Katha Ahura

දෝණී | 27 කොටස | හොල්මන් කතා |

4.8/5 - (32 votes)

#27 කොටස

එක තප්පරේකට මගෙ හදවත නතර වුණා වගේ දැනුනා. එතන තිබ්බෙ මං හැමදාම වගේ හීනෙන් දකින, සඳසාවි එයාට වුණ දේවල් මට පෙන්නපු ඒ පාලු මූසල ගේ. මිදුලෙ පොඩි ඉඩක් ඇරෙන්න ඒ මුලු වටපිටාවම ගස්වැල් වලින් වහගෙන හිටියෙ හරියට එතන නිධානයක් හංගලා තියෙනවා වගේ. වටේම පරිසරය වගේම එලියට පේන්න තිබුණු විදිහට ගේ ඇතුලෙත් තිබ්බෙ ලොකු අඳුරක්. ඒත් ඒ එකක්වත් නෙමෙයි මගෙ හිතට බයක් ඇති කලේ ගේ ඉස්සරහා මට පිටිපස්ස හරවන් හිටපු රූපෙ අයිතිකාරයා කවුද කියලා මට තේරුණ නිසා. මං හෙමින් හෙමින් අඩිය තිය තිය එයා ලඟට ගියේ හිතට දැනුනු බය යටපත් කරගෙන. ඒත් ලඟට යනකල්ම මං ආපු වගක් එයාට පේන්න තිබ්බෙ නෑ. එයා බලන් හිටියෙ ගේ දිහාවෙ. එයාගෙ ලඟටම ගිය මම ඒ ඇඟට අතක් තියන්න හදද්දිම,

“හඃ හඃ හඃ හඃ හා….!!!”

මගෙ දිහාවට හැරුණෙ භයානක පෙනුමක් තිබ්බ මූණක්. කෑගහපු මං පස්සට පැන්නා.

“ආවද මාව හොයාගෙන…. හඃ හඃ හඃ හා…. දැන් ඉතින් ඔයාට ආපහු යාමක් නෑ… හඃ හඃ හහා…!!”

ඒ විදිහට වියරුවෙන් හිනාවුණේ වෙන කවුරුත් නෙමෙයි සඳසාවි. එයාගෙ මූණ බලන්න බැරි තරම් විරූපි පෙණුමක් තිබුණත් ඒ කටහඬ එයාගෙම තමයි.

“මොකටද මාව මෙහෙට ගෙනාවෙ…? මේ දේවල් වල තේරුම මොකක්ද…??” අඩියක් පස්සට තියන ගමන් මං ඇහුවා. එයා කකුලක් අද්දගෙන මගෙ ලඟට අඩියක් ඉස්සරහට ආවා.

“හැමදේම ඔයාට දැනගන්න ලැබෙයි අද… හඃ හඃ හා..!”

මගෙ ඉස්සරහා එ‍යාගෙ රූපෙ එකපාරටම වයසක ආච්චි කෙනෙක්ගෙ රූපයක් බවට හැරුණෙ මං බලන් ඉද්දිම. කොන්දත් කුදු කරගෙන මගෙ දිහා බලන් හිටපු ඒ ආච්චි මගෙ දිහා බලන් හිටියෙ රතු පාටට දිලිසෙන මහ කුරිරු ඇස් දෙකකින්. කොහෙදිහරි මං මේ ආච්චිව දැකලා තියෙනවා කියලා මට හිතුණා. එකපාරටම මාව අතීතෙට ඇදිලා ගියේ සඳසාවිගෙ මතකෙකට.

“මේ ඉන්නෙ මගෙ ආච්චි තාත්තියො… පේනවද ෆොටෝ වලට කෙල්ල වගේ ඉන්න හැටි.. හි..හි..” එක දවසක් එයා මට එයාගෙ ෆෝන් එකේ තිබ්බ පින්තූරයක් පෙන්නලා කිව්වා. ඒකෙ හිටියෙ එයයි ආච්චියි කොහෙහරි පාටියකට ගිහින් ගත්තු ෆොටෝ එකක්.

“දැන් ඒ මගෙත් ආච්චි හරිද මැට්ටි… ඔයාට වඩා නම් ලස්සනයි හැබැයි…”

“ඔව් එයා තරුණ කාලෙ ලස්සනයි තමයි.. එයාගෙ ෆොටෝ මං ඔයාට දවසක ගෙනත් දෙන්නම්කො…”

ඒ කියන්නෙ මේ ඉන්නෙ සඳසාවිගෙ ආච්චි. ඒත් එතකොට එයත් මැරිලද? දෙයියනේ මේ මොකද වෙන්නෙ එක හොල්මනක් මදිවට දැන් තව කෙනෙක්.

