Katha Ahura

දෝණී | 30 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#30 කොටස

“අනේ… එයා කෝ අම්මී….. මගෙ මහත්තයට මොකද උනේ….. අනේ මට එයාව ගෙනත් දෙන්න අම්මී……”

පහන්දි, අහස්ගේ මව බදාගෙන හැඬුවාය. අහස් අතුරුදහන් වී දින දෙකක් ගතවුණිද ඔහු ගැන කිසිම ආරංචියක් මෙතෙක් ලැබුණේ නැති නිසා සැවොම සිටියේ මහත් කම්පාවෙන් මෙන්ම ශෝකයෙනි. පහන්දි ලංකාවට පැමිණියේ අද දින පාන්දරය. ඇය ලංකාවට එන තෙක්ම මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් නොදැන සිටියාය. ඇය හදිසියේම පැමිණි නිසා ඇයගෙන් අහස්ගෙ අතුරුදන්වීම සැඟවීමට ඔහුගේ පවුලේ අය හට නොහැකි විනි.

“අඬන්නෙපා මගෙ දුවේ… අපි එයාව කොහොමහරි හොයාගමුකො මගෙ රත්තරනෙ… අඬන්නෙපා මෙහෙම….” අහස්ගේ මව පහන්දි සනසවන්නට උත්සාහ කලද ඇය කලේ තවත් හැඬීම පමණකි. අහස්ගේ නැගණිය වූ තරුකිද හඬමින්ම ඇයව සනසන්නට උත්සාහ කලාය.

“අඬන්නෙපා මගෙ අක්කියො… අයියට කරදරයක් වෙන්නෙ නෑ… අපි කොහොමහරි එයාව හොයාගමුකො මගෙ අක්කියෝ… අඬන්නෙපා දෙයියනේ… අපි හැමෝම අඬන්නෙ නැතුව ශක්තිමත්ව ඉන්නෝනනෙ එයාව හොයාගන්න ඕන නම්… ප්ලීස් අක්කි අඬන එක නවත්තන්නකෝ….”

“ඔව් මගෙ දුවේ දැන් අඬන එක නතර කරගන්නකො…. පොලිසියෙනුත් හොඳට හොයනවනෙ පුතා ගැන… බය නොවී ඉමු අපි එයාට කිසිම කරදරයක් වෙන එකක් නෑ…” පහන්දිගේ මවද ඇයව සනසවමින් කීවාය.

“අ..නේ… ඒ… උ..නා…ට….”

ඇයට කතා කරගැනීමට හැකිවූයේ එපමනකි. ක්ලාන්ත වූ ඇය අහස්ගේ මවගේ උර මතම කඩා වැටුණාය. සැවොම ඉන් කලබලයට පත් වූ අතර තරුකි දිව ගොස් වතුර වීදුරුවක් ගෙනැවිත් පහන්දිගේ මූණට ඉසින්නට වූයෙන් තත්පර කීපයක් තුල ඇයට සිහිය එන්නට විය. එක් වරක් පමණක් දැස් හැර බැලූ ඇය නැවත් දෑස් පියා ගත්තාය.

“මගෙ දෝණී…. නැගිටින්න දෝණි එන්නකො අපි රූම් එකට යමු… කෝ එන්නකෝ….”

පහන්දිව වත්තන් කරගත් ඇගේ මවත්, තරුකිත් ඇයව තරුකිගේ කාමරය වෙත රැගෙන යන්නට වූවාය.

‘දෝණි’ යන නම කන වැකුණු පහන්දිගේ සිතේ අකුණක් කෙටුවාක් මෙන් ඇදී ගියේ සඳසාවිගේ රුවය. අහස්ගේ අතුරුදන්වීම අභිරහසක්ව පවතින්නේ ඇගේ යම්කිසි සම්බන්ධයක් එයට ඇති නිසා බව යන සිතිවිල්ල පහන්දිගේ සිතට දැඩි සැකයක් ඇති කලේය.

“අම්මී….”

ඇයව කාමරයේ වූ යහනෙහි තබා හිසත් අතගා කාමරයෙන් පිටතට යාමට සැරසුණු මවට ඇය කතා කලාය. ඇගේ එම ස්වරය හොඳින් හුරු වූ ඇගේ මව නතරවී පහන්දි දෙස හැරී බැලුවේ තරුකිට කමරයෙන් යන ලෙස අතින් සන් කරමිනි.

