Katha Ahura

පංචිමා ළඟත් නාරිලතා මලක්‌ |ගන්දර කලපුව -9 || නවකතාව||

කතාව කොහොමද?

මෙතෙක්‌ කථාව

ගන්දර කලපුව -8 || නවකතාව||

උපසේන මාධ්‍යවේදියෙකි. හෙතෙම රාජකාරි ගමනක්‌ සඳහා පිටත්ව යන අතරවාරයේ අපූරු අද්භූත මිනිසකු මුණ ගැසේ. උපසේන රාජකාරි ගමන නවතා එම අමුත්තාගේ නිවස යෑයි කියන ගන්දර කලපුව අසබඩ පිහිටි විශාල මන්දිරය කරා යයි.

එතැන් සිට උපසේන එම නිවසේ අමුතුම අන්දමේ ”සිරකරුවකු” බවට පත්වන අතර ඔහු මුහුණ පාන්නේ අමුතුම ආකාරයේ සිදුවීම් රැසකටය.

අද එතැන් සිට

උපසේන මඳ වේලාවක්‌ ගොඩනැඟිල්ලේ වැඩකරුවන් දෙස බලා සිටියේය. උන් සතරදෙනා දැන් නිහඬව හිඳගෙන විස්‌කෝතු කෙසෙල් ගෙඩි රස විඳිති. උන් තලුමරමින් කට පුරවමින් කන්නේ ඌරන් මෙනි. මුන්ට මෙහෙම කන්න තියෙනව නං වෙන මොනවත් ඕනෑ නැතුව ඇති. උපසේන ඒ අයගෙන් තව ප්‍රශ්නයක්‌ ඇසුවද දැන් සතරදෙනාම කෑම කෑවේ උපසේන ගැන වගක්‌ නැතිවය. උපසේන ඉන්නවාද කියාවත් උන්ට දැන් අවබෝධයක්‌ නැත. ඉඳහිට එකෙක්‌ “ම් – චඃ චඃ ” කියා හඬක්‌ නැඟූ අතර තවකෙක්‌ උගුර පාදමින් රාම තෙල් හරිමින් කෑදර හඬක්‌ නැඟීය. ‘මුන් සත්තු වගේ’ යි සිතමින් උපසේන එතැනින් ඈත් වුණේය.

උපසේන අනෙක්‌ අතට හැරුණා පමණි. ඔහු සිතුවේ මේ ගොඩනැඟිල්ලට පිටතින් එය කෙළවර වෙන තැනක්‌ සොයා ඇවිද යන්නටයි. එසේ හැරෙත්ම ඔහු අසල සිටගෙන සිටියේ ඌනෝය. ඌනෝ තවමත් කර පටිය ගැස්‌පරය සහිත කලු දිග කබායත්, හිණ රතුපටියත් බැඳලා සුදු සරමක්‌ හැඳලාය.

“සර්- වත්ත බලන්න යනවාද?” ඌනෝ බයාදු හඬින් ඇසුවේය.

“ආං……. ඔව්. ඔව් මං මං ගවේෂණයක්‌ කරනවා”. මේ යකා ගවේෂණය කියන වචනෙ තේරුම දන්නෙත් නැතුව ඇති. උපසේන ගොඩනැඟිල්ලේ පැත්තේ බිත්තිය අද්දරින් පිටුපසට ඇවිද යනවිට ඌනෝ ද ඒ අනුව ඇවිද එන්නට වුණේය. “මේකා සුවච සුනඛයෙක්‌ වගෙ’ උපසේනට සිතුණි. “නැත්තං මං ගැන ඔත්තු හොයන්න කාලිංග පත් කරපු චරපුරුෂයෙක්‌ වෙන්නැති.”

ගොඩනැඟිල්ල අයිනේ වල් පැළෑටි වැවී තිබිණි. පලින් පල බිත්තියේ තනා අවසන් නොකළ විවර කවුළු කපොලු විය. මේ අඩවියට තවම ගොඩනැඟිල්ලේ සෙවනැල්ල වැටුණ බැවින් මඳ තෙතමනයක්‌ තිබුණි. ගොඩනැඟිල්ල දෙමහලකි. එහෙත් අවසන් නොකළ බැවින් විශාලත්වය මිනිය නොහැකි විය.