“මොකෝ කොළුවො උඹ බයවෙලා වගේ…? බයවෙන්ට කාරි නෑ උඹ අපේ කෙලීට අයිති එකා නොවැ… හැ හැහ් හැහ් හෑ….!!”

බොල් හඬකින් හිනාවෙච්ච ආච්චි මාව අල්ලන්න ඉස්සරහට ආවා. ඒත් මං පස්සෙන් පස්සට ගියේ හිතට දැනුණු අප්පිරියාව හින්දා.

“මොකෑ උඹ මට අල්ලන්න නොදෙන්නෙ…? හැහ් හැහ් හෑ…!”

“මගෙන් අහකට යනවා…! මාව අල්ලන්න උඹලට අයිතියක් නෑ…” මං කෑගැහුවා.

ඒත් ඒකට හිනාවුණු ආච්චි එකපාරටම හැරුණෙ ෂැඩෝගෙ බලු රූපෙට. ඇස් දෙක අදහගන්න බැරුව මං බලන් හිටියෙ මොකක්ද දෙයියනේ මේ වෙන්නෙ කියලා. මං දිහා බලාගෙන ගොරවපු ෂැඩෝ ආයෙමත් සඳසාවිගෙ රූපෙටම හැරුණා.

“මො..මොකද්ද මේ වෙන්නෙ…?”

“හඃ හඃ හඃ හා…. මං දැන් ශක්තිමත් කෙනෙක් තාත්තී… මං තනි කෙනෙක් නෙමෙයි දැන්… මගෙ ආත්මෙට තවත් ආත්ම එකතු වෙලා ලොකු ශක්තියක් දැන් මට තියෙනවා… දැන් ඉතින් මාව නවත්තන්න කිසිම කෙනෙකුට බෑ… හඃ හඃ හා… තව දවස් තුනකින් උදාවෙන පෝය දවසෙ මගෙ පලිගැනීම සම්පූර්ණ වෙනවා… එදාට මං තවත් බලවත් වෙනවා… ඊටපස්සෙ… ඊටපස්සෙ ඔයාව මගෙ ලඟට ගන්න එක නවත්තන්න කිසිම කෙනෙකුට බෑ…. හඃ හඃ හඃ හඃ හා…!!!”

“මං දැන් තමුන්ට අයිති නෑ දෝණි…! මං අයිති වෙන කෙනෙකුට තේරුණාද…” එයා හයියෙන් හිනාවෙද්දි මං කෑගහලා කිව්වා.

“නෑ…නෑ…. ඔයා මගෙ විතරයි… ඒකිට අයිති වෙන්න දෙන්නෙ නෑ මම… මරණවා මං ඒකිව…!!” එයා කෑගහද්දි වටේට තිබුණු ගස්වැල් පවා ලොකු හුලඟක් ඇවිත් ඇඹරිලා යන්න පටන් ගත්තෙ හරියට එයාගෙ තරහා ඒවලටත් දැනිලා වගේ.

“හහ්..? තමුන්ට එදා අපේ එන්ගේජ්මන්ට් එක නවත්තගන්නත් බැරි උනානෙ කයිවාරු ගැහුවට… අර අහිංසක බල්ලා මරපු එක විතරයි තමුන් කලේ… තමුන්ට පුලුවන් අහිංසක ජීවිත වලට හානි කරන්න විතරයි… පව් පුරවගනින් තව පුලුවන් තරම්.. නරකාදියටම පලයන්..!!!”

මගෙ කතාවට එයාගෙ මූණ බලන් ඉන්න බැරි තරම් රෞද්‍ර උනා. ඒකෙ තිබ්බෙ මහ විසාල වෛරයක් කියලා අඳුනගන්න මට බැරි උනේ නෑ.

