Katha Ahura

දෝණී | 25 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#25 කොටස

උදෙන්ම ඇහැරුණු මං මුලින්ම කලේ දෙවියන්ට ‍‍යාච්ඥා කරපු එක. එදා දවසෙ කිසිම කරදරයක්, බාධාවක් නොවී හැම කටයුත්තක්ම සාර්ථක කරගන්න පිහිට ආශිර්වාදය ඉල්ලපු එක. ඊටපස්සෙ හොඳට නාගත්තු මම ලෑස්ති වෙන්න පටන් ගත්තා. වෙසටර්න් ටයිප් එකට තමයි මගෙ ඇඳුම හදලා තිබ්බෙ. හම්මේ ඉතින් කිට් එක ඇඳපු මටම මාව අඳුනගන්න බැරි උනා. හැමදේම ලෑස්ති කරගෙන පහළට යද්දි හැමෝම වගේ ලෑස්ති වෙලා හිටියෙ. මුළු ගෙදරම කලබලයි ඉතින්. කට්ටිය එහාට යනවා මෙහාට යනවා කෑගහනවා වැඩ ගොඩයි. පහන්දිගෙ පැත්තෙ අය එන්නෙ වෙනම නිසා එයාලා පාන්දරම හොටෙල් එකටයි, සැලෝන් වලටයි යන්න ඇතී කියලා මට හිතුනා.

“හම්මේ මෙන්න ඉන්නවා අපේ මනමාල මහත්තයා… බලන්නකො මෙයාගෙ ලස්සන…” අපේ පුංචි මාව දැකලා හිනාවෙවී කිව්වා.

“සුද්දෙක් වගේ… බලන්නකො අනේ ලස්සන… සුදු අක්කිට පිස්සු හැදෙයි අදනම්… වාව් වෙරි හැන්ඩ්සම්…” එතෙන්ට ආපු නංගි එයාගෙ ෆෝන් එකෙන් මගෙ ෆොටෝ එකක් ගන්න ගමන් කිව්වා.

“අනේ මේ මාව මුරුංගා අත්තෙ තියන්නෙපා හරී…?”

“නෑ පුතේ ඇත්තටම ඔයා අද ලස්සනයි… වෙඩින් එක දවසට මීටත් වඩා ලස්සනට ඉඳීවි ඔයා…” බාප්පා කිව්වෙ මං දිහා හරිම ආදරේකින් බලාගෙන.

ඔය විදිහට හැමෝගෙම වර්ණනා අහගෙන අපි වාහන වලට නැගලා හොටෙල් එකට යද්දි උදේ නවයත් පහුවෙලා. නැකත තියෙන්නෙ උදේ දහයයි දහයට. ‘Blue Moon’ හොටෙල් එක හරිම ලස්සනට හැඩවෙලා තිබ්බෙ දකින ඕනම කෙනෙකුගෙ හිත ඇදිලා යන විදිහට. මේ හැමදේම ඉතින් පහන්දිගෙ අදහස් තමයි. අපි යනකොටත් හෝල් එකට ගොඩක් කට්ටිය ඇවිත් හිටියා.

“අඩෝ මුගෙ ලස්සන බලපංකො… මට මූව උස්සන් යන්න හිතෙනවා යකෝ සිරාවටම…” මාව දැකපු චාමරයා කෑගැහුවෙ ඌ ඉන්නෙ සෙනග ගොඩක් මැද්දෙ කියලවත් නොදැනද කොහෙද.

“අපෝ ගේ කුරුල්ලා… උඹේ ඔය වාචාල කට ටිකක් වහන් හිටු.. අර බලපන් මෙච්චර වෙලාම ලයින් කරපු කෑලි ටිකත් අපි දිහා බලාගෙන හිනාවෙනවා… නොදකින් තෝ…” ඉසුරුවා අරූට බැන්නා.

“මේ උඹ යමන් බං මෙතනින්… මූ එක්ක හිටියොත් මිනිස්සු හිතයි උඹත් ගේ කුරුල්ලෙක් කියලා…” චාමරයගෙ මූණ අර මොකෙක්දෝ වගේ වෙද්දි මිතුනා කිව්වා. මං උන්ට එන්ජෝයි කරපල්ලකො කියලා ඇවිත් හිටපු අනිත් අයටත් ටිකක් කතා කරගෙන මට වෙන් කරලා තිබ්බ රූම් එකට ගියා.

