Katha Ahura

දෝණී | 23 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#23 කොටස

“ආරච්චිකට්ටුව භීශණය…”

උදේ කෑම කද්දි තාත්තා පත්තරේ දිහා බලාගෙන ටිකක් සද්දෙට කිව්වා. අපි එයා දිහා බැලුවෙ මොකක්ද මේ කියන්න හදන්නෙ කියලා.

“ඒ මොකක්ද තාත්ති…?” නංගි ඇහුවෙ කටත් ඇරගෙන.

“නෑ සුදූ මේ වෙද්දි ආරච්චිකට්ටුවෙ අහිංසක කොල්ලො තුන් දෙනෙක්ම මරලා දාලා… මරපු කෙනෙක් හොයාගන්නත් නෑ… මහ දරුණු විදිහට වද දීලලු මරලා දාලා තියෙන්නෙ… ගොඩක් මිනිස්සුන්ට මිනිය දිහා බලන්නත් බයයිලු ඒ තරම්ම බය හිතෙනවලු මරලා දාලා තියෙන විදිහ…”

“මොකක් හරි තරහකට කරපු පලිගැනීමක්ද දන්නෙ නෑනෙ… මොකද ඉතින් අද කාලෙ ඕවමනෙ වෙන්නෙ.. තව කෙනෙක්ගෙ ඇඟේ හැප්පුනත් හැප්පිච්ච කෙනාව මරලා දාන ලෝකෙ ඕකත් ඒ විදිහෙම එකක් වෙන්නැති.. අනික ඒ තුන් දෙනාම යාලුවොලු නේද..?” අම්මා මගෙ පිඟානට තව ඉඳි ආප්ප ටිකක් දාන ගමන් කිව්වා. පළිගැනීම කියන වචනෙ ඇහුණම මගෙ හිත ඇතුලෙන් මොකක්දෝ අමුතු හැඟීමක්, අමුතු සතුටක් ඇති වෙනවා කියලා මට දැනුණා. ඒත් ඒ ඇයි කියන්න මට හිතාගන්න බැරි උනා.

“එහෙමත් වෙන්න පුලුවන්… අද රටේ වෙන දේවල් දිහා බලද්දි මේ ළමයිනුත් ඔය කුඩු කේස් එකකටවත් පැටලුනාද දන්නෙ නෑනෙ… මං මේ අපේ කෙනාටත් කියන්නෙ ඒකයි කිසිම දේකට පැටලෙන්න එපා කියලා… පේනවනෙ තත්ත්වෙ…?” තාත්තා මගෙ දිහා බලාගෙන ඇහුවෙ.

“අපෝ මොකක් හරි මෙයාගෙ ඇඟේ පැටළුනත් මෙයා මොකකවත් පැටලෙන්නෑ තාත්ති…” නංගි මට දිව දික් කරන ගමන් කිව්වා.

“පල ඊරි යන්න බයගුල්ලි…”

“මේ එන්න එපා හරිද මට බයගුල්ලි කියාගෙන..? මං බය නෑ…

“හා හා දෙන්නම ඔය රණ්ඩු වෙන එක නවත්තලා කෑම කන්නයි කිව්වෙ… පටන් ගන්නවා උදෙන්ම.. තාම හැසිරෙන්නෙ පොඩි එවුන් වගේනෙ…” අම්මා සැර කලා.

“ඉතින් මං පොඩියිනෙ අම්මි තාම… මේ වැද්දා තමා නාකියා…”

“චූටි දූ..!!” තාත්තා සැර කරද්දි නංගිට විරිත්තපු මං එයාගෙ ඔලුවට අතේ තිබ්බ කූල් වතුර එක හලලා හිනාවෙවී එතනින් දිව්වෙ එයා කෑගහගෙන පුටුවත් පෙරලගෙන නැගිටිද්දි.

“අනේ අම්මා…!!!”

“හූ..හූ….!”