කෙළවර වූයේ විශාල කුකුල් කොටුවක්‌ හා එයට යාබද ඌරු ගාලකි. කුකුල් කොටුවේ ඇතුළත කම්බියෙන් කළ තවත් කුකුල් නිවාස විය. නිබඳව ඒ දෙසින් ඇසුණේ උන්ගේ කෙකරයයි. ඊළඟට එතැන පසු කළ විට ඌරන්ගේ ගොරෝසු කටහඬවල්, පුළුල් නාසයෙන් උඩට අඳින හඬවල් ඇසෙන්නට විය. එතැන ඌරන් විස්‌සකට වඩා ඇතැයි උපසේන අනුමාන කළේය. හැමපාටම ඌරන් සිටියත් මඩෙන් වැසුණ උන්ගේ පැහැය කීම අපහසු විය.

“රාත්‍රී භෝජන සංග්‍රහය” කී ඌනෝ විරිත්තුවේය. ඌරන් ඉදිරියෙන් වෙන් වූ බක්‌කියේ රැඳුන සියලු කුණු කන්දල් දුටුවිට “රාත්‍රි භෝජන සංග්‍රහය” යන වදන් එතැනට කිසිසේත් පෑහුණේ නැත. උපසේන ඔක්‌කාරය වළක්‌වා ගත්තේ වෑයමෙනි.

“අපිට ඇති තරම් කෑම තියෙනව සර්, “ඌනෝ විස්‌තර කළේය. “අපේ සර්ගෙ මාර මොලේ……”

“හරි හරි මේ මිනිස්‌සුන්ට මේ ගෝතයා තමයි ර-ජුරුවො” උපසේන සිතුවේය. “වෙන සංසන්දනය කරන්න කෙනෙක්‌ දෙයක්‌ නෑනෙ. ඌරු කොටුවත් ප්‍රධාන ගෙයත් අතරින් තණපෙතට ඔබ්බේ පොකුණක්‌ දිස්‌ විය. එතැනින්වත් ගැලවීමේ මාර්ගයක්‌ ඇතැයි සිතා උපසේන ඒ අතට පිය මැන්නේය. ඌනෝ පසුපසින්ම ආවේය.

ජලාශය විශාල විය. වටා නූස්‌ වැටක්‌ විය.

“මේකෙ ඕනෑතරම් මිරිදිය මාළු ඇති කරනවා. සර් හොඳම හොඳ මාළු.” ඌනෝ කියද්දී “ලූලා නැති වළට කනයා පණ්‌ඩිතයා” යන කියමන උපසේනට සිහි විය. A Big fish in a small pond කුඩා පොකුණක ලොකු මාළුවෙක්‌” යන කියමන කාලිංගට කෙතරම් උචිත ද?

“මේ මිනිස්‌සුන්ට මස්‌ මාළු ඇත්නම් වෙන මොකුත් ඕනෑ නැතුව ඇති…” උපසේන සිතුවේය.

පොකුණට එහා වූයේ යෝධ සෙවණ ගස්‌ හා එයිනුත් ඔබ්බේ උසම උස තාප්පයකි. තාප්පයේ මුදුනේ දිගටම කටු කම්බි රෝල් සවි කරලාය.

“යන්ට හිතන්ට එපා සර්” ඌනෝගේ කටහඬේ යන්තම් තරවටු ස්‌වරයකි. “ඔය කටු කම්බිවල විදුලිය කවලා තියෙන්නේ.”

“ආ එහෙමත් එකක්‌ද?”

“කොහොමටත් එතැන්ට යන්ට බෑ සර්. ඒ පැත්තේ බිම බෝතල් කටු හරියට. පාටිවලට ගෙනැත් බිඳින බෝතල් සේරම විසි කරන්නෙ ඒ පැත්තට.”

“බොහොම අපූරු පුනරාවෘත්ත ක්‍රමයක්‌ එහෙනම්” උපසේන සාවඥතාවයෙන් කියූ දෙය ඌනෝට නොවැටහුණ බැවින්දොa ඔහු විරිත්තුවා පමණි.

