Katha Ahura

රස කතා අහුර | අටවන කොටස

5/5 - (1 vote)

උපාධි මහත්තයා

විමලරත්න ගුරුතුමා එකල මුළු ප්‍රදේශයටම සිටි උපාධිධාරී පාලි භාෂා පිළිබඳ මනා දැනුමක් ඇති කෘතහස්ත ගුරුවරයෙකි. සිංහල, පාලි, සංස්කෘත, දෙමළ ආදී සියලුම භාෂා පිළිබඳ මනා දැනුමක් ඇති මොහු ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය වූයේ ‘උපාධි මහත්තයා’ යන ආදර නමිනි. බිංගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ පැරැණි ආචාර්යවරයකු වූ මෙතුමා එම පාසලේ පාසල් ගීතයේ නිර්මාතෘවරයා ද විය.

ඔහු දැහැමි දිවි පෙවෙතක් ගත කළ අතර බිංගිරිය මධ්‍ය මහා විද්‍යාලයයේ පැවැත්වෙන ධර්මදේශනා හා ශීල භාවනා වැඩසටහන් කටයුතුවලදී ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කළ අතර තමා පදිංචි ප්‍රදේශයේ ද දහමට ළැදිව කටයුතු කළේ ය.

විමලරත්න ගුරුතුමාගේ නිවස පිටිපස වූ කෙසෙල් කොටුවේ හොඳට වැඩුණු කෝලිකුට්ටු කෙසෙල් කැනක් විය. එම විශාල කෙසෙල් කැන ඔහු නොකපා තබා තිබුණේ තම මවගේ තුන් මාසේ දානමය පිංකම්වලට ප්‍රයෝජනයට ගැනීම සඳහා ය. දිනක් උදෑසන බලන විට කිසියම් අයෙකු විසින් කෙසෙල් කැන කපාගෙන ගොස් තිබිණ‍. කෙසෙල් හො‍රා හොඳ හැටි දැන හැඳින ගත් විමලරත්න ගුරුතුමා ඔහු සොයාගොස්

“අනේ! සිරෝ! මගේ අම්මගෙ තුන් මාසේ දානයට ගන්ඩයි මම කෙසෙල් කැන තියාගෙන හිටියෙ, ඒක ගෙනැවිත් දෙන්ඩ’’ යැයි කොතරම් කීවත් සිරා කෙසෙල් කැන කැපුවේවත් ගෙනාවේවත් නැතැයි පුන පුනා කීවේ කෙසෙල් කැන ගෙයි මුල්ලක සඟවා තිබෙද්දී ය.

කෙසෙල් කැන නැවත තමාට නොලැබෙන බැව් දැනගත් විමලරත්න ගුරුතුමා ඒ අදහස හිතින් අත්හැර ආපසු තම නිවෙසට පැමිණ මල් පහන් පූජා කොට හිටිවන වස්කවි කිහිපයක් දිනපතා මැතුරුවේ කෙසෙල් කැන නැවත ගෙන ඒමට සිරාට සිතක් පහළ වේවායි යන අදහසිනි. ගතවූයේ දින කිහිපයකි. කෙසෙල් කැන සොරකම් කළ ‘සිරා’ කපාපු කෙසෙල් කැන ගේ තුළම මුල්ලක තිබියදීම ගම අසල වූ කොළමුණුඔය ඉස්මත්තේ ගසක එල්ලී ගෙල වැළලාගෙන මිය ගියේ මේ ආත්මයේදීම කළ කම් පල දෙමිනි.

වෙද බස්තම

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි මුල්ම සිසුන් අට දෙනාගෙන් කෙනෙකු වූ කිරිළිපනේ දොන් ෆෙඩ්රික් සිරිවර්ධන මුත්තණුවෝ එහි දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙකි. මේ කාලයේ සුදු පාලනයෙන් වරම් ලැබූ වැවිලිකරුවෝ තේ සිටුවීම සඳහා අගනා වනඖෂධ පිරි මහා වනාන්තරය කිසිම ඉවක් බවක් නැතිව වනසා දමමින් සිටියහ.