කාලය ඔය විදිහට නෝමල් එකේ ගෙවිලා යද්දි පහන්දි ලංකාවට එන දවසත් ලං උනා. ඒ වගේම අපේ ගෙදරත් ටිකක් කලබලයි හැමෝම කාර්‍යබහුලයි. ඇයි ඉතින් අපේ එන්ගේජ්මන්ට් එකට හැමෝම ලෑස්ති වෙනවනෙ. එයාගෙ අම්මයි තාත්තයි නෑයො, යාලුවො මේ ගොඩක් අය එයා එන්න කලින් දවසෙ අපේ ගෙද‍රට ඇවිත් හිටියා. මොකද එයා ඇවිත් දවස් දෙකෙන් අපේ එන්ගේජ්මන්ට් එක ගන්න නිසා හැමෝම එක ගෙදරක ඉඳන් ඒකට ලෑස්ති වෙමු කියලයි අපි කලින් කතා වෙලා තිබුණෙ. මේ දවස් ටිකට මට සඳසාවිව අමතක වෙලයි තිබුණෙ. ඒ වගේම කාටවත්ම කිසිම කරදරයක් උනෙත් නෑ. ඒත් මං කෝකටත් ලෑස්ති වෙලයි හිටියෙ මොකද ලොකු කුණාටුවකට කලින් මුහුද උනත් හරිම නිහඬයි. මේ ටිකේම මං අපේ ගෙදර සද්දෙන් පිරිත් දාලා තිබුණෙ. මුලින් මුලින් තාත්තා ඒකට උදැල්ල දැම්මත් පස්සෙ එයා ඒකට ආස උනේ එයාගෙ හිතත් ඒකෙන් ටිකක් සැහැල්ලු වෙනවා කියපු නිසා. ඒත් උඩින් කොහොම වෙතත් මගෙ යටි හිතේ අමුතුම බයක් තිබුණා. හැමදේම මෙහෙම ලස්සනට ලෑස්ති උනත් අන්තිම මොහොතේ මොකක් හරි නපුරක් වෙන්න ඉඩ තියෙනවා.

පහන්දිගෙ ෆලයිට් එක කටුනායක එයාපෝට් එකට ගොඩ බාද්දි පාන්දර තුනයි කාලට විතර ඇති. එයාව ගන්න ගියේ මමයි නංගියි විතරයි. අම්මලා තාත්තලා එන්න හැදුවත් මං එයාලව නැවැත්තුවෙ මේ පාන්දර සීතලේ එයාලව එක්කගෙන ගිහින් අසනීපයක්වත් හැදුණොත් හොඳ නැති නිසා. අකමැත්තෙන් උනත් එයාලා ගෙදර ඉද්දි නංගියි මායි එයාපෝට් එකට ඇවිත් ඒකෙ ඉන්න මගෙ යාලුවොත් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියා. ඒ ටිකට මං දැක්කා නංගිට එකෙක් බැල්ම දානවා. නංගි නම් ගාණක්වත් නැතුව මගෙ අත අල්ලගෙන හිටියෙ තාත්තා කෙනෙක් එක්ක ඉන්න චූටි එකියෙක් වගේ.

“අන්න අයියෙ අපේ ප්‍රින්සස් එනෝ…”

එහෙම කියලා නංගි අත දික් කරලා පෙන්නුවෙ මිනිස්සු අතරින් මේ ලෝකෙ තියෙන ලස්සනම හිනාව එක්ක අපි දිහාවට ඇවිදගෙන එන පහන්දිව. සැහැල්ලු ඩෙනිම් ශෝටකුත් ඇඳගෙන ටී ශර්ට් එකත් උඩින් දාලා හාෆ් ෂූස් දෙකකුත් දාගෙන කරේ බෑග් එකකුයි, බිම දිගේ ලගේජ් බෑග් එකකුයි ඇදගෙනෙන එයා දිහා හැමෝගෙම ඇස් තිබ්බා කියලා මට තේරුණා. ඇයි ඉතින් අපේ රටේ ගොඩක් ඈයොන්ට ඕක හරිම අමුතු දෙයක්නෙ.

“හැමෝම බලන්නෙ අක්කි දිහා නේද අයියෙ..? ඔයාට එයාව ගොඩාක් පරිස්සම් කරගන්න වෙයි වගේ…” නංගි එහෙම කියද්දි හිතට පුංච් ආඩම්බරයක් දැනුණත් මං මොකුත් නොකියා හිටියෙ පහන්දි මගෙ ලඟට එනකල්.

