Katha Ahura

දෝණී | 24 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#24 කොටස

“ගේ..ගේ ඇතුලෙ…”

අම්මා ගොතගැහුවෙ ලොකු බයක් ඇස් දෙකේ තියාගෙන කියලා මට තේරුණා. ඒ වගේම එතන හිටපු ගොඩක් අයගෙ ඇස් වල බයක් තියෙනවා කියලා මට තේරුණා. එය ගේ ඇතුලෙ කියපු ගමන් මමයි පහන්දියි ඇතුලට දීව්වෙ මොකද මේ වෙලා තියෙන්නෙ කියලා බලන්න.

“ඕහ් ජීසස්..!!”

ගේ ඇතුලෙ ලේ විලක් මැද වැටිලා හිටියෙ පහන්දිගෙ හුරතලා වෙච්ච ෂැඩෝ කියන බලු පැටියා.

“”ෂැඩෝ….!!! අනේ අම්මේ…..”

හයියෙන් කෑගහපු පහන්දි වැටිලා හිටපු බලු පැටියා ලඟට ගිහින් ඌව බදාගත්තෙ හයියෙන් අඬ අඬා. මං එයා ලඟට ගිහින් එයාව හයියෙන් තුරුල් කරගත්තා.

“අනේ ඇයි අම්මෙ මෙහෙම දෙයක් උනේ…? අනේ ඇයි මගෙ ෂැඩෝට මෙහෙම දෙයක් කලේ..? කවුද මෙහෙම කලේ අනේ…..”

ලේ වලින් නෑවිලා හිටපු බලු පැටියව තුරුල් කරන් පහන්දි ඇඬුවෙ පොඩි එකෙක් වගේ. එයාගෙ ඇඟෙත් ලේ ගෑවුණා ගොඩක්. හැමෝම ඇවිත් අපි දෙන්නව වට කරන් බලන් හිටියෙ.

“ඇයි ඔයාලා උත්තර නොදෙන්නෙ අපිට..? කවුද මෙහෙඅ දෙයක් කලේ ආ..???” මං හයියෙන් කෑගහලා අහද්දි අම්මයි නංගියි පහන්දිගෙ අම්මයි අපි ලඟට ආවා.

“දන්නෙ නෑ පුතේ… අපි හැමෝම මෙතෙන්ට ආවෙ කුක්කා හයියෙන් කෑගහනවා ඇහිලා… ඒ එද්දි…” පහන්දිගේ අම්මත් අඬන්න ගත්තා.

“එ..එයා අපි එද්දිත් මෙතන ලේ පෙරාගෙන වැටිලා හිටියෙ අයියෙ…” නංගි පැත්තෙන් ඇවිත් පහන්දිගෙ ඔලුව අතගාන ගමන් කිව්වෙ ඇස් වල කඳුලු පුරෝගෙන.

“අ..අ..නේ… ම..ගෙ..”

“පහන්දී…!”

බල්ලව තුරුල් කරන් හිටපු පහන්දි සිහිය නැතුව මගෙ උරහිසට බරවුණේ එකපාරටම. මං එයාව අත් දෙකට අරන් වඩාගෙන එතන තිබ්බ සෝෆා එකෙන් තියලා කෑගැහුවෙ වතුර අරන් එන්න කියලා. එයාලගෙ නැන්දා කෙනෙක් දුවලා ගිහින් වතුර එකක් ගෙනල්ලා පහන්දිගෙ මූණට ඉස්සත් එයාට සිහිය ආවෙ නෑ. මං කලේ නැන්දගෙ අතින් වතුර එක උදුරගෙන පහන්දිගෙ මූණට හලපු එක.

“සුදු මැණිකෙ…”

ටිකක් වෙලා යද්දි එයා හෙමීට ඇස් දෙක ඇරියා. ඒ අරිද්දිත් මූණෙ තියෙන වතුර අතරින් එයාගෙ කඳුලු ගලාගෙන ගියා.

“අ..නේ… ම..හ..ත්..ත..යෝ… අ..පේ.. අහිංසකයා….”

