Katha Ahura

ලේ සළකුණු | දෙවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

3.2/5 - (12 votes)

ලේ සළකුණු

දෙවන කොටස

“නංගී… නංගී… ඔතන මොකද කරන්නේ? ඇයි ඔයා අඩන්නේ?” මම එයා ළගට ගිහිං ඇහුවත් එයා ඔලුව උස්සලා බැලුවේ නෑ .

ඒ නිසාම මං බිමට නැවිලා එයාගේ උරහිසට අත තිබ්බා. ඒ ඇග හරිම සීතල වෙලා තිබුණේ . මට බය හිතුනත් මේ පාන්දර පින්න නිසා වෙන්න ඇති කියලා හිතුනා.

“ඇයි ළමයෝ අඩන්නේ ?” එහෙම කියලා මං එයාව නැගිට්ටෙව්වා.

“ඉහි… ඉහි…” කියලා ඇස් පොඩි කර කර එයා අඩන්න ගත්තා නිසාම වෙන්න ඇති ඇස් රතුවෙලා තිබුණ . මූණේ විතරක් නෙවෙයි මුලු ඇගේම ලේ නැතිවද කොහෙද ඒ ළමයා සුදුමැලි වෙලා හිටියා .

“ඔයා කවුද? මෙතන මොකද කරන්නේ ?” කියලා මම ඇහුවේ එයා දිගටම අඩන නිසා.

“මම තරුෂි.. ඇ–ඈ….හැ… තාත්තා හොයනවා මං” එයා අඩ අඩම කිව්වා .

“අඩන්න එපා තරුෂි. තාත්තා කොහෙද ගියේ ?”   මං ඇහුවේ පව් කියලා හිතිලා.

“ගේ ඇතුළෙ ඇති..” කියලා එයා අපේ ගෙදරට අත දික් කරා.

” ඒ අපේ ගෙදර . එහෙට නම් කවුරුත් ආවේ නෑ. ඉන්නකො මං අපේ තාත්තාට කියලා හරි ඔයාගේ තාත්තා හොයලා දෙන්නම්” මම කිව්වම එයා කියපු දෙයින් මම තිගැස්සුණා.

“නෑ. ඒ අපේ ගෙදර .. මමයි , අම්මයි, තාත්තයි එහේ ඉන්නේ ” කියලා ආයෙත් අඩන්න ගත්තා.

එක්කෝ පිස්සු නැත්තම් ඇගපත තිබුණට පොඩි ළමයෙක් කියලා මට හිතුන නිසයි මම එයාගෙන් කීයේ පංතියෙද ඉගෙන ගන්නේ කියලා ඇහුවේ .

“ගිය අවුරුද්දේ නවය වසරේ” කියලා එයා කිව්වා .

“ගිය අවුරුද්දේ නවයේ නම් මේ අවුරුද්දේ දහය වසරේ. ඒ කියන්නේ මගේ වයස” මම කිව්වේ හිනාවෙලා.

” ඒ වුණාට මට මේ අවුරුද්දේ ඉස්කෝලේ යන්න බැරිවුණා ” කියලා තරුෂි කිව්වා .

“ඒ මොකද ?” මං ඇහුවේ පුදුමයෙන් .

“ඔයා ඇයි මගෙන් ප්‍රශ්න අහන්නේ? අපේ ගෙදර ළගට ඇවිත්. මට තාත්තා හොයාගන්න ඕනි” කියලා තරුෂි තරහෙන් කිව්වා.

“මේ අපේ ගෙදර . මෙහෙ ඉන්නේ අම්මයි, මමයි , අයියයි, තාත්තයි ” මමත් ටිකක් සැරෙන් කිව්වා .

ඒපාර නම් තරුෂිට හොදටම තරහ ගිහිං කියලා මට හිතුනෙ රවාගෙනම මගේ දිහා බලාගෙන හිටිය නිසා.

“මොකක්ද උඹ කිව්වේ? මේ ගෙදර උඹලගේ වෙන්නේ කොහොමද ? හහ්…. හහ්… ” වියරුවෙන් හිනාවුණ කෙල්ල පොළවෙන් ටිකක් උඩට ඉස්සුණා.

එතකොට මං දැක්කේ එයාගේ ගවුමෙ ලේ පැල්ලම් ගොඩක් තියෙනවා .

“මරනවා… උඹව මරනවා…” කියලා තරුෂි පොළොවෙන්  උඩට නැගලා දිව දික් කරා. ඒ දිව ඇදි ඇදි මගේ පස්සෙන් පන්නන්න ගත්තේ මං දුවද්දී .

එයා ඉන්න තැනම ඉදලා දිව දික් කරාම සර්පයෙක් වගේ දික් වෙවී දිව මගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා . මේ නම් මනුස්සයෙක් වෙන්න බෑ කියලා හිතෙද්දිම පණ එපා කියලා මම දුවන්න පටන් ගත්තේ ” අම්මා … අම්මා ..” කියලා කෑ ගහන ගමන්.