“ඇයි දුව මොනවද ඕනෙ…?”

“වතුර වීදුරුවකුයි, කැන්ඩ්ල් එකකුයි අරන් එන්න අම්මී…”

“හා ඔහොම ඉන්න එහෙනම්…” එසේ පැවසූ ඇගේ මව කාමරයෙන් පිටතට ගොස් විනාඩි දෙකක් ඇතුලත ඇයට අවශ්‍ය දේවල් රැගෙන ආවාය. පහන්දි මේ සැරසෙන්නේ භාවනා කිරීමට බව ඈ දත්තාය.

“හරි අම්මි යන්න අම්මි… මං මගෙ මහත්තයව හොයාගන්නම් කොහොමහරි මගෙ ක්‍රමේකින්… කිසිම කෙනෙක්ව මට විශ්වාස කරන්න බෑ…” තද ස්වරයකින් එසේ පැවසූ පහන්දි යහනෙන් බිමට බැස වතුර වීදුරුව පානය කර එය තම මව අතට දී ඇයව කාමරයෙන් පිටත් කර කාමරයේ දොර වසා අගුල් දැම්මාය. අනතුරුව දිග හුස්මක් ඉහලට ඇදගත් ඇය එය හෙමින් පහල දැම්මාය.

“මට මේක කරන්න පුලුවන්.. අනේ බුදු හාමුදුරුවනේ ඔබවහන්සේ මට මගෙ මහත්තයව හොයාගන්න උදව් කරන්න… මට ශක්තිය දෙන්න මේ දේට…”

තමාටම පවසාගත් ඇය එරමිණියා ගොතාගෙන යහන පාමුල වාඩිවී ඉටිපන්දම ටයිල් පොලොව මත සිටුවා එය දැල්වූවාය. එහි දැල්ල දෙස විනාඩි ගණනාවක් තිස්සේ එක එල්ලේම බලා සිටි ඈ සිත එක්තැන් කරගත්තාය. දැල්ල දෙස බලාගෙනම දෑස් පියාගත් ඈ දෑස වසාගත් පසුවද පෙනෙන ඒ ඉටිපන්දම් දැල්ල දෙසම බලාගෙන භාවනා‍ව ආරම්භ කලාය.

“දරුවා…”

භාවනායෝගීව බොහෝ වෙලාවක් සිටියදී ඇයට ඈතින් මෙන් හුරුපුරුදු හඬක් ඇසුණි. ඒ හඬ කාගේදැයි ඇය හැඳින්නාය.

“අනේ හාමුදුරුවනේ මට පිහිට වෙන්න… මට ඔබේ උදව් අවශ්‍යයි…” ඇය මනසින් එම හඬ සමග කතා කලාය.

“මා දන්නවා ඔබට උදව් අවශ්‍ය බව… එම දරුවා සිටින ස්ථානය ඔබ හට පෙන්වීමට මට පුලුවන්… නමුත් ඔබම එය සොයා යා යුතුයි… ඔබම එය දැනගත යුතුයි…”

“එයාව හොයාගෙන මේ ලෝකෙ ඕනම තැනකට යන්න මට පුලුවන් හාමුදුරුවනේ… කලින් ඔබවහන්සේ මට උදව් කලා වගේම මේ සැරෙත් ඒ නපුරු ආත්මයෙන් එයාව ගලවගන්න මට උදව් කරන්න… ඔබවහන්සේට පින් අයිති වෙයි…”

“දරුවා කලබල නොවන්න… මා මේ පවසන දේට හොඳින් සවන් දෙන්න… එම ආත්මය කලින් සිටියාට වඩා දැන් බොහෝ බලගතු වී සිටිනවා… ඔබ හට එම ආත්මය සමග තනිව සටන් කිරීමට අපහසු වේවි… ඔබගේ ජීවිතය පවා මේ සටනින් අහිමි වෙන්නට තිබෙන ඉඩකඩ බොහොම වැඩියි… නමුත් ඔබට ඔහුව ගලවාගන්නට හැකි වේවි… ඔබ සූදානම්ද ඔබේ ජීවිතය උනත් ඔහුට වෙනුවෙන් පූජා කරන්නට…?”