“සුදු මාතියා…”

මගෙ ලඟට ආපු පහන්දි මගෙ අත් දෙකෙන් අල්ලන් දෙමළ තාලෙට එහෙම කියද්දි ඒක අහන් හිටපු නංගිට හිණා ගියා.

“හෙලෝ වෙන්ඩ වයිපරේ…” එයාව ලඟට අරන් පපුවට තුරුල් කරගත්තු මං ඒ නළල කිස් කලේ ලොකු ආදරේකින්.

“මිස් යූ සෝ මච් පොටෑටෝ…” එයා ඇස් වල කඳුලු පුරවන් මගෙ දිහා ඔලුව උස්සලා බලමින් කිව්වා.

“මී ටූ කියුට්නස්…” මං එයාව තවත් තදින් බදාගෙන කිව්වා.

“මේ මාත් ඉන්නෝ…” ටික වෙලාවක් එහෙම එකිනෙකාට තුරුල් වෙලා හිටපු අපි දෙන්නා ඈත් උනේ නංගිගෙ හඬින්.

“අනේ මගෙ නංගි පැටියා…” පහන්දි නංගිවත් බදාගෙන කිස් කලා.

“යමු යමු අයියෙ අක්කිට මහන්සි ඇතිනෙ.. යන ගමන් කයිය ගහන්න පුලුවන්නෙ අපිට… යමු සුදු අක්කියො…” පහන්දි අතේ තිබ්බ එක බෑග් එකක් නංගිගෙ අතට ගන්න ගමන් එයා කිව්වා. මං අනිත් බෑග් එක අතට අරන් එයාගෙ ඉණ වටේට අතකුත් දාගෙන වාහනේ ලඟට ආවා.

විනාඩි හතඛක් විතර යද්දි ගමට ලංවෙන්න අපිට පුලුවන් උනා. එන ගමන් කෙල්ලො දෙන්නගෙ කච කචේ නිසා මට නින්ද යන්නැතුව වාහනේ අරන් එන්න පුලුවන් උනා. අම්මපා රෑට වාහන එලවන හැම ඩ්‍රයිවර් කෙනෙක්ටම මේ වගේ ඩබලක් දුන්න නම් නින්ද යන එකක් නෑ. ඇයි ඉතින් එච්චරටම කියෝන එකනෙ කරන්නෙ.

“අහස් ඔන්න බලාගෙන…!!!”

පිටිපස්සෙ සීට් එකේ හිටපු පහන්දි කෑගැහුවා. පුලුවන් තරම් වේගෙන් බ්‍රේක් එක ලෑල්ලටම පාගපු මං කාර් එක නවත්තගත්තෙ අපිට ඉස්සරහින් වැටුණ ලොකු පොල් ගහෙන් බේරෙන්න. උනේ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව අපි තුන් දෙනාම විනාඩියක් විතර තදින් හුස්ම ගන්න ගමන් එහෙම්ම හිටියා.

“අනේ ඒ මොකද උනේ අයියෙ…?”

බයවෙච්ච නංගිගෙ මූණ මාව අතීතෙට අරන් ගියත් කිසිම දෙයක් නොකියපු මං දොර ඇරන් එලියට බැස්සෙ මොකද උනේ බලන්න. කාර් එකත් පොල් ගහත් අතර තිබ්බෙ අඟල් තුන හතරක පරතරයක්. ගහක් මෙහෙම ලේසියෙන් කඩන් වැටෙන්න බෑ. ඇතුල් පාරක් නිසා මේ පාරෙ වැඩිය ලයිට් තිබ්බෙ නෑ. ඒ නිසාම මං ෆෝන් එකේ ටෝච් එක ගහලා බැලුවෙ ගහ කවුරුහරි කපලවත්ද කියලා. ඒත් ගහ මුලින්ම උදුරලා ගිහින් තිබුණා. ඒත් ලොකු හුලඟක් අහලකවත් නෑනෙ.