මට වැඩි දුරක් දුවන්න වුණේ නෑ . සෙවල මොකක්දෝ බෙල්ලේ පැටලුණා කියලා දැනුණ නිසා මං බෙල්ල අල්ලලා බැලුවේ .

ඒ තිබුණේ තරුෂිගේ දිව කියලා මට තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. කුණ ගදක් එක්ක සිලි සිලි ගාලා පණුවො ගොඩක් මගේ ඇගේ දගලද්දි මට දැනුණේ මහ අප්පිරියාවක්. ඊටත් වඩා මට බය හිතුනෙ හුස්ම ගන්න ටික ටික අමාරු වෙනවා කියලා දැනුණ නිසා.

“හිහ්… හිහ්….” ඒ වියරු හිනාව ඇහුණේ මගේ කන් පැලෙන්න තරම් සද්දෙන් .

මං දොර ළගටම දුවගෙන ගියත් බය වෙලා පැනපු විකිටගේ ඇගේ හැප්පිලා මම බිමට වැටුණේ ඒත් එක්කම.

************************************************

“චූටි …. චූටි අනේ නැගිටින්න පුතේ …” අම්මගේ කටහඩ ඇහිලා මම අමාරුවෙන් ඇස් ඇරලා බැලුවේ තරුෂිව නම් පේන්න ඉන්න එපා කියලා.

ඇස් ඇරලා වටපිට බලද්දී තමා මම දැක්කේ අම්මයි අයියයි තාත්තයි බයවෙලා මගේ වටේ හිටියේ . මට ලොකු සතුටක් දැනුණේ මම බේරිලා කියලා දැනුණ නිසා.

” අම්මා …” කියලා මම අම්මගේ බෙල්ලේ එල්ලුණා.

“මොකද චූටි වුණේ ?” අම්මා ඇහුවේ අඩන ගමන්.

“ඊයා චූටි . තමුසෙ පාන්දරම ඩස්බින් එක අස්සේ රිංගුවද? පළාතම ගන්දස්තාරේ බෑ. ඒ මදිවට තමුසෙගෙ ඇගේ පණුවො ගොඩකුත් හිටියා . ඇත්තටම ඕයි කුණු වළකටවත් බැස්සද?” අයියා ඇහුවේ හිනා වෙවි.

මං වෙච්ච හැමදේම අම්මටයි තාත්තාටයි අයියටයි කිව්වා . අම්මයි, තාත්තයි මූණෙන් මූණ බලාගත්තත්, අයියා තාම හිනා වෙවී ඉන්නවා .

මට කේන්ති ගියේ මෙච්චර දෙයක් වෙලත් අයියා හිනාවෙන එකට. මගේ පපුව තාමත් ගැහෙනවා. මං බෙල්ල අල්ලලා බැලුවේ අප්පිරියාවකින්.

“මං ඔයාගේ බෙල්ල හේදුවා පුතේ, දැන් ගිහිං නාගන්නකො. අපි හවස පන්සල් ගිහිං එමු” අම්මා කිව්වේ මං බෙල්ල අල්ලනවා දැකලා.

“තමුසෙ නෑවත් ගද යවාගන්න බැරිවෙයි හලෝ. එක්කෝ ඕයි පණුවො එන්න ඇත්තේ තමුසෙගෙ ගදටම වෙන්න ඇති” කියලා අයියා ආයෙත් හිනා වෙන්න පටන් ගත්තා .

“ලොකූ… විහිලු කරන්න එපා..” අම්මා සැරෙන් කිව්වා .

“අම්මේ මේවා මෙයාගෙ කපටිකම්. අද මගේ නෝට් එකක මෙයා රතු පාටින් අත් සළකුණු තියලා. මම ඒකට අනම් මනම් කිව්වා . ඒපාර තමා සුවර් එකටම මෙයා හොල්මන් කතාවක් ගොතන්න ඇත්තේ” අයියා හිනා වෙවී කියනවා .

මේ මෝඩයට මං මොකක් කරත් වැරදි . .

“ලොකූ කටවහගන්නවා..” තාත්තා සැරෙන් කිව්වම අයියා උපාසක වගේ නිහඩ වුණා . මොනා වුණත් අයියා තාත්තාට බයයි .

ඒකට නම් මට සතුටක් දැනුණා . මම ටවල් එකත් අරං බාත් රූම් එකට ගියා .

– නයෝමී නදීරා ධීරසිංහ –

4 thoughts on “ලේ සළකුණු | දෙවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක”

  1. Chathu indeewaree

    ලස්සනයි කතාව. ටිකක් කොටස් දාන්නකෝ සුද්දී… ගොඩාක් ආසවෙන් කියවන්න පුළුවන්..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.