Katha Ahura

මාරක අඩවිය| 2.කොටස/ හයවන දිගහැරුම

4.7/5 - (6 votes)

__මාරක අඩවිය__

2.කොටස/ හයවන දිගහැරුම

 

එදින උදෑසන නමයට පමණ උ.පො පරීක්ෂකවරයා සාමාන්‍ය ඇදුමින් සැරසී තම යතුරු පැදියට ගොඩවිය.

ඔහු ප්‍රධාන මාර්ගය ඔස්සෙ යතුරුපැදිය ධාවනය කර විශාල නිවසක් අසල නතර විය.  ආපසු හැරී ඔහු එම නිවසට මීටර් දෙසීයක් පමණ මෙහායින් නතර කලේය.බැලූ බැල්මට එය සුවිශාල නිවසකි .නිවසට ඇතුල්වන දොරටුවෙහි මුරකරුවෙකුද සිටියේය. නමුත් ඔහු උ.පො පරීක්ෂකවරයා පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකලේ උ.පො පරීක්ෂකවරයා ඒ අසල ඇති තැබිලි කඩය අසල ළඟ නැවතුනු නිසාය.

ඔහු යතුරුපැදියෙන් බැස කඩය අසලට යන්නට විය.

” අන්කල් තැබිලි ගෙඩියක් බොමුද?”

උ.පො පරීක්ෂකවරයා තැබිලි කඩයේ සිටි වයසක පුද්ගලයාට පැවසුයේය ” ඉන්න මහත්තය ” ඔහු එසේ පවසා තැබිලි ගෙඩියක් කපා උ.පො පරීක්ෂකවරයා අත තැබුවේය.

උ.පො පරීක්ෂකවරයා සිනහමුසු මුහුනින් එය අතට ගත්තේය.

” කාගේද අන්කල් මේ බන්ගලාව ”

උ.පො පරීක්ෂකවරයා නිවස දෙස බලා ඔහුගෙන් ඇසීය.

” ඔය රාජරත්න ඇමතිතුමාගේ ගේ, ගේ කිව්වට මාළිඟාව වගේ තමයි”

ඔහු පැවසීය.

” ඒක තමයි මාත් බැලුවෙ”

” මහත්තයා මෙහේ කෙනෙක් වෙන්න බෑ, මොකද මේ පළාතේ හැමෝම වගේ රාජරත්න මහත්තයව අඳුරනවා”

ඔහු උ.පො පරීක්ෂකවරයා දෙස බලා  ප්‍රකාශ කලේය

” නෑ අන්කල් මම රත්නපුරේ ”

” ඒක තමයි , මෙහේ මොකද කරන්නෙ මහත්තය?”

” මම යාලුවෙක්ගෙ ගෙදර යනවා, ඒක නෙමෙයි අන්කල් ඇමතිතුමා මොනවද කරන්නෙ? ” උ.පො පරීක්ෂකවරයා ඇසීය

“දැන් නම් ඔය බිස්නස්  කරනව කියල තමයි කියන්නෙ. අපි වැඩිය ඕව ගැන හොයන්න යන්නෙ නෑ මහත්තයෝ, ලොකු මිනිස්සුන්ගෙ දේවල් හොයන්න ගිහින් අපිටත් ඉන්න හිටින්න තැන් නැති වුනොත් අන්තිමට.මම දන්න තරමින් නම් හිටපු ඇමති කෙනෙක්”

” එහෙමද? ”

උ.පො පරීක්ෂකවරයා එසේ පවසා නිවස දෙස බලත්ම ඔහුගේ නෙත ගැටුනේ නිවස ඉදිරිපිට නැවැත්වූ යතුරු පැදියකි .

එහි පැමිණි පුද්ගලයා පැලඳ සිටි හෙල්මටය ගැලවූ විට උ.පො පරීක්ෂකවරයාට දැක ගත හැකි වූයේ අවුරුදු තිස් පහක  පමණ තරුණයෙකි.ඔහු මුරකරුට යමක් පවසා වත්තට ඇතුළු වුනි

” ඔය අාවේ කාලකන්නියා ” තැබිලි කඩේ සිටි මිනිසාගේ කටින් එම වචනය පිටවත්ම උ.පො පරීක්ෂකවරයා ඔහු දෙස බැලීය . ඔහුගේ ඉරියව්ද වෙනස් වී තිබුණි

” ඇයි අන්කල් මොකද වුනේ එකපාරටම?”

” නෑ මහත්තයා මුකුත් නෑ”

” මට ඇහුනා අන්කල් කියපු එක මට බොරු කියන්න එපා ඇත්ත කියන්න , කවුද ඒ මිනිහ” උ.පො පරීක්ෂකවරයා ඔහුට පැවසීය.