“ඊට කලින් දවසෙ ඔයාව මගෙ ලඟට ගෙන්නගන්නයි මං හැදුවෙ… ඒත් ඒකි.. ඒකි ඒ හැමදේම විනාශ කලා… ඒකි මගෙන් ඔයාව බේරගත්තා එදා ‍රෑ… එදා රෑ ඒකි ඔයාට ලොකු ආරක්ශාවක් කලා… මං එන්ගේජ්මන්ට් එකටත් ආවා.. ඔයත් මාව දැක්කා… ඒකිත් දැක්කා මාව… එදත් ඒකි ඔයාව බේරුවා… ඒත් හැමදාම ඔයාව ආරක්ශා කරන්න ඒකිට බෑ තාත්ති… මං ඔයාව කොහොමහරි මගෙ ලඟට ගන්නවා… හොඳින් බැරිනම් නරකින් හරි… මගේ දේවල් මගේ විතරයි…”

එයා කියපු කතාවට මට පහන්දි ගැන ඇතිවුණේ ලොකු පුදුමයක් වගේම ආදරයක්. ඒ කියන්නෙ සඳසාවි අපේ එන්ගේජ්මන්ට් එක විනාශ කරන්න හැදුවත් පහන්දි ඒකට ලෑස්ති වෙලයි ඉඳලා තියෙන්නෙ. එයා මටත් නොකියා අපේ ආරක්ශාව ගැන බලලා තියෙනවා. ඒකයි එහෙනම් එදා මං සඳසාවිගෙ පස්සෙන් යද්දි වේටර් කෙනෙක් එතෙන්ට ආවෙත්. පහන්දි කියන්නෙ මං හිතන් ඉන්නවටත් වඩා වෙනස් කෙනෙක් කියලා මට හිතුණා.

“හහා… ඒ කියන්නෙ මගෙ වයිෆ් තමුන්ටත් වඩා හුඟක් බලවත්… ඒකයි තමුන්ට මාව ලඟට ගන්න බැරි උනේ… දැන් උනත් තමුන්ට මාව අල්ලන්න බෑනෙ නේද…? ඒ කියන්නෙ මං තමුන්ගෙන් ආරක්ශිතයි කියන එක…”

එයා මගෙ දිහා බැලුවෙ සමච්චලේට වගේ. ඊටපස්සෙ මට ලංවෙන්නෙ නැතුව හෙමින් හෙමින් මගෙ වටේට ඇවිදින්න ගත්තෙ ගොදුරක් වටේට ඇවිදින කොටියෙක් වගේ.

“බලවත්..? හඃ හඃ හා… ඔයා ඒකි ගැන හිතන් ඉන්නෙ මහ ඉහලින් නේද…? ඒකි බලවත් නෑ ඒකිගෙ අධ්‍යාත්මික ශක්තිය වැඩියි… ඒත් දැන් මං ඊට වඩා බලවත්… ඒකි තනි කෙනෙක් මං දැන් තුන් දෙනෙක්… ඒකිට දැන් මාව නවත්තන්න බෑ කොහොමත්.. ඔයා ඒකිව යවපු එක හොඳයි නැත්තම් මේ වෙද්දි මං ඒකිව මරලා… ඔයා දන්නවද තාත්ති ඒකිත් නොදන්න ඔයත් නොදන්න දෙයක් තියෙනවා…”

“ඒ මොකක්ද..?”

“ඒක ඔයාට මම කියන්නෙ නෑ ඔයාටම ඒක දැනගන්න ලැබෙයි… හඃ හඃ හඃ හහා… එදාට ඔයා මගෙ ලඟට කැමැත්තෙන්ම එයි.. ආයෙ ඔයාව ගලවගන්න කිසිම කෙනෙක්ට බෑ… ඔයා සදහටම මගේ විතරයි…”

එහෙම කියපු එයා මගෙ ලඟට ආවා. බෙල්ල පැත්තකට ඇල කරලා ඒ ඇස් වලින් මං දිහා බලන් හිටියෙ ලොකු ආසාවකින්.

“මේ ඇස් වලට මං කොච්චර නම් ආදරේ කලාද ඒ කාලෙ…”

“විකාර නැතුව අයින් වෙනවා දෝණි…!” එහෙම කියපු මං එයාව තල්ලු කලා.

“ආ…හ් එපා…!!!”

එයා කෑගහගෙන විසිවුණා. මොකක්??? වෙනදා එයාව අල්ලන්න බැරිවුණු මට අද මං එයාව තල්ලු කරපු ගමන් විසිවෙලා ගියේ මාව විතරක් නෙමෙයි එයාවත් පුදුම කරමින්.

“ඔ..ඔයාට මාව අල්ලන්න පුලුවන් උනේ කො..කොහොමද…? එ..එහෙම වෙන්න විදිහක් නෑනෙ…” එයා මගෙ දිහා බලාගෙන ගොත ගැහුවා.