උපසේන බිඳුණු බලාපොරොත්තුවෙන් ආපසු හැරන විට ඌරු ගාලේ පසුපස කොටසේ ගඩොලෙන් බඳින ලද කාමර පේළියක්‌ ඔහුගේ ඇස ගැටුණි. ඒවායේ උඩ කොටස දැල් ගසලාය. වහල මළකඩ කෑ ටකරංය. බාග බිත්තිවලට ඉහළින් කොටු දැලෙන් එහා මෙහා යන කීපදෙනෙක්‌ උපසේනට දැකිය හැකි විය.

“පුරුදු කරන අය සර්” ඌනෝ කීවේය.

“පුරුදු කරන අය? ”

“ඔව් සර්. ගිය මාසෙ ආපු අය.”

මේ කවුද? සෙවනැලි සේ අඩ අඳුරේ ඔබ මොබ නොඉවසිල්ලෙන් ඇවිදින මේ කවුද?

“බලන්න ඕනෑද? සර්? බලන්න දේකුත් නෑ සර්”

ඌනෝ එසේ කියද්දී උපසේනගේ කුතුහලය වැඩිණි. “බලන්න ඕනෑ” උපසේන කීවේ ඒ අතට යන අතරය.

කෙටි ගඩොල් තාප්පයට ඉහළින් කොටු දැලෙන් උපසේන එබී බැලුවේය. ඌරු ගාලේම කොටසක්‌ මෙන් වූ මේ කාමර පේළියේ ඇතැම් කාමරයක මිනිසකු බැගින් සිටියේය. අපිරිසිදු නිරුවත් මිනිස්‌සු මේ කවුද? උපසේනට සිතුණි. එකෙක්‌ බිම බලාගෙන කල්පනාවක. තවකෙක්‌ මුල්ලක පිදුරු ගොඩක හිඳගෙන හිස අත් ගසාගෙන. තවකෙක්‌ නොඉවසිල්ලෙන් ඇත මෑත ඇවිදියි. උන් අතර නිරුවත හැරෙන්නට එකම සමානත්වය ගෙල රැඳි පටියයි.

“මේ කවුද?” උපසේන මෙවර හඬ නඟා ඇසුවේය.”

“තාම සීසන් උනේ නැති අය” ඌනෝ කීවේය. “බිඳින්න ටිකක්‌ කල් යනවා.”

“මොනවා බිඳින්නද? ඇට බිඳින්නද?” උපසේනට කියෑවුණි.

“ඇට බිඳින්න” කී ඌනෝ එයම ප්‍රතිරාවය කරමින් විසිළු සිනාවක්‌ පෑවේය. “අපි කාටත් ඔය ටික තමයි ඉතිං. “අපේ බොස්‌ කරුණාවයි. මිනිහෙක්‌ හදල ගන්නව මිසක මරන්නෙ නෑ”.

“මට තේරුණේ නෑ ඌනෝ.”

ඌනෝ පිළිතුරු නොදුන්නේය.

උපසේන මඳ වේලාවක්‌ බලා සිටියේය. මේ රූකඩ මෙන් සිටින මිනිසුන් කවුරුන්ද? කොහෙන් ආවුන්ද?

“ඇතුළට ගිහින් බලන්ඩ ඕනෑද?” ඌනෝ අසද්දී උපසේන තුළ උපන්නේ පිළිකුලක්‌ සේම භීතියකි.

“නෑ නෑ මට ඇතුළට යන්ඩ ඕන නෑ. “උපසේන කීවේය.” “මං මගේ කාමරේට යනවා. යනිං ගමන මගේ වැඩ කරන තැන බොස්‌ට කෝල් එකක්‌ දාන්න ඕනෑ ඌනෝ”

“තහනමක්‌ නෑ. සර් යන්ට කෝල් දාන්ට අපේ සර් කරුණාවයි.”

ඌනෝ ගාටද්දී උපසේන ප්‍රධාන ගෘහය අතට ඇවිද ආවේය. දැන් මුළුතැන්ගෙය දෙසින් ඉදෙන බතක සුවඳ ඇදී ආවේය. උපසේනගේ මුවට කෙළ උනන්නට විය. ඒ හා ම ව්‍යංජනවල සුවඳ. කලින් ට්‌රේසා ඇවිද ගිය දොරෙන් ඇතුළුÊවූ ඔහු විශාල මුළුතැන් ගෙයකට අවතීර්ණ විය.