එහෙම කියපු එයා මගෙ පපුවට තුරුල් වෙලා හයියෙන් අඬද්දි මගෙ ඇස් වලිනුත් කදුලු ගලන් ගියේ එ‍යාගෙ කඳුලු දැකලා විතරක් නෙමෙයි, ෂැඩෝ කියන්නෙ මං එයාට දුන්නු පළවෙනිම ගිෆ්ට් එක නිසා. ඌව පහන්දි හරිම ආදරෙන් බලාගත්තෙ ඒ අපේ ආදරේ සළකුණක් හින්දා. එයා ලංකාවෙ හිටපු නැති උනත් ෂැඩෝ ගැන හැමදාම හොයලා බැලුවෙ ඒකමයි.

“එයා දැන් හොඳ තැනක ඇති මගෙ මැණිකෙ අඬන්නැතුව ඉන්නකෝ… ප්ලීස් ප්ලීස් මගෙ පැටියා අඬන්නැතුව ඉන්නකෝ ඉතින් මං ඉන්නවනෙ ඔයාට…” මං එයාව තදින්ම තුරුල් කරන් කිව්වා. ඒත් එයාගෙ කඳුලු නවත්තන්න හරිම අමාරු උනා. හැමෝම එයාගෙ හිත හදන්න උත්සාහ කලත් කාටවත්ම ඒක කරන්න බැරිවුණා. මගෙ තුරුලටම වෙලා අඬ අඬ හිටපු එයාට එහෙම්ම නින්ද ගිහින් තිබුණෙ මගෙ හිතට පුංචි සැනසීමක් දැනෙද්දි.

“මෙච්චර ගොඩක් හිටපු ගෙදර මේ දේ කොහොම උනාද කියලා හිතාගන්න බෑනෙ ඇත්තටම.. අපිත් එක්ක හුරතල් වෙවී හිටපු කුක්කනෙ…”

“ඒක තමයි අක්කෙ… මගෙ කකුලෙ දැවටි දැවටි ඉඳලා ගියේ එවෙලෙ… ගිහින් විනාඩියක්වත් නෑ ඌ කෑගහන්න ගත්තා හරියට කවුරුහරි ගැහුවා වගේ… මං හිතුවෙ කාගෙහරි කකුලක්වත් වැදුණද දන්නෑ කියලා… ඒකයි දුවලා ගිහින් බැලුවෙ… පව් අහිංසකයා…”

“ඔව් අනේ කාටවත් කරදරයක් නෑ… හරියට පොඩි දරුවෙක් වගේ හැදුණෙ…”

එතන හිටපු හැමෝම ෂැඩෝ ගැන ඒ විදිහට කතාවෙන්න ගද්දි මගෙ හිත ඇදිලා ගියේ ඌව මුලින්ම පහන්දිට දීපු ඒ අතීතෙට.

“මට ඔයාට කියන්න දෙයක් තියෙනවා පහන්දි…” එදා හවස අපි මීට් උනේ මං එයාට හදිසියෙම එන්න කියපු නිසා.

“අනේ මේ මූණෙ හැටි මොකද අහස්.. ඇ..ඇයි ඔයාට මොකුත් ප්‍රශ්නයක්ද…?” මගෙ මූණ දිහා බලපු එයා ටිකක් අප්සට් එකෙන් ඇහුවා.

“හ්ම්ම්ම් ඔව්.. එයාට තවත් වෙලා එතන ඉන්න බැරි වෙයි…එහෙම වෙනවට එයා ආස නෑ…”

“එ..එයා කිව්වෙ..?” මං බලන් ඳ්දිම එයාගෙ මූණ වෙනස් උනා. හරි ඔය තියෙන්නෙ ගාණට.

“මේක මං ඔයාට ටික දවසක ඉඳලා කියන්න හිටියෙ ඒත්…”

“කියන්න අහස් කියන්න මොකක්ද මට ඔයා මේ කියන්න හදන්නෙ…? මට කියන්න ප්ලීස්…” එයා මගෙ අත් දෙක අල්ලගත්තා.

“කියන්න නෙමෙයි පහන්දි එන්න මං ඔයාට එයාව මීට් කරවන්නම්… එතකොට ඔයාලා දෙන්නම ඒ ගැන කතා කරගන්න…” මං එයාගෙ අත් වලින් මගෙ අත් දෙක ගලවගෙන කියද්දි එයා ඇස් දෙකත් ලොකු කරන් මගෙ දිහා බලන් ඉද්දි ඒ ඇස් වල කඳුලු පිරෙනවා මං බලාගෙන.