“මගෙ පහන්දි මාව ආරක්ශා කරන්න ඇති.. එයා දැනන් ඉන්න ඇති එයා ගියාට පස්සෙ තමුන් මට කරදර කරයි කියලා… හඃ හඃ හා… දැන් ඉතින් තමුන්ට මාව අල්ලන්න බෑ දෝණි… මගෙ ලඟට එන්න හිතන්නවත් එපා… එහෙම උනොත් තමුන්ටමයි කරදර ඇති වෙන්නෙ…” එයා දිහා නෝන්ඩියට බලන ගමන් මං කිව්වෙ පහන්දි ගැන හිතට දැනුණු ආඩම්බරෙත් එක්ක.

“මගෙ මගෙ කියන එක නවත්තනවා..!!!” එයා යටිගිරියෙන් කෑගැහුවා. “මං ඒකිව විනාශ කරනවා… ඔව් තාත්ති මං ඒකිව විනාශ කරනවා.. බලාගන්නවා ඔයාගෙ කියන ඔය බැල්ලිට මං කරන දේ…”

“ඔය තර්ජන වලට මං බයවුණේ ඉස්සර දෝණි… දැන් මං බය නෑ… තමුන්ගෙ ඔය යක්ශ බලේට වඩා අපේ ආදරේ බලවත්… ඒකයි තමුන්ට මාව අල්ලන්න බැරි උනේ… ඒ වගේ……”

“එපා…. එපා…… ආ……….හ්…!!!”

මගෙ කතාව නවත්තමින් එයා අත් දෙකෙන්ම ඔලුව අල්ලන් කෑගහන්න ගත්තා. මේ මොකද ඒ ගමන වෙන්නෙ? ඒත් එක්කම මට ඇහුණෙෑතින් වගේ ඇහුණු හඬක්. ඔව් ඒ ඇහෙන්නෙ පිරිත් හඬක් නේද. ඒක තමයි මෙයාට ඉන්න අමාරු. ඒත් මේ ඉන්න තැනට කොහොමද පිරිත් ඇහෙන්නෙ?

“එපා… එපා…. අනේ…. තාත්තී….. එපා…..”

සඳසාවි මගෙ දිහාවට අත දික් කරන් යටිගිරියෙන් කෑගහද්දි වටේට තිබුණ අඳුරු පරිසරය ටික ටික ආලෝකමත් වෙන්න පටන් ගත්තෙ ආයෙමත් මං ඉන්නෙ අපේ වත්තෙ කියලා මට දැනෙද්දි. ඒත් එක්කම සඳසාවි වගේම අර මූසල ගෙදරත් එතනින් අතුරුදහන් උනේ මං බලන් ඉද්දි.

“බයං විරාගං අමතං පණිතං යදජඣගා සක්‍යමුනී සමාහිතො…….”

අපේ ගේ පැත්තෙන් මහ සද්දෙට පිරිත් හඬ ඇහෙද්දි මගෙ හිතටත් ශක්තියක් ආවා. මං ඒ කැලෑව තිබුණු හරියෙන් ගෙවල් පැත්තට ඉක්මන් ගමනින් යන්න ගියේ ගෙදර අය ඇවිත් කියලා දැකපු නිසයි.

“පුතා කොහෙද හිටියෙ…? අපි හිතුවෙ කොහෙ හරි ගිහින් කියලා…” මාව දැකපු අම්මා ඇහුවෙ මගෙ උඩ ඉඳලා පහලට බලන ගමන්. “මොකෝ ළමයො මේ ඇඟේ හැටි..? කොහෙද රිංගුවෙ…?”

“අයියෝ අම්මා මං මේ පාලු නිසා වත්තෙ ඇවිදින්න ගියානෙ ටිකක්… ඔයාලා දැන්ද ආවෙ…?” මං ෆිල්ටර් එකෙන් වතුර එකක් වීදුරුවකට පුරවගන්න ගමන් ඇහුවා.

“දැන් ටිකක් වෙලා… පුතාට තේ එකක් එහෙම ඕනෙද…?”

“හා බොමු බොමු…” එහෙම කියපු මං එතන තිබ්බ පුටුවක ඉඳගත්තා.

********************************************************************

එදින හවස මන්ත්‍රී සුනන්ද වික්‍රමසිංහගේ නිවසේ සාදයකි. ඔහු සහ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකුද ඔහුගේ ගෝල බාලයන්ද ප්‍රදේශයේ මැරයන් කිහිපදෙනෙකුද ඒ අතර විය. එය තරමක පෞද්ගලික සාදයක් වූ බැවින් ඔවුන් සුනන්දගේ විශාල නිවසේ සාලය මැද එය පැවැත්වුවේ ජනතාව තමන් මැරයන් සමඟ සිටිනවා දැකීම තමන්ගේ තත්ත්වයට හරි නැති බැවිනි. එමෙන්ම ඔහු එදින තම පවුලේ උදවිය විනෝද චාරිකාවක් යවා තිබුණේ හිතේ හැටියට විනෝද වීමට අවශ්‍ය නිසාය.