නැකත් වෙලාව ලංවෙද්දි තාත්තා ඇවිත් මාව එක්කන් ගියා. ස්ටේජ් එකට වෙලා මං ඉවසීමක් නැතුව බලන් හිටියෙ පහන්දි එනකල්. ඊයෙත් දැක්කා උනාට ඉතින් අද දකිද්දි ඊට වඩා ෆ්‍රෙශ්නෙ.

“හරි හරි පුතා එයා එයි දැන්..” තාත්තට මගෙ තදියම තේරිලාද කොහෙද මගෙ ලඟට ඇවිත් කිව්වා.

ඔන්න එතකොටම වගේ ලස්සන ක්‍රීම් පාට සාරියකින් සැරසිලා ලස්සන මල් පොකුරකුත් අතින් ගත්තු මගෙ මනමාලි මගෙ ඉස්සරහට ආවා හෙමින් හෙමින් අඩි තියමින්. වෙනදටත් වඩා ලස්සන හිනාවකින් ඒ සුදු මූණ ලස්සන වෙලා තිබුණා. මගෙ ලඟට ඇවිත් දිලිසෙන ඇස් දෙකෙන් මං දිහා බලාගෙන ලස්සනට හිනාවුණ එයා දිහා මං බලන් හිටියෙ වශී වෙලා වගේ.

“ලස්සනයි මගෙ මැණික ගොඩාක්…” මං මිමිණුවා.

“ඔයත් මගෙ මහත්තයො…”

“අදම උස්සන්න හිතෙනවා මට…”

“හි..හි.. පිස්සා…”

අපි දෙන්නම හිටියෙ හුඟාක් සතුටින් ඒ වෙලාවෙ. දෙන්නගෙම මූණු වලින් චාරිත්‍ර ටික ඉවර වෙනකල්ම හිනාව මැකිලා ගියේ නෑ. හැම ආදරවන්තයොම එකතු වෙද්දි මේ වගේ වෙන්නැති කියලා මා හිතුණා. අද මෙහෙනම් අපි මැරි කරන දවසට අපිට හාට් ඇටෑක්වත් හැදෙයිද දන්නෑ සතුටට.

“හ්ම්ම්ම් දැන් ඉතින් ඔයා මගෙ හරිද…? දැන් ඉස්සර වගේ සෙල්ලම් බෑ… මං කියන දේ අහගෙන ඉන්න ඕනෙ හොඳ ළමයා වගේ… තේරුණාද…?”

හැම කටයුත්තක්ම ලස්සනට, පිළිවෙලට ඉවර උනාට පස්සෙ පාටිය වෙලාවෙදි අපි කතා කර කර ඉද්දි පහන්දි මට ලංවෙලා කිව්වා. සතුට උතුරන ඒ ඇස් දෙක දිහා බලාගෙන මං ඔලුව වැනුවෙ එකඟයි කියන්න.

“ඇන්ඩ් යූ ටූ වයිෆි…” මාත් ඇහැක් ගහලා කියද්දි එයා මට දිව දික් කලා.

“අපි අහුවෙයි ඕවට… බඳින්න කලින් වයිෆ්ට පාට් දැම්මට බැන්දට පස්සෙ වයිෆ් තමා පාට් දාන්නෙ හරිද මල්ලී…”

“ඔව් ඔව් මාසයක් දෙකක් යද්දි දත් නැති වයිෆ් කෙනෙක් අපේ ගෙදර ඉඳීවි…”

“ඇත්තට…” දඟකාර විදිහට එහෙම අහපු එයා හෙමීට මගෙ අතක් කෙනිත්තුවා. “යමු යමු අපිත් ඩාන්ස් කරන්න…”

මාවත් ඇදන් ඩාන්සින් ෆ්ලෝ එකට ගිය එයා හරිම සතුටින්, ආසාවෙන් ඩාන්ස් කරන්න පටන් ගත්තා. හැමදේම මේ විදිහට සිද්ද වෙද්දි මගෙ ඇස් වලට කෙනෙක්ව සෙනග අතරින් අහුවුණේ එකපාරටම වගේ. ඩාන්ස් කරන ගමන් ඒ දිහාව බලපු මං ඒ කෙනාව දැක්කෙ නෑ. කොච්චර ඇස් කරකවලා හෙව්වත් ඒ රුව මට ආයෙ හම්බුණේ නෑ.

“කාවද මහත්තයො හොයන්නෙ…?” පහන්දිගෙ කටහඬින් ගැස්සුන මං එයා දිහාවට හැරෙද්දි එයා මගෙ දිහා බලන් හිටියෙ ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙන.

“න්..නෑ මං මේ බැලුවෙ… ඒක ඕන නෑ බබී අපි ඩාන්ස් කරමුකො… ජස්ට් ලීව් ඉට්…” එහෙම කියපු මං හිනාවෙලා ආයෙම එයා එක්ක ඩාන්ස් කරන්න පටන් ගත්තා.

