Katha Ahura

අඳුන් සිහින |දෙවන පරිච්ඡේදය | නවකතාව |

5/5 - (2 votes)

“ඔයා එන්නේ නැද්ද එහෙනම්?” මහීකා ඇසුවාය.

“ඔයා කියන ඔය බෝයි ලංකාවේ කෙනෙක් නම්, එයා අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න එන්න ඉඩ තියනවා….” ඇය කථා කළේ, එදා හවස මෙල්බන් නුවර ඇස්ටර් ශාලාවෙහි පෙන්වීමට නියමව තිබු ‘අබා’ සිංහල චිත‍්‍රපටය ගැනය. සතියක් පුරා ඔහු ගැන හෝඩුවාවක්වත් නොතිබු බැවින්, යාන්තම් සිත ප‍්‍රකෘති තත්වයට ගෙන එමින් සිටි රිදීමාට උවමනා නොවුයේද ඔහු නැවත දැකීමටය.

අනෙක, සති අන්තය ගතවුයේ නිවසට අවශ්‍ය බඩු ගෙන ඒම, අස් කිරීම, රෙදි සෝදා නා ගැනීම, තමා අධ්‍යයනය කළ පාඨමාලාව සම්බන්ධ අමතර පොත්පත් කියවීම සඳහාත්ය. ලංකාවෙන් දුරකතන පණිවුඩ ලැබෙන්නෙත් සති අන්තයේය. හවස් වනතුරුම රිදීමා කල්පනා කළේ නොයන්නටමය. සවස්වන විට අමා සහ රුචිරාගේ පින්සෙන්ඩුවද වැඩිවන්නට විය.

“ටිකක් එළියට බැහැලා, හුළං පොදක් වැදිලා, මිනිස්සුත් දැකලා ගෙදර එන එක හොඳයි…..” අමා පැවසුවාය.

“අනෙක ඔය ෆිල්ම් එක ඔයාලා බලන්නම ඕනේ. මම ඕක ගැන කියෙව්වා නෙට් එකේ. ලංකා ඉතිහාසය වෙනස් කළා කියලත් සමහරු බැණලා තියෙන්නේ…..”රුචිරාද, අමාට උල්පන්දම් දුන්නාය.

වෙන හේතුවක් නිසා නොව, ඔවුන්ගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්නට බැරි තැන රිදීමා ගමනට කැමතිවුවාය. සිංහල මිනිසුන් බහුල ලෙස වික්ටෝරියා ප‍්‍රාන්තයේ වාසයකරන බව දැන සිටි මුත්, එහෙම සෙනඟක්, එක් තැනෙක, ඇය ලංකාවේදී පවා දැක තිබුණේ නැත.

සිනමාගාරය මධ්‍යයේ වන්නටය, ඔවුන් හිඳ සිටියේ. පහළ සිට උඩට, පඩිපෙළ නැග එන අයද, උඩ සිට පහළ බසිනා අයද එහි සිට මැනවින් පෙනුණේය. සිංහලෙන් හා ඉග‍්‍රීසියෙන් කෙරෙන කථාබහ රිදීමාගේ සවනෙහි ගැටී, දෝංකාර නංවා, සිඳී ගියේය. තරුණ ගැහැණු හා පිරිමි ළමෝ නවතම විලාසිතා අනුව සැරසී උන්නාහ. වැඩිහිටි සමහර ගැහැණු සාරි හා ඔසරිවලින් සැරසී සිටියෝය. රිදීමාට අම්මාද මතක් වුනේය.

“මොන මෝඩ ගමනක්ද ඔය රට රාජ්ජයක තනියම යන්න හදන්නේ? හදිසියකට දුවලා බලන්ට එන්න පුළුවන් තැනක්ද?” ඇය ඔසරි පොටෙන් කඳුලක් පිසදමනවා රිදීමාට තාමත් මතකය.