“ඒ කරදරෙත් ඉවරයි එහෙනම්… දැන් අපි ගැන හොයන්න කිසිම කෙනෙක් නෑ…” එතැන සිටි මැරයෙකු වූ සමරවීර කීවේ තවකෙකු සමඟ සිනාසෙමිනි.

“ඒ උනාට අනිකා පැනගත්තනෙ අයිසේ… දැන් ඌ කොහෙ ඉන්නවද කවුද දන්නේ… කොහෙද ඉතින් තමුසෙලට හරියට වැඩක් ඉවර කරගන්න බෑනෙ…” සුනන්ද පැවසුවේ මත්පැන් උගුරක් පානය කරමිනි.

“හරි බොස් අපි දැක්කනෙ මිනිහව අර ඇලට වැටෙනවා අපි පස්සෙන් එලවද්දි… අනික අපි හොඳට හෙව්වනෙ ඇල දිගේම… ඔය ටිකට මෑන්ට කොහෙවත් පැනගන්න විදිහක් නෑ… අනික ඇලේ බැම්මත් වතුර මට්ටමේ ඉඳලා අඩි හයක් විතර උසට තිබ්බෙ… බොස් හිතනවද අර තරම් ගුටි කාලා, කැපුම් තුවාලත් එක්ක මිනිහා බේරිලා යයිද කියලා…?” සුනන්දගේ ගෝලයෙකු වූ සමන්ත පැවසූ දෙය අනිත් එවුන්ද හිස වනා සනාථ කලෝය.

“ඒ උනත් බොඩි එකක් හම්බුණේ නෑනෙ මනුස්සයෝ… ඕකුන් සී.අයි.ඩී කාරයොනෙ..” තවමත් විශ්වාස නැති අයුරින් සුනන්ද පැවසුවද ඔහුගේ සිතේ තිබුණේ සතුටකි.

“අපි ගේම් දීපු වැඩ්ඩො එක්ක බලද්දි ඕකුන් මොක්කුද සර්…? සර්ම දන්නවනෙ ඉතින් ආයෙ අපි කියන්න ඕන නෑනෙ…”

තම ගෝල බාලයන් ගැන සතුටු වූ සුනන්ද තවත් මත්පැන් වීදුරුවක් පුරවා ගත්තේ කඩල දීසියෙන් කඩල ඇට කීපයක් තම අත්ලට ගනිමිනි. ඔවුන් මේ කතා වෙන්නේ එදා රිය අනතුරකට මුහුණ පෑ අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකු වූ අතුල හා චන්දන දෙදෙනා ගැනය. තමන් යට ගැසූ අපරාධ නඩුවක් ‍යළිත් ගොඩ ගැනීමට කටයුතු කරමින් සිටි ඔවුන් දෙදෙනා සුනන්දට මහත් හිසරදයක් වී තිබිණි. තම දේශපාලන බලය යොදා ඔවුන් එම නඩුවෙන් ඈත් කිරීමට කටයුතු කලත් ඒ සියල්ලක්ම නිෂ්ඵල වූ බැවින් තම පාතාල ගෝල බාලයන් යොදා ඔවුන් මරා දැමීමට කටයුතු කලේ එම නිසාය. නමුත් ඉන් එක් නිළදාරියෙකු ඔවුනට මඟහැරී ගියේ මැරයන් සමඟ පොරබදා ඔහු එතැනින් පැනගොස් තිබූ බැවිනි. නමුත් තම ගෝලයන් ඔහුද මියගොස් ඇති බව පැවසූ නිසා ඔහු සතුටු වූයේ තමන්ගේ හිසරදය ඉවත්වූ බව සිතට දැනුණු හෙයිනි.

“ඒත් මට පොඩි අවුලක් තියෙනවා මචං… එදා අපි ෆලෝ කරද්දි අපිට උන්ව මග ඇරුණනෙ… උන්ගෙ වාහනේ කොහොමද පෙරලිලා තිබුණෙ අපි එතෙන්ට යන්නත් කලින්ම…?” මැරයෙකු වූ ජනක අනිත් එවුන්ගෙන් විමසා සිටියේය.