“ඔව් හාමුදුරුවනේ මං ලෑස්තියි… මට ඒක පුලුවන්… අනේ කරුණාකරලා මට එයාව ගලවගන්න මාර්ගයක් පෙන්වා දෙන්න හාමුදුරුවනේ… එයා ඉන්න තැනක් මට පෙන්වන්න…”

“ඔව් දරුවා ඔබට එය ඉක්මණින්ම දර්ශණය වේවි… සියල්ල‍ම ආරම්භ වුණු තැනින්ම සියල්ලම නිමාවේවි… එතැනයි ඔබේ ගමනාන්තය වන්නේ…. මතක තබාගන්න මා ඔබට ඉගැන්වූ සෑම දෙයක්ම… එසේනම් දරුවා ඔබට ත්‍රිවිද රත්නයේ පිහිටයි….”

“ඒත්… හමුදුරුවනේ… මං කොහො….”

“බුදුන් සිහි කර ඔබගේ ශක්තිය එකතු කරගන්න දරුවා…. බුදුන් සරණ යන ඔබට කිසිදාක වරදින්නේ නෑ….”

තම මනසින් ඈත්ව යන ඒ හඬට හොඳින් ඇහුම්කන් දුන් පහන්දි තවත් මඳ වේලාවක් එලෙසම සිටියේ යමක් සිහිකර ගන්නටය. ‘සියල්ල‍ම ආරම්භ වුණු තැනින්ම සියල්ලම නිමාවේවි… එතැනයි ඔබේ ගමනාන්තය වන්නේ….’ එම වදන් ඔස්සේ දිගටම සිතුවිලි හරහා ගිය ඇය එක්වරම දෑස් හැරියේ දැඩි අධිෂ්ඨානයකිනි.

“Got you…!”
**************************************************************************

සවස තුනයි තිස් පහට පමණ ඔහු බසයෙන් බැසගත්තේ ආරච්චිකට්ටුව හංදියෙනි. පෝය දින වූ නිසාදෝ ටවුමේ වෙනදාට තරම් කලබලයක් නැති බව ඔහු දුටුවේය. සාක්කුවෙන් ගත් සිගරෙට්ටුව මුවෙහි රුවාගත් ඔහු උරමත වූ බෑගය ඉදිරියට ගෙන එහි සාක්කුවක තිබූ ලයිටරයක් පිටතට ගෙන සිගරෙට්ටුව දල්වා ගත්තේය. නැවත් බෑගය කරේ දමාගත් ඔහු මාර්ගය දෙපස හොඳින් බලා පාර මාරු වුණේ කහ ඉර පෙනි පෙනි තිබෙද්දිමය.

“ක්‍රා….ස්”

වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහු අසළ බ්‍රේක් ගසා නැවතිනි. ඒ දෙස රවා බැලූ ඔහු එහි රියැදුරුට සිතින් බණිමින් එතැනින් මාරු වූයේ රියැදුරු ජනේලයෙන් හිස පිටතට දමා ඔහුට බැණ වදින විටය.

“ආ… සඳුන් මල්ලී මොකද මේ නිවාඩුවෙ ආපු ගමන්ම හැප්පෙන්න හදන්නෙ ආ….??” හංදියේ තේ කඩයකට ගොඩවූ ඔහුගෙන් මැදිවියේ පසුවූ පුද්ගලයෙකු ඇසුවේය. ඔහුට තම අතේ තිබූ සිගැරෙට්ටුව දිගු කල සඳුන් ඔහු හා සිණාසුනේය.

“ඌ මේ කොහෙද යන හු%$^නෙක් බං… ලඟටම ඇවිල්ලා බ්‍රේක් ගහනවා ප%යා… එක්කො හෝන් එකක් ගහන් ආවා නම් ඇහෙනවනෙ බං….” සඳුන්, කඩේ මුදලාලිට අතින් තේ එකක් ඕඩර් කරමින් පැවසුවේ අසල වූ පුටුවක වාඩිවෙන ගමන් ය.

“ඕකුන් ඔහොම තමා මල්ලී ගණන් ගන්නෙපා… වාහන වල යන එවුන් අපි ගැන හිතන්නෙ නෑනෙ… කොහෙන් බැලුවත් තැලෙන්නෙ පොඩි මිනිහා.. නැද්ද මං අහන්නෙ…?” දුම් ගුලි පිට කරමින් අනෙකා කී දේට සඳුන් කලේ හිස වැනීම පමණි.