“ඒයි…..” වම්පසින් සිටි මහීකා, තමාට සෙමෙන් තට්ටු කරනු ඇයට ඇසිණි. ඈ වහා හැරී බැලූවාය. අනතුරුව මහීකාගේ නෙත් යොමු වී තිබු දිසාවට නෙත් යොමු කළාය.

නර්තන ශිල්පියකුගේ ලාලිත්‍යය පිළිබිඹු කරමින්, පහළට බසිමින් උන්නේ තමා එදා දුටු තරුණයාමය. සුදු කමිසයක් හා කළු කලිසමකින් චාම් ලෙස සැරසී උන් ඔහු නිකමටවත් ඔවුන් සිටි දිශාව දෙස නෙත් යොමු නොකළේය. ඔහුගේ ගමනට හදිසියෙ බාධා කළ කළු, මිටි, මහත තරුණයා කී යමකට ඔහු උස් හඬින් සිනාසෙනු රිදීමා දුටුවාය. ඔහුගේ සිනා හඬ ඇගේ හදවත මොහොතකට නතර කිරීමට සමත් විය.

හිරිවැටුණු ගතින් ඈ ඔහු දෙස බලා උන්නාය. ඒ මොහොතේම, තරබාරු තරුණයා ඇය දෙස බැලූවේ, සාවඥ සිනාවක් එල්ල කළේය.

ශාලාව අඳුරු විය. චිත‍්‍රපටය ආරම්භ වුයේය. එහි පෙන්වුයේ කුමක්දැයි රිදීමාට හරි මතකයක් වුයේ නැත. අබා කුමරු තම මව සිහි කරමින් හඬන අයුරුත්, මව බැලීමට යන අයුරුත් ඇගේ සිතෙහි රැඳුනේ, ඒ අවස්ථාවේ ඇයටත්, මව ළඟට දිව යාමට උවමනා වු නිසාද? මේ තරුණයින් කවුද? තමා දෙස මෙලෙස අවඥාවෙන් ඔවුන් බලන්නේ මන්ද? ඇය දිගටම මහීකාගේ සුරත, තම වම් අතින් අල්වාගෙන සිටියාය.

චිත‍්‍රපටය අවසානයේ රථය කරායන යෙහෙළියන් කථාකළේ චිත‍්‍රපටයේ කථාව ගැනය. කථාවෙහි එන චරිතයක් වු “ගුම්බකබුතා” ගේ නැටුම් ගැනය. ‘හබරා’ ගේ මනා රංගනය ගැනය. ඔහු ප‍්‍රසිද්ධ නළුවකුගේ පුත‍්‍රයකු බවය. එහෙත් රිදීමාට ඇසුනේ ඔවුන්ගේ හඬවල් පමණෙකි. හදවතේ වුයේ සියුම් වේදනාවකි. හිසෙහි දැඩි බරෙකි.

“මොකක්ද මේ කථාවෙන් දෙන්න හදන පණිවිඩය ?” රුචිරා ඇසුවාය. “අබා කුමාරයා ‘යක්ෂ’ ගෝත‍්‍රයේ කෙනෙක් බවද? ඒ පස්සේ ගියොත් නම් හරි වැඩක් තමයි වෙන්නේ !” ඈ තමාගේ හිස දෙපසට සැලූවාය.

“ලංකාවට විජය කුමාරයා එන්නත් කලින් යක්ෂ, නාග කියලා ගෝත‍්‍ර දෙකක් හිටියානේ. රාවණා රජුත් යක්ෂ ගෝත‍්‍රිකයෙක්නේ. එයාලා වැන්දේ හින්දු දෙවිවරුන්ට. රාවණා ශිව භක්තිකයෙක්. කුවේණි වැන්දේ කාලි මැණියන්ට…… ඒකෙන් තේරෙන්නේ මේ යක්ෂ ග්‍රෝත‍්‍රිකයෝ කාලයකට ඉහතදී, දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආපු අය බවද? ම්හ්…….” ඇයට ඇගේ කථාව අහවර කිරීමට ඉඩක් නොලැබුනෝය.