වෙද මුත්තා වියපත්ය. සුදු ඒජන්තගේ බිරිය හා මඩුවන්වල දිසාවගේ දියණිය ආදිහුද මුත්තා ගේ වෙදකම්වලින් සුවය ද ලද අය වූහ. (මේ වෙද මුත්තා මේ ලියුම්කරුගේ මවගේ මෑණියන්ගේ පියාය.) ගම්මුන් හේන් කොටා ජීවත් වූ සරුසාර භූමියද සුද්දාගේ අණසකට යටත්විය. ගම්මුන් පේදිරිස් වෙදමුත්තා සොයා පැමිණියහ.

“හරි වැ‍ෙඩ්නෙ රාලහාමි” මඩොල්ගස්දෙණියත් මනිනවා,” ඔවුහු කීහ. මඩොල්ගස් දෙනිය යනු කිරිළිපනේ සිට කොස්මෝදර දක්වාද මහා වනාන්තරයයි. ඒ කිරුවානාගඟ වත්තය. මුත්තා තිරික්කලයක තබා කොටපළට ගෙනගිය ගම්වාසීහු බසයකින්, (ඒ කාලයේ බස් එම්.ඩබ්ලිව්. ලොරි රථය) මාතර ගෙන ගියහ. ඒජන්ත තැන මුත්තා දැක ආචාර කොට අසුනක් පිළිගැන්වීය. ඔහු දන්න ඉංගිරිසියෙන් මෙසේ කීය.

“යූ ආ ටුක් මයි චේන කල්ටිවේසන් ප්ලේසස්… දැට් ඉස් වෙරි වෙරි රෝංග් ඇක්ෂන්” මුත්තා මෙය කියා ඇත්තේ දැඩි ආවේගාත්මක ස්වරයෙන් සැරයටිය බිම අනිමිනි.

මේ සැරයටිය නිකම්ම නිකම් සැරයටියක් නොව බෙහෙත් බස්තමකි. මෙහි මිටේ කුහරයක බෙහෙත් ගුලි ගබඩා කොට රිදී පියනකින් වසා තිබේ. හදිසි රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී මේ පියන කරකවා විවෘත කොට ඇතුළේ ඇති බෙත්ගුලි පිටතට ගත හැකිය. සිංහලයන්ගේ භයානක මන්ත්‍ර ගුරුකම් ආදිය ගැන අසා ඇති සුදු ඒජන්ත තැන බයින් මුසපත් විය. “ඕ කේ ඕ කේ, අයි විල් ටේක් ගුඩ් ඇක්ෂන්” යැයි කීවේ මඳක් පසු බා ගොස්ය.

හේතුව මුත්තා සැරයටිය බිම ගැසූ වේගයට එය තුළ වූ බෙහෙත් ගුලි පිටතට පැන කාමරය පුරා පෙරැළී යෑමය. තම බිරියට මොහු ප්‍රතිකාර කළේ ද මේ තුළ තිබීගත් ගුලිවලින් බව ඒජන්තවරයාට සහතිකය. මේ ගුලි ඇල්ලීමට පවා බියවූ ඒජන්තවරයා කාමරයට ගියේ බෙහෙත්ගුලි කොඩිවින ලෙස සලකා බියපත්ව බවද කට කථාවක්ව පැතිර ගොස් තිබුණි. ගම්මුන්ට හේන් කිරීම සඳහා අවශ්‍ය භූමිය ලැබුණි. මුත්තාගේ මරණයෙන් කලකට පසුව යළි එම ඉඩම වත්තට පවරා ගැනිණි.