“බෑ.. මට බෑ එන්න… මොකක්ද ඔයා මේ කියන්න හදන්නෙ… කාවද මට මීට් කරවන්න හදන්නෙ…?”

“එන්න මං ඔයාට පෙන්නන්නම්…” එහෙම කියපු මං එයාව එක්කගෙන ගියේ මං ඇවිත් හිටපු ත්‍රී වීලර් එක ලඟට. ඒක එහා පැත්තට ගිය මම එයාට කතා කලේ එයා ඇස් වල කඳුලු පුරෝගෙන මං දිහා බලාගෙන ඉද්දි.

“අර ඉන්නෙ පැටියො පහන්දි… මං කිව්වනෙ අද එයාව ඔයාට මීට් කරවනවා කියලා… දැන් ඔයාලම මේ දේ ගැන කතා කරගන්න…” එහෙම කියපු මං පහන්දි එතෙන්ට එද්දිම එතනින් ටිකක් ඈත් උනා. ත්‍රී වීල‍ර් එක එහා පැත්තට ආපු පහන්දි එකපාරටම අතින් කට වහගත්තෙ දැකපු දේ අදහගන්න බැරුව.

“හානේ…. සෝ කියුට්…” එහෙම කියපු එයා ත්‍රී වීලර් එකට දම්වැල් දාලා හිටපු Golden Retriever වර්ගෙ බලු පැටියව එයාගෙ අතට ගත්තෙ හරිම ආදරේකින්. ඌව තුරුල් කරන් හරිම ආදරෙන් ඉඹගත්තු එයා මගෙ දිහා බැලුවෙ වරදක් කරපු පොඩි එකෙක් දිහා බලන අම්මා කෙනෙක් වගේ.

“තක්කඩියා මාව බය කලා හොඳටම… දෙන්නෙ මං හොඳ පොලු පාරක් හරිද…”

“එක්කෙනෙක් ඉතින් හිතාගෙන හිටියෙ මට වෙන කෙල්ලෙක් සෙට් වෙලා කියලලු ඈ… පව් අෆ්ෆා… හූ…”

“යනවා යන්න මෝඩයො… කෝ මෙහෙ එන්න උම්මා ගොඩාක් දෙන්න ඕනෙ ඔයාට මාව මෙහෙම සර්ප්‍රයිස් කරනවට… අනේ මං කොච්චර ආසාවෙන්ද හිටියෙ චූටි කුක්කෙක්ට… ඒකත් ඔයා මං ආසම බ්‍රීඩ් එකෙන් ගෙනත් තියෙන්නෙ… ආදරෙයි ගොඩාරියක් ඔයාට…” එහෙම කියපු එයා මාව බදාගෙන කිස් කලේ ලොකු ආදරේකින්. “මෙයාගෙ නම තමයි ෂැඩෝ… හැමදාම ඉතින් එයාගෙ හාම්පුතා වගේම මගෙ හෙවනැල්ල වෙලා මගෙත් එක්කම ඉන්න ඕනෙ පැටියො හොඳද…?”

එදා ඒ ඇස්වල තිබුණු සතුටු කඳුලු අද දුක් කඳුලු වෙලා මේ අහිංසක ඇස් වලින් ගලනවා නේද කියලා හිතපු මං නිදාගෙන හිටපු එයාගෙ ලස්සන ඇස් දෙක කිස් කලේ හිත ඇතුලෙ ගොඩක් ආදරේ පිරෙද්දි.

“පිටින් කිසිම තුවාලයක් පේන්න නෑ පුතා… ලේ ඇවිත් තියෙන්නෙ කටිනුයි කන් දෙකෙනුයි.. මට හිතෙන්නෙ කවුරුහරි ඔලුවට ගහලා වගේ පොල්ලකින්වත්.. ඒත් ඉතින් හැමෝම ෂැඩෝට ආදරේ එකේ කවුද ඔහොම දෙයක් කරන්නෙ…?”

එදා රෑ අනිත් අය කෑම කද්දි මගෙ ලඟට ආපු තාත්තා කිව්වෙ මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් හිටපු පහන්දිගෙ ඔලුව අතගගා. රෑට කෑම කන්නෙත් නැතුව හවස ඉඳලම එයා මගෙ ලඟට වෙලා හිටියෙ හිතේ දුක මගෙ ලඟදි අඩුවෙලා යන නිසා වෙන්නැති. නතර වෙලා තිබුණු ඇඬිල්ල ආයෙමත් අලුත් උනේ තාත්තගෙ කතාවෙන් කියලා මට තේරුණා.

