාත්ති…! ඔයා කරන දේවල් වලට විඳවන්න වෙන්නෙ ඔයාගෙ වටේ ඉන්න උන්ට… හඃහඃ හා…!! ඉක්මණින්ම… ඉක්මණින්ම මං ඔයාව මගෙ ලඟට ගන්නවා… හඃ හඃ හඃ හා හා…!!!”

කෑගහලා එහෙම කියපු එයා වැස්සත් එක්කම අතුරුදහන් උනේ හරියට එයා වැස්ස අරන් ආවා වගේ. එතකොටම වගේ කාර් එකටත් පණ ආවා වගේ කලින් වැඩ කරපු හැමදේම ආයෙමත් වැඩ කරන්න ගත්තා.

“ඒ..ඒකි ඇයි බං අපිට මෙහෙම වද දෙන්නෙ…? අපි ඒකිට කිසිම වරදක් කරලා නෑනෙ… අනික උඹේ පස්සෙන් ඔච්චරම පන්නන්නෙ…?”

විනාඩි පහක් විතර ඔලුව ගහන් හිටපු මිතුන් මගෙන් ඇහුවා. ඒකට දෙන්න උත්තරයක් මං ගාව තිබ්බත් මං කලේ සද්ද නැතුවම වාහනේ ස්ටාට් කරන් ඉස්සරහට ගිය එක. මිතුනා මගෙන් තව දේවල් ගොඩක් ඇහුවත් මට ඒ එකක්වත් හරියට ඇහුණෙ නැත්තෙ මං ලොකු කල්පනාවක හිටපු නිසයි. ඌවත් ගෙදරින් දාගෙනම මං ආයෙමත් වාහනේ හරවගත්තෙ හිතට ඇවිත් තිබුණු අමුතුම හැඟීමක් එක්ක.
***********************************************************************

“අඩෝ උඹට දැන් වැඩියි මචෝ… ඔය ඇති බිව්වා දැන් නවත්තපන්…”

මිතුරෙකු එසේ පවසද්දීත් තවත් අරක්කු වීදුරුවක් පුරවාගත් නුවන් එය කටේ හලාගත්තේ එක හුස්මටය.

“පිස්සුද ඩෝ බෝතල් දෙකක් බිව්වා කියලා අපිට වැඩි වෙනවද…” එසේ පාරම් බෑ ඔහු නැවතත් අරක්කු වීදුරුවක් පුරවාගත්තේය.

මිතුරන් කිහිපදෙනෙකු සමග එදින රෑ අරක්කු බෝතල් දෙකක් මිලදී ගත් නුවන් ගමේ කොණකට වන්නට තිබූ ඔහුගේ නිවසේ සිට බොන්නට වූයේ එදින ඔහුගේ පවුලේ කිසිවෙකු නිවසේ නොසිටි නිසාවෙනි. අරක්කු වලට ඇති පෙරේත කමටම බෝතල් දෙකෙන් වැඩිපුර බිව්වේ ඔහුය.

“අරුන් දෙන්නත් හිටියනම් කොච්චර ආතල්ද බං නුවන් අයියෙ… පව් අහිංසකයො දෙන්නා…” එතැන සිටි එකෙකු වූ සාලිය පැවසුවේ බැදපු වල් ඌරු මස් කෑල්ලක් කටේ දමා ගනිමිනි.

“චමියටයි සමියටයි ඔය අපරාදෙ කරපු එවුන්ට නම් හෙණ හතම වදින්න ඕනෙ බං… අම්මපා මට අහු උනා නම් දස වද දීලා මරන්නෙ ඕකුන්ව කැරි බල්ලො…” දත්මිටි කමින් පැවසුවේ නුවන් ය. ඔහුගේ හොඳම මිතුරන් දෙදෙනාගේ මරණය ඔහුගේ සිත මහත් සේ කලඹා තිබුණි. එමෙන්ම එය කලේ කවුරුන් වුවද ඔවුන්ගෙන් පලිගන්නා බව ඔහු ගමේ සෑම තැනකම පාහේ පවසා තිබිණි.

