Katha Ahura

අඳුන් සිහින |තුන්වන පරිච්ඡේදය | නවකතාව |

5/5 - (1 vote)

“කවුද ඒ ?” රුචිරා තම හිස සෙලවුවාය.

“ඒ මෑන්ට පිස්සුද? නැත්නම් අපිට පිස්සුද?”

“මම හිතන්නේ මට පිස්සු…..” රිදීමා තමාටම කොඳුලා ගත්තාය. ”ඇයි මේ දෙන්නා මට මෙහෙම කරන්නේ ? “එදා එක්කෙනෙක් ! අද තවත් කෙනෙක්……”

“මෙහෙම කථා කරන්න බැහැ. අපි ගෙදර යමු” අමා පැවසුවාය.

නිවසට යනතුරු යෙහෙළියෝ ගොළු වුහ. රුචිරා පමණක් කථාවක් ඇද ගැනීමට තැන් දැරුවද, එය සාර්ථක නොවිණි. කෑ ගසා හැඬීමට සිතුණු මුත්, රිදීමා එසේ නොකළාය. “සුදු මැණිකේ” යැයි ඔහු තමා ඇමතීය. ”සුදු මැණිකේ මමද?” ඈ තමාගෙන්ම අසාගත්තාය.

****************************************************

“අපි නොදන්න මොකක් හරි මෙතන තියනවා……” මහීකා සාදා දුන් කෝපි කෝප්පය සුරතට ගත් අමා පැවසුවේ කල්පනාකාරීවය. “රිදීමාට බෝයිස්ලා දෙන්නෙක් මුණ ගැහෙනවා. එක්කෙනෙක් ගැන මතකයක් රිදීමාට තියනවා. ඒ දන්නම රිදීමා ගැන දන්නවා. එයාලා රිදීමා දිහා බලන්නේ හරි උපහාසයෙන් ! මේකට හේතුව මොකක්ද?”

සියල්ලෝ නිහඬව කෝපි තොල ගෑවෝය.

රුචිරා තම මොළය වෙහෙස කරවන බව දැනුණේ, ඇගේ ඇඟිලි තුඩුවලින් මේසයට තට්ටු කරනා හඬිනි.

“රිදීමාට මුකුත්ම මතක නැද්ද?” අවසානයේ අමා ඇසුවාය.

“නෑ….” රිදීමා පැවසුවේ, හිස අත බදා ගනිමිනි.

“මට නම් මුකුත් හිතාගන්නත් බැහැ. මම ඔය කියන ඩාන්සින් මාස්ටර් ඇත්තටම මතක නැහැ. අද මුණගැහැණු බෝයි කවදාවත් මුණගැහිලත් නැහැ. ඒක නම් මට හොඳටම විශ්වාසයි….”

තම යෙහෙළියන්ගේ දෙනෙත් තමා වෙත එල්ල වෙනුත්, ඒ මුහුණුවල වු වික්ෂිප්ත බවත් දුටු රිදීමා උන් තැනින් නැගී යන්නට තැනුවාය.

“ඔහොම ඉන්න රිදීමා…. ඕකට තමා කියන්නේ ප‍්‍රශ්ණ වලින් පැනලා දුවනවා කියලා. මොකක්ම හරි ප‍්‍රශ්ණයක් තිබුනොත් ඒකට උත්තරයකුත් තියෙන්නත් ඕනනේ…..” අමා පැවසුවාය. ඇගේ හඬෙහි වුයේ විධානාත්මක ස්වරූපයකි.

“ඔයාට ඔය දේවල් අමතකද? නැතිනම් ඔයාගේ මනස, ඔය මතකයට උඩට එන්න ඉඩදෙන්නේ නැද්ද? කියන එක තමා මට ඇති ලොකුම ප‍්‍රශ්නය”

රිදීමා දැස් වසා ගත්තාය. තමාට අතීතය අමතක වීමට තරම් බරපතල යමක් සිදුවුවාද? තමා පියාද, ගමේ පාසැලේම ගුරුවරියක වු මවද සමග පාසැල් යනු ඇයට මතකය. ඉන්පසු ඈ මහනුවර උසස් බාලිකා විද්‍යාලයක නේවාසිකාගාරයක නැවතී අධ්‍යාපනය හැදෑරුවාය. ඇය නිවසට ගියේ ඉඳහිට සති අන්තයක හෝ නිවාඩුවකට පමණි. එහෙත් අප්පච්චි හෝ අයියා නොවරදවාම ඇය බැලීමට පැමිණියෝය. ඇයට ගම්වාසීන් මුණ ගැනීමට වේලාවක් තිබුණේ නැත.

“අපිට තියෙන්නේ රිදීමාව මෝහනය කරන්න” රුචිරාගේ හඬින් රිදීමා තිගැස්සී දෑස් හැරියාය.

“ඔව් රිදීමා…” ඒක බයවෙන්න තරම් දෙයක් නෙවෙයි. හරිම සරල දෙයක් …. ” අමා පැවසුවාය.

රිදීමාට මෙන්ම මහීකාටද එහි තොරතුරු දැනගැනීමට අවශ්‍ය වුයේය.