“මේ ගෙදර ඔය වගේ නපුරු අදහස් තියෙන කවුරුත් ඇතියි කියලා මං විශ්වාස කරන්නෑ තාත්තෙ… එහෙම හිටියොත් මං ඒ කවුරු උනත් ඉතුරු කරන්නෙ නෑ… අහිංසක ජීවිතයක් නැති කරන මොකෙක් උනත් ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනෙ… කමක් නෑ අපි නැතත් සොබාදහමෙන් හරි ඒ පව්කාරකමට දඬුවම් දෙයිනෙ…”මං දත්මිටි කාගෙන කියද්දි පහන්දි මගෙ අතක් මිරිකුවෙ මට කූල් ඩවුන් වෙන්න කියන්න.

“දැන් ඉතින් ගිය දේ ගියානෙ පුතා… ආදරේ කරන මිනිස්සුත් අපි අතරින් හිටපු ගමන් වෙන් වෙලා යන්නෙ.. ඒත් ඉතින් අපි හිත හදාගෙන ජීවත් වෙනවනෙ.. දැන් ඔන්න ඕක අමතක කරල දාන්න.. ලොකු දූ එන්න පුතේ කෑම ටිකක් කමු අපි…”

තාත්තා එහෙම කියලා පහන්දිගෙ අතින් අල්ලන් එයාව නැගිට්ටෙව්වා. කොහොමහරි එයාට කෑම ටිකක් කවාගත්තු මං එයාව නංගිගෙ කාමරෙන් නිදි කෙරෙව්වෙ තවත් වෙහෙස කරවන්න හොඳ නැති නිසා. එයා නිදාගත්තට පස්සෙ ගේ පිටිපස්සෙ සුදු රෙද්දකින් ඔතලා තිබුණු ෂැඩෝගෙ බොඩි එක තාත්තා එයාගෙ යාලුවෙකුට කියලා හදාගෙන ඇවිත් තිබුණු පොඩි පෙට්ටියකට දාපු මමයි තාත්තයි, පහන්දිගෙ තාත්තයි ඌව වත්තෙ ටිකක් ඈතට වෙන්න තිබුණු කලුවර ගහක් යට වලක් හාරලා වළලලා දැම්මා. තාත්තලා දෙන්නා එතනින් ගියාට පස්සෙත් මම එතෙනට වෙලා ටිකක් හිටියෙ හිතේ තිබුණු දුක නිසාමයි.

“හඃ හඃ හඃ හහා හා..!!!”

පිටිපස්සෙන් ඇහුණු ඒ වියරු හිනා හඬට මාව ගැස්සිලා ගියත් මං දැනගත්තා ඒ ඉන්නෙ සඳසාවි කියලා. ඒත් පිටිපස්ස බැලුවත් එයා හිටියෙ නෑ. ආයෙම ඉස්සරහා බලද්දිම එයා මගෙ මූණ ඉස්සරහට වෙලා හිටියෙ කොණ්ඩෙත් කඩාගෙන මහ විරූපි වෙච්ච මූණක් එක්ක. ගැස්සුන මං ආයෙම පිටිපස්සට විසිවෙලා ගිහින් වැටුණා.

“උ..උඹ..??”

“හඃ හඃ හඃ හා… ඔව් මං තමයි තාත්තී… ඔයාගෙ දෝණි…”

එයා මගෙ ලඟට අඩියක් ඉස්සරහට එන තියන ගමන් කිව්වෙ අමුතු තාලෙකට.

“මො..මොකටද උඹ මට කරදර කරන්න ආයෙ ආවෙ දෝණි..? පලයන් යන්න මෙතනින් මගෙ ඇස් දෙකට නොපෙනී…!”

මං කෑගහද්දි ආයෙමත් හිනාවුණ එයා තවත් අඩියක් මගෙ ලඟට ආවා.