“හංදියෙ වීල් එකක්වත් නෑ නේ අයියෙ…? අද පෝය නිසා වෙන්නැති… ඒ පැත්තට යන කවුරුත් නැද්ද බං…??” තේ එක බී අවසන් කල සඳුන් කඩයෙන් එලියට බැස පිටත සිටි කෙනෙක්ගෙන් විමසුවේය.

“නෑ මල්ලි අද නම් එකෙක්වත් නෑ… උඹට අද නම් පයින්ම තමා බඩගාන්න වෙන්නෙ…”

“ඒකනෙ යකෝ ශික්…! ඔන්න ඔහේ යනවා බං මොනා කරන්නද… ආමි එකේ අපිට ඕවා වැඩි දේවල් නෙමෙයිනෙ…” උජාරුවෙන් එසේ පැවසූ සඳුන් පයින්ම තම නිවස වෙත යන පාර දෙසට ගමන් කලේ පයින් යාමට සිතේ වූ දැඩි අකමැත්තෙනි. ‘මේ පාරවත් අම්මගෙන් කීයක් හරි කඩාගෙන බයික් එකක්වත් ලීස් කරගන්න ඕනෙ යකෝ… හැමදාම පයින් බඩගාන්න බෑනෙ…’ ඔහු තනිවම සිතුවේය. තම ජංගම දුරකථනය අතට ගත් ඔහු එහි ගීත වාදනය වීමට සලස්වා හෑන්ඩ්ස් ෆ්‍රී යුගලය තම දෙකණේ රුවා ගත්තේය.

“මියෑ…….ව්….!!!”

“යකෝ මොන හු$3ක්ද….???”

දැඩි කල්පනාවක නිමග්නව ගමන් කල ඔහුගේ ඉදිරියෙන් පොරකමින්, කෑගසමින් පැන දිව්වේ විශාල කළු බළලුන් දෙදෙනෙකි. කලබලයට පත් වූ ඔහු පය පැටලී බිම වැටිණි. යලි නැගිටගත් ඔහු තම ඇඳුමේ වූ දූවිලි පිසදාගත්තේය. වැටීම නිසා දකුණතේ වැළමිට සීරී හම ගැලවී ගොස් තිබුණි.

“මේ හු$න පූසොත් හැමනෙනවද මන්දා….”

තමාටම කියාගත් ඔහු දූවිලි පිසිමින්ම නැවතත් ගමන් ඇරඹුවේය. කිලෝ මීටර් තුනක් පමණ පයීන්ම පැමිණි ඔහු නිවස ඉදිරියේ සිටි ඔහුගේ මවගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදීම ගෙතුලට ගියේ දැඩි මහන්සියක් ගතට දැනුණු නිසාවෙනි. මඳක් විඩා හැර හොඳින් නාගත් සඳුන් තද නින්දකට වැටුණි.

“එපා…. එපා…..!!”

නරක හීනයක් දැකීමෙන් කැගසමින් එක්වරම ඇහැරුනු ඔහු හති දැම්මෙය.

“මොකද කොල්ලො නරක හීනයක්වත් දැක්කද බෙරිහන් දෙන්නෙ….?” ඔහුගේ මව කාමරය අසළට විත් ඇසුවාය.

“මං දැක්කා අම්මා මට කොස්සක් අරන් ගහන්න පන්නනවා… හෙහෙ…” තම මවට විහිලු කල ඔහු ඇය සාදා දුන් තේ එකද පානය කලේ වටින් ගොඩින් අඳුරු වැටීගෙන එන පරිසරය දෙස බලාගෙනය.

“පුතේ පංසල පැත්තෙ ගියොත් නරකද…? උඹ කාලෙකින්නෙ ගෙදර ආවෙත්…”

“පංසල් ගිහින් කාටද අම්මෙ හරිගියේ… මං සමිතයලගෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්නම්කො… මළගෙදර එන්න හම්බුනෙත් නෑනෙ….”

“මෙන්න මෙහෙ හිටින් මගෙ යකා අවුස්සගන්නැතුව… හවස හයෙන් පස්සෙ ගමන් තියාගන්න එපා මේ වෙච්ච දේවල් මදිද තොපිට පාඩමක් ඉගෙනගන්න..?” මවගේ සැර කිරීම් හමුවේ කවදත් නොසැලුනු සඳුන් එය කණකටවත් ගත්තේ නැත.