“අහස්…” පහන්දි වීදුරුවක් ඇරලා කතා කලා. “මේ නංගිත් බයවෙලා අනේ මේකෙන් බැරිනම් වෙන පාරකින් හරි යමුකො මහත්තයො…”

“නෑ මං මේ බැලුවෙ මොකද වෙලා තියෙන්නෙ කියලා.. ඒකට කමක් නෑ අපි යමුකො…” එහෙම කියලා මං කාර් එක පැත්තට හැරුණා විතරයි.

“අහස්..!!” කියලා කෑගහපු පහන්දි දොරත් ඇරගෙන මගෙ දිහාවට දුවන් ආවෙ මං බයවෙලා බලන් ඉද්දිමයි. මාව පස්සට දාපු එයා මගෙ ඉස්සරහට ආවෙ ගහ වැටුණු පැත්තට හැරිලා. ඒ පැත්ත හැරුණු ගමන් මං දැකපු දෙයින් මගෙ ඇඟ සීතල වෙලා ගියා.

“උඹ එහෙනම් ආවා බැල්ලී…!” දත්මිටි කමින් පොලොවට අඩි හතරක් විතර උඩින් අහසෙ පාවෙමින් අපි දිහා ලොකු වෛරෙකින් බලාගෙන හිටියෙ වෙන කවුරුත් නෙමෙයි සඳසාවි. “මං මෙයාට උඹව ගෙන්නන්න එපා කියද්දිත් මෙයා උඹව ගෙන්නුවා… හඃ හඃ හඃ හහා…!!! උඹ ආවෙ උඹේ මරණෙ හොයාගෙන කියලා උඹ දන්නෙ නෑ… මං උඹව අද මෙයා ඉස්සරහම මරලා ලේ බොනවා…”

බලන්න බැරි තරම් වියරු වැටිලා හිටපු සඳසාවි අත් දෙකත් දෙපැත්තට දික් කරන ගමන් හයියෙන් කෑගැහුවා. පිටිපස්සෙන් ආපු නංගි මාව හයියෙන් බදාගද්දි පහන්දි මාව අතෑරලා ටිකක් ඉස්සරහට ගියේ මං එයාව අල්ලගත්තු අතත් වේගෙන් ගසලා දාලා.

“මාව මරන්න ඔයා කවුද…? අනික මොකක්ද මාව මරන්න ඔයාට තියෙන අයිතිය..?? මං ඔයාට කිසිම වරදක් කරලා නෑ… අනික කවුද ඔයා ඔය කියන මෙයා කියන්නෙ..?” පහන්දි කිසිම බයක් නැතුව සඳසාවි ඉස්සරහට ගිහින් එහෙම අහද්දි මට එයා ගැන ඇතිවුණේ ලොකු පුදුමයක්.

“උඹේ මරණෙ මගේ අතේ තියෙන්නෙ බැල්ලියේ… උඹ ඔය අයිති කරන් ඉන්නෙ මගෙ කොල්ලව.. මං උඹටත් වඩා මහ ගොඩාක් ආදරේ කරපු මගෙ තාත්තිව… එයාගෙන් අහපන් මං කවුද කියලා… අහපා…න්..!!!” සඳසාවි මහ හයියෙන් කෑගැහුවෙ ලොකු තරහකින් පහන්දි දිහා බලාගෙන. ඒත් පහන්දි කලේ තව අඩියක් ඉස්සරහට තියපු එක.

“පහන්දි…”

“අ..නේ.. අ..ක්..කී…”

මායි නංගියි දෙන්නම එයාට කතා කලත් එයා අපිට ඇහුම්කන් දුන්නෙ නෑ. එයයි සඳසාවියි අතරෙ අඩි තුනක විතර පරතරයක් තියෙද්දි එයා නැවතුණා.

“ආ එතකොට ඔයාද එයා කලින් හුඟක් ආදරේ කරපු දෝණි කියන්නෙ..? මට ඔයා ගැන එයා කලින් කියලා තිබුණා… ඒත් මට සමාවෙන්න දෝණි දැන් එයාව ඔයාට අයිති නෑ… එයාව අයිති මට විතරයි… තේරුණාද…??” පහන්දි පුදුම තරම් සාමාන්‍ය විදිහට කතා කලේ හරියට එයා සාමාන්‍ය කෙනෙකුට කතා කරනවා වගේ. ඒත් එයා කියපු දෙයින් හුඟක් තරහා ගිය සඳසාවි ආයෙමත් කෑගැහද්දි වටේ පිටේ තියෙන ගස්වැල් පවා ඇඹරුණේ ලොකු හුළඟක් එක්කම.