“මං ඔයාගෙන් ඈත් වෙන්නෙ නෑ තාත්ති… කිසිම කෙනෙකුට ඔයාව මගෙන් ඈත් කරන්නත් බෑ… අර ඔයාව මගෙන් උදුරගන්න ඇවිත් ඉන්න බැල්ලිටවත් බෑ…”

“එයා තමුසෙ වගේ බැල්ලියෙක් නෙමෙයි තේරුණාද…? උඹ… උඹ මේ අහිංසක සතාවත් මරලා දැම්මා නේද…??? ජීවත් වෙලා ඉද්දි සත්තුන්ට ආදරේ කරපු උඹ මෙච්චර පවුකාරියෙක් උනේ කොහොමද…??”

මං දත්මිටි කාගෙන ඇහුවා. මගෙ දිහා බලපු එයාගෙ මූණ කිසිම හැඟීමක් නැති කෙනෙක් වගේ ටිකක් වෙලා එහෙමම තිබුණා.

“එහෙනම් ඔයා දන්නවා මං තමයි ඒක කලේ කියලා..? හඃ හඃ හඃ හා… ඔව් මං තමයි ඌව මැරුවෙ… මහලොකු ආදරේ සංකේතය… ඒ ආදරේ සංකේතය විතරක් නෙමෙයි හැමදේම විනාශ කරලා මං මට අයිති දේ ලබාගන්නවා… ඒ දේ නවත්තන්න ඔයාටවත් බෑ තාත්තී… ඔයා මගෙ විතරයි… ජීවත් වෙලා ඉද්දිත් මගෙ විතරයි.. මැරුණමත් මගෙ විතරයි… හඃ හඃ හා…”

වේගෙන්, වෛරයකින් කියන් ගිය එයා හයියෙන් හිනා උනා. තවත් අඩියක් මගෙ ලඟට තියපු එයා මගෙ ලඟ වාඩි උනේ මගෙ මූන දිහා බලාගෙන. කලින් තිබුණු යක්ශ මූන වෙනස් වෙලා ඇත්තම සඳසාවිගෙ රූපෙට ආපු එයා මගෙ දිහා බලන් හිටියෙ මාව කන්න වගේ.

“සඳ අයිති අහසට කියලා ඔයා හොඳටම දන්නවනෙ තාත්තී… මතකද ඒක…? ඔයා ඉස්සර හැමදාම කියනවා..? අමාවක දවසට මැකිලා ගියත් ආයෙමත් ඉක්මණින්ම හඳ අහසෙ පායනවා කියලා ඔයා හොඳටම දන්නවනෙ… ආයෙමත් හඳ අහසෙ පායනවා තාත්ති… අහසට බෑ හඳ පායන එක නවත්තන්න… කලු වලාවකින් ඒක වැහුණත් ආයෙමත් හඳ අහසෙ දිලිසෙනවා… ඒ නිසා මාව ඈත් කරන්න කාටවත්ම බෑ…”

හෙමින් හෙමින් එහෙම කියපු එයා මාව අල්ලන්න එයාගෙ අතක් දික් කරද්දි මං පස්සෙන් පස්සට ගියා. ඒත් ආපහු තත්ප‍ර දෙකක්වත් ගියෙ නෑ මාව එයා ලඟට ඇදිලා ගියේ මට විරුද්ධ වෙන්නවත් ඉඩක් නොතියා. මාව ලඟට ඇදලා ගත්තු එයා මගෙ කම්මුලකට එයාගෙ අතක් තිබ්බා. අයිස් කැටයක් මගෙ කම්මුලේ ගෑවුනා වගේ දැනෙද්දි මගෙ ඇඟ කිලිපොලා ගියා ඒ සීතලට.

“අතාරිනවා දෝණි මට පාඩුවෙ ඉන්න දෙනවා…”

“නෑ අතාරින්නෙ නෑ… අනිද්දා වෙන්න තියෙන ඔයාගෙ මහලොකු එන්ගේජ්මන්ට් එක නවත්තන්න ඕනෙ… එහෙම නැත්තම් අද බල්ලට වෙච්ච දේ හෙට ඔයාගෙ පවුලෙ කෙනෙකුට වෙන්න පුලුවන්… ඔයා ඒකට කැමතිද තාත්ති…?”

තර්ජනාත්මක හඬකින් එහෙම කියපු එයා එයාගෙ අනිත් අතත් මගෙ අනිත් කම්මුලට තිබ්බෙ මාව තවත් සීතල කරමින්. මං ඒ අත් ගසලා දාන්න හැදුවත් මට ඒවා අල්ලන්න බැරි වුණා.