ඔවුන්ගේ ගමන් මඟ හරස් කරමින් ඉදිරියේ සිටියේ, අර තරබාරු තරුණයාය.

“හලෝ !” ඔහු රිදීමා දෙස බලාගෙනම පැවසීය. අමා ඇතුළු යෙහෙළියන් ඇය වටා රොක්වුයේ ඇය ආරක්ෂා කිරීමට මෙනි.

“ඔයා කවුද?” අමා විමසුවාය.

“මම මෙහෙ ඇවිත් ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්. ඔයාලගේ යුනි එකේමයි ඉගෙන ගන්නේ ” ඔහු කට කොනකින් මඳ සිනාවක් පෑවේය.

“ඔයත් එක්ක කථා කළ අර පෝනිටේල් දාපු, කණක් විදපු කෙනා කවුද?” මහීකා ඇසුවාය.

“ගර්ල් කෙනෙක්ද? බෝයි කෙනෙක්ද?” ඔහු යළිත් සිනාසුණේය.

“බෝයි…..බෝයි…..” මහීකාද, ඔහුටම සරිලන සිනාවකින් ප‍්‍රති උත්තර දුන්නාය.

තරුණයා මඳක් කල්පනා කළේය. උගුරද පෑදුවේය.

“මට නම් හරියට මතක නෑ……”

“ඔයා එයත් එක්ක කථා කරනවා අපි හොඳටම දැක්කා……” මහීකා යළිත් කීවාය.

“මට නම් මතකයක්ම නැහැ. මම අද ගොඩාක් අය එක්ක කථා කළා……” ඔහු බොරු කියන්නේ මන්දැයි රිදීමා කල්පනා කළාය.

“මට ඕනේ මෙන්න මෙයා එක්ක ටිකක් කතා කරන්න……” ඔහුගේ ඇඟිල්ලක් තර්ජනාත්මක ලෙස රිදීමා වෙත යොමු වුයේය. “මට අවසරයද?” අනතුරුව, ඔහු අමා දෙස හැරෙමින් ඇසීය. අමාගේ ඇහිබැමක් උඩට එසවිණි.

“මොනවද මා එක්ක කතා කරන්න තියෙන්නේ ?” තමාගේ දිව ගොත ගැසී ඇති බවත් දැනුණෙන්, රිදීමා අසීරුවෙන් තම කටහඬ අවදි කළාය.

“මට ඕන ඔයාගෙන් අහන්න ඔයාට ගමේ ඉස්කෝලේ මතකද කියලා……”

“ඔව්!” රිදීමා පැවසුවාය. රිදීමාගේ අප්පච්චි කලක් එහි මුල් ගුරුවරයා ලෙස සේවය කළේය.

“ඔයාට මතකද ඒ ඉස්කෝලේ හිටපු ඩාන්සින් මාස්ටර්…..” රිදීමා තමාගේ මතකය අවදි කිරීමට තැත් කළාය. එහෙත් ඇයට දැනුණේ, අඳුරේ අතපත ගාමින්, එළිය සොයන්නට තනන ලෙසකි. ඇය හිස දෙපසට වැනුවාය.

සීනු හඬක් දුරින් ඇසුණේය. ඊළඟට ගෙජ්ජි හඬක්ද, සිහින් බෙරහඬක්ද ඇසෙන්නට විය. ඇය හොඳින් කන් දුන්නාය. ශබ්ද නැවතිණි. අන්ධකාරය රජයන්නට විය.

තරුණයා යළිත් ඇය දෙසට ඇඟිල්ලක් දිගුකළේය.

“හොඳට මතක් කරලා බලන්න සුදු මැණිකේ !” තර්ජනාත්මක ස්වරූපයකින් පැවසු හෙතෙම ආපසු හැරී සිනමාගාරය තුලට නොපෙනී ගියේය.

෴෴෴

අඳුන් සිහින – තුන්වන කොටසින් නැවත හමුවෙමු.

දිනපතාම උදෑසන 10ට

-කතුවරී-
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.