“අම්මපා බං මටත් නම් පට්ට අවුල් මේ වෙන දේවල් එක්ක… කවදා වෙච්ච දේවල්ද බං මේ වෙන්නෙ අපේ ගමේ…” එතැන සිටි තවත් එකෙකු වූ සුදීර කීවේ මත්බව නිසා වැනි වැනිය.

“ටිකක් හිටපල්ලා බං මම හුජ්ජ පාරක් දාලා එන්නම් එලියට ගිහින්…” කතාව දිගටම ඇදී යද්දී නැගිටගත් නුවන් කීය.

පුර අටවක සඳ ඉහල අහසේ දීප්තිමත්ව පායා තිබූ ඒ අන්ධකාර රාත්‍රියේ දෙපැත්තට වැනෙමින් නිවසින් පිටතට පැමිණි නුවන් තම නිවස පිටුපස සිට මීටර් විස්සක් පමණ දුරින් පිහිටි උණ පඳුර අසළට ගොස් හැඳ සිටි කොට කලිසම පහත් කලේය. දෙපැත්තට වැනෙමින්ම මුත්‍රා කරමින් සිටි ඔහුට ඇසුණේ උණ පඳුර සෙලවෙන ශබ්දයකි. ඇස් පිල්ලම් ගසමින් එදෙස බැලුවද අඳුරත් වෙරිමතත් නිසා ඔහුට කිසි දෙයක් හරිහැටි පෙනුණේ නැත. ‘අරුන් කිව්වා වගේ මට වැඩිද කොහෙද..”ඔහු තනිවම සිතුවේය. එහෙත් එකෙණෙහිම ඔහු දුටුවේ උණ පඳුර අතරින් ඔහු දෙසට පැමිණෙන අඳුරු රුවකි. අඳුර නිසා පැහැදිලිව මුහුණ නොපෙනුනත් සඳ එලියට දිලිසුණු රත්පැහැ ගත් ඒ දෙනෙත් ඔහු දෙසම බලා සිටිනවා දුටු ඔහු මදක් ඉදිරියට ගියේ අරක්කු වලින් සිතට ආ ධෛර්‍ය නිසාය.

“කවුද ඩෝ මේ වෙලාවෙ හොල්මන් කරන්නෙ…???” ඔහු මදක් කෑගසමින් සැරෙන් අසා සිටියේය. “බුදු අම්මෝ…..!!”

වේගයෙන් පැමිණි පා පහරක් ඔහුගේ බඩ හරහා වැදුණි. මතින් සිටි ඔහු විසිවී ගොස් බිම වැටුණි. වැදුණු පහර නිසා ඔක්කරයට ආ බැවින් ඔහු පොලොවට අත් දෙක ගසාගෙනම වමනය කරන්නට විය. තත්පර දෙක තුනක් ගත වන්නට ඇත. නැවතත් මුහුණ හරහා තදින් වැදුණු පහරකින් ඔහු අනිත් පසට කැරකී ඇද වැටුණි.

“ආ….හ්”

වේදනාවෙන් මොර දුන් නුවන් තම නහය අල්ලාගත්තේ පහර වැදුණේ නහයට බැවිනි. එහෙත් ඊලඟ මොහොතේ ඔහුව ඉහලට එසවූ ඒ අඳුරු රුව ඔහුගේ සිරුරට පහර පිට පහර එල්ල කලේ හඬක් පිටකර ගැනීමටවත් ඉඩක් නොතබාය. ඒ පහර සියල්ල කාගෙන කපා හෙලූ කෙසෙල් කඳක් මෙන් ඇද වැටුණු නුවන් වේදනාවෙන් කෑගැසුවේය. මේ අතර නුවන්ගේ කෑගැසීම ඇසුණු ඔහුගේ මිතුරෝ වැනි වැනිම ඒ දෙසට දිව ආවෝය.

“අඩෝ අර බලපං…!” ඔවුන් අතරින් එකෙකු කෑගැසුවේ නුවන් සිටි දෙසට අත දිගු කරමිනි.