“බෑ මං නවත්තන්නෙ නෑ… ඔයා මැරුණු කෙනෙක් මං ජීවත් වෙන කෙනෙක් තේරුණාද..? මැරුණු කෙනෙක්ට ජීවත් වෙන කෙනෙක් අයිති වෙන්නෙ නෑ දෝණි… ඔයා ගෙනාපු ආයුශ ඉවර නිසා අපරාධෙකින් හරි ඔයාගෙ ජීවිතේ නැති උනා.. ඒත් මට කියලා වෙනම ජීවිතයක් තියෙනවා… මට පාඩුවෙ ජීවත් වෙන්න දෙනවා ඒ නිසා…”

“තව ටික දවසයිනෙ තාත්ති…”

එහෙම කියපු එයා මං දිහා බලලා අමුතු හිනාවක් දැම්මා.

“ඇයි ඔයා මාව මරලා හරි ඔයා ලඟට ගන්නවද…?”

“හ්ම්ම්ම්….”

එයා මගෙ දිහා බැලුවෙ බය හිතෙන විදිහෙ බැල්මක්. ඊටපස්සෙ මගෙ කම්මුල් වලින් අත් දෙක අහකට ගත්තු එයා මගෙ දිහා බලලා ආයෙම සැරයක් හිනාවෙලා අඳුර අතරින්ම බොඳවෙලා අතුරුදහන් උනා. වෙච්ච දේ අදහගන්න බැරුව ටිකක් වෙලා එතනම හිටපු මම කල්පනා කලේ මේ ප්‍රශ්නෙ නිසා තව අහිංසක ජීවිත කීයකට හානි වෙයිද කියලා. මං හිතනවට වඩා මේක දැන් හුඟක් දුරදිග ගිහින්. දවසින් දවස එයාගෙ ආත්මෙ ශක්තිමත් වෙනවා. ඒත් මොනවා උනත් එයාට එදා පහන්දිට ලං වෙන්නවත් ඉඩක් ලැබුණෙ නෑ. ඒ කියන්නෙ පහන්දි හුඟක් ආරක්ශිතයි කියන එක. ඒත් අනිත් අය? අනිද්දට අපේ එන්ගේජ්මන්ට් එකෙන් පස්සෙ මේකට ලොකු විසඳුමක් හොයාගන්න ඕනෙ කියලා පහන්දි කිව්වත් මට සඳසාවි දැන් ටිකකට කලින් කරපු අනතුරු ඇඟවීම අමතක කරන්න පුලුවන් උනේ නෑ. දාහක් වැඩ අස්සෙ හෙට හැමෝම ගැන හොඳට ඇහැ ගහන් ඉන්න ඕනෙ. ඒත් ඉතින් මට ඒ හැමෝවම ආරක්ශා කරන්න පුලුවන් කමක් නෑනෙ. මේ දේවල් හිත හිත එතනින් නැගිටලා ගේ ඇතුලට ගිය මං නින්ද යනකල්ම කල්පනා කලේ කොහොමද සඳසාවිගෙන් ගැලවෙන්නෙ කියලා.
**********************************************************************

පහුවදා උදේ ඉඳන් හවස් වෙනකල්ම මගෙ ඔලුවෙ වැඩ කලේ එන්ගේජ්මන්ට් එකේ වැඩ විතරයි. එහාට මෙහාට දුවලම මට මහන්සියි. මං වගේම පහන්දිත් ඒ වැඩ වලට උදව් උනේ හෙට එන්ගේජ් වෙන්න ඉන්න මනමාලි එයා නෙමෙයි වගේ. වෙන කෙල්ලො කලින් දවසෙ ආතල් එකේ නිවාඩු පාඩුවෙ තමන්ගෙ ඇඳුම් පැළඳුම්, කොණ්ඩා මෝස්තර ගැන කල්පනා කරන කාලෙක පහන්දි කලේ ගෙදර වැඩ වලටත් උදව් වෙන ගමන් මගෙ ගමන් වලටත් සහභාගි වෙන එක.

“මහන්සියි කොල්ලෝ…. හම්මෝ…”

වෙලාවකට එහෙම කියාගෙන ඇවිත් මාව බදාගන්න එයා තව වෙලාවකට මාව ගණන්වත් ගන්නෙ නැතුව වැඩ.