“අනේ මේ ඉන්ඩ අම්මේ… අපිට කෙලින්න මේ ගමේ කවුද ඉන්නෙ…? මට මොනාහරි කරන්න ආපු දවසකට තමා ඕකුන්ගෙ ඔළුකටු කුඩුවෙන්න වෙඩි තියන්නෙ…” එසේ පැවසූ සඳුන් නිවසින් පිට්වූයේ තම මවගේ බැණුම් ගණනකටවත් නොගනිමිනි. කිසිදා තම දෙමාපියන්ගේ බසට අවනත නොවූ ඔහු අදත් ඊට අවනත නොවූයේ ඒ නිසාය. කෙසේ වෙතත් තම දරුවා ගැන කිසියම් බියක් දැනුණු ඔහුගේ මව දෙවියන්ට කීවේ ඔහුට කිසිම කරදරයක් ඇති වීමට ඉඩ නොදෙන ලෙසය. මන්දයත් මේ ගමේ ඔහුගේම මිතුරන්ට අත් වූ ඉරණම නිසා ඇගේ සිතෙහි විශාල බියක් හටගෙන තිබූ නිසාය.

පැය කිහිපයක් තම හොඳම මිතුරා වී සිටි සමිත්ගේ නිවසේ ඔහුගේ පවුලේ අය සමඟ ගත කල සඳුන් ඔවුන්ට සමු දී පිටත් වන විට රාත්‍රී නවයට ආසන්න වී තිබිණි. ඔහු නිවසේ සිට මිදුලට පය තබනවාත් සමඟම ප්‍රදේශයේම විදුලිය ඇණ හිටියේ ඔහුගේ ගමන නවතාලමිනි. එවිටම වාගේ නිවසේ සිටි හූනෙකුද ‘චුක් චුක්’ හඬ නැගුවේය.

“ටිකක් ඉඳලා පලයන් පුතේ… කරන්ට් එක තව ටිකකින් එයි ඒ ආවම පලයන් මේ අන්ධකාරෙ ඔය පාරවල් ගානෙ යන්නැතුව…” සමිත්ගේ මව ඔහුට පැවසුවාය.

“ඕන නෑ නැන්දේ මේ හොඳට හඳත් පායලා තියෙන්නෙ… අනික ඉතින් අපි ඩියුටි කරද්දිත් මහ රෑ ලයිට් නැතුව කැලෑවල් ගානෙ කොච්චර ඉන්නවද…? මේ පාරවල් ඉතින් අමුතුවෙන් පරිස්සම් වෙන්න දෙයක් තියෙනවැයි හැමදාම යන එන ඒවනෙ…” යි පැවසූ සඳුන් සඳ එලියේ පිහිටෙන් තම නිවස බලා ඇදෙන්නට වූයේ තරමක ආඩම්බරකමක් සිතට නගාගෙනය. එනමුත් තමා කිසි දිනක වන පෙදෙසක රාජකාරී කර නොමැති බැව් ඔහු දැන සිටියේය.

හාත්පසම වූයේ දැඩි අඳුරකි. තවමත් විදුලිය නොපැමිණි නමුත් සඳ අහසේ දීප්තිමත්ව බබලමින් තිබුණු නිසාවෙන් අවට අඳුර යන්තමින් පලවා හැරීය. තම ජංගම දුරකථනයද නිවසේ දමා ආ බැවින් සෙමින් ගීයක පදයක් මුමුණමින් ඔහු පාළු පාරේ ඉදිරියට ඇදුණි. ඈතින් ඇසුණු බස්සෙකුගේ හඬින් මෙන්ම නිතරම වාගේ ඇසෙනා රැහැයියන්ගේ හඬින් පරිසරයේ වූ නිහඬ බව බින්දේය. එක්වරම ඇහුණු උලමෙකුගේ මූසල හඬින් සඳුන්ගේ සිත මෙන්ම ගමනද මොහොතකට නතර වුයේ සිතෙහි බියක්ද ඇති කරමිනි.

“මේ හු$න සත්තුත් කෑගහන්නෙ මෙවෙලෙමනෙ යකෝ… මුන්ගෙ අම්මලාට….”යි තමාටම කියාගනිමින් ඔහු නැවතත් තම ගමන වේගවත් කලේ ඉක්මණින්ම නිවසට යාම සඳහාය.