“නෑ නෑ එයා මගේ විතරයි… උබ කවුද යකෝ මගෙන් එයාව උදුරගන්න…? එයාව මගෙන් ඈත් කරන්න හදපු එකෙක්වත් බේරුණේ නෑ… අද උඹවත් මං ඉවරයක් කරලා දානවා බැල්ලියේ… හඃ හඃ හඃ හා…!!!”

එහෙම කියපු සඳසාවි මහ හයියෙන් හිනාවෙලා පහන්දි දිහාවට පාත් වෙද්දි මායි නංගියි කෑගැහුවත් ඊලඟට ආයෙ පුදුම උනේ එයාව ඈතට විසි වෙනවා දැක්කම. එයාට පහන්දිව අල්ලන්න බැරි උනා විතරක් නෙමෙයි එයාගෙ ලඟටවත් එන්න බැරි උනා. කොච්චර උත්සාහ කලත් තමන්ගෙ අරමුණ ඉශ්ට කරගන්න බැරිවුණු සඳසාවි වියරු වැටිලා කෑගැහුවා.

“මට උඹව අල්ලන්න බෑ… ඇයි මෙහෙම වෙන්නේ…?? මට උඹේ ලඟටවත් එන්න බෑ… මාව පිච්චෙනවා එතකොට… ඇයි මෙහෙම වෙන්නේ කියපන් කියපන් කියපාන්…!!”

“මොකද ඔයාට කිසිම වරදක් නොකරපු මට හානියක් කරන්න දෙවියො ඉඩ තියන්නෙ නෑ නංගී… ධර්මය ආරක්ශා කරන අයව ධර්ම‍ය විසින්ම රකිනවා… සොබාදහමෙන් උනත් ඒකෙන් ඉඩක් දෙන්නෙ නෑ ඔයාට… ඔයාගෙ වෛරය ඔයාට අසාධාරණයක් කරපු අය එක්කම තියාගන්න… මං ඉන්නකල් ඔයාට බෑ මගේ අහස්ට කරදර කරන්න…”

“හඃ හඃ හඃ හහා හා…!! උඹ ජීවත් වෙලා ඉන්නකල්… හඃ හඃ හා… මං ආයෙමත් එනවා මතක තියාගනින්… එදාට තමයි උඹ මේ ලෝකෙ දකින අන්තිම දවස…”

පහන්දිගෙ කතාවෙන් ටිකක් කන්ට්‍රෝල් උන බවක් පේන්න තිබ්බත් ආයෙමත් එහෙම කියපු සඳසාවි අතුරුදහන් උනේ අඳුරත් එක්කම. එයා ගිය ගමන් මගෙ ලඟට පැනපු පහන්දි මාව බදාගෙන අඬන්න ගත්තා. මෙච්චර වෙලාම බය නැතුව හොල්මනක් එක්ක කතා කරපු කෙල්ල අඬද්දි මට දැනුණෙ පුදුමයක්.

“ඇයි සුදු මැනික මේ…? ඇයි මේ ඔයා අඬන්නෙ…??”

“අනේ අහස්… ආයෙනම් ඒ වගේ මෝඩ වැඩක් කරන්න හැදුවොත් මට ගහලා හරි මාව පැත්තකට අරන් යන්න ප්ලීස්… මට බයයි…”

“මොකක්…???”