නමුත් එකෙනෙහිම අදෘශ්‍යමාන හස්තයකින් මෙන් නුවන්ව නිවස පිටුපස තිබූ කැලෑව තුලට ඇදී යන්නට වූයේ සෙස්සන් බියවී බලා සිටින විටය. ඒ එකෙකුවත් ඒ පසුපස යන්නට උත්සහ දැරුවේ නැත්තේ ඔවුන්ගේ සිත් වල තිබූ බියටමය.

“අතෑරපන් මාව… අතෑරපන් යකෝ අතෑරපන්….!”

නුවන් කෑගසන්නට විය. නමුත් ගල් කැබලි මතින්, කටු පඳුරු අතරින් නොනවත්වාම ඔහුව ඉදිරියට ඇදී යන්නට වූයේ දැඩි වේදනාත්මක කෑගැසීම් මැද්දෙය.

“නුවන්…”

තම කන අසලින්ම මෙන් ඇසුණු ඒ මිහිරි කාන්තා හඬට වේදනාවෙන් ඇඹරෙමින් කෑගසමින් සිටි නුවන් ඉතාමත්ම අපහසුවෙන් නැගිට හිස ඔසවා වටපිට බැලුවේය. ඒ වන විටත් ඔහු සිටියේ නිවසක ගෙමිදුලක බව වටහාගත් ඔහු සඳ එලියෙන් දුටු දෙයින් බියෙන් ත්‍රස්ත විය. ඒ තමා සිටින්නේ චමිල මරා දමා තිබූ ඒ මූසල, පාළු නිවස අසල නිසාය. දුවන්නට තබා ඉදිරියට ඇවිද ගන්නවත් පණ නොතිබූ ඔහු එතනින් පිටවීමට ඉදිරියට පියවරක් තැබුවා පමණි.

“බුදු අම්මෝ….!!!!”

කිසිවෙකු විසින් ඔහුගේ වම් පාදයට ඉතාමත් දැඩි පහරක් එල්ල කලේ පාදය දෙකට මැදින් කැඩී යන්නටය. කකුල අල්ලාගත් ඔහු බිම වාඩිවී බෙරිහන් දෙන්නට විය.

“නුවන් අයියේ…”

වේදනාව අතරින් ඇසුණු ඒ හඬට අමාරුවෙන් ඔලුව උස්සා බැලූ ඔහු නැවතත් භීතියට පත් විය. ඒ තමා දෙස සිනාසෙමින් බලා සිටි රුව දැකීමෙනි.

“ස්..ස..ස..ඳ..සා..වි….” ඔහුගේ මුවින් සිහින් කෙඳිරියක් පමණක් නිකුත් විය.

“ඔව් මම තමයි නුවන් අයියේ… මතකද මාව..? මතකද ඔයාලා මාව දූශණය කරලා මරලා දැම්මෙ මතකද ඔයාට…?” සෙමින්, එහෙත් වෛරය පිරුණු කටහඬකින් අසමින් නුවන් අසළට පැමිණි ඈ ඔහුගේ මූණට එබුණාය. “මේ මූණ මතකද නුවන් අයියේ…??”

“එ..එ..පා…! ස..සඳූ නංගි ම..ම..ට.. ස..මා..වෙ..න්..න…”

“එපා..??? එහෙනම් උඹ දන්නවා උඹේ මරණෙ ලඟයි කියලා… හඃ හඃ හඃ හහා…! නෑ… දැන්ම නෙමෙයි නුවන් දැන්ම නෙමෙයි… උඹ මට වඩා විඳවලා මැරෙන්න ඕනෙ… හඃ හඃ හා…”

එසේ කෑගසා පැවසූ සඳසාවි වියරුවෙන් සිනාසෙමින් නුවන්ගේ පාදය බිඳී ඇති තැන ඇගේ අතකින් තදින් මිරිකන්නට වූවාය. වේදනාවෙන් මරහඬ දුන් නුවන් දඟලන්නට විය. ඒ අතරේ ඔහුට මුත්‍රා පිටවන්නට වූයේ වේදනාවටමය. ඔහුව අතහැර දැමූ සඳසාවි එක්වරම අතුරුදහන් වූවාය. වේදනාවෙන් ඇඹරෙමින් කෑගසමින් සිටි නුවන්ට තමා අසළ සඳසාවිගේ ආත්මය නොමැති බව දැනුණි. හිතේ පැවති සැකය නිසාම එතැනම මද වේලාවක් සිටි ඔහු සෙමෙන් වටපිට බැලුවේය. මුලු ගතින්ම නැගෙන දැඩි වේදනාව මෙන්ම සිතේ ඇති භීතියද ඔහුගේ මනස සම්පූර්ණයෙන්ම අවුල් කර තිබුණි. සඳ එලියට ලාවට මෙන් මදක් ඔබ්බෙන් වූ අඩිපාරක් ඔහුගේ නෙත ගැටුණු අතර ඉතා අපහසුවෙන් ඔහු ඒ දෙසට බඩගාගෙන යන්නට විය.