ඒත් වැඩිවෙලා එහෙම ඩාන්ස් කරන්න හම්බුණේ නෑ පහන්දිගෙ යාලුවො සෙට් එකක් ඇවිත් එයාව ඇදගෙන ගියා කතා කරන්න ඕනෙ කියලා. අම්මපා මේ කෙල්ලොන්ට නම් කයිය ගහන්න තියෙනවනම් වෙන මොකුත් ඕන නෑනෙ. යකෝ මගෙ ගෑනිවම උස්සන් යනවනෙ ඒකටත්. පහන්දිත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා යාලුවො ටිකත් එක්ක ගියේ ආයෙ කාලෙකින් සෙට් වෙන්නෙත් නෑනෙ කියලා. එයා ගියාට පස්සෙ මං මගෙ යාලුවො ලඟට යන්න හදද්දිම නෑයො කට්ටියක් ඇවිත් මාවත් වටකරගත්තා. එයාලත් එක්ක කතා කර කර ඉන්න අතරෙ මං ආයෙම අර කලින් දැකපු කෙනාව සෙනඟ අතරින් දැක්කා. කලුම කලු පාට දිග ගවුමක් ඇඳලා, දිග කලු කොන්ඩෙ පිට දිගේ විසුරුවලා හිටපු එයාගෙ මූණ මට බලාගන්න බැරි උනා. කිසිම කෙනෙක් එක්ක කතා නොකර සෙනඟ අතරින් එයා හෙමින් හෙමින් ඇවිදගෙන ගියේ හෝල් එකෙන් හොටෙල් එකට ඇතුල් වෙන දොර දිහාවට. හේතුවක් නැතත් මට එයා කවුද කියලා බලාගන්න ලොකු උවමනාවක් ඇති උනේ ඇයිද කියන්න මං දැනන් හිටියෙ නෑ. නෑයන්ගෙන් අවසර අරන් මං ටොයිලට් එකට යන්න ඕනෙ කියලා එතනින් ගැලවිලා අර කෙල්ල යන දිහාවට කට්ටිය අතරින් යන්න පටන් ගත්තා. දොර ගාවට ගිහින් නතරවුණු එයා ඔලුව චුට්ටක් විතර හරවලා පිටිපස්ස බලලා දොරත් ඇරගෙන එතනින් ඇතුලට ගියා. මාත් ඒ පස්සෙන්ම දොර ඇරගෙන ගියත් කොරිඩෝවෙ එයා පේන්න හිටියෙ නෑ. ඉස්සරහින් අඩි සද්දයක් ඇහුණු නිසා මං ඉස්සරහට ගිහින් බැලුවෙ ඒ කෙල්ල ඉන්නවද බලන්න. ඒත් කිසිම කෙනෙක් පේන්න හිටියෙ නෑ.

“සර්…”

එකපාරටම පිටිපස්සෙන් ඇහුණු හඬට මාව ගැස්සිලා ගියා. පිටිපස්ස බලපු මං දැක්කෙ මගෙ දිහා බලාගෙන හිටපු හොටෙල් එකේ වේටර් කෙනෙක්.

“සර්ට මොනාහරි ඕනද…?”

“න්..නෑ මං මේ බැලුවෙ වොශ් රූම් කොහෙද කියලා…” කටට ආපු පලවෙනි බොරුව මං කියලා දැම්මා.

“වොශ් රූම් තියෙන්නෙ හෝල් එකේ එහා පත්තෙ සර්.. මේ පැත්තට තියෙන්නෙ ස්ටෝර් රූම් එකයි ගාඩ්න් එකයි විතරයි… එන්න සර් මං පෙන්නන්නම්…”

ආයෙම සැරයක් වටපිට බලපු මම වේටර්ගෙ පස්සෙන් වැටුණා.

“තාත්තී……”

කනට ලංවෙලා කොඳුරපු ඒ හඬ නිසා ආයෙම සැරයක් කලබල උන මං ඉක්මණින් එන්න ආවෙ හිත ඇතුලෙ ආයෙමත් අවුල් ජාලාවක් ගොඩ ගැහෙද්දි. අද වගේ දවසකත් එයාව හමු නොවේවා කියලයි මං පතාගෙන හිටියෙ. ඒත් එයා මෙතනටත් ඇවිත්. මං හිතන්නෙ කලින් මං දැක්කෙ එයාව වෙන්න ඇති. ඒකයි ඒ කලුපාට කොන්ඩෙ මට හුරුපුරුදු ගතියක් දැනුනෙත්. මේ දේවල් හිත හිතා පහන්දිව හොයාගෙන ගිය මම යාලුවො එක්ක කතා කර කර හිටපු එයාගෙ අතකින් අල්ලගත්තෙ හිත ටිකක් හරි සන්සුන් වෙයිනෙ කියලා හිතාගෙන.