“ඤෑ…..ව්”

ඔහුගේ ගමනට නැවතත් බාධා කරමින් මාර්ගය අයිනෙන් ඇසුණේ බළලෙකුගේ කෑගැසීමකි. එයින් තිගැස්සුණු සඳුන් එදෙස බලද්දි දුටු දෙයින් ඔහුට කෑගැස්සුණි.

“ආ…..හ්”

සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල තද කළු පැහැති බළලෙකු රත් පැහැයෙන් දිලිසෙන දෑස් වලින් තමා දෙසම බලාගෙන සිටිනවා දුටු ඔහුට ඇති වූයේ දැඩි බියකි.

“පල හු%^නා මෙතනින් ප&ක් කරනවද යකෝ මේ මහ රෑ….!” උස් හඬින් කුණුහරුපයෙන් බැණ වැදුණු සඳුන් බිම තිබූ ගල් කැටයක් ගෙන බළලාට දමා ගැසුවද ඌට එය ගාණක්වත් නොවී එතැනම සිට ඒ බැල්මෙන්ම ඔහු දෙස බලා සිටියෙන් ඔහු මඳක් පසුබට විය. “මූ හොල්මනක්වත්ද දන්නෑ යකෝ ඉක්මණින් මෙතනින් මාරු වෙන්න ඕනෙ…” එසේ සිතූ ඔහු එතැනින් දිව යාමට පටන් ගත්තේය.

“ඤෑ….ව්….!!”

ඔහුගේ පසුපසින් ඇසුණේ බළලාගේ හඬයි. පිටුපස බැලූ සඳුන්ගේ මුලු ගතම බියෙන් වෙවුලුවේ බළලා තවත් විශාල වී ඔහු පසු පස පන්නාගෙන එනු දුටු නිසාය.

“ශික්… ශික්….!” යි කෑගැසූ සඳුන් වේගයෙන් දිව යන්නට විය.

තමා කෙතරම් දුරක් දිව්වාදැයි කුමන දිශාවකට දිව්වාදැයි නතරවූ ඔහුට සිතාගත නොහැකි විය. බළලාගේ සලකුණවත් අවට පෙනෙන්නට නොමැති නිසා ඔහු වටපිට බැලුවේ තමා සිටින්නේ කොහෙද කියා බලාගැනීමටය. වටේටම විශාල ගස් හා පඳුරු වලින්ද වැසී ගොස් තිබෙන, පැමිණි මඟක්වත් පෙනෙන්නට නොතිබුණු ඒ වටපිටාව සඳුන්ගේ සිතෙහි ඇති කලේ බියකි. තමා හමුදාවේ සේවය කලද මෙතරම් අඳුරට, පාළු බවට බියක් දැනෙන්නේ ඇයිද යන්න ඔහුට සිතාගත නොහැකි විය.

“ස්ස්…ස්ස්ස්….”

අසළ වූ පඳුරු කිහිපයක් සෙලවෙන හඬින් තිගැස්සුණු ඔහු එදෙස බැලුවද කිසිම දෙයක් නොවීය. ඉක්මණින්ම එතැනින් පිටවීමට මාර්ගයක් සෙවීමට සිතූ ඔහු සඳ එලියේ ආධාරයෙන් අවට පිරික්සුවේය. එතැන තිබූ පඳුරක්තින් ඈත් කරත්ම,

“බුදු අම්මෝ….!!!” බෙරිහන් දුන් සඳුන් පසුපසට විසිවී ගොස් බිමට වැටුණි.

පඳුර අතරින් ඔහු දුටුවේ සුදුමැලි පෙනුමකින් යුතු කාන්තාවකගේ මුහුණකි. එක්වරම ඔහුගේ සිතට නැගුණේ මෝහිණීවය. නැවතත් එම පඳුර දෙස බැලුවද එහි කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැති නිසා දෑතට වාරු ගෙන ඔහු නැගිට්ටේය. ඈතින් ඇසෙන්නා වූ උලමාගේ හඬ නිසාද ඔහුගේ සිත බියෙන් හිරි වැටී තිබුණි. ඉදිරියට තැබූ පියවර නැවතත් පසුපසට ගත් ඔහු සවන් දුන්නේ කිසිවෙකු හෝ අවට පඳුරු අතරින් වියලි කොල පොඩි කරමින් ඇවිදින හඬක් ඇසීමෙනි.