“නුවන් අයියේ…”

නැවතත් සඳසාවිගෙ කටහඬ තම පිටුපසින් ඇසෙන විට ගත කිලිපොලා ගිය ඔහු ඒ දෙස නොබලාම ඉදිරියට බඩගාන්නට විය.

“මාව දාලා යන්නෙපා අයියේ…”

“මට පාඩුවෙ ඉන්න දියන් යකෝ… පලයන් මට කරදර නොකර යක්ශණී…!!” යි කෑගැසූ ඔහු තම උපරිම ශක්තිය යොදවා පසුපස නොබලාම ඉදිරියට ඇදෙන්නට විය.

“නුවන් අයියේ මං එන්නම් ඔයා ලඟට එහෙනම්…”

එය ඇසුණේ ඔහුගේ ඉදිරියෙනි. ඒ දෙසට දෙනෙත් යොමු කල ඔහු භීතියෙන් කෑගැසුවේය.

“ආ…හ්..!! එපා මගෙ ළඟට එන්නෙපා…!”

“නුවන් අයියේ…”

ගොරහැඬි කටහඬකින් ඔහුව ඇමතූ ඇගේ ශරීරය බැලීමට පවා පිළිකුල් සහගතය. කුණුවී ඕජස් ගලමින් තිබූ ශරීරය කලු පැහැ ගැන්වී මස් වැදලි ගැලවී යමින් තිබිණි. කොණ්ඩය තැනින් තැන ගැලවී එය මුහුණ පුරාවට මෙන්ම පිට පුරාවටද වැටී ඇත. මස් කැබලි ගැලවී ගිය මුහුණේ ගලාගිය ලේ කලුපැහැ ගැන්වී රත්පැහැ ගත් සඳ එලියට දිලිසෙන දෑස් වලින්ද මුහුණේ වූ පෙණුම ඉතාමත්ම භයංකර විය. බඩගාමින්ම ඔහු ලඟට පැමිනෙන ඒ භයංකර රුව දුටු නුවන්ට තමන්ව සිහිය නොමැතිව නොවැටෙන්නේ ඇයිද කියා සිතුණේ ඔහුගේ සිත මෙන්ම ගතද බියෙන් වෙවුලන්නට ගත් නිසාය. ආපසු හැරුණු ඔහු නැවතත් නිවස දෙසට බඩගාන්නට නොව එක පාදයකුත් ඇදගෙන දිව යන්නට විය. නමුත් ඇයද වේගයෙන් ඔහු දෙසට බඩගාගෙනම එන්නට විය. තමන්ට හැකි උපරිම වේගයෙන් ගිය නුවන් පාළු අඳුරු නිවසට ඇතුල් වී එහි ඔහුට හුරු පුරුදු කාමරයකට රිංගා ගත්තේය. කාමරයේ මුල්ලකට ගිය ඔහු එතැන වකුටුවී බියෙන් වෙවුලමින් සිටියේ ඇය තමාව සොයාගනියිද කියන සිතිවිල්ලෙනි. නමුත් නැවතත් කිසිදු ශබ්දයක් නොමැති හෙයින් ඔහු තම මුව අතකින් වසා ගත්තේ හුස්ම හඬත් ඇසේ යැයි බියෙනි.

“නුවන් අයියේ…”

එක්වරම ඒ හඬ ඇසුණේ ඔහුගේ පිටුපසිනි. හැරී බලන්නත් ප්‍රථම පිටුපස පස බිත්තියෙන් පැමිණි දෑතක් ඔහුගේ ගෙලෙන් අල්ලාගෙන බිත්තියද කඩාගෙන පසුපසට ඇද ගත්තේ ඔහුගේ භීතියට පත් කෑගැසීම මැද්දේය.