“හෙට ඉඳන් එක්කෙනෙක් හිරේලු ඉතින්… පව් අෆ්ෆා…” මට විරිත්තන ගමන් එයා කියනවා.

“අනිත් කෙනත් ඉතින් එහෙම තමයිලු ඈ…”

“අනේ යනවා මැට්ටා…”

විහිලු තහලු මැද්දෙ එදා දවසත් ගෙවිලා ගියේ ඒ විදිහට. හැමදේම අන්තිම වතාවට චෙක් කරපු අපි හැමදේම පිළිවෙලකට වෙලා තියෙන නිසා හිටියෙ ගොඩක් සතුටින්.

“හෙට දවස ගැන නම් හිතාගන්නවත් බෑ අහස්…” රෑ කෑමෙන් පස්සෙ මගෙ අතින් අල්ලන් එලියෙ ගාඩ්න් එකේ බංකුවකට වෙලා ඉන්න අතරෙ එයා කිව්වා.

“මටත් එහෙම තමයි පහන්දි…”

“ඔන්න හෙට ඉඳන් අහස් පහන්දි බෑ හරිද..? ඔයා හබී මං වයිෆි…”

“මොකක් වයිෆයි..??”

“නෑ නෑ මෝඩයෝ වයිෆි… කන් ඇහෙන්නැද්ද මන්දා නාකියට…”

“හරි හරි වයිෆයි මට කන් ඇහෙනවා හොඳට…”

“ම..හ.. හොඳ නෑ….” එහෙම කියපු එයා මගෙ උරහිසට ගහගෙන ගහගෙන ගියා.

“බුදු අම්මෝ මෙන්න මිනී මරණවෝ…”

“කෑගහන්නෙපා මැට්ටො… මහ බූරු කොල්ලෙක්…”

ඔය විදිහට රෑ දහය විතර වෙනකල්ම විහිලු කරමින් ආදරෙන් හිටපු අපි දෙන්නා නිදාගන්න ගියේ හෙට උදෙන්ම ඇහැරෙන්න ඕන නිසා. ඇඳට ගියත් මට නින්ද ගියෙ නෑ. මොකද ඉතින් කසාදෙම නොවුණත් එන්ගේජ්මන්ට් එක කියන්නෙත් කෙල්ලෙක්ට වගේම කොල්ලෙක්ගෙ හිතෙත් අමුතුම ෆීලින්ග්ස් ඇති කරන දෙයක්නෙ. අනේ මන්දා මටනම් තේරෙන්නෙ නෑ ඕවා. හැමදේම මෙච්චර කාලෙකට ලස්සනට උනා වගේම ඉස්සරහටත් වෙයි. අද කිසිම කලබලයක් තිබුණෙත් නෑනෙ. ඒ නිසා හිතේ බයක් නෑ. ඕවා මේවා හිත හිතා හිටපු මට නින්ද යද්දි එකොළහත් පහුවෙලා තියෙන්න ඇති.

හදිසියෙම මං නින්දෙන් ඇහැරුණේ මගෙ ඇඟට බරක් වැටුණා වගේ දැනුණ හින්දා. ඇස් දෙක ඇරලා බලද්දි මං ලාවට වගේ දැක්කා සුදු පාටටත් නැති අලු පාටටත් නැති මොකක් හරි දෙයක් මගෙ ඇස් වලට උඩින් පාවෙනවා වගේ. ඒත් මං නැගිටින්නත් කලින්ම ඒ දේ මගෙ ලඟට විදුලි වේගෙන් ඇදිලා ඇවිත් මගෙ ඇඟ හරහා යනවා වගේ දැනුණා. ඊටපස්සෙ මට දැනුණෙ මගෙ ඇඟ ඇතුලෙ නිකන් අමුතුම ශක්තියක් තියෙනවා වගේ. ඒ වගේම මගෙ ඔලුව ඇතුලෙ ලොකු පෙරළියක් වෙනවා වගෙත් දැනෙද්දි මට එලියට යන්න ඕනෙ කියලා දැඩි උවමනාවක් ඇති උනා. ඒත් ඒ ඇයි කියලා මටවත් තේරුණේ නෑ. ඇඳෙන් බිමට බැහැපු මං අඳුරෙම කාමරේ දොරත් ඇරගෙන එලියට ඇවිත් පඩිපෙලත් බැහැගෙන පහළට ගියේ පුදුම තරම් වේගෙකින්. මුලු ගෙදරම තිබ්බෙ පුදුම තරම් නිශ්ෂබ්දයක් උනත් මගෙ ඔලුව ඇතුලෙන් ඇහුණෙ කවුරුහරි කොඳුරන සද්දයක්. ඉස්සරහා දොර ලඟට ගිහින් ඒක අරින්න ට්‍රයි කලත් ලොක් කරලා තිබුණු නිසා මගෙ හිතට දැනුනෙ තරහක්. ඔලුව ඇතුලෙන් එන කොඳුරන හඬ එන්න එන්නම වැඩිවෙද්දි මං දොර ඇරගන්න හදන වේගෙත් වැඩිවුණා. බැරිම තැන අත මිට මොලවපු මං වේගෙන් ලොක් එකට පාරක් ගැහුවා. ආයෙම අත උස්සලා ගද්දිම,