“ස..ඳු…න්….”

කාගේ හෝ මිහිරි කාන්තා කටහඬකින් තමාගේ නම ආමන්ත්‍රණය වන හඬ ඇසුණු සඳුන් මොහොතක් ඒ හඬට වශීවී සිටියේ එතරම්ම ඒ හඬ මිහිරි නිසාය. නමුත් ඒ ක්ෂණිකව ඔහුගේ සිතට ආවේ මෝහිණී ය. ඇයටද පිරිමින් වශී කරවන සුලු මිහිරි කටහඬක් ඇති බව ඔහු අසා තිබුණි.

“ස..ඳු…න්…. එ..න්..න…කෝ….. මෙ..හෙ..ට….”

ඒ හඬින් මත් වී ගිය සඳුන් හඬ ආ දෙසට ඇදී ගියේ නිතැනිනි. විසල් ගස් දෙකක් අතරින් ඇවිද ගිය ඔහු පඳුරු අතරින්රින් ඉදිරියට ඇදෙන්නට විය.

“එ..න්..න… ස…ඳු…න්…. ම..ම.. මෙ.හේ….”

විශාල කටු පඳුරක් පිටුපසින් ඇසුණු ඒ හඬට ඒ දෙසට සඳුන් ඇවිද ගියා නොව දිව ගියා කීවොත් නිවැරදිය.

“ආ….. අම්මෝ……!!!”

කටු පඳුර තුලට වැදුණු සඳුන් පියවී සිහියට පැමිණ වේදනාවෙන් කැගැසුවේය. දෑතේ මෙන්ම සිරුරේ තැන් තැන් වල කටු ඇනීම නිසා වේදනාවෙන් ඇඹරී ගිය ඔහු එතැනින් ඉවතට පැන මුලු ශරීරයම කසමින් මෙන් කෑගසන්නට විය.

“හඃ හඃ හඃ හඃ හා හහා හා……” සිහින් නමුත් වියරු සිනහවකින් පරිසරයම පිරී ගියේ බියෙන් සඳුන්ගේ සිරුරේ වූ රෝම කූප සියල්ලක්ම පාහේ කෙලින් කරමිනි.

“ක්..ක..කවුද… ඔ..ය…?” ඔහු ගොත ගසමින් ඇසුවේ බිය අතරිනි.

“දුවපන්….!!!” මහා භයානක හඬකින් කෑගසා කීවෙන් ඒ හඬට දැඩි ලෙස බියවූ සඳුන් දුවන්නට පටන් ගත්තේය.

“ආ………!!”

ඔහු දිව යන විට කුමක හෝ පැටලී ඔහු බිම ඇද වැටුණි. ඒත් සමඟම කවුරුන් විසින් හෝ ඔහුගේ වම් පාදයෙන් අල්ලා ගත් අතර සඳුන් මරහඬ නගන්නට විය.

“එපා…. එපා…. අතෑරපන් මාව…. අතෑරපන්……!”

“හඃ හඃ හඃ හා……”

නැවතත් අර වියරු සිනා හඬ ඇසෙන්නට වූයෙන් ඔහු වෙර යොදා නැගිටින්නට උත්සාහ කලද ඔහුගේ පාදයෙන් අල්ලාගෙන සිටි ඒ අදෘශ්‍යමාන හස්තය විසින් ඔහුව පොලොව දිගේ ඇදගෙන යන්නට විය.

“අතෑරපන්… අතෑරපන් මාව….” සඳුන් බෙරිහන් දෙන්නට විය. එකෙනෙහිම ඔහුගේ පාදය නිදහස් වූ අතර ඒ ලැබුණු නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගත් ඔහු දුන්න ගසා කෙලින් වී ආපසු හැරී හැකි තරම් වේගයෙන් දිව යන්නට විය.

“හඃ හඃ හඃ හහා…. දුවපන්…. උඹට පුලුවන් තරමක් දුවපන්…. හඃ හඃ හා හා…..”

පිටුපසින් ඇසෙන වියරු සිනා හඬ නිසා තවත් බියවූ ඔහු කැලය බිඳගෙන වේගයෙන් දිව යන්නට වූයේ තමා යන්නේ කොහෙද කියාවත් නොදැනය.

*************************************************************************
ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.