අමිල නෙළුම

නෙළුම් මල් සියල්ලම පාහේ තුෂාරයෙන් විනාශයට පත් විය. එහෙත් වාසනාවකට මෙන් සුදාස් නම් දුප්පත් උයන්පල්ලාගේ පොකුණේ එකම එක රතුම රතු නෙළුමක් ප්‍රාණවත්ව පිපී තිබුණේ ය. ඔහු මේ මල විකුණා ගැනීම සඳහා රජ මාලිගාවට යද්දී රජ මැදුරේ ගේට්ටුව අසල දී පොහොසත් වෙළෙන්දෙකු නෙත ගැටුණි.

මල දුටු විගස වෙළෙන්දාගේ සිත පහන් විය. ඔහු මල වර්ණනා කළේ ය.

“මං ඔබගේ මල මිලට ගෙන බුදු රජාණන් වහන්සේට පූජා කරන්නයි හිතාගෙන ඉන්නේ. මල මට විකුණන්න. කීයද මල?”

“මට රන් මස්සක් ලැබුණොත් ඇති” දුප්පත් උයන්පල්ලා බයාදු ලෙස කීවේ ය.

වෙළෙන්දා කලබලයෙන් මුදල් පසුම්බියට අත දමා මුදල සෙවීමට සැරසෙත්ම, රජතුමා ද බුදුන් දැකීම සඳහා මාලිගාවෙන් පිටතට පැමිණියේ, වෙළෙන්දා හා මලක් අතේ තබාගෙන සිටින සුදාස් දුටුවේ ය. මල දුටු විගස රජුගේ සිත් පිනා ගියේ බුදුන් පූජා කිරීමට සුදුසු මලක් හමුවූ බැවිනි. තව ද රජු පුදුම වූයේ සීත ඍතුවේ මෙවැනි මලක් දැක ගැනීමට වාසනාවන්ත වූ නිසා ය.

“කීය ද මේ මල?” රජු කලබලයෙන් ඇසීය.

“දැනටමත් මල විකුණා අවසන්, ස්වාමීනි” සුදාස් කීය.

“කීයට ද වික්කේ?”

“රන් මස්සකට, ස්වාමීනි”

“හරි, මං දෙන්නම් රන් මසු දහයක්.”

“එහෙමද? මං දෙන්නම්. විස්සක්” පරාජය බාර ගැනීමට අකමැති වූ වෙළෙන්දා පැවසීය.

මල වෙන්දේසි භාණ්ඩයක් මෙන් මිල ඉහළ නැංගේ ය. කිසිවෙක් මල අනෙකාට අයිති වීමට අකැමති විය. සුදාස් ඔවුන්ගේ කථාවට ඇහුම්කන් දී මෙසේ සිතුවේ ය.

“ඔවුන් මල මිලට ගන්න හදන්නේ ඒක තමාගේ අතින් බුදු රජාණන් වහන්සේට පූජා කරන්නයි. ඉතින් මමම ඒ මල මගේ අතින් ම බුදුන්ට පූජා කළොත්? ඒක කොතරම් වටී ද?”

සුදාස්ගේ දෑත් එක් විය‍. “සමාවෙන්න රජතුමනි!” මම මල විකුණන්න බලාපොරොත්තුවක් නැහැ” සුදාස් එක හුස්මට බුදුන් වැඩ සිටි උයනට දිව්වේ ය. උන් වහන්සේ සිටි සමාපත්ති සුවයෙන් භාවනානුයෝගීව මල් උයනේ වැඩ සිටි සේක. සුදාස් සමිඳු පාමුල ඇද වැටී බැති සිතින් නෙළුම පූජා කළේ ය.

“ඔබ මෙයින් බලාපොරොත්තු වෙන්නේ කුමක් දැ?යි බුදුන් අවසානයේ දී ඇසූ සේක.

“කිසිවක් අවශ්‍ය නැහැ ස්වාමීනි, ඔබ වහන්සේගේ පය වැකුණු දූවිලි පොදක් පමණයි” සුදාස් කීවේ තම බලාපොරොත්තු සඵල වු නිසාවෙනි.

රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘HE GOLDEN BOAT’ කෘතියෙනි

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.