“මෝහනය කරනවා කියන්නේ යම් පුද්ගලයෙකුගේ මනස නින්දට ඔන්න මෙන්න කියන අවස්ථාවට ගෙන ඇවිත් එයාලගේ යටිහිතේ හැංගිලා, තියන ප‍්‍රශ්නයක් මතුපිටට ගන්න එක. ඒක පුද්ගයෙක් සම්බන්ධ වෙන්න පුලූවන්. නැතිනම් සිද්ධියක් ගැන, කාලයක් ගැන වෙන්න පුළුවන්. ඒ දේ මතුපිටට ගෙනාවාම, මෝහනය කරන තැනැත්තාගෙන්ම ඊට පිළිතුරක් අපට ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව උපදෙසක් දෙන්න හරි ප‍්‍රතිකාරයක් කරන්න හරි පුළුවෙනි… ඒක මේ පසුගිය ආත්මවලට ගෙනයාමක් කියලා බයවෙන්න ඕන නැහැ. අනෙක සමහරු බයයි මෝහනයෙන් පස්සේ නැගිටගන්න බැරිවෙයිද කියලා… නැගිටින්න විධානය නොකර අමතක වෙලා උන්නත්, මෝහනය කරපු තැනැත්තා පැය බාගයකින් විතර අනිවාර්යයෙන්ම නැගිටිනවා…. ”

අමා මොහොතකට නතර වුවාය.

”ඉතින් අපි රිදීමාව මෝහනය කරන්නේ කොහොමද?” මහීකා ඇසුවාය. ඇගේ දෑසෙහි වුයේ බියකැයි අමාට තේරුණේය.

”ඒකට හොද මනෝ වෛද්‍යවරයකු ළඟට හරි මෝහනයට ප‍්‍රසිද්ධ කෙනෙකු ගාවට යන්න පුළුවන්. නැතිනම් මටත් ඔය දේ කරන්න නම් පුළුවෙනි …”

“ඒක හොඳයි…” රිදීමා කීවාය.

“මට අමාව හොඳටම විශ්වාසයි. දන්නේ නැති කෙනෙක් ළඟට යනවට වඩා හොඳයි ඔයා මාව මෝහනය කරනවා නම් …. ”

“රිදීමාට බය නැද්ද? අමා ඇසුවාය . බය හිතේ තියාගෙන මේ වැඩේ කරන්න බැහැ.”

“නෑ…. මම බය නැහැ … ”

“යුද්දෙට ගිය සොල්දාදුවනුත්, කලාකාරයොත් මෝහනය කරන්න ගොඩාක් ලේසියි කියනවා. හැබැයි උමතු රෝග තියන අය මෝහනය කරන්න අමාරුයි කියලත් තියනවා.”

අමා කථාව නැවැත්වුවාය. ”රිදීමා කියන්න අකමැති දෙයක් තියනවා නම් ඔයාගේ මනස ඒකට කීයටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන නම් බයවෙන්න දෙයක් නැහැ..”

අමා වැඩි දුරටත් විස්තර කළාය.

”ඒ ක හිතේ තියාගෙන අද ? නින්දට යන්න. ඔයා අකමැති නම් අපි මේ දේ කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ යටගිය තොරතුරු දැනගන්න ඔයා කැමති නම් විතරක් අපි මේ දේ කරලා බලමු. ”

යෙහෙළියෝ සියල්ල එය අනුමත කළහ. රිදීමා ඇඳට වැටුණේ මඳ සැනසීමකිනි.

”සුදු මැණිකේ ” ඈ තමාටම කියා ගත්තාය. අනතුරුව තම මොබයිල් ෆෝනය ගෙන ශී‍්‍ර ලංකාවේ සිටිනා තම සොහොයුරාගේ නොම්මරය කැරකුවාය. අයියාගෙන් පිළිතුරක් නැත්තේ, ඔහු වැඩ නිසා වන්නට ඇතැයි ඈ කල්පනා කළාය. ඇයට යාන්තමට නින්ද යන්නට ඇත.

”මට ඔයාව දකින්නවත්, මුණ ගැහෙන්වවත් උවමනාවක් නැහැ. මට ඔයාගේ කටහඬට ආදරේ කරන්න පුළුවන්…. කවුදෝ පැවසුවේය. ඒ හඬ රිදීමා තුල ඇති කලේ සහනයකි. සිහිනයක් දැකීම අඳුනක් ගෑ කලක මෙන් සැපක් ගෙන දේ යැයි ඇගේ තොල මත සිනාවක් ඇඳී ගියේය. අඳුනින් ඇසට ලැබෙන්නේ සුවයකි. සිහිනෙන් එම සුවය ලබාගත හැක්කේ කීයෙන් කී දෙනෙකුටද?

” ඒ හඬ මට ජීවිතේ පුරාම අහන්න දෙන්න. මට ඒ දේ නැති කරන්න එපා…” ඔහු, ඇගේ කණට කොඳුලේය. ඒ සමගම ගෙජ්ජි හඬද, බෙර හඬද ඇසුණි. විදුලිය මෙන් ඔහුගේ දෑත් ලෙලදෙනු ඈ දුටුවාය.

“ඊළඟට සුදු මැණිකේගේ වාරය…” කවුදෝ පිටුපසින් කියනා හඬක් ඇසුණේය. දැරියක් කිකිණි හඬ නඟා සිනාසුණාය.

෴෴෴

අඳුන් සිහින – සිව්වන කොටසින් නැවත හමුවෙමු.

දිනපතාම උදෑසන 10ට

-කතුවරී-
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.