“අනේ කිසිම දෙයක් කියන්නෙපා… මට හැමදේම පස්සෙ කියන්න අහස් මොකුත් හංගන්නෙපා… මේ වෙන දේවල් මම දන්නෙ නෑ… අනේ මාව ගෙදර එක්කන් යන්නකෝ…”

“අනේ ඔව් අයියෙ අපි යමුකො ඉක්මණින් ප්ලීස්…”

පහන්දිගෙ කතාවෙන් ටිකක් අවුල් උනත් කෙල්ලො දෙන්නව දාගත්තු මම වේගෙන් ගෙදර යන්න පිටත් උනා. ගෙදරට ආවට පස්සෙ හැමෝම එක්ක සතුඉන් කතා බහ කරලා හිටියත් මගෙ හිත තිබ්බෙ වෙන කොහෙදෝ දිහාවක.
*******************************************************************

“ඇයි දෙයියනේ මේ කිසිම දෙයක් මට කිව්වෙ නැත්තෙ..? මගෙන් මොකුත් හංගන්නෙ නෑ කියලත් ඇයි ඔයා මේ දේවල් මගෙන් හැංගුවෙ…”

එදා හවස බීච් එකේ මට තුරුල් වෙලා හිටපු පහන්දි මගෙන් ඇහුවෙ ඇස් වල කඳුලු පුරෝගෙන. ඒ එයාට මං සඳසාවිගෙ කරදර වගේම වෙච්ච හැමදේම කිව්වට පස්සෙ.

“මං මොනවා කරන්නද පහන්දි… අපි හැමෝම හිටියෙ ගෙදරත් එපා වෙලා.. මානසිකව වැටිලා.. අපි නිසා ජීවිත දෙකක් නිරපරාදෙ නැති උනා.. යාලුවෙක්ට කරදර උනා.. නංගිට කරදර උනා… කොහොමද මේවා කටක් ඇරලා ඔයාට කියන්නෙ..? කිව්වනම් ඔයා දුවගෙන එන්නෙ මීට කලින්නෙ…”

“හරි දෙයියනේ ඉතින් ඔහොම අප්සට් ගහන්නෙපා… මේ අහන්නකො මහත්තයො.. අපේ එන්ගේජ්මන්ට් එකත් අනිද්දනෙ… අපි ඒකත් ඉවර වෙලාම මේකට විසඳුමක් හොයමුකො ම්ම්… තේරුණාද මගෙ මහත්තයට…? ඔයාට මං ඉන්නවනෙ දැන්…” එයා මගෙ ඔලුව අරන් එයාගෙ පපුවට තුරුල් කරගන්න ගමන් කිව්වා. මෙච්චර දවසක් හිතේ තිබ්බ හැම කරදරයක්ම ඉවර උනා වගේ දැනුනෙ එයා එක්ක මේ විදිහට ආදරෙන් ඉන්නකොට.

“ඔයා යන්න තව මාසයක්ම තියෙනවනෙ… මේ කරදර ටිකක් අඩු උනාම අපි පොඩි ටුවර් එකකුත් යමු ගෙදර අය එක්කම…” මං කිව්වෙ එයාගෙ තුරුලෙ ඉඳන්ම.

“යමු යමු එකෙන්ම… ලොකු ට්‍රිප් එකක් යන්න ඕනෙ ඇත්තටම… ඔයාගෙ මේ ඔලු ගෙඩියත් ටිකක් සැහැල්ලු වෙන්නත් එක්ක…”

“හ්ම්ම්ම් ඒකනම් ඇත්ත…”

“ඒක නෙමෙයි… ඔයා ගැන හැමෝම අහනවා බබා…..”

ඔය විදිහට පැය තුනක් විතර බීච් එකේ හිටපු අපි එතනින් ආවෙ අම්මා කතා කරලා ගෙදර එන්න කියපු නිසා. මං පහන්දිවත් දාගෙන ඉක්මණට ගෙදර ගියේ අම්මගෙ කටහඬේ මොකක් හරි අවුලක් තිබුණා කියලා මට දැනුණ නිසයි. හිතුවා හරි කියලා හිතුණෙ ගෙදර හැමෝමයි නෑයොයි එකට එකතු වෙලා කලබලෙන් වගේ හිටපු නිසා. මං බයික් එකෙන් බැහැපු ගමන් අම්මා මගෙ ලඟට දුවගෙන ආවෙ කලබලෙන්.

“පුතේ…” එයාගෙ කටහඬ වෙවුලනවා.

“ඇයි අම්මේ මොකද මේ…??”

*********************************************************************

අහස් + පහන්දි දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුවේද..???
සඳසාවි මින් ඉදිරියට කුමක් කරයිද..???
මීලඟ දඩයම කවුරුන් විය හැකිද..???
ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.