” අනේ මන්ද මහත්තයො මගේ හිතේ තියෙන දුකටයි මම මහත්තයත් එක්ක කියන්නේ”

ඔහු එය පැවසුවේ ඉතාමත් දුක්බරවය.

” මහත්තයො මට ළමයි දෙන්නෙක් හිටියා.මගේ ගෑනි ළමයි පොඩි කාලෙදිම මළා. දැන් මට ඉන්නෙ කොල්ල විතරයි . ඔය  පාහර බල්ලා මගේ අහිංසක කෙල්ලව මරාගත්තා”

ඔහු කේන්තියෙන් මෙන් පැවසීය

” කවුද දැන් අර බයික් එකෙන් ආපු එකාද?”

” ඔව් මහත්තයෝ ඌ තමයි ”

” ඇයි අන්කල් මොකද ඔයාගේ දුවට වුනේ?”:-උ.පො පරීක්ෂකවරයා ඔහුගේ උරහිස මත අත තබමින් අසන්නට විය.

” මහත්තයෝ ඔය ආපු එකා මගේ කෙල්ලගෙ පස්සෙන් ඇවිල්ල කරදර කරල තියෙනව ඌත් එක්ක යන්න එන්න කියල,කෙල්ල මට දවසක් අඬාගෙන ඇවිල්ල කිව්වා මම උන් එක්ක පැටලෙන්න ගියෙ නැත්තෙ මහත්තයෝ කෙල්ලට මොකක් හරි කරදරයක් කරයි කියල මොකද ඕකුන්ගෙ මහ එකා තමයි මුළු ගමම පාලනය කරන්නෙ?”

” කව්ද අන්කල් ඒ”

” අජිත් , මාකස්වත්තෙ අජියා කිව්වහම දන්නැති කෙනෙක් නෑ”

ඔහු එය පැවසුවාත් සමඟම උ.පො පරීක්ෂකවරයාගේ හිතට පොඩි හෝ සතුටක් දැනුනේ තමාට මේ පැටලුනු නූල් බෝලයේ කෙලවරක් සොයා ගැනීමට හැකි වූ බැවිනි.

” පස්සෙ මොකද වුනේ අන්කල්”

” දවසක් කෙල්ල පන්ති ගිහින් එනකොට මූ මගේ කෙල්ලව බලෙන්ම අරගෙන ගිහින් විනාස කරල දාලා මහත්තයෝ, පහුවෙනිදා මුළු ගමම දැනගත්ත මේක, කෙල්ලට ගමේ මිනිස්සුන්ට මූණ දෙන්න බැරුවයි හිටියෙ.මම ඉස්සර මේසන් වැඩ කරේ දවසක් මම වැඩ ඇරිල එනකොට මගේ අසරණ කෙල්ල කාමරේ බෙල්ලෙ වැල දාගෙන මැරිල මහත්තයෝ”ඔහු එය පැවසුවේ ඇස් වලින් ගලන කඳුලු පිස දමමින්ය.

“දැන් කරන්න දෙයක් නෑ අන්කල් , හැබැයි ඕවට ඕකුන්ට වෙලාව අාවහම විඳවන්න වෙයි. අන්කල් මේක තියා ගන්න මම යනව එහෙනම්” උ.පො පරීක්ෂකවරයා රුපියල් දාහේ නෝට්ටුවක් ඔහු අත තැබුවේය.

” අනේ මහත්තයෝ කමක් නැද්ද?”

” අයියෝ ඕක මොකක්ද අන්කල් ” උ.පො පරීක්ෂකවරයා එසේ පැවසුවේ ඔහුගේ කතාවෙන් තමාට වටිනා තොරතුරු ගොඩක් ලැබුණු නිසාය. එසේ පවසා ඔහු තම යතුරු පැදියට නැගී පොලිස් මූලස්ථානය වෙත ගමන් කලේය.

………

”  සර් මොකද ගිය වැඩේ , පොඩි හරි තොරතුරක් ලැබුනද? උ.පො පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයට ආ විගස ඔහු ඉදිරියට පැමිණි කොස්තාපල් මාලක ඇසුවේය.

” පොඩි තොරතුරක්”  ඔහු එසේ පවසා මාලක දෙස බලා සිනහවක් පෑවේය.

” පොඩි නෙවෙයි යකෝ නියම ඉන්ෆොර්මේෂන් එකක් හම්බුනේ” ඔහු එසේ පැවසුවේ ගොඩක් සතුටිනි.

” හරි සර් කියන්නකො මොකද වුනේ කියල?”

මාලකටද එය දැනගන්නා තෙක් ඉවසිල්ලක් නොවීය.

 

 

 

?රශ්මික විජේසිංහ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.