ට්‌රේසා තනිවම එතැන වැඩ. ලොකු කල්දේරමක බතක්‌ ඉදෙයි. තවත් ගිනි උදුනක්‌ මත මාළුවකි. ට්‌රේසා දහදිය පෙරාගෙන වැඩ.

“ට්‌රේසා…” ට්‌රේසාට ඇසෙන්නෙත් නැති ගානට “ට්‌රේසා·”

“ආං ·” ට්‌රේසා කඩිමුඩියේ හැරී බැලුවාය.

“තනියම වැඩ වගේ…….?”

ආං සර්.. ඔව්. අපේ ගෝලයො දෙන්න දැන් ඒවි. අද රෑ පාටියට දෙන්නට වෙන වැඩක්‌ .”

ලබන සතියට

“මොනවද දවල්ට උයන්නෙ?”

“බත්, පරිප්පු, අල, මාළු සර් ඇතිද?”

“අපොයි හොඳටම ඇති”

ට්‌රේසාට කරන්නක්‌ කරන්නට ඉඩ හැර උපසේන එතැනින් පිටව දුරකථනය සහිත ශාලාව අතට ආවේය. එතැන ක්‌වාට්‌රොත්. දොaසෙත් පියානෝවක්‌ ඇද ගෙන වුත් මුල්ලක තබනු පෙනුණි. අනතුරුව, ක්‌වාට්‌රෝ පියානෝව පිස දමන්නට විය. දොaසේ ජනෙල් පියන් පත් පිසදමයි.

උපසේන ශාලාවේ අනෙක්‌ කෙළවර වූ මේසය මත තිබූ දුරකථනය වෙත ගියේය. ඔහුට මග අවුරන්නට කිසිවෙකුත් නොවීය.

උපසේන තම කාර්යාලයේ අධිපති අතුකෝරළගේ දුරකථන නොම්මරය කටපාඩමින් කැරකෙව්වේය.

අතුකෝරළගේ කටහඬ එහා පසින් ඇසීම මොහොතක සතුටක්‌ ගෙන ආවේය. එහෙත් ඊළඟ ඒ මොහොතේ සතුට පරව ගියේය.

“සර්. මම උපසේන”

“තමුසෙ මොන මඟුලෙ ගියාද ඕයි? අතුකෝරළ කෝපයෙනි.

“සර් මම මිස්‌ට කාලිංගගෙ ගෙදර…”

“මොන එකකටද තමුසෙ කොහෙවත් ගියේ? තමුසෙට පිස්‌සුද?”

“සර් මාව පික්‌ කරනව කිව්වනේ.”

“මම එහෙම දෙයක්‌ තමුසෙට කිව්වේ කවද්ද?”

“ඇයි සර් මිස්‌ට කාලිංග කිව්වේ?”

“මං දන්න කාලිංගයෙක්‌ නෑ ඕයි. මං එනකොට තමුසෙ නෑ”

“ඇයි සර්”

“මට සර් සර් කියන්න ඕන නෑ ඕයි. තමුසෙ ආයෙ වැඩට එන්න ඕන නෑ”.

“සර් සර්”

“මං කිව්වනෙ. ඩෝන්ට්‌ කෝල් එගේන්” කී අතුකෝරළ දඩස්‌ ගා සාවනාව තබන හඬ ඇසුණි.

මිනිහට ඌරු ජුවල් ගිහින්. මොනව වෙලාද? මේ ඊයේ හොඳට හිටපු මිනිහා. මොකක්‌ වෙලාද? මෙතැනින් පිටවෙච්ච හැටියෙ මේක තේරුං කරල දෙන්න ඕනෑ.. උපසේන සිතුවේය.

ඒත් මෙතැනින් කොහොමද යන්නේ?

කවදද යන්නේ?

උපසේනට යළිත් සිරුරේ අප්‍රාණිකත්වයත් සමග පාලනය කර ගත නොහැකි වෙව්ලිල්ලක්‌ විය. ඔහු මේසය අසලම වූ පුටුවකට බර දුන්නේය.

ක්‌වාට්‌රෝත්, දොaසේත් තවම තම තමන්ගේ වැඩ රාජකාරිවල නියෑළෙති. උන්ට කිසිම දෙයක බරක්‌ පතලක්‌ නැති හැටි· උන්ට පලා යැමේ අවශ්‍යතාවක්‌ නොවේ. අද රාත්‍රී ඇතැයි කියන සාද උත්සවයේ වැදගත්කම කුමක්‌ද? එයට පැමිණෙන අමුත්තන් කවුරුන් විය හැකිද? තමා අඳුනන අයෙක්‌ ආවොත්…. එහෙම නම් මෙතැනින් පිටව යාම පහසු වේවි.