“දැන් නම් කොල්ලට කෙල්ල නැතුව ඉන්නම බෑ වගේ නේද…? හි හි හි…” එයාගෙ යාලුවො අතරින් කෙනෙක් මට විහිලු කලා.

“ඔව් ඔව් දැන් ඉතින් අපේ කෙල්ලට නිකන් ඉන්න හම්බෙන එකක්ම නෑ… පේනවනෙ එන්ගේජ්මන්ට් එකේදිම ලඟින්ම ඉන්න හැටි…” තව එකියෙක් විහිලු කලා. ඒත් පහන්දිට මගෙ මොකක් හරි වෙනසක් තේරිලාද කොහෙද එයා මගෙ මූණ දිහා බැලුවෙ ‘ඇයි’ අහන්න වගේ. මං මොකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා. ඔන්න එකපාරටම එතෙන්ට කඩන් පාත් උනේ මගෙ යාලුවො සෙට් එක.

“හායි ගර්ල්ස්…!” ඉසුරුවා තමයි මුලින්ම එහෙම කියාගෙන ආවෙ.

“හායි බෝයිස්…” කෙල්ලො ටික එක හඬින් කින්ඩියට වගේ එහෙම කිව්වෙ.

උන් අතර කාලෙ ගෙවෙන ගමන් එදා දවසත් වෙන කිසිම ප්‍රශ්නයක් ඇති නොවී ගෙවිලා ගියේ අපි හැමෝම ගොඩක් සතුටින් විසිරිලා යද්දි. ඒත් මගෙ හිතේ එකම එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබ්බා. ඇයි දෝණි අද කිසිම කරදරයක් අපි කිසිම කෙනෙකුට කලේ නැත්තෙ කියලා. පලිගන්නවා කියලා දිවුරපු, එන්ගේජ්මන්ට් එක වෙන්න දෙන්නෙ නෑ කියලා දිවුරපු එයා ඇයි අද මට විතරක් පේන්න ඇවිත් වෙන කිසිම දෙයක් නොකර ගියේ කියන එක. ඒත් ඒකට උත්තරය ඇත්තෙත් එයා ගාවම වෙන්නැති.
*************************************************************************

පහන්දි ලංකාවෙ ඉන්න අන්තිම දවසත් ලං උනේ අපි හැමෝගෙම හිත් වල, විශේශයෙන්ම මගෙ හිතේ ලොකු දුකක් ඉතුරු කරමින්. මේ එයාගෙ අන්තිම අවුරුදු දෙක එයාගෙ එයාර්ලයින් කැබින් කෘ ජීවිතේ. ඉතින් එයාගෙ ආසාවට කවදත් ඉඩ දුන්න මං මේ දේටත් ඉඩ දුන්නෙ එයාට තියෙන ආදරේ නිසාමයි. මටත් වඩා ඇඬුවෙ අපේ නංගි. මොකද මේ ටික කාලෙට නෑනලා දෙන්නා එක කුසේ උපන් සොහෝදරියො තරම්ම ආදරෙන් ලංවෙලා හිටියා.

“අනේ අක්කියො ඉක්මණ්ට එන්න ආයෙමත්…” එයාර්පෝට් එකේදි නංගි පහන්දිව බදාගෙන ඇඬුවා. පහන්දි එයාව සනසලා ඇවිත් මගෙ කකුල් දෙක ලඟ වැටුණා. මං ඉක්මණටම එයාව නැගිටවලා අරන් මගෙ තුරුලට ගත්තෙ ඇස් වලින් කඳුලු ගලාගෙන යද්දි.

“අඬන්නෙපා මගෙ මැණික… අපි සදහටම සමුගන්නවා නෙමෙයිනෙ ම්ම්… ඔයාගෙ ආසාවටනෙ ඉතින් යන්නෙ නේද… අඬන්නැතුව ඉන්නකො ඉතින්…” මං එයාව තුරුල් කරන් පුලුවන් තරම් සනසන්න උත්සාහ කලා. විනාඩි ගාණකට පස්සෙ ඇඬිල්ල නතර කරපු එයා මගෙ දිහා බලන් කඳුලු අතරින්ම හිනාවුනා.