“ඕකත් මහ ලොකු අවුලක්ද බං..? එක්කො ඕකුන් බීලා ඉන්නැති නැත්තම් පාර හරහා සතෙක් පනින්න ඇති… දැක්කෙ නැද්ද වාහනේ ලිස්සපු පාරවල් තිබ්බා…” ඔහුගේ මිතුරෙකු එලෙස පවසද්දි සැවොම කොක් හඬලා සිනාසෙන්නට විය.

මේ අතර සුනන්දට මත්පැන් පානය නිසාම වැසිකිලියට යාමට අවශ්‍යතාවයක් ඇතිවිය. අනිත් අයට එය පැවසූ ඔහු තම වීදුරුවට යලිත් මත්පැන් පුරවාගෙන ඌරුමස් කැබැල්ලක්ද අතින් ගෙන නාන කාමරය දෙසට හෙමින් හෙමින් වැනෙමින් ඇවිද යන්නට විය.

“කෝ යකෝ මේකෙ ලයිට්…?”

නාන කාමරයේ විදුලි බල්බය දැල් වුනේ නැති බැවින් ඔහු බැන බැනම අඳුරේම අතපත ගාමින් නාන කාමරය තුලට පිවිසියේ මස් කැබැල්ල කටේ ඔබා ගනිමිනි. මුත්‍රා කරමින් සිටින අතරතුර ඔහුට ඇසුණේ තම කාමරය තුළ කවුරුන් හෝ සිනාසෙන හඬකි. මඳක් උත්සාහ කල ඔහු හොඳින් සවන් දුන්නේ ඒ කවුරුන්ද කියා දැන ගැනීමටය. යලිත් ඔහුට ඇසුණේ තරුණියක සිනාසෙන හඬය.

“අරුන් බඩුවක්වත් ගෙනල්ලද දන්නෑ… ඕකුන් මොන එකකටද යකෝ මගෙ කාමරේට ඒකිව ඇදන් ආවෙ..?”

කෝපයෙන් එසේ සිතූ සුනන්ද තම කලිසමද උඩට උස්සාගනිමින් බිත්තිය අතගාමින් නාන කාමරයෙන් පිටතට පැමිණි ඔහු කාමරය සිසාරා බැල්මක් හෙලුවද ඔහුට කිසිවෙකු දැකගත නොහැකි විය. ඒත් සමඟම හෙණ පුපුරණ හඬක් එක්කම වාගේ නිවසේ විදුලිය ඇණ හිටියේ විශාල නිවස අන්ධකාරයෙන් පුරවා දමමිනි.

“මොන හු^%ක්ද යකෝ ඒ පාර උනේ…?”

තමන්ටම එසේ පවසාගත් ඔහු අඳුරේම වටපිට බැලුවත් ඔහුට දැඩි අඳුර නිසාම කිසිවක් හරිහැටි පෙනුණේ නැත. සැර විදුලියක් අහසේ ඇදී යනවිට එයින් පැමිණි ආලෝකයෙන් සුනන්ද දුටුවේ තම නිදන යහන මත හිඳිමින් තමන් දෙස බලාගෙන සිටි තරුණියක්‍ ‍ය. මදක් ගැස්සී ගිය ඔහු කතා කලද පිලිතුරක් නොවූ තැන ඔහු යහන දෙසට හෙමින් ඇවිද යන්නට විය.

“ස්ලාන්…!”

ඔහුගේ අතෙහි වැදී ස්ටූලයක් මත තිබූ වීදුරු බඳුනක් බිම වැටී කුඩුවී ගියේය.

“මේ ප%ත් මෙතනම තිබුණනෙ… අරුන්ටවත් කතා කරන්න ඕනෙ…”

තම ගෝලයන්ට කතා කිරීමට තම මුව විවර කලා පමණි. නැවතත් අකුණක් ගැසුවේ මුලු කාමරයම අලෝකමත් කරමිනි.

“කවුද උඹ..?”

ආලෝකයෙන් ඔහු දුටුවේ තමන් දෙස බලමින් සිනාසෙන අර යුවතියයි. කෙතරම් ගැහැනුන් ඇසුරු කලද ඔහුගේ සිතට මෙවෙලෙහි දැනෙන්නට වූයේ අමුත්තකි.