දැන් නම් වඩාත් ප්‍රශ්නය වූයේ පුවත්පත්හි ප්‍රධාන කර්තෘතුමා තමාට කතා කළ ආකාරයයි. අතුකෝරාල තමාව “අස්‌ කළේ” මොන මඟුලකටද? තමා කළ වරද කුමක්‌ද? මෙතැනින් පිටව ගිය සැණින්a තමාගේ නිදහසට කාරණා ඉදිරිපත් කළ යුතුය. තමා අදම ලිපියක්‌ ලිව්වොත් ඒත් එය තැපැල් කරන්නේ කවුද? තමා බිමල් පුතාට ලියූ ලිපිය උපසේනට මතක්‌ විය. ආං· ඒකත් තමා අර ගඟසිරියේ මේසයක්‌ මත දමා ආවා නොවේද? මේ කෙහෙල්මල් කාලිංගයාට රැවටී තමා මේ ගමන ආ ඉක්‌මන· දැන්නම් ඒ ලිපිය කවුරුන් හෝ විසි කරන්නට ඇති…

අත් දෙකේ වෙව්ලිල්ල අඩු වූ ගමන් ඔහු යළිත් තම ගෙදර දුරකථන නොම්මරය කැරකෙව්වේය. එහා පසින් ඇසෙන්නේ දුරකථනය නාද වෙන හඬක්‌ පමණි. කිසිවෙකුත් පිළිතුරු නොදෙයි. තමාගේ බිරිඳටත්, පුතාටත් අනතුරක්‌ වෙලාද? මෙය සැබෑවක්‌ද? සිහිනයක්‌ද? “නයිට්‌ මෙයාර්” කියන වර්ගයේ බියකරු සිහිනයක්‌. උපසේන යළිත් ගෙදර නොම්මරය කැරකෙව්වේය. පෙර ප්‍රතිචාරයමැයි සාවනාව තැබූ උපසේන මේසයට හිස ගසා දැත් හිස වටා දරන කර ගත්තේය. ලෝකය දෙස බලන්නටවත් දැන් නම් ඔහුට සිත් දුන්නේ නැත.

විනාඩි කීපයක්‌ ගත විය.

මුළුතැන්ගෙයි ඉදෙන කෑමවල සුවඳ පරිසරය වසා ගනියි. උපසේනට දැනෙන කුසගින්න අතරේ බියක්‌ උපදියි. රස කෑම වගේද? මෙතැනින් යන්න බැරිනම්…… උන් අර වැටුණු ගස ඉවත් කළොත් මොන විදියෙන් හෝ යා හැකියි. මොන විදියෙන් හෝ …………

සිහිල් අතක්‌ උපසේනගේ ගෙල මත රැඳුණි.

රෝස මල් සුවඳක්‌.

වළලු ගැටෙන සිලි සිලි හඬක්‌.

උපසේන හිස ඔසවා බැලුවේය.

“පංචිමා·”

ඇගේ දැසේ දැක්‌කේ කාමුක බැල්මකි. ඈ නම් කරුණාවේ දෙව්දුවක්‌ නොවේ. එහෙත් ඇගේ ගත, ඇගේ සුවඳ තමා තුළ අවදි කරන්නේ කුස ගින්නට වඩා වෙන ගින්නකි. ඒ ගින්න යටි කුසෙන් නැඟෙන්නකි. ඈ තවමත් හැඳ සිටින්නේ සුදු කොට ගවුමයි. අනේ හරියට හෙදියක්‌ වගේ. මාර හෙදියක්‌. නෑ හරියට පාසල් යන්නට සැරසුන අහිංසක පාසල් යුවතියක්‌ වගේ. මාර දූතිකාවන්ට මොන වේසයක්‌ ගන්ට බැරිද? බහු වේස ධාරී කත – වේස කියන්නේ කට කහනවටයෑ….

“උපා” ඈ කතා කරන්නේ කරුණාව උතුරන ආකාරයෙනි. “උපා· ඇයි මේ? කාමරේට ගිහින් රෙස්‌ට්‌ කරන්නකෝ.”