“මගෙ මහත්තයා…” මාව ආයෙමත් සැරයක් බදාගත්තු පහන්දි මිමිණුවා. “ගොඩාක් පරිස්සමින් ඉන්න ඕන හොඳද…? ඉස්සරටත් වඩා පරිස්සම් වෙන්න ඕනෙ දැන්… මගෙ හුස්ම ටික ඔයා… තේරුණාද…?” එයා මගෙ අත් දෙකෙන් අල්ලන් අහද්දි මං හා කියන්න ඔලුව වැනුවා. “ආයෙම මොකක් හරි ප්‍රශ්නයක්, කරදරයක් උනොත් මට හංගන්නෙපා අහස්.. මට ඒ ගැන කියන්න.. මං මේ ලෝකෙ කොහේ හිටියත්, ඔයා ලඟට කියන පමාවෙන් එන්න බැරි උනත් මං උදවු කරනවා ඔයාට.. ඔයාගෙ ලඟින්ම ඉන්නවා…”

“මං ඒක දන්නවා පහන්දි… ඔයත් මටත් වඩා ගොඩාක් පරිස්සමින්… ඔයා දැන් මගෙ වයිෆිනෙ.. ඉතින් ආයෙ වෙන කොල්ලො දිහා බලලා එහෙම අහුවෙන්නෙපා මරණවා…” මං එහෙම කියද්දි එයාට හරිම ලස්සන හිනාවක් ගියේ ආයෙම සැරයක් මාව බදාගනිමින්.

එයාගෙ ෆ්ලයිට් එකට වෙලාවත් හරි නිසා එයා අම්මලාටත් වැඳලා අවසර අරන් අපෙන් අන්තිම වතාවට සමුගත්තෙ එයාගෙ ලස්සන හිනාව පිරුනු මූණ ආයෙම සැරයක් අපිට පෙන්නලා. ෆ්ලයිට් එක පිටත් වෙනකල්ම එයාපෝට් එකේ හිටපු අපි එතනින් ගෙදර එන්න පිටත් වෙද්දි පාන්දර තුනත් පහුවෙලා. ඒ උනත් මං ගෙදර ආවෙ හිතකින් නෙමෙයි. හිතේ තුබුණු දුක හින්දම තාත්තට වෑන් එක ඩ්‍රයිව් කරන්න දුන්නු මම පිටිපස්සෙ සීට් එකට වෙලා කාටත් හොරා ඇස්වල කඳුලු පුරෝගෙන කල්පනා කර කර හිටියෙ හරියට තමන්ව දාලා තමන්ගෙ අම්මා රට ගිය පොඩි එකෙක් වගේ.
*************************************************************************

“සිමෙන්ති කොට්ට විසිපහ එහෙනම් හරිනෙ මල්ලි…? බිල සෙට්ල් කරගත්තනෙ බොසා එක්ක..? හරි එහෙනම් අපි ගියා ඈ…”

එසේ පැවසූ සුසිල් ටිපර් රථයට නැග එය පණගන්වා ඉදිරියට පදවාගෙන යන්නට වූයේ එදින තම කුඩා දියණියගේ උපන් දිනය වූ බැවින් ඉක්මණින්ම නිවසට යාම සඳහාය. ඔහු එතනින් පිටත් වන විටත් සවස හයට කිට්ටු කර තිබිණි. වේගයෙන් පරෙස්සමින් දඬු ටිපරය පැදවූ ඔහු ‘ජයසේන හාඩ්වෙයාර්’ වෙත පැමිණෙන විටත් වේලාව හයහමාර වී තිබුණු නිසා ඉක්මණින්ම එතැන ගනුදෙනු පියවා රථය නැවත පණගන්වා ගත් ඔහු තම නිවසට යන පාර දිගේ ගමන් කරන්නට විය. විදුලි පහන් කණුවක්වත් නොවූ මාර්ගයේ ඒ වෙලාවේ වුවද තිබුණේ දැඩි අඳුරකි. අඳුර කපාගෙන රථයේ විදුලි පහන් වලින් එල්ල වුණු ආලෝකයේ ආධාරයෙන් ඔහු ඉදිරියට ඇදුණේ ඡන්ද කාලයට පමණක් තම ප්‍රදේශයේ අඩුපාඩු දකින දේශපාලුවන්ට සිතින් බණිමිනි. තම කුඩා දියණිය සිහිවූ ඔහු ටිපර් රථයේ වේගය මදක් වැඩි කරත්ම විදුලි පහන් එලියෙන් ඔහුගේ දෑසට හසුවූයේ මාර්ගය හරහා මාරුවෙන වයසක ගැහැණියකි.