“එපා….!!!”

ඔහුව ඇද වැටුණේ එහා පස කාමරයටය. මුලු ගතම වේදනාවෙන් රිදුම් දෙද්දී ඔහු කෑගැසුවේ උදව් ඉල්ලමිනි. නමුත් ඒ අඳුරු කාමරයෙන් පිටතට ඔහුගේ හඬ පිට නොවීය.

“හඃ හඃ හඃ හහා හා…!! මතකද නුවන් උඹට මේ කාමරේ..? උඹේ ඔය ඇස් දෙක ඇරලා හොඳට බලපන්… මතකද මේ බිත්ති හතර මැද්දෙ උඹලා මගෙ ජීවිතේ විනාශ කලා…? මාරුවෙන් මාරුවට මාව දූශණය කරලා මට වස පොවලා මරලා දැම්මා… උඹලට කිසිම වරදක් නොකරපු මට දරාගන්න බැරි දස වද දීලා මරලා දැම්මා මතකද..? මතකද උඹ මාව දූශණ‍ය කරද්දි මට දීපු වද…?? මට කියපු කතා..?? මතකද වතුර පොදක් ඉල්ලපු මට වස පොවලා උඹලා මං මැරෙනවා බලාගෙන හිනාවුණා…??? මතකද යකෝ මතකද…????” වියරුවෙන් කෑගැසූ සඳසාවි, නුවන්ව ඔසවා බිත්තිය දෙසට වේගයෙන් දමා ගැසුවාය. වැදුණු වේගයට ඔහුගේ හිස පැලී ලේ ගලායන්නට වූයේ පොලොව තෙත් කරමිනි.

“අ..අ..අ..න්..නේ… ම්..ම…ට… ය..න්..න… ද්..දෙ..න්..න…”

තම වෙවුලන දෑත් අමාරුවෙන් එක් කරමින් ඇයට වඳිමින් කෙඳිරි ගෑ නුවන් සෙමෙන් දොර දෙසට බඩගාන්නට විය.

“හඃ හඃ හා… යන්න දෙන්න…?? එදා මමත් උඹගෙන් එහෙම ඉල්ලුවා මතකද… එතකොට උඹ කලේ මට තවත් වද දීපු එක… උඹට මගෙන් ගැලවීමක් නෑ…”

ඔහුව නැවතත් ඉහළට එසවූ ඇය ඔහුගේ පුරුශ ලිඟුව අල්ලා එතැනින් කඩා අතට ගත්තේ ඔහුගේ දැඩි වේදනාත්මක විලාපය මැද්දේ වියරු ලෙස සිණාසෙමිනි. ඉන්පසු එය ඔහුගේ මුව තුලට යැවූ ඇය ඔහුගේ පාදයකින් ඇදගෙන විත් නිවසින් පිටතට විසි කලාය.

“හ්….ග්”

වීසිවී ගොස් බිමට වැටුණු නුවන් සිටියේ සිහි මද ගතියෙනි. එතරම්ම වේදනාව නිසා ඔහු විඳෙව්වේය. අවසන් වතාවට ඔහු දුටුවේ අතීතයේ සිටි සඳසාවි, තමන් අතින් දූශණය වී මරාදැමුණු ඇය තමන් දෙස බලා සිටිමින් සිනාසෙන බවය. නමුත් එයටත් වඩා සිතට භීතියක් එක් කලේ ඔහුගේ දෑස් මානයට පැමිණි විශාල නාගයෙකි. නාගයාගෙ දෂ්ඨ කිරීම් හමුවේ ඔහුගේ අවසන් හුස්ම වා තලයට එක්වන විට ඒ දෙස බලමින් සැනසුම් සුසුමක් හෙලූ අයෙකු එතැනින් ඉවත්වී ගියේ සැනසීමෙන් සිනාසෙන සඳසාවිගේ ආත්මය දෙස බලා ඇය සමඟ සිණාසෙමිනි.

**********************************************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.