“නෑ. එපා”

“එහෙම නම් දවල්ට කාලාම රෙස්‌ට්‌ කරන්න.”

“මට යන්න ඕනෑ. කෝ කාලිංගයා?”

“කා – ලිංග- යා?” කී පංචිමා සිනාසී උපසේනට මුහුණලමින් මේස ඉවුරේ හිඳ ගත්තාය. කා- ලිංග-යා ඈ උච්චාරණය කළේ වදන තුනට කඩමිනි.

“ඔව්. කා- ලිංග- යා?”

“මිස්‌ට කාලිංග දැන් බිසී. අද රෑ පාටි එකට රෙඩී වෙනවා”.

“ආං ඇත්තද?”

“ඔව්. මං බොරු කියන්නෙ මොකටද උපා? අපි උඩ කාමරේට යමු.”

උපසේනගේ කලවය රත් කරමින් වෙනත් ආශා නැඟෙයි. එහෙත් ඒ හා සමඟම පංචිමාව මරාගෙන මැරෙන්නට තරම් සිතෙයි. එහෙත් එක්‌වනම ඔහු තම හිස ඇගේ උකුල් යහනේ තැබුවේය. එහි රෝස මල් සුවඳ – සුවපහසුව… උපසේන ඉකිබිඳින්නට වුණේය.

පංචිමා ඇගේ ඇඟිලි තුඩු ඔහුගේ හිසකෙස්‌ අතරින් යවන්නට වූවාය.

උපසේනට සියුම් වින්දනයක්‌ දැනුණි. ඔහු ඇගේ උකුලේ හිස රඳවාගෙන ම සිටියේය.

“අපි කාමරේට යමු… කෑමට කලින් “ඇගේ කටහඬ ආශාව අවුස්‌සන සුලුය.

හිමාල වනාන්තරේÊතාපසයන්ගේ බවුන් බිඳින නාරිලතාව මේ වගේ වෙන්නැති. “නාරිලතාව කියන්නේ ගැහැනියකගේ හැඩේ තියෙන මලක්‌ නෙවෙයි.”කන්තෝරුවේ වැඩ කරන ප්‍රියන්ත කී කතාවක්‌ උපසේනට සිහිපත් විය. “නාරිලතා මල හරියටම ගැහැනියකගෙ යෝනිය වගෙයි. ඒකටයි තවුසො වහ වැටෙන්නෙ” ප්‍රියන්ත කී කතාව සත්‍ය විය යුතුයි. පංචිමා ළඟත් නාරිලතා මලක්‌ වෙයි.

“අපි යමුද? උඩට? පංචිමා යළිත් කියද්දී උපසේන හිස එසෙව්වේය.

“අපි ගිහින් ටිකක්‌ රෙස්‌ට්‌ කරමු. ම්?” පංචිමා කීවාය. “මං ඔයාට ඇකියුපන්චර් කරන්නම්.”

“ඕනෑ දෙයක්‌. “බල බිඳුණු උපසේන කීවේය. පංචිමා මේසයෙන් බැස උපසේනගේ අතකින් අල්ලා ඔහුව නැඟිට්‌ටුවාය.

“ය – මු” ඈ කතා කළේ රහසින් මෙනි.

“අදත් මේකිව තම්බං කාලා මං අද රෑම යන විදියක්‌ හොයාගන්න ඕනෑ” උපසේන සිතුවේය. “අර ඌරු ගාල පිටුපස්‌සෙ මඩුවල ඉන්න මිනිස්‌සු ගැනත් මේකි දන්නව ඇති”.

උපසේන පංචිමාගේ අතේ එල්ලී ගෙන උඩු මහලේ කාමරයට ආවේය.

ඔහුට ඇගෙන් ප්‍රශ්න අසන්නට අවකාශයක්‌ නොවීය.

දොර වසා දැමූ පංචිමා වියරුවෙන් මෙන් උපසේනව ඇඳ මත හෙළා ඔහුගේ කමිසයේ බොත්තම් ගලවන්නට වුණාය.

මතු සම්බන්දයි

භද්‍රජි මහින්ද ජයතිලක

ඉරිදා දිවයින පුවත්පතේ පළවූ සතිපතා කතාවකී

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.