“ක්‍රා…ස්.. ඩෝ…න්…!!!”

කිසිවක් සිතාගන්නටත් ප්‍රථම වේගයෙන් බ්‍රේක් ගෑසූ ටිපරය පාර දිගේ ලිස්සා ගොස් මාර්ගය අයිනේ තිබූ විශාල සියඹලා ගසේ වැදී නතර විය. වින්ඩ්ස්ක්‍රීනය බිඳගෙන පිටතට විසිවූ සුසිල් සිහිය නොමැතිව බොහෝ වේලාවක් ගස යට වැටී සිටියේ ශරීරය පුරාම කැපුම් තුවාලද සහිතවය.

“අ…ම්…මේ…හ්…”

ඉතාමත් අපහසුවෙන් දෑස් හැරි සුසිල් වටපිට බැලුවේ තමන් සිටින්නේ කොහෙද කියාය. මුලු ගතම වේදනා දෙද්දී සිරුරේ ඉතිරිව තිබූ ශක්තිය එකතු කරගත් ඔහු සියඹලා ගසේ කඳ අල්ලාගෙන නැගිට්ටේය. ගසේ තදින් වැදී තිබූ ටිපරයේ ඉදිරිපස වීදුරුව සම්පූර්ණයෙන්ම පාහේ බිඳී ගොසිනි. රථයේ පහන් තවමත් නිවෙමින් දැල්වෙමින් පැවති නිසා තමන් අවට පරික්ශා කල ඔහු තම ජංගම දුරකථනය සෙව්වේ එය කමිස සාක්කුවේ නොවූ බැවිනි. වමතෙහි බැඳ තිබූ ඔ‍රලෝසුවේ වේලාව පස්වරු අට පසුවී විනාඩි විස්සක් බව සටහන් වී තිබිණි. අපහසුවෙන් පය තබමින් ටිපරයේ දොර අසළට පැමිණි ඔහු එය හරින්නට උත්සාහ කලද එය ඇතුලෙන් අගුල් දමා තිබූ නිසා හැරගැනීමට නොහැකි විය. බලාපොරොත්තු කඩවූ නිසා ඇතිවුණු කෝපයෙන් ඔහු දොරට අතින් පහරක් ගැසුවේ මාර්ගය හරහා පැන්න මැහැල්ලට බණිමිනි. තම කමිසය ගැලවූ ඔහු තම සිරුරේ තැනින් තැන තුවාලවී ගලන රුධිරය පිස දමන්නට වූයේ තුව්වල වලින් ආ වේදනාව මැඩගෙන‍ය. හෙමින් පියවර තබමින් මාර්ගය අසළට පැමිණි ඔහු දෙපැත්ත බැලුවේ බයිසිකලයක්වත් ඒදෝ කියා ය.

“මොකෝ කොළුවො පාරට වෙලා කොරන්නෙ…?”

මාර්ගයේ වූ අඳුර අතරින් මතු වූ වයසක මැහැල්ලක් ඔහුගෙන් අසා සිටියේ ඔහු අඳුරු මාර්ගය දෙස බලා හිඳිද්දීය. බියෙන් තිගැස්සුණු ඔහු පිටුපසට අඩියක් තිබ්බේ මැහැල්ලගේ හඬේ වූ හුරුපුරුදු බව නිසාය. ටිපරයේ නිවි නිවි දැල්වෙමින් තිබූ විදුලි පහන් ආලෝකයෙන් ඔහු දුටුවේ ලොමු දැහැගැන්වෙන දර්ශනයකි.

“බුදු අම්මෝ…!!!”

කුණුවී ඕජස් ගලන මුහුණින් තමන් දෙස බලාගෙන හිටියේ තම මියගිය මව බව හඳුනාගැනීමට ඔහුට වැඩි වේලාවක් ගියේ නැත. භීතියෙන් කෑගැසූ ඔහු නැවතත් වාහනය දෙසට දුවන්නට ගත්තේ ගතේ වේදනාවද අමතක කරමිනි. විශාල සියඹලා ගසේ මුලක පැටළුණු ඔහු බිමට ඇද වැටුණේ නැවතත් නැඟිට ගන්නටද අපහසු කරමිනි. බඩගාගෙන වේගයෙන් ඉදිරියට ගිය ඔහු නැවතත් බිම පෙරළී ගි‍යේ‍ය.