“කවුද ඔතන ඉන්නෙ…? සමන්ලද උඹව එක්කගෙන ආවෙ මෙහෙට..? මොකද මගෙ කාමරේ කරන්නෙ ආ…? මොකද බං කතා නැත්තෙ කතා කරපංකො…”

ඔහු කෙතරම් ප්‍රශ්න ඇසුවද ඒ කිසිවකට ඔහුට පිළිතුරක් ලැබුණේ නැත. කෝප වූ ඔහුගේ කෝපය තවත් වැඩි වූයේ කාමරයේ දොර වේගයෙන් ශබ්ද නගමින් වැසී ගිය හඬටය. ඒත් සමඟම පිටතින් වේගවත් වර්ශාවක් ඇද හැලෙන්නට විය. නැවතත් කෙටූ විදුලියකින් කාමරය ආලෝකමත් වෙද්දී දුටු දෙයින් සුනන්දගේ වෙරි සිඳී ගියේය.

“හඃ හඃ හඃ හඃ හා හා…!!!”

වියරු සිනහවක්ද සමඟින් තම යහන මත සිටි තරුණිය සිටගෙන ඔහු දෙස බලාගෙන සිටියේ විසුරුවාගත් කොණ්ඩයෙන් වැසී ගිය මුහුණ ලේ වලින් නැහැවී තිබියදීය.

“ක..ක..වුද උඹ…?” සුනන්දට ගොත ගැසුණි.

“හඃ හඃ හහා…! උඹට යන්න වෙලාව ඇවිත් සුනන්ද…”

“කවුද යකෝ උඹ…? සමන්ත… අජිත්….!! කෝ යකෝ මුන් කෝ…..???” බෙරිහන් දුන් සුනන්ද දොර දෙසට වේගයෙන් ගියේ ඉවෙන් මෙනි. එය විවෘත කිරීමට උත්සාහ කලද එය අඟුල් දා තිබුණේ ඔහුගේ කෝපය මෙන්ම බියද වැඩි කරමිනි.

“උඹට උදව් කරන්න කවුරුත් නෑ අද… හඃ හඃ හා…! උඹව බේරගන්න උඹේ හෙන්චයියො එන්නෙත් නෑ… ලෑස්ති වෙයන් උඹේ පව්කාර ජීවිතේට සමුදෙන්න… හඃ හඃ හඃ හහා….!!”

“ක්..ක..කවුද කි..කියපං උ..ඹ…??”

“උඹට මතකද උඹේ ගෑනිගෙ සහෝදරයගෙ පුතා කෙල්ලෙක්ව දූශණය කරලා මරලා දාපු දවසෙ ඌ උඹට ඌව බේරලා දෙන්න කියලා කතා කරපු දවස…? මතකද උඹ ඒ කේස් එක වැඩිදුර පරික්ශන කරන්න නොදී වහලා දැම්මා…? මතකද ඒ දූශණය කරලා මරලා දාපු කෙල්ලගෙ අසරණ ආච්චිවත් ඉවරයක් කරන්න කියලා උගෙම දරුවෙකුට සල්ලි දීලා ඒ අහිංසක ගෑනිව මරලා දාපු හැටි…? මතකද උඹට ආ බොල බල්ලෝ….???”

වේගවත් හඬින් පැවසූ තරුණිය යලිත් මහ හඬින් සිනාසුණේ සුනන්දගේ සිත අතීතයට ගෙන යමිනි. ඇය පැවසූ දේවල් සියල්ල නිවැරදි වූවත් මේ සිටින්නේ කවුද? ඇය මේවා දන්නේ කෙසේද යන්න ඔහුට මහත් ප්‍රෙහෙලිකාවක් විය.

“හඃ හඃ හා…! උඹලා ඒ වහපු කේස් එක මගේ…. උඹලා මැරුවෙ මගේ ආච්චිව…. මතකද උඹට ඒක…?”

ඇගේ කතාව ඇසුණු ඔහුගේ ඇඟ කිලිපොලා ගියේ සිතේ ඇතිවූ බියටය. ඒ කියන්නෙ තමන්ගේ අවසානය ලඟා වී ඇතිද යන්න ඔහුගේ සිත බියෙන් ග්හැන්නට විය.

“අ..අනේ… මට සමා..වෙන්න දු..වේ… මං දැනන් හිටියෙ නෑ එ…”

“වහපිය කට බොරු නොකියා….!!!” ඇය කෑගැසුවාය. ඒ හඬින් බියපත් වූ සුනන්ද තම කට පියාගත්තේය.

“බුදු අම්මෝ…..!!!”

ඒත් සමගම ඇසුණු සුනන්දගේ වේදනාකාරී විලාපය මහ වර්ශාවේ හඬින් මැකී ගියේ එය කිසිවෙකුට නෑසෙමිනි.