“කොහෙ හරි යන්නද හදන්නෙ…?”

මට ඇහුණෙ පහන්දිගෙ කටහඬ. එයා දිහා රවලා බලපු මං ආයෙම දොරට ගහන්න අත ඉස්සුවා.

“නවත්තනවා ඕක..!”

එයා ආයෙම ටිකක් සද්දෙන් කිව්වා.

“හඃ හඃ හඃ හා… මාව නවත්තන්න උඹට බෑ…” එයාට ගොරවපු මං එයාගෙ දිහාවට හැරුණෙ එයාව මරාගෙන කන්න තරම් තරහකින්. ඒත් එයා මගෙ දිහා බලාගෙන හිනාවෙනවා මං අඩ අඳුරෙම දැක්කා.

“ඇයි බැරි..? එදත් මං තමුන්ව නැවැත්තුවා මතකයිනෙ…? තමුන්ට බෑ මගෙ කොල්ලව කොහෙවත් අරගෙන යන්න මං ඉන්නකල්… දැන් එයාව අතෑරලා ගියොත් හොඳයි…”

“හඃ හඃ හා… ඇයි උඹ මට මොනවා කරන්නද..? උඹට බෑ මං කරන දේ නවත්තන්න.. උඹ එදා මාව ඈත් කලාට අද උඹට මාව ඈත් කරන්න ලැබෙන්නෙ නෑ… එහෙම උනොත් උඹට මෙයාව නැති වෙනවා මට මෙයාව අයිති වෙනවා ඉක්මණින්ම… හඃ හඃ හඃ හා…!”

“හහ් තමුන්ට එදා මාව අල්ලන්නවත් බැරි උනා මතකයිනෙ… මට අනතුරක් කරන්නත් බැරිවුණු තමුන්ට එයාට සීරීමක්වත් වෙන්න මං ඉඩ තියන්නෙ නෑ… දැන් කරුණාකරලා යනවා යන්න එයාගෙ ඇඟෙන් තමුන්ගෙ ඔය කිළුටු ආත්මෙත් අරන්… මං මේ අන්තිම වතාවට කියන්නෙ…” එහෙම කියපු පහන්දි මං ගාවට එන්න හදද්දිම මං එයාගෙ ඇඟට පැන්නෙ එයාගෙ බෙල්ලෙන් අල්ලගන්න හිතාගෙන.

“ආ…හ්”

පිටිපස්සට විසිවුණු මාව ‘දඩස්’ ගාලා දොරේ වැදිලා බිමට වැටුණා. ආයෙම නැගිටින්න හදද්දිම මගෙ ලඟට විදුලි වේගෙන් ආපු එයා මගෙ නලලට එයාගෙ අතක් තියලා මොනවදෝ මතුරන්න ගත්තෙ මගෙ මුලු ඇඟම පිච්චෙනවා වගේ දැනෙද්දි. කෑගහන්න හැදුවත් එයා මගෙ කට අතින් තද කරලා වහගත්තා. ටිකෙන් ටික මගෙ ඇඟේ තියෙන ශක්තිය අඩු වේගෙන යනවා දැනෙද්දි ඔලුව ඇතුලෙන් එන කොඳුරන හඬ….. මනසේ වෙන පෙරළිය….. මතුරන හඬ…… අන්ධකාරය……

“අහස්… අහස්…”

ඈතින් කවුදෝ මට කතා කරන හඬ ඇහුණා.

**********************************************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.