“කොළුවෝ…”

හිස ඔසවා බැලූ සුසිල් දුටුවේ හැරමිටිය බිමට ගසාගෙන කුදුවූ කොන්ද නවාගෙන තමන් දෙස රත්පැහැ ගත් දෑසින් බලා සිටින තම මෑණියන් ය. මීට වසර පහකට පමණ පෙර මිය ගිය ඈ තමන් සොයා පැමිණියේ ඇයිද යන්න සිතාගත නොහැකිව දැඩි භීතියකින් හා වේදනාවකින් කල්පනා කල ඔහු දෑස් පියාගත්තේ තමන්ගේ අවසානය පැමිණ ඇතැයි සිතමිනි.

“සු..සි..ල්… මා..මේ…”

එක්වරම තමන්ට ඉහළින් ඇසුණු ඒ හඬට නැවතත් දෑස් හැර බැලූ ඔහුට කෑගැසුණේ නිතැනිනි. මද ආලෝකයෙන් ඔහු දුටුවේ සියඹලා ගසේ ඉහළ සිට පහලට ගස දිගේ බඩගාගෙන තමන් දෙසට එන කලු පැහැති රුවකි. ඒ පැමිණි හඬ කාගේදැයි භීතිකාව අතරින්ම ඔහු සිතුවත් කලබල වී තිබූ මනසට කිසිවක් පැමිණියේ නැත.

“අම්මෝ…!!!”

සියඹලා ගස දිගේ පහතට ආවේ වෙන කවුරුත් නොව, තම එක කුස උපන් සොහෝදරියගේ මෙයට වසර පහකට පමණ පෙර සියදිවි නසාගත් දියණියයි.

“ස..ස..ස..ඳ…සා…වී…!”

සුසිල් ගොතගැසුවේ ඔහුට කෑගසන්නට තරම්වත් ශක්තියක් හිතේ නැති හෙයිනි. නිවි නිවී දැල්වෙන විදුලි පහනේ ආලෝකයෙන් ඇගේ රුවට එක් කලේ තවත් බිහිසුණු බවකි. ඒ මුහුණ බලන්නට නොහැකි තරම් විරූපී වී ගොසිනි. මුව ඇදවී දත් සමහර ඒවා විශාල වීද තවත් ඒවා එහෙ මෙහෙ ගොස්ද තිබුණි. නාසයක් නැති තරම්‍ ය. එය කුණුවී තිබිණි. මස් ගැලවී තිබූ කම්මුල්ද, ඇස් වටා ද මස් ගැලවී ඒ මැද රුධිරය ගලා යන විශාල තනි සුදු පැහැති ඇස් දෙක නිසා දකින ඕනෑම කෙනෙකු බියෙන් වෙවුලනවා නිසැක‍ය. ගස මත තිබූ දෑතේද මස් තැනින් තැන ගැලවී ඒ තුවාල වලින් රුධිරය ගලා යමින් තිබුණි. කිසිම හැඟීමක් නොමැති වුවද ඒ දෑස් තිබුණේ තමන් වෙත බව තේරුම්ගත් ඔහු පසුපසට යන්නට විය. එහෙත් ඔහු ප්‍රමාද වූවා වැඩිය. ඇය ඔහු අසලට පැමිණ ඔහුගේ එක් පාදයකින් අදින්නට වූයේ ඔහු උමතුවෙන් මෙන් දඟලමින් කෑගසන්නට වූ නිසාය.

“මට යන්න දීපන්… යන්න දීපන්….!!”

“කොහෙ යන්නද කොළුවෝ උඹ…? ආයෙ වෙන කොහෙවත් යන්ට ඕනැන්නෙ නෑ… උඹට යන්න තියෙන්නෙ එකම තැනයි… ඔය කෙලීට උඹව එහෙට යවන්න ඉඩ දීලා ඔන්න ඔහේ සද්ද නැතුව හිටපං….”

ඔහු අසළට පැමිණි මැහැල්ල පැවසුවේ සුසිල්ව සම්පූර්ණයෙන්ම උම්මන්තකයෙකු බවට බත් කරමිනි. දත්මිටි කමින් කෑගැසූ ඔහු අතපය ගසා දමා නැගිට්ටේ දුවන්න සිතාගෙන නමුත් ඔහුව ඉහළ අහසට එසවෙන්නට විය.