“එපා…. එපා…..” යි කෑගැසූ ඔහු පස්සෙන් පස්සට යන්නට වූයේ තමන් ඉදිරියට පැමිණෙමින් සිටි තරුණියගේ අවතාරයෙන් බේරීම සඳහාය. ඔහුගේ එක අතක් මැණික් කටුව අසලින්ම වෙන්වී ලේ ගලායමින් තිබුණි.

“හඃ හඃ හඃ හා… උඹට ගැලවීමක් නෑ සුනන්ද…. උඹ වගේ එකෙක් මැරුණා කියලා කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ….”

එසේ පැවසූ ඇය සුනන්දගේ ගෙලින් අල්ලාගෙන ඉහලට ඔසවන්නට විය. ඔහුව බිත්තිය දෙසට විසි කර දැමූ ඇය, ඔහු මරහඬ තියද්දිත් නැවතත් ඔහුගේ දකුණු පාදය අල්ලාගෙන එය කඳින් වෙන් කර දැමුවේ කකුළුවෙකුගේ අඬුවක් ගලවන තරම් පහසුවෙනි.

“ආ………..හ්”

දැඩි වේදනාවෙන් මරහඬ දුන් සුනන්ද වේදනාව අතරින්ම එක අතකින් බිම දිගේ බඩගාන්නට වූයේ තම ජීවිතය කෙසේ හෝ බේරාගැනීමේ අටියෙනි. එකෙණෙහිම වාගේ නිවසේ විදුලිය නැවතත් පැමිණියත් විදුලි බල්බ වලින් පැමිණියේ මද ආලෝකයකි.

“හඃ හඃ හඃ හඃ හහා හා…!!” තමා අසළින්ම ඇසුණු ඒ වියරු සිනා හඬට බඩගාමින් සිටි සුනන්ද යාන්තමින් දෑස් පමණක් ඔසවා බැලූ සැණින් ඔහු යලිත් මරහඬ දුන්නේ දැඩි භීතියකින් ගත කිලිපොලා යන විටය.

“අම්මෝ…….!!!!”

තමා මෙලොව දුටු භයානකම දසුන දුටු සුනන්ද වේදනාව මෙන්ම බිය නිසාද සිහි විකල් වූවෙකු සේ දඟලන්නට විය. ඔහුගේ මුහුණට ඉහලින් සිටියේ සුදුවී ගිය කොණ්ඩය මුහුණ පුරා කඩා විසුරුවාගෙන සිටි, මුහුණේ මස් කැබලි තැනින් තැන ගැලවී කුණුවෙමින් ඕජස් ගලමින් තිබූ මුහුණක් සහිත කොන්ද කුදු කරගෙන පිටතට නෙරා විත් තිබුණු ‍රත්පැහැ ගත් දෑසින් ඔහු දෙස බලා සිටින වයසක ගැහැණියකි.

“හ..ම්..මේ….හ්… එ…එ..ප්…පා……”

සුනන්ද කෙඳිරි ගාන්නට විය. කාම‍රයේ වූ මඳ ආලෝකයෙන් ඔහු දුටුවේ තමන් වෙතට එන වෙනත් කෙනෙකුගේ රූපයකි. ඔහු සිතුවේ ඒ තමාගේ ගෝලයෙකු කියාය. නමුත් ඔහුගේ සිතුවිල්ල වැරදී ගියේ පැමිණි තැනැත්තා ඔහුගේ ගෙලට ලණුවකින් ගැටගැසූ තොණ්ඩුවක් දමා ඔහුව ඔසවා සිවිලිමේ වූ විදුලි පංකාවේ එල්ලූ විටය. තම ගෙල ටිකෙන් ටික සිරවෙද්දී තමා කල පව් සියල්ලම වාගේ මතකෙට නැගුණු සුනන්දගේ දැඟලිල්ල විනාඩියක් වැනි සුලු කාලයකදී අඩුවී ගියේ ඔහුගේ අවසන් හුස්ම පොද වාතලයට මුසු වන විටය.

“හහ් හහ් හහ් හා හා හා….!!! දැන් ඉතුරු වෙලා තියෙන්නෙ අන්තිම පලිගැනීම…. හහ් හහ් හහ් හා…….”

තරුණිය එලෙස පවසා වියරු ලෙස සිනාසෙන විට ඒ දෙස බලා සිටි කාමරයේ ඇය සමඟ සිටි අනෙක් තැනැත්තා ඇය දෙස බලා සැනසුම් සුසුමක් හෙළුවේය.

**********************************************************************

28 කොටසින් නැවත හමුවෙමු.

අවසානය ලඟ ලඟම ?

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.