“හඃහඃහඃ හ හා….!!! උඹට මතකද අපි ජීවත් වෙලා ඉද්දි උඹ මට‍යි මේ ඉන්න උඹේම අම්මටයි කරපු කරදර කන්දරාව..?? මතකද අපි හම්බ කරපු එකත් උදුරගෙන අපිව බඩගින්නෙ තියලා උඹලා පාටි දදා සතුටු උනු හැටි…? මතකද උඹට උඹේ මේ අම්මට බෙහෙත් ගන්න සල්ලි ඉල්ලන්න ආවම උඹ අපිව එලවගත්තු හැටි…??? කීපාරක් නම් උඹ අපිට එහෙම කලාද… මතකද උඹට අරුන් මාව දූශණය කරලා මරලා දැම්මට පස්සෙ මාව හොයන්නාපු උඹ මගෙ මළමිනියට ආස වෙලා මළමිනියත් දූශණය කරපු හැටි…??? මතකද උඹට මතකද යකෝ කියපිය…!!!”

සඳසාවි කෑගසන හඬින් දැඩි ලෙස බියට පත්වූ සුසිල්ගේ කලිසම අතරින් මුත්‍රා පිටවන්නට වූයේ ය. කතා කරගත නොහැකි තරමටම ඔහුගේ බිය වැඩිවී තිබුණි. එහෙත් ඇය ඔහුගෙන් ඇසූ සියල්ලක්ම බොඳවූ සිතුවම් ලෙස ඔහුගේ මතකයට ආවේ නිතැනනි.

“මූට ඕවා මතක තියෙන එකක්‍ යැ කෙල්ලෙ… උඹ මැරුණට පස්සෙ මගෙ කරදරෙන් බේරෙන්න කියලා මූ මාවත් වස දීලා මරලා දැම්මා… බඩගින්නෙ හිටපු මට මූම වහ දාපු කෑම එකක් ගෙනත් දුන්නා… ඒක කනකල් බලන් හිටපු මේ තිරිසනා මං මැරෙන්න පණ අදිණකොට හිනාවෙවී බලන් හිටියා… පව්කාරයා… තෝව හදලා වදලා උස්මහත් කොරපු මටම මෙහෙම කොරානෙ පව්කාරයා…!”

සඳසාවි අසලට පැමිණි මැහැල්ලද එසේ පවසද්දි සුසිල්ට තම මරණ මංචකය අභියස දැනුණේ තමා කෙතරම් පව්කාරයෙක්ද යන්නයි. තමාගේ අවසානය ලඟ යැයි සිතුණද ඔහු තම කටහඬ අවදි කලේය.

“ම්..ම..ම..ට.. ස්..ස..මා..වෙ..න්..න.. අ..ම්..මේ….”

“උඹට සමාවක් නෑ යකෝ… උඹ අපිට කරපු අපරාධ වලට දඩුවම් විඳින්න ලෑස්ති වෙයන්… හඃ හඃ හඃ හා….!!”

එසේ පැවසූ සඳසාවි ඔහුව ඔසවා සියඹලා ගසේ දෙතුන් වතාවක් ඉතාමත් තදින් වද්දන්නට වූවාය. මැහැල්ල ඔහුගේ මුහුණට ලංවෙද්දි ඒ දසුනින් මරහඬ දුන් සුසිල් ඇගේ මුහුණ ඉවතට තල්ලු කරන්න උත්සාහ කලත් එය හරිගියේ නැත. කුණුවී ඕජස් ගලන, විරූපී වී තිබූ ඇගේ මුහුණ දෙස නොබලා දෑස් පියාගන්නට ගත් උත්සාහයද ව්‍ය‍ර්ථ වී ගියේ ඒ ආත්ම වල තිබූ බලයට විය හැක. කෑගැසුවද හඬක් නොනැගි ඔහුගේ උගුරු දණ්ඩෙන් දැඩිව අල්ලාගත් මැහැල්ල ඔහුව ඔසවා ටිපරය වෙත වීසි කලාය. වේගයෙන් ගොස් එහි වැදුණු සුසිල් බිම වැටුණු සැනින් ඔහුව ඔසවා ගත් සඳසාවි හා මැහැල්ල ඔහු බලා සිටියදීම ඔහුගේ ගෙල මිරිකාගෙන සිටියේ හුස්ම ගැනීමට නොහැකි වන තරම් දැඩිවය. තම දෑස් බොඳවී යන විට ඔහු දුටුවේ තමා ඉදිරියට පැමිණි තවත් රුවකි. එකෙණෙහිම ආත්ම දෙක ඔවුන්ගේ ග්‍රහණයන් මුදා කල අතර නැවතත් දෑසට පෙනීම ලැබෙද්දී තමාගේ මුහුණට එල්ලවූ පොරෝ පහරත් සමග සුසිල්ගේ අවසන් සුසුම් පොද වාතලයට මුසුවෙද්දී සඳසාවි හා මැහැල්ල සැනසීමෙන් ඒ දෙස බලා සිටියෝ ය.

************************************************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.